රසික ගුණවර්ධන


සහල් මිල ඉහළ යාම සහ ඉහළ ගිය සහල් මිල පාලනයට රජය ව්‍යාජ රංගනයක යෙදීම හේතුවෙන් මේ වන විට ශ්‍රී ලාංකික ඡන්දදායකයා පීඩා විඳින ප්‍රධානතම ගැටලුව සහල් මිල බවට පත්ව තිබේ. සහල් මිල මේ ආකාරව ඉහළයාම සිදුවන්නේ ජනාධිපතිවරණයෙන් පසු උදා වූ උත්සව සමයත් සමගය. උත්සව සමය ආරම්භයත් සමග පසුගිය වසර කිහිපය පුරාම සහල්, එළවලු ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය වෙළෙඳ ද්‍රව්‍යවලට මෙම කලදසාව උදාවනු දැකගත හැකි විය. ඊට ප්‍රධානතම හේතුවක් ලෙස සැලකිය හැක්කේ, ඒ ඒ ක්ෂේත්‍ර වල පවතින වෙළෙඳ ඒකාධිකාරිය සහ රජය විසින් ඒ ඒ ක්ෂේත්‍ර නියාමනය කිරීමට අසමත් වීමයි.

මාෆියාවට පාර කැපීම


එසේම පසුගිය වසරවල හාල් පාරිභෝජනය පිළිබඳ දත්ත විමසීමේදී පුද්ගලයකුගේ මාසික වියදමින් වැඩි ප්‍රතිශතයක් වැයකර ඇත්තේ සහල් සඳහාය. ඒ අනුව 1953 වසරේදී පුද්ගලයකුගේ මාසික පාරිභෝගික වියදම රුපියල් තිස් හතරකි (34). එයින් 59.9% ක් ආහාර සඳහා වන අතර එයිනුත් 10.5% ක් සහල් සඳහාය. 1963 වසරේදී පු. මා. පා. වි. රුපියල් තිස් හයක් (36) වන අතර එයින් 56.3% ක් ආහාර සඳහා වන අතර එයිනුත් 10.9 ක් සහල් සඳහා වේ. එසේම වර්ෂ 1973 දත්ත වාර්තා වලට අනුව පු. මා. පා. වි. රුපියල් පනස් අට (58) දක්වා ඉහළ ගොස් ඇති අතර එයින් 55.4% ක කොටසක් හිමිවන්නේ ආහාර සඳහාය. එයිනුත් 15.0% ක ප්‍රතිශතයක් සහල් සඳහා වියදම වේ. වර්ෂ 1978/79 අතර කාලයේ පු. මා. පා. වි. රුපියල් එකසිය හැත්තෑ නවය (179) දක්වා ඉහළ යන අතර එයිනුත් 56.7% ක් ආහාර සඳහා වන අතර එයිනුත් 14.9% ක ප්‍රතිශතයක් වෙන්ව ඇත්තේ සහල් සඳහාය. එසේම වර්ෂ 1981/82 සීමාව තුළ පු. මා. පා. වි. රුපියල් තුන්සිය දහ අටක් (318) වන අතර එයින් 56.5% ක කොටසක් ආහාර සඳහා වැය කරන විට එයිනුත් 15.7% ක කොටසක් වැයකර ඇත්තේ සහල් සඳහාය. පසුගිය වසර හා සැසැඳීමේදී පුද්ගලයෙකුගේ මාසික පාරිභෝගික වියදමෙන් වැඩිම ප්‍රතිශතයක් සහල් සඳහා වියදම් කර ඇත්තේ මෙම සීමාවේදී වන අතර මේ කාලසීමාව දක්වා ත්වරණයක් ලෙස පැමිණි මාසික පාරිභෝගික වියදමට සහල් දායකත්වය මෙතැන් පටන් මන්දනය වීමක් දැකගත හැකිවේ. 1986/87 වර්ෂ වල (උතුරු සහ නැගෙනහිර පළාත් දත්ත ඇතුළත් නොවේ) පු. මා. පා. වි. රුපියල් පන්සිය තිස් හතරක් (534) වන අතර එයින් 52.2% ක් ආහාර සඳහා වේ. එයිනුත් 12.5%ක ප්‍රතිශතයක් සහල් සඳහා වියදම වේ. වර්ෂ 1996/97 දී පු. මා. පා. වි (උතුරු සහ නැගෙනහිර පළාත් දත්ත ඇතුළත් නොවේ) දෙදහස් දොළහක් (2012) වන අතර එයින් 48.4% ක කොටසක් හිමිවන්නේ ආහාර සඳහා වන අතර එයිනුත් 9.9% ක් සහල් සඳහා වියදම වේ. එසේම වර්ෂ 2003/04 කාලසීමාවේදී පු. මා. පා. වි. (කිලිනොච්චි, මුලතිව් හා මන්නාරම දිස්ත්‍රික්කයන්හි දත්ත ඇතුළත් නොවේ) ලෙස ගණන් බලා ඇති මුදල රුපියල් තුන්දහස් නවසිය තිස්හය (3936) කි. එයින් 37.9% ක් ආහාර සඳහා වන අතර එයිනුත් 6.9% ක වියදමක් දරා ඇත්තේ සහල් සඳහාය.
මෙය සහල් මාෆියාවම පාලනය නොවීම තුළ එය කෙතරම් ව්‍යාකූල තත්ත්වයක් ඇතිකිරීමට සමත් වන්නේ දැයි උක්ත දත්ත අනුව පැහැදිලිය. එසේම අවාසනාවකට එවැනි නියාමනයක් හෝ වැඩපිළිවෙළක් පසුගිය වසර දක්වාමා පැවතියේ නැත. පසුගිය වසරේ පැවති රජය විසින් හිටපු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාගේ මූලිකත්වයෙන් ශක්ති සහල් ව්‍යාපෘතිය ආරම්භ වීම මෙකී ඒකාධිකාරිය පාලනය සඳහා මෙරට රජයක් විසින් ක්‍රියාත්මක කළ එකම වැඩපිළිවෙළ වේ. එහෙත් එහි ප්‍රගතිය නිරීක්ෂණයටවත් ඉඩ නොතබා වත්මන් රජය විසින් එම වැඩපිළිවෙළ නවත්වා දමා ඇත.


