ජයදේව උයන්ගොඩ

ජනාධිපතිවරණය සඳහා ඉතිරිව ඇත්තේ සති හෝ දින ගණන්වලින් නොව පැයවලින් ගණන් කළ හැකි කාලයකි. මෙම කාලය තුළ මෙරට දේශපාලන බලවේග මෙන්ම පුරවැසියන්ද ඉදිරියේ තිබෙන දේශපාලන විකල්ප ගණන දෙකක් පමණක් බවට ලඝු වී තිබේ. සරල භාෂාවෙන් කියන්නේ නම් එය වනාහී ඒකාධිපතිවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය යන විකල්ප දෙකෙන් එකක් තෝරා ගැනීමකි.


දේශපාලන න්‍යාය දන්නා අයට ඒකාධිපතිවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය යන විවිධ ස්වරූප ගන්නා, ඒකාකාර නොවන දේශපාලන මාදිලි දෙකකි. එහෙත්, දෙකින් එකක් තෝරා ගැනීමේ මොහොත එළඹෙන විට, එම ස්වරූපමය වෙනස් කම් වැදගත් වන්නේ නැත. වැදගත් වන්නේ ඒකාධිපතිවාදයද? ප්‍රජාතන්ත්‍රවාදයද? යන ඍජු, කළු සහ සුදු වශයෙන් ඉදිරිපත්වන විකල්ප දෙකයි.


ගැටලුව


අප ඉදිරියේ තිබෙන ජනාධිපතිවරණයේදී මෙම විකල්ප තෝරා ගැනීමේදී ගැටලුවක් මතු වී තිබේ. එය මතු වී තිබෙන්නේ ඒකාධිපතිවාදයේ විකල්පයට නොවේ. ප්‍රජාතන්ත්‍රවාදයේ විකල්පයටය. ප්‍රජාතන්ත්‍රවාදයේ විකල්පය සමග අනන්‍යවී සිටින බලවේග අතර බෙදීමත්, තරඟයත්, එම ගැටලුවයි. එබැවින්, ප්‍රජාතන්ත්‍රවාදී බලවේග ඉදිරිපිට තිබෙන්නේ තියුණු, බරපතළ හා පෙර නොවූ විරූ දේශපාලන අභියෝගයකි. එනම් තමන් අතර තිබෙන “බෙදී සිට සටන් කිරීමේ” ප්‍රවේශය නිසා, ඒකාධිපතිවාදයේ විකල්පයට ජයගැනීමට ඇති අවකාශය නැති කරන්නේ කෙසේද? යන්නයි.
මෙම අභියෝගය වනාහී හදිසියේ ඇතිවූවක් නොවේ. ජනාධිපතිවරණයට නාම යෝජනා ඉදිරිපත් කිරීමට මාස කිහිපයකට පෙර පටන් ප්‍රගතිශීලී කඳවුරේ සාකච්ඡාවන්ට භාජනය වූ ගැටලුවකි. “රාවය” සහ “අනිද්දා” යන පුවත්පත්වල මෙම සාකච්ඡාව තියුණු ලෙස සිදු විය. එම සාකච්ඡා තිබියදීත්, ප්‍රජාතන්ත්‍රවාදී අතර පොදු සහ පුළුල් පෙරමුණක් ගොඩ නගා ගැනීම දුෂ්කර විය. එයට හේතු ගණනාවක් තිබණද ඒ අතර ප්‍රධාන කරුණු දෙකක් තිබිණි.


පළමුවැන්න, 2015දී සිදු වූ යහපාලන ආණ්ඩුව පිළිබඳ නිෂේධනීය අත්දැකීම්ය. දෙවැන්න, ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිෂ්ඨාපනය කිරීමට 2015 දී විවෘත වූ අවකාශය, ආණ්ඩුව විසින් පැහැර හැරිමයි. ප්‍රජාතන්ත්‍රවාදීකරණ ක්‍රියාවලියේ ප්‍රධාන පාර්ලිමේන්තුවාදී බලවේගය වූ එජාපයේ දේශපාලන විශ්වාසනීයත්වය සහ සුජාතභාවය බරපතළ ලෙස විනාශ වීම එහි ප්‍රතිඵලය විය.


