ඉඳුනිල් උස්ගොඩ ආරච්චි


ලොව බොහෝ දෙනාගේ ජීවිතවලට කොවිඞ් වසංගතය විවිධාකාරයේ තර්ජන එල්ල කරද්දී මෙරට නිදහස් වෙළෙඳ කලාප සේවක සේවිකාවන්ගේ ජීවිතවලට එම තර්ජනය එල්ල වී තිබෙන්නේ ඉතා දැඩි මුහුණුවරකිනි. රැකියා අහිමිවීම්, වැටුප් අහිමිවීම්, ආහාර සහ අනෙකුත් මූලික අවශ්‍යතාවන් අහිමිවීම්වලට ඔවුහු මුහුණදෙමින් සිටින්නේ කොවිඞ් පළමු රැල්ල මෙරට තුළ ආරම්භ වූ කාලසීමාවේ සිටමය. මෙරට භාණ්ඩ අපනයන ආදායමෙහි ඉහළින්ම වැජඹෙමින් ඇ.ඩො. බිලියන 5ක පමණ වාර්ෂික ආදායමක් රැගෙන ආ ඇඟලුම් ක්ෂේත්‍රයේ ශ්‍රමය දිය කරන කම්කරුවන්ගේ ජීවිත මෙවන් ව්‍යසන හමුවේ මාස කීපයක් හෝ රැක ගැනීමේ නිසි වැඩපිළිවෙළක් තවමත් ස්ථාපිත කර ගැනීමට මෙරට අසමත්වීම ඛේදයකි.


දුෂ්කරම අඩියක


“මම ක්‍රීම් ක්‍රැකර් විතරක් කාලා දවස් පහක් හිටියා. සල්ලිත් නැතිව කන්නත් නැතිව අපිට බෝඩිං කාමරවල හිරවෙලා ඉන්න සිද්ධ වුණා. එහෙම ඉන්න බැරි නිසා මම පත්තරේ සිකියුරිටි රස්සාවක් ගැන තිබුණ දැන්වීමකට කතා කළා. මට ඒ රස්සාවට එන්න කිව්වා. හැබැයි රස්සාව තිබුණේ වත්තල. මගේ බෝඩිම කටුනායක. උදේ 7 ඉඳලා රෑ 11 වෙනකම් වැඩ කරන්න ඕනෑ කිව්වා. ටික දවසක් වැඩට යද්දී ඇඳිරි නීතිය එක්ක බස් ගමන නතර වුණා. ආයතනයෙන් යන්න එන්න පහසුකම් ලැබුණෙත් නැහැ. ඒත් මට ඒ වෙලාවේ රස්සාව ඕනෑ වුණා. මම උදේ හතරට කලින් පිටත් වුණා. පයින්ම රස්සාවට ගියා. බෝඩිමේ ඉඳලා එතැනට කිලෝමීටර 25ක් විතර දුරයි. රෑ එද්දීත් පයින් ආවා. එහෙම එද්දී සමහර අය වාහන නතර කරලා එක එක කතා කියූ වෙලාවල් තිබුණා. මම ඒවා මග හැරලා කොහොම හරි පයින්ම ගියා ආවා. අවසානයේ බැරිම තැන මම නතර වුණා.” ඒ කතාව අපට කීවේ කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ මෑන්පවර් පදනම මත සේවය කළ කාන්තාවකි.


