මිලින්ද මායාදුන්න


අනාදිමත් කාලයකට උරුමකම් කියන මානව ඉතිහාසය තුළ විවිධ විපර්යාස සිදුව ඇත. වර්තමාන ලෝකයේ අද පවතින රූපය සැකසී ඇත්තේ ම ලෝකය මෙම විපර්යාසයන් සමග විකාශනය විමේ ප්‍රතිඵලයක් වශයෙන් ම වේ. නූතන මානව ජීවිතයට තීරණාත්මකව බලපා ඇති වසංගතය සේම අතීතයේදී ද මිනිසාට වසංගතවල බලපෑම අඩුවකින් තොරව ලැබී ඇත. නිදර්ශන ලෙස ක්‍රි.ව. 541 දී කොන්ස්තන්තිනෝපල් ජනගහනයෙන් 1/3ක් බිලිගත් වසංගතයක් විය. 14වන සියවසේ යුරෝපය තුළ සිදු වූ “කළු මරණ” ලෙස හඳුන්වන වසංගතයෙන් ලක්ෂ 750කට ආසන්න පිරිසක් මිය ගියහ. තවද 17වන සියවසේ ලන්ඩල් හී සිදු වූ වසංගතය හේතුවෙන් එහි ජනගහනයෙන් 1/5 ක පමණ ප්‍රමාණයකට සිය ජීවිත අහිමි විය. එමෙන් ම 1918/19 කාල තුළ සිදුවූ “ස්පාඤ්ඤ උණ” ලෙස හඳුන්වන වසංගතය තුළින් ද මිනිසුන් ලක්ෂ 1000ක පමණ ප්‍රමාණයක් මියගිය බවට වාර්තා වේ. එසේ නම් ප්‍රවර්තන කාලසීමා තුළ ද සමාජ දේහය වසා බූවල්ලෙකු මෙන් විහිද පවතින කොවිඞ් වසංගතය මානව ජීවිත තුළ පැවති බලාපොරොත්තු නම් වූ සියුම් සේයාවන් ද බොඳ කරමින් සිටී.


මෙම වසංගත ඉතිහාසය සහ කොවිඞ් 19 ලෙස හඳුනා ගන්නා අප අද මුහුණ දෙන “නව” වසංගතය දෙස බලන විට පැහැදිලි වෙනසක් විද්‍යමාන වේ. එනම් ලෝකය නව තාක්ෂණික යුගයකට අවතීර්ණ වූ පසු මතුවන ප්‍රථම වසංගතය වීම ය. විශේෂයෙන් ම වසර 2000 න් පසු සමාජ මාධ්‍ය හෙවත් නව මාධ්‍ය ශීඝ්‍රයෙන් ප්‍රචලිත වීම ආරම්භ වන අතර මෙලෙස සමාජ මාධ්‍ය ප්‍රචලිතව පවතින මොහොතක මතුවන ප්‍රථම වසංගතය වන්නේ ද කොවිඞ් 19 ය යි. මෙම වසංගතය වේගයෙන් ව්‍යාප්ත වීමත් නිවාස තුළ හුදකලා වන මිනිසුන් සමාජ මාධ්‍ය වෙත අවතීර්ණ වීම වැඩි වශයෙන් ඉහළයාමත් හේතුවෙන් නව මාධ්‍ය සහ මෙම වෛරසය අතර තිබෙන “සම්බන්ධය” (සාමාජීය වශයෙන්) වටහා ගැනීම පහසු ය. විශේෂයෙන් ම 2020 වර්ෂයේ මුල් මාස දෙක තුළ සමාජ මාධ්‍ය භාවිත සංඛ්‍යාව මේ වන විට බොහෝ රටවල ලක්ෂ ගණනින් වර්ධනය වී ඇති අතර ලංකාවේ ද එය ලක්ෂ 06කින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මෙම වර්ධනීය පසුබිම විවිධ පැතිමාන තුළින් මිනිසාට බලපෑම් කරමින් ඇත.


