ඉඳුනිල් උස්ගොඩ ආරච්චි


චීනයේ සිට මෙරටට පැමිණි කාන්තාවකට කොවිඞ් 19 ආසාදිතව රෝහල්ගතව සිටීමත් සුවය ලැබූ ඇගේ පිටත්ව යෑමත් උත්කර්ෂවත් ලෙස හා හැඟීම්බරව සැමරූ මෙරට පාලකයන් දැන් මෙරට ඇඟලුම් සේවක සේවිකාවන්ට සලකන්නේ ඊට හාත්පසින්ම වෙනස් අයුරිනි. චීන ජාතික කාන්තාවට මල් මිටක් දී මුහුණ සිඹ ඉතා ආදර ගෞරව දැක්වූ රටක් අද ලංකාවේ ම ඇඟලුම් සේවක සේවිකාවන් රැගෙන යන්නේ ආයුධ සන්නද්ධව විත් ත්‍රස්තවාදීන් පිරිසක් රැගෙන යන ලෙසිනි. රට තුළ විශාල කොවිඞ් ආසාදිත පොකුරක් බවට පත් වූ ඇඟලුම් කර්මාන්තශාලාවල සේවයේ නියුතුවූවන් එබැවින් මේ වන විට මැදිව සිටින්නේ ඉතාම දුක්ඛිත තත්ත්වයකටය.


අපරාධකරුවන් සේ රැගෙන යෑම


“රෑ දොළහට විතර අපේ බෝඩිංවලට හමුදාවෙන් ඇවිත් දොරවල්වලට ගහලා අපිව ඇහැරෙව්වා. අපේ බෝඩිමේ කට්ටිය 53ක් හිටියා. කාමරවල ඉන්න ඔක්කෝම එළියට එන්න හැංගෙන්න එපා කියාලා අපිට කිව්වා. එක්කෙනෙක්වත් පැනලා යන්න හදන්න එපා හමුදාවෙන් වට කරලා තියෙන්නේ කිව්වා. ඒ අය අපිට කතා කළේ ජාතික අපරාධයක් කළ අයට වගෙයි. අපි හිතුවේ අපිට සෞඛ්‍ය උපදෙස් දෙන්න ඇවිත් කියලායි. රෑ අපිව කුදලගෙන යන්න ඇවිත් කියලා අපි හිතුවේ නැහැ. ඔක්කෝම තත්පරෙන් යන්න ලෑස්තිවෙන්න කියලා කිව්වා. අපිට ලෑස්ති වෙන්න වෙලාවක්වත් දුන්නේ නැහැ. රෑ දොළහමාර වෙද්දී අපිව බස්වල පටවාගෙන ආවා. ඕනෑ ඇඳුම් ටිකවත් හරියට ගන්න බැරි වුණා.” කටුනායක ඇඟලුම් කම්හල්වල සේවය කළ සේවක සේවිකාවන් පිරිසක් ඇවරිවත්ත ප්‍රදේශයේ බෝඩිංවලින් රැගෙන ගිය අයුරු එක් ඇඟලුම් සේවිකාවක් විස්තර කළේ එලෙසය. එසේ බසයක නංවාගත් එම පිරිසද රැගෙන කටුනායක, සීදුව, මීගමුව, අමන්දොළුව ආදී ප්‍රදේශවල සිටි තවත් සේවක සේවිකාවන් ද රැගෙන කටුනායකින් පිටත්ව ගොස් තිබුණේ පසුවදා පෙරවරු 5.30ට පමණය.


