විමලනාත් වීරරත්න

ජූලි 08 වැනිදා බැසිල් පාර්ලිමේන්තුවට එන බව 06 වැනිදා නිවේදනය කැරිණි. බැසිල් වැඩ පටන් ගත් විට රටේ සියලු අමාරුකම් දූරිභූත වනු ඇතැයි ඇතැම්හු කල්පනා කරති. දරිද්‍රතාව තුරන් කිරීමේ කාර්ය සාධන බලකායේ ප්‍රධානියාත් ඔහුය. දරිද්‍රතාව තුරන් කිරීමට ඔහුට, ජනපතිගෙන් හා අගමැතිගෙන් පරිබාහිර වැඩසටහනක් තිබුණිද? මෙතෙක් එවැන්නක් තිබුණු බවක් නොපෙනුණි. එහෙත් රටේ සමහරුන් තුළ ඔහු මාර වැඩකාරයෙක් යන අදහස මුල් බැසගෙන තිබේ. එය රනිල් මාර උගතා, බුද්ධිමතා යන හැඳින්වීම බඳුය. උගතාට, බුද්ධිමතාට, මාර කළමනාකරුවාට බලය ලැබුණු විට ඇදගෙන නා ගන්නා ආකාරය දැක්ක හැකිය. බැසිල් මාර වැඩකාරයා යන්න කෙසේ පට බැඳුණිද? මේ පිළිබඳව සමාජ මාධ්‍යයේ පළකර තිබුණු කවි කිහිපයක් ඇසුරින් නිශාන්ති පෙරේරා නමැති කිවිඳියක් මතුකර තිබුණු ප්‍රශ්න කිරීමට පිළිතුරු ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ බැසිල්වාදියකු කියා තිබුණේ බැසිල් මහතා පක්ෂයක් හදා ඉක්මනින් එය බලයට පත් කරන මාර්ගයට ප්‍රවේශ කිරීම තුළින් ඔහු දක්ෂයකු යැයි තහවුරු වන බවය. මේ පිළිබඳව විචාරයක් ඇති ජනයා බැසිල් දෙස බලන්නේ ගම්පහ හිතවතා මෙන් ඒකමානීව නොවේ. ගෝඨාභයට මාර වැඩකාරයා කියනවිටත් ඔහු එහෙම මාර වැඩකාරයකු නොවන බවට දේශපාලනය පිළිබඳව විචාරයක් ඇති ජනයාට දැනුමක් තිබුණි. සෑම නායකයකුටම තම තමන්ට අනන්‍ය දක්ෂතා තිබේ. මහින්ද රාජපක්ෂ මහතා වෙන කිසිවකුට නැති පුදුමාකාර ඉවසීමකින් පක්ෂයේ ඉහළටම ආවේය. මහජන සබඳතා විෂයෙහි ඔහු අති දක්ෂයෙකි. මෛත්‍රීපාල මහතාත් ලක්ෂ උයනේ ඇලේ පීනපු දරුවාගේ ලෝකයේ සිට රටේ පළමු පුරවැසියාගේ භූමිකාවට ප්‍රවිෂ්ටවීම දීර්ඝ ව්‍යායාමයක ප්‍රතිඵලයකි. ගෝඨාභය මහතාත් සිය වෘත්තියෙහි නිපුණයෙකි. සජිත් ප්‍රේමදාස දක්ෂ කවර දේකටදැයි අප තවම නොදනිමු. ඔහු පියානෝ වාදනයට හා ගායනයට යම් දක්ෂතාවක් ප්‍රකට කරන අයුරු ඉඳහිට දකිමු.


අප අවධානය යොමු කළයුත්තේ සාමාන්‍යයෙන් ඕනෑම පුද්ගලයකු සතු පැවැත්මේ දක්ෂතාව ගැන නොව එම දක්ෂතාව ද උපයෝගී කරගෙන රටක ප්‍රශ්න විෂයෙහි විසඳුම් දීමේ ශක්‍යතාව පිළිබඳවය. ගෝඨාභය දක්ෂයකු වුවත් රටෙහි ප්‍රශ්න කුරුලු ඇසකින් රාමු ගතකරගෙන ඒවාට විසඳුම් යෝජනා කර ක්‍රියාත්මක කිරීමේදී ඔහු අදක්ෂ බව පෙනේ. මම තමයි හොඳටම කළේ යනුවෙන් ඔහුට කීමට සිදුව තිබෙන්නේ මේ අවුල සමනය කර ගැනීම සඳහාය. මම තමයි හොඳටම කළේ කියා මැන්ඩෙලාවත් කිසිම තැනකදී කියා නැත. ඔහු ලෝකයටම පරමාදර්ශී නායකයෙකි. බැසිල් රාජපක්ෂ මහතා පක්ෂයක් ගොඩ නගා එය ජයග්‍රහණය කරා මෙහෙයවීමට තිරය පිටුපස විශාල කාර්යභාරයක් කළ බව කියවෙයි. එහි සත්‍යයක් තිබේ.

