නාලක ගුණවර්ධන

2020 වසර පුරාම අප මුහුණ දී සිටින වසංගත ආපදා තත්වය හමුවේ අලුත්ම තොරතුරු නිවැරදි සහ නිරවුල් ලෙස ලබා දීමට ජනමාධ්‍යවලට ලොකු වගකීමක් තිබෙනවා.


වසංගතයේ පැතිරීම සහ වැළැක්වීම ගැන නිවැරදි තොරතුරු එකතු කිරීම, විශ්ලේෂණය කිරීම සහ ප්‍රවෘත්ති ලෙස ඒවා සම්පාදනය කොට විගසින් බෙදා හැරීම කරනවාට අමතරව, සමහරක් මාධ්‍යවේදීන් තමන්ගේ පෞද්ගලික ආකල්ප සහ මතවාද එයට එකතු කරනු අප දකිනවා.


COVID-19 රෝගය ඇති කරන, ඇසට නොපෙනෙන SARS-CoV-2 වෛරසය ආසාදනය වූවන් රෝගීන් හෝ ආසාදිතයන් යයි හඳුන්වනවා වෙනුවට, ඔවුන් අපරාධකරුවන් හා පාපතරයන් ලෙස හැඟීම් ඇති කරන විදියේ සාහසික මාධ්‍යකරණයක් මේ දිනවල යළිත් වරක් සමහර පත්තර, රේඩියෝ සහ ටෙලිවිෂන් අන්තර්ගතයේ හමු වනවා.
ඔක්තෝබර් 4 වනදා දිවුලපිටිය ප්‍රදේශයේ ඇඟලුම් සේවක සේවිකාවන් අතරින් නව COVID-19 ආසාදිත පොකුරක් මතුවීමෙන් පසු යළිත් වරක් ආසාදිතයන් මත වරද පැටවීමේ සහ ඔවුන්ට දැඩි ලෙස නින්දා කිරීමේ අශිෂ්ට මාධ්‍යකරණයක් ඉස්මතු වී තිබෙනවා.


පසුව ඇගේ දියණියටද මෙම රෝගය ආසාදනය වී ඇති බව සොයා ගත්තා. ඇතැම් ජනමාධ්‍ය මේ සිදුවීම් වාර්තා කළේ එම ආසාදිත කාන්තාව හා ඇගේ දියණිය සිදු කළ “අපරාධයක්” ලෙස හුවා දක්වමින්.


රාජ්‍ය මාධ්‍යයක් වන ITN ශ්‍රී ලංකා ප්‍රවෘත්ති නිවේදකයා ඔක්තෝබර් 5 වනදා සවස සිරස්තල ඉදිරිපත් කළේ “දිවුලපිටියේ අම්මගෙයි දුවගෙයි කොරෝනාව” හැටියටයි.


එම කාන්තාවට වෛරසය ශරීරගත වීමේ මූලාශ්‍රය සොයා ගැනීමට මේ දක්වා සෞඛ්‍ය බලධාරීන්ට හැකි වී නැතත්, ඇගේ චරිතය ඝාතනය වන පරිද්දෙන් නොයෙක් ආකාරයේ අනුමානයන් සහ ප්‍රබන්ධයන් ලෙස සමහර මාධ්‍ය ආයතන ප්‍රවෘත්ති ලෙස ඉදිරිපත් කළා.


එම සතියෙම FM දෙරණ නාලිකාවේ අනුපමා වැඩ සටහනේ නිවේදකයා මෙහෙම ප්‍රශ්නයක් මතු කළා: “ඇඟලුම් කර්මාන්ත සේවිකාවන් ඉස්සරත් දැනුත් දැන් බයෙන් සිටින්නේ කුමක් සම්බන්ධයෙන්ද?” නිවේදිකාව එයට මෙසේ පිළිතුරු දුන්නා: “පොසිටිව් වීම!”


ඇඟලුම් සේවිකාවන් පිළිබඳව මෙවැනි අවඥා සහගත කතා ජන සමාජයේ හමු වන බව ඇත්ත. එහෙත් රටටම ඇහෙන්න විද්‍යුත් මාධ්‍යයක කතා කරන නිවේදක දෙපළ චාරයක් නැති මෙවැනි කතා කීම හරිද?

FM නිවේදකයන් බොහෝ දෙනකු ගුවන් තරංගවල වල්පල් දෙඩවීම මේ වන විට සාමාන්‍ය දෙයක් වී ඇතත්, වාචාලකමටත් කිසියම් හෝ සීමා තිබිය යුතුයි නේද?


