ටිරන් කුමාර බංගගමආරච්චි

තුවක්කුව කිසිවකු හඳුනන්නේ නැත. එය කාට වුව පත්තු වේ. කොකා ගස්සනුයේ කවුද? ඒ ක්ෂණයෙන් එළියට පනින මූනිස්සම කිඳා බසින්නට සිරුරක් සොයා ගනු මිස අන් කිසිවක් නොසොයයි. සැබැවින්ම තුවක්කු අත දරන්නේ වෙඩි තැබීමට හැර වෙන කුමකටද?


මේ බව නොබෝදා තවදුරටත් සහතික වූයේ ගාල්ල මානවිල උපනන්ද විද්‍යාලයේ සිදුවූ වෙඩි තැබීමත් සමගය. පාසල් මුරට හමුදාව අවි දරා යෙදෙන්නේ පාස්කු ප‍්‍රහාරයත් සමග ඇති වූ අවිනිශ්චිතතාවත් සමගය. නැවත ප‍්‍රහාරයක්, පාසලක් ඉලක්ක කොට ඇති වෙතැයි යන විචිකිච්ඡුාව උඩය. හමුදා භටයෙක් අවි දරා පාසලක් ඉදිරිපිට සිටීම තුළ පාසලෙහි ආරක්ෂාව සුරැුකේ යැයි සිතීම මුලාවකි. වෙලාවේ හැටියට මුලාවේ නොවැටී විශ්වාස කරන්නට ජනතාව පුරුදු වන්නේ එක සෙබළා වුවත් සිටින්නේ අවි දරා නිසාය. උපනන්ද පාසලේ සිටින්නේද මුළු පාසලෙහිම ආරක්ෂාව තම අවියට ගත් වීර සෙබළෙකි. හැම පාසලක් ඉදිරිපිටම සිටින සෙබළ මානසිකත්වය මෙය විය හැකිය.


එහෙත් උපනන්ද පාසල ඉදිරිපිට පත්තු වන තුවක්කුව තිදරු පියෙකුගේ ජීවිතය අහවර කළේ ළමුන් තිදෙනකුට තම පියා අහිමි කරමිනි. බිරිඳට සැමියා අහිමි කරමිනි. මෙතැන් සිට මේ පවුලේ ජීවිතත් පාස්කු ප‍්‍රහාරයෙන් විනාශ වූ ජීවිත මෙන්ම අඳුරුය. පාස්කු ප‍්‍රහාරයෙන් පසු මේ ආණ්ඩුව මිනිස් ජීවිත සුරක්ෂිත කරනු වෙනුවට අනාරක්ෂිතම කරන්නේ නම් එහි අවනඩුව කාට කියන්නද? මේ සිද්ධියට විවිධ අර්ථකථන දිය හැකිය. ඇතැමුන් මුලදී කීවේ ත‍්‍රස්තවාදියකු ආවේ නම් ඔහුට වෙඩි තිබ්බේ නම් හමුදා සෙබළාට මල්මාලා දමනු ඇති බවය. එහෙත් ඔහු නිසා මල් දමන්නට සිදුවූයේ දරුවන් තිදෙනෙක් සමග තනි වූ බිරිඳට තම ප‍්‍රියයාගේ මෘතකලේබරයටය.


මෙයට වගකිවයුත්තේ කවුද? වෙඩි තැබූ හමුදා සෙබළා කියනුයේ මියගිය පුද්ගලයා පාසලට බලහත්කාරයෙන් ඇතුළු වන්නට උත්සාහ කළ බවත්, එහිදී ගැටුමක් ඇතිවූ අතර ගැටුම අතරෙහි තමාගේ තුවක්කුව උදුරා ගැනීමට උත්සාහ කිරීම නිසා තමා වෙඩි තැබූ බවය.


වෙඩි වැදී මියගියේ හිටපු නාවික හමුදා සෙබළෙකි. ඔහු පාසලට යනුයේ තම දරුවකු අසනීප බව පාසලෙන් දැනුම්දීම නිසාය. නාවික හමුදා සෙබළෙක් නිසාම ඔහු හයිකාරකමෙන් පාසලට ඇතුළු වන්නට උත්සාහ කරන්නට ඇතැයි සාමාන්‍ය ජන විග‍්‍රහයය. මේ රටේ රණවිරුවන්ය කියා පුදන මිනිසුන්ම සුළු දෙයකදී ඔවුන් ගැන චරිත සහතික දෙන්නේද ඒ අයුරිනි. හිටපු සෙබළෙක් වුව, එසේ නැති වුව තම දරුවකු ලෙඩවී යැයි දැනුම් දුන්විට මවක පියකු පාසලකට දුවනුයේ උමතුවෙනි. එය සාමාන්‍යයය. එසේ වුවත් එය තේරුම් ගැනීමට මුරට සිටින හමුදා සෙබළාට නොහැකිය. මන්ද ඔහු සිටිනුයේ හැමකෙනා දෙසම සැකෙන් බලන මානසිකත්වයෙනි. ඔහුට පුරුදු කොට ඇත්තේ තමාව අවනත නොවන හැම කෙනාම ත‍්‍රස්තවාදියකු යන්නය. මේ නිසා උපනන්ද විද්‍යාලයේ සිද්ධිය වූ කලී අවසානයේ ඔප්පු කරනුයේ මේ රටේ මිනිසුන්ගේ ජීවිත මොනතරම් අවිනිශ්චිතද? මේ රටේ මිනිස්සු මොනතරම් කලබලකාරීද? මේ රටේ මිනිසුන් තමා ඇරුණු කොට කිසිවෙක් විශ්වාස නොකරන ජාතියක්ද? යන්නය.


