වික්ටර් අයිවන්


ව්‍යවස්ථාදායක, විධායකය හා අධිකරණය ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක තිබෙන ප්‍රධාන බල මණ්ඩල තුන ලෙස සැලකිය හැකිය. ව්‍යවස්ථාදායකය නීති හා ප්‍රතිපත්ති සම්පාදනය කරනවිට විධායකය ඒවා ක්‍රියාවට නගන ආයතනය ලෙස ක්‍රියා කරයි. එම බල මණ්ඩල දෙක වෙත පැවරී තිබෙන වගකීම් ව්‍යවස්ථාවට අනුකූලව ක්‍රියා කරන්නේද යන්න සොයා බැලීමේ වගකීම පැවරී ඇත්තේ අධිකරණයටය. මේ තුන අතර තිබෙන බල බෙදීම එක බල මණ්ඩලයකට අනෙක් බල මණ්ඩල දෙකම හෝ එකක් ග්‍රහණයට ගත නොහැකි ආකාරයට විධි විධාන සලසා තිබිය යුතු බව සම්භාව්‍ය ලිබරල් න්‍යායවාදීන්ගේ මතය වේ.
ප්‍රජාත්න්ත්‍රවාදී රාජ්‍යයක මෙම ප්‍රධාන බල මණ්ඩල තුනට අවශ්‍ය බලය ලැබෙන්නේ දෙවියන්ගෙන් නොව මහජනයාගෙනි. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක පරමාධිපත්‍ය බලයේ උල්පත ලෙස ක්‍රියා කරන්නේ මහජනයාය. මහජනයා සිය ඡන්දයෙන් තෝරා පත්කර ගන්නා මහජන නියෝජිතයින් වෙත තමන්ට හිමි පරමාධිපත්‍ය බලය අයත් වන්නේ ඇති කරගෙන තිබෙන ගිවිසුම හෙවත් ව්‍යවස්ථාවට අනූකූලව මහජන නියෝජිතයින්ගේ ආයතනය වන ව්‍යවස්ථාදායකයටය. විධායකයට හා අධිකරණයට බලය ලැබෙන්නේ ව්‍යවස්ථාදායකයෙනි. අවසාන විග්‍රයේදී මෙම බල මණ්ඩල තුනම පාවිච්චි කරන්නේ ඒවා වෙත මහජනයාගෙන් තාවකාලික ලෙස ලැබී තිබෙන පරමාධිපත්‍ය බලයයි. එම බලය එම බල මණ්ඩල තුන පාවිච්චි කළයුත්තේ මහජනයා සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම හෙවත් ව්‍යවස්ථාවට අනුකූලවය. ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සැලකිය යුත්තේ බරපතළ විශ්වාසය කඩකිරීමක් හා ගිවිසුම උල්ලංඝනය කිරීමක් ලෙසය.


ආණ්ඩු ක්‍රමයේ උභතෝකෝටිකයන්


ලංකාවේ ආණ්ඩු ක්‍රමය තුළ මෙම බල මණ්ඩල තුන ගොඩනගා තිබෙන ආකාරයේ අක්‍රමවත් බවක් තිබෙනවා සේ ම එම බලමණ්ඩල තුන ක්‍රියාකර තිබෙන ආකාරයද ප්‍රජාතන්ත්‍රවාදයට සේ ම මහජන අභිලාෂයන්ටද පටහැනිය. මෙම බල මණ්ඩල තුනටම විධිමත් ප්‍රජාතන්ත්‍රවාදී ඉදිරි දර්ශනයක් නොතිබුණි. ක්‍රියාකර තිබෙන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී හිතුවක්කාරී ආකාරයකටය. සිය පුරවැසියන් සම්බන්ධයෙන් සාධාරණ සමානතාවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට අසමත් වී තිබෙන අතර වර්ග, කුල, ආගම් භේද මත පිහිටා ක්‍රියා කරන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම මගින් ජාතික ඒකාග්‍රතාව සුනු විසුනු කොට ජාතිය කැබලි කිරීමට ක්‍රියාකර තිබේ.


