ශ්‍රීලාල් සෙනෙවිරත්න

“… මෙළොව දෙයක් දන්නේ නැති මීහරකෙක් වගේ ඉන්න දැන්. ඕගොල්ලන්ට ඇස්වහගන්න කියලා සුමන හාමුදුරුවොයි මමයි මෙතන කාන්තාවෝ දෙන්නෙක් මවනවා. මවලා සංවාසයේ යෙදිලා පෙන්නනවා.”


මේ උපුටා ගැනීම ධර්ම සාකච්ඡාවකිනි. මෙහි ශ්‍රාවකයන් ඉදිරියේ ඍද්ධි ප්‍රාතිහාර්ය දක්වමින් සංවාසයේ යෙදෙන්නට සූදානම් වන්නේ මෙලක නූතන රහතුන් දෙනමකි. සාකච්ඡාවේ උච්ච අවස්ථාවක් ලෙස පෙනී යන මේ අවස්ථාවේ දී ප්‍රිතියෙන් පිනාගිය ශ්‍රාවකයෙක් හඬ නඟා පවසන්නේ සංවාසයේ යෙදෙන කටයුත්තට තමන්ද සහභාගිවන බවය.


සමාජ මාධ්‍යයට නිකුත්ව තිබුණු වීඩියෝව සංස්කරණය කරන ලද්දක් බැවින් දෝ, කාන්තාවන් සමග රහතුන් දෙදෙනා සංවාසයේ යෙදෙන දර්ශන එහි ඇතුළත්ව නැත. කෙසේ වුවද “ලක්ෂ ගණනින් අරිහතුන්වහන්සේලා මේ පුණ්‍ය භූමියේ පහළ වේවා”යි යදිමින් සිටින බහුතර බොදුනුවන්ට මේ රහතුන් දෙදෙනා කළ පාරම්බෑම දිරවා ගැනීමට නොහැකි වූ බව පෙනෙන්නේ ඊට එරෙහිව විවිධාකාරයෙන් මතුවූ විරෝධතා හේතුවෙනි.


දිව්‍ය ලෝකයේ සිටින රහතන් වහන්සේලාට මෙහි වඩින ලෙසින් ආයාචනා කරමින් බොදුනුවෝ අනුරාධපුර රුවන්වැලි සෑය අභියස රැයක් පහන් වෙන තුරු මහා යාගයක් සිදු කළේ මෑතක ය. මහ මඟ ධාවනය වන වාහනවල පවා “ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ පුණ්‍ය භූමියේ පහළ වේවා” ලෙසින් සඳහන් ස්ටිකර් ප්‍රදර්ශනය කරමින් බොදුනුවෝ රහතුන් පාදුර්භූත කරගන්නට කරන්නා වූ ප්‍රාර්ථනාවලින්ද අඩුවක් නැත. සෑම ආගමික කටයුත්තක් අවසානයේදීම පාහේ ඊට සහභාගිවන බොදුනුවන්ගේ ප්‍රාර්ථනය වන්නේද, භික්ෂූන්ගේ ආශිර්වාදය වන්නේද දෙව් මිනිස් සැප කෙළවර හෝ වේවා තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකින් රහත් බව ලැබීමය. එක් අතෙකින් එසේ අපේක්ෂා කරන බොදුනුවන්ම අනෙක් අතින් තැන තැන රහතුන් පහළ වී මෙසේ විවිධ ඍද්ධි ප්‍රාතිහාර්ය දක්වන්නට සූදානම් වන විට ඊට එරෙහිවීම පරස්පරය.
ප්‍රසිද්ධියේ උපන් දින සමරන, තමන්ගේම පිළිම නිර්මාණය කරගන්න, අඩිපුඩි ගහන, මල් මතින් වඩින, විනෝද වෙන, හේන් කුඹුරු අස්සදන රහතුන් ඉවසා සිටියත්, ප්‍රසිද්ධියේ කාන්තාවන් හා සංවාසයේ යෙදෙන රහතුන් නොඉවසීමේ මේ බොදුනු නැඹුරුවට හේතුව කාන්තාවන් හා සංවාසයේ යෙදීම පැවිද්ද පවා අහිමි වෙන පාරාජිකා සික පදයක්වීම විය හැකිය.
ත්‍රිපිටකයේ හමුවන බුදු හිමියන් ද, වත්මන් බොහෝ බොදුනුවන්ගේ මනෝභාවයන්හි තැන්පත් බුදුනට වෙනස් බැවින්, අනුගාමික රහතුන් පිළිබඳවද සමාන හෝ ඊටත් වැඩි පරස්පරයන් වේ නම් ඒ ගැන පුදුම විය යුතු ද නැත. බුදු දහම විෂයෙහි විශ්වසනීයම මූලාශ්‍ර ලියැවිල්ල වන ත්‍රිපිටකයෙහි ශාස්තෘවරයාගේ දේශනාව සම්පිණ්ඩනය කොට දක්වා ඇති අතර රහත්භාවය සහ රහතුන් හඳුනා ගැනීම සඳහා වන නිර්ණායක ද එහි ඇතුළත්ය.


