නිමල් අබේසිංහ

ජනාධිපතිවරයා අගෝස්තු 20 වැනි දින ජාතිය අමතමින් සිදු කළ කතාවේදී වඩාත් අවධානයට ලක් කළ යුතු ප‍්‍රකාශයක් කර තිබේ.
”ඉදිරියේදී රට දීර්ඝ කාලයක් වසා තැබීමට සිදුවුවහොත් රටේ සියලූදෙනාම වඩාත් කැපකිරීම් කරන්න සූදානම් වන ලෙස” පැවසීම එකී ප‍්‍රකාශයය.

මෙයින් දෙන සංඥාව කුමක් විය හැකිද? යන්න ගැන රටේ ජනතාවට වැටහීමක් ඇතිවූයේද යන්න ගැන ප‍්‍රශ්නයක් වුවද, අපට හැෙඟන දේ බරපතළය. එයට ප‍්‍රධාන හේතුව වන්නේ රට මේ වන විට වැටී තිබෙන ගිලී තිබෙන ආර්ථික අගාධයේ ප‍්‍රමාණය, ඉන් ගොඩ ඒමට ආණ්ඩුව තුළ පවතින නොහැකියාවේ තරමය.

ශ‍්‍රී ලංකාව මෙතෙක් ලබාගෙන ඇති විදෙස් ණය සැලකීමේදී 2022 වසරේ සිට 2026 වසර දක්වා අනිවාර්යයෙන්ම වාර්ෂිකව ගෙවිය යුතු ණය වාරිකවල සාමාන්‍යය ඩොලර් බිලියන 4.5ක් පමණ වේ. 2022 වසරේ ජනවාරිවල පමණක් ගෙවිය යුතු ණය වාරිකය ඩොලර් මිලියන 500කි.
2022 ජූලි මාසය වනවිට ණය වාරික සඳහා ඩොලර් මිලියන 1000ක් පමණ ගෙවීමට සිදුවේ. මෙයට අමතරව පොලී මුදල් වශයෙන් තවත් ඩොලර් බිලියන දෙකක් පමණ ගෙවීමට සිදුවේ.
ශ‍්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 2018දී රුපියල් බිලියන 88ක් වූ අතර, එය 2020දී රුපියල් බිලියන 81 දක්වා පහළ බැස ඇත. ජාත්‍යන්තරයෙන් ලබා ගත් ණයවලට අමතරව දේශීය වශයෙන් ආණ්ඩුව ලබාගෙන ඇති මුදල රුපියල් බිලියන 922කි.
පවතින කොරෝනා වසංගත තත්ත්වයන් මත ශ‍්‍රී ලංකාවේ අපනයන ආදායම් පහළ ගොස් තිබෙන අතර විදේශ රැකියා, සංචාරක කර්මාන්තය වැනි විදේශ ඉපැයීම් නැත්තටම නැතිවෙන තරමට අඩාල වී තිබේ.

ශ‍්‍රී ලංකාව සතුව මේ වන විට පවතින ඩොලර් හා රත්රන් සංචිතය පවතින්නේ භයානක තත්ත්වයකය. මේ පසුබිම රට පවත්වාගෙන යාමට තිබෙන ඉතා දැඩි බාධාවක් වේ. රට පවතින්නේ කුමන අසීරු තත්ත්වයක වුවද ජාත්‍යන්තරයෙන් ගත් ණය වෙනුවෙන් ගෙවිය යුතු වාරික මුදල් සහ පොලී මුදල් ගෙවීම පැහැර හැරිය නොහැකිය. එය අනිවාර්ය වූවකි. මේ සඳහා වන මුදල් සපයා ගැනීම සඳහා පවතින බාධාවන් මගහරවා ගත හැකි තත්ත්වයක්ද නොපවතී. 2021 අගෝස්තු 22 දින ගුවන්විදුලියේ සිටි එෆ්.එම්. නාලිකාව ඔස්සේ අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් පැවසුවේ රටේ දිනක දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 41ක් වුවත් එය දැන් මිලියන 15කින් පමණ පහළ බැස ඇති බවය. මෙම තත්ත්වය රටේ ආර්ථික තත්ත්වයට බලපෑමක් ඇති වී රටට අවාසිදායක තත්ත්වයක් ඇතිවන බවද ඔහු පැවසුවේය.

පවතින කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පනවා රට ලොක්ඩවුන් කරන්නැයි රටේ විවිධ පාර්ශ්වයන්ගෙන් දිගින් දිගටම කළ ඉල්ලීම් ජනාධිපතිවරයා විසින් නොසලකා හරිමින් සිටියේ මෙකී දුබල ආර්ථික පසුබිම නිසාත් එයට පැහැදිලි විසඳුමක් ආණ්ඩුවට නොතිබෙන නිසාත් බව දැන් හොඳින්ම පැහැදිලිය.

