විමලනාත් වීරරත්න

කොළඹ යුගයේ ද්විතීයික අවදියෙහි ජනප්‍රියම කවීන් දෙදෙනා වූයේ පී.බී. අල්විස් පෙරේරා සහ එච්.ඇම්. කුඩලිගමය. 50-60 දසකවලදී ඔවුහු මෙකල භාතිය-සන්තුෂ් දෙදෙනාටත් වඩා ජනප්‍රිය නමුත් ආර්ථිකමය වශයෙන් පොහොසත්වීමට අසමත් වූහ. 50-60 දසකවල ක්‍රිකට් ක්‍රීඩයන්ටද ක්‍රීඩාවෙන් මුදල් හම්බ කරන මාර්ග නොතිබුණි. එහෙත් වසර 2000 ඇරඹීමත් සමග ක්‍රිකට් මුදල් උපයන මාවතක් බවට පත්වුවත් කෙතරම් ජනප්‍රිය කවියකුට වුව කවියෙන් මුදල් උපයන මාර්ග නොවුණි. සෑම කාලයකම කවිය පවත්වාගෙන යාමට සිදුව තිබුණේ දුක්ඛිත වේෂයකිනි. කවියේ පොහොසත් බව මිස කවියාගේ පොහොසත් බව කතා නොකරන මාතෘකාවකි. ඒ සමගම කවියා දුප්පත්ය යන්න පිළිගත් තත්ත්වයකි. කවියා අතහැර, කවියේ පොහොසත් බව රැඳී තිබෙනුයේ කාව්‍ය සංදර්භයේ යැයි අපට තීරණාත්මකව කිව හැකි නිසා මූල්‍යමය පොහොසත් බව පිළිබඳ ප්‍රශ්නය මෙහිදී බලරහිත වී තිබේ.


නූතන කවිය පුවත්පත්වල පළවන කවි පිටුවලට හා ප්‍රධාන වශයෙන් කාව්‍ය සංග්‍රහයන් පළකිරීමට සීමාවී තිබෙන අතර 50-60 දශකවල පළවූ කවි සඟරා සංස්කෘතිය අද වන විට මුළුමනින්ම පාහේ අහෝසි වී ගොස් තිබේ. වර්තමානයේ කවි සඟරාවක් පවත්වාගෙන යාම අසීරු බව නොකිවමනාය. එහෙත් 50-60 දසකවල කවීහු මාසිකව පළවන කවි සඟරා කිහිපයක්ම පවත්වාගෙන ගියහ. එය පහසු ව්‍යායාමයක් නොවිය හැකිය. කවීන්ගේ සාමාන්‍ය දුප්පත්කම මෙන්ම කවිය කිසිදිනෙක මූල්‍යමය වශයෙන් ක්‍රිකට් මෙන් නොවීම නිසා මෙම ක්‍රියාවලියෙහි අසීරු බව වඩාත් පැහැදිලිය.


සුවඳ, අඹ වනය, මීවදය, දේදුන්න, දියලුම කවිමග, රස බුබුළ ආදී 50-60-70 දසකවලදී පළවූ කවි සඟරා සමූහය මතකද? ‘සුවඳ’ කවි සඟරාව සංස්කරණය කළේ කපිල ඊ. සෙනෙවිරත්න කවියාය. ‘මී වදය’ ජෝන් රාජදාසගේය. ‘දේදුන්න’ සංස්කාරකවරයා වූයේ අල්විස් පෙරේරාය.

‘දියලුම’, අමරවංශ මහවෙදගේ කවියාගේ වෑයමකි. දිවයිනේ අතිශයින්ම ජනප්‍රිය කවි කිවිඳියන්ගේ කාව්‍ය නිර්මාණ පළවූ මනරම් නිමාවකින් යුතු එම මාසික කවි සඟරාවල අලෙවිය සැලකිය යුතු මට්ටමක තිබෙන්නට ඇත. එකල කවි මඩුවලට පැමිණ එකිනෙකා සමග කවි වාදවල නිරත කවීන් මෙම කවි සඟරාවල සංස්කාරකවරුන් හා නිත්‍ය රචකයන් වීම නිසා ඒවායේ ජනප්‍රියත්වයද නොනැසෙන්නට ඇති බව විශ්වාස කළ හැකිය. මෙම සියලු කවි සඟරා ලෙටර් ප්‍රෙස් ක්‍රමයට කවීන්ගේ ඡායාරූප ද සමග මුද්‍රණය වූ අතර මෙම රචනාවේ අරමුණ එම සඟරාවල පළවූ දැන්වීම් පිළිබඳ කෙටි විමසීමක් කිරීමය. මන්ද එය සඟරාවේ පැවැත්ම පිළිබඳ කාරණයක්ද වන නිසාය. එකී දැන්වීම් ලබා ගන්නට ඇත්තේ සංස්කාරකවරයාගේ හුදෙකලා උත්සාහයක් තුළ යැයි ද සිතිය හැකිය.