මිනුවන්ගොඩ ප්‍රදේශයේ බෝඩිමක සිර වී මුදල් හෝ ආහාර නැතිව සිටීමට සිදුවූ තවත් ඇඟලුම් සේවිකාවක් අපට පැවසුවේ ඇතැම් දිනවල ඇයට ආහාර කිසිවක් නොමැතිව සිටීමට සිදුවූ බැවින් ඇතැම් දිනවල පාන් ගෙන යන වෙළෙන්දාගෙන් පාන් භාගයක් ඉල්ලාගෙන උදෑසන කොටසක් ආහාරයට ගෙන ඉතිරි කොටස රාත්‍රියේ ආහාරයට ගත් බවය. කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවය කරන තවත් සේවිකාවක් අපට පැවසුවේ මෙවැන්නකි. “අපිට හතර වතාවක් ස්වයං නිරෝධායනය වෙන්න වුණා. අපේ බෝඩිමේ කාමර 51ක් තියනවා. එක එක ෆැක්ටි්‍රවල ළමයි ඉන්නවා, පාවිච්චි කළේ එකම නාන කාමර වැසිකිළි. සැරින් සැරේ කොවිඞ් හැදුණු අය හමුවුණ නිසා හතර සැරයක්ම ස්වයං නිරෝධායනය වෙන්න වුණා. ඒ කාලයේ ජීවත්වීමත් හරිම අමාරු වුණා. පස්සේ උදව් කරන සංවිධානවලින් කෑම බීම ලැබුණා. බෝඩිමෙන් ෆැක්ටි්‍ර අනුව වෙන් කරලා දැන් නාන කාමර හදලා තියනවා. දැන් අපි වැඩට යන්න පටන් අරන් සති දෙකක් වගේ. ඒත් වැටුප් ප්‍රශ්න තියනවා. ගොඩක් මෑන් පවර් අයට නම් රස්සාත් නැහැ.”


කොවිඞ් වසංගතය සමග ඇඟලුම් සේවක සේවිකාවන් බොහෝ දෙනා ගැටලුවලට මැදි වෙද්දී මෑන් පවර් පදනම මත දෛනික වැටුප් ලබමින් සේවය කළ අය පත්ව තිබුණේ ඉතා බැරෑරුම් තත්ත්වයකටය. කොවිඞ් පළමු රැල්ලම මෑන් පවර් සේවක සේවිකාවන් බොහොමයකගේම රැකියා අවස්ථා අහිමි කර තිබුණි. ඉහත අත්දැකීම් කී සේවිකාවන් ඔවුන් අතරින් කීපදෙනෙකු පමණක් වුවත් මෙරට කොවිඞ් පළමු රැල්ලේ සිටම නිදහස් වෙළෙඳ කලාපය දෙසින් අපට ඇසෙන්නේ මෙවන් සිදුවීම් රාශියකි. එහෙත් වසංගතය හමුවේ ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කරගැනීමේ සහ රැකියා සුරක්ෂිත කිරීමේ නිසි වැඩපිළිවෙළක් මෙරට බලධාරීන් විසින් හෝ සේවායෝජකයන් විසින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගන්නා බවක් නම් පෙනෙන මානයකවත් නැත. එවැනි වැඩපිළිවෙළක් මෙරට තුළ ස්ථාපිතව නැතිවා මෙන්ම මෙවන් ව්‍යසන හමුවේ මෙම කම්කරුවන් සුරක්ෂිත කළ හැකි ශක්තිමත් නීති ප්‍රතිපත්ති ද නොමැති පසුබිමක විවිධ සංවිධාන හා පුද්ගලයන් හරහා සැපයෙමින් තිබූ ආධාර ඔවුන්ට යම් සහනයක්ව තිබුණි.


බලපෑම ගැන සමීක්ෂණයක්


නිදහස් වෙළෙඳ කලාප ශ්‍රමිකයන්ගේ ආර්ථික හා සමාජ තත්ත්වයන්ට කොවිඞ්-19 හේතුවෙන් වූ බලපෑම සම්බන්ධයෙන් RED (Revolutionary Existence for human Development) ආයතනයේ මැදිහත්වීමෙන් සමීක්ෂණයක් සිදුකර තිබුණි. රැකියා අහිමි නිදහස් වෙළෙඳ කලාපවල සමස්ත මෑන් පවර් සේවක සංඛ්‍යාව 11,000ක් පමණ වන බවත් මේ වන විට කටුනායක මෑන් පවර් ආයතන 3ක් සහ බියගම මෑන් පවර් ආයතන 2ක් වැසී ඇති බවත් එම සමීක්ෂණ වාර්තාව සඳහන් කරයි. ආයෝජන මණ්ඩලයේත්, කර්මාන්තශාලාවලින් හා රාජ්‍ය අංශවලින් ලබා ගත් තොරතුරුවලට අනුව කලාප තුළ සේවකයන් 3663 කොවිඞ් රෝගයට ලක්වූ බවත් සුව වූවන් අතරින් 1236කට රැකියා අහිමිවී ඇති බවත් ඒවා සම්බන්ධයෙන් මේ වන විට කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි 108ක් පමණ ලැබී ඇති බවත් එම වාර්තාව සඳහන් කරයි.


