වර්තමාන ආණ්ඩුවේ ආයුෂ දැන් වර්ෂ දෙකක් පසුකොට අවසන් වී ඇත. ඒ යනු කාෂිකාර්මික ජීවන කර්මාන්තයේ යල් කන්නය, මහ කන්නය ආදී වශයෙන් කන්න හතරක් පසුකොට අවසන්ය. එයිනුත් එළවළු ආදී වශයෙන් පවතින කෙටිකාලීනව අස්වනු නෙලන වගාවන් වසරකට තෙවරක් පමණ වගා කරනු ඇත. එවැනි වගාවන්වල අස්වනු නෙලීමේ කාලය ආණ්ඩුව පසුකර ඇති ආයුෂ වලට සාපේක්ෂව වාර හයක් සම්පූර්ණ කර ඇත. දේශීය කෘෂිකාර්මික නිෂ්පාදන වගාවන් තුළ කහ වගාව වැනි ඇතැම් වගාවන් බොහෝ වෙලාවට අස්වනු නෙලන්නේ වර්ෂයකට එක් වාරයක් පමණි. ඒ අනුව බැලූ කල එවැනි වගාවන් ද දෙවාරයක්වත් අස්වනු නෙලා තිබීම අවසන් වී තිබිය යුතුය. මේ වන විට ආණ්ඩුව පවසන පරිදි කාබනික පොහොර භාවිතයේ සහන රැසක් වගා කරන ගොවියා මෙන්ම භාවිතයට ගන්නා පාරිභෝගිකයන් ඇතුළුව සංවර්ධනය අරමුණු කරගත් වර්තමාන ආණ්ඩුවත් අත්පත් කරගෙන තිබිය යුතුය.


දැන් වසර දෙකක් තිස්සේ උදෑසන, දහවල් සහ රාත්‍රී වශයෙන් දවස පුරාවට මෙකී කාබනික පොහොර සංකල්පයේ මහා වගා සංග්‍රාමය පිළිබඳව පුනපුනා දක්වන විද්‍යුත් මාධ්‍ය නිවේදන සහ නිරන්තරව ඇස ගැටෙන පුවත්පත් මාධ්‍ය ඔස්සේ දක්නට ලැබෙන සටහන් මහජනතාවට සම්පප්‍රලාපයන් නොවී ඇත්තේ ඔවුන් ඒවාට නිරන්තර සවන් දීම සහ බැලීම නිසාය. ඔවුන් නොඉවසිල්ලෙන් පුන පුනා බලා සිටිනුයේ එහි සහන සුවසේ විඳගැනීමටය. මහජනතාව ද රසායනික පොහොර භාවිතයේ නිෂ්පාදනයන්ට වඩා කාබනික පොහොර භාවිතයේ නිෂ්පාදනයන්ට නොපිරිහෙළා දෙවරක් නොසිතා ඇලුම් කරන බව නොඅනුමානය. ඒ සෞඛ්‍යාරක්ෂිත බවේ වාසිදායක තත්ත්වය තමන්ට ද ලැබෙන නිසා සහ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් නිසාය.


පෝෂ්‍යදායී ආහාර වේලක් සහනදායී මිලකට පිළියෙල කර ගැනීමට හැකි පරිදි පාරිභෝගිකයාටත් අඩු වියදමකින් වැඩි ලාභයක් අත්පත් කරගෙන ගුණාත්මක නිෂ්පාදනයක් ලබා ගත හැකි පරිදි ගොවියාටත් වාසි ලබාදෙමින් ස්වයංපෝෂිත රටක් නිර්මාණය කරන බවට බස් දොඩවන සංකල්ප දැන් ආණ්ඩුවටත් මාධ්‍යයටත් පමණක්ම සීමා වූ සංකල්ප බව මහජනතාවට ප්‍රත්‍යක්ෂ වෙමින් පවතී. වර්තමාන ආණ්ඩුව බලයට ඒමට පෙර සෑම කෘෂිකාර්මික නිෂ්පාදනයකම විවිධ පැතිකඩයන් මහජනතාවට සහනදායී ලෙසත් වාසිදායක ලෙසත් තිබුණි. දැන් එන්න එන්නම ඒවායේ මිල ඉහළ නගිමින් පවතී.


