කුසල් පෙරේරා


වඩාත්ම සාර්ථක කොවිඞ්-19 එන්නත පළමුව හඳුන්වා දීමේ ගෝලීය පොරයක් යෝධ ඖෂධ සමාගම් අතර දැන් දියත්ව ඇත. ලොව වඩාත්ම දූෂිත ක්ෂේත්‍රයක් ලෙස සැලකෙන හා “ඖෂධ මාෆියාව” යැයි නමක් පට බැඳී ඇති යෝධ ඖෂධ සමාගම් හා ගැට ගැසුණු ඉහළ පෙළ වෘත්තිකයින්ද ඉන්නා මේ ක්ෂේත්‍රයෙහි කොවිඞ්-19 එන්නත වෙළෙඳපොළට එනු ඇත්තේද එවැනිම දූෂණ සමගින්ය. එනිසාදෝ විද්වත් හා වෛද්‍ය ක්ෂේත්‍රයන්හිද එන්නතක් ගැන වැදගත් සාකච්ඡාවක් අසන්නට නැත. ඕනෑම බොරුවක් සමාජය හමුවේ තබා කොවිඞ්-19 පාලනයට සම්බන්ධ විවිධාකාර ජාවාරම් කෙරෙන්නේද එබැවින්ය.


ලෝක සෞඛ්‍ය සංවිධානයේ (2020) නොවැම්බර් 12 වන දින එන්නත් වර්ධනයෙහි තත්ත්ව සටහනට අනුව පර්යේෂණාගාර මට්ටමින් සාර්ථක යැයි පැවසෙන “අපේක්ෂක එන්නත්” (Candidate vaccines) 48 ක් ඇත. ඒවායින් 11 ක් චීන විශ්වවිද්‍යාල හා ඔවුන්ගේ ඖෂධ සමාගම් විසින් වර්ධනය කෙරෙන එන්නත් ය. ඊට අමතරව ඉන්දියාවේ හා කියුබාවේ එන්නත් 02 බැගින් වර්ධනය කෙරේ. ඉතිරිවා ඇමෙරිකාව, එංගලන්තය, ඊශ්‍රායලය, රුසියාව, නවසීලන්තය, ජර්මනිය, කැනඩාව වැනි රටවල පර්යේෂණ ආයතන ගණනාවක යෝධ ඖෂධ සමාගම් සමග හවුල් ව්‍යාපෘති ලෙස වර්ධනය කෙරෙති. මේවා අතර ඇති තරගය කෙතරම් දැයි කිවහොත් වෙළෙඳපොළ තරගයෙන් ඉදිරියේ සිටින්නට ඇතැම් සමාගම් දැනටමත් තම එන්නත රාජ්‍ය නායකයින් අතර ප්‍රවර්ධනය කිරීම සඳහා වන ප්‍රකාශ කිරීම් හා ගනුදෙනු ආරම්භ කර ඇත.


ලෝකයේ විශාලතම ඖෂධ සමාගම් 05න් එකක් වන ඇමෙරිකාවේ විශාලතම සමාගම වන “ෆයිස සමාගම” ජර්මානු “බයෝෆාමසියුටිකල් නිව් ටෙක්නොලොජීස්” සමග හවුලේ වර්ධනය කළ අපේක්ෂක එන්නත තෙවන අදියරෙහි සායනික පර්යේෂණ අවසන් කළ බවත් එහි ප්‍රතිඵල අනුව එම එන්නතෙහි සුවවීමේ ශක්‍යතාව සියයට 95 ක් බවත් පසුගිය 18 වන දා නිවේදනය කළහ.


මේ අතර, “මොඩ(ර්)නා” ඖෂධ සමාගම වර්ධනය කළ අපේක්ෂක එන්නතෙහි සුවවීමේ ශක්‍යතාව සියයට 94.5 ක් බවත් “ඇස්ට්‍රා සෙනෙකා” ඖෂධ සමාගම සමග හවුල් වූ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයීය පර්යේෂණ කණ්ඩායම වර්ධනය කළ අපේක්ෂක එන්නත දෙවරකින් සම්පූර්ණ කිරීමට පළමු වාරයෙන් දෙසතියකට පසු දෙවන වර ගත් විට සියයට 99 ක සුවවීමේ ශක්‍යාවක් පෙන්නුම් කරන බවත් වාර්තා කර ඇත. රුසියානු “ගමාලෙයා” (ස්පුට්නික් V) අපේක්ෂක එන්නත සියයට 92ක ප්‍රතිචාරයක් දක්වා ඇතැයිද වාර්තා විය.


