මොහොමඞ් තාරික්


ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවගේ සම්භවය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී එහි දැවැන්ත විවිධත්වයක් තිබෙන බව පෙනී යයි. එනම් ඉස්ලාම් ආගම ඇදහීමේ පොදුභාවය හැරුණුවිට ලංකාවේ මුස්ලිම්වරුන්ගේ ජාතික ස්වභාවය සහ සම්භවය වූ රට විවිධ වීම හේතුවෙනි. මුස්ලිම් ජනවර්ග අනූව මූර්, යෝනක (මරක්කල), මෙමොන්, බෝරා, කොජාහ් සහ මැලේ ලෙස විවිධ ජාතීන් අයත් වේ. මොරොක්කෝවෙන් පැමිණි මූර් ජාතිකයන් දකුණු ඉන්දියාවෙන් පැමිණි මරක්කල ජාතිකයන් (මලබාර් හා මලයාලම් ප්‍රජාව ඇතුළත් වේ.) අග්නිදිග ආසියාවේ ජාවා (ජාවක දේශය) සහ මැලේසියානු අර්ධද්වීපය ආශ්‍රිතව පැමිණි ජාවා හෙවත් මැලේ ජාතිකයින් පාකිස්තානයෙන් පැමිණි මෙමොන් ජාතිකයින් ගුජරාටි දේශයෙන් පැමිණි දාවුදී බෝරා ජාතිකයින් උතුරු ඉන්දියාවේ ගුජරාටි දේශයෙන් පැමිණි තුර්කි සම්භවයක් සහිත කොජාහ් ජාතිකයින් ලෙස විවිධ දේශයන් සංස්කෘතින් හා විවිධ භාෂා කතා කරන විවිධ ජාතීන්ට අයත් මුස්ලිම්වරු වෙනස් ඉතිහාසයන්ට අයත් වේ.


ක්‍රි.ව 8 වන සියවසේදී ඉස්ලාම් ආගම අදහන විශාල පිරිසක් සෘජුවම අරාබිකරයෙන් ලංකාවට පැමිණියහ. ඔවුන් සමූහයක් ලෙස පැමිණි ප්‍රථම කණ්ඩායම වන අතර අරාබියේ රජ කළ අබ්දුල් මලික් ඉබ්නු මර්වාන් කාලිෆ්වරයා විසින් රටින් පිටුවහල් කරන ලද හාෂිම් පෙළපතට අයත් වූහ. මුහුදු ගමන් මාර්ගයක ලංකාවේ පිහිටීමත්, වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස ජනප්‍රියවීමත් නිසා අරාබි වෙළෙඳුන් ලංකාව සමග සම්බන්ධතා පැවැත්වීමේ ඉතිහාසය පූර්ව ඉස්ලාම් යුගය දක්වා දිවයයි. පණ්ඩුකාභය රජතුමා (ක්‍රි.පූ 377-307) තම අගනුවර වූ අනුරාධපුරයෙහි යම් යම් ඉඩම් අගනුවරට පැමිණි අරාබි වෙළෙඳුන් සඳහා වෙන් කළ බවටත් අනුරාධපුර යුගයේ අගනුවර තුළ ඔවුන් වෙළෙඳාම් කටයුතුවල යෙදුණු වීදි තිබුණු බවටත් ඵෙතිහාසික වංශ කතාවල සඳහන් වීම උදාහරණයක් ලෙස දැක්විය හැකිය. මැදපෙරදිග රටවල ඉස්ලාම් දහම ව්‍යාප්තවීමට සමගාමීව ඉස්ලාම් ආගම අදහන අය ලංකාවේද සිටි