කොවිඞ් රෝගීන් හා ආශ්‍රිතයන් පලා යෑම සම්බන්ධයෙන් හා සැඟවීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා කරන පිරිස් ඊට හේතුව කුමක් දැයි සාධාරණ ලෙස බැලිය යුතුව තිබේ. ආසාදිතයන් හෝ ආශ්‍රිතයන් රැගෙන යන ආයුධ සන්නද්ධ සෙබළුන්ගේ හැසිරීම ඔවුන්ට බිය උපදවන්නකි. එමෙන්ම එම ක්‍රියාවලිය සිදුවන්නේ ද අපරාධකාරී හැඟීමක් මේ ආසාදිතයන්ට හෝ ආශ්‍රිතයන් වූ අයට දැනෙන ලෙසය. ඔවුන් පවසන පරිදි ඒ රැගෙන යෑමේ ක්‍රියාවලියම ඉතා පීඩාකාරීය, කර්කෂය. ඉන් මිදී පලා යාම හෝ සැඟවීමට උත්සාහ කිරීම වඩා ආරක්ෂාකාරී යැයි මේ මිනිසුන්ට දැනීම ඉතාම ස්වභාවිකය.


අපි මනුෂ්‍යන් නොවෙයිද?


එලෙස එදින රැගෙන ගිය කණ්ඩායම කළුතර ප්‍රදේශයේ ස්ථානයකට රැගෙන ආ බව එහි එක් සේවිකාවක් පැවසුවාය. “දැන් අපි අන්ත අසරණ වෙලා ඉන්නේ. හරක් වගේ මෙහෙම ගාල් කරලා තියෙන්නේ අපි මිනිස්සු නෙවෙයිද. මේක ගොඩක් කාලයක් පාවිච්චියට ගත්තේ නැති ගොඩනැගිල්ලක්. මෙතැන දැන් ගොඩක් දෙනෙක්ට පාවිච්චි කරන්න තියෙන්නේ වැසිකිළි කීපයයි, ඒවාත් උතුරා යනවා, හරිම අපිරිසිදුයි. හැමතැනම අපිරිසිදුයි. මෙතැනට එද්දී ඩොක්ටර්ස්ලා නර්ස්ලා ඉන්න තැනකට අපිව ගෙනියනවා කියලා අපි හිතුවා. එහෙම කවුරුවත් මෙහේ නෑ. අපිට කිසිම පරීක්ෂණයක් කළේත් නෑ. දෙන කෑම කටේ තියන්නවත් බෑ. මෙහෙම ඉඳලා දවස් දාහතර ඉවරවෙද්දී අපිව දැඩි සත්කාර ඒකකයට දාන්න වේවි කියලා හිතෙනවා.” එම කණ්ඩායමේ දරුවන් කීපදෙනෙකු ද සිටින බව ඇය පැවසුවාය.


ඔක්තෝබර් 11 වැනි දින රාත්‍රී 10.30ට පමණ හදිසියේම යුද හමුදාවෙන් පැමිණ කටුනායක ලියනගේමුල්ල ප්‍රදේශයේ නේවාසිකව සිටි ඇඟලුම් සේවක සේවික පිරිසක් ද එලෙසම රැගෙන ගොස් තිබුණි. ගර්භනී තත්ත්වයේ මවකගේ කතාව මෙවැන්නකි. “මට දරුවෙක් ලැබෙන්න ඉන්න නිසා මේ දවස්වල හිටියේ තනියම කටුනායක බෝඩිමෙයි. දරු ගැබට දැන් මාස හතක් වෙනවා. අල්ලපු බෝඩිමේ සේවිකාවක් කොවිඞ් පොසිටිව් නිසා අපිවත් නිරෝධායනයට ගෙනියනවා කියලා පෙරෙයිදා (09) රෑ හමුදාවෙන් ඇවිත් කිව්වා. අපිව බස් එකකට නග්ගාගෙන ඇවරිවත්තට ගිහින් එහෙනුත් තව කට්ටිය බස් එකට නග්ග ගත්තා. අපි එකසිය ගණනක් කට්ටිය නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙනාවා. අපිට සූදානම් වෙන්නවත් වෙලාවක් දුන්නෙ නැති නිසා ඕනෑ දේවල් ගේන්නත් බැරි වුණා. දරුවෝ කීපදෙනෙකුත් මේ කණ්ඩායමේ ඉන්නවා. මට නිතර දැන් බඩගිනි දැනෙනවා, ඒත් කන්න දෙයක් නැහැ, මෙතැනින් දෙන කෑම කොහොමත්ම කන්න බැහැ. අපිට කිසිම දෙයක් ගේන්න ඉඩක් ලැබුණේත් නැහැ. මෙතන වැසිකිළි හරිම අපිරිසිදුයි, ඒවාත් හැමෝම පාවිච්චි කරනවා, සබන් වුණත් කීපදෙනා පාවිච්චි කරනවා. නිරෝධායනයට පහසුකමක් මෙතැන නැහැ.”


