A

ජයදේව උයන්ගොඩ

මෙම සති අන්තයේ ලංකාවේ පුරවැසියන් වන අප ඇතුළුවෙනු ඇත්තේ සම්පූර්ණයෙන් අලුත් දේශපාලන ලෝකයකටය. එය නම්, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හඳුන්වා දෙන ලද විසිවැනි සංශෝධනය විසින් යළි නිර්ණය කරන ලද ලාංකික දේශපාලන ලෝකයකි. එසේ අප ඇතුළු වන්නේ මෙතෙක් දැන සිටි ලංකාවේ සිට ඇත්තටම ඉදිරියේදී කවර ස්වරූපයක් ගනු ඇත්දැයි පැහැදිලි නැති ලංකාවකටය. සුළු සුළු සංශෝධන සහිතව සම්මතවීමට බොහෝවිට ඉඩ ඇති විසිවැනි සංශෝධනය, එම අලුත් ලංකාවේ දේශපාලනයේ මූලික නෛතික රාමුව තීරණය කර ඇත. එහෙත් එම නෛතික රාමුව විසින් ගොඩ නගනු ලබන සැබෑ දේශපාලන ලෝකය තුළ නොයෙක් දේවල් සිදුවිය හැකිය. ඒවා වනාහී දැනටමත් ප්‍රජාතන්ත්‍රවාදී බලවේගද, රාමඤ්ඤ – අමරපුර නිකාය දෙකේ නායක හිමිවරුන්ද, කතෝලික කාදිනල්තුමාද, මුරුත්තෙට්ටුවේ, ඇල්ලේ සහ බෙංගමුවේ ස්වාමීන් වහන්සේලාද අනතුරු අඟවා ඇති ආකාරයට, එතරම් ප්‍රසන්න ඒවා විය නොහැකිය. මන්දයත්, අප රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පස්සට තල්ලු කිරීමක්ද, ආණ්ඩුව සහ පාලකයන් ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඉවත්වීමද, ප්‍රජා පීඩක පාලන ක්‍රමයක් බිහිවීමද යන මේවා ප්‍රසන්න නැති යථාර්ථයක කොටස් වන නිසාය.


නව බෙදීමක්


“අපට ප්‍රජාතන්ත්‍රවාදය ඕනෑද? එපාද?” යන ප්‍රශ්නයට දෙන පිළිතුරු දෙක මත, ලංකාවේ සමාජය දේශපාලන වශයෙන් කඳවුරු දෙකටම බෙදීම්, එනම් ධ්‍රැවීකරණය වීමේ, නව ප්‍රවණතාවක් මෙම සති අන්තයෙන් පසුව ආරම්භවීමටද ඇති ඉඩකඩ බොහෝය. මේ සඳහා සංඥා විශේෂයෙන් පසුගිය සති දෙක තුළ වර්ධනය විය.


මෙම සංඥා මොනවාද?


පළමුවැනි සංඥාව නම්, ප්‍රජාතන්ත්‍රවාදයේත්, එය ආරක්ෂා කරගැනීමත් වැදගත්කම සහ අගය පිළිබඳ නව සමාජ සංවාදයක්ද, එම සමාජ සංවාදයට සහභාගිවීම පිණිස අලුත් සහ බලපෑම්සහගත සමාජ කණ්ඩායම් බිහිවීමක්ද සිදුවී තිබීමයි. එය ආරම්භ වූයේ අමරපුර-රාමඤ්ඤ නිකාය දෙකේ නායක භික්ෂූන් වහන්සේලාගේ මැදිහත්වීමෙනි. එයින් සිදුවූයේ විවිධ ප්‍රජාතන්ත්‍රවාදී, වාමාංශික, ප්‍රගතිශීලී දේශපාලන හා සිවිල් කණ්ඩායම් විසින් 20 වැනි සංශෝධනයට එරෙහිව සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් ගෙනගිය ව්‍යාපාරය පුළුල්වීමත්, එය විසින් ගොඩ නගා තිබුණු විග්‍රහය සහ විවේචනය තවත් ප්‍රබල සමාජ කණ්ඩායම් විසින් අත්පත් කරගෙන ප්‍රබලව සමාජය වෙත නැවතත් ඉදිරිපත් කරනු ලැබීමත්ය.


