අතුලසිරි සමරකෝන්

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය පදනම් වන සහ ප්‍රබුද්ධත්ව ව්‍යාපාරය විසින් හෙළිකළ මූලික මුලධර්ම අතර ප්‍රධානතම මතයක් වන්නේ සියලු මානව ජීවීන්ගේ “පොදු අයිතීන් ආරක්ෂා කිරීම සඳහා දේශපාලනය ක්‍රියාත්මක විය යුතු” බවය. ලිබරල්වාදය විසින් ඉගැන්වූ මූලික අයිතීන් වන “ජීවිතය, දේපළ, නිදහස් භාෂණය, නීතියේ සමානතාවය, ආගමික නිදහස” ආදිය යනු ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන පාලකයන් විසින් ආරක්ෂා කළ යුතු සමාජ යුක්තිය සහ පර්යාය පිළිබඳ මූලික කොන්දේසිය. එම කොන්දේසි ආරක්ෂා කරන ආණ්ඩුවක් බිහිකර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ වල මූලික අරමුණයි. ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් විය හැකි පාලනයක් ගොඩ නැගෙන්නේනම් එය විරෝධාභාසයකි. මෙරට ජාතික දේශපාලනය තුළ පශ්චාත් යුද සමාජීයමය තත්ත්වයන් විසින් ආලෝලනය වූ ජාතිකවාදය හමුවේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය නියෝජනය කිරීමේ විභවතාවක් පවතින බලවේග පසු බෑමකට ලක්විය. ජාතිකත්වවාදී දේශපාලනය මූලිකවම බහුතරවාදී ආණ්ඩුවක් බිහි කරගැනීමේ පදනම සැකසීය. යහපාලනය යනු මානුෂීය ලිබරල් සාරධර්ම වල ප්‍රකාශනයක් බවට පත්විය යුතුව තිබුණු පාලනයක් නම්, එහි පරාජයට වග කිවයුතු වත්මන් පාලනය යනු සංඛ්‍යාත්මක බහුතරය විසින් අභිෂේක ගැන්වූ හා මොන්ටෙස්ක්යු වැනි දාර්ශනිකයකු ගැඹුරින් විග්‍රහ කළ “පරම බලධාරීත්වයක්” නැතිනම් “ඒකාධිපත්‍යය” (despotism) සහිත තත්ත්වයක්ය.


විවිධ ආණ්ඩුක්‍රමවල ස්වභාවය පිළිබඳව සාකච්ඡා කරන මොන්ටෙස්ක්යු විසින් දක්වන පෙන්වා දෙන පරිදි “සමුහාණ්ඩු පාලනය සධාර්මිකත්වය ද (virtue), රාජවංශික පාලනය ගෞරවය ද (honor), සහ පරම බලධාරී පාලකයා බිය (fear) ඇති කිරීම ද” තුළින් පාලනය ගෙනයයි. ප්‍රජාතන්ත්‍රවාදී සමුහාණ්ඩුවක් නැතිනම් ජනතාවගේ රජයක් වන ශ්‍රී ලංකාව යනු ජනතාවට බලය ලබා දෙන සහ එම බලය නීතිය මඟින් හසුරුවන පාලනයක් විය යුතුය. නමුත් මේ මොහොතේ කොවිඞ් 19න් ඇතිකළ මරණ බිය වැඩිවන මොහොතක “ඒකාධිපත්‍ය” ය බලගැන්වූ ව්‍යවස්ථාවක් තුළින් ඇතිකරන “භය” පදනම්වූ ආණ්ඩුවක් අප වෙත පවතී. එවන් තත්ත්වයක් තුළ ප්‍රජාතන්ත්‍රවාදී දර්ශනය ඉදිරියට ගෙනයාහැකි ප්‍රබල විකල්පයක අවශ්‍යතාවය සමාජය තුළින් මතුවෙමින් පවතී. එය 2015 දී ඇතිවූ තත්ත්වය වැනි තත්ත්වයක් වුවත් මෙම තත්ත්වය ආණ්ඩුවක සමස්ථ ජීව කාලයම තව දුරටත් ඉතිරව පවතිද්දී කුමන දිශාවකට වර්ධනය වියහැකි දැයි යන්න පිළිබඳ අනාවැකි කිව නොහැකි තත්ත්වයකි.


