කෝසල කුරුවිට බණ්ඩාර/ ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු

රාජිත සේනාරත්න අමාත්‍යවරයා හැරුණු විට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන අනෙකුත් පක්ෂ වල සියලූ නායකයන්ගේ සහය සජිත් පේ‍්‍රමදාස මහතාට හිමිව ඇතැයි වාර්තා වේ.


ඒ අනුව රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, රිෂාඞ් බදුර්දීන්, පී. දිගම්බරන්, පී. රාධකි‍්‍රෂ්ණන් යන නායකයන් නියෝජනය කරන පක්ෂවල පමණක් නොව චම්පික රණවක ඇතුළු හෙළ උරුමයේ සහයද ඔහුට ලැබී ඇතැයි එජාපෙ නායකයෙක් රාවයට කීය. මීට අමතරව අර්ජුන රණතුංග අමාත්‍යවරයාගේ සහයද සජිත් පේ‍්‍රමදාස මහතා වෙත ලැබී ඇත. මීළගට පැවැත්වෙන එජාපෙ නායක රැුස්වීමට සජිත් පේ‍්‍රමදාස මහතාට ද ආරාධනා කර ඇති අතර ලබන සතිය මුල වන විට එජාප සහ එජාපෙ අපේක්ෂක ප‍්‍රශ්නය විසෙදනු ඇතැයි අජිත් පී. පෙරේරා අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.
ජාතික හෙළ උරුමයේ ප‍්‍රකාශක නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ කියා සිටියේ අපේක්ෂකයා නම් කිරීම මෙසේ කල් දමමින් එජාප නායකයා, ප‍්‍රජාතන්ත‍්‍රවාදී කදවුරට දේශපාලන අපරාධයක් සිදු කරමින් සිටින බවය. දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් රාවයට පැවසුවේ ජනාධිපති අපේක්ෂකයා නම් කරන තුරු ඒ පිළිබද අදහස් පළ නොකරන බවය.


මේ අතර එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිසක් රනිල් වික‍්‍රමසිංහ මහතාට සහය පළ කරමින් ලිපි භාර දී ඇතැයි එජාපයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු පැවසීය. මේ වන විට එජාප පාර්ලිමේන්තු කණ්ඩායමෙන් 65%ක් පමණ එම ලිපි භාර දී ඇතැයි ද සජිත්ට මීට පෙර සහය පළ කළ අයද ඒ අතර සිටින බව ඔහු සදහන් කළේය. කෙසේ වෙතත් රනිල් වික‍්‍රමසිංහ මහතා හා සජිත් පේ‍්‍රමදාස මහතා අතර සාකච්ඡුාවේදී, එජාප නායකයා පවසා ඇත්තේ එජාප ජ්‍යෙෂ්ඨයන්ගේ හා එජාපෙ පක්ෂවල සහය ලබාගෙන පැමිණෙන ලෙසය. පක්ෂ නායකත්වය ඉල්ලීම, සජිත් පේ‍්‍රමදාස මහතා එහිදී ඉවත් කරගෙන ඇති අතර ඊළග මහ මැතිවරණය තෙක් අගමැති ධුරය වෙනස් නොකරන බවට පොරොන්දු වී ඇතැයි ද වාර්තා වේ.