නිමල් අබේසිංහ

සුනිල් ජයවර්ධන නම් ත්‍රීරෝද රථ සංගම් සභාපතිවරයා නුගේගොඩ ඇඹුල්දෙනියේ ලිසීං සමාගමකදී පහරදී මරාදැමීමේ සිද්ධිය රටපුරා ඉමහත් ආන්දෝලනාත්මක සිදුවීමක් වුයේය. රටේ ප්‍රසිද්ධියට පත්වුයේ එකී මිනීමැරුම වුවත් රටපුරා ලීසිං සමාගම්වලින්, ඒවායෙන් ලීසිං ක්‍රමයට වාහන ලබාගන්නා පුද්ගලයින්ට සිදුවෙන අවනඩු ගැන කිසිවෙකුගේත් අවධානයට යොමුව නැත.


හේමකුමාරගේ කතාව


පොලොන්නරුවේ තෙල්පොත හේමකුමාර පෞද්ගලික බස්රථ රියදුරෙකි. ඔරික්ස් ලීසිං සමාගමෙන් කල්බදු ක්‍රමයට බස් රථයක් මිලදී ගන්නේ 2004 වසරේදීය. වාරික 48 කින් බස්රථය සඳහා ගෙවිය යුතු මුළු මුදල රුපියල් 4012020 කි. එක් වාරිකයක් සඳහා ගෙවිය යුතු මුදල රුපියල් 66867 කි. සමස්ථ මුදල 2009 වසර වන විටදී ගෙවා නිම කළයුතුය. කරදරයකින් තොරව නොකඩවා වාරික ගෙවාගෙන යත්දී බිරිඳට හදිසි අසනීපයක් වැළඳීමේ හේතුවෙන් වාරික කිහිපයක් ගෙවා ගැනීමට නොහැකි විය. කෙසේ හෝ ඔහු පසුව එකී වාරිකයද ගෙවා දැමීය. ඒ 2008 වසර අගභාගයේදීය. 2009 ජනවාරිවලද ඔහු රුපියල් 85000 ක් ගෙවු මුත් 2009 පෙබරවාරි මාසයේ ඔහුගේ වාහනය ෆිනෑන්ස් කොම්පැනියේ සීසර්ලා පැහැරගෙන ඇත. ඔහු මේ ගැන කතා බහ කිරීමට ඔරික්ස් ලීසිං කම්පැනියට ගියත් ඔහුට යහපත් ප්‍රතිචාරයක් නොලැබෙයි. ඔවුන් පවසා ඇත්තේ බස් රථය රුපියල් 2025000කට විකුණා දැමු බවය.


හේමකුමාර කියන විදියට ඒ වනවිට ඔහු ලීසිං කොම්පැනියට ගෙවා ඇති මුදල රුපියල් ලක්ෂ 32 කි. ලීසිං සහිත මිල වන්නේ රුපියල් 4012020 කි. එසේ වූ විට බස්රථයේ බදු නියම වටිනාකම රුපියල් ලක්ෂ 24 ක් හෝ 25 හෝ 26 කට වැඩිවිය නොහැකිය. හේතුව ලීසිං මුදලට බස් රථයේ වටිනාකමෙන් අවම වශයෙන් 16% ක් වත් එකතු වන බැවින්ය.


මේ කතාව දෙස හොඳින් බලන විට පෙනෙන්නේ ලීසිං සමාගම රුපියල් ලක්ෂ 26 ක් වටිනා බස් රථය මුලදී ලීසිං කරන හේමකුමාරට විකුනා පසුව පැහැරගෙන තවත් අයෙකුට රුපියල් 2025000කට විකිනීමෙන් උපයාගෙන ඇති මුළු මුදල රු. ලක්ෂ 32 + 2025000 = 5225000 ක් බව පෙනේ. බස් රථයේ වටිනාකම රුපියල් ලක්ෂ 26 නම් ඔවුන් උපයාගෙන ඇති ලාභය රු. 2625000 කි. ඒ මේ කතාවේ එක් පාර්ශවයකි.