ඊට අමතරව මෙම සමීක්ෂණය සඳහා වෙළෙඳ කලාප ශ්‍රමිකයන් 280කගේ තොරතුරු ලබාගෙන තිබූ අතර ඊට කටුනායක 133ක්, බියගම 44ක්, කොග්ගල 19ක්, වතුපිටිවල 20ක්, මහනුවර 12ක්, හොරණ 08ක්, යාපනය 32ක්, සීතාවක 12ක් ලෙස නිදහස් වෙළෙඳ කලාප ශ්‍රමිකයන් ඇතුළත්ය. ඒ අතරින් 114ක් තාවකාලික ද, 69ක් මෑන්පවර් ද, 63ක් අනියම් ද, 34ක් ස්ථිර සේවකයෝය. පළමු කොවිඞ් රැල්ල අවස්ථාවේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම නිසා එම සමීක්ෂණයට අනුව 280 අතුරින් 265කටම බලපෑ පොදු ගැටලුවක් වී තිබෙන්නේ පරිභෝජනය සඳහා ආහාර පාන ගැනීමට මුදල් නොමැති වීමය. එමෙන්ම සමීක්ෂණයට යොදා ගත් පිරිස අතුරින් 50%කගේම ඒ වන විට රැකියා අහිමිව ගොස්ය. ඒ වන විට ද ඔවුන් සේවය කළ කර්මාන්තශාලා අතරින් 8ක් වැසී ගොස් ඇති අතර ඒවායේ සේවය කළ සේවකයින් 4000ක් පමණ දැඩි දුෂ්කරතාවන්ට මුහුණදෙමින් සිටින බව එහි දක්වයි. එමෙන්ම කටුනායක රැකියා අහිමි 1800ක් පමණත්, බියගම රැකියා අහිමි 975ක් පමණත් බෝඩිම්වල රැඳී සිටින බවට තොරතුරු වාර්තාවී ඇතැයි ද ඉන් අනාවරණය කරයි. එවැනි තත්ත්වයක් ඉදිරියේ දී උද්ගත නොවීම වෙනුවෙන් නිර්දේශ ද එම පර්යේෂණ වාර්තාව හරහා ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණි.


ඇඟලුම් අපනයන තත්ත්වය


ශ්‍රී ලංකාව ඇඟලුම් අපනයනයෙන් වසර ගණනාවක සිට විශාල ආදායම් ඉපැයූ අතර ගෝලීය වසංගතයක් වන කොවිඞ් හේතුවෙන් එම ආදායම පහළ යෑමක් සිදුවූයේය. (1.1 ප්‍රස්ථාරය බලන්න)

1.1 ප්‍රස්ථාරය

මෙරටින් ඇඟලුම් අපනයනය කරන ප්‍රධාන රටවල් පිළිබඳ සැලකූ විට ද 2019 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් කාලසීමාවට සාපේක්ෂව 2020 ජනවාරි සිට ඔක්තෝබර් කාලපරාසය තුළ සමස්ත ඇඟලුම් අපනයන වටිනාකම තිබෙන්නේ පහළ මට්ටමකය. (1.2 ප්‍රස්තාරය බලන්න)

