ඡායාරූපය අන්තර්ජාලයෙනි, ලිපියේ සඳහන් සිදුවීම්වලට සබඳතාවක් නැත.

රසික ගුණවර්ධන


තිරසාර සංවර්ධනය යනු පරිසරයේ සම්පත්වලින් ප්‍රයෝජනය ගනිමින් ඒවා අනාගතය සඳහාද සුරැකීම වේ. වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වන්නේ ද එකී තිරසාර සංවර්ධනය අරමුණු කරගනිමිනි. එහෙත් ඔහු බලයට පත් වූ විගසම දැකගත හැකිවූයේ එය හුදු දේශපාලන වේදිකාවේ කී කතාවක් විනා සත්‍ය ලෙසම වත්මන් ජනාධිපතිවරයාගේ සහ රජයේ වැඩපිළිවෙල නොවන බවයි.


දේශපාලන වේදිකාවේ කියූ එම කතාව අසත්‍ය වන විට ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය, මාධ්‍ය ඇතුළු පරිසර ක්‍රියාකාරීන් සහ මහජනතාවට භයානක තර්ජනයක් සිදු කළේය.


ඔවුන් කීවේ, “වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු පෙර නොවූ අයුරින් පරිසරය විනාශ කිරීමට පටන්ගෙන ඇතැයි කියැවෙන අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රබන්ධ කොට සමාජගත කිරීමේ මෙහෙයුමක් හඳුනාගෙන ඇති බවත්, එවැනි වාර්තා සම්බන්ධව නීති මගින් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත්”ය. ඒ අනුව සත්‍ය වශයෙන්ම නව රජය බලයට පත්වීමෙන් අනතුරුව පරිසර විනාශයන් සිදුවූවා යැයි පැවසීම, රාජ්‍ය අනුග්‍රහය ඇතිව පරිසරය කපා දැමුවේ යැයි පැවසීම සත්‍යක් නොවන්නේද?


වත්මන් ආණ්ඩුව


වනාන්තර විනාශ කිරීම වත්මන් ආණ්ඩුව මතට පමණක් ලඝු කිරීම සාධාරණ කරුණක් නොවේ. මීට පෙර සිටි යහපාලන ආණ්ඩුවද ඊටත් පෙර සිටි රාජපක්ෂ ආණ්ඩුවද වනාන්තර විනාශ කරමින් තමන්ගේ උවමනා එපාකම් ඉටුකර ගත්තේය. වත්මන් ආණ්ඩුවද වනාන්තර විනාශ කිරීම වරදක් නොවන බව ඉන් අදහස් නොකැරේ. ඔවුන් පෙර රජයන් වනාන්තර විනාශ කරමින් ආ ගමන් මඟ නොකඩවා ගෙන යමින්ද, තවත් විටෙක එය වේගවත් කරමින්ද තවත් විටෙක අලුතින්ම නොඉඳුල් වනාන්තර විනාශ කරමින්ද සිටී. ඒ නිසාම වත්මන් ආණ්ඩුවද කැලෑ පාලු ආණ්ඩුවකි. එහෙත් ඒ අතරින් වර්තමාන ආණ්ඩුවේ කැපී පෙනෙනම අංගය නම් ඔවුන්ගේ භූමි පරිහරණ ප්‍රතිපත්තියයි. එය ලේඛනගත භූමි පරිහරණ ප්‍රතිපත්තියක් නොවන අතර කිහිපදෙනෙකුගේ ඕනෑ එපාකම් මත ක්‍රියාත්මක වන්නකි. එය ජනාධිපතිවරයාගේ හිටිවන චක්‍රලේඛන බඳුය. ඒ අනුව බලන කල වත්මන් ආණ්ඩුව පසුගිය ආණ්ඩුවලට වඩා වෙනස් ගමන් මඟක ගමන් කරයි. මීට පෙර පැවති ආණ්ඩු ක්‍රියා කළේ පනත්, චක්‍රලේඛ, ප්‍රතිපත්ති වෙනස් කරගෙන වනාන්තර විනාශ කිරීම නීත්‍යනුකූල ලෙස සිදු කිරීමය. එහෙත් වත්මන් ආණ්ඩුවේ එවැනි පසුබිමක් නොමැත. ඔවුහු නීතිය නොතකා තමන්ගේ උවමනා එපාකම් සපුරා ගනිති.