මේ සඳහා ඇති එකම විසඳුම බවට ආණ්ඩුව වටහාගෙන ඇත්තේ රටේ ජනතාවගේ සාක්කු බලහත්කාරයෙන් සුද්ධ කර එකී මුදල්වලින් පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමය.
ජනාධිපතිවරයාගේ ඉහත ප‍්‍රකාශය පවතින ආර්ථික ගැටලූ හා ගළපා ගනිද්දී ජනාධිපතිවරයා නොකියා කියන්නේ ”අපි උඹලාගේ සාක්කු සුද්ධ කරනවා, උඹලා එයට සූදානම් විය යුතුය” යන්නය.

මේ වනවිටත් තෙල්, ගෑස්, සීනි, පිටි, උළුහාල්, හාල්මැස්සන් ආදී පාරිභෝගික භාණ්ඩ රැසක මිල ඉහළ දමා ඇත. ඉදිරියේදී කිරිපිටි ඇතුළු තවත් ද්‍රව්‍ය රැුසක මිල ඉහළ යෑමද කිසිවෙකුටත් වැළැක්විය නොහැකිය. බඩු මිල අහස දක්වාම ඉහළ ගියද ජනතාවගේ ආර්ථික ඉපැයීම් තත්ත්වයන් මේ පසුබිම තුළ ඉහළ යෑමේ ඉඩක් නොපවතී. විසඳුම ලෙස ආණ්ඩුව ඇති තරම් මුදල් අච්චු ගසා එළියට දැමීම වෙතින් සිදුවන්නේ උද්ධමන තත්ත්වය තව තවත් ඉහළ යෑමය.

පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාව නොමග යවන ප‍්‍රකාශ නිකුත් කිරීම ආණ්ඩුවලට සම්බන්ධ ප‍්‍රබලයන්ගේ එදා සිටම පැවති පුරුද්දකි. ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේ එවකට සිටි මහ බැංකු අධිපති නෙවිල් කරුණාතිලක කළ සුප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් මෙහිදී සිහිපත් වේ. එ සමයේද රුපියලේ අගය බාල්දු වී ඇති බවත්, එහි අගය පහළ බැස ගොස් ඇති බවත් විරුද්ධ පක්ෂයෙන් චෝදනාවක් නැගෙමින් තිබුණේය.

උඩුදුම්බර ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ රැුස්වීමකට සහභාගි වූ මහ බැංකු අධිපති නෙවිල් කරුණාතිලක කීවේ රුපියලේ අගය අඩුවී ඇති බවට ඇතැමුන් චෝදනා කළද තවමත් රුපියල යනු ශත සීයක් මිසෙක ශත අනූ අටක් නොවන බවය. මෙකී ප‍්‍රකාශයත් සමග ආණ්ඩුවට හිතැත්තෝ උත්කර්ෂයට පත්වූහ. එහෙත් ශ‍්‍රී ලංකා රුපියලකින් අසල්වැසි ඉන්දියාවේදී පවා කරගත හැකි කිසිවක් නොමැති බව කිසිවෙකුට වැටහුණේ හෝ ප‍්‍රශ්න කළේද නැත.

මේ හා සමානම ප‍්‍රකාශයක් මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඩු කබ්රාල්ද සිදුකර ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වී තිබුණි. ඔහු කළ ප‍්‍රකාශය නම් ශ‍්‍රී ලංකාවට වඩා ඇමරිකාවේ තෙල් මිල බොහෝ සෙයින් ඉහළ බවය. එනමුත් ඇමරිකාවේ ඒක පුද්ගල ආදායම සහ ශ‍්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම කෙබඳුද යන්නත් එහි පරතරයක් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කර නොතිබුණේ සිතා මතා බව නම් පැහැදිලිය.

එක් අතකින් බලන කල මේවා තක්කඩි ප‍්‍රකාශයන්ය. එතුළින් ඔවුන් අපේක්ෂා කරනුයේ තම පාක්ෂිකයන් කෘත‍්‍රිම සුරතාන්තයකට පත් කර ඔවුන්ව නොමග යැවීමය. මේ මායාවට රටේ සියල්ලන්ම නොරැවටෙන බව ඔවුහු නොදනිති. අවසන් වශයෙන් පැවසීමට හැක්කේ කොරෝනා වසංගතයත් ඒ හාම ඇතිව තිබෙන ආර්ථික අර්බුදයත් අබිමුව ආණ්ඩුවේ දෙකොන ගිනිගෙන ඇති බවය. ඒ දෙගිනි හැමූ විට සිදුවෙන ව්‍යසනය කෙබඳු දැයි පුරෝකථන පැවසීම අනවශ්‍යය. ඒ රටේ ජනතාවට එය අත්විඳීමට නියමිතව ඇති බැවිනි.