විමලනාත් වීරරත්න

වත්මන් ආණ්ඩුව වැඩ කරන්නේ සදාචාර සම්පන්න නොවන ආකාරයට බව ප‍්‍රකට කැරෙන තවත් අවස්ථාවක් වී තිබෙන්නේ මහ බැංකු අධිපතිවරයා සේවයෙන් ඉල්ලා අස් වූ පිළිවෙළය. ඔහු ඉවත්වීමට දින ගණනාවකට පෙර තමන් එම තනතුරට පත්වන බව අජිත් නිවාඞ් කබ්රාල් ව්‍යංගයෙන් කීවේය. රටට වැදගත් සහ අතිශයින් බලපෑම්සහගත තනතුරු කැසිනෝ සූදූව ක‍්‍රියාත්මක කරන ආයතනයක තනතුරු මාරු කරන ආකාරයට වෙනස් කිරීම ඉතාම නින්දාසහගතය. ලංකාව යනු කැසිනෝ එකක්ද?

පසුගිය දිනවල සිදුවූ සිදුවීම් නිසා හිතේ අමාරුවෙන් මහාචාර්ය ඩබ්ලිව්.ඞී. ලක්ෂ්මන් මහතා ලංකාවේ මහ බැංකු අධිපති ධුරයෙන් විශ‍්‍රාම යන්නේ කැසිනෝ එකක කළමනාකරුවකු අයිතිකරුගේ හිත නොහොඳ වී යටින් ගසා ඉවත් කරන ආකාරයටය. 80 හැවිරිදි ඒ මහතා මෙම තනතුරට තවදුරටත් නොගැළපෙන බව නොකිවමනාය. තනතුරු දිගටම තිබෙන දේවල් ද නොවේ. එහෙත් යම් තනතුරකට පත් කැරුණු පුද්ගලයකු විෂමාචාරයක් නොකළ තත්ත්වයක් තුළ තනතුරින් ඉවත් කරන ශිල්ප ක‍්‍රමයක් තිබිය යුතුය. මේ ක‍්‍රමය අශිෂ්ටය.

මහ බැංකු අධිපතිට ඇමති බලතල දීම

අනෙක් ප‍්‍රශ්නය වනුයේ කබ්රාල් මහතා මහ බැංකු අධිපති ධුරයට පත් කරන විට එය කැබිනට් ඇමති බලතල සහිත තනතුරක් බවට පත් කැරෙන බව ප‍්‍රකාශ වී තිබීමය. ජනපතිට එවැනි බලතල ලබාදිය හැකිමුත් මහ බැංකු අධිපති තනතුර යනු ස්වාධීන තනතුරක් ලෙස ස්ථාපිත වූවකි. දීර්ඝ කාලයක් එම තනතුරට පත්වූයේ ජ්‍යෙෂ්ඨත්වය යන ක‍්‍රමවේදය තුළිනි. අධිපති විශ‍්‍රාම යන විට නියෝජ්‍ය අධිපති තනතුරට පත්විය යුතුය. එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දරන ලද කාලයේ කබ්රාල් මහතාගේ මහ බැංකු අධිපතිත්වය උග‍්‍ර ලෙස දේශපාලනීකරණය වූයේය. රටේ ආර්ථිකය හැසිරවිය යුත්තේ ස්වාධීනවද? ආණ්ඩු කරන දේශපාලන පක්ෂයට ආනතවද යන ප‍්‍රශ්නයේදී මෙම තනතුර ස්වාධීන වීම වැදගත්කමක් උසුලයි. තනතුර දේශපාලනීකරණය වූ විට මහ බැංකුව හැසිරෙන්නේ ඒ අනුවය. රටේ ආර්ථික වර්ධන වේගය පිළිබඳව ව්‍යාජ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළ හැකිය. එවැනි අත්දැකීම් ආසන්න අතීතයේ තිබේ.

ඊළඟ බරපතළ කාරණය වනුයේ දේශපාලනඥයකු මෙවැනි තනතුරකට පත් කිරීම තුළින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ණය දෙන ආයතනවලට මෙන්ම ලෝක ආර්ථික දර්ශක සකසන ආයතනවලට ලැබෙන සංඥාව ස්වාධීනත්වය හා අවංකභාවය විෂයෙහි හොඳ එකක් නොවීමය. එපමණක්ද නොවේ. ඇමති බලතල සහිත තනතුරක් දරන මහ බැංකු අධිපතිවරයකු මුදල් ලේකම්ට වඩා ඉහළින් ක‍්‍රියා කළ හැකිය. ඇතැම්විට මුදල් ඇමතිටත් අභියෝගාත්මක විය හැකිය. කබ්රාල් මහතා ප‍්‍රකාශ කර තිබුණේත් තමන්ට තනියම සිතා මතා තීන්දු ගත හැකි තනතුරක් බවට මහ බැංකු අධිපති තනතුර ජනාධිපතිවරයා විසින් පරිවර්තනය කැර දෙන බවකි.