වසංගතය තුළ සමාජ මාධ්‍ය භාවිතය තියුණු ලෙස ඉහළ ගොස් ඇති ආකාරය පැහැදිලි අතර බොහෝ දුරට ලොව විවිධ රජයන් විසින් දිරිමත් කරන ලද සමාජ දුරස්ථ ක්‍රියාමාර්ග හේතුවෙන් නිර්මාණය වුණු හිඩස පියවීම උදෙසා නව මාධ්‍ය උපයෝගී වූ බව පැහැදිලිය. බොහෝ දෙනෙකුට නිවසේ රැඳී සිටින ලෙස ඉල්ලා සිටින හෙයින්, ඔවුන් සමාජ මාධ්‍ය වෙත යොමු වී ඇත්තේ ඔවුන්ගේ සබඳතා පවත්වා ගැනීමට සහ කාලය ගත කිරීම සඳහා විනෝදාස්වාදය උදෙසා ය. එපමණක් නොව, සමාජ දුරස්ථ භාවය බොහෝ මිනිසුන්ගේ ජීවන රටාව වෙනස් කිරීමට බල කර ඇති අතර එමගින් මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක් ඇති කළ හැකි ය. එම නිසා, බටහිර බොහෝ රටවල නව මාධ්‍ය හරහා උපදේශන සේවාද මේ වනවිට ආරම්භ වී අවසන් ය. විශේෂයෙන් ම ප්‍රංශය වැනි රාජ්‍යයක අද පවතින උද්ඝෝෂණ තුළ ගැබ්ව පවතින යථාර්ථය වන්නේ කුමන තත්ත්වයක් යටතේ උවද මිනිසුන් නිවෙස් තුළ හුදකලා වීමට අකමැති බවය. පෙරදිග ආසියාතික රටවලට වඩා මෙම තත්ත්වය යුරෝපා රටවල ප්‍රබලව ඉස්මතුව ඇත. මෙම මනෝභාවය නව මාධ්‍ය භාවිතය ඉහළ යාමට හේතුවන බව සමාජ මෙන්ම මානව විද්‍යාඥයන්ගේ ද අදහස යි.


එමෙන්ම තවත් අතකින් නව මාධ්‍ය හරහා බිහිවෙන විවිධ කණ්ඩායම් සමාජය දැනුවත් කිරීමේ ක්‍රියාවලියක ද නිරතවෙමින් සිටී. Zoom Memes for Self Quarantines කණ්ඩායමේ අදවන විට ලොව පුරා 500,000ට අධික පිරිසක් සාමාජිකත්වය රැගෙන තිබේ. මේ තුළින් නිවෙස් නිරෝධායන ක්‍රියාවලියේ නිරතවී සිටින්නන් කාලය ගතකරන අන්දම, ඔවුන්ට මතුවන අපහසුතා ආදී සියල්ල පුළුල් තලයක සාකච්ඡා වෙමින් පවති. අමෙරිකානු එක් සමාගමක් ප්‍රකාශ කර සිටින ආකාරයට මේ තුළින් වෛද්‍ය කණ්ඩායම්වලට සිය පර්යේෂණ කටයුතුවලට අදාළ තොරතුරු ද පහසුවෙන් ලබාගැනීමේ ශක්‍යතාවක් පවතී. එපමණක් නොව රෝගීන්ගේ හැසිරීම් රටා විනිශ්චය කරමින් රෝගයේ ගමන්මග පිළිබඳව නව උපමානයන් වෙත එළඹීමට ද මෙම නීරීක්ෂණයන් හේතු වේ.


එමෙන් ම වෛද්‍යවරු ද සමාජ මාධ්‍යවල කණ්ඩායම් සමග එක්වෙති. වෛරසය පිළිබඳ දැනුම බෙදාගැනීමට ද මෙම කණ්ඩායම් සමාජ මාධ්‍ය භාවිත කරමින් සිටී. රෝගීන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට, තොරතුරු රැස් කිරීමට සහ ඔවුන්ට අවශ්‍ය රෝහල් වෙත සෘජුවම යොමුකර වීමට ද විශේෂයෙන් බටහිර රටවල සමාජ මාධ්‍ය භාවිත කරමින් එය වඩා පහසු අන්දමින් ඉටුකරමින් ඇත.