ඔක්තෝබර් 6 වනදා ලංකාදීප පුවත්පතේ සිරස් තල දෙකකම කොරෝනා කතා යන යෙදුම ලොකු අකුරින් භාවිත කර තිබුණා. ඇය මෙසේ හංවඩු ගැසීමට මාධ්‍ය මෙතරම් උත්සුක වුණේ ඇය ඇඟලුම් කර්මාන්ත සේවිකාවක වන නිසාද?
උත්ප්‍රාසයට කරුණ නම් මුද්‍රිත මාධ්‍ය කර්මාන්තයටම මාධ්‍ය ආචාරධර්ම සම්පාදනය කරන කර්තෘ සංසදයේ වත්මන් ප්‍රධානියා ලංකාදීප කතුවරයා වීමයි! වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමු ඒ අමාරුව?


මා ඉහත ගෙනහැර දැක්වූයේ උදාහරණ කිහිපයක් පමණයි. මෙම අශිෂ්ට මාධ්‍යකරණය ගැන කම්පනයට පත් (මාත් ඇතුළු) පුරවැසියන් ගණනාවක් අත්සන් කළ ප්‍රකාශයක මේ තත්ත්වය විග්‍රහ කළේ මෙලෙසයි:
“විශේෂයෙන්ම මෙම අසාධාරණයට ඇය ලක්වීමට මුලිකම හේතුව ඇය ඇඟළුම් කම්හලක සේවය කරන කාන්තාවක් වීමත් සමාජයේ පහළ ස්ථරයකට අයත්වීමත් බව පෙනෙන්නට තිබේ. ඇය, මෙම අවස්ථාවෙහි දස දහස් ගණනාවක් වන ඇඟලුම් සේවිකාවන් අතර කළු පැල්ලමකි. මෙම අශිෂ්ට වාර්තාකරණයන් නිසා අදාළ ප්‍රදේශයන්හි ඇඟලුම් සේවිකාවන්ද විසම සැළකීම්වලට ලක් වෙමින් ඇති බවද වාර්තා වේ.”


එම ප්‍රකාශයේ මුලදීම අප කියා සිටියේ මෙයයි: “සමාජීය ඛේදවාචකයක් අවස්ථාවක වින්දිතයින් මෙලෙස මානසික පීඩනයකට මෙන්ම අවමානයට සහ කොන් කිරීමට හේතු වන මෙම කණගාටුදායක ප්‍රවණතාවය නිසා කම්පනයටත් වේදනාවටත් පත්ව සිටිමු.”


සම්පූර්ණ ප්‍රකාශය මෙතැනින්:https://bit.ly/2GVMNYB

මෙවැනි චරියා Facebook වැනි සමාජ මාධ්‍යවලද දැකිය හැකි නමුත්, එවැනි වේදිකාවල නොයෙක් පුද්ගලයන් කරන ආගිය කතාවලට බෙහෙවින් වැඩි වගකීම් සහගත හැසිරීමක් අපි මහා මාධ්‍යවලින් අපේක්ෂා කරනවා.


මුද්‍රිත මාධ්‍යවලට නම් ආචාර ධර්ම මාලාවක් තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා කර්තෘ සංසදය විසින් සම්පාදනය කරනු ලැබ, අවසන් වරට 2015 සංශෝධනයට ලක් වූ මාධ්‍ය වෘත්තිය ප්‍රතිපත්ති (ආචාර ධර්ම) සංග්‍රහයයි. https://bit.ly/3bdJ95z


ශ්‍රී ලංකාවේ රේඩියෝ සහ ටෙලිවිෂන් මාධ්‍ය ආයතනවලට පොදු මාධ්‍ය ආචාරධර්ම මාලාවක් නැහැ. විද්‍යුත් මාධ්‍ය හරහා අගතියට පත් කෙනෙකුට පැමිණිල්ලක් කරන්නට හෝ සහනයක් පතන්නට කිසිදු යාන්ත්‍රණයක් ඇත්තේ ද නැහැ.


වත්මන් වසංගත වාර්තාකරණයේදී මගපෙන්වීම ලද හැකි, 2020 අප්‍රේල් මාසයේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ COVID-19 සම්බන්ධ වාර්තාකරණයේදී භාවිත කළ යුතු නිර්දේශ’ මාලාවක් තිබෙනවා. සමහර මාධ්‍ය ආයතන ඒවා අමු අමුවේ උල්ලංඝණය කරනවා.


