ආරියවංශ අබේසේකර

පොතෙහි එන දේ මිස පොතට සම්බන්ධ අනෙක් කාරණා කිසිවක් බාලේදී අප දැන හුන්නේ නැත. එහෙයින් ඇතැම් පොත්වල මුල් පිටු අතර වූ උපුටාගැනීම තහනම් යන පාඨය අප තුළ කිසිදු හැ`ගීමක් දැනීමක් ඇති කළේ නැත. එහෙත් පොත්වලින් ම පොත් හා ඒවා ලියන්නන් පිළිබඳව වැඩි අවබෝධයක් ලැබෙද්දී උක්ත උපුටාගැනීම තහනම් පාඨයේ සමාජමය වැදගත්කමක්ද ඇති බව අපට දැනෙන්නට පටන් ගත්තේය. අප ජීවත්වන්නේ උපුටාගැනීම් නැතිවත් බැරි ඇතිවත් බැරි ලෝකයකය. එහෙත් අන් සියල්ල සේ ම උපුටාගැනීම්ද අසුන්දර, බිහිසුණු දෙයක් වන්නේ පමණ නොදැන කළ විටය. ලංකාව හැම කරුණකදීම මේ පමණ දැන යන්නෙහි අසාර්ථකය.

බාලේදී පිරිමි ළමුන් තාත්තලාගේ පැවතුම් උපුටාගෙන හැසිරෙන අතර ගැහැනු ළමුන් උපුටා ගන්නේ අම්මලාගේ පැවතුම්ය. එහෙත් ඔවුහු ගැටවර වියට පත්ව වැඩෙද්දී හදිසියේ ම මව්පිය භූමිකාවන් අතහැර අයියලාගේ අක්කලාගේ භූමිකා උපුටා ගන්නට පටන් ගනිති. ඉගෙනීමෙන් අත්දැකීමෙන් තවත් වැඩෙද්දී ඔවුහු තමන් අවට හෝ ලෝකයේ සිත් ගත් ප‍්‍රකට පුද්ගලයන්ගේ ජීවන චරිතයන්ගෙන් කොටස් උපුටා ගනිමින් ස්වාධීන පුද්ගලයන් වශයෙන් වැඩෙන්නට පටන් ගනිති. එය සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවයයි. මෙසේ අප උපුටාගැනීම් වලින්ම වැඩෙතත් එක් එක් වයස් කාණ්ඩයන්හිදී කෙරෙන උපුටාගැනීම්හි තත්ත්වයන් එකිනෙක වෙනස් වෙයි. බාලේදී මව්පිය භූමිකාවන් අන්ධානුකරණයෙන් උපුටා ගන්නා අප ගැටවර වියේදී සහෝදර සහෝදරියන්ගේ භුමිකාවන්ගෙන් කොටස් උපුටා ගන්නේ හෝමෝන වර්ධනයට අනුගතවෙමිනි. පසුව උගත්කමින් වැඩෙද්දී මානසික දියුණු ලෝකයෙන් උපුටාගැනීම් කරමු. මේ උපුටාගැනීම් සාර්ථක වන විට සාර්ථක මිනිසුන් බිහිවන අතර, අන්ධානුකරණීය උපුටාගන්නන් බිළිදුන් සහ දිළිදුන් බවට පත්වෙයි.

පසුගිය දා මේ ප‍්‍රාථමික උපුටාගැනීම් ලෝලය නිසා සිංහල ලේඛිකාවකට තමන් ලත් සම්මානයන්ගෙන් පවා වියෝ වන්නට සිදුවිය. ඒ සිදුවීම හරහා සමාජ ජාලයන් තුළ ලාංකීය කලා ලෝකයේ තව තවත් බොහෝ උපුටාගැනීම් පිළිබඳ විවිධ පුවත්ද පළවිය. ඒ සියල්ලෙන් හෙළිවූයේ මානුෂික අවශ්‍යතාවක් වූ උපුටාගැනීම් පිළිබඳ කතාවේ එක් සෝචනීය පැතිකඩක් පමණය. එයින් උපුටාගැනීම් අවසන් වෙතැයි අප නොසිතිය යුතු අතර එයින් වන හානිය ගැන පමණක්ම සංවේදී නොවිය යුතුය. අනුරාධපුරයේ පැරණි මහමෙව්නා උයනේ පිහිටි සමාධි බුද්ධ ප‍්‍රතිමාව මුළුමනින් උපුටාගනිමින් තැනූ පිළිම කෙතෙක් වේද. අවුකන ප‍්‍රතිමාවේ ලක්ෂණ උපුටාගෙන කළ ප‍්‍රතිමාවන්ද එපමණය. එහෙත් ඒවා සම්බන්ධයෙන් ‘උපුටන’ නාමය කපා දමන මිනිස්සු ඊට ‘ඇසුරින්’ එසේ නැතිනම් අනුරුව යන පද භාවිත කොට උපුටන යන පදයෙහි වන අපහාසාත්මක චෝදනාවෙන් ශිල්පීන් ගලවා ගනිති. මේ ලාංකීය උපුටන කලාවේ තවත් ලක්ෂණයකි.