මෙම රෝගය වැළදී සිටින හෝ නිරෝධායන කටයුතුවල නිරතවී සිටින පිරිස් බොහෝවිට රටේ ශ්‍රම බලකායට අයත් පිරිස් ය. දින 14ක් නැතිනම් 28ක් නොකඩවා එක් ස්ථානයක කාලය ගතකිරීම ඔවුන්ට අභියෝගයක් වේ. මෙය ජයගැනීමට ලොව විවිධ රටවල් සමාජ මාධ්‍ය භාවිත කරමින් විවිධ උපක්‍රම ගෙනයමින් පවතී. විශේෂයෙන් නර්තන අභියෝග, ගීත අභියෝග, ඡායාරූප අභියෝග ආදිය නිදර්ශන ය. මේ සියල්ල සමග නව මාධ්‍ය වෙත ප්‍රවේශවීම, එතුළ ගතකරන කාලයේ ප්‍රමාණය ආදී සියල්ල ඉහළ යමින් ඇත.


එමෙන් නව යුගය තුළ ඔන් ලයින් (online) ව්‍යාපාර දියුණුවෙමින් පැවතිය ද වසංගත තත්ත්වය සමග එය තෙගුණයකින් පමණ වර්ධනය වී ඇත. සංචරණ සීමා පැනවීමත් සමග වෙළඳපොළ වෙත මිනිසුන් යාම නොව වෙළඳපොළ තමා වෙත ගෙන්වා ගැනීමට යොමුවීම මෙයට හේතුව වේ. එය ආරක්ෂණ ක්‍රියාමාර්ගයක් වශයෙන් ද සැලකේ.


මේ දෙස බලන විට නව මාධ්‍ය මානව ජීවිතය පහසුකර තිබෙන බවත් එය මෙවන් වසංගත සමයක වඩාත් ප්‍රයෝජනවත් බවත් පැහැදිලිය. මෙවන් ගෙවා දැමීමට අසීරු යුගයක කාලය ගෙවා දැමීමට අපූරු නිමැවුමක් ලෙස නව මාධ්‍ය හඳුනාගත හැකි ය. එය සමාජ මාධය තුළින් දිගහැරෙන එක් පැත්තක් පමණි. මෙහි තවත් බොහෝ අවධානය යොමුව ඇති සේම එසේ අවධානය යොමුව නැති අංශ පවතී.


අද වන විට මෙම වසංගතය සෞඛ්‍ය සේවා, ආර්ථික හා සමාජ ව්‍යුහයන් කෙරෙහි දැඩි පීඩනයක් ඇති කරන බව අපි දනිමු. මෙම වෛරසය සමග වසරකට ආසන්න කාලයක් ජීවත්වීම හරහා අප ලබාගත් අද්දැකීම්වලින් හැඟෙන කාරණය නම් මේ පිළිබඳව තිබෙන, දැනුවත්භාවය, දැනුම සහ සූදානම ආදිය තුළින් පොහොසත් නොවීම මිනිසුන් දැඩි අවදානමට ලක්වීමට බලපාන බවයි. උභතෝකෝටිකය නම් වර්තමාන රෝග සංඛ්‍යාලේඛන පිළිබඳ දැනුම සහ එය වැළැක්වීම සාමාන්‍ය ජනතාව වෙත පැතිරෙන වසංගතයට සමාන හෝ වඩා හොඳ අනුපාතයකට ලබා දෙන්නේ කෙසේද යන්නයි. ඒ අතරම, සෞඛ්‍යයට තර්ජනයක් වන වැරදි තොරතුරු විශාල ප්‍රමාණයක් රෝගයට වඩා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. මෙය නව මාධ්‍යයේ තවත් පැතිමානයකි. ව්‍යාජ කටකතා සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වේ. සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශවීම මෙන්ම ඒ තුළ නව මතවාදයක් නිර්මාණය කිරීම සීමා කිරීම අපහසු බැවින් ව්‍යාජ තොරතුරු සමාජගතවීම ද පාලනය අපහසු ය.