නමුත් ව්‍යවස්ථාමය “ඒකාධිපත්‍ය” විසින් මෙහෙයවන ලදුව සහ මිලිටරි ආණ්ඩුකරණ ව්‍යුහය ක්‍රමයෙන් සිවිල් ආණ්ඩුකරණ ව්‍යුහය අභිබවමින් පවතින තත්ත්වයක් තුළ හා කතානායක ඇතුළු ව්‍යවස්ථාදායකය විධායකයේ අතකොළුවක් වී ඇති තත්ත්වයක හා ස්වාධීන කොමිසන් සභා හෝ ස්වාධීන අධිකරණමය තත්ත්වයන් බල රහිත වට පිටාවක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ අවනතික දිශාවකට නැතිනම් “ජනතා පරමාධිපත්‍යට” විරුද්ධ දිශාවකට බව පැහැදිළිය. මෙම තත්ත්වය යටතේ විපක්ෂ දේශපාලන බලමුළු වල ප්‍රමුඛ කාර්යභාරය විය යුත්තේ කුමක්ද?
රිචර්ඞ් රෝර්ටි නම් ප්‍රායෝගිකතාවාදියා දක්වන ආකාරය ට දේශපාලනය සැමවිටම ගමන් කළ යුත්තේ “වෙනසක් නිර්මාණය කිරීමේ” දිශාව වෙතටය. ලිබරල් යුක්තිය සහ නිදහස පිළිබඳ වැඩපිළිවෙලක් හරහා “සමාජ අපේක්ෂාවක්” නිර්මාණය කර ගැනීම සඳහා වූ දර්ශනයක් රෝර්ටි ඇතුළු පශ්චාත් නුතනවාදී ප්‍රායෝගිකතාවදීන් විසින් ඉදිරි පත්කරන මූලික අදහසකි. පශ්චාත් නුතනවාදයම විශ්වාස කරන ආකාරයට “ප්‍රජාතන්ත්‍රවාදය” හෝ “නිදහස සහ විමුක්තිය” පිළිබඳ “මහා ආඛ්‍යායන” බිඳවැටී ඇති තත්ත්වයක දී පවා දේශපාලනයේ මූලික කාර්යභාරය වියයුත්තේ මිනිස් නිදහස වැඩිකරන, ආණ්ඩුවේ “ඒකාධිපත්‍ය” සමනය කරන “වෙනසක් ඇතිකිරීමේ” දිශාව වෙතය. ඒ සඳහා මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ලිබරල් විපක්ෂය විසින් ඉදිරිපත්කරන හෝ එමඟින් සපයා ගත හැකි විකල්පීයතාවයක් පවතීද යන්න පිළිබඳව මේ මොහොතේ සක්‍රීයව ඇති විපක්ෂ බලවේග කිහිපයක් ආශ්‍රයෙන් පැහැදිලි කරගැනීමට උත්සාහ කරමු. මේ මොහොතේ විපක්ෂය තුළ සක්‍රීයව පවතින සහ ලිබරල්වාදයට අඩු වැඩි වශයෙන් නැමියාවක් දක්වන ප්‍රධාන බලවේග කිහිපයක් ඇත. ඉන් ප්‍රමුඛතම පුද්ගල නාමයන් වශයෙන් ගත හැක්කේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, කරු ජයසුරිය, මංගල සමරවීර සහ චම්පික රණවක ආදීන්ය. රනිල් වික්‍රමසිංහ සාධකය අත්හැර වත්මන් මොහොත තුළ ලිබරල් ප්‍රායෝගිකතාවාදය පිළිබඳ සංවාදයක් ගොඩ නැඟිය නොහැකිමුත් මේ මොහොතේ ඔහු අත්හැර සහ ඔහුට විකල්පව ඉදිරිපත්විය හැකි උක්තව දැක්වූ පුද්ගල සාධක ප්‍රමුඛ බලවේග පිළිබඳව යම් අවධානයක් යොමුකරමු.