කෙසේ වෙතත්, කෙතරම් දරුණු ලෙස මෙරට සහල් මාෆියාව ක්‍රියාත්මක වූවේද යත් දෙදහස දශකය ආරම්භය වන විට මෙරට සිටි එකම ප්‍රධාන සහල් නිෂ්පාදකයා නිපුන සහල්ය. (සිරිපාල ගම්ලත් ගේ ව්‍යාපාරය)


2014 වෙද්දී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින් ගණන 500 දක්වා අඩු වෙනවා සේම මහා පරිමාණ සහල් නිෂ්පාදන සමාගම් කිහිපයක් බිහි වේ. (අරලිය සහල් (ඩඞ්ලි සිරිසේන), නිව් රත්න සහල් (එල්. ජේ. මිත්‍රපාල), ලක් සහල් (ලක්ෂ්මන් වසන්ත පෙරේරා) ලත්, හිරු, මේනක, ගැමිරස) මෙරට සහල් නිෂ්පාදනයෙන් සැලකිය යුතු තරමක් මෙහෙයවන්නේ මොවුන් විසිනි. ඊට සහල් සහ වී මිල තීරණය, වෙළෙඳපොළ තොග ප්‍රමාණ තීරණය, සහල් ආනයනය ඇතුළු සහල් නිෂ්පාදනය කෙරෙහි ඝෘජුව සහ වක්‍රව සංවේදී ලෙස බලපාන බොහෝ තීරණ ප්‍රමාණයක් ගැනීමේ හැකියාව මෙම මාෆියාව සතුය.


ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තා වලට අනුව පසුගිය වසර කිහිපයක සහල් ආශ්‍රිත සංඛ්‍යා විචල්‍යාය පහත ආකාරයට වේ.

2018 වී නිෂ්පාදනය


2018 වසරේ වී නිෂ්පාදනය මෙටි්‍රක් ටොන් මිලියන 3.9 කි. බුසල් 188,340,000 කි. එය පෙර වසර එනම් 2017 වසර සමග සැසැදීමේදී 64.9 % ක වර්ධනයකි. ගණන් බලා ඇති පරිදි එම වසරේ ඵලදාව හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 4,443 වේ. එනම් ඵලදාව අක්කරයකට කිලෝ ග්‍රෑම් 10,978.87515 කි. (2.47105 ඞ 4443) එසේම මහ බැංකු දත්ත වලට අනුව 2018 වසරේ වී නිෂ්පාදනය යහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් වර්ධනය වී ඇත.