තෙවන අදියර පර්යේෂණ සියල්ල නිම කිරීම සඳහා වෙනත් රටවල ප්‍රජා කණ්ඩායම්වල ස්වේච්ඡා නියැදි සමගින් අවසන් වටයේදී කළ යුතු අත්හදා බැලීම් ඇත. කොවිඞ්-19 එන්නත් වර්ධනයෙහි ඉදිරි පෙළ තරගකරුවකු වන චීන රාජ්‍ය සමාගමක් වන “සිනොවැක් බයෝටෙක්” සමාගම ඒ වෙනුවෙන් තුර්කියේත් ඉන්දුනීසියාවේත් අත්හදා බැලීම් කරති. ඊට අමතරව කොවිඞ්-19 ශීඝ්‍රයෙන් පැතිර ගිය 1,62,000ට වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වන බ්‍රසීලයෙහිද ඔවුහු එම අත්හදා බැලීම් කරති. “බුටන්ටාන් සමාගම” හා හවුලේ එම අත්හදා බැලීම් කෙරෙන්නේ සාඕ පාවුලෝ ප්‍රාන්තයේ ය. එම අත්හදා බැලීම් සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයින් 10,000 ට අධික සංඛ්‍යාවක් ඇත. ඉකුත් 29 වන දින ඉන් එක් පුද්ගලයකු මියගියේ යැයි ඔවුන්ගේ අත්හදා බැලීම් අත්හිටවනු ලැබිණ. එම පුද්ගලයා සිය දිවි නසා ගෙන ඇතැයි ඔප්පු වූයෙන් දින කිහිපයකට පසු නැවත එම අත්හදා බැලීම් ආරම්භ කිරීමට අවසර දෙනු ලැබිණ.


එවැනි අකරතැබ්බ මෙවැනි යෝධ පර්යේෂණවල නොවෙනවා නොවේ යැයි ඒ සම්බන්ධ ප්‍රකාශයක් කළ බුටන්ටාන් සමාගමේ ප්‍රධාන විධායක ඩිමාස් කෝවාස් මාධ්‍යයට කියා තිබුණි. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයකු සම්බන්ධ එවැනි සිදුවීමක් හේතුවෙන් ඇස්ට්‍රා සෙනෙකා සමග හවුල් වූ ඔක්ස්ෆඞ් විශ්වවිද්‍යාලයීය පර්යේෂණද සැප්තැම්බරයේදී එලෙසින්ම නතර කෙරිණ. එයද පසුව නැවත ආරම්භ කරනු ලැබිණ. අවසන් අත්හදා බැලීමේ සාර්ථකත්වය වෙනුවෙන් චීන සිනොවැක් සමාගමට අමතරව, ෆයිස හා ඇස්ට්‍රා සෙනෙකා සමාගම්ද ඔවුන්ගේ එන්නත් බ්‍රසීලයෙහි අත්හදා බලති.


සුවවීමේ ශක්‍යතාවට අමතරව මේවායේ සාර්ථකත්වය තීන්දු වන තවත් සාධක ඇත. කෙතරම් සීතලක මෙම එන්නත් ගබඩා කළ යුතුද හා එලෙසින් කෙතරම් කාලයක් තබා ගත හැකිද යන කාරණාව එකකි. සියයට 95 ට වැඩි සාර්ථකත්වයක් ඇතැයි පවසන ෆයිස හා අනෙක් බොහෝ එන්නත් සෙල්සියස් අංශක සෘණ 70 ක අධි සීතලක ගබඩා කළ යුතුය. එහෙත් මොඩ(ර්)නා එන්නත සෙල්සියස් අංශක සෘණ 20 ක සීතලෙහි 06 මසක් තබා ගත හැකිය. ඒ වගේම සම්පූර්ණ එන්නත සඳහා වාර කීයක් කොපමණ කාලයක් ඇතුළත දිය යුතුද යන්නත් ඉතා වැදගත් සාධකයකි. තනි වාරයක එන්නත් කිහිපයක් ඇත. එහෙත් ඒවා තවම අවසන් අදියර අත්හදා බැලීම් දක්වා පැමිණ නැත. බොහෝමයක් එන්නත් සති 02 කින් දෙවැනි කොටස ලබා දිය යුතු එන්නත් ය. ෆයිස එන්නතේ දෙවැන්න දිය යුත්තේ සති 03 කින් ය. මේ බොහෝ සාධක ප්‍රවාහනයේ සහ ගබඩා කිරීමේ කාර්යන් සඳහා අතිශය වැදගත් ය.