ආණ්ඩුව බලයට පැමිණ කාබනික පොහොර සංකල්පය ආරම්භ කොට ව්‍යාප්ත කිරීම සඳහා පුර්ව සුදානමක් ලෙස පිළියෙල කර ගැනීමට කාලය අවශ්‍ය නම් ඒ සඳහා වසරක කාලයක් ලබා දුනහොත් ඒ අනුව බැලුවත් වර්තමානය වන විට එහි සහන ගොවියාටත් මහජනතාවටත් ලැබී තිබිය යුතුය. තවද ආණ්ඩුව බලයට පැමිණියේ සෞභාග්‍යයේ දැක්ම නම් ප්‍රතිපත්ති ප්‍රකාශන සැලසුම් සමාජය අභිමුඛ කරමිනි. ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කිරීමේදී එය ක්‍රියාත්මක කිරීමේ පුර්ව සැලසුම් සහ ක්‍රමවේද එය ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථම තමා සතුව තිබිය යුතුය. නමුත් වර්තමාන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ එවැනි සැලසුමක් නොතිබූ බවටත් එය මහජනතාව වෙත ඉදිරිපත් කළ හුදු ලියවිල්ලක් පමණක් බවත් ප්‍රත්‍යක්ෂ වන්නේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට සහ ඒවායේ ගුණාත්මක අග්‍රඵලයන් මහජනතාවට ලබාදීමට මෙතරම් කල් මැරීම හේතුවෙනි.


මහජනතාව ආණ්ඩුවක් වැඩි ඡන්දයෙන් බලයට ගෙන එනු ලබන්නේ පවතින ආණ්ඩුවේ පාලනතන්ත්‍රයේ අසාර්ථක අකර්මණ්‍ය තත්ත්වය සහ ගෙන එනු ලබන ආණ්ඩුව එකී ඌනපුරණය සපුරාලමින් තවදුරටත් මහජන සුභසිද්ධිය වෙනුවෙන් පෙනී සිටීමේ යාන්ත්‍රණයක් ඇති කරයි යන විශ්වාසයෙන් සහ ගෙන එනු ලබන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරනු ඇතැයි යන අචල විශ්වාසයේ එකඟතාවත් හේතුවෙනි. නමුත් මහජනතාව ඉදිරියේ ඇතැම් යෝජනා පුස්සක් බවට පමණක් පත්වේද යන සැකය දැන් දැන් මහජනතාව තුළ පවතින්නේ වගා සංග්‍රාමය සම්බන්ධ මෙකී සම්පප්‍රලාපය නිසාය.


ආණ්ඩුව පවසන මෙකී කෘෂිකාර්මික නිෂ්පාදන ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී ඇති බවට දැක්විය හැකි කදිම උදාහරණය ලෙස කහ වගාව සඳහන් කළ හැකිය. මීට අවුරුදු එකකුත් අඩකට කාලයකට පෙර එනම් මෙම ආණ්ඩුව බලයේ පවතින කාලවකවානුවේදීම කහ ග්‍රෑම් සියයක් පාරිභෝගිකයා රුපියල් පනහක් වැනි මුදලට පරිභෝජනය කළ නමුත් වර්තමානයේ එය ග්‍රෑම් පනහක් රුපියල් තුන්සීයකටත් එහා ගිය අධික මිලක් දක්වා ඉහළ නැඟ ඇත. මේවා සංවර්ධනයේ පුර්ව නිමිති වශයෙන් හඳුනාගත නොහැකිය. මෙය පාරිභෝගිකයාට උසුලා ගැනීමට අපහසු තරම් මානසික ව්‍යාකූලත්වයකි. මෙය එක් උදාහරණයක් පමණි.


ලෝකයේ බෙහෝ රටවල් කොරෝනා වෛරසය පරාජය කොට හෝ ඒ මාධ්‍යයේ හෝ ආර්ථික සංවර්ධනය අත්පත් කරගනිමින් පවතින අතර ඒ සඳහා විවිධ සැලසුම් ක්‍රියාත්මක කරමින් පවතී. හොඳම උදාහරණය හැටියට කොරෝනා වෛරසය ආරම්භ වූ විශාල ජන ඝනත්වයක් සහිත චීනයම සඳහන් කළ හැකිය. එවැනි පසුබිමක අප පාලනතන්ත්‍රයේ උදාසීනත්වය මැති ඇමතිවරු මාධ්‍යයන් ඔස්සේ හෝ දක්නට තරමටවත් පේනමානයක නොමැති බැවින් ප්‍රත්‍යක්‍ෂ වේ.


