දිනී ජයසේකර

පැතිර යන නව කොරෝනා ප්‍රභේදයේ බලපෑම සම්බන්ධව පැහැදිලි කිරීමක් කළ හැකිද?

සාමාන්‍ය වෛරස් රෝගවල ස්වභාවය තමයි ඔවුන්ගේ ජයග්‍රහණය සදහා අවශ්‍ය වෙනස්කම් වෛරස් එක විසින්ම නිර්මාණය කර ගනිමින් ඉදිරියට යෑම. එහි ලක්ෂණයක් විදියටයි විකෘති ප්‍රභේද ඇතිවෙන්නේ. කොරෝනා විතරක් නෙවෙයි බොහෝ වෛරස් රෝග අපට එරෙහිව විකෘති තත්ත්ව ඇති කරගෙන වෙනස් වෙමින් ඉස්සරහට යනවා. එහිදී කොවිඩ්වලටත් මේ තත්ත්වය පොදුයි. ලෝකයේ මේ වෙනකොට අලුත් වෛරස් ප්‍රභේද ගණනාවක් හමු වුණා  සහ හමුවෙමින් තිබෙනවා. ආසන්නතම වශයෙන් ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් වල තිබෙන ප්‍රභේදයයි එංගලන්තයෙන් හමුවූ වෛරස් ප්‍රභේදයයි එකතුවෙලා දෙමුහුන් විකෘතියකුත් බිහි වෙලා තිබෙනවා. මේ වෛරස් ප්‍රභේදය දකුණු අප්‍රිකාවේ පැතිර යන වෛරස් ප්‍රභේදයට වඩා වෙනස් ස්වභාවයක් ගන්නවා. මෙවැනි වටපිටාවක අපිට සිද්ධ වෙන්නේ මේ නව ප්‍රභේද එක්ක ඉදිරියට යන්නයි.

නව ප්‍රභේදය නිර්මාණයෙන් ඇතිවන ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. මොකද නව ප්‍රභේද ආවාම වෛරසයේ වෙනස්කම් සිදු වෙනවා. එතකොට අපේ තියෙන උපක්‍රමශීලී ප්‍රවේශයන් නව වෛරස් ප්‍රභේදයේ අවදානමට සරිලන පරිදි වෙනස් කරගනිමින් ඉදිරියට ගියේ නැතිනම් වෛරසය ජයග්‍රහණය කරනවා. අපිට යම් ජයග්‍රහණයක් ලබා ගන්න නම් අවදානමට සරිලන පරිදි අපි වෙනස් විය යුතුව තිබෙනවා. නව ප්‍රභේද එනකොට අපි එන්නත ගැන ලොකු විශ්වාසයක් තියලා තියෙනවා. නමුත් සමහර ප්‍රභේද වලට සමහර එන්නත් ප්‍රතික්‍රියා දක්වන්නේ නැහැ.

ඔබ කලින් දැක්වූවා සේ වෛරසය නව ප්‍රභේද නිර්මාණය කරමින් ඉදිරියට යද්දි එන්නත් කෙරෙහි ඇති විශ්වාසය කෙබදු ද?