එහෙත් එනයින්ම ඔහුට රට මුහුණ දී තිබෙන ප්‍රශ්නවල අසහාය ගැලවුම්කරුවා විය හැකිද? එම ප්‍රශ්නයට ඉහත දැක්වූ කිවිඳියට පිළිතුරු දුන් බැසිල්වාදියා කියනු ඇත්තේ දීලා බලන්න යනුවෙනි. එය අප හැමදාම කළ ක්‍රියාවය. හැම එකාටම දීලා බැලුවේය. ජනතාවට කළ එකෙක් නැත. ඔවුහු ඔවුනොවුන්ට කර ගත්හ. බැසිල් එහෙම වෙන එකක් නැහැ යනුවෙන් ප්‍රතිචාරයක් මතුවන්නට පුළුවන. බැසිල්ට චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් නඩු ගණනාවක් තිබුණේ ඔහු සිල් රැක්ක නිසා නොවේ.


පාලකයා කවරකු විය යුතුද?


අද වන විට ලංකාව තුළ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය බරපතළ අර්බුදයකට ගොස් තිබේ. එසේ වී තිබෙන්නේ එම ක්‍රමයේ වරදකට වඩා ප්‍රජාතන්ත්‍රවාදයේ නියෝජිතයන් සිය නියෝජිතත්වය පුද්ගලිකව අසීමිතව මුදල් හරි හම්බ කිරීමේ තනතුරක් බවට පරිවර්තනය කරගෙන තිබීම නිසාය. ලංකාව කිසිදු මූල්‍ය විනිවිදභාවයක් නැති රටකි. නායකයන් අත්තනෝමතිකව තීරණ ගැනීම මතු නොව අත්තනෝමතිකව මහජන මුදල් නාස්ති කරන රටකි. කිසිම නායකයකුට එය නැතැයි කිව නොහැකිය. එසේ මුදල් වැය කොට පත්තු වූ අවස්ථා ඇත්තේ කිහිපයක් පමණි. ඒ අනුව සැලසුම් විරහිතව වියදම් කර ඇති ප්‍රමාණය හා අවස්ථා ජනතාව සැබැවින්ම නොදනී.

බොරතෙල් මිල පහළ ගිය අවස්ථාවක ලංකාවේ ඉන්ධන මිල අඩු නොකොට ඇති කළ බව කියන අරමුදලට සිදුවූ දෙයක් නැත. රජය කීවේ එය වෙනත් වැය බරක් පියවීමට වියදම් කළ බවකි.

එසේ කරන වියදම් පිළිබඳව කිසිදු වගකිවයුත්තෙක් ජනතාව දැනුවත් නොකරති. එසේ දැනුවත් කරනවා නම් ආණ්ඩුවට හොර නාමයක් ගෑවෙන්නේ නැත. සීනි බදු අඩු කිරීමෙන් හා බාල පොල්තෙල් ආනයනයෙන් ලැබුණු කුට්ටිය ගිල්ලේ කවුද? මේ ප්‍රශ්න ගැන ඇමතිවරු නොව ජනපතිවත් මීක් ගාන්නේ නැත. නායකයන්ගේ බොක්කේ දඩමස් තිබෙන නිසා ඔවුහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බිස්නස් කරන එක ගැන කතා නොකරති. ඇමතිවරු අයථා ලෙස කරන හම්බ කිරීම් නොදැක සිටිති. මේවා නතර නොවන්නේ දේශපාලනය අද වනවිට නිසැකවම අවලස්සන බඩ රස්සාවක් බවට පත්ව තිබෙන තත්ත්වය තුළය. බැසිල්ට මේ තත්ත්වය වෙනස් කළ හැකි යැයි කවුරු හෝ සිතනවාද? වෙනස් කරනවා නම් යහපාලනයට එය සිදු කිරීමට තිබුණි. ඔවුන් කළේ හොරුන්ට බේරී යෑමට හිල් තබා, නීතිය ක්‍රියාත්මක කරන බවට ජනතාවට විජ්ජා පෙන්නීමය. වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර කීවේද මහ බැංකු හොරු දඬු කඳේ ගසන බවය. මැන්ඩිස් සමාගමට බදු සහන ලබාදී ව්‍යාපාර කිරීමට ඉඩ ලබාදී දෙදිනක් යාමට පෙර එම තීරණය ජනපති අණින්ම වෙනස් කළේ අධික නෑමෙන් උද්ගතවන නිව්මෝනියා තත්ත්වයෙන් බේරෙන්නට විය හැකිය. බැසිල්ට ඇමති ධුරයක් නොව රටම භාර දුන්නත් මේ එකක්වත් නතර නොවේ. එනිසා රාජපක්ෂලාගෙන්, ප්‍රේමදාසලාගෙන් තොරව රටේ යම් වෙනසක් නොකළහොත් මේ ඛේදවාචී තත්ත්වය තවත් දිගු වනු ඇත.


