සංවාදය : ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු

පසුගිය වසරේ ශ්‍රී ලංකා ආර්ථිකය දෙස ආපසු හැරි බැලීමක් කරන්නේ නම් ඔබට කිව හැක්කේ කුමක්ද ?


නිදහසින් පසු ලංකා ඉතිහාසයේ ආර්ථික ක්‍රියාකාරිත්වය මුළුමනින්ම නතරවු වසරක් ලෙස තමයි පසුගිය වසර ඉතිහාසයට එකතු වෙන්නෙ. මොකද ? කොවිඞ් 19 වසංගතය ලොව පුරා පැතිරීමත් සමඟ මාර්තු, අප්‍රේල්, මැයි යන මාස තුනක් මුළුමනින්ම රට අගුළු දැමිමක් කළා. සම්පූර්ණයෙන් අගුළු දැම්මාම ඕනෑම ආර්ථිකයක සිදු වන ක්‍රියාකාරකම් තුනක් තියෙනවා. නිෂ්පාදනය, පරිභෝජනය සහ හුවමාරුව යන ප්‍රධාන ක්‍රියාවලින් තුනටම විශාල සීමාවන් හා බාධාවන් ඇති වුණා. කර්මාන්තශාලා ක්‍රියාකාරිත්වය නතර වී නිෂ්පාදනය නතර වුණා. ඊළඟට කඩසාප්පු වසා දැම්මා. සිල්ලර, තොග වෙළදාම්, ආනයන සහ අපනයන ක්‍රියාවලිය දුෂ්කර වුණා. ඒ නිසා විනිමය හුවමාරු ක්‍රියාවලියට බාධා ඇතිවුණා. පරිභෝජනයන් තමන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ හැර අනෙකුත් පරිභෝජන භාණ්ඩ සීමා කිරීමට සිද්ධ වුණා. ඒ නිසා ආර්ථිකය, කෘෂිකර්මය, සුළු මධ්‍යම පරිමාණ කර්මාන්ත හා සේවා කියන සෑම අංශයක්ම කඩා වැටුණු නිසා ඒ ආර්ථිකය ඍණ ආර්ථිකයක් බවට පත්වුණා. චීනය හැර ලෝකයේ සෑම රටකම පාහේ ආර්ථිකයන් ඍණ තත්ත්වයක් තමයි ගත්තේ.


මේ ප්‍රශ්නයට විසඳුම් ලෙස ආණ්ඩුවේ සැලසුම් මොනවාද ?


2021 වසරේදි කොවිඞ් 19 කියා දෙන පාඩම තමයි ලිබරල්වාදි ආනයන අපනයන මත පවතින ආර්ථිකයේ අවධානම ඉතා විශාල ලෙස වැඩි බව. උදාහරණයක් ගතහොත්, අපේ රටේ නිපදවිය හැකි කෘෂිකාර්මික ද්‍රව්‍ය පවා පසුගිය රජය යටතේ පිටරටින් ගෙන්වීම සිදු කළා. හාල්, මුං ඇට, කහ, ලොකු ළුෑණු, උඳු යනාදි සියල්ල පිටරටින් ගෙනාවා. මේ උවදුරෙන් පසුවයි තේරුණේ, මේ රටේ හදාගත හැකි දේවල් නිපදවා ගත්තේ නැතිනම් යුද්ධයක් වසංගතයක් වගේ දෙයක් ඇති වුණාම මිනිසුන්ට නොකා නොබී ජීවත්වෙන්න බැරි තත්ත්වයන් ඇති වෙනවා කියලා. ඒ නිසා ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව, කොවිඞ් 19 එන්න කලින් 1977 න් පස්සේ පළමුවැනි වතාවට මේ රටේ නිෂ්පාදනය කළ හැකි කෘෂිකාර්මික භාණ්ඩ ආනයනය කිරීම නතර කළා. උදාහරණ වශයෙන් කහ, උඳු, කජු, ගම්මිරිස්, හාල් යනාදි ද්‍රව්‍ය ආනයනය කිරීම සම්පූර්ණයෙන් තහනම් කළා. ඒවා මේ රට ඇතුළේ නිෂ්පාදනය කරන්න කියලා ගොවීන්ට උපරිම මිලක් ඒවාට ලබා දුන්නා. ඒ නිසා දැන් මේ වන විට කහ නිෂ්පාදනය කරලා පාරවල් අයිනෙන් කහ ගොඩවල් අලෙවි කිරීම සඳහා තියාගෙන ඉන්නවා. තව අවුරුද්දක් දෙකක් යනවිට අපි කහවලින් ස්වයං පෝෂිත වෙනවා පමණක් නොවේ. කහ අපනයනය කරන්න පුළුවන් තත්ත්වයකුත් ඇති වෙනවා. ඒ වගේම පසුගිය කාලයේ හඳුන්කුරු පවා පිටරටින් ගෙනාවා. එක හඳුන්කූරක්වත් දැන් පිටරටින් ගේන්නෙ නැහැ. දැන් හඳුන්කූරු පිටරටවලට අපනයනය කරනවා. ඒක ක්ෂණිකව ප්‍රතිඵල ලබන්න බැරි වුණත් ඒ ක්‍රමවේදය නිවැරදියි. ජාතික ආර්ථිකයක් ගොඩ නැංවීම සඳහා වන දිශානතිය කරා ගමන් කරන්න 2021 දී බලාපොරොත්තු වන්නේ.