සමාජයක් වශයෙන් මෙවන් තීරණාත්මක මොහොතකට මුහුණ දී සිටින අවස්ථාවක තොරතුරුවලට වඩා වැඩි වටිනාකමක් ලැබේ. මෙයින් අදහස් කෙරෙන්නේ නිවැරදි තොරතුරු සමාජගත නොවීමත් වැරදි තොරතුරු සමාජගතවීම වැළැක්වීමත් යන දෙ අංශයම ය. වසංගතයකට පොදුවේ සමාජයක් මුහුණ දී සිටින මොහොතක තොරතුරු සඳහා පවතින්නේ වචනයට නැගිය නොහැකි වටිනාකමකි. එයට හේතුව සියල්ල තොරතුරු මත තීරණය වීමය. ජනමාධ්‍ය සහ නව මාධ්‍ය සංසන්දනය කිරීමේ දී තොරතුරු සමාජ ගතකිරීමේ වැඩි විභවයක් පවතින්නේ නව මාධ්‍යට ය. එයට හේතුව ඕනෑම මොහොතක නව මාධ්‍ය වෙත ප්‍රවේශවීමට තිබෙන හැකියාවත් ඕනෑම පුද්ගලයකුට මතයක් නිර්මාණය කිරීම සඳහා තිබෙන අවස්ථාවත් ය. ජනමාධ්‍ය තුළ මතවාද නිර්මාණය වන්නේ ඉහළ සිට පහළටය එහෙත් නව මාධ්‍ය තුළ මතවාද නිර්මාණ වන්නේ පහළ සිට ඉහළට ය. නව මාධ්‍ය තුළ නිර්මාණය වී තිබෙන මෙම නව පුළුල් අවකාශය ජනමාධ්‍ය තුළ නොමැත. එම නිසාම තොරතුරු සමාජගත කිරීමේ පසුබිම තුළ නව මාධ්‍ය ඉහළට මතුවනු දැකිය හැකි වේ.


ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව (WHO) වැරදි තොරතුරු සමාජ ගතවීම ව්‍යාකූලතාවක් ඇති කරන අතර එය හේතුකොටගෙන බිය පැතිරවීම, වෛරසයට වඩා වේගයෙන් සමාජය තුළ ව්‍යාප්ත විය හැකි ය. මෙම තත්ත්වයන් නිසා ජනතාවගේ අනවශ්‍ය අපේක්ෂාවන් ඉහළ නැංවීමක් ද සිදුවිය හැකි වේ. ඉන්දියාවේ දී නව මාධ්‍ය තුළින් වැරදි ඖෂධ සමාජ ගතවීම එරට සෞඛ්‍ය අංශ මුහුණදෙන ප්‍රබල ගැටලුවක්ව ඇත. එම නිසාම ඉන්දියාවේ නව මාධ්‍ය පාලනය සඳහා වෙනම කමිටුවක් පත්කිරීමටද සිදුවිය. එලෙස කිරීමට සිදුවූයේ වැරදි තොරතුරු සමාජගතවීම වළක්වා ගැනීමට වේ.


දේශපාලන බොට්ස් යනු වැරදි තොරතුරු සහ ප්‍රචාරයන් පතුරුවා හැරීමේ මෙන්ම ජනතාවගේ අදහස් හැසිරවීමේ ජනප්‍රිය ක්‍රමයකි. ප්‍රචාරක සහ වැරදි තොරතුරු රට අනුව වෙනස් විය හැකි ය. වැරදි තොරතුරු උපාය මාර්ගිකව ව්‍යාප්ත කළ හැකි නමුත් සමහර විට එය අහම්බෙන් පැතිරයාමේ හැකියාව ද ඇත. වසංගතය දැනටමත් පවතින තත්ත්වයට වඩා භයානකවීමට වැරදි තොරතුරුවලට හැකියාවක් ඇත.