නාමල්ට මොළ කීයද?

කැබිනට් ඇමති තනතුරු මාරුවේදී බැසිල්ට මුදල් ඇමති ධුරය ලබාදීම, රාජපක්ෂ පවුල තුළ සමබර කර ගැනීමට නාමල් රාජපක්ෂට ආයතන හැට හතරක අධීක්ෂණ ඇමති ධුරයක් දුන්නේය. මෙරට එක ඇමතිවරයකුට එක් ඇමති ධුරයක් නිසි පරිදි කිරීමත් කොපමණ අසීරුද? එසේ වී තිබියදී නාමල් තරුණ කටයුතු හා ක‍්‍රීඩා අමාත්‍යාංශය බලා ගන්නා අතර තවත් ආයතන හැට හතරකුත් අධීක්ෂණය කරන්නේ කෙසේද? බැසිල් මහතාට මොළ හතක් තිබෙනවා යැයි කියන්නා සේ නාමල් මහතාට මේ වැඬේට මොළ විසි හතක්වත් තිබිය යුතුය. මේවා සදාචාර සම්පන්න ක‍්‍රියා නොවන බව ජනාධිපතිවරයා තේරුම් ගත යුතුය. මෙවැනි බොරු වැඩ නොකර තම පක්ෂයේ පසු පෙළ මන්ත‍්‍රීවරුන් මේ සමහර කටයුතුවලට සම්බන්ධ කරගැනීමට ජනාධිපතිට තිබුණි. චන්දිම වීරක්කොඩි ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරයකු ලෙස ආණ්ඩුවේ ඇතැම් කටයුතුවලට විරෝධය පළකරමින් සිටින අතර සමහර දේවල් නිවැරදි කරගැනීමට අත්දැකීම් ඇති ඔහු වැනි කෙනෙක් යොදා ගැනීමට තිබුණි. මහාචාර්ය චරිත හේරත්, ගෙවිඳු කුමාරතුංග, අනූප පැස්කුවල්, නීතිඥ දොළවත්ත වැනි මන්ත‍්‍රීවරුන්ට යම් වගකීම් සමූහයක් පැවරුවහොත් අඩුම තරමින් තම ගමන් මග නිසි පරිදි කපා ගැනීම අරබයා හෝ ඔවුන් වැඩ කළ යුතුව ඇත. නාමල්ට ආයතන හැට හතරක් අධීක්ෂණය කිරීමට භාර දෙනවාට වඩා ඉහත කී අය මෙන් ම තවත් නිකම් සිටින අය මෙම කටයුතුවලට ස්වේච්ඡාවෙන් දායක කර නොගන්නේ ඇයි? නායකයාට තම පක්ෂයට අත්දැකීම් ඇති දෙවැනි පෙළක් ගොඩ නගා ගැනීමටද එවැනි පියවරක් වැදගත් වෙයි. ජනපතිට කිසිවෙක් මෙවැනි යෝජනා නොකරතියි සිතිය හැකිය. ඒ නිසා තමන් දන්නා එකම විදියට ජනපති සුරල් වයමින් සිටිනු පෙනේ. සුරල් පද වැයීමට හැකි තවත් ලස්සන ක‍්‍රම තිබේ. ප‍්‍රශ්නය වන්නේ ඒවා ගැන අවබෝධයක් තිබෙන අයත් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන සිටින තත්ත්වයට ඇද වැටී සිටීමය.

අදූරදර්ශී තීරණ

සැබැවින්ම ලංකාවේ ප‍්‍රශ්න ගැන අවංකව කතා කිරීමට යන එකා සදා අමාරුවේ වැටෙන තත්ත්වයක් තිබේ. එවැනි නිදර්ශන එකක් දෙකක් දුටු විට සෙස්සෝ පාඩම් ඉගෙන නිහඬ වෙති. මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ වකවානුවේ ජාතිවාදයට දැඩි ලෙස විරුද්ධ මන්ත‍්‍රීවරුන් මහින්දගේ ජාති ආගම්වාදයට එකඟව ක‍්‍රියා කළහ. 18 වැනි සංශෝධනය වැනි ඒකාධිපති ව්‍යවස්ථා සංශෝධනවලට විරුද්ධ වූවෝ නිසි අවස්ථාවේ විරුද්ධ නොවූහ. අත් එසවූහ. ලංකාවේ සිටින්නේ ප‍්‍රමාද වී එම ක‍්‍රියාව වැරදි යැයි පිළිගන්නා කොමියුනිස්ට් හා සමසමාජ නායකයෝය. සියල්ල එසැණින් වරදට විරුද්ධ වන සංස්කෘතියක් අපට හැදීමට නොහැකිද?

