මංජුල ගජනායක 

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී  ජනරජය එදාමෙදා තුර බිහිකළ අසමසම විනෝදකාමී මිනිසා අප හැර ගොස් ඇත්තේය. ඔහු නිසැකවම මෙරටේ ඉපදී හැදී වැඩුණු අසහාය විනෝදාස්වාදකයා වූ අතර පුංචි කොදෙව්වක වසන කුහක පුරවැසි කැලකගේ ළිං මැඩි චින්තනය සුනුවිසුණු කල සොඳුරු ආඥාදායකයෙක් ද විය. එබැවින් සුනිල් අපේ කුදුබව පසක් කල වග අනාගත පරපුරේ දැනගැන්ම උදෙසා මෙලෙස සටහන් කොට තැබීම වටී.


මෙරටේ සිල්වලා, පෙරේරලා, ප්‍රනාන්දුලා හා මෙන්ඩිස්ලා අඩුවක් නැතිව සිව් දෙස විසිර පැතිර සිටින්නේ වුව පෙරකී වාසගම් අතර සදා දිදුලන ශ්‍රී ලාංකිකයා අප කතානායක සුනිල් පෙරේරා යැයි පැවසීම අතිශෝක්තියක් නොවේ. මෙරට දේශපාලනයේ අපරාජිත නමක් රැන්දු එන්. එම්. පෙරේරාගෙන් මතු ශ්‍රී ලංකා මාතාව ජනිත කල තුන්කල්හි ම බැබළෙන පෙරේරා අපෙන් සමුගත් මෙකී සුනිල් පෙරේරාමය. 


”Poems of Arthur O’Shaughnessy” හි මෙවන් සඳහනක් අන්තර්ගතය.  “We are the music makers, and we are the dreamers of dreams.” සුනිලුන් ද සංගීත ප්‍රවර්ධකයෙක් හා සංගීතකරුවෙක් වූවා පමණක් නොව සිහින අත්නොහළ ප්‍රභාමත් ජන පවුරක රශ්මියෙන් බැබළුණු නිලනොලත් සමාජ ප්‍රභූවරයෙක් විය.


සුනිල් පිළිබඳ වූ සමාජ විග්‍රහය සපුරා වෙනස් අන්ත දෙකක් නියෝජනය කරන්නේය. එහි එක් අන්තයක ලොවම තම හිස මත පතිත වුව, වගේ වගක් නැති එහෙත් තමන් පෙරට තැබූ පය ආපස්සට නොගන්නා සාඩම්බර සංගීතකරුවෙක් අපරාජිතව වැජඹෙන්නේය. අනෙක් පස දක්ෂිණාංශික දේශපාලනයට ආශක්තව, ඉන් අතෘප්තිමත් වූ හෙයින්  තාවකාලිකව වමට නැඹුරු වූ කෙලින් මිනිහෙක් සිටින්නේය. මෙහිලා අපගේ අවධානය යොමුවන්නේ ඔහුගේ සමාජ ජීවන අන්දරයේ අහුමුළු පිරික්සීමට මිස ඔහුගේ දේශපාලන වර්ණය හඳුනා ගැනීමට නොවේ. 


සුනිල් JVP කාරයෙක් යැයි පවසන්නෝ අරමුණු දෙකක් සාධනයේ තත්පර නිරීක්‍ෂකයෝය. එක් පිරිසක් රටෙහි බලපවත්වන මජර රාජ්‍යකරණයේ දූෂිත බවින් හෙම්බත්ව සිටියදී සුනිල් වැන්නන් JVP වේදිකාවට නැඟීම පිරිත් පැන් ඉසිනවා වැනි පරම ආශීර්වාදයක් සේ සලකන අවංක ආධ්‍යාශයෙන් දවසරින පුරවැසියෝය. අනෙකුන් නම් සුනිලා ද JVP කාරයෙක් බැවින් ඌ මහා සමාජයට වැද්දා නොගත යුතු ශෝබන රැඩිකල් මිනිහෙක් යැයි සලකා දෙපසට පද්දා පොළොවේ ගසන්නට මාන බලන හීනමාන කාරයෝය. සුනිල් JVP වීම සැබවින්ම ජනතා විමුක්ති පෙරමුණේ සාඩම්බරයට නොව එක්සත් ජාතික පක්‍ෂයේ දොම්නසට හේතුභුත විය යුතු සමාජ පොලාපැනීමක් යැයි පැවසීම වටී. සුනිල් එකපැහැර බැහැර කල චෞර තන්ත්‍රයේ අගතීන් නවතාලීමට එක්සත් ජාතික පක්‍ෂය අසමත් වීම සුනිල්ගේ JVP ආගමනය ඉක්මන් කළේය.