ව්‍යවස්ථාව ආරක්ෂා කරන පිළිවෙතක් වෙනුවට අනුගමනය කර තිබෙන්නේ දිගින් දිගට උල්ලංඝනය කරන පිළිවෙතකි. ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම බරපතළ වරදක් ලෙස සැලකෙන දේශපාලන සංස්කෘතියක් රටේ නොපවතී. ව්‍යවස්ථාව චේතනාන්විතව උල්ලංඝනය කරන්නන්ට දඬුවම් දෙන ක්‍රමයක් ද රටේ නැත. ලංකාවේ දේශපාලන ක්‍රමය තුළ දක්නට තිබෙන බිහිසුණුම ලක්ෂණය ලෙස සැලකිය හැක්කේ ව්‍යවස්ථාවේ ආරක්ෂාව භාරව සිටින රැකවල් දූතයා ලෙස සැලකිය හැකි අධිකරණයට ඒ ගැන කිසිම හැඟීමක් නැතිකම පමණක් නොව එම රැකවල් දූතයා විසින් ව්‍යවස්ථාව කෙළෙසන්නන්ට අනුබල දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හා සමහර අවස්ථාවල එම රැකවල් දූතයා විසින්ම ව්‍යවස්ථාව කෙළෙසීමය.


රාජ්‍යය සතු දේපළවල තාවකාලික භාරකරුවා ලෙස ක්‍රියා කරන ජනාධිපති සිය මැති ඇමතිවරුන් මන්ත්‍රීවරුන් හා උසස් රාජ්‍ය නිලධාරීන් සමග එකතු වී රාජ්‍යයේ දේපළ කොල්ලකෑම 1978 සිටම ක්‍රියාත්මක වන රාජ්‍යය පාලනයේ නිත්‍ය අංගයක් බවට පත්ව තිබෙන්නකි. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් තුළ මහජන නියෝජිතයින් හා රාජ්‍ය නිලධාරීන් රජය සමග ව්‍යාපාර කිරීම සැලකෙන්නේ තනතුරුවලින් පහ කොට ප්‍රජා අයිතියද අහිමි කළයුතු බරපතළ වරදක් ලෙසය. ඒ සදහා ලංකාවේ ද දැඩි නීති ඇතත් ඒවා තිබෙන්නේ ක්‍රියාවිරහිත කරනු ලැබූ තත්ත්වයකය. එම අවලස්සන තත්ත්වය රාජ්‍යයේ සමස්ත ආයතන ක්‍රමය දූෂණයෙන් කුණු කිරීමට හේතුවී තිබෙනවා පමණක් නොව එය රාජ්‍ය බංකොළොත් කිරීමට හේතුවී තිබෙන වැදගත් සාධකයක් ලෙසද සැලකිය හැකිය.


ආණ්ඩු ක්‍රමයේ අවුල


මෙතෙක් ආණ්ඩු ක්‍රමය ප්‍රතිසංස්කරණය කරගැනීම සදහා ඉදිරිපත් කර තිබෙන කිසිම ප්‍රතිසංස්කරණ වැඩ සටහනක් ලංකාවේ ආණ්ඩු ක්‍රමයට ආවේණික ඉහත විස්තර කරන ලද දෝෂ සැලකිල්ලට ගෙන නැත. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කළ ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයෙන් අපේක්ෂා කළ දේශපාලනකරණය අවම කිරීම වුවද එම සීමිත අරමුණ පවා එම ක්‍රමයෙන් සපුරා ගැනීමට හැකිවූයේ නැත.


ලංකාවේ පාර්ලිමේන්තුවේ දායකත්වයෙන් හදාගත් කිසිදු ව්‍යවස්ථාවක් කාර්යක්ෂම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සහතික කරන ප්‍රශස්ත ගණයේ ව්‍යවස්ථා ලෙස සැලකිය නොහැකිය. වර්තමාන ව්‍යවස්ථාව (අ) ජාතික සමගිය හා ජාතික ඒකාග්‍රතාව ඇති කිරීමට හෝ පවත්වාගෙන යාමට සමත් වී නැත. (ආ) ව්‍යවස්ථා උල්ලංඝනයන් ඇතිවීම වැළකීමට සමත් වී නැත. (ඇ)මහජන නියෝජිතයින් ඔවුන් භාරයේ තිබෙන පොදු දේපළ කොල්ලකන තත්ත්වයක් ඇතිවීම වැළකීමට සමත්වී නැති අතර දූෂණයෙන් හා භීෂණයෙන් තොර කාර්යක්ෂම පාලනයක් සහතික කිරීමටද සමත් වී නැත.


