නිමල් අබේසිංහ

මෑතදී ලොව සිදුවුණු බිහිසුණුතම සමුද්‍රීය ව්‍යසනය (නාවික) සිදුවූයේ ශ‍්‍රී ලංකාවේය. එය ශ‍්‍රී ලංකාවේ කොළඹ වරායට පිවිසීම සඳහා වරායට පිටත මුහුදේ නැංගුරම් ලා තිබියදී ගිනිගෙන මුහුදුබත් වුණු එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවේ විනාශයත් සමගින් ඇරඹුණකි. එය බරපතළ ඛේදවාචකයක් බව අවධාරණය කර ඇත්තේ මෙයින් සිදුවූ හානිය ගැන විමර්ශනය කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පත් කළ සිව්දෙනකුගෙන් යුත් විශේෂඥ මඬුල්ල විසින් නිකුත් කර ඇති වාර්තාවය.

ශ‍්‍රී ලංකා මුහුදටත් වෙරළ හා වෙරළ තීරයටත් හානි සිදුකරමින් දැවැන්ත ආර්ථික සමාජ ව්‍යසනයක් සිදු කළ මෙම නැව ගිනිගෙන මුහුදුබත්වීමෙන් සිදුවූ හානි පූරණය කරගැනීමට අදාළ නැව් සමාගමෙන් ඩොලර් බිලියන තුනකට වැඩි මුදලක් අය කරගත හැකි වෙතැයි මේ විෂය ක්ෂේත‍්‍රය පිළිබඳ විෂය ප‍්‍රාමාණිකයන්ගේ අදහසය.

ශ‍්‍රී ලංකාවේ පාර්ශ්වයෙන් මෙහි හානිය සම්බන්ධයෙන් තවමත් සම්පූර්ණ වාර්තාවක් සකසා නැති බවත්, පරීක්ෂණ කටයුතු සඳහා කමිටු එකොළහක් පමණ පත් කර තිබෙන බව දැනගන්නට ඇත.

මේ සිදුවීමට මාස කීපයකට පෙරත් ශ‍්‍රී ලංකා මුහුදේදී ගිනිගත් බ්ලූඩයමන්ඞ් නෞකාවට අදාළව සම්පූර්ණ වන්දි මුදල ලබා ගැනීමට නොහැකි පසුබිමක් පවතිද්දී එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවේ සිදුවීමට අදාළව පරීක්ෂණ වාර්තා සම්පූර්ණ කරගෙන සිදුවූ හානියට කවදා වන්දි ලබාගත හැකිදැයි අනාවැකි කිව නොහැකිය.

එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවේ විනාශය නිසා සිදුව ඇති හානිය සම්බන්ධයෙන් සහ එයින් දැනට සිදුව ඇති මෙන්ම සිදුවිය හැකි විනාශයන් වළකා ගැනීම සඳහා ගත යුතු ක‍්‍රියාමාර්ග ගැන ශ‍්‍රී ලංකා රජයට උපදෙස් දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පත් කරන ලද මෙම විශේෂඥ මඬුල්ලේ සාමාජිකයන් ලෙස හසන් පාර්නොව්, කැමිල් ලක්රුවා, ස්ටෙෆන් ලේ ෆ්ලොක් හා ලූයිගි ඇල්කාරොපවිව් යන පරිසර විශේෂඥයන් කටයුතු කර තිබේ.

2021 අගෝස්තු 06 දින නිකුත් කර ඇති මෙම වාර්තාවට අනුව 2021 ජූලි 17 දිනට මියගොස් තිබූ මුහුදු ක්ෂීරපායි සතුන්ගේ සංඛ්‍යාව 251කි. ඒ ඩොල්පින් මසුන් 2ක්, තල්මසුන් 5ක්, කැස්බෑවන් 218ක් බවද වාර්තාවේ සඳහන්ය.