විශ්වවිද්‍යාලයන්හි විශේෂිත උපාධි සදහා සූදානම් වන්නන් විසින් අවසාන වසරේදී ඉදිරිපත් කරන්නට යෙදෙන පර්යේෂණ නිබන්ධය උපුටාගැනීම් පිළිබඳ ලෝලයේ තවත් එක් උත්කර්ෂවත් අවස්ථාවක් පිළිබිඹු කරන්නක් වෙයි. එහිදී ෆුට්නෝට් සහ ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලීන් නමින් ආඩම්බරකාරී ලෙසින් පෙනී සිටින උපුටාගැනීම් වැඩි වන තරමට ලකුණු ලැබෙතැයි විද්‍යාර්ථීහු සිතති. ඇත්ත නැත්ත හරි හැටි නොදනිතත් ලාංකීය පර්යේෂකයන්ගේ ප‍්‍රකාශනයන් දෙස බලන විට ඔවුන් කියවන්නන්ගෙන් ලකුණු දමා ගැනීම සඳහාම උක්ත උපුටන භාවිත කරන අන්දම නම් හොඳින් පෙනෙයි. එවන් ඇතැම් පොත් කියවන විට තීරුකරුට දැනෙන්නේ තමන් පාවහන් රහිතව ගල් බොරළු සහිත මාවතක ගමන් කරනවාක් වැනි හැගීමකි. වාක්‍යයක් වාක්‍යයක් පාසා වචනවල ඉහළින් එල්ලෙන ඉලක්කම් ඇසේ හැපෙන විට දැනෙන්නේ කකුල ගලක මුලක හැපෙන විට නැගෙන වේදනාවමය. මේ ඇතැම් හැපීම් මුවට අසැබි වදන් නංවන තරම් දරුණු වන අවස්ථාවන් ද නැතිවාම නොවේ. එහෙත් අප ඉවසිය යුතුය; එය අපේ ප‍්‍රඥාභාවය පෙන්වන ලකුණයි.

ලංකාවේදී උපුටාගැනීම් පිළිබඳ හාස්‍යජනක හා කුරිරුතම කතාවන් බිහිවන්නේ ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයේදීය. මක්නිසාද, ලාංකීය මාධ්‍ය පිරී ඇත්තේ එක එකා කියන දිග කතාවලින් උපුටාගත් කොටස් පුරුද්දා තනන අලූත් කතාවන්ගෙනි. දේශපාලකයෙක් වචන හත අටකින් යුතු කෙටි වැකියක් කියා අවසාන වන විට ඔහු අසල ආරම්භයේදී මුවවැස්මක් සහිතව කැමරාවට මුහුණ ඔබාගෙන උන් එකාගේ මුවවැස්ම ඉබේම අතුරුදන්ව තිබේ. නැතිනම් දහවලේ පටන් ගන්නා වාක්‍යය අවසාන වන්නේ කරුවලේය. ලාංකීය මාධ්‍ය භාවිතයේ මේ කපා බද්ධකිරීම් කෙතරම් සියුම්දයත්, කතාව කළ එකාට එය අසන විට ‘ඇත්තටම මා එසේ කීවාදැ’යි සිතාගන්නටවත් නොහැකිය. ඒ නිසාම ඔවුහු ඔවුන් කළ පැරණි ප‍්‍රකාශයන් ගැන අසන විට ‘අනේ නෑ, මං එහෙම දෙයක් කීවේ නෑ. ඕක මං කරපු ප‍්‍රකාශයක් විකෘති කරලා දාපු එකකැ’යි කියා ඇ`ග බේරා ගන්නට හැකිව තිබේ. ඒ කතාවන්හි ඇත්තක් නැත්තේද නැත.