දෙවැනි හේතුව, අප සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී කතිකාව යළිත් වරක් පුනර්ජීවනය ලැබීමයි. එම පුනර්ජීවනය පිළිබඳ වඩාත් ශක්තිමත් පණිවුඩ ලැබුණේ පසුගිය සති දෙක තුළදීය. එය වැදගත් දේශපාලන ලකුණකි. මන්දයත් ජනාධිපතිවරණයෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පෙනුණේ ප්‍රජාතන්ත්‍රවාදී කතිකාව යටපත් කරගෙන නිර්-ප්‍රජාතන්ත්‍රවාදී විකල්ප පිළිබඳ කථිකාව මතුවූ බවයි. දැන් පෙනෙන්නේ එම මතුවීම ස්ථාවර සහ කල්පවත්නා එකක් නොවන බවයි.


තෙවැනි කාරණාවක්ද පසුගිය සති කිහිපය තුළ මතුවිය. එය මේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද විකල්ප දේශපාලන නායකත්වයක් පිළිබඳ ප්‍රතිරූපය දුර්වල වී, එහි කල්පවත්නාභාවය පිළිබඳ සමාජය විසින් දැන් දැන්ම, වසරක් ගත වන්නටත් පෙර, ප්‍රශ්න කරනු ලැබීමට පටන් ගෙන ඇති බවයි. පසුගිය අගෝස්තු මාසය අවසන් වනතුරු ගෝඨාභය ජනාධිපතිතුමාගේ නායකත්වය, විකල්පය සහ ප්‍රතිරූපය පැවතියේ සෙළවිය නොහැකි ලෙස ස්ථාවර එකක්ය යන අදහස ඇතිකරවමිනි. සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසයේ සිදුවූ කාරණා දෙකක් නිසා එය ශීඝ්‍ර වෙනස්වීමකට පාත්‍රවී තිබෙන බව පෙනේ. පළමුවැන්න, එතුමාගේ විසිවැනි සංශෝධනයයි. දෙවැන්න මිනුවන්ගොඩ ආශ්‍රිතව හදිසියේ මතුවූ දෙවැනි කොරෝනා රැල්ලයි. මේ සාධක දෙකම වර්ධනය වූ ආකාරය විභාග කර බැලීම, අප රටේ වර්තමාන දේශපාලන ගමන් මගේ එක් වැදගත් සන්ධිස්ථානයක් බව පෙනෙන මොහොතක් තේරුම් ගැනීමට ආධාර වන නිසා, ඒ සඳහා මොහොතක් ගත කරමු.


විසිවැනි සංශෝධනයේ බලපෑම


පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සංශෝධන සහිතව සම්මත වී, මෙම සති අන්තයේ සිට ක්‍රියාත්මකවීමට පටන් ගැනුණත්, මුලදී යෝජනා කරන ලද විසිවැනි සංශෝධනය විසින් ගෝඨාභය ජනාධිපතිතුමාගේ දේශපාලන ප්‍රතිරූපයට ඇති කරන ලද හානිය සුළුපටු නොවේ. හේතුව නම් එතුමා ‘ප්‍රජාතන්ත්‍රවාදියෙකු නම් නොවන්නේය’ යන ඇස්තමේන්තුවට එතුමාට ජනාධිපතිවරණයේදී ඡන්දය දුන් සෑහෙන දෙනෙකුට ප්‍රත්‍යක්ෂවීමයි. විසිවැනි සංශෝධනය කියවීමෙන් පසුව, ජනාධිපතිතුමාට සහ පොහොට්ටු අපේක්ෂකයන්ට ඡන්දය දුන් සැලකිය යුතු පිරිසක් එළිපිටම කියා සිටියේ, ඔවුන්ගේම වචනවලින් කියන්නේ නම්, ‘අපි ගෝඨාභයට ඡන්දෙ දුන්නේ මේ වගේ විස්සක් ගේන්න නොවෙයි.’ ‘මේ වගේ කියන්නේ කුමක්ද? එම ජනයාගේම වචනවලින් කියන්නේ නම්, ‘ඒකාධිපතියකු බිහිකරන විස්සක් ගෙන එන්නට නොවෙයි.’ බොහෝ දෙනා ‘ඒකාධිපතියා’ යන වචනය භාවිත කළහ. අප ඉහතින් සඳහන් කළ භික්ෂූන් වහන්සේලාද එම වචනය භාවිත කළහ. අප තරමක් බැරෑරුම්ව කල්පනා කරන්නේ නම් මෙම සාකච්ඡාව තුළ ‘ඒකාධිපතියා’ යන සංඥාව භාවිත කෙරෙන්නේ හුදෙක් වචනයක් ලෙසම නොවේ. අප රටේ සිදුවිය හැකි අනාගත දේශපාලන ‘සිදුවිය හැකියාවක්’ පිළිබඳව අනතුරු හඟවන සංඥාර්ථයක්ද වශයෙනි. අනාගත දේශපාලන ශක්‍යතාවක් ගැන අනාවැකි කියන සංකේතාත්මක සංකල්පයක්ද ලෙසිනි.