හොර කල්ලියකට බලය දීම


1977 සිටම ජනතාව මාරුවෙන් මාරුවට හොර කල්ලි දෙකකට රටේ දේශපාලන බලය දුන්නේය. 48-77 දක්වා පාලකයන් කුඩා පරිමාණයේ දූෂණවල නියැලුණු බවට සාක්ෂ්‍යය ඇතත්, ඔවුහු අද තරම් විනාශකාරී ලෙස මහජන දේපළ කොල්ල නොකෑහ. ඉදින් ජනතාව මේ වැඩේ නතර කිරීමට පියවර නොගන්නේ ඇයි? එය ඔවුන්ගේ කර්මයද? කන්දක් නාය ගොස් ගමම වැළලුණු විට ඊට කර්මය යැයි කීම ගැන සමාවක් දිය හැකිය. එහෙත් මංපහරන කල්ලියකට රටක් භාරදී ඉන් නිරා දුක් විඳින ජනයා එය තමන්ගේ කර්මය හෝ කරුමය යැයි සිතයි නම් ඊට සමාවක් දිය නොහැකිය.


කුමරිය හා කුමරා වනාන්තරයේ සෝභාව නරඹමින් යන විට වැද්දකු මුණ ගැසෙයි. වැද්දා කුමරියට ආශා කොට කුමරා සමග සටනකට පිවිසෙයි. සටන මධ්‍යයේදී කෙසේ හෝ අසිපත වැදි රජුගේ අත පත්ව කුමරා ජීවිතක්ෂයට පත් කැරෙයි. මෙම ක්‍රියාව ගැන විචාරකයෝ විවිධ වාදවල නිරත වූහ. තම ස්වාමියා අතින් මිනිස් ඝාතනයක් සිදුවීම වැළැක්වීමේ පරමාර්ථයක් කුමරිය තුළ තිබී කඩුව සහිත කොපුව දෙකට දෙවාරේ අල්ලාගෙන සිටියදී වැද්දා එය ඩැහැගත් බව එක් ප්‍රවාදයකි. හදිසියේම කුමරිය තුළ වැද්දා පිළිබඳ සිතක් පහළ වුණු නිසා යම් කුමන්ත්‍රණයක් සිදුවූ බව තවත් එකකි. ඒ කෙසේ වෙතත් සරච්චන්ද්‍රයන් ඒ ගැන කියා තිබුණේ “අහෝ එවිපත සිදුවුණි නොදනිමි කාගෙ දොසා” යනුවෙනි. මිනිස් චෛතසිකය පිළිබඳ කාරණයේදී සරච්චන්ද්‍රයෝ නිවැරදි වෙති.


ලංකාවේ තිබෙන්නේ නීල හොර රැළකට රටේ පාලන බලය ලබාදී උන් එක සීරු කොල්ලකෑමෙහි නිරත වන විට හා මහජනයාට ලෙවකෑමට සිදුව තිබෙන විට “අහෝ එව්පත සිදුවුණි නොදනිමි කාගෙ දොසා” කියන තත්ත්වයකි. මහින්ද රාජපක්ෂ නම් මනමේ බලා ඇත. ගෝඨාභය හා බැසිල් බලා ඇත්දැයි මම නොදනිමි. ඔවුන් එය බැලූ දවසට වැරදිකරුවෙක් නැති තත්ත්වය මරු යැයි සිතා සතුටු වනු ඇත. ඇත්තටම එම තත්ත්වය කර්මය පිළිබඳ චින්තාවටත් ළඟ නිසා තවත් මරුය.


