නැගෙනහිර කොළඹ රෝහලේ පී.සී.ආර්. මැෂීමේ සිද්ධිය හා ඇමති මණ්ඩලයේ තිදෙනෙක් පැන්කල ගංඟා වලට හෙළීමේ සිද්ධිය රටේ බරපතළ මොහොතක වුවත් හාස්‍යයට තුඩුදෙන කාරණාව ලෙස දිස්වුණි. පී.සී.ආර්. යන්ත්‍රය දින 10 ක් පමණ අකර්මණ්‍යව පැවතීමෙන් රෝගීන්ගේ වාර්තා ප්‍රමාද විය. චීනයෙන් පැමිණි යන්ත්‍රය පිළිබඳ විශේෂඥයින් කළ සොයාගැනීම වී තිබුණේ යන්ත්‍රය පිහිටුවා තිබුණු මේසයේ ඇදය එහි දෝෂයට හේතුවී ඇති බවය. එය ඇත්තම කතාවද ඒ යට වෙනත් කතාවක් තිබේදැයි යන්න පිළිබඳව සැකයක් උපදින්නේ පී.සී.ආර්. යන්ත්‍රයක් පිහිටුවන්නේ නිවසක කුස්සියේ පාන් කපන මේසය මත නොවන නිසාය. කුස්සි මේසයක් නම් වසර කිහිපයක් තිස්සේ වතුර වැටි ඇද ගසන්නට පුළුවන. පී.සී.ආර් යන්ත්‍රයක් මේ සවිකළ මේසයක් එසේ වන්නට විදියක් නැත.


අනෙක් කාරණය ඒලියන්ත වයිට් නමැති වෛද්‍යවරයාගේ උපදෙස් මත විශ්ව ශක්තියෙන් අනූන පැන්කල ගෙඩි ගංගා වලට හැලීමය. මෙමගින් කොවිඞ් 19 මර්දනයට හැකියාවක් ලැබේද !. බස්නාහිර නොවසා පැන්කල ගෙඩි වලින් වේලාසනම වැඬේ කර ගැනීමට නොතිබුණිද !


ජනතාවට සිදුවී තිබෙන්නේ පාලකයන් විසින් විටින් විට රඟ දක්වන එවැනි නාඩගම් දෙස හාස්‍යයෙන් මෙන්ම කෝපයෙන්ද බලාගෙන සිටීමටය. කොවිඞ් වසංගතය නිසා ලංකාව ආර්ථිකයේ පතුළටම ඇද වැටෙමින් තිබේ. ආර්ථික ක්‍රියාවලිය මුළුමනින්ම අක්‍රීයව ඇත. රැකියා ස්ථාන වැසීයමින් හා රැකියා අහිමිවෙමින් තිබේ. විදෙස්ගත ශ්‍රමිකයන්ට යන එන මං අහිමිව තිබේ. මාසයක් ලොක්ඩවුන් තත්ත්වයට පත්වු ගම්පහ දිස්ත්‍රික්කයේ ජනයාගේ බඩගින්න කොවිඞ් වසංගතයට වඩා විශාල වෙමින් තිබේ. මේ සියල්ල මැද්දේ රට විශාල ණය උගුලක සිරවී සිටින බව අමතක කළ නොහැකිය. උපයන ආදායම ණය ගෙවීමටත් ප්‍රමාණවත් නොවන තත්ත්වයක් තිබියදී කොවිඞ් වසංගතය නිසා ලංකාවට සිදුවනුයේ ගෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නාටත් වඩා බරපතළ තත්ත්වයකට මුහුණ දීමටය.
මෙවැනි පසුබිමක රටේ පාලකයන් රතන සූත්‍රය සජ්ජායනා කිරීමට උපදෙස් දෙන්නේ හා පැන්කල ගංගාවලට හෙළීම වැනි ක්‍රියාවන්හි නිරතවන්නේ රට මුහුණ පා ඇති අනතුර භෞතිකව තමන්ගේ පාලනයෙන් ගිලිහී ඇති නිසාද යන ප්‍රශ්නය පැන නගී. සාමාන්‍යයෙන් මිනිසුන් අදෘශ්‍යමාන බලවේග වල පිහිට පතන්නේ තමන්ට සක්‍රීයව හා එළඹි සිහියෙන් කළ හැකි සියල්ල අවසන් වුණු තත්ත්වයක් තුළය. ඉන්පසු සිදුවන්නේ අදෘශ්‍යමාන කිසිවක් විසින් මිනිසා මෙහෙයවීමය. නැතහොත් උමතුවීමය. ආණ්ඩුවට සිදුවී තිබෙන්නේ මේ දෙකෙන් කවරක්ද යන්න විමසා බැලිය හැකිද !