අපේ රටේ පළමු රැල්ල අවස්ථාවේදී පැතිරුණ කොරෝනා ප්‍රභේදය නෙවේ දෙවෙනි රැල්ලෙදි පැතිරුණේ. ඒ නිසයි ශීඝ්‍ර ව්‍යාප්තියක් ඇති වුණේ. වෛරසය විසින් ජයග්‍රහණය කිරීමට දරන උත්සාහයක් ලෙස සමහර නව ප්‍රභේද හදනවා දැනට තියෙන එකට වඩා වැඩි ශීඝ්‍රතාවකින් ව්‍යාප්ත වෙන්න. එහිදී නව වෛරස් ප්‍රභේද පැතිරීම 50%ක වැඩි ප්‍රතිශතයක් ගන්නවා. මරණ සංඛ්‍යාව ගත්තාම වෛරසය උත්සාහ කරනවා මරණ සංඛ්‍යාව වැඩි කරගන්න. ඔය කියන කාරණාවලදී අපිට තියෙන ගැටලුව තමයි එන්නත් එක්ක වෛරස් ප්‍රභේදයන්ගේ හැසිරීම කුමනාකාරද යන්න විමසා බැලීම. දැනට අපිට තිබෙන අත්දැකීම නම් ලෝකයේ ගත්තාම එංගලන්තයේ පැතිරෙමින් ඇති ප්‍රභේදයට වර්තමානයේ ඇති එන්නත් ඊට ඔරොත්තු දෙනවා. එංගලන්තයේ ප්‍රභේදයට සමාන ප්‍රභේදයක්නෙ ලංකාවෙනුත් හමු වුණේ. එතකොට ඇස්ට්‍රො සෙනිකා එන්නතින් ඒ ප්‍රභේදය මර්දනය කරන්න හැකියි. එය එක්තරා දුරකට වාසියක්.  මොකද දැන් දෙන එන්නතට ප්‍රතිවිරෝධී ප්‍රභේදයක් නිර්මාණය වුණොත් අපි ගෙන්වපු එන්නත් වැඩක් නැති වෙන නිසා.  ඒ නිසා අපි නව වෛරස් ප්‍රභේද හොයා ගන්නකොට ඖෂධ සොයා ගැනීම සඳහා වූ පහසුකම් වැඩි දියුණු කළ යුතුව තිබෙනවා.  ‍

අපිට කෝවිඩ් රෝගීන් හඳුනා ගැනීමට බොහෝ කාලයක් ගත වෙනවා. ඊට පහසුකම් නොතිබීම ලංකාව වගේ රටකට ඉතා වැඩි අවදානම් සහිත තත්ත්වයක් නේද ?

ඔව්. අපිට අවදානමක් තියෙනව. අපි ජනවාරි මුල සිට පෙබරවාරි ආපු රෝගීන්ගෙ සාම්පල් 92 ක් බලල තමයි පරීක්ෂණ කරලා තියෙන්නේ. ජනවාරි මාසෙට විතරක් ලෙඩ්ඩු විසිදහසකට ආසන්න ප්‍රමාණයක් හිටියා. එතකොට අපි හිතමුකො 1%ක් පරීක්ෂා කළත් 200කට ආසන්න පිරිසකගෙවත් පරීක්ෂණ පැවැත්විය යුතු වෙනවා. නමුත් අලුත් ප්‍රභේදය තියෙනවද නැද්ද කියලා සාම්පල් 92කින් තමයි තීරණය කරන්න වෙලා තියෙන්නේ. මේ සාම්පල් 92 හරහා රටේ සමස්ත තීන්දු තීරණ, ඔය කියන සාම්පල් 92 හරහා ගන්න එක හරිම භයානකයි. මොකද විසිදෙදහක් වාර්තා වෙනකොට 92 දෙදෙනෙකුගෙ විතරක් පරීක්ෂණ පැවැත්තුවාම 1%ක්වත් නෑ. ඒ නිසා අපි මාස ගණනක ඉඳන් කියන්නේ කොවිඩ් මාසෙකින් දෙකකින් ඉවර නොවන නිසා අපට කෙටිකාලීන ,මධ්‍යකාලීන දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි වෛරස් ප්‍රභේද රට තුළ හදුනා ගැනීමේ පහසුකම්, විශේෂයෙන්ම රජයේ රෝහල් ආශ්‍රිතව ස්ථාපිත කරන්න ඕන කියලයි. දැනට ජයවර්ධන පුර රෝහලේ එක රාසායනාගාරයක් පිළිබදව විතරක් විශ්වාසය තියන රටක් විදියට ඉස්සරහට යන්න සැලසුම් කිරීම හොද තත්ත්වයක් නෙවේ. එනිසා දැනට කවුරු හරි මගෙන් ඇහැවුවොත් කොළඹ නගර සීමාවෙන් පිට වෛරසය පැතිරිලාද කියලා මට ඒකට හරියට උත්තරයක් දෙන්න බැහැ. මොකද පරීක්ෂා කර බලල නැහැ. නිදසුනක් ලෙස බදුල්ලෙ පැතිර ගිය වෛරස් ප්‍රභේදය නව ප්‍රභේදයද කියලා කවුරුහරි ඇහැවුවොත් තාම අපි දන්නේ නැහැ. ඊළග වැදගත් කාරණය මේ තිබෙන ප්‍රභේදයට අමතරව තවත් නව ප්‍රභේද රට තුළට ඇවිත්ද කියන කාරණයත් අපිට හරියට කියන්න බැහැ. රජයක් ලෙස සෞඛ්‍ය නිලධාරීන් ලෙස මේ නව ප්‍රභේද හදුනා ගැනීමේ පහසුකම් වැඩි දියුණු කළ යුතුයි. හේතුව නව ප්‍රභේද ක්ෂණයෙන් හදුනා ගැනීම අපේ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියේදී වැදගත් වෙනවා. රටක් විදියට දවසට පීසීආර් පරීක්ෂණ දහදාහක් කරලා රට වහන් ඉන්න බැහැ. රට වහනව නම් සම්පත් තිබිය යුතුයි ලෙඩ්ඩුන්ව වෙන් කරන්න. ඒ නිසා අපිට මේ අවදානම් මැදින් තමයි කොවිඩ් ගමන යන්න වෙන්නේ.