අභියෝගය ජයගැනීම


ලංකා රාජ්‍යයේ ඇතිවී තිබෙන මහා ගරා හැලීමට හා බිඳ වැටීමට මහජන නියෝජිතයින් සේ ම ඔවුන් නියෝජනය කරන ව්‍යවස්ථාදායකයද වගකිව යුතුය. ඔවුහු ව්‍යවස්ථාවට ගරු නොකළෝය. එය කෙළෙසූහ. තමන් භාරයේ තිබෙන පොදු දේපළ කොල්ලකෑවේය. එවැනි පිරිසකට මේ ක්‍රමය ප්‍රතිනිර්මාණය කිරීමේ අයිතියක් හෝ හැකියාවක් තිබිය නොහැකිය.
ඒ නිසා රාජ්‍යය හා දේශපාලන ක්‍රමය ප්‍රතිනිර්මාණය කිරීමේ පූර්ණ වගකීම පරමාධිපත්‍ය බලයේ සැබෑ හිමිකරුවන් ලෙස සැලකිය හැකි මහජනයාට ලබාදෙන රාමුවක් ඇති කරගත යුතුය. එම ක්‍රියාවලියෙන් මහජන නියෝජිතයින් මුළුමනින් බැහැර කළ යුතු නැතත් ප්‍රතිනිර්මාණ කරන වැඩසටහනේ නායක කාර්යභාරය ඉටුකළ යුත්තේ මහජනයාය. ප්‍රතිනිර්මාණය සඳහා යොදා ගැනෙන සැලැස්ම මහජනයාගේ සැලැස්මක් විය යුතු අතර ගොඩනගන ආණ්ඩු ක්‍රමයද මහජනයාට බර තැබෙන ආණ්ඩු ක්‍රමයක් විය යුතු සේ ම එම ආණ්ඩු ක්‍රමය ගොඩ නගන ව්‍යවස්ථා සම්පාදනයද මහජන ව්‍යවස්ථා සම්පාදනයක් විය යුතුය.
ස්විට්ස්සර්ලන්ත ආණ්ඩු ක්‍රමයේ ඇති පුරවැසි ප්‍රාරම්බනය (ක්‍සඑස‘ැබි ෂබස්එසඩැ), විකල්ප ජනමත විචාරණය, ආපසු කැඳවීම වැනි මහජනයාට සිය පරමාධිපත්‍ය අභ්‍යාස කළ හැකි සෘජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම ආණ්ඩු ක්‍රමයට ඇතුළත් කර ගැනීම මගින් නීති හා ප්‍රතිපත්ති සම්පාදනයටත් ආණ්ඩුකරණයටත් ක්‍රියාකාරී ලෙස මැදිහත්වීමේ බලය මහජනයාට ලබාදිය හැකිය. පුරවැසි ප්‍රාරම්බනය ලෙස සැලකෙනුයේ වෙනස්කම් ඇතිකර ගැනීම සඳහා මහජනයාට යෝජනා ඉදිරිපත් කිරීමට ඇති කර තිබෙන ක්‍රමයකි. එය නව නීති සම්පාදනයක් හෝ ප්‍රතිපත්ති සම්පාදනයක් සඳහා ඉදිරිපත් කරන යෝජනාවක් විය හැකිය. නැතහොත් දූෂිත නිලධාරියෙකුට එරෙහිව ඉදිරිපත් කරන යෝජනාවක් විය හැකිය. යෝජනාවට නියම කර තිබෙන මහජන අත්සන් සංඛ්‍යාව ලැබී ඇති නම් ව්‍යවස්ථාදායකය එය න්‍යාය පත්‍රයට ඇතුළත් කළ යුතුය. ව්‍යවස්ථාදායකය එම යෝජනාව පිළිගන්නේ නම් මහජන කණ්ඩායම එම යෝජනාව ඉවත් කරගත යුතු අතර ව්‍යවස්ථාදයකය එය තමන්ගේ යෝජනාවක් ලෙස ඉදිරිපත් කොට සම්මත කරගැනීමෙන් පසු ක්‍රියාත්මක කළ යුතුය. ව්‍යවස්ථාදායකය එම යෝජනාව පිළිනොගන්නේ නම් යෝජනාව විවාදයට ලක් කොට ඡන්ද විමසීමකට ලක් කළ යුතුය. එම ඡන්ද විමසීමෙන් ව්‍යවස්ථාදායකය එම යෝජනාව පරාජය කළහොත් පරාජය කළ යෝජනාව ජාතික මට්ටමේ ජනමත විචාරණයකට යොමු කළ යුතුය.