60 දශකයේ පළවූ කවි සඟරාවක සංස්කාරකවරයෙකු ලියා තිබුණේ තරුණ කවි කිවිඳියන් කවි පන්ති කිහිපයක් මාසිකව සඟරාවට යොමු කරන නමුත් කිසිදු ආධාර මුදලක් මුදල් ඇණවුමක් ලෙස නොඑවන බවය. කවි පන්තිය සමග රුපියල් දහයක්වත් නොඑවන්නේ නම් කවි පළ කිරීම අසීරු බව ඔහු ව්‍යංගයෙන් කියා තිබුණි. එම කොන්දේසි ඔහු ජනප්‍රිය කවි කිවිඳියන්ට නොපනවන්නේ ප්‍රවීණ කවි කිවිඳියන් සඟරාව විකුණා ගැනීමට ප්‍රධාන පිටි බලය වන නිසා විය යුතුය. මීවදයේ පළවූ, කවීන්ට කළ දැනුම්දීමක් මෙසේය. එහි මාතෘකාව ‘රූ තහඩුව’ යි.
රූ තහඩුව කැප්පවීමට රු. 10ක් එවන කවීන් සඟරාවේ පිටුවක්ම බලාපොරොත්තු නොවිය යුතුය. රූ තහඩුව කැප්පවීමට රු. 7.50ක් ගිය විට ඉතුරු වන්නේ රු. 2.50කි. අනුග්‍රාහක මුදල් වශයෙන් රු. 10ක් එවන කවීන්ගේ හොඳ රචනා සම්පූර්ණයෙන්ම පළ කරනු ලැබේ. (මී වදය – 1964 මාර්තු)

එහි තවත් තැනක මෙසේ සඳහන්ය. ඒ ‘මීවදයේ ණයකාරයෝ’ යන ශීර්ෂයෙනි.
“මීවදය ඉල්ලා එවා යැව්වාට පසු විකුණාගෙන මුදල් ඉල්ලා යවන ලිපිවලට බොරු පොරොන්දු දෙමින් මුදල් නොගෙවා සිටින අපේ ණයකාරයන් කිහිපදෙනෙකු ඇත.”


කවි සඟරාව කෙතරම් අසීරුවෙන් පවත්වාගෙන ගොස් ඇත්ද යන්නත් ඒ අතර පොලුකාරයන්ගේ ද අඩුවක් නැති බවත් ඉන් තේරුම් ගත හැකිය.


මීවදය සංස්කාරක ජෝන් රාජදාස මහතා තම සඟරාවේ මෙවැනි දැන්වීමක්ද පළකරයි.


සූකිරි රස කවි හදන්න
ඔබ කැමතිද ඉගෙන ගන්න
මුද්දරයක් ලියුමෙ දමා
විස්තර ඉල්ලුම් කරන්න.

වනාතමුල්ලේ ලිපිනයක් ඊට යටින් තිබේ. කවි ලිව්වාට මුදල් නොලැබෙන නිසා කවි පබැඳීමට උගන්වා සුළු මුදලක් උපයා ගන්නා කවීහු සිටියහ. එකල දිවයිනේ විවිධ පළාත්වල ප්‍රවීණ කවීන්ගේ මාර්ගෝපදේශකත්වයෙන් පවත්වාගෙන ගිය කවි විදුහල් තිබුණි. අය කැරුණේ ඉතා සුළු මුදලකි. දෙහිවල ‘අරුණාලෝකය’ හා අවිස්සාවේල්ලේ ‘සිරිසුදම්’ එවැනි කවි විදුහල් දෙකකි.
1957 මැයි මාසයේ පළවූ ‘අඹවනය’ කවි සඟරාවක තිබුණු දැන්වීම් දෙකක් මෙබඳුය.