ඒ අනුව ‘රහත්භාවය’, කාටත් පහසුවෙන් තේරුම් ගත හැකි ආකාරයෙන් කිවහොත් සියලු කෙළෙසුන් නැසීමය. කෙළෙස් යනු සිත තුළ ඇතිවෙන්නා වූ නොයෙක් ආකාරයේ ඇලීම් සහ ගැටීම් ලෙස දැක්වේ. ඇලීම් සහ ගැටීම් සත්ත්වයා නිරන්තරයෙන් දුකට, වෙහෙසට, පීඩාවට පත් කරයි. සිතේ ඇති, සිතටම ආවේනික මේ ස්වාභාවය වෙනස් කොට සියල්ල උපේක්ෂාවෙන් ඉවසිය හැකි, නොසැලෙන සිතක් හදාගත් විට දුක් නැතිවේ. ඒ භාවය රහත්භාවයයි. එහෙත් එය කියන තරම් පහසු කටයුත්තක් නොව අතිශය දුෂ්කර ව්‍යායාමකි. බුදු දහම යනු පියවර හතරක් ඔස්සේ එම කටයුත්ත සිදුකර ගතහැකි ආකාරය පිළිබඳ කෙරෙන පැහැදිලි කිරීමයි. ‘චතුරාර්ය සත්‍ය’ යනුවෙන් ප්‍රකටව ඇත්තේ එම පියවර හතරයි.


ත්‍රිපිටක ධර්මය අනුව අනෙකෙකුගේ රහත්භාවය පිළිබඳ විනිශ්චයක් දිය හැකි එකම තැනැත්තා ශාස්තෘවරයාම පමණි. ශාස්තෘවරයා නොමැති පසුබිමක වර්තමානයේ කිසිවෙකුට තවෙකෙුගේ රහත්භාවය පිළිබඳ විනිශ්චයක් දිය නොහැකිය. එබැවින් ඕනෑම පුද්ගලයෙකුට තමන් රහත්යැයි හඳුන්වා ගැනීමට වර්තමානයේ අවස්ථාව ලැබී තිබේ. මෙකල, මෙලක පහළ වී සිටින සියලු රහතෝ එලෙස තමන් විසින්ම තමන් රහත් යැයි හඳුන්වා ගන්නා පැවිද්දන් සහ ගිහියන්ය. ඒ මදිවාට ඔවුහු අනෙකුන්ගේ රහත්භාවය පිළිබඳව සහතික දෙන්නෝද වෙති. මේ කිසිවෙකුගේ රහත්භාවය තහවුරු කරගැනීමට මෙකල ශාස්තෘවරයා නොමැති වුවද, ශාස්තෘවරයාගේ දේශනා ඇසුරින් අනුමාන වශයෙන් යම් විමසා බැලීමක් කිරීමට හැකියාව තිබේ. තම ඇවෑමෙන් පසු ධර්මය සහ විනය ශාස්තෘ තැන්හිලා සලකන ලෙස බුදු හිමියෝම පවසා ඇති බැවින් එය ධර්මානුකූලද වේ.
ත්‍රිපිටකයේ මජ්ඣිම නිකායේ මූල පණ්ණාසකයේ ඇතුළත් ‘රථ විනීත’ සූත්‍රය, රහතෙකු බවට පත්වීමේ ගමන් මඟ පිළිබඳ කදිම විස්තරයක් ඇතුළත් අනුගාමික දේශනාවකි. එහි දැක්වෙන පරිදි රහත් බව කෙළවර කොට ඇති නිවන් මග ශීල විශුද්ධිය, චිත්ත විශුද්ධිය, දිට්ඨි විශුද්ධිය, කංඛාවිතරණ විශුද්ධිය, මග්ගාමග්ග ඤාණදස්සන විශුද්ධිය, පටිපදා ඤාණදස්සන විශුද්ධිය, ඤාණදස්සන විශුද්ධිය යන ප්‍රධාන පියවර හතකින් යුක්තය. මේවා පියගැට පෙළක පියවර ලෙසින් සලකා ගැනීම අවබෝධයට පහසුය. අනුපිළිවෙළින් සෝවන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් යන මාර්ගය දකින නුවණැස ‘ඤාණදස්සන විසුද්ධිය’ යි. සතරවෙනි හෙවත් අවසන් පියගැටය යි. පරිසමාප්තිය හෙවත් රහත්භාවය යි.