මොළ හතක් ඇති මිනිසා

බැසිල් රාජපක්ෂට මොළ හතක් ඇතැයි කිසියම් මුග්ධයකු කියා තිබුණි. එසේ බලන විට මොළ හතක් ඇති මිනිසාට ආර්ථික සංවර්ධනය වැනි ඇමතිකමක් ලබාදීම ප්‍රමාණවත් නැත. ඔහුට ව්‍යවස්ථාව වෙනස් කොට ජනපතිටත් වඩා උඩින් තනතුරක් ඇති කර එය ලබා දුන්නත් මදිය. දැන් ඔහුගෙන් මොළ හතෙන් කරන වැඩ මොනවාදැයි ඇසුවහොත් විවිධ දේවල් කියන්නට පුළුවන. ජනාධිපතිවරයාත් පොරොන්දු හැටහුටාමාරක් දුන්නත් මේ වන විට රටේ කුඹුරු ටික වගා කර ගැනීමට පොහොර ටිකවත් ලබාදීමට ඔහු අපොහොසත් වී තිබේ. ජාවාරම්කාරයෝ වී මෙන්ම පොහොර ද සඟවාගෙන සිටිති. ඒවා එළියට ගැනීමට මාර වැඩකාරයා කියූ ජනපතිටත් නොහැකිය. ජන ජීවිත නන්නත්තාර වී වැඩකාරයන් කියූ කවුරුත් අනාථවෙද්දී මොළ හතක් තිබෙන මිනිසා කරළියට ඒමට නියමිතය. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටත් වඩා ප්‍රහාරයට ලක්වෙමින් සිටියි. මොළ හතේ මිනිසාටත් එම ඉරණමම අත්වීමට පුළුවන. ඒ රටේ ප්‍රශ්න බොරු විජ්ජා මගින් විසඳිය නොහැකි නිසාය. එමෙන්ම මෙම නායකයන්ට බලය ගැනීමට හැර රටේ ප්‍රශ්න විසඳීමට ඇත්ත හැකියාවක් නොමැති නිසාය. එමෙන්ම රටේ ජනතාවද මහින්දගේ, ගෝඨාභයගේ මෙන් ම බැසිල්ගේ මැජික්වලට රැවටීමට පුදුමාකාර නැමියාවක් දක්වන නිසාය. බැසිල් අසාර්ථක වන විට මූණු සයක් හා අත් දොළසක් ඇති කෙනෙකු කියා නාමල් රාජපක්ෂ වීදියට බැසීමට ඉඩ ඇත. අප ජනතාවට කියන්නේ මේ කෙළියට ඉඩදීම නතර කරපල්ලා කියාය. එමෙන්ම හරියට පාවිච්චි කළ හැකි එක මොළයක් ඇති මිනිහෙක් රටේ නායකත්වයට පත්කර ගනිල්ලා කියාය.


බුද්ධිමතිනි නැගිටිව්


රටේ උගතුන්, බුද්ධිමතුන් ඒ ගැන සාකච්ඡාවක් නොකරන්නේ ඇයි? බුද්ධිමතුන් බලාගෙන සිටින්නේ මේ ආණ්ඩුව එපා වූ විට කවුරු කවුරු හෝ එක්වී අටවන කෙමනකට 2015දී මෙන් බෙල්ල තැබීමටද? විශ්‍රාමික අධ්‍යාපන නිලධාරියකු, වෘත්තීය සමිති ක්‍රියාධරයකු හා වර්තමානයේ දේශපාලන විශ්ලේෂකයකු ලෙසද කටයුතු කරන ටී.එම්. ප්‍රේමවර්ධන මහතා සමාජ මාධ්‍ය මගින් ඉවසුවා ඇති කියන අයට වැදගත් ප්‍රශ්න 03ක් නගා තිබුණි.

01.ඊළඟට බලයට පත් කරන ආණ්ඩුව පොරොන්දු කඩ කිරීම වළක්වා ගන්නේ කෙසේද?

02.දේශපාලන නායකයන් සහ උසස් තනතුරු දරන්නන්ද දූෂණය විය හැකි බැවින් ඊට විසඳුම කුමක්ද?

03.ආණ්ඩු මාරු වන විට වෙනස් නොවිය යුතු දේශපාලන ප්‍රතිපත්ති මොනවාද?