ඒ අනුව ගොවීන් වගා කළ සමස්ත වී ප්‍රමාණය විකුණුවේ යැයි සලකා ඔවුන් සම්පූර්ණ වර්ෂය තුළ වී විකිණීමෙන් ලද මුදල රුපියල් මිලියන එක්ලක්ෂ අනූතුන්දහස් හතළිස් අටකි. (රුපියල් 193,048,500,000) කි. එනම් (බුසලක වී කිලෝ 20.5 ක ධාරිතාවක් ඇත. මෙහි වී කිලෝ ග්‍රෑමයක විකුණුම් මිල රුපියල් පනහක් ලෙස සලකා ඇත. වී සඳහා මෙම මිල උපරිම මිලයි. එම වර්ෂයේ රජය විසින් වී මිලදී ගැනීම සඳහා පනවා තිබූ මිල ගණන් මෙසේය. සම්බා වී කිලෝ ග්‍රෑමයක් රුපියල් 41, නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 38 ලෙසය.) මෙරට සිටින ගොවි පවුල් ප්‍රමාණය දළ වශයෙන් මිලියන 8 කි. ඒ අනුව පසුගිය වසරේ එක් ගොවි පවුලකට වී විකිණීමෙන් ලද මුදල රුපියල් විසිහතර දහස් එකසිය තිස් දෙකකි. (රුපියල් 24,131.0625) ගොවියාට රුපියල් විසිපන් දහසක වාර්ෂික ආදායමක් ලැබීමට මෙරටේ වී ගොවිතැන ආශ්‍රිත මාෆියාව කෙතරම් දරුණුද?


2018 වසරේ වී නිෂ්පාදනයට අනුව සමස්ත සහල් නිෂ්පාදනය මෙටි්‍රක් ටොන් මිලියන 2.5ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර මහ බැංකු දත්ත වලට අනුව එය මාස දහතුනක පමණ ගෘහස්ත සහල් අවශ්‍යතාව සැපිරීමට ප්‍රමාණවත් වෙතැයි සැලකිය හැක. ඒ අනුව සමස්ත සහල් ප්‍රමාණය විකුණුවා යැයි උපකල්පනය කර එම වසරේ සහල් අලෙවියෙන් ලැබූ ලාභය ලෙස රුපියල් 2,500,000,000 (බිලියන දෙක fff) (එම වසරේ සම්බා සහල් කිලෝවක සාමාන්‍ය සිල්ලර මිල රුපියල් 109.24 වූ අතර නාඩු සහල් කිලෝවක සාමාන්‍ය සිල්ලර මිල රුපියල් 91.94 විය. මෙම මුදල සාදා ඇත්තේ සහල් කිලෝවක මිල රුපියල් 100 ලෙස ගෙනය.) මෙය ගොවීන් අතර බෙදී නොයන බවත්, මෙය බෙදී යන්නේ වෙළෙඳුන් හා මෝල් හිමියන් අතර පමණක් බවත් අප සියලුදෙනාම දන්නා සත්‍යයකි.


මේ සහල් මිල ඉහළ යාම පිටුපස ඇති සහල් මාෆියාව සඟවමින් රජය විසින් කියන්නේ සහල් හිඟයක් ඇති බවය. එහෙත් පසුගිය වසර පහක් පිටුපසට බලන විට පැහැදිලිවම පෙනෙන්නේ ගෘහස්ත සහල් ඉල්ලුමට වඩා දේශීය සහල් සැපයුම ඉහළ බවයි. එය එසේ නොවී ඇත්තේ වර්ෂ 2017 දී පමණක්ය. (වගුව අංක 01 බලන්න) එනම් පැහැදිලිවම සහල් හිඟයක් දෙදහස් දහනවය වසරේ ඇති වූවා යැයි සැලකිය නොහැකිය. මෙය හුදෙක් රජය විසින් සහල් මාෆියාව ආරක්ෂා කිරීමටත් එය පවත්වාගෙන යාමටත් තමන් විසින් නිපදවන ලද අමුම අමු බේගලයකි.