විසිවැනි සංශෝධනයට ‘කර්තෘවරයෙකු නැතිවීම’, ගෝඨාභය ජනාධිපතිතුමාට ඡන්දය දුන් තවත් සෑහෙන දෙනකුගේ සිත කළකිරවීමට තුඩු දුන් සාධකයකි. මේ අය ඇත්ත වශයෙන් අපේක්ෂා කෙළේ එය කවුරුන් හෝ නීතිඥවරයෙකු හෝ සරත් සිල්වා මහතා වැනි හිටපු නඩුකාරතුමකු එය සකස් කළත්, එහි කර්තෘත්වය ජනාධිපතිතුමා භාරගනු ඇත යන්නයි. එහෙත් එය එතුමා නොකෙළේය. අන්තිමට විසිවැනි සංශෝධනයට සිදුවූයේ පියෙකු නැති, නැතහොත් පියවරු ගණනාවක්ම සිටින, දරුවකු බවට ආණ්ඩුව විසින්ම හඳුන්වනු ලැබීමයි. ‘විසිවැනි සංශෝධනයේ වගකීම කැබිනට් මණ්ඩලය සම්පූර්ණයෙන් භාර ගන්නවා’ යැයි කීවාට පසුත්, ඇමතිවරු කිහිපදෙනකු සංශෝධනයට තමන් සම්බන්ධ නැති බව ප්‍රකාශ කළහ. ගෝඨාභය ජනාධිපතිතුමාගේ ආණ්ඩුවත්, මේ දිනවල ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂිවලින් අනාවරණය වන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ආණ්ඩුවත් අතර ඇති වෙනස හඳුනා ගැනීමට නොහැකිව, රාජපක්ෂ ජනාධිපතිතුමාට ඡන්දය දුන් අයම පසුගිය දිනවල දේශපාලන උකටලීභාවයට පත්වූහ.


ප්‍රජාතන්ත්‍රවාදයේ ගැටලුව


මේ අතර, විසිවැනි සංශෝධනය පිළිබඳව දේශපාලන ක්‍රියාකාරකයන්ද, ශාස්ත්‍රඥයන්ද සහභාගි වූ සාකච්ඡා දෙක තුනකට නිහඬව සහභාගිවීමේ අවස්ථාව මටද ලැබිණ. එහිදී මතුවුණු වැදගත් න්‍යායික දේශපාලන ප්‍රශ්නයකට මගේ අවධානය යොමු විය. ඒ ගැන හැකිතාක් සරලව ‘රාවය’ පාඨකයන්ට හඳුන්වාදීමට මෙම ලිපියේ ඉතිරි කොටසින් උත්සාහ ගනිමි. එම කාරණය ‘රාවය’ පාඨක ප්‍රජාවටද ඉතා වැදගත්ය. අදාළය. ‘ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ නව ලිබරල්වාදී න්‍යාය පත්‍රයේ දේශපාලන මුහුණුවර නේ. ඉතින් වාමාංශික, ප්‍රගතිශීලී අපි කොහොමද ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඕනෑවට වැඩිය කතා කරන්නෙ?’ යනු මෙසේ මතුවූ ප්‍රශ්නයයි. මා සිතන්නේ මෙය, ‘අපේ යුගයේ ප්‍රශ්නයක්’ කියාය. එබැවින් එය බැරෑරුම්ව තේරුම් ගත යුත්තකි. සුමිත් චාමින්ද මහතාගේ ලිපිවලින් යෝජනා කරන්නේද මා කියන මේ කාරණයමය. වරදවා වටහා ගැනීම් දෙකක් නිසා ඉහත කී සංශයවාදය ඇතිවී තිබෙන බව පෙනිණි. පළමුවැන්න, බටහිර සමාජයේද, ලංකාවේද ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතිහාසය සහ විකාශනය නොසලකා හැරීමයි. දෙවැන්න, ලිබරල්වාදයේ ආර්ථික සහ දේශපාලන ඉගැන්වීම් මිශ්‍ර කර ගැනීමයි.