කිසිදු එන්නතක් තවමත් මනුස්ස භාවිතය සඳහා සුදුසු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසන් අනුමැතිය හා නිර්දේශය ලබා නැත. තරගය ඇත්තේ ඒ සඳහාය. චීනයද ඒ සඳහා තරග වැද සිටින අතර, චීන ජනතාව අතර විශාල වශයෙන් ඔවුන්ගේ සිනොවැක් එන්නත භාවිත කෙරෙන්නේ යැයි වාර්තා ඇත. සියයට 90 ට වැඩි සාර්ථකත්වයක් ඇතැයි පර්යේෂණ මගින් සනාථ වී ඇති බැවින් ඔවුන් එය කොවිඞ්-19 සඳහා විසඳුමක් ලෙස යොදා ගන්නා අතරම එය සමාජ භාවිතයේදී කෙතරම් සාර්ථකද යන්නත් ඒ අතරම නිරීක්ෂණය කරමින් සිටින බවට තවත් වාර්තා ඇත.
පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී වාසුදේව ඇමති කතා කරන්නට ඇත්තේත් විපක්ෂයේ ෆොන්සේකා මන්ත්‍රී වාසුදේව ඇමති හා පැටලෙන්නට ඇත්තේත් චීනයේ මේ සිනොවැක් අපේක්ෂක එන්නත සම්බන්ධයෙන් විය යුතුය. දැනට එය මෙහි භාවිත කළ හැක්කේ තුර්කියේ, ඉන්දුනීසියාවේ හා බ්‍රසීලයේ මෙන් අවසන් අත්හදා බැලීමේ අදියර ලෙස පමණි. එහෙත් එයටද ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන ස්ත්‍රී පුරුෂ දෙතුන් දාහක් හෝ අවම වශයෙන් සිටිය යුතුය. ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වන්නේ යැයි පුද්ගලයින් නිකම්ම පර්යේෂණ සඳහා ගාල් කළ නොහැක. ඒ සඳහා විශ්ව සම්මතයක් වන ආචාර ධර්ම කොන්දේසි සමූහය ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින්ද පනවා ඇත. සෑම පුද්ගලයෙකුම එම කොන්දේසිවලට එකඟවූ බවට ලිඛිත කැමැත්තක් පර්යේෂකයින්ට ලබාදී තිබිය යුතුය.


එන්නත් කිහිපයක් මහ පරිමාණ මනුස්ස භාවිතයට ගත හැකි කාල වකවානු ගැන අනුමාන කිරීම් ඇත. යෝධ ඖෂධ සමාගම් ඔවුන්ගේ කොවිඞ්-19 එන්නත වර්ධනය කරන අතරතුර ඊට සමගාමීව ඔවුන්ගේ වාණිජ නිෂ්පාදන හැකියාවන්ද දියුණු කරමින් සිටිති. එහෙයින් සාමාන්‍ය ඖෂධ වර්ධනයේදී ඒ සඳහා ගතවන අවම අවුරුද්දක පමණ වැඩිපුර කාලය ඔවුන් ඉතිරි කරගනෙ ඇත. අධි ලාභ සඳහා මේ සමාගම් තරග වදින වේගය අනුව, සාර්ථක එන්නතක් වෙළෙඳපොළට පැමිණිය හැක්කේ 2021 දෙවන කාර්තුවෙහි යැයි දැනට ඇති අනුමානයකි.