අවසන් පියගැටයට පැරෂුටයක් මගින් අහසින් බැසගත නොහෙන අතර මුල් පියගැටයට මුල් පියවර තබා පියවරෙන් පියවර වීරියෙන් පියගැට පෙළ ඉහළට නැග පය තැබිය යුතුය. මුල් පියගැටයට මනා කොට පා නොතැබූවෙකු සතරවෙනි පියගැටය වෙත ළඟාවීමක් කිසි ලෙසකත් සිදුවිය නොහැකිය. මන්තානිපුත්ත පුණ්ණ නමැති භික්ෂුවක් රථ කිහිපයක උපකාරයෙන් දුර බැහැර ගමනක් යන්නෙකුගේ උපමාවක් දක්වමින් මේ ආකාරයෙන් නිවන් මග විස්තර කරන්නේ, අග්‍රශ්‍රාවක සැරියුත් හිමියන්ටය. එවිට සැරියුත් හිමි මන්තානිපුත්ත හිමියන්ගේ දේශනාව අනුමත කරන්නේ “මනා කොට ශාස්තෘ සාසනය දන්නා වූ ශ්‍රාවකයෙකු පරිද්දෙන් ඔබ ඒ දේශනය කළා.” යනුවෙනි. මේ සූත්‍රය බුදු සමයේ සිටි රහතුන්ගේ යථාරූපයද ප්‍රකට කරති.
එහි දැක්වෙන පරිදි රහත් මග පළමු පියවර වන සීල විශුද්ධිය යනු සීලයෙන් පිරිසිදු වීමය. අට්ට කතා විග්‍රහයන් අනුව සීලය යනු කය සහ වචනයේ සංවරය යි. සීලය පිළිබඳ දීර්ඝ විස්තර ඇතුළත් දීඝ නිකායේ ශීලක්ඛන්ධ වග්ගයේ සූත්‍ර තුළ පැවිදි සීලය, සුළු සීලය, මධ්‍ය සීලය සහ උසස් ශීලය යනුවෙන් කොටස් තුනකින් දක්වා ඇත. සුළු සීලය යටතේ තුන්වෙනි සීලය දක්වා ඇත්තේ මෙසේය.


“ස්ත්‍රී පුරුෂ සංසර්ගය නම් වූ ග්‍රාම්‍ය ධර්මයෙන් වෙන්ව බ්‍රහ්මචාරීවීම” පැවිද්දෙකුගේ (සුළු) ශීලය කි. බොරු සහ හිස් වචන ආදිය කීමෙන් වැළකීම, මල් ගඳ විලවුන් පරිහරණයෙන් වැළකීම, උපායෙන් අනුන් රැවටීමෙන් වැළැකීම ආදී සික පදයන් ද තවදුරටත් පැවිදි සුළු සීලය තුළ ඇතුළත්ය. ගිහියන්ගේ මහා ශීලයන් වන අට සිල් සහ දස සිල් භික්ෂුවගේ සුළු සීලයට වැටෙන බව මින් පෙනෙයි. භික්ෂුවගේ මහා සීලය වන්නේ විනය පිටකයේ ඇතුළත් පාරාජිකා සික පද වන අතර කාන්තාවන් හා සංවාසයේ යෙදීම පාරාජිකාවකි. හෙවත් ගසක් කරටියෙන් කැඩුණාක් මෙන් සාසනික පැවිද්ද අහිමි කරවන්නකි.
රහත්භාවය සඳහා වන මුල් පියවර සීලය බව පෙන්වා දෙන ශාස්තෘ දේශනා අතර අංගුත්තර නිකායේ දශක නිපාතයේ එන “කුසල සීල කිමත්ථිය” සූත්‍රයෙහි සඳහන්ව ඇති පරිදි ආනන්ද හිමියෝ වරක් “කුසල සීලය කුමක් පිණිස පවතින්නේද?” යනුවෙන් විමසූ අවස්ථාවක බුදු හිමි පැහැදිලි කරන්නේ එය නිවන කෙළවර කොට පවතින බවය. නිවනේ පළමු පියවර බවය. කුසල ශීල කිමත්ථිය සූත්‍රයට පසුව එන “දුස්සීල හතුපනිස සූත්‍රය”හි බුදු හිමියෝ පැහැදිලි කරන්නේ සීලයෙන් වෙන්වූ, දුස්සීලයාට අර්හත් ඵලය නැසුණ බවය. එය නිදසුනකින් දක්වන්නේ “අතු කොළ නැති වෘක්ෂයක පොත්තද, එලයද, අරටුවද සම්පූර්ණ නොවන්නා සේය” යනුවෙනි.