ඔක්තෝබර් 11 වනදා සියලුම මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙත විවෘත ලිපියක් ලියමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව ඉල්ලා සිටියේ COVID-19 සම්බන්ධයෙන් පුවත් වාර්තාකරණයේ දී වඩා වගකීම් සහගතව ක්‍රියා කරන ලෙසයි.


එහි මෙසේ ද සඳහන් වුණා: “…වෛරසය ආසාදිත හෝ නිරෝධායනයට ලක් කරන හෝ පුද්ගලයන් පිළිබඳව ප්‍රවෘත්ති වාර්තාකරණයේ දී ඇතැම් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ මෙම පුද්ගලයන් නිරෝධායනය හෝ රෝහල් ගත කිරීම සඳහා රැගෙන යන ආකාරය, ඔවුන්ගේ නිවාස හෝ ආශ්‍රීත පරිසරය ආදී එම පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට හානි වන අන්දමේ දර්ශන විකාශය කිරීම දිගටම සිදු කෙරෙන බව නිරීක්ෂණය වේ. එමෙන්ම ඇතැම් අවස්ථාවන්හිදී රෝගීන් හා ආශ්‍රීතයින් යනු සමාජ විරෝධීන් ලෙස හැඟෙන ආකාරයට ඇතැම් මාධ්‍ය මඟින් කරුණු ඉදිරිපත් කරනු දැකිය හැකිය.”


මෙම අශිෂ්ට මාධ්‍යකරණයේ බිහිසුණු ආදීනව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සාවධානව මෙසේ පෙන්වා දුන්නා: “මෙවැනි දර්ශන විකාශය කිරීම මගින් ජනතාව නිසි ලෙස දැනුවත් කිරීමේ කාර්යයට ඵලදායී දායකත්වයක් නොලැබෙන අතර, සිය පෞද්ගලිකත්වයට හානි වන දර්ශන සමාජගත වීමේ අවදානම නිසා යම් පුද්ගලයන් ප්‍රතිකාර හෝ නිරෝධායනය සඳහා ඉදිරිපත් නොවීමේ අවස්ථාද එළඹිය හැකිය”


ශ්‍රී ලංකා තරුණ ජනමාධ්යවේදීන්ගේ සංගමය ද මේ ගැන නිවේදනයක් නිකුත් කරමින් එම කරුණම අවධාරණය කළා: “රෝගය ආසාදනය වූවන් ඉදිරිපත් නොවීමට සහ ඉදිරිපත් වීමට බියක් දැක්වීමට ප්‍රධානම හේතුව ජනමාධ්‍ය මගින් COVID-19 ආසාධිතයන් අපරාධකරුවන් සේ සලකා කරන වාර්තා කිරීම සහ ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානියක් වන ආකාරයට වාර්තා කිරීම බව අපගේ විශ්වාසයයි.”


ජනමාධ්‍ය ප්‍රවීනයන් සහ දශක ගනන් අත්දැකීම් ඇති සමහර කතුවරුන් මාධ්‍ය ආචාරධර්ම අමු අමුවේ දිනපතා කඩන විට, තරුණ මාධ්‍යවේදීන් මෙසේ හඬ නැගීම ප්‍රශංසනීයයි.


තරුණ ජනමාධ්‍යවේදීන් තව දුරටත් පෙන්වා දුන්නේ මෙයයි: “COVID-19 ආසාදිතයන් සහ ආසාදනය වූවායැයි සැක කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පසුගිය මාර්තු මාසයේ සිටම ඇතැම් ජනමාධ්‍ය වාර්තා කළේ ආසාදිතයන් වැරදිකරුවන්යැයි යන හැඟීම මහජනතාවට ඇති වන අයුරින් සහ ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානි වන අයුරින්ය. මීට පෙර කොරෝනා බෝ කරන්නේ එක්තරා ජාතියකට අයත් පිරිසක් බවට ඒත්තු ගැන්වීමට පසුගිය මාර්තු සහ අප්‍රේල් මාසවල ව්‍යාජ පුවත් පවා ඇතැම් ජනමාධ්‍ය වාර්තා කළ අතර එය සමාජයේ දැඩි කතාබහකට ලක් විය.”
සම්පූර්ණ ප්‍රකාශය මෙතැනින්: http://bit.ly/3nR1T20


ප්‍රකාශන නිදහසේ ම දිගුවක් වන මාධ්‍ය නිදහස දිවා රාත්‍රී භුක්ති විඳින අතර, වගකීම් සහගතව සහ ශිෂ්ට සම්පන්නව ක්‍රියා කිරීමට සමහර විද්‍යුත් මාධ්‍යවේදීන් සහ කතුවරුන් දිගටම අසමත් වන්නේ ඇයි?


