දිනී ජයසේකර



ලංකාව වගේ රටක ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන්ට මාර්ගගත අධ්‍යාපන ක්‍රමය (Online Education) මානසික වශයෙන් කරන බලපෑම් මොනවගේද?


අවුරුදු පහේ සිට අවුරුදු දහය දක්වා සිටින දරුවන් තමයි අපි ප්‍රාථමික දරුවන් වශයෙන් හඳුන්වනු ලබන්නේ. මේ වයස්වල ළමයි ශාරීරිකව ක්‍රියාත්මක පිරිසක්. එය මග නතරවීමෙන් සිදුවන බලපෑම අපි ටිකක් සිතිය යුතුයි. මොකද ඔවුන් දුවල පැනල සෙල්ලම් කරල ඉන්න පිරිසක් නිසා. එහෙම නොවුණාම ඔවුන් ස්වභාවිකව තනි වෙනවා.


මේ දක්වා අධ්‍යාපන රටාව හදලා තියෙන්නෙ පාඩම් කරල ඉදිරියට යන්න නෙවේ. පහ ශ්‍රේණියෙ ශිෂ්‍යත්වය දෙමවුපියො විසින් ඇඟට අරගෙන ඒ පසුපස හඹා යනවා මිසක්, අධ්‍යාපන ක්‍රමයේ තියෙන්නේ ශාරීරිකව යන ක්‍රමවේදයක්. අනෙක් කාරණය මේ පොඩි දරුවන් යාළුවන්ගෙ ආශ්‍රය ලබන පිරිසක්. එතකොට දරුවන්ගේ මිතුරු ආශ්‍රය නොමැතිවීම සහ ශාරීරික ක්‍රියාකාරීත්වය නොමැති වීම බහුතරයකට මානසික වශයෙන් බලපානවා. විශේෂයෙන්ම ශාරීරික ක්‍රියාකාරකම් නොමැතිවීම මානසික වශයෙන් බලපෑම් කරනවා කියන එක දරුවාගේ බුද්ධි වර්ධනය, සාමාජීය සහ හැඟීම් වර්ධනය කියන කරුණු කිහිපයකටත් බලපානවා.


මාර්ගගත අධ්‍යාපන ක්‍රියාවලියේදී පාසලේදී ලබන ශාරීරික ක්‍රියාකාරකම් ටික වෙන්නෙ නැහැ. දරුවා කෙළින්ම පරිගණකය දිහා බලාන කියන එකක් තමයි ලියාගන්නේ. එහිදී දරුවන්ගේ අවධානය රඳවා ගැනීමේ හැකියාව දරුවාගෙන් දරුවාට වෙනස්. එහිදී දරුවා විතරක් නෙමේ දරුවා ළඟින් දෙමවුපියොත් සිටිනවා. එතකොට අපිට එය ස්වාධීන අධ්‍යාපන ක්‍රමයක් කියලා කියන්න බැහැ. ප්‍රාථමික ශ්‍රේණිවල බහුතරය ඉගෙනීම් කටයුතුවල නිරතවෙන්නෙ විවිධ ද්‍රව්‍ය සමගයි. අතින් ගණන් හදලා ඒවා ඇහැට දැකලා තමයි ඔවුන් ඒ දේවල් ඉගෙන ගන්නේ. නමුත් මාර්ගගත අධ්‍යාපන ක්‍රමයේදී ඒවා සීමාසහිත වෙලා තියෙනවා. එහිදී බහුතරයකට ඔවුන්ගේ ඉගෙනුම් පරාසය අඩුවීම මානසික වශයෙන් විශාල බලපෑමක් කරනවා.


පාසල් දරුවෙක් අදාළ වයසත් සමග පාසල තුළින් බුද්ධිමය වර්ධනය, සමාජීය හැඟීම් සහ ගුණධර්ම වර්ධනය කියන දේවල් සංවර්ධනය කරගන්නවා. නමුත් 2020 වසර ඔවුන්ට මගහැරී යනවා. දරුවන්ට එහි බලපෑම කුමනාකාරද?