දේශීය සම්පත් සහ දේශිය මිනිස්සු සමඟ පදනම් වූ ජාතික අර්ථිකයක් ගොඩ නගනවා කියන්නේ අලුත් කර්මාන්ත, ව්‍යාපාර ආයෝජන යනාදි සියල්ලටම සෞභාග්‍යයේ දැක්ම තුළින් සැලැස්ම හදලා තියෙනවා. ජනතා සහභාගිත්ව සංවර්ධන වැඩසටහනක් තමයි ක්‍රියාත්මක කරන්නේ. ගම සමඟ පිළිසඳරක් කර ගමේ මූලික අවශ්‍යතා මොනවාද කියලා හඳුනාගෙන ග්‍රාම කමිටු පිහිටුවා ලබන වර්ෂයේ ප්‍රමුඛතාවය ලබා දිය යුතු වැඩ මොනවාද කියලා පන්සලේ පල්ලියේ රැස්වෙලා සාකච්ඡා කොට වාර්තාවක් හදලා ඒ අනුව ග්‍රාමසේවා වසම් 14,025 ට ආවරණය වන වැඩබිමක් බවට ලබන වසරේදි පත්වෙනවා.


2025 වසර අවසානය වන විට ඩොලර් බිලියන 23.5 ක ණය ගෙවීමට රජයට සිදුව තිබෙනවා. ඒත් විදේශ සංචිත තිබෙන්නේ ඩොලර් බිලියන 5 ක ප්‍රමාණයක් පමණයි. මේ ණය ගෙවා දැමිම සඳහා ආණ්ඩුව ගෙන ඇති පියවර මොනවාද ?


සංචිත කියන ඒවා ස්ථාවරව තිබෙන දෙයක් නොවේ. සංචිත ලංකා ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයක් තිබුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා රට බාර දෙන විට නිදහසෙන් පසුව වැඩිම සංචිත ප්‍රමාණයක් තිබුණේ. එහි අගය බිලියන 8.2 යි. එය ක්‍රමක්‍රමයෙන් අඩුවී විවිධ අවශ්‍යතා සඳහා යොදා ගෙන ඒක සමහර අවුරුදු වල බිලියන 7 හෝ 5 වුණා. දැන් බිලියන 5 ට වැඩි සංචිත ප්‍රමාණයක් තියෙනවා. සංචිත වැඩිකර ගත යුතුයි. ඒවා වැඩිකර ගැනීමට ආණ්ඩුව විදේශ රටවලින් මෙරටට එන විදේශ ව්‍යවහාර මුදල් වැඩිකර ගත යුතුයි. සංචිත වැඩි කර ගැනීමට, විදේශ ණය, විදේශ ආධාර, විදේශ ආයෝජන, විදේශ ගෙවුම් තුලනයේ අතිරික්තයක් කියන ක්‍රියාමාර්ග තුළින් සංචිත වැඩි කරගන්න ඕනේ. ඒ සඳහා අපනයන ප්‍රවර්ධනය කළ යුතුයි. ආනයන සීමා කළ යුතුයි. ඒ තුළින් ගෙවුම් ශේෂයේ හිඟය අඩු කර ගැනීමෙන් සංචිත වැඩි කරගන්න පුළුවන්.


ණය ගෙවිම සම්බන්ධයෙන් දේශපාලනඥයින්ට ක්‍රියාමාර්ගයක් නැහැ. මේකට තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රජයේ මුදල් නියෝජිතයා සහ මුල්‍ය උපදේශකයා වශයෙන් කටයුතු කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවයි. එහි රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව කියලා වෙනම දෙපාර්තමේන්තුවක් තියෙනවා. ඒ දෙපාර්තමේන්තුව තුළ සිටින්නේ ඉහළ දැක්මක් ඇති අය. ඒ අය විසින් සහ මේ සම්බන්ධ ප්‍රායෝගික අවබෝධයක් තියෙන අය විසින් ලංකාව කවදාවත් ණය ගෙවීම පැහැර හැරලා නැහැ. ඒ සඳහා ඔවුන් සැලසුම් කරලා විදේශීය ණය සැපයුම්කරුවෝ සමඟ සමහර ණය ප්‍රතිසැකසුම් කර ගනියි. සමහර ණය සඳහා කොවිඞ් වසංගතය හා වෙනත් හේතු නිසා ඇති වී තිබෙන පසුබෑම නිසා ඒ ණය සපයන ආයතන සමඟ ගනුදෙනු කරයි. එම ණය ගෙවන්න අවශ්‍ය සැලසුම ඒ අය සකස් කරයි.