මේ මොහොතේ රටේ සියල්ල මෙහෙයවන්නා බව පෙනෙන ජනාධිපතිවරයා වත්මන් තත්ත්වය ගැන සවිඥානිකද ! රටේ සියල්ලන් වැඩ කරන බව පෙනෙන්නේද ජනපතිගේ උපදෙස් මතය. එසේ නම් පැන්කල ගංඟාවලට මුසු කළෙත් ජනපතිගේ උපදෙස් මතද ? නැතහොත් එය ඒලියන්තගේ හා ඇමති තුන්කට්ටුවේ මෙහෙයුමක්ද ! මෙවැනි ව්‍යවසනයකදී සෞඛ්‍ය ඇමති වෛද්‍ය උපදෙස් හා ඖෂධවල පිහිට පතනවා හැර මිථ්‍යාවේ පිහිට පතන රටක් තවත් ඇත්ද ! කිරීමට වැදගත් දේවල් තිබියදී මෙවැනි මිථ්‍යා ව්‍යාපෘතීන් සැලසුම් කරන අය සම්බන්ධයෙන් ජනපති අවවාදයක්වත් කරන්නේ නැද්ද ? ඔහුට ඒ ගැන තදබල ප්‍රකාශයක් කළ හැකිනම් යළිත් මෙවැනි අර්ථ ශුන්‍ය හා ලෝකයට හාස්‍යයක් සපයන වැඩ සිදුවීමට තිබෙන ඉඩ ඇහිරෙනු ඇත. කලගෙඩි සෙල්ලම ගම්පහ, කොළඹ හා රත්නපුර යන දිස්ත්‍රික්ක වලින් ඇමතිවරු තෝරාගත්තේ කොවිඞ් පැතිරීම වැඩිම දිස්ත්‍රික්ක ඒවා නිසා විය යුතුය. මේ වැනි නන්නත්තාර ක්‍රියා ගැන ජනපති සිතන්නේ කුමක්දැයි දැන ගැනීම මිථ්‍යාවට එරෙහි රටවැසියන්ගේ අභිලාෂයක් බවද කිව යුතුය.


ජනතාව 69% ක කැමැත්තකින් ජනාධිපති ගෝඨාභය පත්කරගත්තේ මෙසේ එළොව විකාරෙන් පොළොව අතගාන වැඩ නරඹමින් දවසරින්නට නොවේ. රට ආර්ථික හා සමාජීය වශයෙන් අනාගත දැක්මක් ඇතිව මෙහෙයවනවා දකින්නටය. එහෙත් ජනාධිපතිවරයා යම් පමණකට හෝ නූතන ලෝකයක් ගැන අපේක්ෂා වඩද්දී ඔහුගේ අනුගාමිකයන් අභිචාරයෙහි ගිලීම ජනයා කවරාකාරයෙන් ඉවසනු ඇත්ද !


එක පුද්ගලික රෝහලකට දවසකට පී.සී.ආර් 1200 ක් කළ හැකි වුවත් රාජ්‍ය අංශයේ ආයතන 24 කට දවසකට පී.සී.ආර්. දස දහසක් කළ නොහැකි බව මේ වන විට හෙළිදරව් වී තිබේ. මෙයින් පැහැදිලි වන්නේ රාජ්‍ය අංශයේ අසමත් බවද !


සෞඛ්‍ය අංශ මෙම වසංගතය මැඩීමට ඉහළම කාර්යභාරයක් කරන බව පැහැදිළිය. සමස්ත ක්‍රියාවලිය තවදුරටත් සක්‍රිය කළ හැකි තැන් තිබෙන බව පී.සී.ආර්. යන්ත්‍රයේ හා ඇදවූ මේසයේ ප්‍රශ්නයේදී පැහැදිලි විය. වතුර කලගෙඩි ආත්මයෙන් බිම තබා සියලු දෙනාම වසංගත තත්ත්වය ගැන යථාර්ථවාදීව කල්පනා කරන ස්ථාවරයකට නොපැමිණියහොත් රට වැටෙන්නේ පතුළක් නොමැති අගාධයකටය. විස්සත් සම්මත කරගෙන සියල්ල හසුරුවන කේන්ද්‍රය බවට පත් ජනපති මේ තත්ත්වය ගැන තදබල ලෙස අවධානය යොමු කළ යුතුය.