බුද්ධිමය වර්ධනය, සමාජීය හැඟීම් වර්ධනය සහ ගුණධර්ම වර්ධනය කියන කාරණා තුනම ව්‍යුහගත අධ්‍යාපනයේදී ලැබෙන ප්‍රමාණය වැඩියි. හැබැයි අපි ගෙදර ඉඳන් සිදු කරනකොට ව්‍යුහ ගත නොවුණත් ගුණධර්ම වර්ධනය සහ බුද්ධිමය වර්ධනය සිදුවෙනවා. මොකද දෙමවුපියො කොවිඞ් 19 කාලසීමාවේදී අනෙකා කෙරෙහි කොතෙක් දුරට සංවේදී වනවාද කියන කාරණය දරුවො දකිනවා. පසුව ඔවුන් ඉගෙන ගන්නවා. නමුත් ව්‍යුහගත ක්‍රමය මග හැරෙනවා. නමුත් පොඩි දරුවන්ට මේක බලපාන ප්‍රමාණය අඩුයි. ඊට හේතුව ඔවුන් යථා තත්ත්වයට පත්වීමේ සම්භාවිතාව වැඩියි. පොඩි දරුවන් අවුරුද්දක් හෝ මාස හයක් අයහපත් වාතාවරණයකට මුහුණ දුන්නත් එයාව නැවතත් යහපත් වාතාවරණයට යොමු කළාම එතනින් එහාට හැඩ ගැසීමේ වටපිටාව වැඩියි. වැඩිහිටියො වගේ නෙවෙයි.


සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන් දවසින් වැඩි ප්‍රමාණයක් මාර්ගගත අධ්‍යාපන ක්‍රමයේ නියැලීම නිසා මානසික ආතතියට ලක්වීමේ ප්‍රවණතාව ඉතා ඉහළයි නේද?


ඇත්තටම සාමාන්‍ය සැලකිය යුතු ආතතියකින් තමයි ඔවුන් සිටින්නේ. මොකද ලංකාවෙ තියෙන ආර්ථික වටපිටාවත් එක්ක සමහර පන්ති පටන් ගන්නේ පාන්දර පහ හමාරට. මොකද නයිට් ටයිම් ඬේටා පාවිච්චිය සඳහා තමයි එවැනි වටපිටාවක් සකස් කරගන්නේ. එහෙම පටන් අරගෙන සමහර දරුවන්ගෙ ඔන්ලයින් පන්ති ඉවර වෙන්නෙ රෑ නවය හමාරට විතර. වැඩිහිටියෙක් විදියට පරිගණකයක් ඉස්සරහ එක දිගට එකම ඉරියව්වෙන් සිටීමෙන් අපේ මානසික තත්ත්වය මොනවගේ තැනක තිබෙනවද? එය ඉතා පීඩාකාරීයි. ඉතින් දරුවන්ට එය ඊට වඩා බලපෑම් කරනවා. මොකද පරිගණකයක් ඉදිරියේ ඉඳගෙන ගන්න දැනුම සියයට සීයක් සාර්ථක නැහැ. මොකද දරුවන්ට තියෙන තෙහෙට්ටුව වැඩියි. අනෙක් කාරණය මේ දරුවන්ට අවිනිශ්චිතභාවය කියන හැඟීම තියෙනවා. කොතෙක් දුරට සිලබස් එක ඉවරද? සහ තමන් දන්නවා සිලබස් එක උගන්නල ඉවර වුණත් මට සමහර තැන් මගහැරුණා. සමහර තැන් මට තේරෙන්නෙ නැහැ. මෙන්න මේ අවිනිශ්චිතතාවත් එක්ක විභාග වලට මොනවගේ ප්‍රශ්න ඒවිද? මට ලියාගන්න පුළුවන් වේවිද? ඊට ප්‍රධානම හේතුව අපේ රටේ දරුවො විභාග වලට සහභාගිවෙන්න කලින් ඒවට පුහුණු වෙනවා. මේ සියල්ල මගහැරී තියෙනවා. ඉතින් දිගින් දිගටම තිබුණ ක්‍රමවේද මග හැරී යාම නිසා දරුවන්ට බියක් ඇතිවීම ස්වභාවිකයි.