මේක මාෆියාවක්
ගොවි සංවිධාන ක්‍රියාකාරී කවුඩුල්ලේ ජයතිස්ස


මේක මාෆියාවක්. මෙයට දිගු ඉතිහාසයක් තියනවා. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගෙ කාලෙ ලෝක බැංකුවේ උපදෙස් පරිදි මෙරට සහල් කර්මාන්ත විශාල වෙළෙඳුන් කිහිපදෙනෙකුට සීමා කරන්න පසුබිම හැදුණා. ඊට පසුබිම තමයි ඩඞ්ලි සිරිසේනලා හරහා ගොඩ නැගෙන්නෙ. අපි ඒක අවබෝධ නොකරගෙන මේක මතුපිටින් අතගාල වැඩක් නෑ.
ලංකා බැංකුව, මහජන බැංකුව සහ සංවර්ධන බැංකුව කියන රජයේ බැංකු තුන ගොවියාව නගා සිටුවීම පැත්තකින් තියල, මේ මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් වටා එකතු වුණා. ඒකට හොඳම උදාහරණය තමයි මේ පැතිවලට ඉස්සර ආපු ඔය බැංකුවල මැනේජර් මහත්තුරු ආවෙ සූට්කේස් එකත් අතේ එල්ලගෙන බස් එකේ. හැබැයි මෙයාල මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයොත් එක්ක එකතු වුණාට පස්සෙ එයාල අරන් දුන්න කාර් වලින් තමයි ඒ බැංකුවල මැනේජර් මහත්තුරු ආවෙ.


මේ රටේ සහල් කර්මාන්තය ගොඩ නැගුණෙ මරඳගහමුල කේන්ද්‍ර කරගෙන. එතනට වී ගෙනල්ල කුඩා ව්‍යාපාරිකයන් වී තම්බල කොටල කොළඹ දක්වා හාල් එව්වා. එතන හාල් වෙනුවෙන් පුංචි මිනිස්සු ලොකු වැඩ කටයුත්තක් කළා. සමූපකාර හරහා වී මිලදී අරගෙන ඒවා වෙළෙඳපොළට දාල හාල් මිල ස්ථාවරව තියාගන්නත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණා. කොහොමහරි, ඩඞ්ලිල වගේ සහල් ව්‍යාපාරිකයො ලොකු වෙළෙඳ ව්‍යාපාරිකයො වෙනකොට එයාල මේක විනාශ කළා. ලොරිවලට ගැහුවා, මේක කඩාකප්පල් කරලම දැම්මා. ඒකයි මම මේකට මාෆියාව කියන්නේ. මේකට රජයත් උදව් කළා.


දැන් මේ මාෆියාව උපරිම තැනට ඇවිල්ලා. දැන් මේක පාලනය කරන එක ලේසි නෑ. මේ ව්‍යාපාරිකයන් ළඟ තියනවා කන්න තුනක වී ස්ටොක්. මේ පාර තම්බන්නෙ අවුරුදු එකහමාරක් පරණ හාල්. බොයිලර් කුකුල් මස් වගේ මේක සාපලත් ක්‍රමවේදයක්. මේ කට්ටිය තමන්ගෙ ගබඩාවල වී තියාන ඉන්නෙ නෑ. කඩා වට්ටපු වී මෝල් හිමියන්ගෙ වී ගබඩාවල වී ස්ටොක් ගහල තියනවා. ඒකෙ අයිතිකාරය කියන්නෙ මේ මගේ වී කියලා. නමුත් ඇත්ත කතන්දරේ තමයි මේ මහා ව්‍යාපාරිකයන්ගෙ වී තමයි එහෙම වෙන අයගෙ ගබඩා වල ගබඩා කරන්නෙ.


ඒ වෑයම කුඩා හා මධ්‍ය පරිමාණ හාල් ව්‍යාපාරිකයන් නගා සිටුවීමෙනුත් මේ වැඬේ කරන්න බෑ. මොකද එයාල ඉන්නෙත් මම කවදහරි ලොකු ව්‍යාපාරිකයෙක් වෙනව කියන මතේ. නිපුනලා, ඩඞ්ලිලා, නිව් රත්නලා ආවෙත් එහෙම.
වී අලෙවි මණ්ඩලයෙන් කුඩා ව්‍යාපාරිකයන්ට වී නිකුත් කරහම කුඩා ව්‍යාපාරිකයො කළේ තමන් ළඟ තිබුණු මඩි වී (සවුත්තු වූ වී) කොටල දෙන්ඩ පටන් ගත්තා. සමහර අය කියනව මේ සහල් මාෆියාවට අභියෝග කරන්න නම් කුඩා ව්‍යාපාරිකයා ගොඩ ගන්න ඕනෙ කියල. එහෙනම් කුඩා ව්‍යාපාරිකයා නිසි අධීක්ෂණයක් අහ නියාමනයක් යටතේ ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙළකට යා යුතුයි.


ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරයා ඉන්න කාලෙ ඩෙයිඩෝන් කියල කොරියාවෙන් පොඩි වී මෝල් දෙසීයක් ගෙනාවා. ඒව බොහොම පොඩි රෙදි සෝදන යන්ත්‍ර වගේ මැෂින්. ගෙනල්ල මුලින්ම ඒක ගිරිතලේ සමෘද්ධි කණ්ඩායමකට දුන්නා. ඉතුරු ටික හිඟුරක්ගොඩ සතොස ගබඩාවෙ දැම්ම. ඒ වෙලාවෙ තොරතුරු වගයක් ගන්න එක්තරා පත්තරේකින් ආව. මම ඒ කට්ටියත් එක්ක සතොස ගබඩාවට ගියා. එතකොට ඒව වහල දාල. අපි ගිහිල්ල බලපුවහම අර මැෂින් වලට මොනවහරි කෙමිකල් එකක් දාලා ඒව දිරල යන්න.


මුරකාරයගෙන් ඇහුවහම කීව ඔය හාල් මෝල් ටික හංගල තියෙන්නෙ ඩඞ්ලියි නිපුනයි කියලා. අපි ඒකෙ ෆොටෝ ගන්න හැදුවහම මුරකාරය කීව ඕකෙ නම් ෆොටෝ ගන්න එපා කියල. ඊට පස්සෙ මම මුරකාරයත් එක්ක කතාවට වැටිල අනිත් ගබඩාවට යන අතරෙ ඇරිල තිබ්බ ජනේලකින් පැනල ෆොටෝ ගත්ත. කොහොමහරි මේක අරන් ගියාට පස්සෙ මේක පත්තරේ පළවෙන්නෙ නෑ. ඔය අතර මම ගෙදර ඉද්දි මනුස්සයෙක් ඇවිල්ල කීව මම සතොසෙ සිකුරුටි ලොක්ක, ඔයාල ඇවිල්ල ගත්ත ලිපිය දාන්ඩ එපා කියල මට තර්ජනය කළා. ඊට පස්සෙ මම මාධ්‍යවේදීන්ට කතා කළා ඊට පස්සෙ ඒක ඊළඟ සතියෙ පළවෙලා තිබ්බා. පස්සෙ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වුණාට පස්සෙ අපි හිඟුරක්ගොඩ උද්ඝෝෂණයක් කරල කට්ටියත් එක්ක සතොස ගබඩාවට ගියා අර මැෂින් වලට මොකද උනේ බලන්ඩ. එතකොට ඒ මැෂින් ටික නෑ ඒව අයින් කරල.


මේ මාෆියාව නැති කරන්න නම් පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා අතර ඝෘජු සබඳතාවක් ඇතිකළ යුතුයි. ගොවියට පුළුවන්නම් දහදුක් විඳල වී හදන්ඩ ඇයි ඒක හාල් කරල වෙළෙඳපොළට යොමු කරන්න වැඩ පිළිවෙලක් රජයට හදල දෙන්න බැරි.

මම ආයෝජනය කරල පැනල යනවා
සහල් ව්‍යාපාරික ඩඞ්ලි සිරිසේන


මාෆියාව කියන එකේ තේරුම මොකක්ද? මාෆියාව කියල මට ආමන්ත්‍රණය කරන එවුන්ගෙ මොළේ ප්‍රමාණය මම අහනවා. මම මෙච්චර රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් සේවයක් කළා. මම දේශපාලකයො පස්සෙ ගිහිල්ල හරි හම්බ කරපු එකෙක් නෙවෙයි. මම මේ රටේ මහජනතාවගෙ දාඩිය ලේ කඳුළු වලින් හම්බ කරල ඒ ජනතාව වෙනුවෙන් බැංකුවට ණය වෙලා මම මේ රටේ ආයෝජනය කරල තව ටික කාලෙකින් පැනල යන මිනිහෙක් කියල ලීව නම් ඇති.