ශ‍්‍රී ලංකා මුහුදේ සිදුවූ මෙම සත්ත්ව මරණ නැවෙන් සිදුවූ හානිය නිසා සිදුවූ බවට සාක්ෂි නැතැයි මෙම විශේෂඥ මණ්ඩලය පෙන්වා දී තිබීම දැඩි ලෙස අවධාරණය කළ යුතු කාරණාවකි.

මෙවැනි ඉහළ මරණ අනුපාතයක් පවතින කල්හිදී කැස්බෑ විශේෂඥයන් සාමාන්‍යයෙන් සිදුකරනුයේ ජෛව රසායනික පරීක්ෂණයක් වුවද, එවැන්නක් සිදුකර නැති බැව් එම වාර්තාවේ සඳහන් බැවින් විශේෂඥ මණ්ඩලය මේ තීන්දුවට එළඹ ඇති බව හොඳින්ම පැහැදිලිය.

එවැනි පරීක්ෂණයක් වඩාත් අදාළ වන්නේ මෙයට පෙර අවස්ථා ගණනකදීම නිරීක්ෂණය කර ඇති පරිද්දෙන් මෝසම් තත්ත්වය ඉහළ යෑමත් සමග හානිකර ඇල් ගී වර්ග සහ මේ මරණ අතර සම්බන්ධයක් ඇත්දැයි සෙවීමට කැස්බෑ විශේෂඥයන් එවැනි පරීක්ෂණයක් තිබුණා නම් මෙහිදී ඉතා වැදගත් බවය.

කෙසේ වුවත් මුහුදුබත්වූ නැවේ සුන්බුන් හා බහාළුම් හේතුවෙන් රසායනික වර්ග සහ තෙල් මුහුද දූෂණය වීමට හේතුවක් වන බැවින් ඒවා ඉවත් කරගන්නා තුරු මුහුදු ජීවීන්ගේ පැවැත්මට අවදානමක් ඇති කරන බවද වාර්තාවේ සඳහන්ය.

මුහුදු ක්ෂීරපායි සතුන්ගේ මියයෑම නැවෙන් සිදුවූ පාරිසරික හානිය නිසා යැයි පැවසීමට සාක්ෂි නැතැයි යන්න ප‍්‍රශ්නයකි. එයට හේතුව වනජීවී දෙපාර්තමේන්තුවෙන් මේ මියගිය ක්ෂීරපායි සතුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා තිබූ බැවිනි. එසේ නම් ඒ වාර්තා පරීක්ෂණ මණ්ඩලය අතට පත් නොකළේ ඇයි? මේ සඳහා සාක්ෂියක් සපයනුයේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතිඥ දර්ශනී ලහඳපුරය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පත් කළ විශේෂඥ මණ්ඩලය විසින් නිකුත් කර තිබෙන වාර්තාවේ මුහුදු ක්ෂීරපායි සතුන්ගේ මරණවලට නැවෙන් සමුද්‍රයට සිදුවූ හානිය නිසා යැයි සඳහන් කර ඇත්තේ ඇයිදැයි අප ඇයගෙන් විමසීමු.

එහිදී ඇය පැවසුවේ මියගිය ක්ෂීරපායි සතුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා විශේෂඥ මණ්ඩලයට ලැබෙන්නට නැති බවය. මෙම පශ්චාත් මරණ පරීක්ෂණ වනජීවී දෙපාර්තමේන්තුවෙන් සිදුකර ඇති බවත්, ඒවා අධිකරණයට ඉදිරිපත් කර විශ්ලේෂණය සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඇති බවත්ය.

අධිකරණමය කාර්යයක් සිදුවෙන බැවින් එම වාර්තා බාහිර පාර්ශ්වයකට ලබාදීමට නොහැකි බවත් ඇය කීවාය.