ආණ්ඩුව පසුගියදා භාණ්ඩ හයසිය විසි ගණනකට දැඩි ආනයන සීමා පැනවූයේය. සුහුරු ජංගම දුරකතනත් ඒ අතර තිබේ. වසරක පමණ කාලයක සිට මුළු රටේම පාසල් දරුවන්ගේ අධ්‍යාපනය සිදුවන්නේ මාර්ගගත ක‍්‍රමයටය. එය සිදු කරන්නේ සුහුරු ජංගම දුරකනවලින් බව ඉහත තීන්දුව ගත් මුග්ධයන්ට කල්පනා කළ නොහැකි වූයේ ඇයි? යට ඇඳුම් ලංකාවට නොගෙනාවත් ‘ලංකට්’ යැයි හඳුන්වන චීත්ත රෙදිවලිනුත් මසා නූල් දෙපොටකින් ඉණ වටා ගැට ගසා අපේ සීයලා හා තාත්තලා ඇන්ද යට ඇඳුම පිරිමින්ට ඇඳිය හැකිය. කාන්තාවන්ටත් කවර ආකාරයකින් හෝ ඒ අඩුපාඩුව පිරිමසා ගත හැකිය. එහෙත් පාසල් වසරකට වඩා වසා තිබෙන තත්ත්වය ලංකට් වැනි ප‍්‍රශ්නයක් නොවන බව රටේ ආර්ථික උපාය මාර්ග පිළිබඳ උපදේශයෙන් කල්පනා කළ යුතුව තිබුණි. තිබෙන ඩොලර් ටිකත් වැයවීම ප‍්‍රශ්නයක් බව සැබෑය. ප‍්‍රශ්නය ඇත්තේ ඉම්පෝටඞ් යට ඇඳුමෙහි නොව රටට නිෂ්පාදන ආර්ථිකයක් නැතිකමෙහිය. ඩොලර් ඉපැයිය හැක්කේ අපනයන වැඩි කළහොත්ය. අපනයන වැඩි වන්නේ නිපදවන තරමටය. ලංකාව මේ මොහොතේ ඩොලර් සෙවීමට සැරසෙන්නේ ක‍්‍රම දෙකකිනි. එකක් ඇඟලූම් කර්මාන්තයෙනි. අනෙක සංචාරක කර්මාන්තයෙනි. කොවිඞ් නිසා ඒ දෙකම ගමන් කරන්නේ බකල ගගහාය. සංචාරක කර්මාන්තය අනතුරුදායකම තැනකට පත්ව තිබේ. ඒ නිසා මේ මොහොතේ එම ක‍්‍රම දෙකෙන් අපේක්ෂිත ඩොලර් ඉලක්කයට යා නොහැකිය. සැප්තැම්බර් 07 සම්මත කරන ලද නව මුදල් පනත (1% බදු සමා පනත) ආණ්ඩුව මුදල් සොයන තවත් අපකීර්තිමත් වැඩපිළිවෙළකි. එමගින් වැඩි වාසි අත්වන්නේත් ගජමිතුරන්ටය. ඉන් රටේ ආර්ථිකයට තල්ලූවක් ලැබෙන්නේ නැත.

පාසල් දරුවන්ට ෆයිසර් එන්නත ලබාදී ඉක්මනින් පාසල් විවෘත කරන බව සුහුරු දුරකතන සීමා දැමීමට පිළිතුරු ලෙස ආණ්ඩුව කියන්නට පුළුවන. එහෙත් එය සිදුවන්නේ රසායනික පොහොර නවත්වා කාබනික ගොවිතැන ප‍්‍රවර්ධනය කිරීමට තැතනූ මරිමෝඩ ක‍්‍රමයටදැයි විමසිය යුතුව ඇත. 1 සිට 5 වසර දක්වා දරුවන්ට එන්නත ලබාදීමට අවසර නැති තත්ත්වයක් තුළ සියලූ පාසල් දරුවන් එන්නත් කිරීමක් සිදුවන්නේ නැති බවද තේරුම් ගත යුතුය.