මිල ඉහළ ගියේ ශක්ති සහල් කඩාකප්පල් කළ නිසා
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා


මේ ප්‍රශ්නය අවුරුදු දහයක විතර ඉඳලා තියන දෙයක්. මේකට හේතුව වෙළෙඳපොලේ තියන සීමිත තරගකාරීත්වය (Oligopoly). මේක එන්න එන්න තද වෙනවා. පහුගිය මහින්ද රාජපක්ෂ කාලෙ ලංකා බැංකුව මේ කට්ටියට ඉතාම අඩු පොලියට විශාල ණය ලබා දුන්න. මෙයාල ඒක අරගෙන ඉතා විශාල වී ගබඩා හදල විශාල වී ප්‍රමාණයක් ගබඩා කරගත්තා.


සාමාන්‍යයෙන් වී වල තෙතමනය 14%ට වඩා වැඩි නම් රජයෙන් වී මිලදී ගන්නේ නෑ. හැබැයි මෙයාල ගොවියා ළඟටම ගිහිල්ල තෙත හාල් මිලදී ගන්නව, හැබැයි රජයේ සහතික හාල් මිලට වඩා අඩුවෙන්. ගොවියත් වී වේලන්න තියන කම්මැලිකමට වී ටික කුණු කොල්ලයට දීල දානවා. ගොවියටත් ප්‍රශ්නයක් නෑ, එවෙලෙම මෙයාලට අතට සල්ලි එනවා. ඒ වගේම වී අලෙවි මණ්ඩලයත් මේකට උදව් වෙන විදිහට තමා කටයුතු කළේ. එයාල ගොවිය ළඟට යන්නෙ නෑ. එතකොට එයාලගෙ ගබඩා වලට වී එන්නෙ නෑ. ඒක මේ විශාල ව්‍යාපාරිකයන්ට වාසියක්. වී අලෙවි මණ්ඩලය ඉන්නෙත් මෙයාලගෙ සාක්කුවෙ.


මේ විශාල වී මෝල් හිමියන් විශාලනය වීමත් සමග සිද්ධ වුණේ කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වැහිලා ගිය එක. මේ අවුරුදු දහක දොළහක විතර ඉඳන් වුණා.


2018 දී හාල් තිබුණෙ හාල් රුපියල් 120 විතර. ඒකට හේතුව තමයි කුඩා හා මධ්‍ය පරිමාණ හාල් මෝල් වැහීගෙන ගියා, එයාල ළඟ වී තිබුණෙ නෑ, වී ටික තියෙන්නෙ ඩඞ්ලිල ගාව. එයාල වී ගබඩා කරගෙන ඉඳල වී නෑ කියල හාල් හිඟයක් මවනව, එතකොට හාල් මිල ඉහළ යනව, මෙයාල ඒ ඉහළ ගිය මිලට හාල් ටික එළියට දානව.
ඒ අතරතුර ආණ්ඩුව හිතන්නෙ බලන්නෙ නැතුව, නැත්තම් කාගෙ හරි උවමනාවකට හාල් පිටරටින් ගේනව. ඊට පස්සෙ මේ පල් හොරු පිටරටින් ගේන හාල් එයාලගෙ හාල් වලට කවලම් කරල විකුණනවා. මේ මාෆියාවට ආණ්ඩුව, කස්ටම් එක, මුදල් අමාත්‍යාංශය ඔක්කොම හවුල්.


මේකත් එක්ක හිටපු අගමැතිතුමා මට කීව මේක අධ්‍යයනය කරල විසඳුමක් දෙන්න කියල. එතකොට මම මේක සම්බන්ධ පිරිස් එක්ක මාස ගණනක් කතා කළා. එතකොට මට තේරුණා මේ කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමිය බැංකු ණයවල හිරවෙලා ඉන්නව කියල. සමහර මිනිස්සු දිවිනසා ගන්න තැනටම පත්වෙලා. ඔය අතරෙ පාරිභෝගිකයා කෑගහනව හාල් මිල වැඩියි කියල. ගොවිය කෑගහනව මගෙ වී වලට නිසි මිලක් නෑ කියල.


