ටිරන් කුමාර බංගගමආරච්චි/ රසික ගුණවර්ධන

ජීවිතේ කර්කෂ වෙච්ච තරමට හිතේ කහට ගැන හිතන්නට වෙලාවක් නැති බව මේ ජීවිත අපිට පෙන්වනවා. කඩිජා උම්මාන්ගේ මිදුලේ ඒ අයගේ ප‍්‍රශ්න පත‍්‍රය අපිට දිග ඇර පෙන්වන කොට ඉබේටම අසල්වැසියෝ මිදුලේ පිරුණේ හැමට ඇත්තේ එකම ප‍්‍රශ්න මාලාව වූ නිසයි. අව්වට දර කෝටු මෙන් වියළී ඇති ශරීර මේ කර්කෂ පරිසරයේ හෙම්බත් වී ඇති තරම ඇහැට දනවන්නේ අඳුරු දසුනක්. ඒත් ඊට වඩා ප‍්‍රශ්නය දුක්බරයි. වසර ගණනාවක් දිවි ගෙවූ උපන් බිම්කඩ අත අරින්න බැරි නොහැකියාවයි. කොතරම් දුෂ්කර බව අපට හැඟුණත් ඒ ශරීර ඒ බව විද්‍යමාන කළත් ඒ හැම අහලකම ඇත්තේ ඔවුන්ගේ ජීවයයි. එළු පට්ටි, කුකුල් ගාල්, කුඹුරු මේ හැම තුළ ඇත්තේ මොවුන්ගේ ශ‍්‍රමයයි. එය විසික්ක කොට මේ ජීවිත කොහාට හෝ ගාල් කරනවාට මේ අය විරුද්ධයි. පරම්පරා ගණනාවක් උස් මහත් වූ තම ඉඩකඩ අතහැර කොයි යන්නද? මේ සෑම අයකුටම ඇති පැනයයි. උස් හඬින් වගකියුතු බලධාරීන්ගෙන් ඔවුන් අසන්නේ එපමණයි.

”මම ඉපදුණේ මෙහේ. මගේ දෙමාපියෝ මේවට එනකොට මේවා ජීවත් වෙන්න බැරි තරම් දුෂ්කර පරිසර. අපි තමයි කුඹුරු කරලා එළුවෝ, කුකුල්ලූ පට්ටි දාලා මේවා ගම්මාන කළේ. එදා හිටි ගොඩක් අය අද නෑ. ඒ අය මැරිලා. මගේ දෙමාපියන් පවා මැරිලා දැන් ඉන්නේ අපි. මටත් වයස හැත්තෑ ගාණක්. මගේ ළමයි තමයි මේවා බලා ගන්නේ. අනූ ගණන්වල මුල එල්ටීටීඊ එකෙන් කුඹුරු වැඩ කරමින් හිටපු අයව මරලා දැම්මා. ඒ බයට අපි ඔක්කොම ගෙවල් දොරවල් දාලා ආරක්ෂා වෙන්න ගියා. ඒත් ඒවයේ ජීවත් වෙන්න අමාරුයි. අපි දන්න කර්මාන්තේ තියෙන්නෙ මෙතැන. ඕන එකක් කියලා ආයේ අනූ හතරේ මෙහේට ආවා. මැරෙන්නත් ජීවත් වෙන්න එපැයි.”

කඩිජාගේ කුඩා ශරීරය ඇතුළේ මෙතරම් කතාකාරියක් සිටිතැයි කිසිවිටෙකත් අපි නොසිතුවෙමු. මේ සටනේ පෙරමුණු ගෙන ක‍්‍රියා කරන්නේ ඇය යැයි කී විට ඒ දැක්ම අප පුදුම කළමුත් ඇගේ කතා කලාව ඔප්පු කළේ ඒ කුඩා ශරීරය ඇතුළේ යෝධ ගැහැනියක සිටින බවය. පිරිමි පසෙකලා මේ ගැහැනිය පෙරමුණ ගෙන ඇත්තේ මේ ප‍්‍රශ්න හෙම්බත් කර ඇති තරම කියා පාමිනි. සියල්ල ලිහා ගන්නට හොඳම පාපෝච්චාරණය ඇයමය.