මේ අතර, 2015 සිට ඉදිරියට ගිය ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයට, සටන් කරන්නට සිදුවූයේ, ආණ්ඩුව ඇතුළතින්ම මතු වූ ප්‍රජාතන්ත්‍රවිරෝධී නව ප්‍රවණතාවයකට එරෙහිවය. ජනාධිපති සිරිසේන මහතාත්, මහින්ද රාජපක්ෂ මහතා අතරත් 2018 ඇති වූ දේශපාලන සන්ධානය මෙම ප්‍රජාතන්ත්‍රවිරෝධී නව බලමුළුගැන්වීමේ අලුත් බලවේගය විය. එම බලවේගය දියත් කළ ඔක්තෝබර් 26 දා කුමන්ත්‍රණය පරාජය කිරීමට, ප්‍රජාතන්ත්‍රවාදී බලවේග නැවතවරක් බලමුළු ගැන්වීම, 2018 වසරේ සිදු වූ වැදගත් වර්ධනයක් විය.
එම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රමන්ත්‍රණය පරාජය කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සමත් වුවද, එම සටන එහි ඊළඟ අදියර වෙත ගෙන යාමට එම බලවේග අසමත් වූහ. අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපය 2019 ජනවාරි මසින් පසු කාලය තුළ දේශපාලන වශයෙන් අඩපණ වෙද්දී, ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තුළ නව හිඩැසක් විවෘත විය.

ගොඩනොනැගුණු සන්ධානයක්
මෙම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අවකාශයේ හිදැඩ පිරවීමට නම් නව ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයක් ගොඩ නැගීමේ හැකියාව මෙන්ම අවශ්‍යතාවද 2019 වසරේ මුල් මාසයේ පටන්ම මතු වී තිබිණ. එවැනි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණක සම නායකත්වය ගැනීමට සුදුසුකම මෙන්ම හැකියාවද තිබුණ දේශපාලන පක්ෂ දෙකක් තිබිණ. එනම් ජවිපෙ සහ ද්‍රවිඩ ජාතික සන්ධානයයි. මේ පක්ෂ දෙක පසුගිය වසර ගණනාව තුළම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ සටනේ ඉදිරියෙන් සිටි මෙන්ම නොසැළෙන බලවේග දෙකවීම එයට හේතුවයි.


මෙම පක්ෂ දෙක අතර මේ සඳහා සංවාදයක් ආරම්භ වුවද, එය ඉදිරියට ගියේ නැත. එයට ප්‍රධාන හේතුව වූයේ එවැනි සන්ධානයක් සහ ජනාධිපතිවරණය අතර ඇති විය හැකි සම්බන්ධතාව ගැන ජවිපෙ තුළ ඇති වූ දෙගිඩියාව සහ සංශයවාදයයි. එවැනි නව සහ පුළුල් ප්‍රජාතන්ත්‍රවාදයක් එජාපය සමග ගනුදෙනු කළ යුත්තේ කෙසේද යන්න ගැනද ජවිපෙ තුළ ඇති වූයේ නිශේෂධනීය ප්‍රතිචාරයකි.


මෙම වර්ධනයත් පිළිබඳ සන්දර්භය තුළ ද ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ දේශපාලන අධිකාරවාදය අතර ඇති ගැටුම පිළිබඳ තවමත් විසඳි නැති, මෙම ජනාධිපතිවරණයේදී ද ඉස්මතු වී තිබෙන දේශපාලන ප්‍රහේළිකාවක් මතු විය. එය නම් ප්‍රජාතන්ත්‍රවාදී බලවේග අතර බිඳී විසිරී යාමේ සහ ඒ නිසාම ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර දුර්වලවීමේ හැකියාවයි. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ බුද්ධිශ්‍රේණීන්ට මෙම නිශේෂනීය හැකියාව ගැන ප්‍රමාණවත් සවිඥානකත්වයක් නැතිවීමද මෙම ගැටලුවේම කොටසකි. මීට වෙනස්ව ලංකාවේ දේශපාලනය තුළ අධිකාරවාදී ඒකාධිපතිවාදී කඳවුර තුළ ඇත්තේ බිඳීයාමට නොව එකතුවීමට ඇති ප්‍රවණතාවයකි. එම කඳවුර ඒකාබද්ධ කරන්නේ මූලික වශයෙන්ම දෘෂ්ටිවාදීමය සාධකයක් විසිනි. එය නම් සිංහල වාර්ගික ජාතිකවාදයයි. මහින්ද රාජපක්ෂ මහතා මෙම ජාතිකවාදයේත්, ජාතිකවාදී සන්ධානයේත් සංකේතවත් නායකයාය. 2005 වසරේ පටන් ලංකාවේ දේශපාලන භූමිය තුළ ඔහු සංකේතමය විශාල පුරුෂයෙකු ලෙස මතු වී තිබෙන්නේ මෙම කරුණු නිසාය.