විපර්යාසයකට දොරටු විවෘත කරගැනීම


ලංකාවේ දැන් තිබෙන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ මහජනයාට ලැබී ඇත්තේ මැතිවරණවලදී ඡන්දය පාව්ච්චි කිරීමේ අයිතිය පමණය. ව්‍යවස්ථාදායකයේ, විධායකයේ හෝ අධිකරණයේ දක්නට තිබෙන ඒ කිසිම ආයතනයක් නිවැරදි කිරීමට උනන්දුවක් නොදක්වන බරපතළ වරදක් නිවැරදි කිරීමට මැදිහත්වීමේ බලයක් මහජනයාට නැත. නීති හා ප්‍රතිපත්ති සම්පාදනයටද බරපතළ වැරදි කරන දූෂිත නිලධාරීන්ට එරෙහිව පුරවැසි ප්‍රාරම්බනයක ස්වරූපයෙන් ව්‍යවස්ථාදායකයට යෝජනා ඉදිරිපත් කිරීමේ බලය මහජනයාට ලබාදීමෙන් මහජනයාද ආණ්ඩු කරන ක්‍රියාදාමයේ ඉතා වැදගත් හා බලවත් හවුල්කරුවකු බවට පත් කළ හැකිය. එමගින් පමණක් රාජ්‍යය මහජනයාගේ දැඩි පරීක්ෂාවට ලක්වන දූෂණයෙන් තොර මහජන හිතකාමී කාර්යක්ෂම රාජ්‍යයක් බවට පත්කර ගැනීමේ හැකියාව ලැබෙනු ඇත.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම්වලදී ඊට ක්‍රියාකාරී ලෙස සම්බන්ධ වන්නන්ගේ තනතුරු අහිමි කිරීමට හා ප්‍රජා අයිතිය අහිමි කිරීමට හේතුවන බරපතළ වරදක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුය. එම ධර්මතාව උසස් අධිකරණයයේ විනිසුරුවරුන්ටද අදාළ විය යුතුය.


කුල භේදයට තිබෙන පිළිගැනීම මුළුමනින් අහෝසි කරන විධි විධාන ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුය. ලාංකේය ජාතියේ වාර්ගික හා ආගමික සංයුතිය පැහැදිලි කරන අර්ථකථනයක් ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුය. වර්ග, ආගම් හෝ කුල පදනමකින් රාජ්‍යය මට්ටමෙන් මිනිසුන් පීඩාවට ලක්කිරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් ලෙස සලකා දඬුවම් පමුණුවන විධි විධාන ඇති කළ යුතුය.