ධනවාදී සමාජ ක්‍රමයක් ඇදහූ සංගීත වෙළෙන්දෙක් JVP වීම විදග්ධ සංවාද තල උණුසුම් කරන්නේ වුවද, ඔහු JVP වීම සමන්ත භද්‍ර රහත් වූවා වැනි මායාකාරී ඇස්බැන්දුමක් නොවේ. තමන් සතු වත්කම් බැරකම් පවා දියකර  ගැනීමට හෙවත් අතින් කා – අනුන්ට හරක් බැලීමක් වැනි දේශපාලනික සියදිවි නසා ගැනීමකි එය. 


මීට සමගාමීව ඔබ වෙත යම්  නිරවද්‍ය අවබෝධයක් ඇති කරනු පිණිස ජගත් වික්‍රමසිංහ ගැන සිහිකරදීමට හැකිය. තම නිවුණු හඬින් හා මෘදු භාෂිතයෙන් රටක් වසඟ කල ජගත්ගේ දේශපාලන වන්දිභට්ට බව සාක්‍ෂාත් කරනුවස් පොදුජන පෙරමුණ ඔහුගේ පාමුල තැබු පඬුරු පාක්කුඩම ගුවන් විදුලි සංස්ථා සභාපති ධුරයයි. අවසන ”රන් තාරකාවන් දිලෙන රැයක” මෙකී කුප්‍රකට සභාපතියා ගුවන්විදුලියෙන් හදිසියේ පන්නා දැමුවේ ඔහු පුදසුනේ තැබු ජරපත් දේශපාලන සනුහරය විසින්මය. එනයින් බලන කල JVP එකට කඩේ ගිය සුනිල්ට එක්කෝ පිස්සුය. නැත්නම්  කිසිදා නොනිමෙන දේශපාලන අනුරාගයකින් ඔහු පෙළුනේ විය යුතුය.


පෘතුග්‍රීසීන් මෙරටට පැමිණ පැළපදියම් වීමත් සමඟ ඔවුන් අනුදත් ත්‍රිත්ව සංකල්පයක් පිළිබඳ රට්ටු අද ද කතාකරන්නේය. ඒ බෙබේ -කුමේ, මෙරේ යන්නයි. එහි සිංහල පදගතාර්ථය නම් කාපල්ලා -බීපල්ලා, ජොලිකරපල්ලා යන්නයි. මෙවැන්නක් ඇසුණු කල මෙරටේ කපුරු හාමිලා සැණෙන් පරල වන්නේය. දෙදහස් පන්සීය වසරක උරුමය ගැන කටමැත දොඩන්නේය. එහෙත් මිනිසත් බව ලැබු සැමෙකෙක්ම අඩුවක් නැතිව ලද යුතු සැපය නම් කා, බී සතුටින් සිටීමයි. සුනිල් මෙබැව් දත් හා එහි අගය දෙසූ පළමු පුරවැසියාය. ඊට හේතුප්‍රත්‍ය වන්නට ඇත්තේ ඔහු මොරටු පුත්‍රයෙකු වීමයි. ඌරු මස්  පලහා කමින්, ඊට අනුපානව මාධ්‍යසාරයද පදමට ගන්නා සුපිරි විනෝදකාමින් වසන මෙරටේ අසිරිමත්ම  පුරවරය රත්මලාන -ගල්කිස්ස ආසන්න මොරටු පුරවරය යැයි පැවසීම අතිශෝක්තියක් නොවේ. හෙට මැරුණත් කාබී සැනහෙන ප්‍රාණවත් චරිත බිහිකළ රත්මලාන -මොරටුබද වෙරළබඩ කලාපයේ ස්වීය අනන්‍යතාව විශද කල සුධිමතා අප සුනිල්ය. සුනිල්ගේ මුවග රැන්දු වචන ත්‍රිත්වයක්ද විය. ඒ සතුටින් -ජොලියෙන් -සොමියෙන් හිටපල්ලා යන්නයි. අනුන්ගේ සැපත හමුවේ මෘග වෙස් ගන්නා තලේබාන් පන්නයේ සඟුන් හා ගිහි ප්‍රේතයන් අභියස සුනිල් සදා මඟ කියන පහන් තරුවක් නොවේයැයි කිවහැක්කේ කාටද?
මෙරටේ ජනාදරයට පත් ජනකාන්ත චරිත හා පැවැත්වෙන සම්මුඛ සාකච්ජා අප්‍රමාණය.