එහෙත් ඒ ගැන කතා කළ යුතු ඉතාම වැදගත් කාරණාව වන්නේ ලබන සිංහල අවුරුද්ද පසුවන විට හෝ අපට එන්නතක් ලබාගත හැකි වුවහොත් එය ශීඝ්‍රයෙන් භාවිත කිරීමේ සංවිධාන ව්‍යුහයක් අපට තිබේද හා එය සහතික කරගන්නේ කෙසේද යන්නය. එවගේම එන්නත ලබාදීමේ ප්‍රමුඛතා කවරේද යන්න ගැනය. බි්‍රතාන්‍ය මේ වනවිට ෆයිස එන්නත් මිලියන 10 ක් මේ වසර අග වන විට ඉල්ලුම් කර ඇත. තවත් මිලියන 30 ක් ලබන වසර සඳහාද ඇණවුම් කර ඇත. ඒ ඔවුන්ගේ ප්‍රමුඛතා අනුව සෞඛ්‍ය සේවක සේවිකාවන් හා කොවිඞ්-19 වසංගත කටයුතු සඳහා හවුල් වන වෘත්තිකයන් වෙනුවෙනි. ඒ සමග වයස අවුරුදු 80 ක් පිරි සහ දියවැඩියාව ඇති පුද්ගලයින්ට එන්නත ලබා දීමද ඔවුන්ගේ ප්‍රමුඛතාවකි. ඇමෙරිකාවද මාසිකව එන්නත් මිලියන 20 ක් ෆයිස සමාගමෙන් ලබා ගැනීමට පියවර ගෙන ඇත. ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා ලේකම් ඇලෙක්ස් අසාර් මාධ්‍යයට පවසා තිබූයේ ඔවුන්ගේ ආහාර හා ඖෂධ පරිපාලනාධිකාරයේ (Food and Drug Administration) පූර්ණ අනුමැතිය ලැබෙන තෙක් තාවකාලිකව එවැනි පියවර ගෙන ඇති බවය. එම තාවකාලික පියවර ගෙන ඇත්තේ සෞඛ්‍ය සේවක සේවිකාවන් හා සෞඛ්‍ය අංශයේ වෘත්තිකයන් සඳහා නොපමාව ප්‍රමුඛතාවක් ලබාදීමට යැයි සඳහන් වන්නේය.


අපද එවැනි ප්‍රමුඛතාවන් කල් තබා තීන්දු කළ යුතුව ඇත. ඒ සඳහා එන්නත් කිරීම් සංවිධානය කෙරෙන්නේ කෙසේද යන්නත් පූර්වයෙන් සැලසුම් කළ යුතු වන්නේය. එන්නත් ලබාදීම සඳහා දැනට කොවිඞ්-19 පාලනයේදී යොදා ගන්නා පිළිවෙත ඒ අකාරයෙන් යොදා ගත නොහැක. බහුලව වෙළෙඳපොළට පැමිණෙන එන්නත නියත වශයෙන්ම දෙවරකින් සම්පූර්ණ වන්නකි. ඒ සඳහා අවම දෙසතියක කාලයක් ගත විය හැක. එනිසා එන්නත ලබා දීමේ කාර්යෙහි දින වකවානු පුද්ගලයා අනුව නිවැරදිව ලේඛනගත කළ යුතුය. රට පුරා දිනකට එක් මධ්‍යස්ථානයක අවම සියයක් එන්නත් නොකර මසකින් හමාරකින් අවශ්‍ය සියල්ලන්ට එන්නත ලබාදී හමාර කළ නොහැක. එනිසා එන්නත් කිරීම් ගම් මට්ටමින් වේගයෙන් කළ යුත්තකි.


අපේ රටේ පෝලියෝ එන්නත වැනි ඉතා සාර්ථකව දියත් කළ එන්නත් ව්‍යාපාර තිබිණ. ඒවා දියත් කෙරුණේ රෝහල් හරහා වෛද්‍යවරුන් ප්‍රමුඛ ක්‍රියාකාරීන් යොදා ගැනීමෙන් නොවේ. 50 – 60 දශකයේ අප දියත් කළ එම එන්නත් ලබාදීමේ ව්‍යාපාර ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය තවමත් සඳහන් කරන්නේ ඒවා ආසියාවේ සංවිධානය කෙරුණු ඉතාමත් කාර්යක්ෂම ප්‍රජා සෞඛ්‍ය සේවාවන් යනුවෙනි. ඉතා ඉක්මනින් ගමේ අවශ්‍යතා හා ප්‍රමුඛතා නිවරුදිව හඳුනා ගෙන එවැනි ශීඝ්‍ර එන්නත් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කළ හැක්කේ ප්‍රජා සෞඛ්‍ය සේවාවන් මගිනි.