කොවිඞ් 19 දෙවන රැල්ලේ වර්ධනයත් සමඟ රජයට ඩොලර් ආදායම ලැබෙන ඇඟලුම්, සංචාරක සහ විදේශීය ශ්‍රමික ක්ෂෙත්‍රයන් කඩා වැටීමකට ලක්ව තිබෙනවා. ලබන වසරේදි ඒවා නඟා සිටුවීම සඳහා ආණ්ඩුව ගෙන තිබෙන සැලසුම් මොනවාද ?


ප්‍රධාන ඩොලර් ඉපැයුම් මාර්ගයක් වන ජනවාරි සිට සංචාරක ව්‍යාපාරය ක්‍රමානුකූලව අදියරෙන් අදියර විවෘත කරනවා. තායිලන්තය, සිංගප්පූරුව සහ මාලදිවයින වැනි රටවල් සංචාරක ව්‍යාපාරවලට විවෘත කර තිබෙනවා. අපිත් ක්‍රම ක්‍රමයෙන් සංචාරක ව්‍යාපාරය දියුණු කොට ලබන වසර මැද වන විට නැවත වතාවක් ගිය වසරේ වඩාත් හොඳින් තිබුණු තත්ත්වයට සංචාරක ඉපැයුම් පත්වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඇඟලුම් සඳහා විශාල කඩාවැටීමක් සිදුවී නැහැ. මොකද ? ඇඟලුම්වල භාණ්ඩ විවිධාංගිකරණයක් සිදුවී තිබෙනවා. සම්ප්‍රදායික ඇඳුම් වෙනුවට කොවිඞ් 19 ට අදාළ මුහුණු ආවරණ ආරක්ෂිත ඇඳුම් කට්ටල යනාදි අලුත් නිෂ්පාදන සඳහා පෙළඹිලා තිබෙනවා. ඊළඟට අලුතින් වර්ධනයවී තිබෙන අංශයක් තිබෙනවා. ඒ තමයි තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය. ඒ සඳහා වු අපනයන වැඩිවි තිබෙනවා. මෘදුකාංග හදලා ඒවායින් විශාල ලෙස අපනයනය කරන තරුණ පිරිසක් බිහිවී තිබෙනවා. විදේශීය සේවා නියුක්ත අයගෙන් කොටසක් ආපසු පැමිණියා. ඉන්න අයගේ උපයෝගිතාවය වැඩිවී තිබෙනවා. ඒ අයගේ පවුල් සහ මේ අවස්ථාවේදි වැඩි මුදලක් අවශ්‍ය නිසා, ඒ වගේම විශාල ආයෝජකයෝ ප්‍රමාණයක් ආයෝජන මණ්ඩලය සමඟ ආයෝජනය කරන්න එකඟ වී තිබෙනවා. එම ආයෝජන ටික ලබන වසරේදි ලැබේවි. ලබන වර්ෂය තුළ රට ආපසු හැරවීමේ වසරක් ලෙස පාවිච්චි කිරීමටම අපට සිදු වෙනවා.


වෙළෙඳ අමාත්‍යංශයේ විෂය පථයට අදාළව ලබන වසර ඉලක්ක කරගනිමින් ඔබට තිබෙන සැලසුම් මොනවාද ?

අපනයන ප්‍රවර්ධන සඳහා අපනයන නිෂ්පාදන ගම්මාන දහසක් ලංකාව පුරා පිහිටුවීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපිට පැහැදිලි වැඩසටහනක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා රජයෙන් අපනයන සංවර්ධන පනත අනුව අපනයන සංවර්ධන අරමුදලට සෙස් බදුවලින් අයවන මුළු ආදායම බැර වෙන්න ඕනේ. මුළු ආදායම කෙසේ වෙතත් ඒ ආදායමෙන් අඩක් දෙන්න කියලා කැබිනට් පත්‍රිකාව ලබන සතිවල මම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. එය ලැබුණොත් අපිට අපනයන භාණ්ඩ හා වෙළඳපොල විවිධාංගිකරණය සහ නවොත්පාදක අපනයන කරන්න පුද්ගලික අංශයට විශාල සහන ප්‍රමාණයක් හා දිරිගැන්වීමක් ලබාදිය හැකියි.ඒ වගේම ඔවුන්ට අවශ්‍ය යන්ත්‍ර-සූත්‍ර මිලදි ගැනීම සඳහා පොලී රහිතව ණය ආධාර සැපයීමට මෙන්ම ජාත්‍යන්තර වෙළඳ සල්පිල් සහ ප්‍රදර්ශන යනාදියට සහභාගි කරවන්න පුළුවන්.