ඇස්ට්‍රො සෙනිකා එන්නත භාවිතයේදී මාත්‍රා දෙකක් ලබා ගන්න වෙනවා. එන්නත ගෙන්වද්දි තිබුණ යෝජනා ප්‍රතිපත්ති වලදි කීවේ මූලිකවම සෞඛ්‍ය නිලධාරීන්ටයි ආරක්ෂක අංශ වලටයි එන්නත ලබා දෙන බවයි. නමුත් එන්නත දැන් හිතුණ හිතුණ විදියට කිසිදු ප්‍රතිපත්තියකින් තොරව ලබා දෙනවා. මේ පිළිබදව ඔබේ අදහස කුමක්ද?

අපේ මූලික එකඟතාව මත යෙදූ සැලැස්ම වුණේ එන්නත් ලක්ෂ පහෙන් මාත්‍රා දෙකක් භාවිත වනව නම් දෙලක්ෂ පනස්දාහකට විතරයි දෙන්න වෙන්නේ.මේ ‍දෙලක්ෂ පනස් දහස අපි හදුනගෙනයි හිටියේ. ඉදිරිපෙළ සෞඛ්‍ය අංශ වලට සහ ඉදිරිපෙළ ආරක්ෂකඅංශ වලට තමයි එන්නත ලබා දෙනවා කියලා මුලින් යෝජනා වුණේ. මුලින් එක්ලක්ෂ පන්දහසක් හිටියා සෞඛ්‍ය අංශයේ. ලක්ෂයක් හිටියා ඉදිරිපෙළ ආරක්ෂක අංශයේ. එතකොට දෙලක්ෂ පනස්දහසක් එතන ඉන්නවා. නමුත් මොන හේතුවක් නිසාද දන්නෙ නැහැ එක්ලක්ෂ අනූදහසක් පමණයි සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ වලින් එන්නත ලබා ගෙන තියෙන්නේ. අපේ ඉලක්ම් වලින් හැටදාහකට ප්‍රමාණයක් අඩුවෙන් තමයි ගිහින් තියෙන්නේ. එතකොට දැන් අපිට තියෙන ගැටලුව තමයි සෞඛ්‍ය අංශයෙන් පිරිසක්ද මේ එන්නත විදගන් නැතුව ඉන්නේ, එහෙමත් නැතිනම් ආරක්ෂක අංශයේ පිරිසක්ද මගහැරල තියෙන්නේ කියලා අපිට පැහැදිලි නැහැ. ඉතිරි හැටදහස අවදානම් තත්ත්වයේ ඉන්න අය හඳුනගෙන ලබා දෙන එක ප්‍රශ්නයක් නැහැ. ඉතිරි කරගෙන ඉන්නවට වඩා එන්නත ලබා දෙන එක තමයි හොඳම දේ.