1.2 ප්‍රස්තාරය

එම වර්ධනය -16.41%කි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්ත අනුව 2019 ඔක්තෝබර් මාසය සමග සසඳන විට 2020 ඔක්තෝබර් මාසයේ දී එක්සත් රාජධානිය, නෙදර්ලන්තය, චීනය හා තුර්කිය යන රටවල්වලින් ශ්‍රී ලංකාව ලබා ඇති ඇඟලුම් අපනයන වටිනාකම සාපේක්ෂව වර්ධනය වී තිබේ. ඒ, එක්සත් රාජධානිය 38.93%ක්, නෙදර්ලන්තය 25.32%ක් , චීනය 6.61%ක්, තුර්කිය 13.73%ක අපනයන වර්ධනයක් පෙන්නුම් කරමිනි. එනමුත් 2019 ඔක්තෝබර් මාසයට සාපේක්ෂව 2020 ඔක්තෝබර් මාසයේ ඇඟලුම් අපනයන ආදායමේ වර්ධනය -14.9%ක් බව ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ දත්ත සඳහන් කරයි. මෙම දුර්වල තත්ත්වයට හේතුවී තිබෙන්නේ රට තුළ සහ ගෝලීය වශයෙන් බලපා ඇති කෝවිඞ් 19 වසංගතයේ දෙවන රැල්ල බව ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය සඳහන් කරයි.


ඇඟලුම් ක්ෂේත්‍රය ඉහළ නගිමින් ඉන් මෙරටට ආදායම් ගලා ආවේ ද මෙරට ඇඟලුම්වලට ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය වැනි ඉහළම වෙළෙද පොළවල ඉහළ වටිනාකම් ලැබෙන්නේ ද ප්‍රධාන වශයෙන් ම දශක ගණනාවක සිටම ඇඟලුම් ක්ෂේත්‍රයට ශ්‍රමය සහ ජීවිතය දිය කළ ඇඟලුම් සේවක සේවිකාවන් නිසා ය. ලෝකයේ ප්‍රකටම වෙළෙද සන්නාමයන් වන වික්ටෝරියා සීක්‍රට්, ගැප්, ලින් ක්ලයිබෝර්න්, නෙක්ස්ට්, ජෝන්ස් නිව්යෝක්, නයික්, ටොමී හිල්ෆිගර්, පින්ක්, ඈන් ටේලර් ආදී සන්නාම ගණනාවක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ඇඟලුම් මිල දී ගන්නේ ය. ඇඟලුම් ක්ෂේත්‍රය දිනෙන් දින වර්ධනය වෙමින් දශක ගණනාවක් ගෙවී ගොස් තිබුණ ද වෙළෙඳ කලාපවල සේවක සේවිකාවන් සුරක්ෂිත කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් තවමත් සකස් වී නැත. එවන් තත්ත්වයක් තුළ කොවිඞ් වසංගතයෙන් ගෝලීය වශයෙන් ඇඟලුම් කර්මාන්තයට එල්ලවූ දැවැන්ත බලපෑමෙහි පාඩුව ඇඟලුම් සේවක සේවිකාවන් මත රඳවා ලාභ ඉපයීමේ මාවතකට පිවිසීම කිසිසේත් සාධාරණ නැත. ඊට එරෙහිවීමට හා සේවක අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් ඉදිරිපත් වීමට රටේ පාලනතන්ත්‍රයට ද දැවැන්ත වගකීමක් තිබෙන්නේය. එසේ නොමැතිව කම්කරුවන්ගේ කුසගින්න නිවීමට ආධාර බෙදන හා ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන රාජ්‍ය නොවන සංවිධාන හෝ සාමූහිකයන්ට දොස් තබා පමණක් පළක් නැත.

කටුනායක රෙඞ් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා චන්ද්‍රා දේවනාරායන- සමාජ සංරක්ෂණ ක්‍රමයක් ඕනෑ
කොවිඞ් පළමු රැල්ල අවස්ථාවේත් නිදහස් වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන් ගැටලුවලට මැදි වුණා. පසුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ ඇති වූ තත්ත්වය වඩාත් බලපෑවේ කටුනායකටයි. කම්කරුවන්ට වගකීමට හෝ වගවීමට ස්ථානයක් හෝ පුද්ගලයන් නිශ්චිතව හිටියේ නැහැ. ඒ නිසා මේ කම්කරුවන් ඉතාම අසරණ තත්ත්වයකට පත් වුණා. සමහර අයට රැකියා නැති වුණා. කෑම බීම වාසස්ථාන අහිමි වුණා. ගම්වලට යන්න බැරිව බෝඩිම්වල හිරවුණා. ඒ තත්ත්වය පසුගිය මාස කීපයේ ම අත්දැක්කා. එහි පීඩාව අදටත් ඒ අය විඳිනවා. කොවිඞ් වසංගත තත්ත්වයත් එක්ක රැකියා අහිමිවීම්, වැටුප් අහිමිවීම්, ආහාර සපයා ගැනීම දුෂ්කර වීමත් බෝඩිං කාමරවල කම්කරුවන් හිරවීමත් එක්ක සේවිකාවන් ලිංගික හිංසනයන් සහ වෙනත් හිංසනයන්, අනවශ්‍ය ගැබ් ගැනීම් වැනි සමාජ ගැටලු රාශියක් ඇතිව තිබෙනවා.