ඔවුනතර  රාවයෙහි ටිරන් කුමාර බංගමආරච්චි මෙතෙක් පවත්වා ඇති සංවාද ගොන්න සමීපව නිරීක්‍ෂණය කාලීනව වැදගත්ය. ඔහු සුනිල් පෙරේරා හා වරෙක සංවාදගතව ඇත. එය නිසැකවම සුනිල් හා මාධ්‍යකරුවෙක් කල ප්‍රශස්තම සංවාදය යැයි පැවසීමට මා පසුබට නොවෙමි.  සුනිල් කිසිදින කරකැපූ සුදු ඇඳුමින් ගත වසාගත් ව්‍යාජ දේශපාලකයන් සේ දෙබිඩි භාෂිත බිනූ දේශපාලන වහලෙක් නොවේ. ඔහු ඇති පදමට ජීවිතය විඳ ඇත්තේය. ඔහු හියූ ග්‍රාන්ට් හෝ ජෝන් ට්‍රවෝල්ටා තම සිනමා දිවියේ හමුවූ නිළියන් හා කැමරාව අභියස අනුරාගීව සැතපුණු වාර ගණන අභිබවා යන තරමේ සුකුමාර තරුණ ළඳුන්ගේ රස පහස ලබන්නට ඇත. හිතමිත්‍ර සමාගම හා බෙදා ගත් රස නුසුන් සාද කතා මැද ගිලදැමූ බීර වඩි ගණන කෙතරම් විය හැකිද? සුමිහිරි පාතරාසය ද බුදිමින් තන්හි තන්හි හිස්කළ සුරා බඳුන්ද අසීමිතය. ඒ කවර අයුරින් ජීවිතය වින්දේ වුව කනබොන එවුන් වෙත ද්වේශයෙන් කෙබර හා බේගල් කියා බොරු සිල් රකින්නට නොගිය සුනිල් ලොව තත්වාකාරයෙන් දුටු යථාර්ථවාදියෙක් මිස කිසිදු න්‍යායකට හෝ මතවාදයක් වෙත ගොනුවී එහි සිරකරුවෙක්ව සිටි අලුගුත්තේරු පුරවැසියෙක් නොවේ.
තම ප්‍රාණසම බිරින්දෑගෙන් වහන්ව උරා බිව් නුරා හා ඇය නොසලකා ගැසු බල්ටි පිළිබඳ ඇති පදමට අව්‍යාජ විග්‍රහයක් අන්තර්ගත ඉහත සංවාදයේ යටිපෙළ මඟින් හමුවන්නේ නිරහංකාර, තම සෙල්ලක්කාර දිවියෙන් හෙම්බත්වූ ආදරණිය මිනිසෙකි. 


සුනිල් යනු කවුද? ඔහු රසික පරපුරක් මන්මත් කිරීමේ මුද්‍රාවක් අතින් දරා ජනිත වූ රාගාන්විත බසින් හා අයෝමය බාහු යුග්මයෙන් සපිරි ජනකාන්ත තරුවක් නොවිණි. ඔහු සංගීත වේදිකා මත්තේ පෙළහර පෑවේ වුව එකම එක මන්දස්මිතියෙන් ලොවක් වසඟ  කල එල්විස් ප්‍රෙස්ලි පන්නයේ එකදු ප්‍රතිභානයක් සන්තකව පැවති එකෙකුදැයි යන්න ද සැක සහිතය. එමතු නොව තර හා මිටි, ගොරහැඩි බසින් සභා අමතන කාල වර්ණ පුද්ගලයෙක් මිස ගාමිණී ෆොන්සේකා හෝ අඩුතරමේ ජෝතිගේ හමේ පැහැය ඇත්තෙක් හෝ නොවීය. එසේවුව මෙරටේ කිසිදු කලාකරුවෙක් සිහිණෙන් හෝ නොලත් රසික ආධිපත්‍යයක් හා අනුහසින් පිරි කැරිස්මාවක් නඩත්තු කල ඔහු රසික හද බැඳ ගත් නව්‍යකාරක කණ්ඩායම් සංගීතයේ ගෝඩ් ෆාදර් විය. 


ඔහුගේ දශක පහක වර්ණවත් සංගීත දිවියේ ඇදහිය නොහැකි සත්‍යය ය වන්නේ යටත් පිරිසෙන් පරම්පරා ත්‍රිත්වයක් ඔහුගේ කලාත්මක භාවිතාවේ සොඳුරු සිරකරුවන් වූ බවයි.

බහතෝරන කිරිකැටියා දුටු අඟහරු ලොවින් ආ සුනිල් කිරිකැටියා පැටිවිය ඉක්මවද්දී දුටුවේ ඔහු ඔජායේ සමඟින් රාත්‍රී සමයන්හි ගිනි පාගන අරුමැසි රූප රාමුය. අවසන අපි සියල්ලෝ සුනිල් අයියාගේ කණ්ඩායම් සංගීතයෙන් එළියට ආ රසික කැලක් වූයෙමු.   


සැබවින්ම සුනිල් රතු මේපල් ගසක් බඳුය. සරත් සමයේ සියලු පත්‍ර බිම දමා, ශීත කාලයේ වෙනස්ම වෙසක් ගෙන, වසත් සමයේ විකසිත වන රතු මේපල් ගස මවන චමත්කාරය යම් සේද සුනිල් ද කාලයේ තාලයට හැඩගැසුණු විනයගරුක භාවිතාවෙන් යුත් විචිත්‍රවත් දිවියක සාඩම්බර උරුමකරුවෙක් විය.