ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ


කුරුණෑගල-කොටවෙහෙර- දිගන්නෑව ප්‍රදේශයේ, තාත්තා භාරයේ සිටි අවුරුදු 13ක දියණියකට,තාත්තාගේ දෙවන බිරිඳ වන කුඩම්මා සහ ග්‍රාම නිලධාරීවරියක වූ ඇගේ සහෝදරියක, අත් පා ගැට ගසා අමානුෂික ලෙස පහර දෙන දර්ශන පෙළ සමාජය කම්පනයට පත් කරන සුළු එකක් වූයේය. මෙම පහර දීම සිය ජංගම දුරකතනයෙන් රූපගත කර ඇතැයි අනාවරණ වී ඇත්තේ එහි සිටිය බව කියන 13 වියැති දැරියගේ සමීපතම මිතුරෙකු විසින්ය. පසුව ඔහු එය, සැමියාගෙන් වෙන්ව ජීවත් වන මිතුරියගේ අම්මාට පෙන්වා තිබේ. අම්මා එය රැගෙන පළමුව නිකවැරටිය මූලස්ථාන පොලිසියටත්, දෙවනුව කොටවෙහෙර පොලිසියටත් ගොස් ඇතත් මෙම පොලිස් ස්ථාන දෙකේම කාන්තා හා ළමා කාර්යංශ පැමිණිල්ල භාර ගන්නේ නැත. පසුව සමාජ මාධ්‍ය ඔස්සේද දෙවනුව ජන මාධ්‍ය ඔස්සේද මෙම රූපරාමු ප්‍රසිද්ධ වීමත් සමග පොලිසිය මෙම කාන්තාවන් දෙදෙනා සහ පියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නේය. ඒ වගේම පැමිණිලි භාර නොගත් පොලිසි දෙකේ කාන්තා හා ළමා කාර්යංශ ස්ථානාධිපතිනියන් දෙදෙනාගේ වැඩ තහනම් කිරීමටද පොලිස් දෙපාර්තමේන්තුව ක්‍රියා කළේය. පහර දීම රූපගත කළ තරුණයාවද අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු නිවැසියන්ට නොදන්වා දැරියව නිවසින් පිටතට රැගෙන යාමේ චෝදනාවකටය.


ඒ, සිද්ධියේ අම්මා ජීවත් වන්නේ දැරිය සහ සැමියා සමග නොවේ. කලක් පරිවාස භාරයේ සිටි දැරිය තමන් සමග ජීවත් වීමට රැගෙන එන්නේද තාත්තාය. ඒ වනවිටත් තාත්තා වෙනත් කාන්තාවක් සමග ජීවත් වන අතර එම කාන්තාව සැමියාගේ පෙර විවාහයේ දියණියට අමානුෂික ලෙස පහර දෙන විට තමන්ගේ ම වන දරුවෙකු කුස දරාගෙන සිටි බවද හෙළිදරව් වී තිබේ.


මෙම පහරදීම සිදුව ඇත්තේ ජනවාරි පළමුවන දාය. ඉන්පසුව කුරුණෑගල- වීරඹුගෙදර ප්‍රදේශයෙන් වාර්තා වූයේ තවත් එවැනි ම සිදුවීමකි. ඒ, අත් දෙක පිටුපසට බැඳ, කටද රෙදි පටියකින් බැඳ, කොන්ක්‍රීට් ගල් උඩ දණ ගස්වා, අවුරුදු 8 සහ 15 දියණියන් දෙදෙනාට තාත්තා රීප්පයකින් අමානුෂික ලෙස පහර දීමකි. එම කොන්ක්‍රීට් ගල්, නිවසට ගෙන්වාගෙන ඇත්තේද මේ දැරියන් දෙදෙනා ලවාය. මේ සිද්ධියේද අම්මා වසරක පමණ කාලයක් නිවසේ නැත. ඇය දියණියන් තාත්තා භාරයේ තබා විදේශ රැකියාවකට පිටත්ව ගොස්ය.