මේ අතර කටුනායක වෙළෙඳ කලාපයේ ඇඟලුම් සේවක සේවිකාවන්ට පීසීආර් පරීක්ෂණ සිදුකර ගැනීමට ඔක්තෝබර් 14 වන දින අමන්දොළුව විද්‍යාලයට උදෑසනින් පැමිණෙන ලෙස පොලිස් නිවේදන නිකුත් කර තිබුණි. එදින උදෑසන හය පමණ සිට එම විද්‍යාල භූමියට ඇඟලුම් සේවක සේවිකාවන් දහසකට වැඩි ගණනක් රැස්ව තිබුණි. උදෑසන නවය හමාරට පමණ මහජන සෞඛ්‍ය පරීක්ෂක හා තවත් නිලධාරීන් කීපදෙනෙකු පැමිණ නිවේදනයක් නිකුත් කර තිබුණේ ඇඟලුම් කම්හල් දෙකක සේවක සේවිකාවන් සහ රෝග ලක්ෂණ ඇති අය පමණක් රැඳී අනෙක් අයට නැවත නේවාසිකාගාර වෙත පිටත්ව යන ලෙසය. එලෙස පැමිණි එක් සේවිකාවක් ඉන්පසු සිදුවූ සිද්ධි දාමය අපට පැවසුවේ මෙලෙසය. “අපි බෝඩිමට ඇවිත් පැයක් වගේ යද්දී හමුදාවෙන් ආවා. පරක්කු වෙනවා කියලා අපිව හදිසියේම වගේ බස් එකට පටවා ගත්තා. ඒත් අන්තිමට මුළු දවසම ටවුන් එකේ රස්තියාදු කර කර තවත් අයව එකතු කර කර හිටියා. අපි බඩගින්නේ හරක් වගේ තියාගෙන හිටියා. බස් එක කටුනායකින් පිටත් වුණේ පහමාරත් පහුවෙලායි. දැන් වේයන්ගොඩ බස් ස්ටෑන්ඞ් එකේ නතර කරගෙන ඉන්නවා. මෙතැන කිරි දෙන අම්මලාත් ඉන්නවා. ඒ අය දරුවෝ එක්ක ඇවිත් ඉන්නවා. දරුවෝ තෙහෙට්ටුවට අඬනවා. සමහර අය ඊයේ රෑ කෑවට පස්සේ තාම කාලා නැහැ. උදේ උයපු බත් එක අපිට කන්න වුණේ නැහැ, පරක්කු වෙනවා කියලා කලබල කළ නිසා උයපු බත් එක හලලා අපි ආවා. අපිට මොකද කරන්නේ කොහේද ගෙනියන්නේ මොනවත් අපි දන්නේ නැහැ. අපි අහද්දී ඒ අයත් දන්නේ නැහැ කියනවා.” එම අවස්ථාවේ ඔවුන්ට බිස්කට් පැකට් එකක් හා කිරි පැකට් එකක් ලබාදීමට යුද හමුදාව කටයුතු කර තිබුණි. කොවිඞ් ආසාදිත බවට තහවුරු වූවන්ගේ ළඟම ආශ්‍රිතයන් ද එසේ නොවන අය ද කර්මාන්තශාලා කීපයක අයද එකටම රැගෙන යාම් සිදුවන බවත් ඒ අතර ආසාදිතයන් ද සිටිය හැකි බැවින් එය තවත් අයට වැළඳේ යැයි යන බියෙන් ද ඔවුහු පසුවූහ.