සාමාන්‍ය පෙළ උසස් පෙළ දරුවො කියන්නෙ උදේම ක්‍රීඩාවලට යොමුවෙන ක්‍රියාශීලි පිරිසක්. ක්‍රියාශීලිත්වය දරුවන්ගේ මතක ශක්තිය රඳවාගන්න වැදගත් වෙනවා. මේවා මුකුත් නැති ගෙයක් ඇතුළෙ ඉන්නවා කියන කාරණේ ඔවුන්ට අපහසු තත්ත්වයක්. විශේෂයෙන්ම අවුරුදු 15-18 දක්වා දරුවන් කියන්නෙ යෞවනයන්. ඔවුන් තමන්ගේ වයසෙ අය සමග එකතුවෙලා වැඩ කරන්න බොහෝ කැමතියි. තමන්ගෙ සියලු තොරතුරු බෙදාගන්නෙ මිත්‍රයො එක්ක. ඉතින් මේ සියලු ආතතීන් එක්ක තමයි ඔවුන් විභාගවලට පෙනී ඉන්නේ.


මාර්ගගත අධ්‍යාපනයට යොමුවීමෙන් එහි ඇති ඒකාකාරීත්වය නිසාම පොදුවේ දරුවන්ගෙ දෛනික චර්යාවන් වෙනස්වීමකට ලක්වෙලා තිබෙනවා. මේ වටපිටාව ඔවුන්ගේ ඉදිරි හැසිරීම් රටාවලට කොහොම බලපෑම් කරාවිද?


පැහැදිලිවම බරපතළ හානියක් කරනවා. අපි ශාරීරිකව ක්‍රියාකාරී වෙනකොට අපේ ශරීරයේ ලේ ගමනාගමනය සහ හෝමෝන් ක්‍රියාකාරීත්වය කියන කාරණා නිසියාකාරව සිද්ධ වෙනවා. නමුත් අපි එකම ඉරියව්වෙන් ඉන්න කොට ඒ සියල්ල වෙනස් විදියකට තමයි සිද්ද වෙන්නේ. අපි ක්‍රියාකාරී නොවෙද්දි අපේ ශක්තිය අප ඇතුළතම තියෙනවා. යමෙක් එය ක්‍රීඩා කරද්දි හෝ මොනයම් හෝ දෙයක් කරද්දි පිට කරනවා. නමුත් ගෙදර ඇතුළෙ ඉද්දි දරුවන්ගෙ ශක්තිය පිටකර ගන්න විදියක් නැහැ. ඒක ඔවුන්ට ඉතා පීඩාකාරී වැඩියි.


අනෙක් කාරණය තමයි ඔවුන්ගේ නිර්මාණශීලීත්වය ගොඩ නගා ගන්න විදියක් නැහැ. මොකද සමහර ළමයි ඉන්නවා කතාබහ කරල ඒ කතාබහ තුළින් ඔවුන් නිර්මාණශීලී වෙනවා. පවතින තත්ත්වය හමුවේ මේ සියල්ල මගහැර පරිගණකයක් ඉදිරියේ ඉන්නවා කියන්නේ ඔවුන් ආවේගශීලී වීමේ ඉඩකඩ වැඩියි. නුරුස්සන ගති වැඩියි. සහෝදරයො එක්ක ගහගන්නවා. පැත්තකට වෙලා ඉන්න උත්සාහ කරනවා. සහ කොවිඞ් 19 පැමිණීමට පෙර සිට අපිට තිබුණ ප්‍රශ්නයක් තමයි දරුවන්ගේ තරබාරුව. සමබර ආහාර වේලක් නොගන්න එක තමයි ඒකට ප්‍රධානම හේතුව වුණේ. නමුත් දැන් දරුවො නිවස තුළම රැඳී සිටීමෙන් එම තත්ත්වය ඉහළ යනවා. එහිදී එය මානසික සහ ශාරීරික කියන කාරණා දෙකෙන්ම බලපෑම් කරනවා. එතකොට දරුවන්ට නිවස කියන්නෙත් අප්‍රසන්න තැනක් වෙනකොට ඔවුන් සාමාජීය ගැටලුවලට මුහුණදෙන්න පටන් ගන්නවා.


පවතින වටපිටාව අනුව දරුවන්ගේ මානසික නිදහස වෙනුවෙන් දෙමව්පියන්ගේ මැදිහත්වීම කොතෙක් දුරට තිබිය යුතුද?