සජිත් ප්‍රේමදාස


සමගි ජන බලවේගය (සජබ) යනු එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ගතානුගතිකත්වය ට එරෙහිව මතුවුණු බලවේගයකි. පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය සහ පක්ෂ ව්‍යවස්ථාවක පැවතිය යුතු ප්‍රජාතාන්ත්‍රීයත්වය පිළිබඳව කිසියම් සාධනීය කතිකාවක් ගොඩ නැඟීමට සජබ ය විසින් ගොඩනැඟු විභවතාවය යොදාගත හැකිව තිබුණි. අඩු වැඩි වශයෙන් මෙරට සියලුම දේශපාලන පක්ෂ තුළ ක්‍රියාත්මක වන නායකත්ව “ඒකාධිපත්‍ය” පිළිබඳ අදහසක් ඒ හරහා මතුකරගැනීමේ හැකියාව තවම පවතී. දීර්ඝ කාලයක් කිසියම් ප්‍රජාතන්ත්‍රීය පක්ෂයක නායකත්වය නොවෙනස්වී පැවතීම යළිත් මොන්ටෙස්ක්යු ආදී බලතල බෙදීම සහ ඒකාධිපතීත්වයන් බිහිවීම පිළිබඳ ගැඹුරින් නිමග්නවූ දාර්ශනිකයන්ගේ ඉගැන්වීම් වලට අනුකූල නොවන තත්වයකි. ලිබරල් දර්ශනය විසින් මෙහෙයවෙන බල ව්‍යුහයන් ප්‍රමාණාත්මක හා ගුණාත්මක ආකාරයෙන් ප්‍රජාතන්ත්‍රීයකරණය වී නොමැති තත්වයන් තුළ රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය විශාල අභාග්‍යයකට යොමුවීම පිළිබඳ ප්‍රබල උදාහරණයක් වශයෙන් මෙරට වත්මන් දේශපාලන පද්ධතිය යොදා ගත හැකිය. එජාපය තුළ අර්බූදයට පත්වූ නායකත්වයේ යෂ්ටිය හුවමාරු කරගැනීම පිළිබඳ ගැටලුව නායකත්වය සඳහා විභවතාවයන් ප්‍රදර්ශනය කළ පුද්ගල සධකත්වයන් අතර පැවති බල තුලනය පිළිබඳ සාධකය නොසළකා හැරීම නිසා අද වන විට එජාපය වෙනුවට සජබය ස්ථාපිත වෙමින් පවතී. නමුත් අප විසින් මතුකළ යුත්තේ සජබය නියෝජනය කළ හැකි හර පද්ධතියේ පවතින ප්‍රජාතාන්ත්‍රික සාරය හා ඒ සඳහා වන කැපවීමයි.


ජනාධිපතිවරණ හා මහා මැතිවරණ සමය තුළ වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත්කළ ආර්ථික, සමාජීය සහ දේශපාලනික අදහස් වල පවතී යුතෝපීයතාවයන් සේම ප්‍රායෝගිකතාවයන් අපට වෙනම හඳුනා ගත හැක. නමුත් මූලිකව ඔහුගේ බලවේගය එජාපයේ නව ලිබරල් දර්ශනය තුළ පැවති නිශේධනාත්මක භාවය පිළිබඳ කිසියම් විරෝධයක් ගොඩනැඟීමට උත්සාහ කළ බව පැහැදිළිය. “සමාජ ප්‍රජාතන්ත්‍රවාදය” පිළිබඳ අදහසක් සජබය විසින් ගොඩනගමින් පැවැතුණි. එහි මූලික සංරචකයක් වූයේ “සුභසාධන” රාජ්‍යය ශක්තිමත් කිරීමයි. සෞඛ්‍යය, අධ්‍යාපනය, සහ අනෙකුත් සමාජ සුබසාධනයන් සම්බන්ධයෙන් ප්‍රේමදාස මහතා විශාල අවකාශයක් සිය ප්‍රතිපත්ති තුළ වෙන්කරයි. ඔහු විසින් ඉදිරිපත්කළ ඉතාමත් ඉදිරිගාමි අදහසක් වූ “කාන්තාවන්ට අවශ්‍යය සනීපාරක්ෂක උපකරණ” ලබා දීම පිළිබඳ අදහස ඉතාමත් නිර්දය ලෙස ජාතිවාදී සහ පසුගාමී කොටස් වල ප්‍රහාරයට ලක්වුවද අදවන විට එම ප්‍රතිපත්තියේ පවතින සාධනීයතාව ඉතා හොඳින් පැහැදිලිවෙමින් තිබේ. සජබය යනු මේ මොහොත තුළ විපක්ෂයේ බල අවකාශය ආක්‍රමණය කොට ඇති බලවේගයයි. එය උග්‍ර ලිබරල්වාදය සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය අතර කිසියම් තුලනයක් ඇතිකර ගැනීමට යෝජනා කරන බව පෙනෙයි. එජාපය විසින් කැපවූ ලිබරල් දර්ශනය ජාතිකවාදය හමුවේ අත්කොටගත් අභියෝගයට පිළිතුරු ලබාදීමේ දී සජබය “ප්‍රායෝගිකතාවාදයක්” ඉදිරිපත්කරන බව පෙනෙයි. නමුත් අප මුලින්ම සඳහන් කළ ලිබරල්වාදී දර්ශනය සමඟ බද්ධවන දේශීය සමාජවාදයක් ඉදිරි පත්කිරීම ට හැකිනම් ඉන් ගොඩනැගෙන “ජනප්‍රියවාදය” (ජනකාන්ත?) පවත්නා ජාතිකත්ව දේශපාලනය පිළිබඳ අසාර්ථකත්වය හමුවේ විකල්පීයතාවයකට මුල පිරීමක් විය හැක.