ඓතිහාසික විකාශනය අනුව බලන විට, ප්‍රජාතන්ත්‍රවාදය ලිබරල්වාදයට පෙර බිහිවූවකි. එහි ආරම්භය ඇත්තේ සම්භාව්‍ය ග්‍රීක යුගයේය. ප්‍රජාතන්ත්‍රවාදය හා ලිබරල්වාදය සම්බන්ධ වූයේ 17 වැනි හා දහඅටවැනි සියවසේදීය. ඒ අතර, දේශපාලන මතවාදයක් සහ භාවිතයක් ලෙස දහඅටවැනි සියවසේ සිටම, ප්‍රජාතන්ත්‍රවාදය, ලිබරල්වාදයෙන් ස්වාධීනව තවදුරටත් වර්ධනය විය. ලිබරල්වාදය විසින් යුරෝපීය ධනේශ්වර පන්තිය සඳහා අත්පත් කරගනු ලැබ, සමාජමය වශයෙන් සීමාකර තිබුණු ප්‍රජාතන්ත්‍රවාදය පොදු ජන දේශපාලන මතවාදයත්, භාවිතයත් සහ දේශපාලන අයිතිවාසිකම් ලෙස සමාජය වෙතට යළි ලබා ගන්නා ලද්දේ යුරෝපයේ කම්කරු ව්‍යාපාරය හා ස්ත්‍රී අයිතිවාසිකම් ව්‍යාපාරය විසිනි. එය දහඅටවැනි සියවසේ මුල් කාලයේ සිටම යුරෝපයේ සිදුවූ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ ඉතා වැදගත් අංගයකි. අප රටේ වාමාංශික බුද්ධිමතුන්ද සැලකිල්ලට නොගන්නා කාරණයක් වන්නේ, යුරෝපයේ ප්‍රජාතන්ත්‍රවාදය විකාශනය වී තිබෙන්නේ, ධනේශ්වර පන්තියේ මතවාදයක් ලෙස පමණක් නොව, කම්කරු පන්තියද, ස්ත්‍රීන්ද ඇතුළු සමාජයේ පීඩිත කොටස්වල සමාජ සහ දේශපාලන විමුක්තියේ මතවාදය සහ අපේක්ෂාවද ලෙසින්ය යන්නයි. ප්‍රංශ විප්ලවයේ සමාජ ඉතිහාසය අප රටේ වාමාංශික බුද්ධිමතුන් විසින් නැවත කියවිය යුතුව තිබෙන්නේ මෙම කරුණ වටහා ගැනීමටය. අර්නස්ටෝ ලක්ලාවූ සහ ෂොන්තාල් මූෆි ‘ආධිපත්‍යය සහ සමාජවාදී මූලෝපාය’ නම් ග්‍රන්ථයේ මේ කරුණ, නූතන රැඩිකල්වාදීන්ට මතක් කර දෙති. යුරෝපයේ ඇතිවූ ‘පොදු ජන ව්‍යාපාර තුනක් විසින්, ඊට පෙර ධනේශ්වර පන්තියේ මතවාදයක්ව තිබී ප්‍රජාතන්ත්‍රවාදය ‘පොදු ජන’ විරෝධතා දේශපාලනයේ මාධ්‍යය වූ බව එම ග්‍රන්ථයේ පැහැදිලි කෙරේ. ඒවා නම් එංගලන්තයේ වර්ධනය වූ චාටිස්ට් කම්කරු ව්‍යාපාරය ඉතාලියේ ගැරිබල්ඩිගේ නායකත්වය යටතේ වර්ධනය වූ මහජන ව්‍යාපාරය, සහ පසුව ජර්මනියේත්, ප්‍රංශයේත්, යුරෝපය පුරාත් වර්ධනය වූ කම්කරු පන්ති සහ මහජන විරෝධතා ව්‍යාපාරයි. එංගලන්තයේ සහ ප්‍රංශයේ ස්ත්‍රී අයිතිවාසිකම් ff මෙම පොදු ජන විරෝධතා ව්‍යාපාරවලට එකතු වූහ.


පොදු රූපකය


ලක්ලාවූ සහ මූෆි මෙහිදී අවධාරණය කරන වැදගත් න්‍යායික කරුණක් අපේ අවධානයට යොමුවිය යුතුය. එය නම්, 1789 ප්‍රංශ විප්ලවයත්, 1848 යුරෝපයේ විප්ලවවාදී නැගිටීම්ද හේතු කොටගෙන පැතිරුණු සියලු පොදුජන ව්‍යාපාරවල සමාජමය පරිකල්පනයේ පොදු රූපකය බවට පත්වූයේ ‘ප්‍රජාතන්ත්‍රවාදය’ වන්නේය යන්නයි. නිදහස සහ සමානත්වය, මෙම සෑම සමාජ කොටසක්ම ‘ප්‍රජාතන්ත්‍රවාදය’ නමැති සමාජමය පරිකල්පන රූපකය තුළින් ප්‍රකාශයට පත් කළ සමාජ විමුක්තිවාදී නිෂ්ඨාවන්ය. සමාජයේ විවිධ සමාජ කොටස්වල, පවත්නා පීඩනයට සහ සූරාකෑමට එරෙහි අරගලවල අපේක්ෂා ප්‍රකාශයට පත් කළ පොදු දේශපාලන භාෂාව සපයන ලද්දේ ‘ප්‍රජාතන්ත්‍රවාදය’ යන සංකල්පය විසිනි.