මාධ්‍ය වගකීම ඉටු කරන්න


ඒ අතර වෙනත් රෝගාබාධ සහිත අය ද සිටින බවත් ඔවුන්ට අවශ්‍ය ඖෂධ ආදිය ද රැගෙන ඒමට නොහැකි වූ බවත් ඒ පිරිස පැවසූහ. ඔවුන්ට අවශ්‍ය දේ මිල දී ගැනීමට පසුගිය දිනවල සිටම ප්‍රදේශයේ වෙළෙඳ සැලකටවත් යා නොහැකි තත්ත්වයක් උද්ගතව තිබූ බවත් බොහෝ දෙනා ඇඟලුම් සේවක සේවිකාවන් දෙස සැකයෙන් බයෙන් බැලීමට මෙන්ම ඇතැම්විට බැණ වැදී ගැරහීමට ද කටයුතු කළ බව ඔවුහු පැවසූහ. එම පරිසරය හැදීමේ වරදෙහි දැවැන්ත පංගුකාරීත්වයක් ඇතැම් ජනමාධ්‍ය ආයතනවලට ද තිබෙන්නේය. පසුගිය දිනක රජයේ රූපවාහිනී නාලිකාවක් පුවතක් වාර්තා කළේ, “අම්මගෙයි දුවගෙයි කොරෝනාව නිසා 2000කට පීසීආර්, 72කට දැනටමත් කොරෝනා” යනුවෙනි. තවත් ගුවන් විදුලි නාලිකාවක තරුණයෙක් හා තරුණියක් ඇඟලුම් සේවිකාවන් පොසිටිව් වීම සම්බන්ධයෙන් බියෙන් සිටින බවට අපහාසත්මක දෙබසක් හාස්‍යජනක ලෙස ඉදිරිපත් කර තිබුණේය. ඒ හා සමගාමීව සමාජ මාධ්‍ය ජාලවලද එවැනි අපහාසාත්මක දේ හුවමාරු වූයේය. ඇඟලුම් කම්හල්වල ශ්‍රමය දිය කරමින් මෙරටට විනිමය ඉපයීමේ මෙහෙවරෙහි යෙදෙන සේවක සේවිකාවන්ගේ ජීවිතවලට එල්ල වන්නේ එවැනි අමානුෂීය නින්දා අපහාසය. ඔවුන්ගේ ශ්‍රමය සූරාකමින් ලාභ ලබන දැවැන්ත කර්මාන්තශාලාවල හාම්පුතුන් ද මේ සේවක සේවිකාවන්ගේ ජීවිත නගාසිටුවීමට ඔවුන්ගේ සුභසාධනය පිළිබඳ කිසිදිනක එතරම් අවධානයක් යොමු කළේ නැත. මෙවන් ව්‍යසන හමුවේ ඔවුන්ගේ ජීවිත ආර්ථික, සමාජයීය ආදී සෑම අංශයකින්ම බිඳ වැටීමෙහි වගකීම ප්‍රධාන වශයෙන් ඔවුන් මත ද තිබෙන්නේය. එමෙන්ම තම රටේම පුරවැසියන්ගේ ජීවිත මෙවැනි තත්ත්වයකට ඇද වැටීමට ඉඩ දී තිබෙන හා ඔවුන්ගේ ගැටලුවල දී නිසි මැදිහත්වීමක් නොකරන මෙරට පාලකයන් ද මෙහි වගකීම ගත යුතුය.