සිද්ධිය වූ සැණින් මාධ්‍ය මෙය ප‍්‍රධාන පුවතක් කරගත් අතර සෙබළාට පක්ෂ පිරිස, සෙබළාට විරුද්ධ පිරිස ඒ හරහා ගොඩනැගූ අතර මියගිය අයගේ කඳුළු කතාව නාටකයක් ලෙස පෙන්වීය. දැන් ඒ හරහා සිදුව ඇත්තේ කුමක්ද? එවන් සිද්ධියක් වූ බව රටට සැලවීම හැර වෙන යමක් වීද?


දැන්වත් ළමුන් අතර නොව වැඩිහිටියන් අතර පවා කතාබහ කොට සාකච්ඡුාවෙන් ප‍්‍රශ්න විසඳා ගත යුතු ආකාරය ඉගැන්විය යුතු නැද්ද? මිනිසුන්ට එකිනෙකාට ගරු කරන්නට ඉගැන්විය යුතු නැද්ද? සහජීවනය වැනි බර වචනවලට වඩා මුලින් මේ රටේ මිනිස්සුන්ට පුරුදු කළයුත්තේ සුහදව ප‍්‍රශ්න විසඳා ගන්නා හැටිය. පාසලක මුරකරුවෙක් නැද්ද? සියල්ල හමුදා සෙබළාට භාරදීද? හමුදා සෙබළා හෝ කා සමග වුව එන කාරණය සුහදව විමසන්න උගෙන නැද්ද? එන කෙනා වුව එතෙක් ඉවසන්නට හැකිනම් පාසලට රිංගන්නට අමුතු වේගයක් කුමටද? තමන් ආ කාරණය දැනුම් දී ඒ ආ හේතුව ස්ථිර කරගන්නා තෙක් රැුඳෙන්නට බැරි හදිසිය කුමක්ද? තුවක්කු උදුරන්නට ගිය කතා ගෙතූ දෑ විය හැකිය. එහෙත් දෙන්නා අතර ලොකුකම් ප‍්‍රදර්ශනය වන්නට ඇත. පොඩි එකකු අත වුව ආයුධයක් තිබියදී සෙල්ලම් කරන්නට වැඩිහිටියෝ වුව පරිස්සම් වෙති. ඒ ඒවා හොඳ නරක නොහඳුනන බැවිනි.


මෑත කාලය තුළ ආණ්ඩුව විපක්ෂයේ හෝ විපක්ෂය ආණ්ඩුවේ හෝ එක් අයකු ගැන හෝ හොඳක් කියනවා මාධ්‍ය තුළ දැක ඇත්ද? මේ රටේ ඇත්තේ බෙදුමක්මය. අනෙකාගේ වැරදීම සෙවීමය. ඒ හැමට නිදහසට කරුණු ඇත. මේ සිද්ධියත් එබඳුය. එහෙත් මියගිය පුද්ගලයාගේ ජීවිතයට වගකියනුයේ කවුද? ඔහු නැතිව අසරණ වූ පවුලට රැුකවරණය දෙන්නේ කවුද? තුවක්කු ඉබේ පත්තු වූයේ නැත. මෙලෙස මියගියේ මුස්ලිම් පුද්ගලයෙක් නම් මීට පෙර දෙමළ පුද්ගලයෙක් නම් ඔහු ත‍්‍රස්තවාදියකු නොවේද?


කෙසේ වෙතත් දැන් ක‍්‍රියා කළයුත්තේ නැවත මෙවන් දේ සිදු නොවන්නටය. ඒ වෙනුවෙන් පුරවැසියන් බෙහෙවින් කල්පනාකාරී විය යුතුය. දොරක් වුව ඇරෙන්නේ තට්ටු කරන්නාටය. බලහත්කාරය මෙන්ම බලපුළුවන්කාරකමද බොහෝ විපත් ඇති කරයි. මේ මියදෙනවාට වඩා ජීවත් වන්නට මහත් වෙරක් දැරිය යුතු කාලයකි. එසේ නම් සැම එකාවන්ව දිවි ගෙවන්න හැකි සෑම උත්සාහයක්ම ගත යුතු කාලයකි. ඉවසීම, ඇහුම්කන්දීම, සුහද සාකච්ඡුාව පමණක් නොව අන්‍යොන්‍ය අවබෝධයද නොඅඩුව අවැසි කාලයකි. මන්ද ඒවා වගා කරගත හැක්කේ මිනිස්සුන්ටම වන බැවිනි. ඒ අතර කිසිවක් නිසා නොව තුවක්කු ඒ කිසිවක් නාඳුනන බැවිනි. උපනන්ද විද්‍යාලයේ සිද්ධියෙන් ඊට වඩා කිසිවක් ඉතිරි නොවනු ඇත. මේ රටේ සාධාරණය ඉල්ලනවාට වඩා වෙන වැඩක් බලා ගැනීම යහපත්ය. අතුරුදහන්වූවන්, අහිමි කළවූවන්ගේ පෝලිම දිග් වූවා මිස ඒවාට විසඳුම් ලැබුණු යුගයක් නම් නොවීය. ගැටුම් ඇති නොවන තරමට ජීවිතය පහසුය. ලේසිය. උගත යුත්තේ ගැටුම් ඇති නොවන ලෙස ජීවත්වීමය. මේ හැම ඛේදවාචකයකටම මුල සෙවූ කල හේතුව ඉතාම සුළු සිද්ධියකි. එසේ නම් අපට මේ අඩුව පුරවා ගත නොහැක්කේ ඇයි? අද දවසේ පුළුල් සාකච්ඡුාව විය යුත්තේ එයය. ඒ අඩුව පුරවා ගැනීමය. උණ්ඩ සමග සෙල්ලම දැන් හොඳටම ඇතිය.