ඉරාක කුර්දිස්තානයේ COVID-19 පැතිරයාම හා සම්බන්ධ භීතිය ඇතිවීම කෙරෙහි නව මාධ්‍ය සැලකිය යුතු බලපෑමක් සිදුකර ඇති බව ඉදිරිපත් වන වාර්තා අනුව පැහැදිලි වේ. එය මිනිසුන්ගේ මානසික සෞඛ්‍ය සහ මානසික යහපැවැත්මට අහිතකර ලෙස බලපානු ඇත. නව මාධ්‍ය යනු පුරවැසියාට තොරතුරු බෙදාහැරීමේ වටිනා මාධ්‍යයක් බව අපි දනිමු. එබැවින් එය ප්‍රචාරක ප්‍රබල මෙවලමකි. නයිජීරියානු තත්ත්වය ද මේ හා සමාන ය. බොහෝවිට සමාජගත වන්නේ සත්‍ය තොරතුරු නොව අසත්‍ය තොරතුරු වේ.


ශ්‍රී ලංකාවේ ද පවතින්නේ මේ හා සමාන තත්ත්වයකි. ව්‍යාජ තොරතුරු සමාජ ගතවන අතර සැබෑ තොරතුරු සමාජගත වීමේ මන්දගාමීත්වයක් පවතී. එමෙන් ම මේ මොහොතේ මෙරට නව මාධ්‍ය තීරණාත්මක ලෙස භාවිත වන්නේ ළමයින්ගේ අධ්‍යාපනය සමගින් ය. පාසල් සහ උපකාරක පන්ති පැවැත්වීමේ නොහැකියාව නිසා ළමයින්ගේ අධ්‍යාපනය නව මාධ්‍ය භාවිත කරමින් සිදුවෙමින් පවතී.


මේ තුළ විශේෂයෙන් ම නිරීක්ෂණය කරගත හැකි ප්‍රධාන කරුණු ගණනාවක් පවතී. පාසලක හෝ උපකාරක පන්තියක හෝ ඉගැන්වීමේ කටයුතු නව මාධ්‍ය භාවිත කරමින් සිදුකරන විට ළමයින්ගේ 100% සහභාගීත්වයක් ඇත්තේ නැත. (මෙවන් පරිසරයක එසේ හෝ අධ්‍යාපනය ලබාදීමට වෙහෙසීම අගය කළ යුතු කටයුත්තකි) ඒ සඳහා බලපාන සාධක රාශියකි. සුහුරු ජංගම දුරකථනයක් හෝ ඒ සඳහා අවශ්‍ය දත්ත (ඬේටා) ලබාගැනීමට අවශ්‍ය මුදල් නොමතිකම එක ගැටලුවක් පමණි. මේ හේතුව පමණක් පදනම් කර ගනිමින් අධ්‍යාපනය සඳහා ළමයින් යොමුවන්නේ නොමැතිනම් ඒ ඉතාමත් සීමිත පිරිසකි. කොටින් ම 5% පමණ ප්‍රමාණයකි. එයද නොතකා සිටිය නොහැකි තත්ත්වයකි. එසේ නමුත් නව මාධ්‍ය භාවිත කරමින් ඉගෙනුම් ක්‍රියාවලියට සම්බන්ධවීමේ ශක්‍යතාව නැතිනම් විභවය නොමැතිවීමට වෙනත් බොහෝ සාධක තිබේ. විශේෂයෙන් තුන්වන ලෝකේ රටක් වශයෙන් අප මේ සම්බන්ධයෙන් තියුණු අවධානය යොමු කිරීම අනාගත උන්නතිය කෙරෙහි ධනාත්මකව බලපානු ඇත.


අනෙක් ප්‍රධාන කාරණය නම් තාක්ෂණික ගැටලුව ය. ඇතැම් දෙමාපියන්ට මෙම නව තාක්ෂණික මෙවලම් පිළිබඳව කිසිදු දැනුමක් ඇත්තේ නැත. (එය මෙම සමාජ ක්‍රමයෙහි පවතින ප්‍රබල ගැටලුවකි. අනාදිමත් කාලයක සිට නිසි අධ්‍යාපනය ගම දක්වා නොයාමත් අධ්‍යාපනයේ දී ප්‍රමුඛතා පටලවා ගැනීමත් මෙවන් පසුබිමක් බිහිවීමට බලපෑ ප්‍රධාන සාධක වේ.) ඇතැම්විට එම නොහැකියාව ප්‍රදර්ශනය කිරීමට පවා ඔවුන් අකමැතිය. මේ තත්ත්වය නිසාම තවත් පිරිසක් නව මාධ්‍ය භාවිත කරමින් සිදුකරන ඉගැන්වීම් සඳහා යොමුවීමට මැළිකමක් දක්වති. ඔවුන්ට නිවස තුළ සිටිමින් තම දරුවන්ව ඒ උදෙසා යොමුකරවිය නොහැක.