ගිවිසුම් ඉංග්‍රීසියෙන්


ලීසිං ක්‍රමය යටතේ වාහන මිලදී ගෙන අමාරුවේ වැටුණ හේමකුමාරලා වැන්නවුන් දහස් ගණනක් රටපුරා සිටිති. එසේ වන්නේ ඇයි ද යන්න ගැටළුවකි. ලීසිං කර වාහනයක් හිමිකරගන්නට කැමති පිරිස් වාහනයක හිමිකරුවෙකු වීමට ඇති නොතිත් ආශාව නිසා ලීසිං ගිවිසුම පිළිබඳව කිසි අවධානයක් යොමු නොකිරීම මින් ප්‍රධාන අඩුපාඩුවය. සියළුම ලීසිං සමාගම්හි කල්බදු ගිවිසුම්පත්‍ර ඇත්තේ ඉංග්‍රිසියෙනි. ඉංග්‍රීසි භාෂාව පිළිබඳ යම් දැනුමැත්තෙකුට වුව ඒවා කියවා අවබෝධ කර ගැනීම අපහසුය. එවිට සිදුවන්නේ අදාළ ආයතනයේ නිලධාරියකු හෝ නිලධාරිණියක විසින් පහදා දෙනු ලබන කාරණා කෙරෙහි පමණක් අවධානය යොමු වීමය.


මෙහිදී පැහැදිලි කරනුයේ ලීසිං කරනු ලබන මුදල හා වාරිකය ගැනය. එසේම වාරික 3 ක් නොගෙව්වහොත් වාහනය ආපසු ලීසිං සමාගමට හිමිවන බවය. ඉන් එහා කිසිවක් දැනගන්නට ගණුදෙනුකරුවාටද අවශ්‍ය නොවේ. මේ හේතුව නිසා ගැනුම්කරුවන් අමාරුවේ වැටේ.


මුල් කතාවේ එන හේමකුමාරගේ සිද්ධිය ගතහොත් ඔහු අමාරුවේ වැටුනේ ඇයිද යන්න පැහැදිලි කරගත හැකිය. ඔහුට පිට පිටම වාරික තුනක් ගෙවාගත නොහැකි වුයේ නම් ඒ සඳහා දඩමුදලක් ද එකතු කෙරෙයි. එවිට වාරික වලට අමතරව දඩමුදලත් ගෙවිය යුතුය. ලීසිං කොම්පැනිය සිදුකරනුයේ ඔහු ගෙවු මුදලින් පළමුව දඩය අයකරගෙන ඉතිරියෙන් වාරිකමුදල අය කිරීමය. එවිට වාරිකයෙන් කොටසක් ඉතිරි වේ. එසේ නොවේනම් රුපියල් 66867 ක් වු ඔහුගේ වාරික මුදල වෙනුවෙන් රුපියල් 85000 ගෙවන්න සිදු නොවේ.


කල්බදු සමාගම් විසින් සිය ගණුදෙනුකරුවන් සමඟ ගිවිසගන්නා බදු ගිවිසුම මුද්‍රණය කර ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණකි. ඇතැම් සමාගම් සිය වෙබ් අඩවිවල තොරතුරු සිංහල ඉංග්‍රීසි දෙමළ යන භාෂා ත්‍රිත්වයෙන්ම දක්වා තිබේ. එසේනම් බදු ගිවිසුම් පත්‍රය පමණක් ඉංග්‍රීසි බසින් පමණක් මුද්‍රණය කිරීමේ රහසක් තිබිය යුතුය.


නඩු වැටීම


කල්බදු ක්‍රමයට වාහන මිලදීගෙන වාහනය මෙන්ම තමන් ගෙවූ මුදල ද අහිමි වනවාට අමතරව ගැණුම්කරුවන් අමාරුවේ වැටීම එතනින් නතර නොවේ. ඔවුන් ලීසිං කරගත් වාහනය පැහැරගත් පසුව ගෙවීමට ඇති මුදල ගෙවා නිදහස් කර නොගතහොත් ලීසිං කොම්පැනිය කරනුයේ එකී වාහනය වෙන්දේසියේ විකිණිමය.