ප්‍රශ්නය වන්නේ දේශපාලන පොරොන්දු මුද්‍රණය කිරීම මතු නොව, ඒවා ගලේ කොටා ගෙන් ගෙට බෙදාගෙන බෙදාගෙන ගියත් ගලේ කෙටූ පොරොන්දු පවා කඩ කරන දේශපාලන සංස්කෘතියක් රටෙහි පැවතීමය. ඒ පිළිබඳව මගේ යෝජනාව නම් සාම්ප්‍රදායික දේශපාලකයාගෙන් ලංකාව මුදවා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතුය යන්නය. මගේ දැනුමේ හැටියට ප්‍රේමවර්ධන මහතාත් මේ අදහසට එකඟය. එය කරන්නේ කවුද, කේන්ද්‍රය කොතනදැයි ප්‍රශ්නයක් තිබේ. ඒ සඳහා ගැළපෙනවා යැයි සිතිය හැකි බුද්ධිමතුන් පිරිසකට මූල මණ්ඩලයක් ලෙස ක්‍රියා කිරීමට සැලැස්විය යුතුය. එම මූල මණ්ඩලය හෙවත් බුද්ධි මණ්ඩලය සමන්විත විය යුත්තේ කවර තරාතිරමේ පුද්ගලයන්ගෙන්ද, සාම්ප්‍රදායික දේශපාලනඥයාගෙන් පරිබාහිරව අප රටේ අනාගතය ගැන සිතනවා නම් කොතැනකින් හෝ ආරම්භයක් ගත යුතුව ඇත. සාම්ප්‍රදායික දේශපාලන නායකයන්ට නම් මේ සඳහා පක්ෂ සංවිධාන තිබේ. පක්ෂ නැති අප මේ අදහස ප්‍රවර්ධනයට විකල්ප මාවතක් සෙවිය යුතුව තිබේ. එය සාමාන්‍ය ප්‍රශ්නයක් නොව දේශපාලනයේදී න්‍යායික ප්‍රශ්නයකි. පක්ෂය යනු ජනතා මූලස්ථානයයි. මාක්ස් කියූ හැටියට පක්ෂයක් නොමැතිව දේශපාලන ව්‍යාපාරයක් ලෙස ඉදිරියට යාමද කළ නොහැක්කකි.


ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කළ ආකාරය මගින් අපට යම් ආදර්ශයක් ගත හැකිය. එවැනි සුවිශාල කාර්යයකට මුල පිරුවේ එරට උගතුන් තිදෙනකු වන ඇලෙක්සැන්ඩර් හැමිල්ටන්, ජේම්ස් මැඩ්සන් සහ ජොන් ජේ. විසිනි. ආණ්ඩුව තුළ අර්බුද සහිත කාලයක (1786-1790) රචිත ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ආණ්ඩුවේ ඉදිරි මූලධර්ම කවරේද යන්න පැහැදිලි කැරිණි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියේ මූලික සාර සංග්‍රහයක් ලෙස අදද සැලකෙයි. එය නිර්භයව සම්පාදිත පෙඩරල් ව්‍යවස්ථාවක් නිසා ජන අනන්‍යතා වෙන වෙනම පිළිගත් තත්ත්වයක්ද වූයේය.


මගේ යෝජනාව වන්නේ බුද්ධිමතුන් ලංකාව තුළත් මෙවැනි කාර්යයකට අත ගැසිය යුතුය යන්නය. ඊළඟට බුද්ධිමතුන් මැදිහත් වී පක්ෂයක් නොහදන නිසා මේ මොහොතේ පිළිගත හැකි දේශපාලන අභ්‍යාසයක් සහිත, වැඩි වගකීමකින් ක්‍රියා කරන පක්ෂ හා දේශපාලනඥයන් එකතු වී එකී බුද්ධිමතුන්ගේ ක්‍රියාවලියට ප්‍රායෝගික තත්ත්වයක් ආරෝපණය කළ යුතුය යන්නය.


ආදර්ශ නම් කිහිපයක්


මහාචාර්ය දීපිකා උඩගම, මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර, ආචාර්ය ජයන්ත ධනපාල යන තිදෙනාගෙන් කවරකු වුව ඔවුන්ගේ විෂය ක්ෂේත්‍ර තුළ ප්‍රවීණයෝ වෙති. ඊට අතිරේකව ඔවුහු නීතියේ පාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, විදේශ සේවය වැනි පැතිරුණු විෂය ක්ෂේත්‍රයන් පිළිබඳව පරාප්‍රාප්ත වූවෝය. ඇන්ජලා මර්කෙල්, ජසින්ඩා ආඩන් වැනි අය බිහිකර ගැනීමට ලංකාවට නොහැකිද? ව්‍යාජ ජනතා වුවමනාවන් වෙනුවට ඇත්ත ජනතා වුවමනාවන් පෙරදැරිව ක්‍රියා කරන පක්ෂ මේ ගැන කල්පනා කිරීම වැදගත්ය.


රටේ අනාගතය ගැන හිතන පිරිසක් මුදුනතෙහි වැඩ කරන රටක් බවට ලංකාව පත්වනවා නම් ප්‍රේමවර්ධන මහතා මතු කරන දෙවැනි හා තෙවැනි ප්‍රශ්න සඳහා පිළිතුරු සපයා ගැනීම ඒ සා දුෂ්කර නොවේ. ■