ටිරන් කුමාර බංගගමආරච්චි

සෞඛ්‍ය ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චිට කොවිඞ් හැදීම සුවිශේෂී කතාබහක් වූවාය. පවිත‍්‍රාට කොවිඞ් හැදෙන්න බැරිද? හැදෙන්න පුළුවන. කොටින්ම දැන් හැදිලාය. එහෙත් ප‍්‍රශ්නය එය නොවේ. ඇය කොවිඞ් අරබයා නැටූ නැටිලිය. පළමු කොරෝනා රෝගියාව තදින් වැලඳ ගත්තාය. පසුව ඉම්බාය. ඉන්පසු ඒලියන්ත වයිට්ගේ මුට්ටිය ගඟට අත ඇරියාය. ඉන්පසු ධම්මිකගේ පැණිය රටටම පේන්නට හොද්දක රහ බලන ලෙස බිව්වාය. එහෙත් අවසානයේ ඇයට කොවිඩු හැදුණි. පවිත‍්‍රා නොවී එතැන වෙන අයෙකු සිටියද ඒ සියලූ ජෝගි නටනු ඇත. එහෙත් පවිත‍්‍රා එය කරන්නට ගත්විට ජුගුප්සාජනක අත්දැකීමක් විය. ඇයගේ දේශපාලන භාවිතයේ මොකද්දෝ හිරිකිතක් ඇත. මේ නිසා පවිත‍්‍රාට කොවිඞ් හැදීම සමාජයේම ප‍්‍රබල කතාවක් විය. සමාජ මාධ්‍ය ජාලාවල ඇය නොසෑහෙන්න පතුරු ගැසීය. දේශපාලකයෙකුගේ භාවිතාව සමාජයට කොතරම් හිරිකිත ලෙස දැනෙනවාද යන්නට මෑතකාලීනව පවිත‍්‍රා තරම් උපහැරණයක් නොවීය.

පනස්පහේ සිලෝන් නමින් ප‍්‍රකට ලංකාවේ අපූරු වැඩක් විය. ඒ ජූනි 20දා මහා කලබලයක් ඇතිවීමය. ඒ පූර්ණ සූර්ය ග‍්‍රහණයක් සිදුවන පුවත නිසාය. සැවොම ඒ මොහොත එළඹෙන තෙක් බලා සිට ඇත්තේ නොඉවසිල්ලෙනි. විදෙස් රටවල ග‍්‍රහ විද්‍යාඥයන් පවා මෙරටට පැමිණ සූර්යග‍්‍රහණය වන තෙක් ලැග ගෙන සිට ඇත. සූර්ය ග‍්‍රහණය පියවි ඇසින් නොබලන ලෙසත්, එය බැලීමට නියමිත කණ්ණාඩි වෛද්‍යවරු නිර්දේශ කිරීමත් නිසා කණ්ණාඩි වෙළෙන්දෝ හතු පිපෙන්නා සේ පිපී කණ්ණාඩි වෙළෙඳාම ජයටම ගොස් ඇත.

එකල පුවත්පතක මුල් පිටුවේ දේශීය වෛද්‍යවරයෙක් විසින් සූර්ය ග‍්‍රහණය වෙලාවේදී පානය කිරීමට අපූරු බෙහෙතක් යෝජනා කර ඇත. ඒ ‘වදකහ යුෂය’ ඉරිදා පුවත්පතක ඉහළින් ඇගැයූ මේ පුවත රට පුරා ඇවිල ඇත්තේ සූර්ය ග‍්‍රහණය පුවතට සමානවය.

