නිමල් අබේසිංහ

කොළඹ වරායට ඇතුළුවීම සඳහා නැංගුරම්ලා සිටියදී ගිනිගෙන විනාශ වූ එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව ගැන ඇතිවෙමින් තිබෙන කතාබහ අතිවිශාලය. ආණ්ඩුව සම්බන්ධ පුද්ගලයන් මෙන්ම ඉන් පරිබාහිර පිරිස් ද මේ අය අතර සිටිති.

පුදුමය වන්නේ මේ සම්බන්ධයෙන් වගකිවයුතු ප‍්‍රධාන පුද්ගලයකු වන වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (Shipping Merchant Director Gernal) අජිත් සෙනෙවිරත්න නැව ගිනි ගැනීම සම්බන්ධයෙන් පවසන්නේ කුමක්දැයි තවමත් පැහැදිලි නැතිවීමය.

මේ ගැටලූව අරභයා කතිකාවක් ඇරඹීමට පෙරාතුව වෙළෙඳ නාවුක ක්ෂේත‍්‍රයේ ක‍්‍රියාත්මක වන සම්මත ජාත්‍යන්තර නීති රීති හා ඒවායේ ශ‍්‍රී ලංකාවට ඇති සබඳතාව ගැන අදහසක් ඇති කර ගත යුතු ය. වෙළෙඳ නැව් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ ක‍්‍රියාත්මක වන ප‍්‍රධාන ආයතනයක් වනුයේ IMO (International Maritime Organization)ආයතනයය.

මෙය නාවික ආරක්ෂාව හා සුරැකීම සම්බන්ධයෙන් හා විනාශයන් වළක්වා ගැනීම වෙනුවෙන් පිහිටුවා ගන්නා ලද ජාත්‍යන්තර සංවිධානයකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ විශේෂ ඒජන්සියකි. ශ‍්‍රී ලංකාවද මෙම ඒජන්සිය සමග බැඳී සිටී.

SOLAS (The International Convention for the Safety of Life of Sea)සමුද්‍රීය ජීවිත ආරක්ෂාව හා සුරැකීම පිිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය.

MARPOL (The International Convention for the Prevention of Pollution from Ships) නාවික ක්ෂේත‍්‍රයේදී නැව්වලින් සිදුවිය හැකි පාරිසරික හානි හා අනතුරු වළක්වා ගැනීම පිළිබඳ ප‍්‍රධාන ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය.

ශ‍්‍රී ලංකාවද මෙම ප‍්‍රඥප්තීන්ට අනුකූලව ක‍්‍රියා කිරීමට බැඳී සිටී.

නාවික ගැටලූ සම්බන්ධයෙන් ක‍්‍රියාකිරීමට ශ‍්‍රී ලංකාව අවබෝධතා ගිවිසුමකට අත්සන් කර ඇත. එහි අනෙකුත් සාමාජික රටවල් වන්නේ ඕස්ටේ‍්‍රලියාව, එරිත‍්‍රියාව, ඉන්දියාව, සුඩානය, දකුණු අප‍්‍රිකාව, ටැන්සානියාව,subequently, mauritius, ඉරානය, කෙන්යාව, මාලදිවයින, ඕමානය, යේමනය, ප‍්‍රංශය, බංග්ලාදේශය, Comoros මොසැම්බික්, සීෂෙල්ස්, මියන්මාරය, මැඩගස්කරය යන රටවල්ය.

ශ‍්‍රී ලංකාවේ වෙළෙඳ නාවික කටයුතු පරිපාලනය කරන ප‍්‍රධාන ආයතනය වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය වේ. එය 1971 අංක 10 දරන නැව් ඒජන්තවරුන්ට බලපත‍්‍ර දීමේ පනත සහ 1983 අංක 40 දරන අද්මිරාල්හි අධිකරණ බලය පිළිබඳ පනතේ අදාළ වගන්ති සහ ඉන්පසුව පනවන ලද රෙගුලාසි ක‍්‍රියාත්මක කිරීමේ බලය මෙම ලේකම් කාර්යාලයට පැවරේ.

මුහුදේ යාත‍්‍රා කරන ජීවිතවල හා දේපළවල ආරක්ෂාව, සමුද්‍රීය අධ්‍යාපනය සහ පුහුණුව, ප‍්‍රවීණත්වය, ඇගයීමෙන් පසුව සහතික දීම, ශ‍්‍රී ලංකා ධජය යටතේ නැව් ලියාපදිංචි කිරීම, නැව් ඒජන්තවරුන්ට, නැව් බඩු මෙහෙයුම්කරුවන්ට, බහාලූම් මධ්‍යස්ථාන හා පර්යන්ත මෙහෙයුම්කරුවන්ට, නැව් බඩු ඉදිරිපත් කරන්නන්ට, යාත‍්‍රා ක‍්‍රියාකරුවෙකු නොවන පොදු ප‍්‍රවාහකයන්ට, වාර්ෂික බලපත‍්‍ර නිකුත් කිරීම සහ අදාළ වන සියලූ ජාතික ජාත්‍යන්තර සම්මුති සහ රෙගුලාසිවලට අනුගතව ක‍්‍රියාත්මකවීම පිළිබඳ සුවිසල් වගකීම් රැසක් නාවික වෙළෙඳ ලේකම් කාර්යාලයට පැවරේ.