ලංකාව වැනි පශ්චාත්-යටත්විජිත සමාජවල ජීවත් වන වාමාංශික ප්‍රගතිශීලීන් වන අපද, ප්‍රජාතන්ත්‍රවාදය’ පිළිබඳ අප රටවලද ඇති ‘සමාජ ඉතිහාසය’ ඉහත ආකාරයෙන් නිවැරදිව තේරුම් ගත යුතුව තිබේ. අප සමාජවලද, යුරෝපයේ මෙන්ම, ප්‍රජාතන්ත්‍රවාදය, යන්න ධනපති පන්තිය සහ පීඩිත සමාජ පන්තියත් යන සමාජ ධාරා දෙකෙහිම න්‍යාය පත්‍ර සමග සම්බන්ධ වී තිබේ. ධනපති පන්තිය ප්‍රජාතන්ත්‍රවාදයෙන් දකින්නේ, තම දේශපාලන ආධිපත්‍යය සුජාත කරගැනීමේ පහසු මාධ්‍යයක් එයින් ලබාගැනීමේ හැකියාවයි. ඊට වෙනස්ව පීඩිත සමාජ කොටස්, ප්‍රජාතන්ත්‍රවාදය තුළින් දකින්නේ නිදහස, සමානාත්මතාව සහ අයිතිවාසිකම් පිළිබඳ සමාජ විමුක්තිවාදී අපේක්ෂාවන්ගේ සාක්ෂාත් කරණයේ මාධ්‍යය ලෙසයි.


වාමාංශිකයන්ට සහ ප්‍රගතිශීලීන්ට ‘ධනේශ්වර’ නියෝජන සහ ‘ලිබරල්’ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව හරයාත්මක විවේචනයක් ගොඩනැගීමටත්, ඒවායේ ඌනතා පූරණය කිරීමටත් අවශ්‍ය බුද්ධිමය අනුප්‍රාප්තිය ලබාගැනීමට ඇති වැදගත්ම මූලාශ්‍රය තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී විකාශයේ ඇති මෙම ‘පොදු ජනවාදී’ එනම්, ‘ප්ලේබියන්වාදී’ සමාජීය පරිකල්පනයෙහිය. ඒ සඳහා ප්‍රයෝජනවත් නූතන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සමාජ ඉතිහාසයක්, විසිවැනි සියවසේ මුල පටන් අප රටේද පැවත තිබේ.


නව ලිබරල්වාදයෙන් අවධාරණය කරන ප්‍රජාතන්ත්‍රවාදය වනාහී, ප්‍රජාතන්ත්‍රවාදයෙහි ඇති තුනී, මතුපිට සහ පටු ලෙස ආයතනගත කරන ලද, ක්‍රියා පටිපාටිමයවාදී නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ අධිපති ධාරාව පමණක් වන බව එවිට අපට අවබෝධ කරගත හැකිය. ඊට වඩා හරයාත්මක ප්‍රජාතන්ත්‍රවාදයක් පසුගිය සියවස තුළ අප රටේ ඇතිවූ දේශපාලන, සමාජීය සහ බුද්ධිමය පරිවර්තනය තුළින් නිර්මාණය වී තිබේ. අප ආරක්ෂා කිරීමට අරගල කළයුත්තේ එයයි. විශේෂයෙන් ලංකාව, ඉන්දියාව වැනි සමාජවල අද පවතින ‘ප්‍රජාතන්ත්‍රවාදය’ යන සමාජීය පරිකල්පන රූපකය වනාහී, යුරෝපීය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය, යුරෝපීය සමූහාණ්ඩුවාදය, සමාජවාදය, මෙන්ම අප සමාජවල ජාතිකවාදය මෙන්ම පීඩිත සමාජ, ජනවාර්ගික සහ පන්ති කණ්ඩායම්වල නිදහස, සමානත්වය සහ අයිතිවාසිකම් සඳහා වූ සාමූහික සමාජ අභිලාෂද යන ධාරා කිහිපයකින්ම පෝෂණය වූ අත්‍යන්තයෙන්ම නූතනවාදී දේශපාලන චින්තනයක මූලාශ්‍රය බවද එවිට අපට පෙනෙනු ඇත. ■