තාක්ෂණය ගමට නොයාම ඒ පිළිබඳ උනන්දුවක් නොතිබීම වැනි බොහෝ කාරණා මේ සඳහා බලපා ඇත. විශේෂයෙන් ඉන්දියාව වැනි රටක් ගතහොත් ඔවුන් කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ දී පවා අද වන විට ඉහළ තාක්ෂණයක් භාවිත කරනු දැකිය හැකි ය. මෙම හිඩැස නිර්මාණය වන්නේ දැනට බොහෝ කලකට පෙර සිට ළමයින්ට තාක්ෂණික දැනුම ලබාදීම පිළිබඳ නිසි ක්‍රමවේදයක් නොතිබීම නිසා ය. මේ අප ගතකරන මොහොත වෙනදාට වඩා තාක්ෂණයේ අවශ්‍යතාව පෙන්නුම් කරන මොහොතක් වේ. මුදල් හැකියාව තිබුණත් තාක්ෂණික රික්තකය ඇතැම් ළමයින්ට මෙම අවස්ථාවේ දී බරපතළ ගැටලුවක් ව ඇත.


විශේෂයෙන් ම ග්‍රාමීය අංශයෙහි මෙය තවත් බරපතළ වේ. මෙරට සාක්ෂරතාව ඉතා ඉහළ මට්ටමක පැවතිය ද පරිගණක සාක්ෂරතාව පවතින්නේ 32%ක මට්ටමක ය. ග්‍රාමීය මට්ටමේදී මෙය තවත් පහත් මට්ටමකට වැටෙන අතර වතු ආශ්‍රිතව මෙය 13%ක මට්ටමක පවතී.


තාක්ෂණය සහ ඒ ආශ්‍රිත දැනුම පහළ මට්ටමක පැවතීමේ අවාසිසහගත තත්වයන් මනාව පැහැදිලි වන තත්ත්වයක් ප්‍රවර්තන කාලසීමා තුළ දැකිය හැකි ය. ඇතැම් ළමයින් පවසන ආකාරයට ඔන් ලයින් වීඩියෝ පටවල හඬ ප්‍රමාදයි. රූපය හා හඬ අතර සම්බන්ධයක් නොමැත. එය තාක්ෂණිකව අප සිටින පසුගාමීත්වය පිළිබිඹු කරන්නෙකි. ඇතමුන් සුහුරු දුරකථනයනක් භාවිත කිරීම ආරම්භ කරන්නේ ම මෙම නව තත්ත්වයත් සමගින් ය. කෙටි පණිවිඩ යොමු කිරීමේ වැනි හැකියා පැවතිය ද වෙනත් අංශ වෙත යොමුවීමේ හැකියාවක් ඔවුන් සතු නොවීය. නගරබද මෙම නව උපකරණ සමග ජීවත්වන සිසුවෙක් සහ ග්‍රාමීය ප්‍රදේශයක මෙම නව උපකරණයක් දැකීමට හෝ නොමැති සිසුවෙක් අතර පවතින්නේ අති දැවැන්ත පරතරයකි. එයට හේතුව නව තාක්ෂණය ස්පර්ශ කිරීමේ සමාජ වටපිටාවක් ඔවුන්ට නොමැතිවීම ය. මෙම පසුබිම වෙත පර්යේෂණාත්මකව අවධානය යොමුකරමින් නූතන අධ්‍යාපනයේ දිශානතිය වටහා ගැනීම වඩා ප්‍රායෝගික වනු ඇත.


