Tamil National Alliance leader Rajavarothayam Sampanthan (AP Photo/Eranga Jayawardena)

ටිරන් කුමාර බංගගමආරච්චි

දෙමළ ජාතික සන්ධානයේ සහය සජිත් ප්‍රේමදාසට ලබාදෙන බව සුමන්තිරන් මන්ත්‍රීවරයා මාධ්‍යයට ප්‍රසිද්ධ කළේය. උතුර මෙරට දේශපාලනයේ ප්‍රධාන සාධකයක් බව පසුගිය ආසන්න ඉතිහාසය දෙස් දෙන්නකි. මුලදී ඉල්ලීම් දහතුනක් දෙමළ ජාතික සන්ධානය කරළියට දැම්මේ ඊට කැමති අයට තම සහය ස්ථිර බව කියමිනි. එහෙත් දකුණ ඒ ඉල්ලීම් දුටුවේ සර්ප මල්ලක් මෙනි. විශේෂයෙන්ම සංඝ සමාජයේ ඉහළ ස්ථරය ඒ අතර විය. එය මුලින්ම ප්‍රතික්ෂේප කිරීම ගෝඨා දෙඅත් ඔසවා කළේ තමා දකුණේම සුජාත සිංහලයා බව ඔප්පු කරමිනි. අවසානයේ දෙමළ ජාතික සන්ධානය කොන්දේසි විරහිතව සජිත්ට සහය දෙන්නට පොරොන්දු වී සිටියි. දැන් ගෝඨා පිලට රස කතාවක් ගෙතිය හැකිය. එනම් හොර ‘ගිවිසුම්’, ‘රහස් ගිවිසුම්’ මේ යට සැඟව ඇති බවටය.

රාජපක්ෂලා අරබයා දෙමළ ජනයාට තවමත් ඇත්තේ යුද්ධයේ ලද බියමය. එය තවමත් රාජපක්ෂලා වැලඳ ගන්නට තරම් උතුරට උත්තේජනයක් නොසපයයි. ඒ නිසාම අකමැත්තෙන් වුව තවමත් උතුරට එජාපය තදින් වැලඳ ගන්නට සිදුව ඇත. 2015දී එය විශ්වාසයෙන් කළා නම් ඔවුහු මෙවර එය කරනුයේ දෙගිඩියාවෙනි. ඒ වෙන කිසිවක් නිසා නොව ගියවර ඔවුහු රැවටුණු නිසාය. උතුරේ ප්‍රශ්න යහපාලනය යටතේ විසඳෙනු ඇතැයි සිතුවද එය එසේ නොවූ නිසාය. ප්‍රශ්න කන්දරාව එලෙසම තබාගෙන වුව ඔවුහු මෙවරත් එජාප අපේක්ෂකයා වැලඳ ගන්නේ තවමත් උතුරට සහනයක් දකුණෙන් ලද හැකිනම් ඒ රාජපක්ෂලා නොව එජාපය හරහාම යන විශ්වාසය මතය.

රෑ වැටුණු වළේ ඔවුහු දවල් වැටෙන්නද සූදානම්ය. ඒ රාජපක්ෂලාගේ අගාධයට වඩා ඒ වළ ගොඩ ආ හැකි බව රෑ වැටීම තුළින් ඔවුන් අවබෝධ කරගෙන ඇති බැවිනි. එබැවින් ව්‍යාජ කතාවලට සීමා නොවී සජිත් ප්‍රමුඛ එජාපය දිනුවහොත් මෙවර හෝ උතුරට සාධාරණයක් කළ යුතුය. එය අවංකව කළ යුතුය. ඡන්දවලට සීමා නොවී ඔවුහු මේ රටේ මිනිසුන් බව පිළිගත යුතුය. උතුරද, දකුණ මෙන්ම රටට අත්‍යවශ්‍ය කොටසක් ලෙස පිළිගත යුතුය. යුද්ධය ජයගැනීමට වඩා අපහසු ඉලක්කය එයය. වුවමනාද ඒ අපහසු ඉලක්කය ජය ගැනීමය. සජිත් ජයගෙන මේ දේවල් නොවුණහොත් එයද අභාග්‍යයකි. ගෝඨා ජයගෙන ටීඑන්ඒ විනාශ මුඛයට ගියද ඒ දෙකටම ඔරොත්තු දෙන්නට උතුර තීරණය කර ඇති හැඩය. මෙවර වඩා අවදානම ගෙන ඇත්තේ සැබැවින්ම ඔවුන්ය.