නිකුත් වූ චක්‍රලේඛනයේ පරිදි මුලින් දෙලක්ෂ පනස්දහස දීලා ඉතිරි දෙලක්ෂ පනස්දහස තවත් මාසෙකින් ලබා දෙනවා කියලා තමයි සදහන් වුණේ. ඒ අතරතුර ලෝකයේ කළ අධ්‍යයනයන් සමග මේ එන්නත මාසෙකින් දෙනවට වඩා ඊට වැඩි කාලයක් අරන් දෙන එකෙන් ප්‍රතිඵල වැඩියි කියලා සඳහන් වෙනවා. නමුත් මම දන්න විදියට සෞඛ්‍ය අංශය ඒ ප්‍රතිපත්තිය නිල වශයෙන් වෙනස් කරලා නැහැ. එතකොට ජනවාරි අන්තිම එන්නත ලබා දුන්න අයට පවතින චක්‍රලේඛනයට අනුව පෙබරවාරි අන්තිම එන්නත ලබා දිය යුතු වෙනවා. නමුත් විවිධ ආරංචි එනවා ඒක තව දික් කරනවා කියලා. එහෙම දික් කරනව නම් අපට තව එන්නත් ගෙන්වා ගැනීමට කාලය තියෙන නිසා ඉතිරි දෙලක්ෂ පනස්දහස අවදානම් තත්ත්වයේ පසුවන්නන්ට ලබා දීම ගැටලුවක් නැහැ. කෙසේවෙතත් ආරක්ෂක අංශයි සෞඛ්‍ය අංශයි ඇරියාම වැඩිම අවදානම තියෙන්නෙ රටේ වැඩිහිටි ජනතාවට සහ බෝ නොවන රෝග වලින් පීඩා ලබන අයටයි. එතකොට අපේ  ඊළඟ ප්‍රමුඛතාව ඔවුන්ට ලබා දිය යුතුයි කියලා තමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදියට අපි එකඟතාවක ඉන්නේ. මොකද කොවිඩ් වලට දෙන මේ එන්නත හරහා අපේ ලොකුම බලාපොරොත්තුව තියෙන්නේ , අපි කොවිඩ් එක්ක ජීවත් වෙන්න කියලා කියනවනෙ මිනිස්සුන්ට. නමුත් කොටසක් මැරෙන ලෙඩක් එක්ක ජීවත් වෙන එක හරි අමාරුයිනේ. එනිසා සංකූලතා ඇතිවෙන එක සහ මරණ ඇති වෙන එක මේ මොහොතේ අවම කරන්න අපි එන්නත තමයි භාවිත කරන්නේ. එන්නත හරහා මරණ සහ සංකූලතා කියන කාරණා දෙක ගලවන්න පුළුවන්. එහිදී ඔය කාරණා දෙක ගැලෙවුවාම කොවිඩ් කියන්නෙ සාමාන්‍ය හෙම්බිරිස්සාවක් කැස්සක් බවට පත් වෙනවා. එතකොට කොවිඩ් එක්ක ජීවත්වෙන්න පුළුවන්. එහෙනම් මේ කියන කාරණා සියල්ල ප්‍රායෝගික වෙන්න නම් එන්නත ලබා දීලා ජනතාව අතර විශ්වාසයක් ඇති කළ යුතුයි. වත්මන් තත්ත්වය අනුව මේ කිසිදු වැඩපිළිවෙළක් නොමැතිව එන්නත ලබා දීම අනුමත කරන්නේ නැහැ. රටේ සමස්ත චිත්‍රය වෙනස් කර ගන්නනම් අපිට මේ එන්නත යම් ප්‍රතිපත්තිමය වැඩ පිළිවෙළක් සමග ගෙන යා යුතුයි.