තැඹිලි වතුරෙන් වදකහ යුෂය බී විට බුද්ධිය වර්ධනයවීමත් කොත්තමල්ලි වතුරෙන් බිව් කල රූපශෝභාව වැඩිවීමත් ආදී ලෙසින් විවිධ මාත‍්‍රා පහකින් වදකහ බීමට වෙදා නියම කර තිබුණේය. බොහෝ වෙද්දු වදකහ බෙහෙත විකිණීම ඇරඹීය. ජනයා පොර කකා ‘වදකහ යුෂය’ තමා කැමති අංගයට නැතහොත් හැම අංගයටම පාවිච්චි කළහ. රූපය විතරක් ඇතිවී බුද්ධිය නැතිවුවහොත් එහි අනෙක් පැත්ත සිදුවුවහොත් මේ නිසා හැම මාත‍්‍රාවක්ම බීවෝය. එදත් මේ ‘වදකහ යුෂය’ මාරයි කියා ජනතාව ඇන්දුවේ මාධ්‍ය විසිනි. එකල පුවත්පතට කළ හැකි වික‍්‍රමය උපරිමව කළේය. අද ධම්මික පැණිය එදා ‘වදකහ යුෂය’ වැනීමය. එදාට වඩා අද මාධ්‍ය දියුණුය. පුවත්පත වෙනුවට ටෙලිවිෂනය ගව් ගණනක් දුර ගොස්ය. එහෙත් වැඬේ එකමය. වදකහ බැරිනම් මී පැණි යොදාගෙන හෝ වෙදෙක් බැරිනම් බාස් කෙනෙක් අල්ලාගෙන හෝ ජනතාව අන්දන්නේය. දෙරණ ධම්මික පැණිය ප‍්‍රචාරය කරනුයේ ඒ නිසාය. අද බුද්ධිය හෝ රූපය පිළිබඳ ප‍්‍රශ්නයක් නොව ඇත්තේ ජීවිතය පිළිබඳ ප‍්‍රශ්නයකි. ඒ නිසා ධම්මික පැණිය ‘මරු’. ලොව ඇති එකම බෙහෙත කියා ‘දෙරණ’ මාධ්‍ය රටට කියද්දී ජනතාව ඒ පැණිය බීමට පොර කෑම මිථ්‍යාව හෝ බොරුව පස්සේ යෑමට වඩා පිදුරු ගහෙත් එල්ලීම බව ජනතාවට දොස් කියන උගත්හු කල්පනා කළ යුතුය.

දේශපාලකයන් පාර්ලිමේන්තුව තුළ ධම්මික පැණිය ගෙනවිත් කෝප්ප ගණන් බොන විට දෙරණ කළේ දේශපාලකයින් දමා පැණියට ප‍්‍රචාරය ලබාදීමක් බවත් දෙරණ පැණිය පෙන්නා හෝ දඟලනුයේ ජනපති ප‍්‍රමුඛ ආණ්ඩුව බේරා ගන්නට වලිකෑම බව දත් විට ආණ්ඩුවේ පූර්ණ අනුග‍්‍රහයද ‘ධම්මික පැණියට’ ලැබුණි. ‘දෙරණත්’ කියන්නේ නම් පාර්ලිමේන්තුවේදී මන්ත‍්‍රීවරු රහ කර කර බොන්නේ නම් ජනතාව ධම්මික සොයා කෑගල්ල සීරීම බොළඳද? මෝඩද? රටක් ලෙස ජනතාවට කොරෝනාවලට විසඳුම් ආණ්ඩුව නොදේ නම් වෙනත් රටවල් එන්නත් ඇණවුම් කරද්දී වාසු වැනි තක්කඩියකු පාර්ලිමේන්තුවේදී අපිට එන්නත් ඕන නෑ කියා මොර දෙන්නේ නම් ජනතාව පැණියට වහ වැටීම බැණ වැදීමට තරම් කාරණයක්ද?