මෑන් පවර් සේවකයන්ට තවම රැකියා නැහැ. ස්ථිර රැකියා කරන අයටත් සමහර කර්මාන්තශාලාවල තවම ගෙවන්නේ අවම වැටුප විතරයි. එහෙමත් නැත්නම් වැටුපෙන් භාගයයි, නැත්නම් මූලික වැටුප පමණයි. මූලික වැටුප පමණක් ගෙවුවත් අතිකාල වැඩ ගැනීම පවා සිදුවෙනවා. කොරෝනාවලට මුවා වී එතැන අසාධාරණයක් සිදුවෙනවා. කොරෝනා කාලයේ නිවාඩු දුන්නා කියලා දැන් ඒ වෙනුවටත් වැඩිපුර වැඩ ගන්නවා. නමුත් ගෙවන්නේ මූලික වැටුප විතරයි. ඒකෙන් බෝඩිං කුලී ගෙවීම් ආදී කටයුතුවලටත් වැය වුණාට පස්සේ ජීවත් වීමට තරම් ප්‍රමාණවත් මුදලක් ඒ අයට ඉතිරි වෙන්නේ නැහැ. මෑන් පවර් සේවකයන් දැන් වැඩට ගන්නේ නැහැ. ගත්තත් ගන්නේ ඉතාම සීමිත සංඛ්‍යාවක් විතරයි. ඒ අයටත් ගෙවීම් අඩු කරලා තියනවා. මේ නිසා සේවකයන් බොහෝ දෙනෙක් බෝඩිංවලට වී ඉන්නවා. ඒ වගේම බොහෝ ආයතන දෙසැම්බර්වල දීමනා නොදී සිටීමට කටයුතු කරමින් සිටිනවා. ඒ කර්මාන්තශාලාවල සේවකයන් ඒ වෙනුවෙන් මේ වන විටත් අරගල කරනවා. දැන් නිදහස් වෙළෙඳ කලාපයේ තියෙන්නේ එහෙම තත්ත්වයක්.


මේ ගැටලු නිසා මේවා සම්බන්ධයෙන් ඉතා පුළුල් සමීක්ෂණයක් සිදුකිරීමට අවශ්‍ය වුණත් කොවිඞ් තත්ත්වය සමග ඇතැම් ස්ථානවලට යෑම ආදී ගැටලු හමුවේ හැකි අයුරින් සිදු කළා. ඒ මගින් අපේ ප්‍රධාන ඉල්ලීම වන්නේ, කොරෝනා වසංගතය වැනි තවත් උපද්‍රව නැවත ඇති වුවහොත් අඩුම වශයෙන් ආයෝජන මණ්ඩලය යටතේ ඇති ආයතනවල සේවකයන් අවම වශයෙන් මාස තුනක් හෝ නඩත්තු කළ සමාජ සංරක්ෂණ ක්‍රමයක් ඇති කළ යුතුයි කියන කාරණයයි. ඊට ස්ථිර ද, තාවකාලික ද, මෑන්පවර් ද ලෙස නොව ආයෝජන මණ්ඩලය යටතේ සේවය කරන සියලු කම්කරුවන්ට තම ගැටලු ඉදිරිපත් කිරීමට සාකච්ඡා කිරීමට ස්ථානයක් තිබිය යුතුයි. මේ කම්කරුවන්ට වග කියන ආකාරය සම්බන්ධයෙන් තිබෙන කම්කරු නීති සංශෝධනය විය යුතුයි. ■