”ඉස්සර අපෙ අම්මා තාත්තා ටවුමට ගියාම හයට ගියොත් නවයට එන්නෙ. අපි ගෙවල්වල ? හිටියට බයක් තිබුණෙ නෑ. මේවා අපේ තැන්. කළුවර වුණාට අපේ ජීවිතවල කළුවර තිබුණේ නෑ. ඒත් 2011දී මෙතන කෑම්ප් එකක් දාන්න ඕන කියලා හමුදාවේ අය ඇවිත් අපිට කිව්වා කෑම්ප් එක හදනකම් අපේ වත්තේ කූඩාරම් ගහගෙන ඉන්නද කියලා. අපි අකමැති වුණත් ඒ දේ වෙන හින්දා අපි කරබාගෙන හිටියා. ඒත් යන්න ආපු අය කෑම්ප් එක හැදුවත් අපේ වතුත් කෑම්ප් එකේම කොටස් කළා. ඒ කරලා අපිට එළියට යන්න කිව්වා. අපි ගියේ නෑ. අපිට විරුද්ධව නඩු දැම්මා. නඩුවෙන් අපි දින්නා. අද කෑම්ප් එක කුඩා වෙලා අයිනක තියෙනවා. අපිට කරදරයක් නැහැ. ඒත් දැන් අපිට වනජීවී එකෙන් ඇවිත් කියනවා මේ ඉඩම් කැලෑ ඉඩම්. මේවා අයිති වනජීවී එකට. ඒ නිසා වහාම අත්ඇරලා යන්න කියලා. අපේ දෙමාපියෝ පනස් ගණන්වල මෙතනට ඇවිත් තියෙන්නේ. මම ඉපදුණෙත් මෙහේ අසූව මුල. මම කසාද බැන්දම මගේ දෑවැද්දට ඒ අය මේ ඉඩම දුන්නා. මගේ පවුල ඉන්නේ දැන් මෙතන. අපි ගොවිතැන් කරගෙන එළුවා, කුකුළා හදාගෙන අවුරුදු ගණන් ජීවත් වුණ තැන් එකපාරට ඇවිත් මේවා අනවසර යන්න කියන කොට අපි කොහේ යන්නද? කොටි කලබල කාලෙත් අපි මේවයේ වැසුවා. මේ තරම් දුකක් තිබුණේ නෑ. අද වන ජීවී එකම අපිව එළුවෝ කුකුල්ලූ ගාණට දාලා සලකනවා.

අපිට ඉඩම් බලපත‍්‍ර තියෙනවා. ලයිට් වතුර තියෙනවා. සමෘද්ධි තියෙනවා. ඡුන්දෙ තියෙනවා. ආණ්ඩු ගණනාවකට අපි ඡුන්දය දුන්නා. කාටත් කරදරයක් නැති අපිව එළවන්නේ ඇයි? අපිට අවුරුදු හැත්තෑවක් ජීවත් වෙච්ච ඉඩම් අපේ කියන්න බැරිද? මේ අවට හැම කුණුම අපේ මායිමට ගෙනත් දාලා. අද කුණු කන්න අලි රංචු පිටින් එනවා. ඒ ඇවිත් ගමටත් කඩා වදිනවා. අපිට කවදාවත් කොටි කරදර තිබුණට අලි කරදර තිබුණේ නැහැ. දැන් ඒකත් තියෙනවා. අපි මුස්ලිම් ජනයා වුණත් අපිත් මේ රටේ මිනිස්සු නේද? අපි ගොවිතැන් කරගෙන ජීවත් වෙන්නෙ.

