දිනී ජයසේකර

වසර දාහතක් පමණ පැරණි කරදියාන කසළ අංගණයේ වර්තමාන තත්ත්වය කෙබඳුද?


ජයවර්ධනපුර, මොරටුව, පානදුර, හෝමාගම සහ මහරගම යන ප්‍රදේශ සියල්ලන්ගේම කුණු ගෙන්නෙ කරදියානට. එතකොට මේ වෙලාවේ මුළු ප්‍රදේශයක්ම පුරවලා තියෙන්නේ කුණුවලිනුයි. ඒ.බී. කියල කලාප දෙක පිරී ඉතිරී යන තරමටම කුණු. ඒ වගේම වටපිටාවෙ ඉඩම් අක්කර ගණනක් අත්පත් කරගෙන කසළ අංගණය තවත් විශාල කරන්න තමයි ඔවුන්ගේ බලාපොරොත්තුව වෙලා තියෙන්නේ. එතකොට කුණුවලින් ගලාගෙන එන සාරය කිසිම විද්‍යානුකූල පිරිසිදු කිරීමකට ලක්වන්නේ නැහැ. එතකොට මේ සියල්ල වේරැස් ගඟට ගලාගෙන යනවා. අවුරුදු ගණනාවක් තිස්සේ මෙම කාර්ය කරලා ඒ ගංගාව කොතරම් අපවිත්‍ර කළාද කීවොත් ප්‍රදේශවාසීන්ට ඒ ගගෙන් කිසිදු ප්‍රයෝජනයක් නැහැ. ඊළඟට මේ වකවානුව වෙනකොට ආයතන වශයෙන් හම්බ කරන මුදල් ප්‍රමාණය අතිවිශාලයි.


ඔවුන් කොම්පෝස්ට් පොහොර ව්‍යාපෘතියක් හදලා තියෙනවා. නමුත් ඒක පේන්න විතරයි හදල තියෙන්නේ. මොකද කොම්පෝස්ට් පොහොර ව්‍යාපෘතියේ සියයට එකයි දශම පහක පමණ ප්‍රයෝජනයක් අරන් තියෙන්නේ. ඒ අය කියනවා පොහොර නිෂ්පාදනය කරනවා කියලා. වටපිටාවෙ අයට කියල තියෙන්නෙ ඒ පොහොර සිංගප්පූරුවට අරිනවා කියලා. නමුත් ඒ සම්පූර්ණ බොරු. වටපිටාවෙ අයට බොරු කියමින් තමයි මේ කසළ අංගණය පවත්වගෙන යන්නේ. අනෙක් කාරණාව කසළ අංගණයෙන් වටපිටාවෙ මිනිස්සුන්ට රැකියා පහසුකම් දුන්නා කියල කියනවා. හැබැයි ඒ රැකියාවල් කියල කියන්නෙ කුණු ගොඬේ තියෙන කඩදාසි, වීදුරු, යකඩ එකතු කරන මිනිස්සුන් කරන වැඬේටයි. 1993 මම මීට වඩා දේවල් දැකලා තියෙනවා. ඒ කාලෙ කුණු ගොඩවල්වලට ඇවිත් කුණු එකතු කරන අය ගොඩක් හිටියා. හැබැයි මේක හරියට පවත්වගෙන ගියා නම් ඔවුන් අද මෙතන ඉන්න ඕනි. නමුත් අද වෙනකොට එහෙම වටපිටාවක් නැහැ.


කසළ අංගණය අවට පදිංචි වී සිටින්නන් ප්‍රදේශයේම අයද? නැතිනම් නව පදිංචිකරුවන්ද?