මෙවැනි සිදුවීම්වල පියවරක් පාසා සිටින වැරදිකරුවන්, නිවැරදිකරුවන් සෙවීම අමාරු නැත. එහෙත් වැදගත් වන්නේ සමාජය ඇද වැටී ඇති තත්ත්වය තේරුම් ගැනීමට උත්සාහ කිරීමය. දෙමාපියන්- දරුවන් අතර සම්බන්ධය ජීවිතයේ තිබෙන විශ්වාසනීය ම සබඳතාව ලෙස සැලකිය හැකිය. වැඩිම ආදරය ඇත්තේද, වැඩිම සමාව ඇත්තේද වැඩිම කදුළු මෙන්ම සිනාව ඇත්තේද එහිය. එහෙත් අම්මා ළඟ නැති ජීවිත, තාත්තා ළඟ නැති ජීවිත පමණක් නොව ඔවුන් ළඟ සිටියත් ඔවුන් නොදැනෙන ජීවිත අද දරුවන්ට උරුම වී ඇත්තේය. වියපත් වූ පසු බොහෝ මාපියන්ට උරුම වෙමින් තිබෙන්නේද එවැනි ඉරණමකි. අම්මා, තාත්තා වෙන්වූ පවුල්වල දරුවන්ගේ ජීවිතද ඛේදවාචකවලින් කෙළවර වීම වැළැක්විය නොහැකි තරම්ය. දරුවන්, දෙමාපියන් නොහඳුනන; දෙමාපියන්, දරුවන් නොහඳුනන ඉමකට ළඟාවීම, මිනිස් සබඳතාවල සුන්දරත්වය, වටිනාකම ගිලිහී යාමේ උපරිමය බව සිතිය හැකිය.


වසර ගණනාවක් පුංචි පාසල් දරුවන්ට උගන්වා දැන් විශ්‍රාම ගොස් සිටින ගුරුවරියක මා සමග කියා සිටියේ, දරුවන් දෙදෙනෙකු සිටී නම් දෙදෙනා තනිකර මව හා පියා නිවසින් බැහැර නොයා යුතු බවය. පිරිමි හා ගැහැනු දරුවන් පමණක් නොව පිරිමි – පිරිමි හෝ ගැහැනු – ගැහැනු දරුවන්ද එසේ දමා නොයා යුතු බව ඇය කියා සිටියාය. ඇය මේ කියන්නේ සහෝදර සබඳතාවලට අත් වී ඇති ඉරණම පිළිබඳවය. ඇය නොකීවාට තාත්තාගෙන් දියණියන්ට වන අතවර පවා නිතර අසන්නට ලැබෙන්නේය.


දෙමාපියන්, දරුවන් අතර මෙන්ම සහෝදර/සහෝදරියන් අතර වන සුවිශේෂී මිනිස් සබඳතා පවා විනාශය කරා ඇදෙමින් පවතින්නේ නම් අනුන්ගේ දරුවෙකු පිළිබඳ, අනුන්ගේ අම්මා කෙනෙකු/තාත්තා කෙනෙකු පිළිබඳ, අනුන්ගේ සහෝදරයෙකු, සහෝදරියක පිළිබඳ ආකල්පය කෙසේ විය හැකිද ? මේ නිසා මේවාට හේතු සොයා පිළියම් යෙදීම මිස ප්‍රතිඵලයට විසඳුම් දීමෙන් ප්‍රශ්න අවසන් වන්නේ යැයි සිතිය නොහැක. මිනිස් ජීවිතය පිළිබඳ යළි සිතා බැලිය යුතුවාක් මෙන්ම මිනිස් සබඳතා අද ඇත්තේද සුන්දර තැනක නොවේ. සමාජ ප්‍රශ්න අතර වඩාත් වැදගත් වන්නේත් සංවේදී වන්නේත් මේ මිනිස් සබඳතාය. ඒවා වැටී ඇති ප්‍රපාතයේ තරම තේරුම් ගැනීමට අසමත් වන්නේ නම් කිසිවෙකුටත් අතීතයක් මිස අනාගතයක් උරුම වෙතැයි විශ්වාස කළ නොහැක.