පසුගිය යහපාලන ආණ්ඩුව විසින් රාජ්‍ය ඉඩම් බැංකු පනත, ගෙන ඒමට උත්සාහ කළේය. එය හරහා ආණ්ඩුව සිදු කිරීමට උත්සාහ කළේ ජනතාවගේ ඉඩම් භාවිත අයිතිය අහිමි කරමින් මහා පරිමාණ ආයෝජන උදෙසා ඉඩම් විවෘත වෙළඳපොල යාන්ත්‍රණයට ඇතුළත් කිරීමය. එය තවදුරටත් පැහැදිලි ලෙස දැක්විය හැක්කේ ලංකාවේ ඉඩම් මහා පරිමාණ විදේශ ආයෝජන සඳහා විදේශ වලට ලබා දීමටය. කෙසේ වෙතත් එම පනත ගෙන ඒමට ප්‍රථම ආණ්ඩුව නිකුත් කළ කෙටුම්පත හේතුවෙන්, විශේෂයෙන්ම පරිසරවේදීන්ට එම යෝජිත පනතට විරුද්ධව ජනතාව පෙළ ගස්වා ගොවීන්ගේ සහ කුදුමහත් ජනතාවගේ ඉඩම් ඔවුන්ට ආරක්ෂා කර දීමට හැකි විය. ඊට පසුද යහපාලන ආණ්ඩුව එලෙස ගෙන ආ පනත් සංශෝධන සියල්ලක්ම පාහේ නීතිමය රාමුව තුළ සිදුකර ගැනීමට උත්සාහ කළ නිසා ජනතාවට ඒවා නිරාවරණය වූ අතර ඒ නිසාම එම පරිසර විනාශයන් වළක්වා ගැනීමට හැකි විය. එහෙත් වත්මන් ආණ්ඩුවේ එවැනි ක්‍රියාවලියක් නොමැති නිසා වත්මන් ආණ්ඩුවේ වනාන්තර සහ පරිසර විනාශයන් පිළිබඳව සාකච්ඡා කළ හැක්කේ සිද්ධිමය වශයෙන් විනා ප්‍රතිපත්තිමය කෝණයකින් නොවේ.


5/2001


වත්මන් ආණ්ඩුව බලයට ආ විටම ඔවුන් 5/2001 චක්‍ර ලේඛනය අහෝසි කිරීමට උත්සාහ කළේ ඒ හරහා දුප්පත් ගැමි ජනතාව පීඩාවට පත්වන බවත් අදාළ සංශෝධනයෙන් පසු ජනතාවට ඉඩම් ලබාදිය හැකි බවත් පවසමින්ය. එහෙත් ඊට සමාජ ප්‍රතිවිරෝධයක් ඇතිවන විට එම තීරණයට කැබිනට් අනුමැතියක් ලබාගත් අතර කැබිනට් පත්‍රිකාවේ සඳහන් වූයේ “ආයෝජන ක්‍රියාවලීන් ඇතුළුව” යනාදී වශයෙනි. එහෙත් එහි ජනතාවට පෙන්වූ මුහුණුවර වූයේ ඉඩම් අයිතිය නොමැති ජනතාවට ඉඩම් ලබාදීම යන්නය. කෙසේ වෙතත් ඊට එල්ල වූ විරෝධය මත අදාළ කැබිනට් තීරණය මේ වන විට හකුලාගෙන ඇත. ඒ අනුව ආණ්ඩුව උත්සාහ කළේ ජනතාවට නංගි පෙන්වා අක්කා දීමටය.