බවට ඵෙතිහාසික සාක්‍ෂිවලින් හඳුනාගත හැකිය. පෘතුගීසීන් පැමිණීමට පෙර අරාබීහු ලංකාවේ මුහුදුබඩ පෙදෙස්වල වෙළෙඳාමේ තනි අයිතිය හිමිකර ගනිමින් සිංහල රජුත් සිංහල වැසියනුත් සමග සාමකාමී සහජීවනයෙන් යුතු දිවි පෙවෙතක් ගත කළහ. ඔවුන් ලංකාව හැඳින්වූයේ සෙරන්ඩිබ් යන නමිනි. මේ කාලය වනවිට අරාබි මුහුදේ නැගෙනහිර කොටසේ ප්‍රධාන වෙළෙඳපොළ වූයේ “කොල්ලම්” නම් ස්ථානයයි. මේ ස්ථානයේ සිට මාර්ග දෙකක් විහිදී තිබිණි. 9 -10 සියවස් හි අරාබි නැවියන් ලියූ වාර්තාවල මේ ගැන සඳහන් වේ. එයින් එක් මාර්ගයක් වැටී තිබුණේ මන්නාරම් බොක්කේ සිට ගංගා නදී මෝය දක්වාය. අනික් මාර්ගය නිකොබාර් දූපත ඔස්සේ වැටී තිබිණි. එසේම ලක්බිමේ උපන් සෑම ද්‍රවිඩයන් කෙරෙහිම මුස්ලිම් ජාතිකයෝ බලවත් සැලකිල්ලක් දැක්වූහ. ඔවුහු කුළුබඩු නිෂ්පාදන පෙර අපරදෙදිග රටවල් වෙත ගෙන ගියහ. මුස්ලිම් වෙළෙඳ ප්‍රජාවක් ලංකාවේ බිහිවූයේ මෙපරිදිය.
මෙම ප්‍රජාව “යොන්” හෝ “යොන්නු” යනුවෙන් සිංහලෙන් ද “සෝනහර්” යනුවෙන් දෙමළෙන්ද හඳුන්වනු ලැබූහ. එසේම 16-17 වැනි ශතවර්ෂවලදී පෘතුගීසි ලිපි ලේඛනවල මුස්ලිම් ජාතිකයන් හඳුන්වා ඇත්තේ ඵදමරදි යනුවෙනි. ඒ අතරින් ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලයක් වාසය කළ පිරිස ඵදමරදි භ්එමර්සි නොහොත් “මරක්කල” ලෙස හැඳින්විණි. මීට අමතරව දිවයිනේ කෙටි කලක් රැඳී සිට වෙළෙඳාම් කර පසුව පිටත්ව ගිය පිරිසක්ද සිටි අතර ලන්දේසි බි්‍රතාන්‍ය ලිපි ලේඛනවල මෙම පිරිස “කෝසට් මුවර්” ලෙස හඳුන්වා ඇත. සිංහල ජනතාව මොවුන් හඳුන්වා ඇත්තේ “හම්බයෝ” යන නමිනි. “හම්බන්” නමැති බෝට්ටු වර්ගයේ පැමිණීම නිසා එම නම ලැබුණු බව කියැවේ.
මූවර් හා මරක්කල මුස්ලිම් ප්‍රජාව අතීතයේ දී හින්දු සංස්කෘතිකාංග සුළු චාරිත්‍ර අනුගමනය කළ බව සඳහන් වේ. කාන්තාවන් සාරි ඇඳීමට අමතරව මුස්ලිම් ආගමානුකූලනව සාරි පොටෙන් හිස වැසීම නාසයට කරාබු පැළඳීම වැනි දෑ සිදු කළද වර්තමානයේ අරාබි සංස්කෘතික ඇඳුමක් වන අබායා නමින් හඳුන්වන කාල වර්ණ කාන්තා ඇඳුම භාවිත කිරීම හඳුනාගත හැකිය.
