විදර්ශන කන්නන්ගර


පළමුවැනි කොරෝනා රැල්ල කඩා වැදුණු කාලයේ ම‘විසින් රාවයට ලියූ ලිපියක කොරෝනා මර්දනයේ මුවාවෙන් රාජ්‍යයේ සුපරික්ෂාකාරී යාන්ත්‍රණයන් මුවහත් වෙමින් ඇති ආකාරය සටහන් කර තැබුවෙමි. එතනදී මගේ නිරීක්ෂණය මූලික වශයෙන් යොමුවූයේ ගෝලීය තත්ත්වය තුළ මීට අදාළව සිදුවෙමින් පැවති උපක්‍රමයන් පිළිබඳවයි.එම පැහැදිලි කිරීම යළි සිහිපත් කරන්නේ නම් මෙසේය.


“මේ වනවිට ලෝකයේ බොහෝ පාලන තන්ත්‍රයන් කොරෝනා වසංගතයට ආවරණය වී ආක්‍රමණශීලී සෝදිසි කිරීම් පණගන්වමින් තිබෙයි. හංගේරියානු අගමැති වික්ටර් ඕර්බන් දින නියමයකින් තොරව මැතිවරණ කල් තබා ඒකාධිපති බලතල අත් කරගෙන ඇත. ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු පාර්ලිමේන්තුව කැඳවීම වළක්වන හදිසි නියෝගයක් පනවා තිබේ. ලංකාවේ වත්මන් විධායක පාලනය එළඹ ඇති මහ මැතිවරණ කතිකාව සිය බලය සඳහා අපයෝජනය කරන ආකාරය අමුතුවෙන් කිව යුතු නැත. නිරෝධායන නීති යටතේ සිටින ඕනෑම කෙනෙකු සුපරික්ෂාවට ලක් කෙරෙන මුහුණු හඳුනා ගැනීමේ කැමරා ලක්ෂයක පමණ ජාලයක් මොස්කව් හි ස්ථාපිත කර ඇත.
සමාජය කෙරෙහි සිය ග්‍රහණය තීව්‍ර කිරීම සඳහා මෙම වසංගත අර්බුදය උපයෝගී කරගෙන ඇත්තේ අධිකාරිවාදී පාලක ස්ථරයන් පමණක් නොවෙයි. ගූගල් හා ඇපල් සමාගම් එක්ව සෑම ඇන්ඩ්‍රොයිඞ් හා ඇපල් දුරකථනයකම මෙහෙයුම් පද්ධතිය තුළ වෛරස් ට්‍රැකර් ලුහුබැඳීමේ අඩවියක් වර්ධනය කරන බව දන්වා තිබෙයි. බොහෝ යුරෝපීය පාලන තන්ත්‍රයන් ජාතික නිරීක්ෂණ මෙවලම් ඉහළ නැංවීම සඳහා එම සමාගම් සමග සහයෝගයෙන් කටයුතු කරන බව පෙනෙයි. බි්‍රතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය සමග එක්ව ගූගල් හා ඇපල් සමාගම් විසින් ජංගම දුරකථන ‘යෙදුමක්’ (App) වර්ධනය කිරීමට කටයුතු කරන අතර ඉන් ජනතාවගේ සංචලනය හා ආසාධිත පුද්ගලයන් සමග වන සම්බන්ධතා පරීක්ෂාවට ලක් කරන බව කියැවේ. ඇමරිකාව, ජර්මනිය, ඉතාලිය හා චෙක් ජනරජයද ඔවුන්ගේම වූ නිරීක්ෂණ මෙවලම් වර්ධනය කරමින් ඇති බව වාර්තා වෙයි. කොරෝනා වෛරසය මුවාවෙන් චීනයේ පද්ධතිමය නිරීක්ෂණ ජාලයන් අප සිතනවාට වඩා ඉක්මනින් ඇමරිකා-යුරෝපය වෙත පැමිණිය හැකිය.