පළමුවෙන්ම දෙමව්පියො අඳුනගන්න ඕනි දෙමව්පියොත් ගැටලුවක ඉන්නෙ කියලා. මොකද තමන් ගැටලුවක ඉන්නවා කියන දේ දැනගන්න එක හරිම වැදගත්. අපි පුරුද්දට උදේට නැගිටිනවා වැඩට යනවා හවස එනවා නිදියනවා. නමුත් දැන් තත්ත්වය වෙනස් වුණාම දෙමව්පියොත් ගැටලුවක ඉන්නේ. විශේෂයෙන්ම රැකියා ගැටලුව තමයි ඔවුන්ට තදින්ම බලපාන්නේ. එතකොට දෙමව්පියොන්ගෙ මානසිකත්වය කොහොමද හැසිරවෙන්නෙ කියන දේ ඉස්සරලාම තමන් විනිශ්චය කරගත යුතුයි. එහිදී කේන්ති නොගෙන දරුවන් සමග ගුණාත්මක ලෙස ගැඹුරු සාකච්ඡාවල යෙදිය යුතුයි. ඔවුන්ගේ ගැටලු හඳුනාගෙන ඊට වටපිටාව සකස් කළ යුතුයි. මොකද දරුවො කියන්නෙ ශාරීරිකව සහ මානසිකව වර්ධනය වන පිරිසක්. එහිදී දෙමව්පියො වශයෙන් දරුවන්ගේ හැඟීම් තේරුම් ගත යුතුව තිබෙනවා සහ දරුවන්ට පුංචි පුංචි වගකීම් පැවරිය යුතුයි. පාසලට යන දරුවන්ට නොයෙක් නොයෙක් වගකීම් පැවරෙනවා. හැබැයි මේ වසර තුළම ඒ වගකීම්වලින් දරුවො නිදහස් වෙලා තියෙන නිසා නිවස ආශ්‍රිත ක්‍රියාකාරකම් වලින් ඔවුන්ට වගකීම් පැවරීම නිසා ඔවුන්ට ප්‍රබෝධමත්ව කටයුතු කිරීමේ වටපිටාවක් සකස් වෙනවා.


තාක්ෂණික වශයෙන් අධ්‍යාපනය ලබා ගැනීම කොතෙක් දුරකට දරුවන්ගේ පැත්තෙන් ප්‍රායෝගිකද?


මේ සම්බන්ධව කතා කරද්දි මට ටිකක් දුෂ්කර පළාතක අවුරුදු දොළහක දරුවෙක් හමුවුණා. ඔහුගේ දෙමාපියන්ගේ ආර්ථික තත්ත්වයත් එක්ක පරිගණකයක් තියා ෆෝන් එකක්වත් ගන්න පුළුවන් වටපිටාවක් ඔවුන්ට නැහැ. දරුවා මගෙන් අහනවා මාව මේ ලෝකෙට අයිති නැද්ද? මට විතරක් ඇයි මෙහෙම වුණේ කියලා. දරුවා ගැන හොයල බලද්දි ඔහු ඉතා දක්ෂ දරුවෙක්. දැන් එයා හිරවෙලා. ඒ ගැන හොයල බලන්න වෙනවා. මොකද එතනදි ඒ දරුවට මානසික වශයෙනුත් බලපෑම් කරන්න පටන් ගන්නවා. මම දැනට කතා කළේ එක දරුවෙක් ගැන විතරයි. මේ වගේ කණ්ඩායම් අපේ ලංකාව තුළ සිටිනවා. අනෙක් කාරණාව සමහර දෙමව්පියන්ට තාක්ෂණය සම්බන්ධව තිබෙන දැනුම ඉතා අඩුයි. පරිගණකයක් හෝ දුරකථනයක් පාවිච්චි කිරීමේ සීමාව සම්බන්ධව අවබෝධයක් නැහැ. එතනදි දරුවා අනතුරට ලක්වීමේ සම්භාවිතාව වැඩියි. මොකද වැඩිහිටියන්ට සාපේක්ෂව දරුවො හරි ඉක්මනට තාක්ෂණය සමග ගැටෙනවා.■

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here