මේ පදිංචි කිරීම් නව පදිංචි කිරීම්. මම දන්න විදියට දෙහිවල, අඟුලාන වැනි ප්‍රදේශයන්හි වැල්ලෙ හිටපු අය තමයි මෙහි ඉන්නේ. එතකොට ඒ මිනිස්සුන්ව මෙතන පදිංචි කරවල තියෙන්නේ ඔවුන්ට ඉඩමක්වත් තිබිච්ච නැති නිසා. ඉතිං ඒ අය මේ වෙන වැඬේට වචනයක්වත් කියන්න සූදානම් නැහැ. මොකද ඊට හේතුව ඔවුන්ට කුණු ගොඩක් ළඟ හරි ඉඩමක් ලැබිල තියෙනවා. නැතිනම් යන්න දිහාවක් නෑ. මම දකින දේ කොළඹට ආසන්න වටිනා ප්‍රදේශයක් කුණු දාන්න භාවිත කිරීම වැරදි ක්‍රියාවක්. මේ ඉඩම් පහත් බිම් නම් ඔය ඉඩම් ටික අයිති වෙලා තියෙන්න ඕනේ පහත් බිම් සංවර්ධන මණ්ඩලයටයි. මේවා රජයේ ඉඩම්. කෙනෙක්ට අයිතියි කියන්න විදියක් නැහැ. මොකද මේව තිබ්ච්ච වගුරු බිම්. ඒ කියන්නේ ගගක් ගලනව නම් ඒ දෙපස තිබෙන්නේ වගුරු බිම්. ඒ වගුරුබිම් කාටවත් අයිති වෙන්නෙ නැහැ. ඒක රක්ෂිතයක්. එහිදී මොවුන් මේ කසළ කළමනාකරණය කරන්න පාවිච්චි කරල තියෙන්නේ රක්ෂිතයක්. මේක දිගින් දිගටම කරගෙන යන්න ඉඩ නොදිය යුතුයි. 2009 කසළ කළමනාකරණ ප්‍රතිපත්තිය සතේකටවත් ගණන් නොගෙනයි මේ වැඬේ කරගෙන යන්නේ. එහෙම බලද්දි මේ වැඬේ නීති විරෝධී වැඩක්. එහිදී වටපිටාවෙ අයට දිගටම මේ කසළ ගොඩත් එක්ක තමයි ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ.


2019 අප්‍රේල් මස කසළ අංගණය අසල සිටින වැසියන්ට ඉන් ඉවත් වන ලෙස දැන්නුවා. එහෙත් ඊට අවශ්‍ය ප්‍රතිපාදන රජය විසින් සලසා දී තිබුණේ නැහැ. ඒ සම්බන්ධව ඔබේ අදහස කුමක්ද?


මේ ප්‍රදේශය ඉතා ජනාකීර්ණ ප්‍රදේශයක්. ප්‍රදේශය වෙන් කරල තියෙන්නෙත් මිනිසුන්ගේ ඉදිකිරීම්වලට. එවැනි වටපිටාවක රජයට කොහෙත්ම අයිතියක් නැහැ මිනිස්සුන්ව ඉවත් කරන්න. අනිත් කාරණය ඔවුන්ට තාවකාලික ඉඳුම් හිටුම් දෙන්න බැහැ. අනෙක ඉන් මිනිසුන් ඉවත් කරනව කියන්නෙ කසළ අංගණය ලොකු කරනවා කියන එකයි. දැනටමත් අවදානම් තත්ත්වෙක තියෙන්නේ.


අවට සිටින පිරිස්වලට ගෙවන වන්දි තීරණේ කළාට පස්සෙයි ඔවුන්ට තීරණයක් ගත හැක්කේ. මොකද දැන් කරල තියෙන්නේ ගෙවල් වල වහලවල් ටික ගලවලා මිනිස්සුන්ට එන්න බැරි ක්‍රමයක් නිර්මාණය කිරීමයි. එහෙම මිනිසුන් අයින් කරනවා කියන්නේ. එතකොට මේක බලහත්කාරයෙන් කරන වැඩක්.


කසළ නිසා අවට වෙසෙන පිරිසගේ ජන ජීවිතය අඩාලවීම මෙන්ම ඔවුන්ගේ අයිතිවාසිකම් කඩවීම යන කරුණු පිළිබඳව ගැටලුවක් තිබෙනවා නේද?


ව්‍යවස්ථාවට අනුව සියලු පුරවැසියන්ට නිදහසේ පිරිසිදු පරිසරයක ජීවත් වීමේ අයිතිය තියෙනවා. දැන් කොළඹ 07 ඉන්න මනුස්සයටයි, මීතොටමුල්ලෙ ඉන්න මනුස්සයටයි මාදම්පිටියෙ ඉන්න මනුස්සයටයි යාපනේ ඉන්න මනුස්සයටයි තියෙන්නෙ එකම අයිතිවාසිකම්. මොකද ඒක ව්‍යවස්ථානුකූලයි. නමුත් මෙතනදි වෙන්නේ දිළිදුකම පාවිච්චි කිරීමයි. මොකද ඔය කුණුගොඩ ගෙනල්ල විහාරමහදේවි පාක් එකේ ගහන්නෙ නෑනේ. වටපිටාවෙ මිනිස්සු එහෙම ගහන්න ඉඩ දෙන්නෙ නැහැනේ. කැස්බෑවෙ කුණු ගොඩක් ගැහැව්වෙ මෙහෙ මිනිස්සුන්ගෙ හඬ යටපත් කරල දේශපාලනඥයන්ව යොදාගෙන බය කරලා කුණු ගොඩ ගහගන්න පුළුවන් නිසා. අදටත් මේ අවට අයට කියලා තියෙන්නේ කසළ අංගණයට විරුද්ධව හඬ නැගුවොත් ඒ අයව හිරේ දානවා කියලා. එහෙම හිරේ දාන්න බැහැ. නමුත් කරන්නෙ බය කරන එක. මීතොටමුල්ලේ වුණෙත් ඒක.


