රසික ගුණවර්ධන


කොවිඞ් 19 රෝගය සම්බන්ධයෙන් වන විශේෂ පනත මේ වන විට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇත. එය අශ්වයා පැනගියාට පසු ඉස්තාලය වැසීමකට සමානය. ලක්ෂ හැට නවයක බලයක් හිමි ජනාධිපතිවරයා කොවිඞ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශ මැතිවරණයට අදාළව ප්‍රකාශ කිරීමට නොසෑහෙන්න කෙකර ගෑවේය. දැන් තුනෙන් දෙකක බලයක් හිමි ආණ්ඩුවද සෞඛ්‍ය ආරක්ෂාව සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කිරීමට ජනාධිපතිවරයාට නොදෙවෙනි වෙහෙසක් දරති. එහෙත් අවසානයේ ආණ්ඩුව හෙළා ඇත්තේ පුස් බිජුවකි. එහෙත් මේ පුස් බිජුව බැලූ බැල්මටම සිත් ඇදගන්නාසුලු අපූරු පිටත ආවරණයකින් යුතුය. එහෙත් එහි මදයක් නැත. මෙම ගැසට් පත්‍රය නිකුත් කළ සෞඛ්‍ය අමාත්‍යවරිය ගැසට් පත්‍රය නිකුත් කළ දින හැසිරුණේ එහි කුමක් ඇතුළත්දැයි හාංකවිසියක් නොදන්න ගාණටය. ඇය මාධ්‍ය ඉදිරියට පැමිණියේ මුඛ ආවරණයකින් තොරවය. මෙම නීතිය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවේදී සජිත් ප්‍රේමදාස විසින් පාර්ලිමේන්තුව තුළ මුඛ ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන නොයාම පිළිබඳව ප්‍රශ්න කළ අවස්ථාවේ සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කරන්නේ ගැසට් පත්‍රයේ සඳහන් පොදු ස්ථාන යන්නට පාර්ලිමේන්තුව අයත් නොවන බවය. බාගවිට සෞඛ්‍ය අමාත්‍යවරිය සිතා සිටිනවා විය හැක්කේ ගැසට් පත්‍රය බලා එහි සඳහන් ස්ථානවලදී පමණක් කොවිඞ් වෛරසය ක්‍රියාත්මක වනවා විය හැකිය. මෙය මද නැති පුස් බිජුවක් වන්නේ ඒ නිසාය. මේ ගැසට් පත්‍රය රජය නිකුත් කළේ ගැසට් පත්‍රය නිකුත් කළ යුතු නිසා විනා රටේ ජනතාව ආරක්ෂා කරගැනීමේ උවමනා යැයි නොසිතේ.


නිසි බලධාරියා


නිකුත් කළ නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනතේ අදාළ නියෝග ක්‍රියාත්මක කළ යුතු නිසි බලධාරියා වන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාය. එහෙත් ලංකාවේ මේ මොහොතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයකු නැත. ඇත්තේ වැඩ ආවරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයකු පමණි. පනත ක්‍රියාත්මක කළ යුතු නිසි බලධාරියෙකු නොමැතිව පනතක් නිකුත් කර ඇති ඵලය කුමක්ද? කොවිඞ් වෛරසය ආරම්භ වූ සමයේ විශාල කර්තව්‍යක් සිදු කළ බවට රජයම ප්‍රශස්ති ගී ගැයූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පරිසර අමාත්‍යාංශයට මාරුකර යැවූවේ රජයට අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අඩුව පවත්වාගෙන යෑමේ අරමුණින් බව නොරහසකි.


ගෝඨාගේ මිලිටරි ආස්වාදය


කොරෝනා පැතිරුණු මුල් අවස්ථාවේ සිටම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කල්පනා කරන්නේ මිලිටරි බලයෙන් කොරෝනා පැරදවිය හැකි බවය. ඔහු සෞඛ්‍ය අංශවලට වඩා විශ්වාසය තබා සිටින්නේ හමුදාව කෙරෙහිය. නිසි බලධාරියකු නොමැතිව මේ පනත නිකුත් කරන්නේද අදාළ මිලිටරි ආස්වාදයේ අග්‍රඵලය නෙළා ගැනීමටය. කොරෝනා සම්බන්ධව ක්‍රියාත්මකවීමට මේ තාක් කාලයකට ඒ වෙනුවෙන්ම වූ නීති පද්ධතියක් නිර්මාණය කර තිබුණේ නැත. ඒ නිසා කොවිඞ් සම්බන්ධව කටයුතු කිරීමට සිදුවූයේ හවුලේය. මෙවර පනත නිකුත් කිරීමෙන් අනතුරුව එය ක්‍රියාත්මක කිරීමට නිසි බලධාරියා නොමැති බැවින් “ශවේන්ද්‍ර මේක බලන්න” යැයි ගෝඨාට කිව හැකිය. ශවේන්ද්‍ර ඒක ගැනත් බලන විට ක්‍රීඩා පිටියක් නොමැති පාසලකට ක්‍රීඩා පිටියක් ලැබුණා සේ, බොන්න වතුර ටිකක් නොමැති ගමකට බොන්න වතුර ටිකක් ලැබුණා සේ, අලි කඩා දැමූ නිවසක් නැවත සාදා දුන්නා සේ සතුටක් ගෝඨාට ලැබිය හැකිය.
නීති අණපනත් මොනවා ගෙන ආවත් අවුල ඇත්තේ මෙතැනය. හමුදාවට සිතූ පැතූ දේ කරන්න පුළුවන් යැයි ගෝඨා සිතන බැවිනි.