නව කොවිඩ් ප්‍රභේදයට ඇස්ට්‍රො සෙනිකා එන්නත ප්‍රතික්‍රියා කරන්නෙ නැහැ කියලා විපක්ෂ මන්ත්‍රී වරුන් කියනවා. ඇත්තටම මෙහි විද්‍යාත්මක අන්තර්ගතය පැහැදිලි කළොත්,

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මුලින්ම කීවේ කොවිඩ් දේශපාලනීයකරණය කරන්න එපා කියලයි. නමුත් අපි දකිනවා අපේ රට ඇතුළුව අනෙකුත් රටවල් මේක දේශපාලනීයකරණය කරමින් යනවා. ආණ්ඩු පක්ෂයේ ඇමතිවරු මේකෙ බරපතළකම අඩු කරල කතා කරනවා. එහිදී වෙන්නෙ රටේ ජනතාව වගකීම්සහගතව හැසිරෙන එක නතර වෙනවා. අවසානයේ රටට හානියක් වෙනවා. මොකද එන්නතින් සියලුම ප්‍රශ්න විස‍‍දෙනවා වගෙයිනේ ආණ්ඩුවෙන් කියවෙන්නේ. සමහර ඇමතිවරු කියනවා මාස තුනෙන් කොවිඩ් තුරන් කරනවලු එන්නත ලබා දීලා. හැමෝටම එන්නත දෙන්න තියා කිසිම කළමනාකාරීත්වයක් තවම නැහැ. එවැනි වැරදි සමාජගත කිරීම හොඳ නැහැ. විපක්ෂයත් කරමින් ඉන්නේ දේශපාලන වාසි ගන්න උත්සාහ කිරීමකුයි.

කොවිඩ් එන්නත් සහ කොවිඩ් අතර තිබෙන සම්බන්ධතාව ගැන කතාකළොත් , කොවිඩ් ප්‍රභේද ගණනාවක් ලෝකයේ බිහි වෙලා තිබෙනවා. ඒ වගේම ලෝකය පුරා සම්මත වෙච්ච එන්නතුත් තිබෙනවා. මේ සමහර ප්‍රභේද සමහර එන්නත් වලට පාලනය කරන්න බැහැ. නිදසුනක් ලෙස දකුණු අප්‍රිකාවේ ප්‍රභේදය ඇස්ට්‍රො සෙනිකා එන්නතට ඔරොත්තු දෙන්නෙ නැහැ. ඒ නිසා තමයි දකුණු අප්‍රිකාව ඇස්ට්‍රො සෙනිකා පාවිච්චි කරන එක නවත්තලා ඒ තොගය දැන් වෙන රටවලට විකුණන්න ගත්තා. නමුත් වාසනාවට එංගලන්තයේ ප්‍රභේදය ගතහොත් රටවල් වැඩිම ගණනකට මේ වෙනකොට ව්‍යාප්ත වෙලා තියෙන්නෙ එංගලන්තයේ ප්‍රභේදයයි. මේ දක්වා කර ඇති පර්යේෂණ වලින් එංගලන්තයේ ප්‍රභේදයට දැනට සම්මත වෙලා තියෙන එන්නත් සියල්ලම ඔරොත්තු දෙනවා. ලංකාවේ දැනට වාර්තා වෙන්නෙත් එංගලන්තයේ ප්‍රභේද නිසා ඇස්ට්‍රො සෙනිකා එන්නත අපිට ඔරොත්තු දෙනවා. ලංකාවේ නව ප්‍රභේදය පවා ඇස්ට්‍රො සෙනිකා එන්නත හරහා මර්දනය කළ හැකියි යන්න තමා විද්‍යාත්මක කාරණා  හරහා ඔප්පු වෙලා තියෙන්නේ. ඒ නිසා අනිසි බියක් ඇති කරගත යුතු නැහැ. නමුත් අපි දන්නෙ නැහැ දකුණු අප්‍රිකාවේ වගේ මේ එන්නතට ඔරොත්තු නොදෙන ප්‍රභේද රට ඇතුළට ඇවිත්ද කියලා. ඒක ගැන පර්යේෂණ වැඩි කරලා දැනගත යුතු වෙනවා. දැනට රට තුළ වාර්තා වෙලා තියෙන ප්‍රභේද ගත්තම ඒ ප්‍රභේද මර්දනය කරන්න ඇස්ට්‍රො සෙනිකා එන්නතට හැකියි.