දුර්වලතාව


එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරට මෙවැනි ඒකාග්‍රකාරක දෘෂ්ටිවාදයක් හෝ සංකේතමය නායකයකුගේ /නායිකාවක හෝ නැත. එහි ඇත්තේ දෘෂ්ටිවාදමය බහුත්වවාදයකි. විසුරුණු නායකත්ව ලක්ෂණයකි. මෙය වනාහී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ ඇති ශක්තියද දුර්වලතාවයද වෙයි.


තවත් දින කිහිපයකින් පැවැත්වෙන ජනාධිපතිවරණය පිළිබඳ පසුබිම තුළ දැනට ප්‍රකාශයට පත්වන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ ඇති මෙම දුර්වලතාවයි. ඉදිරියට එන එම දුර්වලතාව විසින් බොහෝ විට සහතික කිරීමට ඉඩ තිබෙන්නේ ඒකාධිපති විකල්පයේ දේශපාලන ජයග්‍රහණයයි.


අප රටේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග ඉදිරියේ දැන් තිබෙන හදිසි අභියෝගය සහ ඓතිහාසික කර්තව්‍යය වන්නේ මෙම ඒකාධිපති විකල්පයේ ජයග්‍රහණය වැළැක්වීමට, දැනට තිබෙන සීමිත දේශපාලන අවකාශය ඇතුළත හෝ අවසාන ප්‍රයත්නයක් ගැනීමයි.


අමිහිරි යථාර්ථයක්


මෙම ජනාධිපතිවරණයෙන් ප්‍රකාශවන දේශපාලන බලතුලනයේ ප්‍රධානතම ලක්ෂණය නම් අධිකාරවාදී / ඒකාධිපතිවාදී විකල්පය ඉදිරියට ගෙනෙන බලවේගවල දේශපාලන එකමුතුව සහ ප්‍රජාතන්ත්‍රවාදී විකල්පය නියෝජනය කරන දේශපාලන බලවේගවල අසමගිය සහ බෙදී, වෙන වෙනම සටන් කිරීමයි. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල තුළ ප්‍රකාශවීමට බොහෝ විට ඉඩ තිබෙන්නේ මෙම තත්ත්වය විසින් ඇති කරනු ලබන යථාර්ථයකි. එනම් ප්‍රජාතන්ත්‍රවාදී විකල්පයේ පරාජයයි. එයට කවුරුන් වගකිව යුතුද? කව්රුන් වෙත එම දෝෂයේ වගකීම පැවරිය යුතුද යන්න ගැන විවාද කිරීමට මෙය කිසිසේත්ම අවස්ථාවක් නොවේ. මෙරට ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ සිටින සියලු ක්‍රියාකාරී සහ බුද්ධි ශ්‍රේණීන් ඉදිරියේ තිබෙන කර්තව්‍යය වන්නේ ඒකාධිපති / අධිකාරිවාදී විකල්පයේ ජයග්‍රහණයට ඇති මාවතේ දොරටු වැසීමයි.
ඒ සඳහා ඉතා සුළු ඉඩකඩක් මේ අවසාන මොහොතේ විවෘත වී තිබේ. එය දැනටමත් ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර තුළ සාකච්ඡාවට භාජනය වෙමින් තිබෙන්නකි. එය නම්, අනුර කුමාර දිසානායක සහ මහේෂ් සේනානායක යන අපේක්ෂක දෙපළගේ ඡන්ද දායකයින් සතු දෙවැනි මනාපයේ ඉඩප්‍රස්ථාව, සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමයි.