“ඔබේ හිතවතකුට ‘බිල්ලා’ පොතක් තෑගි කරන්න. එයින් ඔහු කරුණු දහසක් උගෙන ජීවිතය වාසනාවන්ත කර ගන්නවා ඇත. අදම ගෙන්වා ගන්න. රු. 5යි.


දෙවැනි දැන්වීම මෙපරිදි වේ.


කොළඹ වසන හැම තරුණයකුම ‘නැන්දම්මා’ කියවිය යුතුයි. මිල රු. 3කි. ‘ප්‍රේම සාගරය’, ‘පිටිසර ළමිස්සී’, ‘කොළඹ ළමිස්සී’ කුඩා කවි පොත් මී පැණි මෙන් රසවත්ය. පොත් තුනම ශත 50කි. ඒ තවත් දැන්වීමකි.

බිල්ලා, නැන්දම්මා, වැරදුණ තැන වැනි පොත් පිළිබඳ දැන්වීම් අඹවනයට ලබා දී තිබුණේ දෙහිවල සමස්ත ලංකා සඟරා ප්‍රකාශකයෝ විසිනි.


වේයන්ගොඩ හා කොළඹ දෙවැනි හරස් වීදියේ පිහිටි බුහාරි නමැති ස්වර්ණාභරණ වෙළෙඳ සැලක් ගැන 1962 දියලුම අගෝස්තු කලාපයේ පිටුපස කවරයේ දැන්වීමක් පළකර තිබුණේ කවියකිනි.


අම්මට දුවට නැතහොත් සොහොයුරිය කට
පෙම්වතියකට හෝ ඕනෑම කෙනකු හට
රන් ආභරණ විස්වාසයෙ පළිඟු පිට
ගන්නට හොඳම තැන මෙතනයි ඔබට මට


ජයරත්න මල්ශාලාව, ජ්‍යොතිෂ කාර්යාල, විදුලි උපකරණ වෙළෙඳ ආයතන, කැඩුම් බිඳුම් ඖෂධාල වැනි ආයතන මගින් කවි සඟරා සඳහා කුඩා දැන්වීම් ලබාදීමේ ප්‍රවණතාවක් තිබුණු බව එම සඟරා පිරික්සීමේදී දක්නට ලැබෙයි.


‘ඇස්වත්තේ ගෙඩි වෙදකම’ යන මාතෘකාව සහිතව ලබාදී ඇති දැන්වීමෙහිද කාරණය කවියෙන් දක්වා ඇත.


හොරි – දද – වණ – කුස්ට කඩුවේගන් ආදී
පිළිකා ඇටපලා – සෙම්ගෙඩි එන පීදී
සුවකර ගන්ට කිසිවිට වෙනතක නෑදී
හමුවෙනු මැනවි! අප ඔබගේ හිත වාදී


මෙවැනි දැන්වීම්වලින් විශාල ආදායමක් උපයා ඇතැයි නොපෙනෙන නමුත් එම සුළු දැන්වීම් ආදායමත්, කවීන්ගේ මුදල් ආධාර මෙන්ම සඟරා අලෙවියෙන් පමණක් මෙම කවි සඟරා නොනැසී යම් කලක් පැවතුණු බව සිතිය හැකිය. එම දැන්වීම් අතර සඟරාවලට ලියන කවියකු හෝ කිවිඳියක විවාහ වූ විට ඔවුන්ට සුභාසිංෂනය පළ කරන සටහන් ද දැකගත හැකිය.

එමෙන්ම කවියකු හෝ ඔහුගේ පවුලේ ඥාතියකු මියගිය විට ඒ පිළිබඳ ශෝකය ප්‍රකාශ කරන සටහන් ද තිබේ. අප්‍රතිහත ධෛර්යයෙන් යුතු කළමනාකරණ අභ්‍යාසයක නිරත වන අතරතුර හෘදයාංගම කලාවක නිමග්න වීම පිළිබඳ මහරු ආදර්ශයක් ද මෙම සඟරා සංස්කාරකවරු රසික සමාජයට දෙති. ■

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here