අපිට අද එදා වේල හොයා ගන්න අමාරුයි. මේ නඩු කරදර හින්දා අපේ ගොවිතැන් නතර වෙලා. අපි උසාවි ගාණේ රස්තියාදු වෙවී ඉන්නවා. එක පාරක් අපිට ඉන්න කියලා තීන්දුව ආවා. දැන් ආයේ නඩු දාලා. ඇයි අපිට මෙහෙම කරන්නේ. ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇවිත් බලන්න අපි කැලේකද ඉන්නේ ගමකද ඉන්නේ කියලා. අපි සතුටින් හිටියේ අපේ කියලා ඉන්න තැනක් තියෙන හින්දා. ඒත් දැන් ඒකත් ගන්න හදනවා. අපිට මේවා දීලා යන්න තැනක් නැහැ. අපි කොටි කලබල අස්සෙත් හිටියෙ මේවයේ. ඒ අපේ කර්මාන්ත ජීවිත මේ භූමියේ තියෙන නිසයි. අපි ආණ්ඩුවලින් ලොකු දේවල් ඉල්ලලා නැහැ. ඉල්ලන්නෙත් නැහැ. ඒත් දැන් ඉල්ලන ලොකුම දේ අනේ අපිට අපේ බිම්වල ඉන්න දෙන්න.”

කඩිජා උම්මාන්ගේ කතාව ඒ ග‍්‍රාමයේ හැමට උචිත කතාවය. පොදු කතාවය. කතාවට ඇති එකම බාධාව මැස්සෝය. ඒ ඉන්නා මොහොතක් පාසා මැසි හමුදා ශරීරයම ආක‍්‍රමණය කරනුයේ පුදුම වේගයෙනි. මේ ගම මායිමේ කුණු කඳු ගැසී මහා කුණු කන්දක් වී ඇත. මෙයද එපා වාහෙට හොදි බෙදන්නා සේ මොවුන්ට දුන් දඬුවමක්මය. දීඝවාපී මායිමත් මේ ගම්මානයත් අතර ඉදිවූ යෝධ හරස්කඩ මේ කුණු කන්ද වී ඇත. දීඝවාපී අවට තව සිංහල ගම්මාන බිහිවෙමින් පවතින බවත්, ඊට ශක්තිය දෙන්න භික්ෂූන් පෙරමුණ ගෙන ඇති බවත් සැලය. ඒ රැුල්ල ටිකෙන් ටික මේ ගම්මානවලටත් හමන්නේ මැසි උවදුර මෙන් යැයි කතාවලින් පැහැදිලි වේ.

මායිම්

පොතුවිල් සිට අක්කරේපත්තුවට ජනතා සන්තකේ ගිය අපිට අක්කරේපත්තුවේ පිහිටි මේ ‘අෂ්රෆ් නගර්’ ගම්මානයේ ජනයාගේ සන්තකයට ඇති ඉඩම් ඩැහැ ගන්නට මාන බලන කතා එමට අහන්නට ලැබුණි.
අෂ්රෆ් ඇමතිවරයා මියගිය පසු මේ ගම්මානවලට නව පණක් දෙන අදහසින් අෂ්රෆ් නගර් නම යොදා ඇත. මේ අවට කිසිදු බිම්කඩක අෂ්රෆ් ඇමතිවරයා පය ගසාද නැත. එහෙත් ගමට කෙසේ වෙතත් ඔහුට පණදීමට මේ ගම්වලට ඔහුගේ නම යොදා ඇත. ගම්මු කියනුයේ ඔවුන්ටත් ඒ නම දැමීම පුදුම බවය. ඔවුන්ට ඉඩම් බලපත‍්‍ර ලැබී ඇත්තේ ජයවර්ධන සහ පේ‍්‍රමදාස යුගවලය. ‘අෂ්රෆ් නගර්’ පිහිටා ඇත්තේ ඔලූවිල් ග‍්‍රාමයේ අඞ්ඩාලච්චේනයි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අක්කරයිපත්තුව අධිකරණ බල ප‍්‍රදේශයේ අම්පාර දිස්ත‍්‍රික්කයකට යටත්වය.