කරු ජයසූරිය


එජාපයේ නායකත්ව අර්බූදය නිසා අර්බූදයට ලක්වූ නමුත් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විශාල කැපවීමක් ඇති නායකයෙක් ලෙස සිවිල් සමාජ බලවේග සමඟ මේවන විට ක්‍රියාත්මක වෙමින් සිටී. යහපාලන ආණ්ඩුව යටතේ කතානායක වශයෙන් දේශපාලන අධිකාරීවාදයට එරෙහිව නායකත්වය සැපයීමට ජයසූරිය මහතා ක්‍රියාත්මක විය. 20 වන සංශෝධනය ට එරෙහිව විපක්ෂ බලවේග සමඟ ක්‍රියාත්මක වෙමින් ප්‍රජාතන්ත්‍රවාදී දර්ශනය පිළිබඳ ඔහුගේ කැපවීම ප්‍රදර්ශනය කළේය. සක්‍රීයව පාර්ලිමේන්තු දේශපාලනය තුළ නොමැතිවුවත් මෙරට දේශපාලන පද්ධතිය තුළ, විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සමඟ ඉදිරිපෙළ ක්‍රියාකාරීත්වයක් ඔහුගෙන් අපේක්ෂා කල හැක. බලය බෙදීම, විධායක ජනාධිපති ක්‍රමය සහ නව ව්‍යවස්ථාවක් පිලිබඳ ගැටළුවල දී දක්වන “සාධාරණ සමාජයක්” පිළිබඳ අදහස හරහා ඔහු විපක්ෂ සිවිල් සමාජීය සීමාව තුළ සිට ආණ්ඩුවට හෝ එහි අත්තනෝමතිකත්වයට අභියෝගකරන නායකත්වයක් ප්‍රදර්ශනය කරයි. ප්‍රායෝගිකතා දේශපාලනයට වඩා ප්‍රතිමානීය දේශපාලනයට කැපවෙන බවක් පෙනෙනෙන මුත් විපක්ෂ බලය ගොඩ නැඟීමට ඔහුගේ දායකත්වය අතිශය වැදගත්ය.