මහජනයාට නීති සම්පාදනයට, ප්‍රතිපත්ති සම්පාදනයට හා ආණ්ඩුකරණයේ ඕනෑම කාර්යයකට ඵලදායී ලෙස මැදිහත්වීමට අයිතිය ලබාදෙන රාමුවක් ඇති කළ විට රටේ සමස්ත ආණ්ඩු ක්‍රමයම විප්ලවකාරී විපර්යාසයකට භාජනය වනු නොවැළැක්විය හැකිය. දැන් තිබෙන ක්‍රමය තුළ බරපතළ වැරදි නිවැරදි කිරීමක් සිදුවන්නේ නැති තරම්ය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නීතියට පටහැනිව ආණ්ඩුව සමග ව්‍යාපාර කරන බව පාර්ලිමේන්තු බලධාරීන් නොදන්නේ නැත. දූෂිත ජනාධිපතිවරුන් ගැන පාර්ලිමේන්තුව නොදැන සිටියේ නැත. අගවිනිසුරු සරත් සිල්වා අධිකරණය නැත්තටම නැති කළේය. එහෙත් කිසිදු ප්‍රශ්නයකින් තොරව ඔහු විශ්‍රාම සුවයෙන් ජීවත් වේ. මෙම දුෂ්ට චක්‍රය ආපසු හැරවිය හැක්කේ ආණ්ඩුකරණ ක්‍රියාවලියට මහජනයාට ක්‍රියාකාරී ලෙස මැදිහත්වීමට අයිතිය ලබාදෙන විධිමත් ක්‍රමයක් ඇති කිරීමෙන් පමණය.


අවසානය


පුරවැසි ප්‍රාරම්බන ක්‍රමයක් ඇති කිරීමෙන් පසු රාජ්‍යය හා එහි ආයතන ක්‍රමය වෙලා ගෙන තිබෙන බිහිසුණු පිළිකා විශේෂ තුනක් ලෙස සැලකිය හැකි දූෂණය, අකාර්යක්ෂමතාව හා පරපීඩාකාමය නැති කිරීමේ ඇත්ත හැකියාව තිබෙන්නේ මහජනයාටය. වර්ග, කුල, ආගම් භේද මත සිදුවන ප්‍රජා පීඩනයද, මිනිසුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය හා ව්‍යවස්ථා උල්ලංඝනය ඉන්පසු අතීතයට පමණක් සීමාවූ අවලස්සන මතක සටහන් බවට පත් කිරීමට හේතුවනු ඇත. හඬක් නැති සියලු ආකාරවල පීඩිතයින්ට තමන්ගේ හඬ ජාතික තලයට ගෙන ඒමේ හැකියාව ලැබෙනු ඇත. අධ්‍යාපනය, මහජන සෞඛ්‍යය, ගමනාගමනය, පරිසරය හා බලශක්ති යන අංශවලටත් කර්මාන්ත, වෙළෙඳාම, සුළු කර්මාන්ත, හස්ත කර්මාන්ත, ධීවර කරමාන්ත, වාණිජ කෘෂිකර්මය, ග්‍රාමීය කෘෂිකර්මය, යන අංශ ගණනාවකට අවශ්‍ය ප්‍රතිසංස්කරණ යෝජනා කරමින් ඒවා නීතිගත කරවා ගැනීමේ බලය ඒ අංශවලට සම්බන්ධ මහජනයාට ලැබෙනු ඇත. වැටුප් ලබන්නට අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා වැඩ වර්ජනය කිරීම අවශ්‍ය නොවනු ඇති අතර පුරවැසි ප්‍රාරම්බන ක්‍රමය යොදා ගැනීමෙන් ඔවුන්ට ඔවුන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට පුළුවන්කම ලැබෙනු ඇත.


එය බොරු සිහිනයක් නොව සැබෑ කරගත හැකි සිහිනයකි. මහා කඩා වැටීමක මුවවිට තිබෙන ලංකාව සියලු දෙනාගේ ගරුත්වයට හේතුවන ලෙස ප්‍රතිනිර්මාණය කරගැනීමේ හැකියාව ලැබෙනු ඇත්තේ ලංකාව ප්‍රති නිර්මාණය කරගැනීමේ බලය මහජනයාට ලබාදෙන මහජන ව්‍යවස්ථා සම්පාදනයකට දොරටු විවෘත කරගැනීමෙනි. එය අලුතෙන් අත්හදා බැලිය යුතු ක්‍රමයක් නොව ලංකාව හා සමාන තත්ත්වයකට පත් රටවල් ගණනාවක් විසින් ක්‍රියාවට නගා සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගෙන තිබෙන ක්‍රමයකි. ■