ජීවනෝපාය

අක්කර එකසිය පනහක් පමණ ප‍්‍රදේශයක් පුරා පැතිරී ඇති මෙම ග‍්‍රාමය ඉඩම් හිමිකරුවන් හැටනව (69* දෙනකුගේ සහ ඔවුන්ගෙන් යැපෙන පුද්ගලයන් 275 දෙනකුගෙන් යුක්තය. ගොඩ ඉඩම් වගා කිරීම, සත්ව පාලනය මේ ප‍්‍රදේශවල ප‍්‍රධාන ජීවනෝපායය. වසර දහයකට නොවැඩි කාලයක සිට හමුදාව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ මිනිසුන් එලවන්නට හැකි සෑමදේම කරමින් සිටිති. ඒ ඇයි? කාගේ වුවමනාවටදැයි ප‍්‍රශ්නාර්ථයකි.

පොදු ප‍්‍රශ්නය

මේ ප‍්‍රදේශයේ හැමගේ කතා කඩිජා උම්මා කී පන්නයේ කතාමය. වෙනස ඇත්තේ ඒ කතා කියන නම් හා ශරීරවලය. පොදුවේ එය කෙටි කළහැක්කේ මෙසේය.
පනහ දශකය මුල සිට මෙම ඉඩම් වර්තමාන හිමිකරුවන්ගේ දෙමාපියන් විසින් රජයේ ඉඩම් හේන් ගොවිතැන් වගාවට ඇතුළත් කර ඉන්පසු අදාළ ඉඩම් පෙර ඉඩම්කරුවන් විසින් පසුව අදාළ ඉඩම් මූලික ඉඩම් හිමියන්ගෙන් හා ඔවුන්ගේ උරුමක්කරුවන් වෙත ලැබී ඇත. ඉතා අසීරු ශ‍්‍රම දායකත්වයෙන් හා මුදල් වෑයමේ ප‍්‍රතිඵලයක් ලෙස මේ ඉඩම් සංවර්ධනය වී ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස 1980 වැනි කාලවකවානුවල මේ ඉඩම් හිමියන්ට රජයේ ඉඩම් බලපත‍්‍ර ලබාදී ඇත. ඉඩම් හිමිකරුවන් හැටනවදෙනාගෙන් ඉඩම් හිමිකරුවන් 49 දෙනාටම ඉඩම් බලපත‍්‍ර ලබාදීමට සුදුසු කටයුතු සම්පූර්ණ කර ඇත. එම ඉඩම්වල අදාළ ඉඩම් හිමිකරුවන් විසින් නිවෙස් සාදා 2010 වසර තෙක් වී වගාව යහමින් සිදුකර ඇත.

හමුදා කඳවුරු

යුද්ධයෙන් පසු වුවමනා නැති තැන්වල පවා හමුදා කඳවුරු ඉදිකිරීම මෝස්තරයක් විය. අනූව මුල එල්ටීටීඊය මේ ගම්වලට කඩා වැදී ගොවියන් කුඹුරුවලම ඝාතනය කරන කල්හිත්, නොදැමුණු හමුදා කඳවුරු 2011දී මෙහි ඉදිකරනුයේ කඩිමුඩියේය. රජයේ සෙබළුන් මෙම කඳවුර ඉදිකරනුයේ මේ ඉඩම් හිමිකරුවන්ගේ ඉඩම්වලය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉඩම් හිමියන් බියගන්වා හමුදාවේ සහයෙන් මොවුන් පන්නා දමන්නට පිඹුරු සකසනුයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අක්කරයිප්පත්තු මහේස්ත‍්‍රාත් අධිකරණයේ 27967, 21828, 27965, 27966, 31400, 27963 අංක සඳන් නඩු හා තවත් නඩු පවරනුයේ 2003 සිටය. එහෙත් මේ දක්වා විසඳන ලද සියලූම නඩුවලින් ඉඩම් හිමිකරුවන් නිවැරදිකරුවන් ලෙස නිදහස් කර තීන්දුව ලබාදී ඇත. එමෙන්ම අදාළ ඉඩම් හිමිකරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය 192, 2012 අංක සඳහන් නඩුව විමර්ශන කටයුතු සිදුවෙමින් පවතී.