මේ යුද්ධය වෙනස්


වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටයුතු කරන සංවිධානයක් වන StandUp Movement Lanka හි කැඳවුම්කාරිය වන අශිලා දංදෙනිය ඇඟලුම් සේවක සේවිකාවන් මේ වන විට මුහුණ දෙන තත්ත්වය සම්බන්ධයෙන් රාවයට දැක්වූයේ මෙවන් අදහසකි. “මේක ඉතාමත්ම නරක ක්‍රමවේදයක්. සමහර වෙලාවට පොඞ්ඩ ඇත්නම් හමුදාවේ අය කුණුහරුප කියලා මේ සේවිකාවන්ට බැණලා තිබුණා. පොඩි දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් බස් එකට නගින්න ඇවිත් දරුවාගේ කිරිබෝතලයක් අමතක වීම නිසා ඒක නැවත ගන්න යද්දීත් අසභ්‍ය කතා කියලා තිබුණා. ආයුධත් අරගෙන ඇවිත් කිසිම චාරයක් නැති විධියට මේ අයව කුදලාගෙන යන්නේ ඇයි. ෆැක්ටි්‍ර වලින්වත් පීසීආර් කරගැනීමට හෝ මේ අය සම්බන්ධනේ කිසිම ක්‍රමවේදයක් නැහැ. රජය පැත්තෙන් කරගෙන යන්නේ සේවකයන් බිය වද්දන ක්‍රමවේදයක්. ඒක මේ අය කැමැත්තෙන් පීසීආර් පරීක්ෂණ වලටවත් නිරෝධායනයටවත් යන්න උනන්දු කරවන ක්‍රමවේදයක් නෙමෙයි. දැන් පාලනයක් නැතිව ක්‍රමවේදයක් නැතිව පිස්සෝ වගේ එකතු කරනවා. හොරු මංකොල්ලකාරයෝ ගෙනියනවා වගේ ගෙනියනවා. ඊට පස්සේ මිනිස්සු හැංගෙනවා කියලා කියනවා. හැංගෙන්නේ මේ ක්‍රමවේදය ඉතාම හිංසනකාරී නිසායි. එහෙම ප්‍රශ්න ගොඩක් මේ වෙලාවේ තියෙනවා. එකපාරට මෙවැනි දෙයක් සිදුවුණාම ධාරිතාවන් පිළිබඳ ආදී ප්‍රශ්න තියෙන්න පුළුවන් බව අපි දන්නවා. නමුත් අවම වශයෙන් මේ අය මනුෂ්‍යයෝ ලෙස සලකා කටයුතු කරන්න ඕනෑ. අඩුම වශයෙන් මේ කර්මාන්තශාලා ටික දින කීපයකට හෝ වසා දමා හෝ විධිමත් ක්‍රමයකට මේක කරන්න ඕනෑ.”


කොවිඞ් ගෝලීය වසංගතයක් හා වෛරසයක් සම්බන්ධ සෞඛ්‍යමය කාරණයක් වුවද ඒ සම්බන්ධයෙන් ප්‍රධානත්වය ගනිමින් හා ජනතාවට ප්‍රකාශ නිකුත් කරන්නේ යුද හමුදාව හා පොලීසිය විසිනි. සෞඛ්‍ය අංශයට මෙවන් ගෝලීය වසංගතයක් හමුවේ තනිව කටයුතු කළ නොහැකි බව සැබෑය. ආරක්ෂක අංශවල සහාය ඊට ලැබිය යුතුය. එහෙත් මෙරට පැවති ආයුධ සන්නද්ධ යුද්ධයට වඩා මෙය හාත්පසින්ම වෙනස් වූ සෞඛ්‍යමය කාරණයක් බවත් ඊට විසඳුම් සෙවිය යුතු වන්නේ සෞඛ්‍ය සම්බන්ධයෙන් වන විද්‍යාත්මක ක්‍රමවේද මුල් කරගෙන බවත් පසුගිය යුද සමයේ මෙරට ආරක්ෂක ලේකම්වරයා ලෙසද කටයුතු කළ වත්මන් ජනාධිපතිවරයා ද ඇතුළු රාජපක්ෂ පාලනතන්ත්‍රයම තේරුම් ගත යුතුව තිබෙන්නේය. වගකීම ජනයා මතම පැවරෙන මොහොතට පෙර වහා අලුතෙන් සිතා පියවර ගත යුතුව තිබෙන්නේය. ■