මෙවැනි නිරීක්ෂණ උපක්‍රම හඳුන්වා දීමෙන් පසු ඒවා යළි ලිහිල් කිරීම ඉතා දුෂ්කර කෙරෙනු ඇත. “වසංගතයෙන් පසු පුරවැසියා හා රාජ්‍යය අතර ගොඩනගන නව සබඳතාව යළි කිසි දිනෙක වෙනස් නොවනු ඇතැයි” රහස්‍යතා මෘදුකාංග සංවර්ධකයකු වන සෙන්ටි්‍රක්ස් හි ප්‍රධාන විධායක පරාන් චන්ද්‍රසේකරන් මෑතකදී ටයිම්ස් පුවත්පතට පැවසීය. සෝදිසි කිරීම් වැඩි කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි දත්ත පරීක්ෂා කිරීමට පුළුල් පරාසයක බලයක් ඉදිරි කාලය තුළ රාජ්‍යයන් විසින් අභ්‍යාස කරනු ඇති බවත් පෞද්ගලිකත්වය පිළිබඳ නව චින්තාවක් ඉන් නිපදවෙනු ඇතැයි ඔහු තවදුරටත් එහි දක්වා සිටියි.”


දැන් දෙවෙනි කොරෝනා රැල්ල විසින් ලාංකේය ජන ජීවිතය සංත්‍රාසයට පත් ව ඇති මොහොතක ඉහත සුපරික්ෂාවේ සෝදිසි කිරීම් ලාංකේය යථාර්ථයක් බවට මේ වනවිට පත්වෙමින් ඇති බව පෙනෙයි. දැන් අප සිටින්නේ ඊටත් වඩා විධායක ජනාධිපතිවරයාගේ බලතල වර්ධනය කෙරුණු හා ඔහු මූලික පාලක බල හවුලට තුනෙන් දෙකක බලයක්ද හිමි වී ඇති යුග මොහොතකය. විසිවන සංශෝධනය සම්මත කරගැනීම මෙම නව ආධිපත්‍යයේ තීරණාත්මක සංකේතය වී ඇත. ඒ අතරම කොරෝනා මර්දනය සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ප්‍රජා සේවාවන්ගේ ප්‍රමුඛ භූමිකාවට ඔබ්බෙන් මිලිටරි යාන්ත්‍රණය අධිනිශ්චය කර තිබෙන බවද පැහැදිලිය. ‘සර් ෆේල්’ යනුවෙන් යම් මතයක් විපාක්ෂික කණ්ඩායම් විසින් ප්‍රචාරණය කරමින් තිබෙනමුත් ඉදිරි මර්දන යාන්ත්‍රණයේ මෙම සංකීර්ණ මුහුණත ඇත්තේ ඊට ගැඹුරෙනි. පාලක බලාධිකාරයේ අවසරය යටතේ මේ වනවිට නව සුපරික්ෂක-සෝදිසි යාන්ත්‍රණයක් පිහිටුවමින් තිබෙන්නේ මෙවැනි පසුබිමකය.


පසුගිය 12 වන දින යුධ හමුදාව විසින් නව ඩ්‍රෝන රෙජිමේන්තුවක් පිහිටුවීම එහි මූලික සලකුණකි. කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානියා සේ ම යුධ හමුදාපතිවරයාද වන මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් යුද හමුදා මූලස්ථානයෙදී මෙහි සමාරම්භය සනිටුහන් කරන ලදි. නවීන ඩ්‍රෝනවලින් යුක්ත වන මෙම රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව සමග සම්බන්ධ කෙරෙමින් ක්‍රියාත්මක වන අතර එය ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අලුත්ම අංශය ලෙස ‘15 වන ඩ්‍රෝන් රෙජිමේන්තුව’ ලෙස නම් කර තිබෙයි.


මෙම නව රෙජිමේන්තුවේ අවශ්‍යතාව පිළිබඳව මිලිටරිය හා පාලන අධිකාරිය දක්වා ඇත්තේ ‘අනාගත අභියෝගයන්ට මුහුණ දීම සදහා වන සූදානමක්’ ලෙසය.