මේ ගැන සාකච්ඡා කරන හැම විටකම මෙයට බලපාන නොයෙක් ව්‍යුහමය සාධක මතු කෙරෙනවා. ග්‍රාහක පිරිස වැඩි කර ගන්න මාධ්‍ය අතර තිබෙන දැඩි තරගකාරීත්වය (විශේෂයෙන්ම විiුත් මාධ්‍යවල රේටින් පොරය), ප්‍රාග්ධනය සහ හිමිකාරීත්වය වැනි සාධක පසුබිමේ තිබෙන බව ඇත්තයි.


එහෙත් අපේම සහෝදර පුරවැසියන් ගැන පරපීඩකයන් හැටියට ක්‍රියා කරමින් නිර්දය ලෙසින් මාධ්‍යකරණයේ යෙදීම ගැන ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට මෙන්ම මාධ්‍ය ප්‍රධාන කාර්යාලවල තීරක මට්ටමේ සිටින කතුවරුන්ට සහ පුවත් අධ්‍යක්ෂකවරුන්ට කිසිම ලැජ්ජාවක් හෝ කම්පනයක් නොමැතිද?


මා මින් පෙර කිහිප අවස්ථාවක පෙන්වා දී ඇති පරිදි, ආචාරධර්ම කඩමින් සිදු කරන අශිෂ්ට මාධ්‍යකරණයේ වගකීම මුළුමනින්ම මාධ්‍ය හිමිකරුවාට හෝ වෙළඳපොළට හෝ පැවරීමට නොහැකියි. එසේම රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම මාධ්‍ය මේ වැරදි දැන දැන කරනවා.


පරමාදර්ශී මාධ්‍යකරණයක යෙදීමට අවශ්‍ය සියලු සාධක සපුරා ගත නොහැකි වුවත්, සිය හෘදය සාක්ෂියට එකඟව හැකි තාක් වෘත්තීය මට්ටමින් වැඩ කිරීමට යම් ඉඩක් තවමත් සොයා ගත හැකියි. එසේ කරන මාධ්‍යවේදීන් සහ මාධ්‍යවේදිනියන් ටික දෙනකු ගැන මා දන්නවා.


මේ දුෂ්කර අවස්ථාවේ, තමන්ට වෛරස් ආසාදනය වීමේ අවදානමද නොතකා වසංගතය පිළිබඳව වගකීම් සහගතව වැඩ කරමින් සිටින මාධ්‍ය වෘත්තිකයන්ට අපි ප්‍රණාමය පුද කරමු.


එහෙත් කිරි කළයකට ගොම ටිකක් එකතු වුණත් සමස්ත කිරි කළයම අපතේ යනවා වගේ ජනමාධ්‍ය තක්කඩියන් කරන අමන වැඩ නිසා මුළු මාධ්‍ය ප්‍රජාවම මේ දිනවල දැඩි මහජන අප්‍රසාදයට ලක් වී සිටිනවා.

මේ කර්මාන්තය තුළ උඩුගම් බලා පිහිනීමට නොහැකි නම් (මෑතකදී එවැනි දුර්ලභ මාධ්‍යවේදීන් කිහිප දෙනකු කළාක් මෙන්) මහා මාධ්‍ය කසල ගොඬේ දිගටම ලැග නොසිට ආත්ම ගරුත්වය රැක ගෙන නික්ම යා හැකියි.


එසේ නික්ම ගිය සමහරුන් මේ වන විට කුඩා පරිමාණයෙන් ප්‍රමිතිගත ඩිජිටල් මාධ්‍ය කලාවක නිරත වෙනවා. මාධ්‍ය කලාවේ අනාගත පැතුම ඇත්තේ එතැනයි.


මෙය මාධ්‍යවේදීන්ගේ හැදියාව සහ ශිෂ්ට සම්පන්න බව උරගා බැලෙන අවස්ථාවක්. ලක් සමාජයේ තිබෙන අධිපතිවාදය සහ පරපීඩක නැඹුරුව එලෙසින්ම ජනමාධ්‍ය ආයතනවල සහ එම කර්මාන්තයේ නිරත පුද්ගලයන් තුළත් හමු වනවා.