චම්පික රණවක


ජාතිකවාදී දේශපාලනය හරහා ප්‍රායෝගිකතා එළඹුමකට පිවිසිය හැකි බව විශ්වාස කල චම්පික රණවක, වර්තමානයේ දී ලිබරල් දේශපාලනය සමඟ සන්ධානගතවෙමින් නවමු ප්‍රායෝගිකතාවාදයක් වෙතට එළඹීමට අදහස් කොට තිබේ. සජබය තුළ හිඳිමින් එහි නායකත්ව මණ්ඩලය ශක්තිමත් කිරීමට ඔහු ගෙන ඇති තීරණය තවදුරටත් මෙරට විපක්ෂ දේශපාලන බලවේගය ශක්තිමත් කිරීමට හේතු වනු ඇත. නමුත් විපක්ෂය තුළ බල තරඟය වෙනුවට “සමාජ අපේක්ෂාව” වර්ධනය කිරීමේ අදහසක් ඔහුගෙන් මතු කොට ගත යුතුව තිබේ. ඔහු විසින් ඉදිරි පත්කෙරෙමින් පවතින “43 ව්‍යාපාරය” එක අතකට දේශපාලනය තුළ පවතින සම්ප්‍රදායික බල ධුරාවලිය ගැඹුරින් ප්‍රශ්න කිරීමට යොදා ගන්නවා නම් ඉතා හොඳ දේශපාලන සංවාදයක් මේ මොහොතේ විකල්පීය අවකාශය තුළ ගොඩ නැඟිය හැක.

මංගල සමරවීර


මංගල සමරවීර යනු ලිබරල් දර්ශනයේ “පුද්ගල නිදහස”, “සීමිත ආණ්ඩුකරණය” ආදී ගැඹුරු මානවවාදී දර්ශනයන්ගෙන් පෙළඹවීම් ලබන්නෙකි. ඔහුට ආගම සහ දේශපාලනය අතර පැවතිය යුතු සීමාව පිළිබඳව දාර්ශනික අදහසක් තිබේ. සජබය ආරම්භ කරමින් වික්‍රමසිංහට එරෙහි කැරැල්ල තුළ ඔහු සිටිය මුත් මේවනවිට නවමු බලවේගයක් වශයෙන් මතුවීමට උත්සාහ කරන බවක් පෙනී යයි. නමුත් ඔහු තුළින් හඳුනාගතහැකි යුතෝපීයතාවයන් තුළ පවතින රැඩිකල් භාවය මැතිවරණ දේශපාලනයට ආදේශ කරගැනීමේ අභියෝගය පවතී.

විපක්ෂය, එහි විවිධ බලවේග සහ කාර්යභාරය පිළිබඳව මේ මොහොතේ අපට විශාල කතිකාවක් ඇති කරගත හැකිනම් එය පවත්නා ජාතිකවාදී සහ අත්තනෝමතික දේශපාලනයට එරෙහි ලිබරල් විකල්පීයතාවයක් ගොඩනඟා ගැනීමට උපකාරී විය හැක. සුළු ජන කොටස් වලට නායකත්වය සපයන සහ ලිබරල් නිදහස අගයන බලවේග සමඟ සංධාන ගතවෙමින් විපක්ෂයේ දකුණේ බලවේග ඉදිරියට යායුතුව තිබේ. ජාතිකවාදය තුළින් තර්ජනයට හා භීතියට පත් පුරවැසි සමාජය සඳහා මානුෂවාදී ‘සමාජ අපේක්ෂාවක්‘ ඉදිරි පත්කිරීමට ලිබරල් කඳවුර සුදානම් විය යුතුය. එහි නායකත්වයට පත්වන්නේ කව්ද යන්න තීරණය වන්නේ භුමියේ යථාර්තය තුළය. සජිත් ප්‍රේමදාස ජනතාව සංවිධානය කිරීම සම්බන්ධයෙන් මේ වන විට විපක්ෂයේ සිටින වඩාත්ම සක්‍රීය නායකයා වෙයි, නමුත් ප්‍රතිමානීය දේශපාලනය, සිවිල් සමාජය, සහ ආන්තික ප්‍රජාවන් දේශපාලනය තුළ සක්‍රීය කිරීමේ එනයින් ජාතිවාදී, ආගම්වාදී සහ වර්ගවාදී දේශපාලනයට එරෙහි ‘සමාජ අපේක්ෂාවක්‘ ගොඩනැඟීම සඳහා ලිබරල් කඳවුර තුළ ඒකීයත්වයක් ගොඩ නඟා ගැනීමේ අභියෝගය මේ සියලු බලවේග හමුවේ තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය පෙරට ගෙන ප්‍රායෝගිකතාවයක් තුළ විපක්ෂ බලවේග එකතු විය තුය. පොදු හතුරා වියයුත්තේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි ෆැසිස්ට් විභවතාවක් සහිත බලවේගය යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here