20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග කැරුණත් එම ඉලක්කය පහසුවෙන් ජයගැනීමට ආණ්ඩුවට හැකිය. බොහෝ විට සිදුවනු ඇත්තේ තුනෙන් දෙකක බහුතරයක් පාර්ලිමේන්තුවේදී ලැබ, ජනමතවිචාරනයේදීත් එම ඉලක්කය සම්පූර්ණ වීමය. ජනපති ගෝඨාභය ප්‍රමුඛව පොදුජන පෙරමුණ මහ මැතිවරණ ප්‍රචාරක කටයුතු වලදී ඍජුවම කීවේ 19 වෙනස් කිරීමට තුනෙන් දෙකක් ලබා දෙන ලෙසය. ජනතාව තුනෙන් දෙකක් දෙන්නට ඇත්තේ එම ක්‍රියාවලිය සඳහාද වන බැවින් විස්සට යළි ජනමත විමසුමක් ඉල්ලීම එක් අතකින් නිරර්ථකය. විපක්ෂය මෙහිදි කළ යුත්තේ ජනමත විචාරණ ඉල්ලීම වැනි පුහු ඝෝෂා නොවේ. 20 වැනි සංශෝධනයෙන් විය හැකි අනතුරු ජනයා තුළ තහවුරු කර පෙන්වීමය. නිදසුනකට විස්ස මගින් විගණන සේවා කොමිසම අහෝසි කිරීම ගතහොත් විගණනයෙන් තොර ආයතනික මුල්‍ය ක්‍රියාවලියක් කෙතරම් දූෂිත විය හැකිද යන්න ජනතාවට පැහැදිලි කිරීමට විපක්ෂය ගෙන් ගෙට ගියත් පාඩු නැත. එම අහෝසි කිරීම මගින් මහජනයාගේ මුදල් විනිවිදභාවයෙන් තොරව පරිහරණය කිරීමේ ඉඩ පාලක රෙජීමයට ලැබෙන බව තේරෙන භාෂාවෙන් මහජනයාට තේරුම් කර දිය යුතුය.


එමෙන්ම අග්‍රවිනිශ්චයකාරවරයා ඇතුළු උපරිමාධිකරණයේ විනිශ්චයකාරවරු පත්කිරීමේ බලය ජනාධිපතිට ලැබීම නීතියේ ආධිපත්‍යය කෙතරම් හෑල්ලුවීමට කාරණයක්දැයි යන්න තුනෙන් දෙක දුන් ජනතාවට පහදාදීම වැදගත්ය. විස්ස මගින් ස්වාධීන කමිෂන් සභා දේශපාලන අතකොළු බවට පත්වීම, පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය අහෝසිවීම, ජනපති සියලු වැදගත් කටයුතුවල තීරකයා වීම, ඇතුළුව අවසානයේදී මෙහි සමහර වගන්ති මගින් මෙරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබෙන මූලික අයිතිවාසිකම් හා වෙනත් ප්‍රතිපාදන බරපතල ලෙස උල්ලංඝනය වීම ජනතාවට පැහැදිලි කරදීම 20 ට එරෙහිව උසාවි ගිය පක්ෂවල මෙන්ම සෙසු පෙත්සම්කරුවන්ගේද වගකීමකි. එමෙන්ම එය ජන මාධ්‍යයෙහිද අනුල්ලංඝනීය වගකීමකි.


තමන් පත්කළ ජනපති නිසා, තමන් පත් කළ ආණ්ඩුව නිසා කරන ඕනෑම දෙයක් දෑස් වසාගෙන අනුමත කරන කාලය බොහෝ දිගු එකක් වීමට විදියක් නැත. තුනෙන් දෙක දුන් ජනයා අතරින් ඇතැම්හු මේ වන විටත් ජනපති අනිසි හා අධික බලයක් අත්පත් කර ගැනීමට යත්න දැරීම ගැන සැකයෙන් බලති. එම සැකයෙන් බැලීම වැඩි වර්ධනය කිරීම ප්‍රගතිශීලි කොටස්වල වගකීමකි. සැකයෙන් බලන ප්‍රමාණය කෙමෙන් වැඩි වන විට එනම් විස්සෙහි අවුල ගැන දැනුම් තේරුම් ගිය පරිසරයකදීත් “මගේ නියෝග චක්‍රලේක ලෙස සළකා ක්‍රියා කරනු” යන අනීතික ප්‍රකාශය ජනපතිට කළ හැකිය. එහෙත් බදුල්ලේ වෙලංවිට ගමේදීමෙන් ඊට ඔල්වරසන් මගින් ප්‍රතිචාර පළ නොවනු ඇත. නීති කඩා බිඳ දමා වැඩ කරන ලෙස ජනපති නිලධාරීන්ට කියන විට හරිනම් ජනතාව තමන් පත් කළ නායකයා ගැන සංවේගයට පත්විය යුතුය. ජනතාව ඔල්වරසන් දීමටත් හේතු දෙකක් තිබුණි. එකක් අහිංසක හේතුව වන මැටි හෝ වෙනත් කර්මාන්තයක් සඳහා බොහෝ සෙයින් කරදරකාරී නීති බැඳිම් වලින් තොරව අමුද්‍රව්‍ය ලබාගැනීමට අවසර ලැබීමය. අනෙක නීතිය ගැන නොදන්නා ප්‍රාථමික ස්වභාවයයි. රටට අවශ්‍ය නීතියට පිටින් ගොස් වැඩ කරන ක්‍රමයක් නොව නීතිය රකිමින් නිෂ්පාදන ක්‍රියාවලියද කාර්යක්ෂම කරන වැඩ විධික්‍රමයකි. ජනපති යෝජනා කළ යුතුව තිබුණේ නිලධාරීන් ඉල්ලා සිටින චක්‍රලේඛ සමග වැඩ පහසුකර ගන්නා ක්‍රමයකි. එසේ නොමැතිව මේ ඩෝසර් න්‍යායෙන් හුඟක් දුර යා නොහැකිය.


ජනපති රාජ ආඥා සංකල්ප පෙරදැරිව ක්‍රියා කරන බවක් පෙනේ. එසේ වීමට වැඩ අත ගගා නොඉඳ කඩිනම්ව කිරීමේ ඔහුගේ වැදගත් පුරුද්ද ද හේතු විය හැකිය. එහෙත් නියෝග නීතියක් බවට පත් කැරෙන තත්ත්වය පාර කපන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට නොවන බව ජනපති නොදන්නවා නම් වහා දැන කියා ගත යුතුය. ජනතාව ඡන්දය දී ඉල්ලා සිටියේ එවැනි පාලනයක් විය හැකිය. එහෙත් එවැනි පාලනයකින් ඇතිවිය හැකි භයානක ප්‍රතිඵල මතවාදීව සතුරු ජනතාවට පවා කියා දීම විපක්ෂ බලවේග වල වගකීමකි. විස්සට විරුද්ධ වීමේ ක්‍රියාවලිය රාජ්‍ය නොවන සංවිධානවල හා පිටරට මුදල් වලින් කිසිසේත්ම නොකළ යුතුය. එම විරුද්ධත්වය ස්වාධීනව හා අවංකව පැන නැගුණු එකක් බවට පත්විය යුතුය. මන්ද පොම්ප කළ සල්ලි වලින් කැරෙන අවලස්සන සටන් වලට වැඩි ආයු කාලයක් නැති බැවිනි.