ලාංකීය උපුටන කලාවේ තවත් එක් හාස්‍යෝත්පාදක අවස්ථාවක් නම් ඉතිහාසය තුළින් පුද්ගලයන් උපුටාගැනීමය. කිසියම් පුද්ගලයෙකුගේ ක‍්‍රියාවන්හි හොඳ නරක විමසිය යුත්තේ ඔහු විසූ ඓතිහාසික පසුබිම තුළ පිහිටුවමිනි. බාලාංශ පන්තිවලදී ඇට්ටරයින් ‘අන්න අරූ ගැහුවා’යි අඩාගෙන එන විට ගුරුවරිය කරන්නේ චුදිතයාගේ කන අල්ලා මිරිකීම නොව, චෝදකයා කනින් ගෙන, ‘ඇත්ත කියනවා, ඔයා නේද එයාට කලිං ගැහුවේ’ ඇසීමය. ‘ඔව් ටීචර්, මෙයා තමයි ඉස්සරලා එයාට ගැහුවේ’යි සාක්ෂි ඉදිරිපත් වන්නේ එවිටය. එසේ නැතිව ගුරුවරිය උසාවියේදී මෙන් ‘එහෙම ළමයින්ට ගහන්ඩ බෑ. මෙහෙට එනවා’යි කියා මුලින් අසාධාරණයට ලක් වූ එකාගේ කන මිරිකන්නේ නම් ළමුන් තුළ සිය ගුරුවරිය කෙරේ පැවතිය යුතු විශ්වාසය බිඳී, ඇගේ ඉගැන්වීම් කටයුතු පවා අසාර්ථක වන්නට ඉඩ තිබේ. සාමාන්‍ය සමාජය තුළදී අප ගන්නා ඇතැම් තින්දු තීරණ පිළිබඳ තත්ත්වයන් ද ඊට වෙනස් නැත. මිනිසුන් බොහෝ විට සමාජගත මිනිසුන් සහ සිදුවීම් උපුටාගන්නේ එක්කෝ අන්ධානුකරණයෙනි; නැතිනම් තමන් හා එම සිදුවීම් හෝ පුද්ගලයන් අතර පැවති තමන්ට වාසිදායක වූ තත්ත්වයන් අනුවය. මෙයට කදිම නිදසුනක් පසුගිය දිනෙක දේශපාලකයෙකුගේ මරණයක් හරහා තීරුකරු දුටුවේය.

මියගියේ හැත්තෑ හතෙන් පටන් ගත් ජේ.ආර්. ජයවර්ධනගේ ලංකාව අමුම අමු කසළ ගොඩක් කිරීමේ දේශපාලන ව්‍යාපෘතිය තුළ බලගතු ඇමතිකම් දැරූ පුද්ගලයෙකි. ඔවුන්ගේ තුච්ඡු සාහසික පාලනතන්ත‍්‍රයට එරෙහිව සාහසිකව නැගී හුන් තරුණ තරුණියන් දහස් ගණනක් කුරිරු අන්දමින් මරා මහ මග පුලූස්සා දමමින් ලංකාව එකම අමු සොහොනක් කළ පාලන කාලයක් තුළ ද මේ පුද්ගලයා ඇමතිකම් දැරුවේය. පසු කලෙක ඔහු පරාජිතයෙකු වූ කල ජයග‍්‍රහණය කළ දේශපාලන කණ්ඩායමට එක්ව තව තවත් වැජඹුණේය. වාමාංශික අදහස් දැරූ සංස්කෘතිකයින් පවා මුහුණු පොත තුළ ඔහුගේ මරණය පිළිබඳ සංවේදී සටහන් තබා තිබුණේ ඔහු පෙර කී සමාජ පසුබිමෙන් උපුටා ගෙන පුදසුනක තබමිනි. එයට හේතූන් ලෙස ඔවුන් දක්වා තිබුණේ ‘එයා මට මෙහෙම උදව් කළා, මාව අගය කළා, මෙහෙම මෙහෙම වැදගත් පොත් ලිව්වා’ යනාදී කරුණුය. ඒ අන්දමට චිත‍්‍ර ශිල්පියෙකු වූ හිට්ලර්ද සුන්දර මිනිසෙකි. හෙට අනිද්දා තවත් මෙබදු මිනිසුන් උපුටන වශයෙන් ගෙන සුන්දර කෙරෙනු ඇත. ඉතින් ලාංකීය උපුටන කලාව තව බොහෝ දුර යනු ඇත. මේ රට අපායක උපුටනයකැ’යි මිනිසුන්ට දැනෙන තුරු එසේ වනු ඇත. අපායේ ලොක්කාගේ නමද ධර්මරාජික නම් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here