අධිකරණයේ පිහිට පතන අතරම මේ ඉඩම් හිමියන් තම ප‍්‍රශ්න දේශපාලන බලධාරීන්ටද දැනුම් දී ඇත. අදාළ ඉඩම් අහිමි වූ ගොවීන් හා පදිංචිකරුවන් තමන්ගේ තත්ත්වය ජනාධිපති කාර්යාලයට පැමිණිලි කළ විට ජනාධිපති ලේකම් කාර්යාලය 2007-09-30 වැනි දින පිළිතුරු ලෙස අඞ්ඩාලච්චේනයි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත එවන ලද ලිපියෙහි අදාළ විස්තර ප‍්‍රගතිය පැමිණිලිකරුවන් වෙත දන්වන ලෙස ඉල්ලා ඇත. මේ මහින්ද රාජපක්ෂ ජනපති කාලයේ ප‍්‍රශ්නයකි. දැන් ඔහු අගමැති වී ඇත. අදටත් ඒ ප‍්‍රශ්නය එතැනමය. තම ඉඩම් හමුදාව බලෙන් අත්පත් කරගන්නා විට මෙම ඉඩම් හිමියන් තම ප‍්‍රදේශයේ පාර්ලිමේන්තු නියෝජිතයන් දැනුවත් කර ඇත. එකල අපනයන සංවර්ධන සඳහා අමාත්‍යව සිටි සේගු ඉසදීන් මේ ජනතාව ගැන ජනපතිට දැනුවත් කර ඇත.

අදාළ ඉඩම් ගැටලූ සම්බන්ධව ශ‍්‍රී ලංකා හමුදා මූලස්ථානය වෙත ඉඩම් හිමිකරුවන් පැමිණිලි ඉදිරිපත් කළ විට ඉඩම් හිමිකරුවන්ගේ නීත්‍යනුකූල හිමිකම් කඩිනමින් ස්ථිර කරන බව හමුදා මූලස්ථානය ලිඛිතවම සහතික කර එවා ඇත. 2007 තම ඉඩම් ආරාවුල් ජනපතිට ලියන විට, අධිකරණයට දැනුම් දෙන විට මේ දක්වා ඉඩම් බලපත‍්‍ර ලබාගැනීමට නොහැකි වූ ඉඩම් හිමිකරුවන්ට ඉඩම් ලබාදීම සඳහා සංවිධානය කරන ලද සම්මුඛ පරීක්ෂණ සඳහා 2008/4 චක‍්‍රලේඛය යටතේ ඉඩම් ලබාදීමට කටයුතු කර ඇති බව සනාථ කර අඞ්ඩාලච්චේනයි ප‍්‍රාදේශීය ලේකම් 2011.12.15 දින සඳහන්ව සියලූම ඉඩම් හිමිකරුවන් වෙත වෙන වෙනම ලිපි මගින් දැනුම් දී ඇත.

දැන් ඇති ගැටලූව දෙදහස මැද සිට මේ දක්වා මේ ප‍්‍රශ්නය එකතැනම පල්වී මේ ජීවිත දිනෙන් දින පිරිහීමය. තම වගාවන් අත්හැර උසාවි ගානේ රස්තියාදු වන මේ මිනිසුන්ද මෙරට පුරවැසියන් ලෙස සලකා විසඳුම් දිය යුතු කාලය එළැඹ ඇත. මේ ප‍්‍රශ්න දළුලා වැඞී ඇත්තේ මහින්ද පාලන කාලයේදීමය. අදත් ඇත්තේ මහින්දගේ බලය සහිත කාලයකි. එසේ නම් ආණ්ඩුව සෑම ජනයාටම එක සමාන අයිතිවාසිකම් දෙන බව ඔප්පු කරන්න මේ ලිට්මස් පරීක්ෂාවන්ය.