කොවිඞ්-19 එන්නත ලබාදීමත් එලෙසින්ම රෝග නිවාරණ ප්‍රජා සෞඛ්‍ය සේවාවේ ක්ෂේත්‍ර සේවකයින් සමග ගම් මට්ටමින් දියත් කළ යුතු දැවැන්ත ව්‍යාපාරයකි. එබැවින් සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයන්හි ක්ෂේත්‍ර සෞඛ්‍ය නිලධාරීන් ප්‍රමුඛතා ලේඛනයේ ඉහළින්ම තැබිය යුතු වන්නේය. ඒ සමග ඔවුන්ගේ සේවා තත්ත්වයන් හා පහසුකම්ද වහා දියුණු කළ යුතු වන්නේය. ඔවුන් සමග ප්‍රමුඛතා ලේඛනයේ ඉහළින්ම සිටිය යුතු අනෙක් පිරිස් වන්නේ හෙදියන් සහ රෝහල් හා ගිලන් රථ සේවක සේවිකාවන් වැනි දෛනිකව කොවිඞ්-19 පාලනයට හවුල් වන සෞඛ්‍ය සේවාවේ පිරිස්ය. ඊළඟට වෛද්‍ය වෘත්තිකයින් ය. ඉන් කිසි ලෙසකින් මෙතෙක් කොවිඞ්-19 වසංගතය පාලනය කිරීමට හවුල් වූ රාජ්‍ය ආරක්ෂක සේවාවන් අත හැරිය යුතු යැයි නොකියවේ. ඔවුන්ට එන්නත ලබාදීම ඔවුන්ගේම වෛද්‍ය කාණ්ඩ ඔස්සේ ප්‍රමුඛතාගත කළ හැකි වන්නකි.


මෙය සතියකින් දෙකකින් කළ හැක්කක් නොවේ. අවුරුදු 40 ට වැඩි කාලයක විවෘත වෙළෙඳපොළ විසින් වෙළෙඳපොළ භාණ්ඩයක් බවට සෞඛ්‍ය සේවය පත් කළ පසුව, රෝග නිවාරණය අත හැර දැමුණේ රෝගීන් සංඛ්‍යාව වැඩිවීමෙන් ලාභය වැඩි වන හෙයිනි. එබැවින් රෝහල්, ඇඳන්, වෛද්‍ය පර්යේෂණ සහ ඒ වෙනුවෙන් වැඩියෙන් වෛද්‍යවරුන් හැදීම සෞඛ්‍ය සේවාවේ ප්‍රධාන හා මූලික අවශ්‍යතාව බවට පත් කෙරුණි. එය ප්‍රායෝගිකව සිදුවූයේ නගර කේන්ද්‍රීය පෞද්ගලික ආයෝජන සමගින්ය. එනිසා කොවිඞ්-19 වසංගතය හමුවේ ඊට මුහුණදීමට හැකි සම්පත් රාජ්‍ය සෞඛ්‍ය සේවාවේ නොවිණ. සෞඛ්‍ය සේවාව වෙළෙඳපොළට බාර දුන් දියුණු යැයි පැවසෙන බටහිර යුරෝපීය රටවල්ද ඒ අර්බුදයට මුහුණ දුන්හ. එහෙත් මෙහි තර්කය ගොඩ නැගෙන්නේ “දියුණු රටවලටද ඔරොත්තු නොදෙන ගෝලීය ව්‍යසනයකදී අපට ඒ සඳහා මුහුණදීම අසීරු බැව් තේරුම් ගත යුතු යැයි” කීමෙනි.


එවැනි කියමන් මගින් සාර්ථක එන්නත් ව්‍යාපාරයක් රාජ්‍ය සෞඛ්‍ය සේවාව සමගින් හදා ගත නොහැක. අපේ ප්‍රශ්නය වන්නේ දියුණු රටවලට ඇති අපහසුව නොව, අතීතයේ අප පවත්වා ගත් දියුණු ප්‍රජා සෞඛ්‍ය සේවා අත හැර දැමීමය. එනිසා අද සිට අප මැදිහත් විය යුත්තේ රෝග නිවාරණ ප්‍රජා සෞඛ්‍ය සේවාව නැවත ශක්තිමත් කරමින් ලබන වසර ආරම්භ කිරීමේ ප්‍රමුඛතා සකසා ගැනීමටය. ඒ වෙනුවෙන් තීන්දු ගැනීමට අවශ්‍ය යාන්ත්‍රණයක් තහවුරු කර ගැනීමට ය.