මේ ගෙනියන්නේ මිනිස්සු
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ


සමහර අය බස් එකට නැග්ගාට පස්සේවත් කොහේද යන්නේ කියලා දන්නේ නැහැ. මේ අරන් යන්නේ මිනිස්සු. බස් එකකට දාගනිද්දී කොහේද යන්නේ කියලාවත් දැනගන්න ඕනෑ. එවැනි දේවල් නිවැරදි විය යුතුයි. සමහර වෛද්‍යවරු පවා ගෙන ගිය ස්ථාන ගැන සෞඛ්‍ය අංශ දන්නේත් නැති තත්ත්වයක් තිබුණා.
සමහර නිරෝධායන මධ්‍යස්ථාන සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබෙනවා. වැසිකිළි ප්‍රශ්න, පොදු ශාලාවල වැඩි ප්‍රමාණයක් රඳවා තැබීම, දුරස්ථභාවය පිළිබඳ ප්‍රශ්න, එම ස්ථානවල වෛද්‍යවරු නැහැ ආදී පැමිණිලි ලැබී තිබෙනවා. ඒවා හොඳ තත්ත්වයන් නෙමෙයි. නිරෝධායනය වෙන්න යන අය විශාල කැපකිරීමක් කරන්නේ, ඒ අයට වෙනත් විකල්පයක් නෑ. ඒ අයට අවශ්‍ය පහසුකම් සැපයීම බලධාරීන්ගේ වගකීමක්. ආරක්ෂක අංශවලට මේක තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මිනිස්සුන්ගේ සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනෑ. වෙනත් රෝග තිබෙන අයත් එම ස්ථානවල ඉන්නවා. නිරෝධායනය සඳහා රැගෙන යාම් මීට වඩා පාරදෘෂ්‍ය ආකාරයට විය යුතුයි. ■

රෝගීවීම අපරාධයක් වෙලා
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය


නිරෝධායන පනත යටතේ මහජන පරීක්ෂකවරුන්ට නිරෝධායනය කිරීම සඳහා බලය පැවරී තිබුණත් තවත් පාර්ශ්වයක් විසින් එය උල්ලංඝනය වන ආකාරයට කටයුතු කිරීමෙන් නිරෝධායනය විහිළුවක් බවට පත්වෙනවා. ඒ වගේම ආරක්ෂක අංශවලින් සිදුකරන රැගෙන යෑම් කොවිඞ් පැතිරීම වැළැක්වීමේ අරමුණින් වුණත් එය සිදුකරන ආකාරය නිසා මහජනතාවට ඒ ගැන විශ්වාසයක් නැති වීමත්, බියක් ඇතිවීමත් වෙනවා. යම් පාර්ශ්වයක් තමන් මේ දේ කළා කියලා මාධ්‍ය ඉදිරියට ඇවිත් කියනවාට වඩා මේක සාමූහිකව සිදුකිරීම වැදගත් වෙනවා. මිනිස්සු මේ රෝගය බලෙන් හදා ගන්නා දෙයක් නෙමෙයි. රෝගීවීම කියන්නේ සාමාන්‍ය තත්ත්වයක්. ජනතාවට මෙය අපරාධයක් ලෙස හැඟෙන ආකාරයට කටයුතු කිරීම සුදුසු නැහැ. ■

1 COMMENT

  1. Rawaya news paper 1tw tikk wadiyen muddranaya karanna…podi marketing cmpaign 1t krnna…mn pttare gnn yanakota dws 2dima iwr wela tibbe.mt ahamben kiyawann set une dawasak…wena newspaper wage nemei hama article 1m wadagat.kiyawann tynwa dewal.

Comments are closed.