1505 දී ලොරෙන්සෝද අල්මේදා අහම්බෙන් ලංකාවට පැමිණි තැන් පටන් පෘතුගීසිහු විවිධ උපායමාර්ග ඔස්සේ තම බලය ස්ථාපිත කර ගැනීමට මාන බැලූහ. කෝට්ටේ රජ කළ රජවරු පවා ඔවුන්ගේ චාටු බස්වලට හා කූට උපක්‍රමවලට රැවටී නොයෙක් වරප්‍රසාද වරදාන හා තාන්නමාන්න ලබා දුන්හ. ශ්‍රී ලංකාවේ පෘතුගීසි ආධිපත්‍යට මුලින්ම අභියෝග කළේ සිංහලයන් නොව මුස්ලිම්වරුන් බව සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ. පෘතුගීසි සතුරා ලංකාවෙන් පලවා හැරීම සඳහා මුස්ලිම්වරු මායාදුන්නේට සහ ඔහුගේ පුත් පළමුවැනි රාජසිංහයන්ට නොවක් සහාය ලබා දුන් බව ඉතිහාසයේ සඳහන්ව ඇත. මාස ගණනක් තිස්සේ පෘතුගීසින්ගේ කොළඹ කොටුව වටලාගෙන පවත්වාගෙන ගිය මහා සටන ඉතා සාර්ථකවීමට ප්‍රධාන හේතුවක් වූයේ ඉන්දියාවේ කැලිකට් ප්‍රදේශය පාලනය කළ මුස්ලිම් පාලකයන්ගෙන් ලද යුදමය ආධාර නිසා බව ප්‍රකට කරුණකි. පෘතුගීසි හා ලන්දේසින්ගේ හිරිහැරවලට ලක්වෙමින් කොළඹ හා වෙරළබඩ ප්‍රදේශවල ජීවත් වූ මුස්ලිම්වරුන්ට වඩා පහසු ජීවිතයක් ගත කිරීමට උඩරට මුස්ලිම්වරුන්ට හැකි වූ බව කියනු ලැබේ. උඩරට පළාත් ආණ්ඩු කළ සිංහල රජවරු ඔවුන්ට අනුග්‍රහය දැක්වූහ. යම් යම් විශේෂ සිදුවීම් හා දක්‍ෂතා නිසා එසේ වූ බව කියනු ලැබේ. නිදර්ශනයක් ලෙස යම් වෛද්‍යවරයෙකු විසින් රාජ දේවියගේ අසනීපයක් සඳහා සිදුකළ ප්‍රතිකාරවලින් සුවපත් වූ නිසා සතුටට පත් උඩරට රජකම් කළ සෙනරත් රජතුමා ඔහුට ගම්වරයක් තෑගි දුන් බවට කතාවක් ජනප්‍රවාදයේ පවති. මෙලෙස ප්‍රතිකාර කළ වෛද්‍ය ක්‍රමය යූනානි වෛද්‍ය ක්‍රමය ලෙස හඳුනා ගත හැකි අතර අනාදිමත් කාලයක සිට අරාබිවරු මෙම වෛද්‍ය ක්‍රමය ජනතාවගේ සුවසම්පත සැලසීම සඳහා යොදා ගත් බවට සාක්‍ෂි තිබේ.
ද්‍රවිඩ-මුස්ලිම් සංක්‍රමණිකයන්ගෙන් දෙවන පිරිස ශ්‍රී ලංකාවට අවතීර්ණ වූයේ දකුණු ඉන්දියාවෙනි. දකුණු ඉන්දියානු වරායවල පදිංචිව සිටි මුල් අරාබි වෙළෙඳුන් දේශීය ස්ත්‍රීන් විවාහ කරගෙන ඔවුන් සහ ඔවුන්ගේ දරුවන් ඉස්ලාම් ආගමට හරවා ගත්හ. ඔවුන්ගේ මව්බස වූයේ අරාබි බස නොව ද්‍රවිඩ ස්වර විද්‍යාව උල්ලංඝනය නොවන පරිදි යම් යම් වෙනස්කම් සහිතව ද්‍රවිඩ සහ මලයාලම් භාෂා අරාබි අක්ෂරයෙන් ලිවීමට පටන් ගත් උත්සාහයක් ඇසුරින් වර්ධනය වූ ද්‍රවිඩ උප භාෂාවකි. ඉන්දියානු මුස්ලිම්වරු ක්‍රි.ව 718 සිට ලංකාවට කණ්ඩායම් වශයෙන් පැමිණි අතර මෙසේ පැමිණි පිරිස ත්‍රිකුණාමලය, යාපනය, මන්නාරම, පුත්තලම, කොළඹ, බේරුවල සහ ගාල්ල යන ස්ථානවල පදිංචි වූහ.