ඉංග්‍රීසි බසින් සකසන ලද එවැනි ගිවිසුමක ඇති කොන්දේසි කීපයක් මෙසේ සරලව සිංහලෙන් දැක්විය හැකිය. “බදු ගෙවන ලද වාහනය වෙනුවෙන් නිවැරදි දිනයට වාරික ගෙවිය යුතු අතර වාහනය කුමන තත්ත්වයක් තුළ හෝ හානියක් සිදුව තිබියදී වුවද ගෙවීම් ප්‍රමාද නොකළ යුතුය”.


“පවත්නා වෙළෙඳපළ අනුපාතයන්ට අනුව පොලි අනුපාතය සංශෝධනය කිරීමට නැවත ගණනය කිරීමට සහ වාරික අයකර ගැනීමට බදු දෙන්නා හට අයිතියක් ඇත”.


මෙහිදී බොහෝවිට සිදුවන්නේ වෙළඳපළ අනුපාත ඉහළයාමකදී පොළි අනුපාතය සංශෝධනය කිරීම මිසෙක පෙළි අනුපාතය පහළ දැමීමක් නම් නොවේ.


ද ෆිනෑන්ස් සමාගමේ කල්බදු ගිවිසුම් ඉංග්‍රීසියෙන් පමණක් මුද්‍රණය කර ඇතිමුත් එහි අවසාන කොටස සිංහලෙන් මුද්‍රණය කර තිබේ. ඒ මෙලෙසය.


“ඉහත කී වගන්තිය හා කොන්දේසි අප විසින් කියවා තේරුම් ගත්/ කියවා තේරුම් කර දුන් බවටත් අප විසින් මෙයට අපගේ අත්සන තැබීමෙන් ඉහත සඳහන් කරුණු පිළිපැදීමටත් වගකීම් භාරගැනීමටත් මෙයින් එකඟ වන්නෙමු”.


මෙය වනාහි බදු හිමියා විසින් බදුකරුවා අත් අඩංගුවට ගැනීමට යෙදු උපක්‍රමයක් නොවේද ? මේ අතර සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම සිය බදු ගිවිසුම් සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම මුද්‍රණය කර ඇති බව දැනගන්නට ඇති කරුණකි.


පැහැරගන්නා විට කල්බදුකරුවා ගෙවා තිබුණේ සම්පූර්ණ වටිනාකමෙන් ලක්ෂ 10 ක් යැයි උපකල්පනය කරමු. එවිට තවත් ලක්ෂ 15 ක් ඔහු සමාගමට ගෙවීමට තිබේ. වාහනය වෙන්දේසිකර ලීසිං කම්පැනියට ලැබුණ මුදල ලක්ෂ 12 යැයිද සිතමු. එවිට තවත් ලක්ෂ 3 ක මුදලක් කොම්පැනියට අහිමි වී ඇත. මේ මුදල අයකරගන්නේද මුල් වාහන හිමියාගෙන්මය. එය වන්නේ ඔහුත් සමාගමත් විසින් ගිවිසාගෙන තිබෙන කල්බදු ගිවිසුම අනුවය. ඒ අනුව අනිවාර්යෙන්ම ලීසං කොම්පැනිය අදාල ප්‍රදේශයේ දිස්ත්‍රික් උසාවියේ කල්බදුකරුවාට එරෙහිව නඩුවක් පවරයි. එයට හිඟ මුදල වු ලක්ෂ තුනට අමතරව වාහනය පැහැරගැනීම සඳහා යෙදවු පුද්ගලයින්ට ගෙවු ගාස්තු ඇතුළුව තවත් ගාස්තු ද ඇතුළත් වේ. කිසියම් විදියකින් නඩුව සඳහා ගැණුම්කරු ඉදිරිපත් නොවුයේ නම් නඩුව ඒක පාර්ශ්විකව විභාගයට ගෙන තීන්දුවක් ලැබෙනු ඇත. මෙයින් පසුව උසාවිය මාර්ගයෙන්ම ලීසිංකරුවාගේ ඇපකරුවනට ද අධිකරණයට පැමිණීමට සිදුවීම අනිවාර්ය වනවා පමණක් නොව සමහරක් විටෙක ඔවුන්ට මෙකී මුදල් ගෙවීමට සිදුවන අවස්ථා නැතිවම නොවේ. බැලු බැල්මට ලීසිං කර වාහනයක් මිලදී ගැනීම පහසු ක්‍රියාවක් වුවත් හරිහැටි කරුණු කාරණා අවබෝධ කරනොගෙන වාහන ලීසිං කර ගැනීම අමාරුවේ වැටෙන ගණුදෙනුවකි.