එමෙන් ම මුළු සමාජය පුරාම පිළිලයක්ව දිවෙන තරගකාරීත්වයෙන් ද බැට කන්නේ ළමයින්මය. උපකාරක පන්ති ගුරුවරු එකම වේලාවක පන්ති දෙක තුන පවත්වන අවස්ථා මා දැක තිබේ. මෙය නියාමනය කිරීම අපහසුය. එයට හේතුව පෞද්ගලික අරමුණුවලට දුවන පිරිසක් නිර්මාණය වීමය. ඇතැම් ළමයින්ට තමන් සහභාගිවිය යුත්තේ කුමටද කියා හෝ සිතාගත නොහැකි ආකාරයේ ප්‍රශ්න මතු වී ඇත.


විශේෂයෙන් පෞද්ගලික උපකාරක පන්තිවල ගුරුවරුන් මෙහිදී තම ඉගැන්වීම් වීඩියෝ බාගතකර ගැනීමට අවස්ථාව සලසා නොදේ. යම් හෙයකින් එසේ හැකියාව ලබා දුන්නද එය සීමිත පැය ගණනකට පමණි. මා දන්නා පරිදි ඇතැම් පන්ති පවත්වන්නේ රාත්‍රී 10 පමණ සිට පාන්දර 2 හෝ 3 පමණ වන තුරුය. දත්ත සඳහා අඩු මුදලක් වැයවීමේ වාසිය ගැනීමට එසේ කරනවා විය හැකි ය. එය එසේ ම දිගුකාලීනව සිදුවනවා නම් ළමයින්ගේ ශාරීරික සහ මානසික සෞඛ්‍ය පිළිබඳව වෙනම සොයා බැලීමක් ද සිදු කිරීමට අවශ්‍ය වේ. තරගකාරී සමාජයක මෙම පන්ති සඳහා කෙසේ හෝ සහභාගිවීමට සිසුන් යොමුවීම ස්වභාවික ය.


එසේ නම් අපට ඉතාම සරල ලෙස පෙනෙන නව මාධ්‍ය නැතහොත් සමාජ මාධ්‍යයෙහි සමාජ බලපෑම කොතෙක් ද යන්න මේ අනුව සරලව උවද වටහා ගත හැකි ය. නූතන ධනේශ්වර ක්‍රමය තුළ එයට ගොදුරු නොවන කිසිවක් පැවතිය නො හැකි ය. මෙම වසංගත කාල පරිචේදයෙහි වුව නව මධ්‍ය හසුරවන්නේ නැතහොත් එය පිටුපස සිටිනුයේ ධනේශ්වර සමාජ ක්‍රමයෙහි නිමැවුමක් වශයෙන් හදුනා ගතහැකි මිනිසා බැවින් ආත්මාර්ථයට එහා ගිය යමක් ඔවුන්ගෙන් අපේක්ෂා කළ නොහැකි බව දැඩිසේ විශ්වාස කිරීමට සිදුවෙයි.


මෙම ලිපිය අවසන් කිරීම සඳහා මේ දිනවල නව මාධ්‍ය තුළ සැරිසරන කතුවරයා කවුරුන්දැයි සොයාගත නොහැකි වූ පහත කවිය සටහන් කරමි. ■


“වරු දෙක තුනේ උහුලාගෙන කුස ගින්න
අම්මත් තාත්තත් විඳිනා දුක් ගොන්න
මෙය දැක දැකත් ඔවුනට කඳුළක් දෙන්න
ඉල්ලෙනු හිතෙන් නෑ ටොපියක්වත් කන්න

වට් සැප් ඕනි අම්මේ කිව්වම ඇයට
මොනවා දැනුණදෝ දන්නේ නෑ ළයට
පාරට ගියේ වාරුත් නොමැතිව පයට
හංදියේ කඩෙන් අරගෙන එන්නලු ණයට

ඇත්තේ එකයි අහගෙන දසතින් නින්දා
සිංහල ගණන් චිත්‍රත් ඒකෙම ඇන්දා
වට්සැප් ඉමෝ ඒවයෙ මං නැති හින්දා
ටීචර්ට මාව අමතක වේවිද මන්දා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here