ඇයට අනුව අගෝස්තු 27 වැනි දින වන විට මියගොස් ඇති මුහුදු ක්ෂීරපායි සත්වයින්ගේ සංඛ්‍යාව 301කි. මින් 33ක් ඩොල්ෆින් මත්ස්‍යයන්ය. 6ක් තල්මසුන්ය. කැස්බෑවුන් ගණන 262කි. කැස්බෑවුන්ගේ සංඛ්‍යාව මීට වඩා ඉහළ ගණනක් විය හැකි බවත්, එයට හේතුව උන්ගේ මළ සිරුරු සියල්ලම වෙරළට ගසාගෙන ඒමක් සිදු නොවීම නිසාත් බව ඇය පැවසුවාය.

සිද්ධිය සම්බන්ධයෙන් නැව අයිතිකාර සමාගමට විරුද්ධව ශ‍්‍රී ලංකා ආණ්ඩුව නඩු පවරන අවස්ථාවකදී හෝ රක්ෂණ වන්දි ඉල්ලා සිටින අවස්ථාවකදී ක්ෂීරපායි සතුන් මියගොස් ඇත්තේ හෝ ඉදිරියේදී මියයන්නේ නැවෙන් සිදුවූ විනාශය නිසා යැයි ශ‍්‍රී ලංකා රජය කියා සිටින විට ඉහත ජාත්‍යන්තර විශේෂඥ මණ්ඩලයේ වාර්තාව උපුටමින් එය එසේ නොවේ යැයි කියා සිටීමට නැව අයිති සමාගමට හොඳටම අවස්ථාව තිබේ.

මෙය බරපතළ ගැටලූවක් වන අතරම පරීක්ෂණ මණ්ඩලයට ශ‍්‍රී ලංකා රජය අවශ්‍ය සහයෝගයන් නොදුන්නේය යන තර්කයද මතුවිය හැකිය.

එසේම මසුන් මැරීම තහනමට ලක් කළ කලාපයෙන් හෝ ඉන් පිටත කලාපයෙන් අල්ලන මත්ස්‍යයන් ආහාරයට ගැනීම ආරක්ෂිත හෝ අනාරක්ෂිත බවටද එම වාර්තාවෙන් පිළිතුරක් සපයා නැත. ඉන් පෙනෙන්නේ ඊට සහාය දිය යුතු ආයතන ඔවුන්ට සහාය නොදුන් බවද?

මෙම විශේෂඥ මඬුල්ල පත්කිරීමේ ඉතිහාසය මෙලෙස දැක්විය හැකිය.

2021 මැයි 20දා ගිනිගෙන මුහුදුබත් වූ එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවෙන් සිදුව ඇති බලපෑම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට තාක්ෂණික සහාය ලබාදෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරකගෙන් ඉල්ලීමක් කළේ 2021 ජූනි 4 දිනදීය.

මෙයට ප‍්‍රතිචාර දැක්වූ එක්සත් නිරීක්ෂණ නේවාසික සම්බන්ධීකාරකවරයා සහ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ඒකාබද්ධ සහ මානුෂීය කටයුතු කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් යුතුව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන, එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ඒකාබද්ධ පරිසර ඒකකය විසින් මෙකී සිදුවීම සම්බන්ධව ශ‍්‍රී ලංකා රජයට උපදෙස්දීමට ඉහත නම් සඳහන් වූ විශේෂ මණ්ඩලය පත් කළේය.

මූලික කාරණා තුනක් සම්බන්ධව සලකා බැලීමට මෙහිදී යෝජනා වී ඇත.

  1. පාරිසරික තක්සේරුවක් සැලසුම් කිරීම සහ ක‍්‍රියාත්මක කිරීම.
  2. සිදුවීමෙන් ඇතිවිය හැකි අවදානම් අවස්ථා වැළැක්වීම, අවම කිරීම සහ ප‍්‍රතිචාර දැක්වීම.
  3. අනාගත සමුද්‍රීය විපත්වලට මුහුණදීම සඳහා දේශීය වශයෙන් ඇති හැකියාව ශක්තිමත් කිරීම.

මෙම කරුණු පදනම් කරගනිමින් පරීක්ෂණ මණ්ඩලය සිදුකර ඇති විමර්ශනයෙන් පසුව නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වන්නේ මුහුදුබත් වූ නැවේ සුන්බුන් සහ බහාළුම් තවමත් සක‍්‍රීයව තිබෙන බවය. එමගින් අපවිත‍්‍රකාරක මුදාහරින බවය. වෙරළාශ‍්‍රිත සංවේදී පරිසරයට හා මුහුදුබඩ පළාත්වල ජනතාවටත්, ආර්ථිකයටත් මේ වනවිටත් සැලකිය යුතු බලපෑමක් සිදුකර ඇති බවය.

නැව මුහුදුබත්වීම නිසා සමුද්‍ර පරිසරයට නිකුත් වෙන අපවිත‍්‍රකාරකයන් නවතාලිය හැක්කේ නැවේ සුන්බුන් හා බහාළුම් පරිසරයෙන් ඉවත් කිරීමෙන්ම පමණක් බව මෙම විශේෂඥ වාර්තාව කියයි.

නැවේ තිබූ තෙල් අන්තරායකාර රසායනික ද්‍රව්‍ය ප්ලාස්ටික් සහ නැවෙන් ප‍්‍රවාහනය කළ අනෙකුත් භාණ්ඩයන් සෑහෙන ප‍්‍රමාණයක ස්වභාවය හා තත්ත්වය ගැන පැහැදිලිකමක් නැති බව වාර්තා වේ. මෙය නෞකාව මුහුදුබත්වීම සමග උග‍්‍රවන පරිසර හානිය සමග බැඳී පවතින බවත්, එනිසාම සිද්ධියේ සංකීර්ණ බව ඉහළයෑමට හේතුවක් බවත් වාර්තාව පෙන්වා දෙයි.

නැවේ තිබූ අන්තරායකර භාණ්ඩ හා අනෙකුත් භාණ්ඩ පිළිබඳ අවදානම් විශ්ලේෂණයක් (Risk Analysist) සිදු කර නොමැති බව මේ වාර්තාව දක්වන තොරතුරු අනුව ඉතාම පැහැදිලිය.

එම අවදානම් විශ්ලේෂණ වාර්තාව සම්පාදනය කිරීමේ වගකීම පැවරෙන්නේ වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්නටය. නැව ගිනි ගැනීමේ සිද්ධිය දැනගත් වහාම ඔහු කළ යුතුව තිබුණේ එම වාර්තාව සම්පාදනය කිරීමය. ඒ සඳහා අවශ්‍ය තොරතුරු නැව් කපිතාන්වරයාගෙන් ලබාගැනීමය.

එවැනි අවදානම් විශ්ලේෂණ වාර්තාවක් යම් හෙයකින් ඔහු සකසා තිබුණේ නම් විශේෂඥ මණ්ඩලයට ඉදිරිපත් නොකිරීමට හේතු දැක්විය යුතුය.

මෙවැනි වාර්තාවක් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනියටද වෙළෙඳ ලේකම් කාර්යාලයෙන් ලබාදී නැති බව එහි සභාපතිනි නීතිඥ දර්ශනී ලහඳපුර පැවසුවේ 2021 අගෝස්තු 08 දින ලියුම්කරු දුරකතනය ඔස්සේ ඇයගෙන් විමසූවිටදීය.

මෙම විද්වත් මණ්ඩලය විසින් නැව මුහුදුබත්වීම නිසා ඇතිවූ අවදානම් දෙකක් වහාම ඉවත් කළ යුතු බවට සඳහන් කර ඇත.

හදිසියේම නැවේ ඉන්ධන කාන්දුවීම සහ ගිලීගිය නැවේ සුන්බුන් සහ හානිවූ බහාලූම්වලින් සිදුවිය හැකි හානිය එකකි.

දෙවැන්න නාවික ගමනාගමනයේදී සිදුවිය හැකි අනතුරුය. මෙම අවදානම අවම කිරීම සඳහා ක‍්‍රියාශීලී සහ සුපරීක්ෂක නිරීක්ෂණයක් අවශ්‍ය බව මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ය.

මෙහිදී තවත් බරපතළ ගැටලූවක් මතුවී තිබේ. ඒ බංකර් තෙල් දූෂණය නිසා සිදුවෙන හානිය පිළිබඳ සිවිල් අධීක්ෂණතාව (2001) පිළිබඳ අන්තර් ජාතික ප‍්‍රඥප්තියට ශ‍්‍රී ලංකාව අත්සන් තබා නොතිබීමය. ඒ බැව් පැවසුවේ සමුද්‍රීය පරිසර අධීක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතිඥ දර්ශනී ලහඳපුරය. මේ සම්බන්ධයෙන් වගකීම පැවරෙන්නේ වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් සෙනෙවිරත්නටය. බ්ලූ ඩයමන්ඞ් නැව් අනතුරටවත් ඔහු මේ ගැන අවධානය යොමුකර නැති බව මින් පැහැදිලිය.

එක්ස්ප‍්‍රස් පර්ල් නැවේ සුන්බුන් සහ නැතිවූ බහාළුම් ඉවත් කිරීමට මූලික තැන දෙමින් සැලසුම් සකස් කිරීම ආරම්භ කළ යුතු බවද ඒ වෙනුවෙන් මූලික ව්‍යාපෘති, සවිස්තරාත්මක මාර්ග සිතියමක් උපදේශාත්මක හා විනිවිද භාවයෙන් යුතුව වහාම සකස් කළ යුතු බවත් වාර්තාවෙන් අවධාරණය කරයි.

මෙම කාර්යයන් ඉටුකිරීමේ වගවීම සහතික කිරීම සඳහා රජය විසින් සම්මත කරන ලද අධීක්ෂණයක් අත්‍යවශ්‍ය බවද වාර්තාවේ සඳහන් වේ. ඒ මගින් ජන ජීවිතය යථා පරිදි පත්කිරීමේ රජයේ ක‍්‍රියාවලිය කෙරෙහි මහජන විශ්වාසය ජනිත කරවීම ඉතා වැදගත් බවත් වාර්තාව කියයි.

කොවිඞ් 19 අගුළු දැමීම හේතුවෙන් ඇතිවූ බාධා නොසලකා හැර ශ‍්‍රී ලංකාවේ බලධාරීන් ප්ලාස්ටික් කාන්දුව වැළැක්වීමේදී රජය ප‍්‍රශංසනීය කාර්යභාරයක් ඉටුකරමින් සිටියද එහි සාර්ථකත්වය ඉහළට ගෙන ඒම සඳහා සිදු කළ යුතු ප‍්‍රධාන ක‍්‍රියාකාරකම් කීපයක් වාර්තාවේ අන්තර්ගතය.

මෙහිදී ප්ලාස්ටික් අපද්‍රව්‍ය අනතුරු සහිතද නැත්ද හඳුනා ගැනීමට විශ්ලේෂණයක් සිදු කිරීම, වැලි ඇද ගැනීම අවම කරමින් කුඩා පිළිස්සුණු අංශු එකතු කරගත හැකි ක‍්‍රමවේද සකස් කිරීමත්, එහි පරිමාව ඉහළ නැංවීමත්, සියුම් ප්ලාස්ටික් පිරිසිදු කිරීමේ ක‍්‍රියාවලීන් අවසන් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතු යැයිද එහි සඳහන්ය.

අනතුරින් සිදුවූ පාරිසරික තක්සේරුව සකස් කිරීමේදී බලපෑමට බඳුන් වූ ප‍්‍රදේශ කෙරෙහි අවධානය යොමු කළ යුතු බවද ගසාගෙන ආ සුන්බුන්වල බලපෑමට ලක්වූ ප‍්‍රදේශ මෙහිදී ප‍්‍රමුඛ විය යුතු බවත් විශේෂඥ මණ්ඩලය පෙන්වා දී ඇත.

සැලකිය යුතු තලයේ සමාජ, ආර්ථික බලපෑම් සමග ප‍්‍රධාන ගැටලූ විසඳීමත් ප‍්‍රජාව මුහුණ දී ඇති ගැටලූ හමාර කිරීම සඳහා විමර්ශනාත්මක උපාය මාර්ගයන් යොමු කළ යුතු බවත් එහි සඳහන්ය. එහිදී විශේෂයෙන්ම මසුන් මැරීම තහනම් කළ ප‍්‍රදේශ තුළ හෝ ඉන් පරිබාහිරව ඇති මාළු ආහාරයට ගැනීම ආරක්ෂිතද යන්නත් ධීවර කටයුතු සඳහා තිබෙන තහනම ඉවත් කරන්නේ කවදාද යන්න තීරණ ගත යුතු බවද වාර්තාවේ සඳහන් වේ.

මත්ස්‍යයින් වැරදීමකින් ප්ලාස්ටික් පෙති (Pellets) ආහාරයට ගැනීමේ අවදානමක් ඇති නමුදු එසේ සිදුවී ඇති බවට වාර්තා ලැබී ඇත්තේ සීමාසහිත සාක්ෂි කිහිපයක් බවත් නාරා ආයතනය විසින් වෙරළේදී හමුවූ මියගිය මසුන්ගේ සාම්පල විශ්ලේෂණය කිරීමේදී උන්ගේ කරමල්වල ප්ලාස්ටික්, පෙති තැන්පත් වී තිබූ බවට නිදර්ශක කීපයක් සොයාගෙන තිබෙන බවත් වාර්තාවේ දක්වා ඇත.

එක්ස්ප‍්‍රස් පර්ල් නැවේ සුන්බුන් අවට පවතින තත්ත්වය විශේෂයෙන් කොරල්පර වැනි සංවේදී සාගර පරිසර පද්ධතිවල තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා සාපේක්ෂව සරල සහ ලාභදායී විකල්පයක් ලෙසින් ජෛව නිරීක්ෂණ වැඩසටහනක අවශ්‍යතාවද වාර්තාවෙන් පෙන්වා දෙයි.

මෙම සිද්ධිය ගැන ක‍්‍රියාකිරීමේදී කෙටිකාලීන ප‍්‍රතිකර්මවලින් ඈතට ගොස් ශ‍්‍රී ලංකාවට ලබාගත හැකි සැබෑ දියුණුවක් සඳහා ගත යුතු මග සම්බන්ධයෙන්ද වාර්තාවේ සඳහන් කර ඇත. එනම් අනාගත සාගර ව්‍යසන වැළැක්වීම සහ ඒවාට ප‍්‍රතිචාර දැක්වීමට නම් වඩාත් ශක්තිමත් පද්ධතියක් සහිතව මෙම ප‍්‍රකම්පනකාරී අත්දැකීම මගින් නැගී සිටීමට ක‍්‍රියාත්මකවීමය. මේ වෙනුවෙන් අවුරුදු ගණනාවක් ඉදිරියට දිවෙන ආරම්භයක් අවශ්‍ය වන අතර සමුද්‍රීය ආපදා සැලැස්මක් සැකසීමත් එය ක‍්‍රියාවට නැංවීමට නම් ආයතනික පදනම ශක්තිමත් කිරීමය. ධාරිතා වර්ධනයත් පුහුණු වැඩසටහනුත් ඊට අවශ්‍ය බවත් වාර්තාව කියයි.

මෙවැනි ආරම්භයක පදනම වනුයේ ශ‍්‍රී ලංකා රජය සහ එහි ජාත්‍යන්තර මිතුරන් හා හවුල්කරුවන් අතර සහයෝගී සබඳතාවක් ඇතිකර ගැනීම බවද විශේෂඥ මණ්ඩලය වාර්තාවෙන් පෙන්වයි.

අවසාන වශයෙන් මෙකී වාර්තාවෙන් අවධාරණය කරනු ලබන වැදගත් කරුණක්ද වේ. මෙම වැඩසටහන සාර්ථකත්වයේ කෙළවර රඳා පවතින්නේ විවිධ ක‍්‍රියාකාරීන් අතරේ වන සම්බන්ධීකරණය මත බැවින් ජාත්‍යන්තර සහයෝගය සංවිධානය කිරීම සඳහා වෙන් කරන ලද යාන්ත‍්‍රණයක වැදගත්කම මත බවය. එමගින් සාගර සෞඛ්‍යය ධීවර සම්පත් සහ ලෝක වෙළෙඳාම සඳහා වැඩි ආරක්ෂාවක් ලබාදෙමින් ගෝලීය සමුද්‍රීය හා සැපයුම් කේන්ද්‍රස්ථානයක් වශයෙන් සිය ස්ථාවරය තහවුරු කරගැනීමට ශ‍්‍රී ලංකාව උත්සාහයක් ගත යුතු බවය.

එක්ස්ප‍්‍රස් පර්ල් නැව ගිනිගෙන විනාශ වී මුහුදුබත්වීමෙන් සිදුවන සමුද්‍රීය පරිසර විනාශය වළකා ගැනීම සඳහා ක‍්‍රියාත්මක විය යුතු ප‍්‍රධාන ආයතනය වන්නේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියය. එහි සභාපතිනි නීතිඥ දර්ශනී ලහඳපුරගෙන් මේ ගැන විමසුවෙමු.

වෙරළ තීරයට ගොඩ ගැසූ අපද්‍රව්‍ය මේ වන විට විශාල ප‍්‍රමාණයක් ඉවත් කරල තිබෙනවා. වත්තල වෙරළ තීරයට තමයි මේ අපද්‍රව්‍ය විශාල වශයෙන් ගොඩ ගැසුවෙ. දැනටත් සරක්කුව කියන ප‍්‍රදේශයේ අපි මැෂින් එකක් සවිකර තිබෙනවා. වැලිවලට මිශ‍්‍රවී තිබෙන ප්ලාස්ටික් පෙලට් ඉවත් කිරීම තමයි එයින් සිදුවෙන්නේ. මේ ආකාරයෙන් කිරින්දේ සිට මන්නාරම දක්වා වෙරළ තීරය අපවිත‍්‍ර කිරීමේ අවදානමක් පවතින බව සොයාගෙන තිබෙනවා.”

”විනාශ වූ නැවේ සිට පානදුර හා මීගමුව දක්වා ත‍්‍රිකෝණික කලාපය අපි සර්වේ එකක් කළා. ඉන්දියාවෙනුත් ඇවිත් සමීක්ෂණයක් කළා. මේ වනවිටත් නැව අවට ප‍්‍රදේශය ගවේෂණය සඳහා යාත‍්‍රාවක් යොදවා තිබෙනවා.”

ඇය පවසන්නේ දිය යට තිබෙන කන්ටේනර් හා නැවේ සුන්බුන් ගොඩ ගැනීම පවතින මෝසම් තත්ත්වය හේතුවෙන් අපහසු බවය. කිමිදුම්කරුවන්ට කිමිදීමට නොහැකි වාතාවරණයක් පැවතීමත් එයට හේතුවක්ව තිබෙන බවය.

නැවේ තිබූ කන්ටේනර් අතරින් 86ක් අන්තරායාකාරී කැනීම් බහාළුම් බවක් ද ඇය පැවසුවාය. මේවායින් කොපමණ ප‍්‍රමාණයක් පිළිස්සී විනාශ වූයේද නැද්ද යන්න තවමත් සොයාගෙන නැති බවත් මේවා මුහුදෙන් ගොඩ ගැනීමට යාමේදී කැඞී ගියහොත් එහි තුළ අන්තර්ගත ද්‍රව්‍යයන් මුහුදේ විසිරී යාම වළක්වා ගැනීමට නොහැකි බවද ඇය කීවාය.

ඒ අතරම නැවේ තිබූ ආහාරද මුහුදට එකතුවීම නිසා ඒවායින්ද මුහුදු පරිසරයට සැලකිය යුතු හානියක් සිදුවිය හැකි බවද පැවසුවාය.

මේ වනවිටත් මුහුදේ තුනී තෙල් තට්ටුවක් විසිරෙමින් පැවතියද එය යථා තත්ත්වයට පත්කිරීමේ හැකියාවක් නැති බවද ඇය කීවාය. නැව ගිලී ඇත්තේ මුහුදේ ගැඹුර මීටර් 25කට මෙපිටින් බවත් එය මීටර් 21ක ගැඹුරක් බවද කියූ ඇය නාවික ගමනාගමනයට ඉන් බාධාවක් වෙන බවද කීවාය.

නැව විනාශවීම නිසා සිදුවූ හානිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා අවශ්‍ය නීතිමය කටයුතු කිරීම වෙනුවෙන් අවශ්‍ය පරීක්ෂණ පැවැත්වීමට විශේෂඥයන් හතළිහකගේ පමණ උපදේශකත්වයෙන් යුතු කමිටු 11ක් පත්කර ඇති බවත් ඒ කමිටු සාමාජිකයන් තමන්ට පැවරී ඇති විෂය ක්ෂේත‍්‍රය ගැන පරීක්ෂණ සිදුකර අවශ්‍ය වාර්තාවන් සපයනු ඇති බවද ඇය කීවාය.

එක්ස්ප‍්‍රස් පර්ල් නැවේ සුළු ගින්නක් ඇතිවෙමින් තිබෙන බව නැවේ කපිතාන්වරයා මෙරටට දැන්වූ විට නැව හා එහි තිබූ භාණ්ඩ සම්බන්ධයෙන් අවදානම් විශ්ලේෂණයක් (Risk Analysit) සිදුකර ඇත්තේදැයි ඇයගෙන් විමසූ විට පැවසුවේ තමන් එවැන්නකට සම්බන්ධ නොවූ බවය.

එවැනි අවදානම් විශ්ලේෂණයක් සිදු කළ යුතු නැවත වෙළෙඳ ලේකම් කාර්යාලයෙන් එවැන්නක් සිදුකර ඇති නම් එය ඇය වෙත ලබාදී හෝ එවැන්නක් නාවික වෙළෙඳ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලූවේදැයි විමසූ විට ඇය පැවසුවේ තමන්ට එවැන්නක් ලැබී නැතිවා සේ ම අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන්ද ඉල්ලා සිටියේ නැති බවය.

මීට පෙර ශ‍්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනිගෙන අනතුරට පත්වූ බ්ලූ ඩයමන්ඞ් නැව සම්බන්ධයෙන්ද මෙවැනි අදූරදර්ශී ක‍්‍රියාමාර්ග ගැනීම නිසා තවමත් ඒ සඳහා වූ වන්දියක් ලබා ගැනීමට ශ‍්‍රී ලංකාවට නොහැකි වී තිබේ. දැනට ඒ වෙනුවෙන් මෙරටට ලැබී ඇත්තේ එහි ගින්න නිවා දැමීම වෙනුවෙන් වන රුපියල් මිලියන 422ක් පමණක් බවද ඇය කීවාය.

පාරිසරික නඩු වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥයකු වන දාබරේගෙන් විමසූ විට පැවසුවේ බ්ලූ ඩයමන්ඞ් නැව් විනාශය වෙනුවෙන් පවා තවමත් මෙරටට ලැබී ඇත්තේ ඩොලර් බිලියන තුනක් වැනි මුදලක් බවය. එක්ස්ප‍්‍රස් පර්ල් නැවේ සිද්ධියේදී වුව මෙරට රාජ්‍ය ආයතන විශේෂයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව පවා කටයුතු කරන ආකාරය ගැන සෑහීමකට පත්විය නොහැකි බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here