වසර ගණනක් මේ අහිංසක මිනිසුන් අදාළ ඉඩම් ගැටලූ ගැන රාජ්‍ය නිලධාරීන්, ඇමතිවරුන්, පළාත් සභා හා ප‍්‍රාදේශීය සභා, පාර්ලිමේන්තු සභිකයන් යන සියලූ පාර්ශ්වවලට පැමිණිලි, ඉල්ලීම්, අයදුම්කර ඇතත් තවමත් ඉඩම් අහිමිවූවන්ට විසඳුමක් ලැබී නැත. වසර ගණනාවක් ජීවත් වූ නිවාස අද ඔවුන්ගේ සිරගෙවල් බවට පත්වී ඇත. යන එන මං නැතිව මියැදෙනවාට වඩා තමන් සතු දේ මතම මියෙම්වා යන තැන සිට ඔවුහු අදත් අනේකවිධ කෙණහිලි මැද එහිම වෙසෙති. ඒ එදා මෙන් සතුටින් නොවේ. දුකිනි. බියෙනි. පීඩාවෙනි.

පැහැදිලි අධ්‍යයනයක් කරන්නේ නම් ඒවා ඔවුන්ට දීමේ බාධාවක් සොයා ගැනීමත් බාධාවක් වනු ඇත. මුස්ලිම් ජනයා කැලය කපාගෙන පදිංචි වී ඇතැයි දකුණේ සිට කතා හැදිය හැකිය. අනෙක් හැමතැනම කෙසේ වෙතත් මේ ප‍්‍රදේශ නම් එසේ නොවන බව පැහැදිලිය. අද ඒ අවට කැලෑ නැත. දීඝවාපිය ඇත්තේද බොහෝ ඈතය. කුණු කඳු ගසා මේ ජීවිතවලට ජීවත්වීම එපා කරමින් සිටිති. කන බත් පිඬේ බත් ඇටවලට වඩා මැස්සෝය. ජීවිතය යනු මෙය නොවන බව ඔවුහු දනිති. ප‍්‍රශ්නය මැස්සේ නොවේ. මැස්සන්ටත් නිදහසේ වැසිය හැකි එම ප‍්‍රදේශවල අඩසිය වසකටත් එහා දිවි ගෙවන මිනිසුන්ට නැති අයිතිය ගැනය. මේවා විසඳිය නොහැකි ගැටලූ නොවේ. එහෙත් අභාග්‍ය නොවිසඳන ගැටලූ ලෙස කුණු වෙන්නට හැරීමය.

සැබැවින්ම මියයන්ටත්, ජීවත් වන්නට එපායැ. ඒ අය සිතනුයේ එසේය. කඩිජා උම්මාන්ලාගේ පරම්පරාවෙන් හෝ මේ ප‍්‍රශ්නය කෙළවර විය යුතු නැද්ද? නගරයෙනුත් හද්ද කෙළවර දිවි ගෙවන මෙවන් ජීවිතවල ප‍්‍රශ්න පත්තර කවදා පිරවේද? කවුරු දනිත්ද? දැනටමත් ඒ වෙනුවෙන් ගිය කාලය බොහෝ කල්ය. මේ ගෙවී යනුයේ කාලය මෙන්ම ජීවිතය. විසඳුම් අවැසි වන්නේ කඩිනමින්ම ඒ නිසාය. උසාවියට ඇදගෙන යා හැකිය. දේශපාලකයන්ට කල්ගත හැකිය. බලධාරීන්ට අහක බැලිය හැකිය. එහෙත් ඉක්මනින්ම ගෙවී යන්නේ අදාළ ප‍්‍රශ්නයට ඍජුව දායකවූවන්ය. ඔවුන්ගේ ජීවිතයට අමතක නොකළයුත්තේ එයය.

මම දැනුවත් නැහැ

ඩබ්ලිව්.ඒ.සී. වේරගොඩ, වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්


මේ පිළිබඳව පිළිතුරක් ලබාදීමට තරම් මම දැනුවත් නැහැ. ඒ පිළිබඳව මම සොයා බැලීමක් සිදුකරන්නම්. ඇතැම් පුද්ගලයන් ව්‍යාජ ඔප්පු ඉදිරිපත් කරනවා. එවැන්නක් මෙහි සිදුව ඇතිවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here