ඊට පස්සෙ සියල්ලම දිසාපතිලට, වී අලෙවි මණ්ඩලයට, භාණ්ඩාගාරයට, බැංකු වල ප්‍රධාන විධායක නිලධාරීන්ට, මහ බැංකුවට, සමුපකාර දෙපාර්තුමේන්තුවට හැම කෙනෙකුටම කතා කරල සියලුම දෙනාට යෝජනා කළා සමුපකාර ක්‍රමයක් හරහා, ඕනෑකමින් බැංකු ණය නොගෙවන පිරිස් ඉවත් කරල වෙළෙඳපොළ මාෆියාව නිසා අමාරුවෙ වැටුණු කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් එකතු කරල දිස්ත්‍රික් සමුපකාර ක්‍රමයක්. පොළොන්නරුව, අම්පාර, කුරුණෑගල ආදී වශයෙන් දිස්ත්‍රික්ක අටක සහල් නිෂ්පාදකයන්ගේ සමූපකාර හැදුවා. එයාල හැමෝම එකතු කරල අවසානයේ ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංවිධානයක් හැදුවා.


ඊට පස්සෙ ජනාධිපතිවරයා හරහා කැබිනට් පත්‍රිකාවක් දාල රුපියල් මිලියන දාහක් මේ වැඩපිළිවෙළට ගත්තා. හැබැයි මේකෙන් එක සතපහක්වත් මෝල්කාරයට දෙන්නෙ නෑ. මේ සියලුම මුදල් දිස්ත්‍රික් ලේකම් ළඟ තියෙන්නෙ. මේ මුදලින් රජය කරන්නෙ කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට ව්‍යාපාරය නැවත පටන් ගන්න අතහිත දෙන එක. ඊට පස්සෙ මේ හරහා ඔවුන්ට බැංකු ණය ගෙවීමේ හැකියාව ලැබුණු පසු බැංකු කැමති වුණා ඔවුන්ට නැවත කාරක ප්‍රාග්ධනය (Working Capital) ලබා දීමට.


මේ ක්‍රමය හරහා අපි සමූපකාරය හරහා ගොවියා වෙත ගොස් වී මිලදී ගත්තා. ඒ වී කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් වෙත ලබා දෙනවා.


මේ වැඬේ පටන් ගත්තට පස්සෙ 2019 මාර්තු මාසය වෙද්දි අපි තදටම වැඬේට බැස්සා. මේක තමයි ශක්ති සහල්. මේ පටන් ගත්තත් එක්ක ඩඞ්ලිලාට මේක ප්‍රශ්නයක් වුණා.


මේක හරිම සිම්පල් වැඩක්. 2.1 කියා සූත්‍රය තමයි මේකට අවශ්‍ය. අපි වී කිලෝ එක ගන්නෙ හතළිහට නම් අසූ දෙකට විකුණන්න පුළුවන් සියලුම වියදම් ඇතුළුව ආදායමත් සමග, ඊට පස්සෙ නාඩු අසූවටත්, සම්බ අසූ පහට ස්ථාවර මිලක් ලබා දුන්නා. මේ ක්‍රමය නිසා ගොවියට, මෝල් හිමියට, තොග වෙළෙන්දට විතරක් නෙවේ සිල්ලර වෙළෙන්දටත් විශාල ලාභ ලැබුණා. අපි මේකට QR කෝඞ් ගහල නියම විද්‍යාත්මක ක්‍රමයට ක්‍රියාත්මක කළේ. එතකොට ඕනෙම කෙනෙකුට නිෂ්පාදනය කරපු දිනය, ප්‍රදේශය වගේ විස්තර තමන්ගෙ ෆෝන් එකෙන් පාරිභෝගිකයට බලාගන්න පුළුවන්.


වර්තමාන රජය මේ ක්‍රමය නවත්තලා. ඒ නිසා තමයි නැවත වතාවක් මේ සහල් මිල ඉහළ ගිහිල්ලා තියෙන්නෙ. වී මෙටි්‍රක් ටොන් හතළිස් නවදහසක් රජයේ ගබඩා තිබ්බා. ඡන්දෙ වෙනකොට අපි මෙයින් මෙටි්‍රක් ටොන් නව දහසක් නිකුත් කරලා, තව හතළිස් දාහක් තිබ්බා. මේ රජය ආපු ගමන් කිසි ඇහිල්ලක් බැලිල්ලක් නැතුව මේක කඩාකප්පල් කරලා, වී ටික දුන්න මාෆියාවට. දැන් රජයට වී නැහැ.