ලංකාවේ ජන මතය වෙනස් කරන මාධ්‍ය කොහෙන් හෝ හොයාගෙන ධම්මික වැනි අයෙකු අන්දන්නේ නම් ඔහු ඉන් උපරිම ඇන්දු ජනතාව ඇන්දීම ඔහුට පමණක් බැණ වැදිය යුතු කරුණක්ද? මේ නම් වැසී ඇත්තේ කාලී යැයි ඔහු කියද්දී ඒ කාලී දිලිත් බව වටහානොගෙන ධම්මික පතුරු ගහනුයේ ඇයි? එක් මාධ්‍යයකින් ඇති කළ ධම්මිකට පතුරු ගැසීම අනෙක් මාධ්‍ය කළෝය. වරද ධම්මිකගේද? ආණ්ඩුවට වටිනාකම් දෙන්නට එය රටට පෙන්වන්නට බිව් සෞඛ්‍ය ඇමතිනී පවිත‍්‍රාගේද? අද ධම්මික පැණිය බී නොබිව් ගාණට ඉන්න අය කොච්චරද? එහේත පැණියට බැනුම් අසනුයේ ධම්මික සහ පවිත‍්‍රාය. ඔවුන්ට බැණීම, විහිළු කිරීම වෙනම දෙයකි. එහෙත් ඒ අය තව අය පාවිච්චි කළ ප‍්‍රචාරණ දැන්වීම් දෙකක් විනා ප‍්‍රධාන සාධකය නොවන බව වටහා ගත යුතුය. සියල්ල දත් බක පණ්ඩිතයකු වන ගම්මන්පිල මුට්ටිය ගඟට දැමීමට වඩා බැණුම් අසනුයේ මුට්ටියක් ගඟට අතහැරි පවිත‍්‍රාය. පවිත‍්‍රාට වඩා හොඳටම මුට්ටි අල්ලනුයේ ගම්මන්පිලය. ඒ නිසා ඔහු ඒලියන්ත වයිට්ගේ මුට්ටිය ගඟට දැමීම ඒ තරම් කතාවක් නොවීය. පවිත‍්‍රාට බැණ වැදුණු, හාස්‍යයට ලක් කළ අය ඒ තරම් ගම්මන්පිල වියතාට ජෝක් කළේ නැත. ප‍්‍රශ්න කළේ නැත. ධම්මික පැණිය කියමින් සමච්චල් කළ අය මේ බොරුව රහට ජනතාවට කැවූ දිලිත්ට වචනයක් නොකීවෝය. ධම්මිකට වඩා දිලිත් වෙනස් වන්නේ කොතැනින්ද? ඇත්ත නම් ධම්මික දිලිත්ට වඩා හොඳය. ඔහුට කාලි වැසී ඇති බව කියා හිනාවෙන අය දිලිත්ට ගෝඨා වැසී වැඩ කරන බව කියන්නට බයය. ඇත්තටම ධම්මික වික්කේ ගෝඨා පැණියය. ඔහු ගලවා ගැනීමට දිලිත් හදා දුන් පැණියය. ධම්මික කාලි කියන්නෙත් ගෝඨාටම කියන තවත් නමකි. එදා බිව්ව නේද වදකහ සුදිය කියා ඇසූ සේ අද බිව්වා නේද ධම්මික පැණිය කියා ඇසිය හැකිය. ප‍්‍රශ්නය බිව් අය බිව්වා කියා කියන්නට ලැජ්ජාවීමය. ඒ ඇයිද යන්න වෙනම සිතිය යුතුය.

‘දැන්ම එන්නත ගන්න ඕනෑ නෑ’ යැයි පාර්ලිමේන්තුවේදී කී වාසුටත් කොරෝනා ගෑවුණේය. පැණිය බිව් පවිත‍්‍රාටත් කොරෝනා හැදුණෝය. මුකුත්ම නොබිව් අයටත් කොරෝනා හැදුණෝය. ඉදිරියටත් මේ හැම වර්ගයකටම හැදෙමින් හොඳවෙමින් කාලය ගෙවෙනු ඇත්තේය. එහිදී අපිට එකෙකු දෙන්නෙකු අල්ලාගෙන ඇති වෙන්න ආතල් ගත හැක්කේය. එහෙත් අප හැම සිටිනුයේ එක බෝට්ටුවේය. එහෙත් අපි අපේ ගැලවුම වෙනකෙකු තෝරාගෙන ඇත. ධම්මික, පවිත‍්‍රා ආපි අපේ කොරෝනා ආතල් එකට තෝරා ගත් බාල විහිලූය. ඊට වඩා රහ විහිළු හොයන්නේ නම් ජනපති ගම වටේ යන වැඩසටහන් බැලිය හැකිය. ඒවා ඉංග‍්‍රීසියෙන් ඕනෑ නම් ඉංග‍්‍රීසිද, දමිළ ඕනෑ නම් දමිළෙන්ද? ගංජා ගැන නායකයා සමග කතා කළ හැකිනම් ගංජා නොගහා ඒකත් මාරයි නේද? ධම්මිකට කාලී වැහිලා කීවට හිනාවෙන අය ලංකාවේ හැට නව ලක්ෂයකට ගෝඨා වැහුණට බකන් නිලාගෙන සිටිති. කාට කාටත් කවුරු හෝ වැහිලාය. ප‍්‍රශ්නය අපිට වැහෙන එකා අනුව අපි අපිම සුදනෝ වන එකය. පවිත‍්‍රාට ඉක්මනින්ම සුව වෙන්නයි පතමු. පොඩි එකෙකුගේ දැන්වීම් කතාවකින් පොඞ්ඩක් වෙනස් කර කතාව නවතමු. අයින් වෙන්න අයින් වෙන්න පවිත‍්‍රාට බෙහෙත් ගෙනාවා. ඉක්මනින් හොඳ වෙන්න පවිත‍්‍රා.

කාට හෝ මෙසේ ඇසියද හැකිය. බෙහෙත් කරන්න ඕන තමයි. ඒත් ඒ අයගේ විෂබීජ අපේ ඇෙඟ් ගෑවුණොත් මොකද කරන්නේ. මොනවා කරන්නද? පැණිය වෙනුවට ජැටිය ආව වගේ තව මොකක් හරි එයයි. එතෙක් මෙහෙම්ම යමු.