මෙසේ පැමිණි සියලුදෙනාම පාහේ සිය මුල් රටවලින් ස්ත්‍රීන් ගෙන ඒම වෙනුවට සිංහල හෝ ද්‍රවිඩ දේශීය ස්ත්‍රීන් විවාහ කර ගැනීමේ ක්‍රමවේදයක් අනුගමනය කළ නිසා ක්‍රමයෙන් වෙනම ලාංකේය අනන්‍යතාවක් සහිත ජන ප්‍රජාවක් විකාශනය විය. මේ වනවිට වෙනස්කම් යම් ප්‍රමාණයකට ස්වීකරණය වී ලාංකේය මුස්ලිම් නම් පොදු සමූහ පරිකල්පනයක් යම් ප්‍රමාණයකින් නිර්මාණය වුවද මුස්ලිම් සමාජය තුළ විශාල සංස්කෘතික ආගමික දේශපාලනික විවිධත්වයක්ද තිබේ. ඔවුන් අතර පොදු භාවය නිර්මාණය වූයේ ජාතිකත්ව පදනමකින් නොව එකම ආගම ඇදහූ නිසාය. සිය අනන්‍යතාව ආගම තුළින් පමණක් අර්ථකථනය වන නිසා මුස්ලිම් ජනතාවගේ සංස්කෘතියේ ආගමික නැඹුරුව වැඩි වී තිබේ.

මුහුදුබඩ ප්‍රදේශයෙන් කන්ද උඩරට රාජධානියට වෙළෙඳ භාණ්ඩ ගෙන යාමට එකල පාරවල් හෝ වාහන නොතිබුණු අතර එසේ හෙයින් මුස්ලිම්වරුන් ඒ වෙනුවෙන් තවලම් ක්‍රමය යොදා ගනු ලැබූහ. එම ක්‍රමය යටතේ මුස්ලිම්වරුන් මුහුදුබඩ ප්‍රදේශ අතරද අභ්‍යන්තර ගම්මාන අතරද මහනුවර රාජධානියෙහි සාර්ථක අන්දමින් වෙළෙඳ කටයුතුවල නිරත වූහ. මේ අනූව අද වන විටත් ශ්‍රී ලංකාවේ බොහෝ මුස්ලිම් ගම්මාන පිහිටා ඇත්තේ තවලම් මාර්ග ආශ්‍රිත පළාත්වලය. මුස්ලිම්වරුන්ගේ එම වෙළෙඳ කටයුතු හේතුවෙන් මහනුවර රාජධානියේ ආර්ථිකය ශක්තිමත් විය. මෙම යුගයේ මුස්ලිම් ජනතාව සැමවිටම සිටියේ සිංහල රජවරුනට පක්‍ෂපාතීවය. ඒ අනූව සිංහල මුස්ලිම් සබඳතා සත්‍ය වශයෙන්ම සුහදශීලි විය.