එම ඩ්‍රෝන රෙජිමේන්තුව සංකේතාත්මකව ආරම්හ කරමින් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියේ වේගයෙන් වෙනස් වන තාක්ෂණික දියුණුව හා නව අභියෝග සඳහා හමුදාව සූදානම් කිරීමට සූදානම්ව සිටින අවස්ථාවක යුද තත්ත්වය, ස්වාභාවික හා මිනිසා විසින් ඇති කරන ලද ව්‍යසන, ගංවතුර වැනි මෘදු මෙහෙයුම් ප්‍රවණතා සලකා බලමින් නිදසුන් ලෙස COVID-19 වැනි ආපදා, විශේෂ හදිසි අවස්ථා, රසායනික යුද්ධ, ප්‍රජා ආසාදිත වසංගත පැතිරීම යන අවස්ථාවන් සදහා මෙම නව යාන්ත්‍රණය සාර්ථක උපක්‍රමයක් වන බවයි. ලොව පුරා ප්‍රචලිත වෙමින් පවතින තාක්ෂණික නවෝත්පාදනයන් සමග යුධ හමුදාවේ ඉදිරි මූලෝපාය සම්බන්ධ කළ යුතු නිසා මෙම ඩ්‍රෝන රෙජිමේන්තුව ආරම්භ කළ බවය.


මෙහි වඩාත්ම තීරණාත්මක පණිවිඩය වන්නේ ‘විශේෂ හදිසි අවස්ථා’ සදහා නව යුධ ආරක්ෂණ මූලෝපායක් ලෙස මෙය ඉදිරියේදී භාවිතයට ගනු ලබනවාය යන්නයි. මෙම ‘හදිසි අවස්ථා’ යන හිස් හැඟවුම්කාරකය හැඟවුම්කරණය කර ගැනීම එතරම් අපහසු නැත. පුද්ගලික-මානව අයිතිවාසිකම් පරිමණ්ඩලයත් පුරවැසි-සාමූහික අයිතිවාසිකම් සදහා මතුවන දේශපාලනික-මහජන පරිමණ්ඩලයත් ඉතා සමීපව රාජ්‍ය මර්දනයේ සුපරික්ෂාවට ලක් කිරීම මෙහි ප්‍රමුඛ අරමුණ බව පැහැදිලිය. ආපදා හා හදිසි යුධමය සිදුවීම් මෙහි ව්‍යතිරේඛ තත්ත්වයක් වන අතර දිගින් දිගටම මහජන-පුද්ගල චලනයන් අධිකාරවාදී සෝදිසියට ලක් කිරීම ‘සාමාන්‍ය තත්ත්වය’ බවට පත් වීම නියමිතය.


ඊට අමතරව තවත් සෝදිසි යාන්ත්‍රණයක් පාලක බලාධිකාරය විසින් අභ්‍යාස කිරීම අරඹා තිබෙයි. එනම් වෛද්‍ය ක්ෂේත්‍රයේ සහ කොවිඞ් මර්දනයේ නිරත සියලු පාර්ශ්වයන්ට අවශ්‍ය තොරතුරු පහසුවෙන් දැනගත හැකි යැයි පවසමින් නව අන්තර් ජාල යෙදුමක් (App) නිර්මාණය කර තිබීමයි. මෙහි අවශ්‍යතාව ලෙස මූලිකව දක්වා තිබෙන්නේ කොවිඞ් ආසාදිතයන්, ආශ්‍රිතයන්, නිරෝධායනය, PCR පරීක්ෂණ සේවා, නිරීක්ෂණ, තීරණ ගැනීම්, ආසාදිතයන්ට ආසන්නතම ප්‍රදේශ සම්බන්ධ තොරතුරු ඇතුළු අත්‍යවශ්‍ය දත්ත රැසක් නව යෙදුමෙන් (App) ආවරණය කරගත හැකිය යන්නයි. පසුගිය 29 වෙනි දා ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී කොවිඞ් මර්දන කාර්ය සාධක බලකාය රැස් වූ අවස්ථාවේදී බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ධම්මිකා ජයලත් මහත්මිය ප්‍රමුඛ කණ්ඩායම විසින් මෙම අලුත් යෙදුම හඳුන්වාදෙනු ලැබීය.