වින්දිතයාට හා පීඩිතයාට දත නියවීම සහ දිගින් දිගට පහරදීම ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය පටන් ගත්තේ අද ඊයේ නොවෙයි. වාර්ගික සහ ආගමික සුළුතරයන්, වතුකරයේ ප්‍රජාවන්, HIV ආසාදිතයන්, ලිංගික ශ්‍රමිකයන් වැනි සමාජයේ පීඩිත ස්ථරයන් සහ පිරිස් තව තවත් පීඩාවට පත් කරන්නට අපේ සමහර මාධ්‍ය හරි හපන්.


මේවා කෙතරම් විවේචනය කළත් ජනමාධ්‍ය කසල ගොඩින් අත්මිදීමට බොහෝ අයට උවමනාවක් නැති පාටයි. ඒ නිසා වෙනත් ආකාරයක ප්‍රවේශයක් මා කල්පනා කළා.


කර්තෘ සංසදය වාර්ෂිකව මෙරට මුද්‍රිත මාධ්‍යයට අදාළව විශිෂ්ටතා සම්මාන පිරිනමනවා. 2019 වර්ෂයේ මාධ්‍යකරණය සඳහා සම්මානවලට අයදුම්පත් කැඳවන දැන්වීම් මේ දිනවල පුවත්පත්වල පළ වී තිබෙනු දැකිය හැකියි.
පොදු උන්නතිය වෙනුවෙන් අවංකවම කැප වී, ජනමාධ්‍ය ආචාර ධර්ම ද රකිමින් ක්‍රියා කරන මාධ්‍ය වෘත්තිකයන් ටික දෙනා ඇගයීමට ලක් කිරීම වැදගත්. එහෙත් බහුතරයක් ජනමාධ්‍ය අයාලෙ යමින් සිටින අද කාලයේ, අශිෂ්ටතම ජනමාධ්‍යකරණය සම්බන්ධයෙන්ද යම් තේරීමක් කළ හැකියි!


එවැනි බක-සම්මාන පිරිනැමීමකදී නොයෙක් ආකාරයේ ජනමාධ්‍ය නොපනත්කම් සැලකිල්ලට ගත යුතුයි. මට හිතෙන බක-සම්මාන කිහිපයක් මෙන්න:


■ වර්ෂයේ අමානුෂිකම පරපීඩක වාර්තාකරණයට
■ පට්ටපල් බොරු වැඩිම සංඛ්‍යාවක් ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස ඉදිරිපත් කිරීමට
■ වර්ෂයේ අශිෂ්ටතම සිරස්තල නිර්මාණයට
■ දිගින් දිගටම කාන්තා විරෝධී ලෙසින් බස හැසිරවීමට
■ මනුෂ්‍යත්වයට මුළුමනින්ම එරෙහි වන පුවත් සේයාරූකරණයට
■ නිවට නියාලු ලෙස මාධ්‍ය හැසිරවීම සඳහා වැඩිපුරම හැකියාව පෙන්වූ කතුවරයාට
■ වර්ෂයේ අශිෂ්ටතම පුවත්පත, ටෙලිවිෂන් නාලිකාව හා රේඩියෝ නාලිකාව
■ වැඩිම වාරයක් මාධ්‍ය ආචාරධර්ම කඩ කිරීමට සමත් වූ මාධ්‍යයට
■ අවඥාව, අසංවේදී බව සහ අමනෝඥ බව හොඳින්ම මූර්තිමත් කරන නිවේදකයාට
■ අන් අයට ආචාරධර්ම නිර්දේශ කරමින් තමන් ඒවා නිතිපතා කඩ කරන කතුවරයාට


තවත් ජනමාධ්‍ය අශිෂ්ටතා සම්මාන ඔබටත් යෝජනා කළ හැකි වේවි. සම්මානලාභීන් තෝරා ගන්නේ කොහොමද?
ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන තෝරන්නේ කර්තෘ සංසදය පත්කරන කිහිප දෙනකුගේ විනිශ්චය මණ්ඩලයක් විසින්. එහෙත් අශිෂ්ටතම ජනමාධ්‍යකරණයට දෙන බක-සම්මාන සඳහා එම මාධ්‍ය නොපනත්කම්වලින් සංවේගයට හෝ කෝපයට පත් මාධ්‍ය ග්‍රහකයන්ගෙන් නාමයෝජනා කැඳවා, ඔවුන්ගේම වැඩි ඡන්දයෙන් (වැඩි අමනාපයෙන්?) බක-සම්මානලාභීන් තෝරා ගත හැකියි.


කාටුනය: The Morning පුවත්පතේ කාටුන් ශිල්පී ආර්. සී. ප්‍රදීප්කුමාර් විසින්