ගෝඨා විනයගරුක සමාජයක් හදන්නට වලිකෑවේ අද ඊයෙක සිට නොවේ. ඔහු ආරක්ෂක ලේකම් ධුරයේ සිටින සමයේ පටන් විනයගරුක සමාජයක් හදන්නට උත්සාහ දැරුවේය. එම උත්සාහයේ තවත් එක් කූඨප්‍රාප්තියක් ලෙස මේ නිරෝධායන සහ රෝග වැළැක්වීමේ පනත හැඳින්විය හැකිය. මේ නීති ගෙන ආවද ඒවා ක්‍රියාත්මක වන්නේ කිසිදු ප්‍රායෝගික තලයක් තුළ නොවේ. පසුගිය දිනක බොරැල්ල ප්‍රදේශයේදී යුවළක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රුපියල් ලක්ෂ එකහමාරක ඇප මත නිදහස් කර තිබුණේ ඔවුන් මුඛ ආවරණ නොපැළඳීමේ වරදටය. ඔවුන් මුඛ ආවරණ නොපැළඳ සිට ඇත්තේ ඔවුන් ආපනශාලාවක් තුළ ආහාර ගනිමින් සිටි නිසාය. මේවා කෙතරම් ජුගුප්සාජනකද? රටක නීතිය ක්‍රියාත්මක විය යුත්තේ රටේ ජනතාව ආරක්ෂා කිරීමට විනා ඔවුන් පීඩාවට පත් කිරීමට නොවේ.


ඩෙංගු මර්දනයටද මෙ ආකාරයටම නීති ගෙන ආවේය. නිවෙස්වලට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැමිණ ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පවත්වාගෙන යන්නේ යැයි බොහෝ දෙනෙකුට නඩු පැවරුවේය. අද රෑ වැස්සොත් හෙට උදේ ඔවුන් නිවෙස්වලය. ඔවුන්ගේ එකම අභිප්‍රාය වූයේ ඩෙංගු මර්දනය නොව, ඩෙංගු මදුරුවන් ඇති කළා යැයි නඩු පැවරීමය. එයටද නීතිය ක්‍රියාත්මක වූයේ මුල් කාලයේ පමණි. එයින් පසුව නිරීක්ෂණ සටහන් කරන කහ කාඞ්පත් පුස්කමින් නිවෙස්වල විය. ඩෙංගු පරීක්ෂා කරන්නට නිලධාරීන් එන බව ඔවුන් එන්නට පෙරම නිවැසියන්ට දැනගන්නට ලැබෙයි. ඒ නිසා එදිනට පමණක් පොල්කටු මුනින් හරවන්නට ජනතාව ක්‍රියා කළේය. ගෝඨා විනයගරුක සමාජයක් හදන්නට උත්සාහ කළේ එසේය.


මුඛ ආවරණ පැළඳීමේ නීතිය සාමාන්‍ය ජනතාවට පමණි. හන්දිගානේ සිටින පොලිස් නිලධාරීන්ගෙන් බහුතරයකගේ මුව ආවරණ බෙල්ලෙහිය. නැත්නම් සාක්කුවේය. ඒ මුව ආවරණ පළඳින්නේ ප්‍රදර්ශනාත්මක භාණ්ඩයක් ලෙස විනා සෞඛ්‍ය ආරක්ෂාවට නොවේ. ඇතැම් බස් කොන්දස්තරලාගේ මුව ආවරණ මාස ගණනාවකින් සෝදා නැත. ඒවා පැලඳ සිටින ඔවුන්ට සෑදෙන්නේ කොරෝනා නොව සොයා ගන්නටවත් නොහැකි රෝගයකි. මෙවැනි නීති අණපනත් ගෙන ආ යුත්තේ ජනතාව සෞඛ්‍යමත් ජීවිතයක් ගත කිරීමට උවමනා පරිදි මිසක් ප්‍රදර්ශනාත්මක නිරූපිතයන් ලෙස නොවේ.


තව ටික දිනකින් මුව ආවරණ පැළඳ නොසිටියේ යැයි හමුදාව පැමිණ මිනිසුන් කුදලාගෙන යන්නට හැකිය. තුවක්කු රැගෙන පළාතටම සද්දෙ දමාගෙන ඔවුන් ත්‍රස්තවාදීන් ලෙස කුදලාගෙන යාමට හැකිය. නිසි බලධාරියාගේ බලය ශවේන්ද්‍ර පවරාගෙන දිවයිනම යුද භූමියක් බවට පත් කළ හැකිය. ඒ අතරවාරයේ ගෝඨාගේ විනයගරුක සමාජයට අවනත නොවන එකෙකු දෙන්නෙකු උණ්ඩයකින් කොරෝනා සෑදී මියපරලොව යන්නටද හැකිය.


රජය තමන්ට උවමනා ලෙස නීති සකසමින් ඒවා ක්‍රියාත්මක කරමින් සිටී. අවසානයේ කුමක් වූවත් එහි වරද ජනතාව පිට පැටවෙනු ඇත. ■