උක්ත රහත් කුට්ටමද ඇතුළත් මෙලක නූතන රහතුන්ගේ රහත්භාවය පිළිබඳ අනුමාන ඥානයක් ඇතිකර ගැනීමට මේ සූත්‍ර කිහිපය ප්‍රමාණවත්ය. රහතුන් ලෙස තම තමන් හුවා දක්වා ගන්නා අය රහතුන් වැඩි මගෙහි පළමු පියවර හෝ මනාව තබා සිටින්නේද? එය හරියටම දන්නේ ඔවුන් සමග සමීප සබඳතා පවත්වන්නන් ය.


මේ, බොරැල්ලේ සුමන රහතානන් පිළිබඳව ඔහුගේ සමීපතමයෙකුව සිටි තරුණයෙක් කරන අනාවරණයකි. ඔහු කියන පරිදි මුලින් කී වීඩියෝව සමාජ මාධ්‍යයට එක්කොට ඇත්තේද මොහුය.


“මගේ නම ධනුෂ්ක රුක්ෂාන් තිලකරත්න. බොරැල්ලේ සිරිසුමන හාමුදුරුවන්ගේ ඇඟේ කහ ගාලා පූජාවක් පවත්වපු කෙනා මම තමයි. මට උන්වහන්සේ එන්න කියලා කිව්වේ විෂ්ණු දෙවියන්ගේ අභිෂේක පූජාවක් කරන්න. ඒ වෙලාවේ එතැන සීයක් දෙසීයක් රැස්වෙලා හිටියා. මම අනෙක් ස්වාමින් වහන්සේ කෙනෙක්ගෙන් ඇහුවා ‘කෝ මෙතැන විෂ්ණු පිළිමයක් නෑනේ අභිෂේක කරන්න?’ කියලා. මොකද මෙතන කිරි කළ විසි එකක්, තැඹිලි කළ විසි එකක්, කහ කළ විසි එකක් මම සකස් කරලා තිබ්බා. එතකොට අනෙක් ස්වාමින්වහන්සේ කිව්වා ‘පුතා අපිට දෙවියන් වගේම තමයි ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේව අභිෂේක කරමු’ කියලා. හාමුදුරුවෝ රහත් වෙලා ඉන්න කෙනෙක් කියලා හාමුදුරුවොම මට කලින් කියලා තියනවා.


මම ගියේ විෂ්ණු දෙවියන්ගේ පිළිමේ අභිෂේක කරන්න. නමුත් එතැන විෂ්ණු දෙවියන්ගේ පිළිමයක් තිබ්බේ නෑ උන්වහන්සේ ඇවිල්ලා එතන වාඩි වුණා. අපි දෙවියන් අභිෂේක කරනකොට උන්වහන්සේලාට කරන ගෞරවයක් වශයෙන් දෙවියන්ගේ පිළිමේ ඖෂධ ගානවා. විෂ්ණු දෙවියන්ට සකස් කරලා තිබුණ ඖෂධ අන්තිමට ගාන්න සිද්ධ වුණේ මුන්වහන්සේගේ ශරීරයේ. කහගාලා, කස්තුරි ගාලා, මන්ත්‍ර කියලා මම උන්වහන්සේ නෑව්වා.”


මේ කටයුත්ත සිදුව තිබුණේ භික්ෂුවකද ඇතුළුව තවත් කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙනි. මෙලෙස ප්‍රකටව සිදුකෙරෙන පුද පූජාවලට අමතරව අප්‍රකටවද, මේ රහතුන් කෙරෙහි වන පුද පූජාවන්ද තිබී ඇති අතර තරුණයා ඉන් එකක් සිහිපත් කරන්නේ මෙලෙසිනි.