1.සිංහරාජය


වත්මන් ආණ්ඩුව බලයට පත් වූවාට පසුව ඔවුන් විසින් සිදු කළ වැඩිම කතා බහට ලක් වූ පරිසර විනාශය නම්, සිංහරාජය හරහා ලංකාගම දක්වා දිවෙන මාර්ගය කැපීමයි. එම මාර්ගය ඉදි කිරීමට පරිසරවේදීන් ඇතුළු බොහෝ දෙනෙකුගේ විරෝධය එල්ල වූ අතර රජය සිදු කළේ එම මාර්ගය සකසන්නේ ලංකාගම ගම්වැසියන්ගේ සුභ සිද්ධිය උදෙසා යැයි පවසා, සිංහරාජය වනසමින් ඉදිවෙන එම මාර්ගයට විරෝධය දැක්වීම එම ගම්වැසියන්ගේ දියුණුවට ඇති අකමැත්ත නිසා සිදු කරන කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට අර්ථ දැක්වීමය.


කෙසේ වෙතත් මෙම මාර්ගය ඉදිකිරීම ආරම්භ වන්නේ ගිං-නිල්වලා ව්‍යාපෘතිය යටතේය. ඒ සැලසුම පසුගිය ආණ්ඩුවේය. ඒ යටතේ මාර්ග හතරක් සංවර්ධන සිදුවන අතර එසේ මාර්ග සංවර්ධනය කරන්නේ ව්‍යාපෘතියට අවශ්‍ය යටිතල පහසුකම් සඳහාය. සිංහරාජය හරහා කැපෙමින් පවතින මාර්ගයද එම මාර්ග හතරෙන් එකකි.

මෙම මාර්ගයන්හි පළල අඩි පහළොවක් පමණ වන අතර ලංකාගම වැනි ගම්මානයකට එවැනි මාර්ගයක් සකසන්නේ ව්‍යාපෘතියට අවශ්‍ය කරන්නා වූ බරවාහන හා යන්ත්‍රෝපකරණ රැගෙන යාමේ අවශ්‍යතාව උදෙසාය. මෙම ගිං – නිල්වලා ව්‍යාපෘතියට යටතේ වන විශාලතම ජලාශය වන මාදුකැටේ ජලාශය සැලසුම් කර ඇත්තේ ලංකාගමට පහළිනි. එය අක්කර 139ක විශාල ජලාශයකි. ඒ අනුව දැනට සැලසුම් කර ඇත්තේ අදාළ ජලාශය හේතුවෙන් පවුල් තිහක පමණ ජනතාවට උන්හිටිතැන් අහිමිවීමට නියමිත බවයි.


එහෙත් ලංකාගමට ගිය ජනාධිපතිවරයා ඉහත කී ආකාරයට ලංකාගමට සංවර්ධනය ලබාදෙන මුවාවෙන් පරිසරයට හානි නොවන ආකාරයට කැලෑ කපන ලෙස උපදෙස් දුන්නේය.

2.ආණවිලුන්දාවේ අක්කර 2.5 යි


ආනවිලුන්දාව රැම්සා තෙත් බිම් පද්ධතිය ඉස්සන් වගාවක් සඳහා පරිහරණය කිරීම සිංහරාජය විනාශ කිරීමට තීන්දු කිරීමෙන් පසුව වත්මන් රජයේ අනුග්‍රහය යටතේ අත ගැසූ ප්‍රසිද්ධම වන විනාශය විය. එයට රජයේ අනුග්‍රහය හිමි වූවා යැයි කීමට හේතු කිහිපයක් විය. එම විනාශය සිදු කළ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සොහොයුරාය. අසරණ ගැමියකු දරට ගසක් කපා ගත්තත් හෝරා කිහිපයකින් ඔහු අල්ලන ශ්‍රී ලංකා පොලීසියට සනත් නිශාන්තගේ සොහොයුරා අල්ලා ගැනීමට පස්මහ බැලුම් බැලීමට සිදුවිය. මුලින්ම අත්අඩංගුවට ගත්තේ අදාළ භූමිය ඩෝසර් කිරීමට යොදාගත් බව කියූ ඩෝසරයය. බාගවිට ඩෝසරය තනිවම ගොස් තෙත් භූමිය විනාශ කළා යැයි පොලීසිය සිතන්නට ඇත. කෙසේ වෙතත් එම ක්‍රියාවලියට එල්ල වූ විරෝධයට අනතුරුව එම ඩෝසරය ධාවනය කළේ යැයි කියන රියදුරු අත්අඩංගුවට පත්විය. මේ අතර සනත් නිශාන්ත මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ජනාධිපතිවරයා තමාගෙන් මේ පිළිබඳව විමසූ බවත්, තමන් ඊට සම්බන්ධ නොමැති බවත්, ප්‍රදේශයේ සිය පාක්ෂිකයකු මේ කටයුත්ත සිදුකර ඇති බවත්ය. කෙසේ නමුත් අවසානයේ රාජ්‍ය අමාත්‍යවරයාගේ සොහොයුරා අත් අඩංගුවට පත්විය.


එසේම ඒ වකවානුවේ පරිසර ඇමතිවරයා මාධ්‍ය සංදර්ශන පවත්වමින් රාජ්‍ය නිලධාරීන්ට නියෝග කළේ සති දෙකෙන් අදාළ ස්ථානය යථා තත්ත්වයට පත් කරන ලෙසයි. අවසානයේ සියල්ලක්ම නාටකයක් බවට පත්වී. පරසරය විනාශ කළ වුන් ආණ්ඩුවේ පිහිටෙන්ම ආරක්ෂා වී සිටී.


ගෙවී ගිය මාස නවය


මීට අමතරව නව ආණ්ඩුවේ කාලසීමාව තුළ මේ දක්වා සිදු කළ වන විනාශයන් කිහිපයක් මෙසේ දැක්විය හැකිය.

3.නකල්ස් සංරක්ෂිත වනාන්තරය ආශ්‍රිතව පන්විල ප්‍රදේශයේ වනාන්තර අක්කර 05.

4.හොරොව්පොතාන රන්මලේ වනාන්තරය- අක්කර 105.

5.මහදිවුල්වැව ආඬියාහින්න වනාන්තරය අක්කර 30.

6.උඩවලව ජාතික වනෝද්‍යානය ආසන්නයේ තණමල්විල බෝදාගම ප්‍රදේශයේ අක්කර 40.

7.වනාත විල්ලුව එලුවන්කුලම කොරටියාමුල්ල අක්කර 200.

8.කල්පිටිය පල්ලිවාසතුරෙයි අක්කර 1.

9.තිස්සමහාරාම විලමුල්ල ඇඳගලවැල්ල කඩොලාන අක්කර 30.

10.හන්තාන අක්කර 19.

11.හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ හලල්ල කොටසේ අක්කර 150.

12.කලාඔය කෝමාරිකා වගාවට අක්කර 100.

13.කලාවැව අඹ වගා ව්‍යාපෘතියට අක්කර 50.

14.සෝමාවතිය ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව (පොළොන්නරුව වැලිකන්ද) බඩ ඉරිඟු වගාවක් සඳහා අක්කර 100.

15.පුත්තලම ආණමඩුව මහකුඹුක්කඩවල ආඬිගම වනාන්තරයේ කොටසක්. (කරුවලගස් වැව දෙස සිට තබ්බෝව හරහා විල්පත්තුවට අලි ගමන් කරන අලිමංකඩ.)


පසුගිය ඉරිදා පරිසර අමාත්‍යවරයා මල්වතු අස්ගිරි නායකහිමිවරුන් බැහැ දැකීමට ගොස් තිබුණි. මහා පරිමාණ පරිසර හානියක් රජයේ අනුදැනුම මත සිදුවන බවට පැතිරයන අසත්‍ය ප්‍රචාරය පිළිබඳව සත්‍ය තත්ත්වය පැහැදිලි කිරීමට බව පසුගිය සඳුදා දිනමිණ පුවත්පත වාර්තා කර තිබුණි. බළලා මල්ලෙන් එළියට පනිනවා යැයි කියන්නේ මේකටය. අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ පරිසර පනත මේ වසර අවසන් වීමට පෙර සංශෝධනය කරන බවත්, පරිසර නාශකයන්ට එරෙහිව දඩ මුදල් දස ගුණයකින් වැඩි කරන බවත් හා සිරදඬුවම්ද වැඩි කරන බවත්ය. මාර්ග නීති අවම කරන්නට කියා මාර්ග නීති කඩ කරන්නන්ගෙන් අය කරන දඩ මුදල් ඉහළ දැමූ නමුදු සිදුවූයේ මාර්ග නීති කඩ කිරීම අවම වීම නොව මාර්ග නීතියක් කඩ කළ විට පොලිස් නිලධාරියකු ගන්නා අල්ලස් මුදල ඉහළ යාමය.
කෙසේ වෙතත් පරිසර විනාශයන් පිළිබඳව සංවේදී, ඒ පිළිබඳව නිරන්තර හඬක් නගන පරිසරවේදීන් කිහිපදෙනෙකුගෙන් අපි මේ පිළිබඳව ඔවුන්ගේ මතය විමසා බැලුවෙමු.


උදව් කළ අයට ඉඩම් තෑගි
පරිසරවේදී සජීව චාමිකර


වර්තමානයේ මේ සිදුවෙමින් පවතින වනාන්තර විනාශයට හේතුව ආණ්ඩුව ගත්ත වැරදි තීරණ දෙකක්. එක 5/2001 චක්‍රලේඛනය සංශෝධනය කරල මිනිස්සුන්ට ඉඩම් ලබාදෙනව කියල මතයක් සමාජ ගතකළා. දෙවැනි එක අනවසර බුක්තියක් තියන අයට ඒ බුක්තිය නීත්‍යානුකූල කරල ඒ අයට ඉඩම් ලබා දෙනව කියල මතයක් සමාජගත කළා. මේ දෙකේ ප්‍රතිඵල අනුව තමයි මේ තත්වය උදා වුණේ. මිනිස්සු තමන්ට පුළුවන් තරමින් තැනින් තැන එළිපෙහෙළි කරන්න පටන් ගත්තා. හැබැයි මේ එළිකරපු එක තැනකවත් අහිංසක පොඩි මිනිස්සු නෑ. මේ එළිකරපු හැම තැනකම ඉන්නෙ මහා පරිමාණ ව්‍යාපාරිකයො. ඒ ව්‍යාපාරිකයො පිටිපස්සෙ ඉන්නෙ දේශපාලකයො. මේක රජය නොදැන කරපු දෙයක් නෙමෙයි. ආණ්ඩුව දිනවන්න මහන්සි වෙච්ච මිනිස්සුන්ට දෙන දේවල් මේවා. එස්.එම්. චන්ද්‍රසේන එයාට ඕනෙ විදිහට අනුරාධපුරේ සුද්ධ කරනවා, මේ පැත්තෙන් සනත් නිශාන්ත තමන්ට ඕනෙ විදිහට එළිකරනවා. මොණරාගල තව විදිහකට යනවා, චමල් ඇතුළු කණ්ඩායම හම්බන්තොට තව විදිහකට යනව.


ලංකාවෙ ව්‍යවස්ථාවට අනුව පරිසරය ආරක්ෂා කොට වැඩි දියුණු කිරීම රජයේ යුතුකමක්. පරිසරය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාවලීන්වලට යොමුවීම මහජනතාවගේ යුතුකමක් විදිහට ව්‍යවස්ථාව පවරල තියනවා.

ලොකුම පරිසර විනාශය මේ ආණ්ඩුවෙන්
පරිසරවේදී පාහියන්ගල ආනන්ද සාගර හිමි


වසර දෙක තුනක පමණ කාලසීමාවක් ඇතුළෙ ඉතාම කෙටි කාලයකින් සිද්ධ වෙච්ච ඉතාම දැවැන්තම පරිසර විනාශය මේ ආණ්ඩුව කාලෙ පහුගිය මාස දෙක තුන ඇතුළත සිද්ධ වුණා. විශේෂයෙන්ම අපි හඳුනාගත් වනාන්තර පද්ධති, රක්ෂිත, යෝජිත රක්ෂිත, මහවැලි ඉඩම් සහ අවශේෂ කැළෑ ඉඩම් විසි එකක් මේ වෙනකොට විනාශය කරල තියනව. ඒ විනාශ කිරීම් අක්කර සීය, එකසිය පනහ, හත්සීය වගේ විශාල ප්‍රමාණවලින් තවමත් සිදුකෙරෙමින් පවතිනවා.
දෙවැනි කාරණය තමයි මේ කාරණා අසත්‍යබව ජනාධිපතිවරයා නිල නිවේදනයක් නිකුත් කර තිබුණා. අපි ඒ පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයට ගිහිල්ල පැමිණිල්ලක් කළා. ඒ විනාශ කරපු ඉඩම් සහ වනාන්තර පද්ධති දාලා, තවම මේ පිළිබඳව මූලික විමර්ශන සඳහා හෝ අපට කැඳවීම් කරලවත් නෑ. මේ නිසා රජය ඒ කරපු ප්‍රකාශය දේශපාලනික කාරණාවක් මිසක් සත්‍ය කරුණක් නෙවේ.


මේ රටේ තියන අමාත්‍යාංශ ඉතාම ගැටලුසහගත තත්ත්වයකට පත්වෙන ආකාරයකට සකසල තියෙන්නෙ. පරිසර විෂය අමාත්‍යවරුන් හතරදෙනෙක් යටතේ තියෙන්නෙ. මේ නිසා පරිසර අමාත්‍යාංශය කැඳ හැලියක් වෙලා, මේ පරිසර ප්‍රශ්නවලට උත්තර හොයන්න බැරුව තියෙන්නෙ. ඒ වගේම මේ වනාන්තර විනාශ කිරීම ජාත්‍යන්තර උවමනාවකට සිදුවන්නක්ද කියල අපට සැකයක් තියනවා. මොකද මේ විනාශ කරපු වනාන්තර සිතියම් ගතකරහම අපට පේනව එහි කිසියම් රටාවක්.


අපි මේ සම්බන්ධව ජනාධිපතිවරයට අභියෝගයක් කරල තියනවා, එතුමා කියනව නම් වනාන්තර විනාශයක් වෙලා නෑ කියල අපි සූදානම් ඒ සියල්ලම සිද්ධ වෙලා තියන බවට සාක්ෂි සහිතව පෙන්වන්න.

බොරු පුවත් පළ කළේ රජයට සම්බන්ධ අය
පරිසරවේදී ජගත් ගුණවර්ධන


සැබෑවටම පරිසර විනාශයක් සිද්ධ වුණා. ඒ වගේම ආණ්ඩුවෙන් කියපු කතාවත් ඇත්ත. අපි මේ සම්බන්ධව හොයල බලනකොට අපි දැක්ක දෙයක් තමයි මේ අසත්‍ය පුවත් පළකරන්නෙ රජයට සම්බන්ධ පුද්ගලයන් විසින් කියන එක. ඒක ඔවුන්ගේ කැම්පේන් එකක්. මේක අපිව අපකීර්තියට පත්කරන්න සැලසුම් සහගතව සිද්ධ කරපු ක්‍රියාවක්. බොරු පුවත් මතු වුණහම ඇත්ත පුවත් යට යනවා. ඒ වගේම මේ බොරු පුවත් සමාජජාල මාධ්‍යවල බෙදා ගත්තහම ඒ බෙදා ගත්ත මිනිස්සුන්ට පහර දෙන්න පදනමක් මේ හරහා නිර්මාණය වෙනවා.


ජාතික පරිසර පනත සංශෝධනය වීම කාලයක පටන් තියන අවශ්‍යතාවක්. ඕනෑම පනතක් ක්‍රියාත්මක කරගෙන යෑමේදී අඩුපාඩුකම් පේන්න ගන්නවා. එම්.ටී. ඩයමන්ඞ් නැවේ ගින්නත් එක්ක තමයි සමුද්‍ර ආරක්ෂණ පනතේ දුර්වලකම් දැක්කෙ. නමුත් වැදගත්ම දේ තමයි තියන පනත ප්‍රශස්ත මට්ටමෙන් ක්‍රියාත්මක නොකර අලුත් සංශෝධන ක්‍රියාත්මක කරන්නෙ ඇයි කියන එක. ■

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here