සබුද්ධික විකල්පය


මෙම ක්‍රියාමාර්ගය වනාහී දේශපාලන වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර පරාජය නොවී සිටීමට ඇති, දැනට තිබෙන එකම සබුද්ධික විකල්පයයි. එහි සාර්ථකත්වය තීරණය වන්නේ සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජපක්ෂ යන ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගෙන් කවුරුන් හෝ ඡන්ද ගණන් කරන පළමු රවුමේදී ප්‍රකාශකර ඇති වලංගු ඡන්දවලින් සියයට පණහක් ලබා නොගැනීමේ උපකල්පනය මතයි.


දැනට තිබෙන ප්‍රවණතාවය මත, දිසානායක සහ සේනානායක යන දෙපළට ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගෙන් කවුරුන්ට හෝ 50%ක් ඡන්ද නොලැබෙන හැකියාවක් තිබේ. එවැනි තත්ත්වයක් තුළ ජයග්‍රහකයා තීරණය කිරීමට දෙවැනි මනාපය අවශ්‍ය වීමේ තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබේ. මෙම දෙදෙනාගේ ඡන්ද දායකයින්ගේ දෙවැනි මනාපය, ජයග්‍රහකයා තීරණය කිරීමේ තීරණාත්මක සාධකය වීමට ද ඉඩ තිබේ.


මෙය වනාහි, අධිකාරවාදය / ඒකාධිපතිවාදය බලයට ඒම වැළැක්වීමට දිසානායක හා සේනානායක යන දෙපළටත්, ඔවුන් නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවලටත් ඇති අවසාන අවස්ථාවයි. දේශපාලනය යනු ශක්‍යතාවය කුමක්දැයි හඳුනා ගැනීමේ කලාව ( Politic s is the Art of the possibilities) යැයි පැරණි කියමනක් තිබේ. සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවලට දැන් තිබෙන්නේ මෙම කලාව භාවිතයට ගැනීමයි.


ලංකාවේ පසුගිය වසර කිහිපය තුළ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ ඉදිරියෙන්ම සිටි ජවිපෙ නායකත්වයට සහ සාමාජිකයින්ට මෙම අවසන් මොහොතේ සිදු කළ යුතු දෙවැනි මනාපයේ විකල්පය, දේශපාලන නිවැරදි භාවයේ ගැටලුවක් විය යුතු නොවේ. ඔවුන්ට තම දේශපාලන නිවැරදි භාවයේ සහ දේශපාලන හෘදය සාක්ෂියේ ගැටලුවට මුහුණ පාන්නට සිදුවනු ඇත්තේ, ජනාධිපතිවරණයෙන් ඒකාධිපති/අධිකාරවාදී විකල්පය ජයගත් විටය. ඒ සඳහා තමන් කළ වක්‍ර දායකත්වයේ අනිසි ප්‍රතිඵල ඔවුන්ටද අත්විඳින්නට ලැබෙනු ඇත. ‘මර්දනකාරී පාලකයකු පැමිණි විට අපට තිබෙන දේශපාලන අවකාශය පුළුල්වනු ඇත’ යන ස්වයං – විනාශකාරී මිථ්‍යාව පරිණත ප්‍රජාතන්ත්‍රවාදීන් අතර තිබිය යුතු නොවන්නේ එබැවිනි.


ලංකාවේ දේශපාලනයේ පවතින මේ මොහොත පවතින්නේ රටේ දේශපාලන ගමන් මගේ අනාගතය කුමක්දැයි තීරණය කරන සන්ධිස්ථානයකය. තමන් දිගටම නායකත්වය දීමට කැමති ප්‍රජාතන්ත්‍රවාදී අරගලයට සහ ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයට ඇති අවකාශය නැතිකර ගැනීමේ ක්‍රියාවලියකට ඉඩ දෙන්නේ ද, ඒ සඳහා ඇති සිමිත හෝ අවකාශය රැකගෙන, එය පුළුල් කර ගැනීමට අවශ්‍ය බළමුළු සංවිධානය කරමින් ඉදිරියට යන්නේද යන්න සෑම ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයක්ම ඉදිරියේ අද ඇති තීරණ ගැනීමේ මොහොතේ ප්‍රධාන තෝරා ගැනීමයි. එය වනාහී අවම පරාජය සහ දරුණු පසුබැසීම අතර ඇති තෝරා ගැනීමක්ද වෙයි.


එය දේශපාලන මමංකාරයෙන් තොරව කළ යුතු තෝරා ගැනීමක්ද වෙයි.