“පන්සලේ මට වෙනම කුටියක් ලෑස්ති කරලා තිබ්බා නිදාගන්න. රෑ උන්වහන්සේ මට කිව්වා උන්වහන්සේගේ කුටියට එන්න ධර්ම කරුණක් සාකච්ඡා කරන්න කියලා. මම ගියාට පස්සේ උන්වහන්සේ කිව්වා ‘මගේ කකුල් දෙක හරියට රිදෙනවා පුතා, නහරවල් දිගේ විශ්ව ශක්තිය ගිහිල්ලා කැටිගැහිලා, ඒක මුදාහරින්න නම් කකුල් මසාජ් කරන්න ඕනේ, ඒ නිසා ක්‍රීම් එකක් අරගෙන කකුල් දෙක මසාජ් කරන්න’ කියලා. මම දණිහිස් දෙක ළඟට එනකම් මසාජ් කළා. ඊට පස්සේ කිව්වා දණහිසෙන් උඩ කලවා කොටසත් මසාජ් කරන්න කියලා. මම බෑ කිව්වාම ‘මම ඔයාට කොච්චර දේවල් කරලා දෙනවද, ඇයි ඔයා ඔහොම වෙන්නේ?’ කියලා මගෙන් ඇහුවා. උන්වහන්සේ මට කතා කරන්නේ රත්තරං පැටියෝ, සූදූ, මැණික, වස්තුව කියලා. හාමුදුරුවන්ගේ කාමරේ කිං සයිස් බෙඞ් එකක් තියනවා. ලක්ෂ ගණන් විටිනා පර්ෆියුම් තියනවා. බකාඩි, චිවාස් රීගල් වගේ බීම තියනවා.” (උපුටා ගැනීම සමාජ මාධ්‍යයෙනි.)


බොරැල්ලේ සිරිසුමන රහතාගේ පැටිකිරිය එසේය. මේ අපූරු රහතා බැහැ දැක ඍද්ධි ප්‍රාතිහාර්යද දැක බලා ගැනීමේ අරමුණෙන් ලියුම්කරු දැරූ උත්සාහය ව්‍යර්ථ වූයේ බොරැල්ල ආසන්නයේ පන්සල් කිහිපයක වැඩ සිටි හෙතෙම මේ වන විට ඒ සියල්ල හැර ගොස් තිබූ බැවිනි. සායි බාබා ආකාරයෙන් කොණ්ඩය වවා සිටින අරමධම්ම ගැන දන්නා අයෙකුද හමු නොවීය. ඇතැම්විට මේ රහතුන් දෙදෙනා ඍද්ධි බලයෙන් හෝ මුදල් බලයෙන් කලින් කල තැනින් තැන පාදූර්භූත වෙමින් ඉහත කී ආකාරයේ වැඩ පෙන්වන ඩබලක්ද විය හැකිය.


කෙසේ හෝ වේවා මේ නූතන රහතුන්ගේ සීලයත්, ශාස්තෘවරයා පනවා ඇති සීලයත් එකක්ද, දෙකක්ද යන්නත්, මෙලක රහතුන් සහ එකල රහතුන් පිළිබඳවත් මුලික අදහසක් ගැනීමට මෙනයින් අපහසු නැත. මෙලක බහුතර බොදුනුවා මුහුණ පා සිටින්නේ තමන් විසින් අයදින්නා වූ මොඩලයේ රහතුන් වෙනුවට වෙනත් මොඩලයක රහතුන් පාදූර්භූතවීමේ අබග්ගයට බව නිරීක්ෂණය කළ හැකිය. ඉල්ලන්නේ සැරියුත් මුගලන් ආකාරයේ රහතුන් වුවද ලැබෙන්නේ අංජබජල් මොඩර්න් රහතුන්ය.
ත්‍රිපිටකයේ ඇතුළත්ව නැතත් බුදු හිමි පිරිනිවන් මංචකයේදී බුදු සසුන පන් දහසක් කල් මෙලක පවතීවා යැයි අධිෂ්ඨානයක් පිහිට වූ බවට බොදුනුවන් තුළ බලවත් විශ්වාසයක් වේ. එසේ තිබියදී මේ සිදුවෙමින් තිබෙන්නේ කුමක්ද? කෝටියක් සංවර ශීලයෙන් යුත් භික්ෂූන් සහ මහ රහතුන් ප්‍රාර්ථනා කරන සමාජයට සුළු සීලයක් හෝ නොමැති භික්ෂූන් සහ රහතුන් ලැබෙමින් පවතින පසුබිමක තේරුම් ගැනීම දුෂ්කර කරුණ නම් ඒ බවක් නොසලකා බොදුනුවෝම ඔවුන් කර තබාගෙන යාමය.

ඡායාරූප-
1 බොරැල්ලේ සිරිසුමන රහතා දායිකාවක සමග
2 රහතා විෂ්ණු පූජාවෙන් අභිෂේක ගන්වන්නට පෙර

1
2