කහ පිටරටින් ආනයනය කිරීම නවතා දැමීමෙන් අනතුරුව දේශීය නිෂ්පාදනයක් ලෙස අපනයනය කිරීමට ද සැලසුම් යෝජනා කෙරිණ. නමුත් සිදු වී ඇත්තේ කුමක් ද? කහ දේශීය නිෂ්පාදනයක් ලෙස අලුතෙන් ආරම්භ කළත් දැන් ගෙවී වසර එක හමාරකටත් වැඩිය. මෙකී කාලය කහ අස්වනු නෙලා අඩු මුදලකට පාරිභෝගිකයා අතට පත් කිරීමට තරම් ප්‍රමාණවත්ය. නමුත් ඒ පිළිබඳව තවම හෝඩුවාවක්වත් නොමැත. ඒ අනුව ආණ්ඩුවත් මාධ්‍යයත් කරනු ලබන්නේ ‘කටින් බතල හිටවනවා වගේ’ යන පැරණි කියමනට හා සමාන දෙයකි. නොඑසේනම් ‘කථාව දෝලාවෙන් ගමන පයින්’ වැන්නකි.


නීතියේ රැහැනින් වරදකරුවන් බවට පත් වී මරණීය දණ්ඩනය පවා නියම වූ වරදකරුවන්ට විධායකයේ විධායක බලය පරිශීලනයෙන් නිදහස් කිරීමට තරම් විධායක බලයක් හිමි විධායකයට රට ස්වයංපෝෂිත කාබනික පොහොර භාවිතයෙන් යුත් සංවර්ධනයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙලේ දී එය අකර්මණ්‍ය කරන්නන් තම පාලන යාන්ත්‍රණය තුළ සිටී නම් ඔවුන්ට එදිරිව යම් ක්‍රියාමාර්ග ගන්නට විධායකයට වරම් නොමැති වීම මේ රටේ අභාග්‍යයකි. මෙසේ සටහන් කිරීමට ප්‍රධානම සාධකය ඇතැම් දිශානතීන්වල සංවර්ධනයේ කොටස් අත්පත් කර ගැනීමේ කාලය ඉක්ම ගොස් තිබීමය.


එළවළු, පළතුරු පමණක් නොව සීනි, සහල්, කව්පි, මුං ඇට, කඩල, තල, කුරහන් ආදී වශයෙන් තිබෙන සෑම කෘෂිකාර්මික වගාවකම මිල අධික ලෙස ඉහළ යමින් පවතින්නේ නිෂ්පාදනයෙන් නෙලාගන්නා අස්වැන්නේ ප්‍රමාණය අල්පනිසා යැයි ගොවීන් සහ වෙළෙඳුන් පවසයි. ඔවුන් පවසන පරිදි ඊට හේතුව පොහොර අවශ්‍යතාවයේ ඌනතාවයි. කෙසේ වෙතත් ගොවියාට ලැබෙන්නේ සොච්චමක් පමණක් සේ ම ඇතැම්විට පාඩු ද විඳගනී. ඒ අනුව බලන කල ගොවියාට තම අතමිට සරුවීමක් හෝ රටේ සංවර්ධන ප්‍රගතියක් අත්පත් කරගත් බවක් දක්නට නොලැබේ. ගොවියාගේ, පාරිභෝගිකයාගේ සහ රටේ අතමිට සරුවීම කෙසේ වෙතත් දේශපාලන යාන්ත්‍රණයේ මහජන නියෝජිතයන්ගේ අතමිට සරු වී ඇති බව ප්‍රත්‍යක්‍ෂ වන්නේ දේශපාලනයට ප්‍රවේශ වීමට පෙර සහ පසු ඔවුන්ගේ වත්කම් පිරික්සීමෙන්ය. එසේ බලන විට ‘දේශපාලන ව්‍යාපාර’ යන්න භාවිතය අතිශය සාධාරණය. මෙකී තත්ත්වයක් තුළ ‘ආණ්ඩුවටත් රාජ්‍ය මාධ්‍යයටත් සීමා වූ කාබනික පොහොර වගා සංග්‍රාමය’ යනුවෙන් මෙම ලිපියේ මාතෘකානුගත සංකල්පයේ ද වරදක් දිස්වනු නොපෙනේ.