පුද්ගලික අංශයේ අපනයනකරුවන්ට විශාල දිරිගැන්වීමක් ලබාදීලා ගම් මට්ටමෙන් අපනයන නිෂ්පාදන ගම්මානයක් සංවිධානය කිරීමට සැලසුම් කර තිබෙනවා. එහි මූලික ඉලක්කය වන්නේ එවැනි ගම්මාන දහසක් ඇති කිරීමයි. අභ්‍යන්තර වෙළඳ ඇමැති තරුණ කටයුතු අමාත්‍යාංශයත් සමඟ ඒකාබද්ධවී තරුණ ව්‍යවසායකයන් සංවර්ධනය කිරීම සඳහා ගුණත්වයකින් යුත් භාණ්ඩ සාධාරණ අඩු මිලක් යටතේ ලබා දීම සඳහා කන්ටේනරයක් තුළ කුඩා සුපර්මාර්කට් එකක් තරුණයන්ට ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කොට එවැනි ූ-ියදච දහසක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා.


ජනාධිපතිලේකම්වරයාගේ ක්‍රියාකලාපය නිසා අමාත්‍යාංශවල වැඩ කටයුතු කර ගැනීමට හැකියාවක් නොමැති බවට අමාත්‍යවරුන් අගමැතිවරයාට පැමිණිලි කර තිබෙනවා. ඒ අමාත්‍යවරුන් අතර ඔබද සිටින බව පැවසෙනවා. මෙම තත්ත්වය ජය ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග වශයෙන් ඔබ යෝජනා කරන්නේ මොනවාද ?


පාර්ලිමේන්තුව ශක්තිමත් කළ යුතුයි. පිස්සු කරන විපක්ෂයක් වෙනුවට ආණ්ඩුව විපක්ෂයේ භූමිකාවක් කළ යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ලැබෙන බලතල අනුව. මුදල් පිළිබඳ බලය තිබෙන්නෙ පාර්ලිමේන්තුවටයි. පාර්ලිමේන්තුවට, කෝප් කමිටුවට, රාජ්‍ය ගිණුම් කාරක සභාවට ඕනෑම නිලධාරියකු ගෙන්වා ප්‍රශ්න කරන්න පුළුවන්. පාර්ලිමේන්තුව ඇතුළටත් ගෙන්වන්න පුළුවන්. උදාහරණයක් විදියට, ජේ. ආර්. ජයවර්ධනගේ යුගයේදි ඔරුවල වානේ සංස්ථාවේ සභාපති මහාචාර්යතුමා පාර්ලිමේන්තුවේ ලොබිය ඇතුළට ගෙනල්ලා ප්‍රශ්න අහලා තිබෙනවා.


පාර්ලිමේන්තුව නිසි ලෙස හසුරුවා ගත්තොත් නිලධාරින්ට සහ බලධාරින්ට අවශ්‍ය ලෙස තමන්ගේ අභිමතය ක්‍රියාත්මක කරන්න බැහැ. ව්‍යවස්ථාවෙන් මුදල් පිළිබඳ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. අවාසනාවකට පාර්ලිමේන්තුවට තිබෙන බලය ගැන දන්නේ නැති නිසා විවිධ නිලධාරින්ට යටවී ඉන්නේ.


ආණ්ඩුවෙ මුදල් කියන්නෙ මහජනයා බදු වශයෙන් ගෙවන මුදල්. ඒ ගෙවන මුදල් පාර්ලිමේන්තුවේ අභිමතය පරිදි මිසක් නිලධාරීන්ගේ අභිමතය පරිදි හසුරුවන්න ඉඩදීලා තියෙන එක තමයි පසුගිය කාලයේ කර තිබෙන වැරැද්ද. එම වැරැද්ද ඉදිරි කාලයේදි නිවැරදි කරගන්න අපි කටයුතු කරනවා.

1 COMMENT

  1. මෙයා කියන විදිහට ලංකාවේ බඩු ගෙන යන්න හිස් නැව් ලංකාවට එනවා….. පිළිගන්න මුග්ධයින් තවත් ඉන්නවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here