චම්පික රණවක මන්ත්‍රීවරයා නොයෙකුත් උපායන් හඳුන්වා දෙනව කුණු කළමනාකරණය සම්බන්ධව. ඒවා ප්‍රායෝගිකයි කියලා ඔබ හිතනවාද?


චම්පික රණවකටත් කුණු ගැන කියල උනන්දු කෙරෙව්වෙ මමයි. එයාට ප්‍රතිපත්ති හදල දුන්නෙත් මමයි. එහෙත් අවාසනාවකට එයාට විශාල වශයෙන් මුදල් දැක්කම ප්‍රතිපත්ති අමතක වුණා. හැබැයි ඒ ප්‍රතිපත්තිවලින් ඉගෙන ගත්ත ප්‍රතිචක්‍රීකරණය කියන වචනෙ පාවිච්චි කරලා කොම්පෝස්ට් පොහොර කියන එක කියමින් දැනුම තියෙනවා කියල පෙන්නගෙන එක එක ඒවා කියවනවා.


ඉසුරු දේවප්‍රිය හිටපු බස්නාහිර ඇමතිනේ. ඔහුටත් කුණු ගැන ඉගැන්නුවෙ මමයි. එතකොට එයා මහරගම සභාවෙ නිකන්ම නිකන් මන්ත්‍රී කෙනෙක්. ඒ කාලෙ ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන මම මහරගම ප්‍රාදේශීය සභාවෙන් ආරම්භ කරන කොට මට තාමත් මතකයි ඉසුරු දේවප්‍රිය ඇවිත් විසිකරන කඩදාසි කිරන්න පොලිතීන් වෙන් කරමු කියලා වැඩසටහන් පවත්වලා උනන්දුව ඇති කෙරෙව්වා. හැබැයි ඒ අය වචන ටික විතරයි ඉගෙන ගත්තේ. ක්‍රියාව ඔළුවට ගත්තෙ නැහැ. දැන් ඔවුන් මේ කුණු ගොඩෙන් හම්බ කරන මුදල් ප්‍රමාණය අතිවිශාලයි.


කරදියාන කසළ අංගණයට විසඳුමක් ලෙස ඔබ දකින්නේ කුමක්ද?


පළමුවෙන්ම කුණු ගේන එක නවත්වන්න ඕනේ. කැස්බෑව නගර සීමාව හැර අනෙකුත් ප්‍රදේශවලින් ගේන කුණු විශේෂයෙන්ම නවත්වන්න ඕනේ. අනෙකුත් රටවලින් ඔය හැම ප්‍රාදේශීය සභාවකටම කොම්පෝස්ට් පොහොර ක්‍රියාවලියට මුදල් ලැබිල තියෙන්නේ. බිලියන ගණන්. ඒ මුදල් කොහෙද කියලා හොයලා ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන් නැවත ආරම්භ කළ යුතුයි.


සත්‍යය වශයෙන්ම කසළ කියන්නේ රටට සම්පතක් නේද?


අනිවාර්යෙන්ම ඔව්. කඩදාසි ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කළ හැකියි. ලංකාවෙත් කළ හැකියි. නැතිනම් වෙන රටවලට විකුණන්න පුළුවන්. කැඩිච්ච මොබයිල් ෆෝන්, රූපවාහිනී කියන්නෙ විශාල ආයෝජනයක්. අනෙක් පැත්තෙන් දිරායන දේවල්වලින් කොම්පෝස්ට් පොහොර හදාගන්න පුළුවන්.


ත්‍රිපල් ඇනිමේට් පොලිතින් කඩදාසි නැවත පාවිච්චි කරන්න පුළුවන් විදියට නිර්මාණය කරගන්නවා. එතකොට කුණු ගොඩක පාවිච්චි කරන්න බෑම කියල හිතෙන විදියකට තියෙන්නෙ ජරාව ටික විතරයි. ඒක ගෘහස්ත මට්ටමෙන් හරි කොම්පොස්ට් පොහොර කරගන්න පුළුවන්. එහිදී ඇත්තටම නිසි ක්‍රමවේදයකට වැඬේ සිද්ද කරනව නම් කුණු ගොඩවල් නිර්මාණය වෙන්නෙ නැහැ. නමුත් අපේ රටේ එහෙම නිර්මාණය කරන්නෙ නැත්තේ කුණු කියන්නෙ මුදල් කියල දන්න නිසයි. ඔවුන් හොඳට ඒවයින් ගසා කනවා. ඒක තමයි සිද්ද වෙන්නේ. ■