මේ සුවිශාල කාර්යභාරය සමග වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට පැවරී ඇති වගකීම් සමුදාය සමග එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවේ සිද්ධියෙන් වෙළෙඳ නාවික වෙළෙඳ අධ්‍යක්ෂ ජනරාල්ට පහසුවෙන් ගැලවී යා නොහැකිය.

ඒ අනුව ඉහත ජාත්‍යන්තර ප‍්‍රඥප්ති අවබෝධතා ගිවිසුම් ප‍්‍රකාරවත් ශ‍්‍රී ලංකාවේ පනවා ඇති අණ පනත්වලින් ඔහුට පැවරී ඇති බලතල ප‍්‍රකාරවත් මෙම නිලධාරියා කටයුතු කර ඇතිද?

නැවේ ගින්න පිළිබඳව එහි කපිතාන්වරයා කල්වේලා ඇතිව දැනුම් නොදුන්නේය යන්න කිසිසේත් පිළිගත නොහැකිය. එයට හේතුව නැවෙහි පූර්ණ අධිකාරිලත් නිලධාරියා සේ ම පූර්ණ වගකිවයුතු බලධාරියා ද ඔහු වන බැවින් ඊට අනිවාර්යයෙන් වගකියන්නට ඔහු බැඳී සිටී.

ඊළඟ වැදගත් ප‍්‍රශ්නය වන්නේ මෙම නැව සම්බන්ධව බැංකු ඇපකරයක් ලබා නොගැනීමය. එය ඉටුවිය යුතු ප‍්‍රධාන කොන්දේසියකි. නැව ගැන අසල්වැසි වරායවලින් වාර්තාවක් ඉල්ලූවේද යන්න අනෙක් ප‍්‍රශ්නයය. විශේෂයෙන් මේ නැව අවසානයට ගිය වරායෙන් නැව ගැන වාර්තාවක් ඉල්ලා සිටියේද? ශ‍්‍රී ලංකාව අත්සන් කර ඇති ජාත්‍යන්තර ගිවිසුම් අනුව එසේ කළ හැකිය.

ඒ අතරේ (OPRC 1990 ප‍්‍රඥප්තිය) තෙල් ඉහිරුම සඳහා සූදානම ප‍්‍රතිචාරය ඒ ගැන සහයෝගයෙන් කටයුතු කිරීම සම්බන්ධ ගිවිසුම, බංකර් තෙල් දූෂණය නිසා සිදුවෙන හානිය පිළිබඳ සිවිල් අධීක්ෂණතාව (2001) පිළිබඳ අන්තර් ජාතික ප‍්‍රඥප්තිය යන ඒවාට අනුවද ඔහුට කටයුතු කිරීමට ඉඩ ප‍්‍රස්ථාව තිබේ.

නැව ගිනි ගැනීමට පෙර නැවේ අන්තර්ගත බහාලූම් වෙනත් භාණ්ඩ ඇතුළුව අවදානම් ඇගැයීම් වාර්තාවක් (Risk Analyst Report) ලබා ගන්නට වෙළෙඳ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කර ඇති බවක්ද පෙනෙන්නට ඇත.

එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව ගිනි ගන්නා විට එහි කපිතාන්වරයා දැන්වූ විට ජාත්‍යන්තර ප‍්‍රඥප්තීන් අනුව ක‍්‍රියා කළේද? එසේ ක‍්‍රියා කළේ නම් ඊට සම්බන්ධ දුරකතන ඊමේල් පණිවුඩ පිළිබඳ දත්ත හා තොරතුරු තිබේද? එක්ස්ප‍්‍රස් පර්ල් නැවට බැංකු ඇපකරයක්, ලබා ගත්තේද? විශේෂයෙන්ම අවදානම් විශ්ලේෂණ වර්ග වාර්තාවක් සැකසුවේද යන ප‍්‍රශ්න විමසීම සඳහා නාවික වෙළෙඳ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න 2021.08.28 දින ඔහුගේ අංක 0714034140 දරන ජංගම දුරකතන අංකයට ඇමතුවෙමු.

දුරකතනයට ප‍්‍රතිචාර දැක්වූ විට අපගේ අනන්‍යතාව පිළිබඳව පැවසූ විට ඔහු කීවේ තව පැය භාගයකින් පසුව පෙරළා අපට කතා කරන බවය. පැයක් ගෙවීමෙනුත් පසුව ඔහුගේ දුරකතනයට ඇමතූමුත් ඔහු ප‍්‍රතිචාරයක් නොදැක්වීය.

අධ්‍යක්ෂ ජනරාල්වරයා ලියුම්කරුව මගහැරීමෙන් පෙනී යන්නේ ඔහු මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් දීමට දක්වන අකමැත්ත බව පැහැදිලිය. එහි බලගතු රහසක් තිබිය හැකිය.

(එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම නිසා සිදුවූ හානිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජාත්‍යන්තර විශේෂ මණ්ඩලය විසින් නිකුත් කර ඇති වාර්තාව ඇසුරින් ලියන ලද ඊළඟ ලිපිය බලාපොරොත්තු වන්න.)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here