කොරෝනා වෛරසය යනු මහජනයා අබියස දඩමීමෙක් හෝ ප්‍රශ්නවලින් පලායාමේ උත්තේජනයක් ද නොවිය යුතුය. මහජනතාව කරවටක් තරමට බදු බරින් යටවෙලා කොරෝනා හේතුවෙන් හුස්ම ගැනීමටවත් නොහැකිව හතිදමමින් සිටින මොහොතක කාබනික පොහොර වගා සංග්‍රාම වැනි සංකල්පවලට මුවා වී මේ රටේ මහජන මුදල් අවභාවිතයේ යොදවමින් ඩබල් ගේම්වල නියැලෙන්නේ නම් එහි ඵල විපාක දෙගුණ, තෙගුණ, සිව්ගුණ වන බව නම් නොඅනුමාන බව ආණ්ඩුව සිහි තබා ගැනීම ඉතාමත් වටිනා කාරණයක් වනු ඇත.


කාබනික පොහොර කෙසේ වෙතත් කිරිපිටි නිෂ්පාදනයේ කිරි එළදෙන පෝෂණය කර ගැනීමටවත් සාමාර්ථයක් නොලද වර්තමාන ආණ්ඩුවේ ඒ ඒ විෂය භාර අමාත්‍යවරුන්ගේ කාර්ය කුමක් ද යන්නවත් වටහා ගැනීමට එකී අමාත්‍යවරු අපොහොසත් වී ඇත්තේ මතුවෙමින් පවතින මෙකී ගැටලුවලට තවමත් විසඳුම් නොමැති නිසාය. සීනි කර්මාන්තය ද එසේමය. උද්ඝෝෂණ ව්‍යාපාර තවත් පසකින්ය.


විෂය භාර අමාත්‍යවරු මාරු කිරීමෙන් රටක් සංවර්ධනය කළ හැකි යැයි විශ්වාසයක් පවතී නම් එය මිථ්‍යාවකි. අමාත්‍යවරයා අකර්මණ්‍ය නම් ඔහු සක්‍රීය කර ගැනීමේ නැතහොත් කාර්යක්‍ෂම කර ගැනීමේ වැඩපිළිවෙළක් යෝජනා කොට ක්‍රියාත්මක කිරීම විනා ඒ වෙනුවට ඇමතිවරු මාරු කිරීම බෝලය පාස් කිරීමක් වැනිය. නැතහොත් කබලෙන් ළිපට වැටීමකි. මේ ආකාරයට වගා සංග්‍රාමයක් ජය ගැනීම යනු සිහිනයක් බවට පමණක් පත්වන්නක් වේ. ගොවියාට වගා කර ගැනීමට අවශ්‍ය සම්පත්හි ඌනතාවයෙන් පුරන් වී ගිය මුඩු බිම් දැන් දැන් රට අභ්‍යන්තරයේ ප්‍රදර්ශනය වෙමින් පවතින්නේ වගා සංග්‍රාමයේ ප්‍රතිඵල නිසා ද යන ගැටලුව අප ඉදිරියේ පවතී.
සිංහල වාග්මාලාවේ තිබෙන හොඳම ලස්සන හරබර ව්‍යක්ත භාෂිත වචන ටික අරුත්බර ලෙස ලස්සනටම ගෙත්තම් කරමින් රජයේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන් ඔස්සේ මහජනතාව වෙත දක්වන ප්‍රතිචාර හුදු ප්‍රකාශන හා ලියවිලි පමණක් නොවීමට රජය වග බලා ගැනීම රජයේම වගකීමකි, වගවීමකි.


අවසානයේ “ඒ කෙසේ නමුත්” කියා ලිපිය අවසන් කළ නොහැක්කේ මහජනතාව දල්වාගත් දෙනෙත් සහිත බලාපොරොත්තුවෙන් යුක්තව දෙසවන් විවර කොට සැනසිල්ලේ පංචස්කන්ධයවත් පෝෂණය කර ගැනීමට අවැසි යමක් තොලකට ගෑමට අවශ්‍ය පරිසරයක අනුබලයක් නොඉවසිල්ලෙන් අපේක්ෂා කරමින් සිටින නිසාය.


චමින්ද මොරගොඩ
සබරගමු නර්තන අධ්‍යයනාංශය
නර්තන හා නාට්‍ය කලා පීඨය
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය