නිමල් අබේසිංහ

ආණ්ඩුවේ ගවමස් විරෝධය අද ඊයේ පැවතුනක් නොවේ. මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේදී ත්‍රිවිධ හමුදාවන්හි ගවමස් භාවිතය අහෝසි කරමින් තීන්දුවක් ගනු ලැබුයේ එවකට පැවති යුධ සමයේදිය. ඒ සමඟම ත්‍රිවිධ හමුදාවන්හි ගවමස් පරිභෝජනය අත්හිටවුණි.


මෙරට තුළ ගවමස් ආහාරයට ගැනීම බහුලව සිදුකරනුයේ මුස්ලිම් ප්‍රජාව හා කතෝලික ප්‍රජාවත්ය. බෞද්ධයින්ද එපමණකට ගවමස් ආහාරයට නොගන්නවාම නොවේ. කුකුළන් එළුවන් සහ ඌරන් විශාල වශයෙන් ආහාරයට ගන්නා ශ්‍රී ලංකාව තුළ සත්ව ඝාතනය අති දැවැන්ත පාපයක්නම් ගවයින් පමණක් ආහාර සඳහා ඝාතනය කිරීම බරපතළ වරදක් වන්නේ කෙසේද යන්න ගැන ගව ඝාතනයට එරෙහිවූවන් සැළකිල්ලට ගෙන නැති බව සත්‍යයකි.


කෙසේ වුවත් ශ්‍රී ලංකාව තුළ විශාල වශයෙන් හරකුන් සිටින වාතාවරණයක් තුළ හිටි අඩියේ උන් ආහාර සඳහා මැරීම නවතා දැමීම නිසා ගැටළු රැසක් පැන නැගීම වැළකිය නොහැකිය. මින් පළමුවැන්න ජීවනෝපාය ලෙසින් ගවයින් ඇතිකරන්නන්ට මතුවෙන ගැටළුව ප්‍රධානය. ශ්‍රී ලංකාවේ ඍජුවම ගවමස් සඳහා හරකුන් ඇතිකිරීම සිදු නොවෙතත් කිරි නිෂ්පාදනය සඳහා ඇතිකරන සතුන්ගෙන් කිරි ලබාගත නොහැකි තත්ත්වයට පත්වෙන සතුන් සහ පිරිමි සතුන්ගේ අතිරික්තයත්, එම සතුන් මස් සඳහා අලෙවිකිරිම සුලබව සිදුවේ. මෙවැනි සතුන් දිගින් දිගටම රක්ෂා කිරීම තුළ ගොවියාට කිසිදු වාසියක් සිදුනොවන අතර උන් නඩත්තු කිරීමට අමතරව වියදමක් දැරීමට සිදුවීම නිසා ගොවියාට සිදුවන්නේ අලාභයකි. ඒ අතරම හරක් ගහනය වර්ධනය හා උන් නඩත්තු කිරීම ගොවියා විසින් අත්හැරීම හේතුවෙනි. අයාලේ යන සතුන් ප්‍රමාණය වැඩිවීම නිසා එය අනාගතයේදී බරපතල තත්ත්වයක් නිර්මාණය කිරීම නොවැළැක්විය හැකිය.


සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිල සංඛ්‍යාලේඛන අනුව 2015 වසර වන විට ශ්‍රී ලංකාව තුළ එළ ගව ගහනය 1,227,379 කි. ඉන් පිරිමි සතුන් සංඛ්‍යාව 254,528 ක් වන අතර ගැහැණු සතුන්ගේ සංඛ්‍යාව 972,851 කි. ශ්‍රී ලංකාවේ වෙසෙන මී ගවයින්ගේ සංඛ්‍යාව මෙයට ඇතුළත් නොමැතිමුත් එයද සැළකිය යුතු සංඛ්‍යාවක් බව සැළකිය හැක්කකි.


ප්‍රදේශ අනුව ගතහොත් “එළ ගව ගහනය වැඩි වශයෙන්ම සිටිනුයේ වියළි කලාපය ආශ්‍රිතව බව පෙනේ. ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ වෙසෙන එළ ගවයින් සංඛ්‍යාව 131,520 කි. ඊළඟට වැඩිම සංඛ්‍යාවක් සිටිනුයේ අම්පාර දිස්ත්‍රික්කයේය. එය ගණනින් 103,508 කි. අවම සංඛ්‍යාවක් සිටිනුයේ රත්නපුර දිස්ත්‍රික්කයේය. එය ගණනින් 11712 කි. ඊළඟ අඩුම සංඛ්‍යාව කෑගල්ලෙනි. එය ගණනින් 12179 කි. මෙම ගහණය මේ වනවිට ඊට වඩා වැඩි අගයක් ගන්නා බව අමුතුවෙන් කිවයුතු නොවේ. එලෙසම මී ගවයින්ගේ සංඛ්‍යාව වැඩි වී ඇති බව සැළකිය හැකිය.
කිරි සඳහා මිසෙක ගොවිතැන් කටයුතු සඳහා මේ වනවිට ගවයින් යොදාගැනීම සීඝ්‍රයෙන් අඩුවෙමින් පවතී. එ නිසා මී ගව ගහණය පවා ඉදිරියේදී රටට ප්‍රශ්නයක් වීම නොවැළැක්විය හැක්කකි.


ගව ඝාතනය නතර කිරීමත් සමඟ මෙරට තුළ තිබූ තවත් රැකියා අවස්ථාවන් රැසක් අහිමි වී යන අතර ඔවුන්ගේ සහ ඔවුන්ගෙන් යැපෙන්නන්ට ජීවන ප්‍රශ්න රැසක්ද මතුවේ. එහිදී ගවයින් මිලදි ගෙන ප්‍රවාහනය කරන්නන්, මස් අලෙවි කරන්නන් පමණක් නොව මේවායේ සහායක සේවාවන්හි යෙදෙන්නන්ද මෙකී අනතුරේ වැටේ. එනිසා ඔවුන්ට ඉතා ඉක්මණින් වෙනත් රැකියාවන් හෝ අදායම් මාර්ග කෙරෙහි නැඹුරුවීමට සිදුවනු ඇත.


ජා ඇල කුඩහකපොළ සත්ව ප්‍රවාහන හා සත්ව නිෂ්පාදන ගොවි සංවිධානයේ සභාපති කේ. එස්. කේ. පෙරේරා පවසනුයේ,


එළ වස්සන් කිරිවැරූ වැස්සියන් හා වඳ වැස්සියන් විදේශගත කර හෝ දේශිය මස් නිෂ්පාදනය සඳහා යොදා නොගත්තොත් ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යාමේ බාධා ඇතිවන බවය. එහිදී ඔහු නගන තර්කය මෙසේය.


ශ්‍රී ලංකාවේ එළ ගව ගහනයෙන් ලක්ෂ නමයක් පමණ සිටින්නේ ගැහැණු සතුන්. ඔවුන්ගෙන් ඉපදෙන සතුන්ගෙන් 50% ක් පමණ පිරිමි සතුන්. සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු පවා තහවුරු කර තිබෙන්නක්. ඒ අනුව එය ලක්ෂ හතරහමාරක් පමණ වෙනවා. වඳ, කිරි වැරූ සතුනුත් එයට එකතු වෙනවිට මුළු ගණන ලක්ෂ පහක් විතර වේවි. මේ සතුන් නඩත්තු කිරීම සඳහා අවශ්‍ය තෘණ භූමි ප්‍රමාණවත් ලෙස ලංකාවේ නැහැ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවා මේ සතුන් කැලෑවලට ආහාර සඳහා යවන්න දෙන්නෙ නැහැ. එතකොට උන්ට මොකද වෙන්නේ. එහෙනම් මුන් රට පටවන්න ඕනේ. එහෙම ක්‍රමයක් ලංකාවේ නැහැ. එහෙම නැත්නම් මස් සඳහා මරන්න ඕනේ. ඒකත් නවත්වන්න ආණ්ඩුව සුදානම. මෙයට විසදුමක් ලෙසට ඔහු යෝජනා කරන්නේ ගවයින් මැරීමේ තහනම වසරක්වත් කල් දමා ගොවියන්ට ඊට විසදුම් සපයා තහනම් කිරීම සිදු කළ හැකි බවය. ගවයන් මරණ අවස්ථායේදී ඔවුන්ගේ ශරීරය තුළ පිළිකාකාරකයන් නිපදවෙන බවට මතයක් ඇතැම් වෛiවරු සමාජගත කරන්නට උත්සහ කළත් එය අනෙක් සතුන් මරද්දීත් ඇතිවිය හැකි බවය. එනිසා හරක් මස්වල පමණක් එවැනි පිළිකාකාරක ඇතිවන බව කීම සමාජය නොමග යවන්නක් බව ඔහු කියයි.


මාදුරුඔය කිරිගොවි සංවිධානයේ ලේකම් ක්‍රිෂාන්ත උදය කුමාර
අපි සත්තු හදන්නේ කිරිගන්න විතරක් නෙවෙයි. අතුරු නිෂ්පාදනයක් විදියට පිරිමි සත්තුයි, කිරිවැරුව සත්තුයි, දුර්වල සත්තුයි මසට විකුණනව. කිරි ආදායමෙන් අපි ජීවත්වෙනව. සත්තු විකුණන සල්ලිවලින් තමයි ගේ දොර හදාගන්නෙ, ළමයින්ට උගන්වන්නේ. හරක් මැරීම තහනම් කළාහම අපේ ඒ ආදායම එහෙම පිටින්ම නවතිනවා.


උදයකුමාර පවසන විදියට හෙක්ටයාර් එකක භූමි ප්‍රමාණයක සත්තු හදන්න හැකියාව ඇත්තේ විස්සක් පමණය. ඒ නිසා තමන්ගේ ගොවිපළේ භුමි ප්‍රමාණය අනුව වසරින් වසර වැඩිවන හරකුන් ඉවත් කළයුතුය. ඔහුගේ ගොවිපළේ ගවයින් 300 ක් සිටින බවත් වසරකදි ඉන් හරක් 40 ත් 50 ත් අතර ගණනක් මසට විකුණන බවත් කියන්නේය. අලුත් හරකුන් මිලදී ගැනීමට වියදම් කරන්නේද ඒ මුදල් බව ඔහු කියයි. ගවයින් ඝාතනය නතර කිරීමත් සමග මෙම ආදායම මුළුමනින්ම ඇණ හිටින බවත් ඒ හේතුවෙන් තම ආදායම අහිමි වන බවත් ඔහු කියයි.


“ජා ඇල කඳාන කොළඹ වගේ ප්‍රදේශ වලින් අපේ හරක් ගන්න එනවා. සාමාන්‍යයෙන් වසරකදී මේ ප්‍රදේශයෙන් හරක් දස දහසකට වැඩිය විකිණෙනවා. ඒ ප්‍රදේශවලින් එන අය තමයි වැඩි මිලට හරකුන් මිලදී ගන්නෙ. එහෙන් එන අය රුපියල් ලක්ෂයකට මිලදී ගන්න හරකා දැන් මෙහෙ වෙළෙන්දො ඉල්ලන්නේ රුපියල් තිස්දාහට. හරක් මරණ එක නීතියෙන් තහනම් කළොත් ඒක නවතිනවා. අපි බෞද්ධයො. බෞද්ධ කියලා කරන රස්සාව අනුව අපේ ආදායම් අඩුකරගන්න බැහැ. එහෙම වුණොත් අපි අමාරුවෙ. මම කියන්නේ මහා සංඝරත්නය මේකට විරුද්ධ නම්, ඒ අය රජයත් එක්ක කතාකරලා අපේ හරක් මිලදී ගන්න ක්‍රමයක් හදන්න ඕනේ. ඒ ගන්න හරක් හදන්න උන්ට කෑම බේත් හේත් දෙන්නත් ඒ මහා සංඝරත්නයම බලාගන්න ඕනේ”.


ඔහුගේ කතාව මුළුමනින්ම සත්‍යයකි. කිරි නිෂ්පාදනය සඳහා ගවයින් හදන්නේ නම් එහිදී පට්ටියෙහි තබාගත යුත්තේ ඉහළම කිරි නිෂ්පාදනයක් ඇති සතුන් හා අවශ්‍ය ප්‍රමාණයට තරමක් වන වස්සන් ප්‍රමාණයකි. එසේ නොකර සියළු සතුන් සිය පට්ටියේ රඳවාගෙන නඩත්තු කිරීමෙන් කිරිවලින් ලැබෙන ආදායමෙන් සෑහෙන පංගුවක් උන්ගේ නඩත්තුවට වැය කරන්නට සිදුවේ. එය අනවශ්‍ය වියදමකි. එවැනි අලාභවීම් තුළින් සිදුවන්නේ මෙරටේ කිරි නිෂ්පාදනය අඩාලවීමය. දිගින් දිගටම මෙලෙස සිදුවුවහොත් එය සිදුවනු නොවැළැක්විය හැකි බවත් මෙය එක් කඩතොල්ලක් වසන්නට ගොස් තවත් කඩතොලු රැසක් නිර්මාණය වීමකි.


වත්තල මහබාගේ වැලිසර ප්‍රදේශයේ ගව ඝාතකාගාරයක් පවත්වාගෙන ගිය ඒ රුචිර හර්ෂණ සිල්වා,
“අපේ ගව ඝාතන ස්ථානය පටන් අරන් දැන් අවුරුදු 40 කටත් වැඩියි. මුලදි මගේ පියා තමයි මේක කරගෙන ගියේ. අපෙන් සතියකට මස් කිලෝ 14000 ක් විතර වෙළෙන්දෝ අරන් ගියා ආගම් භේදයක් නැතිව කවුරුත් වගේ මස්කඩවලින් ඒවා අරන් ගියා. මස් නොකන අය ඇති. ඒත් ඒවා කන්න කැමති අයට ඉඩදෙන්න ඕනේ. පිටරටින් මස් ගෙනාවට ඒවා අලුත් ඒවා නෙවෙයි, ශිතකරපුවා. ඒවායි අලුත් මසුයි අතර ලොකු වෙනසක් තිබෙනවා. ඉතින් හරක් මරණ එක නතර කරනවා නම් කරන්න ඕනේ පිළිවෙලක් ඇතිව. රස්සා නැතිවෙන අයට ආදායම් මාර්ගයක් සලසලා දීලයි”


විවිධ ප්‍රදේශවලින් ගවයින් කඳාන ජා ඇල වැලිසර ප්‍රදේශවලට ලොරිවලින් රැගෙන එන වෙළෙන්දෙකු වන අනුර නිශාන්ත,
මම හරක් රස්සාව අවුරුදු 32 ක් කළා. සාමාන්‍යයෙන් මම කඳානට පමණක් සතියකට හරක් දෙසීයක් විතර ගෙනාවා. මගෙන් කීපදෙනෙක්ම යැපුනා. හරක් ගේන්න යන අය වගේම හරක් මෙහාට ගෙනත් කොටුකරලා කියපුවහම රැකබලාගන්න අය වගේ පිරිස් දැන් ඒ අයට රස්සාවල් නෑ. මමත් නවත්තලා තිබෙන්නේ. දැන් ඉතින් මේක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මම නම් කියන්නේ හරක් මස් කන අපට කරදරයක් නැතුව ඒක කරගන්න ඉඩ දෙන්න කියලයි. ඕනැ නැති අය නිකන් හිටපුවාවෙ. මේක හරක්මස් කන අපගේ අයිතිය නැතිකිරීමක්.


ගව ඝාතනය තහනම් කිරීම තුළ ඈදුනු ප්‍රශ්න රැසක් ඇති බව මින් පෙනී යයි. ඒවායින් සමහරක් ඉතා බරපතළ ගණයේ ඒවා බවද පෙනේ. එහෙත් එය තහනම් කරන්නට මග පෙන්නුවෝද, හඬනැගුවෝද තහනම් කිරීමට පෙළඹුණෝද මේ මහ ගැටළු රැස නොදුටු බවනම් සැබෑවය. එසේ වූයේනම් ගව ඝාතන තහනම ගෙන ඒමට පෙර ඒ ගැන කල්පනා කරන්නට උවමනාවටත් වඩා ඉඩ තිබුණි. එහෙත් කණගාටුදායක කරුණ නම් තවමත් අපේ රටේ ප්‍රතිපත්ති සම්පාදනය කරන්නවුන් ඒවා සිදුකරනුයේ ගසට නැග පොල්කඩන න්‍යායෙන්ම වීමය. එහි අවසානය ඔවුන්ම පඹගාලක පැටලීමය. මේ පැටලෙමින් සිටිනුයේ තවත් එවැනිම පඹගාලකය.

දුසිම් ගණනින් පෝෂ්‍ය පදාර්ථ පිරි හරක් මස්


හරක්මස් ආහාරයට ගැනීමෙන් මිනිස් සිරුරට සිදුවෙන කිසිදු වාසියක් නැතිවනවා සේම එය ආහාරයට ගැනීම නිසා විවිධ රෝගාබාධ ඇතිවිය හැකි බව ඇතිවිය හැකි බවටද සමාජ මතයක් ගොඩ නැගී තිබේ. මෙම මත ගොඩනැගීමේ ආස්ථානයෙහි ඇතැම්විටෙක වෛiවරුද සිටිති. මෙය පර්යේෂණ වලින් තහවුරු කරගත්තක්ද නොවේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ වාර්ෂික හරක් මස් පරිභෝජනය වසරකට ටොන් 29000 කි. අන්තර් ජාලයේ ඊැැf ජැබරඒකගජදප වෙබ් අඩවියේ හරක්මස් ආහාරයට ගැනීම නිසා මිනිස් සිරුරට ලැබෙන වාසි එකොළහක් ගැන සවිස්තරාත්මකව කරුණු දක්වා ඇත. එම තොරතුරු දක්වනුයේ ඇමරිකාවේ සුප්‍රසිද්ධ විශේෂඥ පෝෂණවේදියෙකු වන මයිකල් ජෝෂප්ය. 2017 වසරේ දෙසැම්බර් 01 දින පලකරන ලද එම කරුණු එකොළහ මෙලෙස දැක්විය හැකිය.


1. ස්වාභාවිකව නිපදවන ඇමයිනෝ අම්ලය හරක්මස්හි පවතින ප්‍රභවය ඉතා විශාලවන අතර මෙය මිනිස් සිරුරේ සෞඛ්‍යයට ධනාත්මක අයුරින් බලපෑමක් ඇති කරයි. හෘදය, දියවැඩියාව, ශරීර බර අඩුවීම වැනි කරුණු අරභයා මෙයින් සිදුවන බලපෑම ධනාත්මක වේ.


2. හරක්මසෙහි ඇති මාස්ටර් ප්‍රතිඔක්සිකාරක ග්ලුටතයෝන් සපයමින් වයස්ගතවීමේදි පෙන්වන ලක්ෂණ අඩුකරවන අතර දීර්ඝායුෂ ලැබීම, විවිධ රෝගාබාධ වැළැක්වීම නිදන්ගත රෝග ඇතිවීමේ අවදානම අඩුවීම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්වීම කෙරෙහි ඉහළ බලපෑමක් ඇතිකරවයි.


3. හරක්මස්වල ප්‍රෝටීන් ඉහළ මට්ටමක පවතී. මාංශපේෂී වැඩිදියුණු කිරීමට හේතුවේ. මිනිස් ආහාරයේ විශාලතම ප්‍රෝටීන් ප්‍රභාවය වන්නේද හරක්මස්ය.


4. ඛනිජවලින් අතිශය පොහොසත්ය. හරක්මස් අනුභව කිරීමෙන් රක්ත හීනතාවය වළකා ගැනීමට හැකිය.


5. ප්‍රබල ඇමයිනෝ අම්ලයක්වන කර්තොසීන් හරක්මස් වලට අඩංගුව ඇත්තේය.


6. හරක් මස් විටමින් වලින් පිරිපුන්ය.


7. මෙහි ඇති සංයුක්ත ලිනොලයින් අම්ලය ඉන්සියුලින් සංවේදිතාව ඉහළ දැමීමට උපකාරි වේ.


8. හරක්මස්වල මිනිස් සිරුරේ කාර්ය සාධනය වැඩිකරවන ක්‍රීයේටීන් අඩංගුය.


9. හරක්මස් දැරියහැකි මිල මට්ටමක පවතී. (මෙම කාරණාවේදි හරක්මස් හි මිල ශ්‍රී ලංකාවේදී තරමක් වෙනස් වන බව සැළකිය යුතුය. එනම් ඇමරිකානුවකුගේ ඒක පුද්ගල ආදායමට සාපේක්ෂව ශ්‍රී ලාංකිකයින්ගේ ඒක පුද්ගල ආදායමෙහි පරතරය විශාල බැවිනි.


10. හරක් මස් ආහාරය සඳහා සැකසීම ඉතා පහසුවන අතර පිසිමටද පහසුය.


දීර්ඝ විස්තරයක් සහිත මෙම ලිපියේ අවසානයේ සඳහන් වනුයේ හරක් මස් මිනිස් ආහාර වේලට අඩංගු විය යුතු සෞඛ්‍යයට හිතකර පෝෂ්‍ය පදාර්ථදුසි ම් ගණනාවකි න් පි රිපු න් ආහාරයක් වන බවය.