මුස්ලිම් ජනයා නැගෙනහිර වෙරළබඩ තීරයෙහි පදිංචි කරවනු ලැබූවේ කන්ද උඩරට රජු විසිනි. එමෙන්ම කන්ද උඩරට රාජධානිය ලෙස එකල හැඳින්වූ භූමි භාගය තුළ විවිධ රාජකාරිවල යෙදුණු මුස්ලිම් ජනයා පදිංචි කරන ලදි. දළදා මාලිගාවේ කටයුතු සඳහා ලබාදෙන ඉඩම් මුස්ලිම්වරුන්ට ලබාදී තිබෙන උදාහරණ කඳුකර ප්‍රදේශවලින් දැකගත හැකිවීමෙන් පෙනීයන්නේ මුස්ලිම්වරු උඩරට රාජධානියේ ආගමික රාජකාරිවල පවා යෙදුණු බවය.


ඉංග්‍රීසි යටත්විජිත සටනේදී සිංහල ජනතාව සමග මුස්ලිම් ජනතාව බිඳවීමට අධිරාජ්‍යවාදී පාලකයෝ කටයුතු කළහ. ඒ ඌව වෙල්ලස්ස පාලනයට හජ්ජි මරික්කාර් නම් මුස්ලිම් ජාතිකයෙකු පත් කිරීමයි. එයට එරෙහිව රාජධානිය පුරා කැරලි හටගත් අතර 1818 කැරැල්ලට මගපෑදූ එක් හේතුවක් වූයේද එයයි. මේ හේතුවෙන් මුස්ලිම් හා සිංහල ජාතීන් අතර එදිරිවාදිකමක් හට ගත්තේය. එය ක්‍රමයෙන් රටපුරා ඇවිල ගියේය. එමෙන්ම 1915 සිංහල මුස්ලිම් කෝලහලය නිසා යළිත් වරක් රටපුරාම මුස්ලිම් විරෝධයක් හට ගත්තේය. එයට හේතු වූයේද මහනුවර බෞද්ධ පෙරහැරක් මුස්ලිම් පල්ලියක් අසලින් යාමේදි ගල්මුල් ප්‍රහාරයක් එල්ලවීමය. මේ අවස්ථාවේදී අධිරාජ්‍යවාදීන් ජාතීන් දෙක බෙදන ආකාරයෙන් පරිපාලනය මෙහෙය වූ බව පෙනේ.
1949 දී ඩී.එස්. සේනානායක ආණ්ඩුව විසින් “යෝනක” යන වචනය වෙනුවට “මුස්ලිම්” යන වචනය යොදා ගැනීමට කටයුතු කිරීමත් සමගම මුස්ලිම් ජනතාවගේ ජාතික අනන්‍යතාවකට වඩා ආගමික අනන්‍යතාවක් අවධාරණය කෙරිණි. මෙය මුස්ලිම් ජනතාවගේ සංස්කෘතිය ලෞකිකකරණය වීමේදී දේශපාලනයේ දී සහ දෛනික ජීවිතයේ ආගමික නැඹුරුවේදී විශාල බලපෑමක් කර ඇත. එමෙන්ම මේ හේතුවෙන් 1980 දශකය අවසාන වන තුරුම මුස්ලිම් ජාතික අනන්‍යතාවක් පිළිබඳ දේශපාලන ප්‍රකාශනයක් ගොඩනැගුනේ නැත. ඒ අනූව මුස්ලිම් ජන කොටසේ සමාජ විඥානය බොහෝ කොටම ආගමික අනන්‍යතාවක් සමග බැඳී තිබිණි.


කෙසේ වුවද, ජනවාර්ගික භේද උත්සන්න වී ඇති මෙම යුගයේ, අතිශය සහයෝගයෙන් හා සමගියෙන් චිරාත් කාලයක් එකට ජීවත්වූ ජන වර්ග දෙකක් වන සිංහල – මුස්ලිම් දෙපිරිස අතර පැවති දීර්ඝ කාලීන සහජීවනය අප රටට පමණක් නොව වර්ගවාදයෙන් උමතු වී ඇති ලොව බොහෝ සමාජවලටද මහඟු ආදර්ශයකි.