මෙම නව ‘යෙදුම‘ සම්බන්ධයෙන් කීමට ඇත්තේ ජනතාවගේ පුද්ගල-අයිතිවාසිකම් අවකාශය පාලක බලාධිකාරය ඇතුළු රාජ්‍යයේ සුපරික්ෂාවට ඉතාම සූක්ෂ්මව ලක් කරන්නේ කෙසේද යන්න පිළිබඳ නවීන තාක්ෂණික අභ්‍යාසයක් වන බවයි. මෙහිදීද හදිසි වසංගත ආපදා තත්ත්වය යනු ව්‍යතිරේඛ ආවරණයක් පමණි. මෙවැනි යෙදවුම් හරහා ආණ්ඩුකරණයේ නව අත්හදා බැලීම් ස්වාභාවිකරණය කිරීමේ පැහැදිලි ඉඩක් විවර වන අතර ජනතාව මේ මොහොතේ මුහුණදෙමින් ඇති ඓන්දීය ප්‍රශ්න නිසා ඊට නිහඬ අනුමැතියක් හා සුජාත බවක් ලැබීම ආණ්ඩුවේ උපක්‍රමික ගණනය බවද නිසැකය.


කොවිඞ්-19 වසංගතයට මුවාවී මේ සිදුකෙරෙමින් ඇත්තේ වසංගතයෙන් පසුවද පුරවැසියා හා රාජ්‍යය අතර අතර නව සබඳතාවක් ප්‍රතිෂ්ඨාපනය කිරීමේ පූර්ව අභාසයකි. මෙවැනි සුපරික්ෂාකාරී මෙහෙයුම්වල බරපතළකම වන්නේ ඒවා හඳුන්වාදීමෙන් පසු යළි සමනය කිරීම අතිශය දුෂ්කරවීමයි. සංක්ෂිප්තව කිවහොත් කොවිඞ් පසුබිම තුළ ආණ්ඩුකරණය සඳහා කතිකාගත කෙරෙන ‘නව ව්‍යතිරේඛ තත්ත්වය’ වසංගතයෙන් පසුවද ‘ස්වාභාවික තත්ත්වයක්’ ලෙසම පවත්වා ගනු ඇති බවයි. ජනතාවගේ පොදු ජන වහර තුළ මීට දෘෂ්ටිවාදී අනුමැතියක් ලැබෙන මානයක් වසංගත අර්බුදය විසින්ම සපයා ඇති නිසා තත්ත්වය තවත් සංකීර්ණය.


අප අමතක නොකළ යුතු කරුණ වන්නේ මේ මොහොතේත් තව ඉදිරියටත් ලංකාවේ ප්‍රධාන දේශපාලන පසමිතුරුතාව ඇත්තේ දේශපාලන ඒකාධිපතිවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය අතරය බවය. පසුගිය ජනාධිපතිවරණ සන්දර්භයත් ඉන් අනතුරුව මහ මැතිවරණය, ජනාධිපතිවරයා විසින් පත්කළ විවිධ කාර්ය සාධක බලකා, නව මිලිටරිකරණය හා විසිවන ව්‍යවස්ථා සංශෝධනය ආදිය විසින් පැහැදිලිවම පෙන්නුම් කරනු ලැබුවේ වත්මන් පාලක බල හවුල විසින් අභ්‍යාස කිරීම ඇරඹූ ඒකාධිපතිවාදයේ ගමනයි. අද දවසේ කොවිඞ් දෙවෙනි රැල්ල නිසා බැලූ බැල්මට ඒ ගමන මඳක් නතර වූ බවක් ඇතැම් පාර්ශ්ව උපකල්පනය කරන බව පෙනෙයි. ආණ්ඩුවත් මේ මොහොතේ යම් අසීරුවකට පත්ව ඇති බවද අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් ඒ අසීරුව මධ්‍යයේද සිය ඉදිරි ඒකාධිපති චලනය වෙනුවෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ පාලක බල හවුල නව පිඹුරුපත් සොයමින් හා සකසමින් සිටින බව ද අමුතුවෙන් කිව යුතු නැත. ඉහත දක්වා ඇති නව සුපරික්ෂාකාරී-සෝදිසි යාන්ත්‍රණයන් බලාධිකාරය විසින් පරීක්ෂා කරමින් සිටින්නේ එකී ඒකාධිපති අභිමතය නිසාය. ඒ අනුව මෙම නව යාන්ත්‍රණයන් හඳුන්වා දීම අප නිශ්චිතවම ස්ථාන ගත යුත්තේ ඒකාධිපතිවාදයට එරෙහිව සංවිධානය කළ යුතුව ඇති ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවේ අත්‍යවශ්‍ය විරෝධතා සංඝඨකයක් ලෙසය. ■


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here