ආරියවංශ අබේසේකර

ඔන්න එක රටක් තියනවා. ඒ රටේ ඉස්තිරියාවොන්ට හරි අසරණෙං තමයි ජීවත් වෙන්ඩ වෙලා තියෙන්නෙ. අලි දෙඤ්ඤං- කොටි දෙඤ්ඤංය, මල්පෙත්තෙං මාල හදා කර පළදංඤ්ඤංය, මගෙ ලෝකේ රැජින කොරඤ්ඤංය කිය කියා පස්සෙං ආපු සත්ත පේ‍්‍රම බුංග රාජයිං බඩට එකා දෙන්නා දීලා ඔන්න ඔච්චරයි මට කොරන්ඩ පුලූහං කියා – නොකියා කැහ්-කැහ් ගගා අයිං ගහන කොට, බඩිං වදාපු දරුවන්ඩ ඉන්ඩ හිටින්ඩ කන්ඩ බොන්ඩ යමක් හොයා ගන්ඩ අර මිහිකත නළවාලා-මග මල් අතුරාලා ගමං ගියපු සුන්දර සිරියාවියන්ට අතේ ඉඳුල් වතුර ඇඳිවස්තරේ පිහිදාන එළියට බහින්ඩ සිද්ද වෙනවා. මොකද තිරිසං සතාත් බඩිං ආපු එකා දැඩිමේනි වෙනකං රකිනවා නේ.

ඉතිං මේ කියන රටේ කොහේ කොයි වයසේ ඉස්තිරියාවක් අසරණ උනත් ඒ රටේ හිංගල බහුද්ද කියන පිරිමින්නෙ මොකද්දෝ එක නලියනවා. තැනක් නොතැනක් නෑ. ඉතිං උන්දලා ඔය ආගං දර්සන සේරමගේ තියන පරදුක්ක දුක්කිත පාට- පාට පාටිං ගායනා කොරාන ගං වැදිලා අර ඇත්තියංනේ ඕනෑ එපාකං හොයා බලන්ඩ එනවා. ඇවිදිං එක එක වියාපුරුති හදාලා කරලා, ඒවායේ යෙදෙන්ඩ උවමනා කරන වියපෑදං දෙන්ඩ කටයුතු සම්පාදනේ කොරනවා. මේ කියන රටේ සද්දකෝසෙ ණය කියන්නේ ආදාර. ඉතිං අර අහිංසක ඉස්තිරියාවන් දෙන දෙන තැනිං ආදාර ගන්නවා. ආදාර ටික ගෙදෙට්ට ආවාම පොඩි එවුං එනවා අම්මාට හෝපොතු ගැහිච්චි බඩ පෙන්නාන; ගෙවිච්චි පැංසල් කූරු පෙන්නාන; තට්ටම පේන කලිසම පෙන්නාන. පිරිමියාත් එනවා අර පරණ ආලෙ දුඹුල් කඩලා, බඩ අත ගගා කාලෙකිං ඇඟ රත්උණේ නෑනෙ පණේ කියාන. ඒ රටේ ඉස්තිරියාවන්ට ඉතිං ඇති හැකි උනාම ලංකාව කියන රටේ තියෙන සිරිසඟබෝ චරිතේ බෝවෙනවා. ඉතිං මහරැජින වාගේ මේ අඩුපාඩුකං පිරිමහිනවා.

හැබැයි ඉතිං පස්සෙං පහු අර ආදාර දුන්න මූණුඔල හිනා මැකිලා අපි දුන්නේ ආදාර නෙවෙයි පොලී සහිත ණය නෙවැයි කියන කොට තමයි අර ඉස්තිරියාවන්නෙ බඩ කොර වෙන්නේ. අනේ ඉතිං උන්දලා හා හොඳයි මහත්තයෝ කියාලා ණය ගෙවන්ඩ පටං ගන්නවා. ණය වෙරයෑ, පොලීත් තියනවා උං කියනවා. ඒකටත් ඉතිං හා හොඳයි කියනවා ඇරෙන්ඩ අර ඉස්තිරියාවන්ට වෙන කරන්ඩ දෙයක් නෑ. මුලිං ම අතේ තියන ගාන ගෙවනවා. ඉං පස්සේ කායෙං හරි ඉල්ලලා ගෙවනවා. ඉං පස්සේ කනේ තියන අරුංගල් දෙක, පුංචි එකාගේ කරේ තියන පංචායුදේ, කෙල්ල කොටහලූ වෙච්චදා ඇන්න දුන්න මාලපොට…මේ සේරෝම යනවා උකස් කඬේට. එව්වාත් ඉවර වෙච්චදා ඉතිං ණය එක්කාසු කරන්ඩ එන එකා එනකොට ගෙයිං මගාරිනවා. බැගෑ වෙනවා. ඒත් බැරි තැන බෙල්ලේ වැළ ලා ගන්නවා. ගිනි තියා ගන්නවා.