වෛද්‍යවරුන්ගේ විරෝධය

කොවිඞ් මර්දනය සඳහා පත් කෙරුණු වැදගත්ම කමිටුවෙන් වෛද්‍යවරු ඉවත්වෙමින් සිටිති. හේතුව ලෙස දැක්වෙනුයේ විශේෂඥ උපදෙස්වලින් පරිබාහිරව තීන්දු ගැනීම හා කටයුතු සිදුවීමය. විශේෂඥ උපදෙස් වලට පිටින් ගන්නා එම තීරණ ක‍්‍රියාත්මක වීම පිළිබඳව ජනාධිපතිවරයා නොදන්නවා සේ සිටියි. හරි නම් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම ඉවත් වන විට ජනාධිපතිවරයා ඔහුගෙන් එකරුණ විමසා වරදක් සිදුව ඇත්නම් එය නිවැරදි කළ යුතුව තිබුණි. විජේවික‍්‍රම යනු කොවිඞ්වලට පෙරත් තම සේවය විශිෂ්ට ලෙස රටට දුන් වෛද්‍යවරයෙකි. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාත් මේ ගැන සොයා බලන බව මාධ්‍යයට කියා තිබුණත් ඉන් එහාට ඒ ගැන වගේ වගක් නැත. කිසිවක් සිදු නොවන්නේ සිදුවූවා යැයි කියන වැරදි ක‍්‍රියා රටේ ප‍්‍රධානියාත් සෞඛ්‍ය අංශ ප‍්‍රධානීනුත් අනුමත කරන නිසාද?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආණ්ඩුවේ අත්තක් ලෙස තිබුණු සංවිධානයකි. එය පවා කොවිඞ් මර්දන කටයුතුවලින් ඉවත් වන බව ප‍්‍රකාශ කළේය. ඔවුන් දිගින් දිගටම රට වසන ලෙස කළ බලපෑමට ආණ්ඩුව ප‍්‍රතිචාර දැක්වූයේ හොඳ හිතින් නොවන බව පැහැදිලිය. ආණ්ඩුව කල්පනා කළ යුතු දෙයක් වන්නේ රටේ සෑම ප‍්‍රශ්නයක්ම දේශපාලන කෝණයකින් බලා විසඳිය නොහැකි බවය. පිළිතුරු සෙවීම විෂයානුබද්ධ විය යුතුය. ජනපතිටත් ආණ්ඩුවටත් නැත්තේම ඒකය.

මගඩි නැටුම්

රටක මේ ආකාරයට ආචාර ධර්ම මැරීම බරපතළ ක‍්‍රියාවකි. එය එම රට නරකම අඩියකට පත්වීමේ පෙර නිමිත්තක්ද වෙයි. ආචාරධර්ම බිඳ දැමීම පාර කපන්නේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනයකටය. ආණ්ඩුව ආහාර සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයකු පත්කරමින් එවැනි ක‍්‍රියාවක ඡායාව පෙන්නුම් කළේය. ඔහු සඟවා ඇති සීනි හා සහල් එළියට ගත්තේය.

සීනි බද්ද ශත විසිපහට අඩු කොට, හිතවතුන්ට සීනි ආනයනය කර අධික ලාභයක් ලැබීමට පාර කපා දුන්නේ කවුද? ඒවා අනතුරුව ඔවුහු රිසි මිලට විකුණා ඉහළ ලාභයක් ඉපැයූහ. එය ආණ්ඩුවට හා ජනපතිට නොසිතූ පාරා වළල්ලක් වෙද්දී සීනි ඇල්ලූවේය. අල්ලන සීනිවලටත් සැඟවූවන්ට මුදල් ලැබුණි. එයත් සැලකිය යුතු ලාභයකි. සීනි බද්ද ශත විසිපහ කිරීමෙන් ලාභ ගත් තවත් අය සිටිය හැකිය.

අනෙක් අතට නිපුන, අරලිය හා රත්න සහල් ගබඩා කළේ අද ඊයේ නොවේ. දිගු කාලයක සිට එය ඔවුන් කරගෙන ගිය ව්‍යාපාරයේ ස්වභාවයයි. ඒ කවුරුත් ආණ්ඩුවේ ගජ මිතුරෝය. ඒ අනුව ආණ්ඩුව සීනි හා සහල් සම්බන්ධයෙන් නැටුවේ මගඩි නැටුමකි. මගඩි වේෂ නිරූපණය නොතේරුණු ඇත්තෝ ජනපතිට ස්තුති කරති. භාණ්ඩ සඟවා ඇති බව දැන ගත් විට ඒවා එළියට ගැනීමට පාරිභෝගික සේවා අධිකාරියටත් තිබුණි. එහෙත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයකු මගින් ආණ්ඩුව හදිසි නීති රෙගුලාසි ආශ‍්‍රිත බලයක් ප‍්‍රදර්ශනය කළේය. ආණ්ඩුවට දිගටම විවිධ පාර්ශ්ව වෙතින් විරෝධතා එල්ල වන විට එම බලය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ස්වරූපයකින් මතුවීමටද ඉඩ ඇත.

දිනෙන් දින සේදී යන ආණ්ඩුවේ චිත‍්‍රයේ වර්ණය යළි පිළිසකර කර ගැනීමට මෙවැනි ක‍්‍රියාවන් මගින් හැකි වෙතැයි ආණ්ඩුව කල්පනා කරනවා වන්නට පුළුවන. එහෙත් එවැනි මගඩි නාටකවලට ඇති ආයු කාලය ඉතා කෙටි බව ඔවුන් දැනගත යුතුව ඇත.