මේ සේරෝම කොල්ලාත් බැරි තැන උන්දලා උන්දලා එක්කාසු වෙලා දුක කියා ගන්නවා. අන්තිමේ මේක මෙහෙම අ`ඩලා දොඩලා බෑ, මොකක් හරි කොරන්ඩ ඕනෑයි කියලා ඉස්තිරියාවන් එක්කාසු වෙනවා, මේ දුක රට කරවන ඇත්තන්ඩ කියන්ඩ. අපේ ආණ්ඩුවක් ආවාම අපි එය ණය අහෝසි කරඤ්ඤා. උං කියනවා. ඉතිං උන්ඩ ඡුන්දෙ වැටෙනවා. අපි තොපේ දුක විකුණලා ඡුන්දෙ ගන්නේ සැප විඳින්ඩයි කියලා ඒ රටේ දේසපාලකයො කවදක්කත් කියන්නෙ නෑ. මොකෑ උන්දලා හැමදාම කොරන්නේ කියාපු නැති දේ. ඉතිං ආයෙමත් අර ඉස්තිරියාවන් ණය පොලී ගෙවන්ඩ පටං ගන්නවා. අන්තිමේ සබ්බ සකලමනාව ම නැති වෙච්චි එකා බහින මහපාරට අර ඉස්තිරියාවනුත් බහිනවා. බැහැලා මහපාර අයිනේ වාඩිලාගෙන ඉන්දියාව කියන රටේ උන්න ගාන්ධි උන්නැහේ උගන්නාපු අහිංසක විරුද්දකං පෑමේ කිරියාවෙ-ඒ කියන්නෙ සත්තගිරහේ කොරනවා.

බැස්සා තමයි. බැස්ස ගමං මෙන්න මෙන්න ඕපාදූපයක් නැතුව හෝ පොතු ගැහි ගැහී උන්න මාද්දකාරයොයි කියන උන්නැහේලා ඇවිදිං පිරෙනවා. මාද්දෙ යනවා පොරොත්තිය. ආණ්ඩුවට කෙළින්ඩ බලාන උන්න විරුද්ද පාස්සික උන්දලා මෙන්න එනවා. ඇවිදිං කියනවා ඔය මොකටෑ අව්වෙ ඉන්නෙ, මගෙං ඉල්ලූවා නං දෙනවා නෙවැයි ටැන්ටෙකක් කියාලා. හා හොඳයි ඉතිං කියාලා ඉස්තිරියාවොත් ටැන්ටෙක ඉල්ලාන ඇවදිං ඒක ඉහලාන සත්තග්ගිරාහෙ. ඉතිං ඔය ටැන්ට් පක්සෙ උන්දලා පස්සෙං පහු මේං එනවා අපි එනවා උදව්වට, අපිත් එක්ක පොටෝ එකක් ගහමුද කියාලා. ඉස්තිරියාවො බය වෙලා කියනවා, අනේ ඉතිං අපිට ඔය මොකොවත් පක්සයක් නෑ නෙවැ. ඒ වෙලාවට ඡන්දෙ දෙනවා වෙතර නෙයැ. අපි ඔවුවාට බයයි කියාලා. ඉතිං අර ටැන්ට් පක්සෙ උදවිය කියනවා ආ එහෙමද, දීපල්ලා එහෙනං අපේ ටැන්ටෙකට කුලිය, දවසකට දාහ ගානෙ කියාලා. අපිට කොයිංදෑ සල්ලි. ණය ගෙවන්ඩ සල්ලි නැති හින්දා නෙවද මේ මහපාර අයිනේ ලැජ්ජා බය පැත්තකට දමලා ඉඳං ඉන්නෙ. ඉස්තිරියාවො කියනවා. ඉතිං මේක අහගෙන ඉන්නවා ඒ රටේ තවත් පක්සයක්. උන්නැහේලා එනවා සල්ලියි පොටෝ කාරයෙකුයි ඇන්න මෙන්න ඔබතුමිලාගෙං අරුං ඉල්ලන ටැන්ට් කුලිය. ගම්මුද හිනා වෙලා පොටෝ එකක් කියාලා. ඉස්තිරියාවො තවත් බය වෙනවා. ඇයි මේ සේරමල්ලා ඒ රටේ විරුද්ද පස්සෙ නෙවැ. ආණ්ඩු පස්සෙ තමං එක්කලා අමනාප වෙයි කියා උන්දලා බයයි. මොකද තමංව මේ දුකිං මුදවා ගන්ඩ පුලූහන්නෙ ආණ්ඩුවට මිසක්කා විපස්සෙට නෙමෙයිනේ.

අනේ ඉතිං මේ ඉස්තිරියාවන්ට ඉස්සර තිබ්බේ ණය පොලී බය විතරයි. දැං පස්ස බයත් ඇවදිං. ඈ බොලේ හෙටානිද්දා කවුරු කවුරු මොන මොනවා දෙඤ්ඤං කියාන ඇවදිං පොටෝ අල්ලයිද දන්නෙ නෑ. කාටදෑ ඉතිං අපි මේ අවනඩුව කියන්නේ උන්දලා හිතනවා. ඒත් ඉතිං ඒ බයත් එක්කලා හින්නික්කිතර බලාපොරොත්තුවයි කියන එකකුත් මේ ඉස්තිරියාවන්ට තියනවා. මොකද ඒ රටේ සින්දු කියන ඇත්තියක් බොහොම කාලේක ඉඳං සිංදුවක් කියනවා, කවදා පායයි ද ඒ පුං සඳානෝ කියලා. ඉතිං මේ ඉස්තිරියාවන් ගොජුරු හොයාන තමං වටේ කැරකෙන සත්තු අතරේ වාඩිලාගෙන බලා ඉන්නවා. කවදා හරි අර පුං සඳානෝ පායනකං. මොකෑ ඒ රටේ පස්පිඩක් ගිලිහී නොයන්ට රංවැටක් තියනවා නෙවැ සිව් කොණේ. බයක් නෑ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here