රක්ෂණ වන්දි හිමිනොවේ


කල්බදු ක්‍රමය යටතේ වාහන මිලදී ගත් පසු එකී වාහනය අනතුරකට ලක්වුවහොත් වාහනය නැවත අලුත්වැඩියා කරගැනීම සඳහා කල්බදුකරුවාට රක්ෂණ මුදල් ලබාගැනීමට නොහැකිය. එයට හේතුව වාහනය රක්ෂණය කර ඇත්තේ සමාගම නමින් වීමය. මෙම වාහනය බස් රථයක් හෝ එදිනෙදා කුලීගමන් දුවන වාහනයක් නම් වාහනය අලුත්වැඩියාව සඳහා ගරාජයේ තිබන කාලය තුළ ආදායමක් ලැබෙන්නේ නැත. එහෙත් ඔහු ලීසිං වාරිකය ගෙවිය යුතුවා සේම වාහනය අලුත්වැඩියාව සඳහා මුදල් ද ගෙවිය යුතුය. මෙවන් අවස්ථාවන්හිදී ලිසිංකරුවා තවත් අමාරුවට පත්වේ. කල්බදු ක්‍රමයට නැතිනම් ලීසිං ක්‍රමයට වාහන ගන්නමුත් තමන් නොදැනීම ගෙවන තවත් ගාස්තුවක් වේ. ඇත්තෙන්ම මෙවැනි ගෙවීමක් තමන් ගෙවන බව ලීසිංකරුවා නොදනී. එය වන්නේ බ්‍රෝකරුවරුන් හරහා ලීසිං කොම්පැනි සම්බන්ධ කරගන්නා විටය. එහිදී බ්‍රෝකර්ට සමස්ත ගණුදෙනුවෙන් 2% ක කොමිසන් මුදලක් ලබාදීම සමාගම් විසින් සිදු කරයි. මින් 1% සමාගම දරණ අතර ඉතිරි 1% ක මුදල් අයකරගනු ලබන්නේ කල්බදු මත වාහනය ලබාගන්නාය. බ්‍රෝකර්වරුන් මාර්ගයෙන් වාහන මිලදී ගන්නට යන්නන් මෙකී රහස දන්නේ නැත.


ලියාපදිංචි නැති කල්බදු සමාගම්


හතු පිපෙන්නාක් මෙන් රටපුරා කල්බදු සමාගම් බිහිවී තිබේ. ශ්‍රී ලංකාවේ නීතිය අනුව එවැනි සමාගම් ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි විය යුතු මුත් මහබැංකුවේ ලියාපදිංචි වී ඇත්තේ එවැනි සමාගම් අතලොස්සකි. 2020 ජුනි 11 වැනි දිනට ශ්‍රී ලංකා මහබැංකුවේ ලියාපදිංචි වී ඇති කල්බදුකරණ ආයතන ගණන මෙලෙස දැක්විය හැකිය. බලපත්‍රලාභී වානිජ බැංකු 12 ක් ද විශේෂිත බැංකු 5 ක් ද බලපත්‍රලාභී මුදල් සමාගම් 41 ක් ද විශේෂිත කල්බදු මුල්‍ය සමාගම් 4 ක් ද වශයෙන් එසේ ලියාපදිංචි වී ඇත. ඒ අනුව සමස්ථ සමාගම් ගණන 62 කි. එහෙත් මෙයට වැඩි සමාගම් ප්‍රමාණයක් මෙරට කල්බදුකරණ එනම් ලීසිං ලබාදීමේ කාර්යයේ නියැලි සිටී.


කල්බදු ක්‍රමයට වාහනයක් මිලදී ගන්නට යන ඕනෑම තැනැත්තෙකුට සලකනුයේ ඉහළම ආකාරයෙනි. මේ හුරතලය ලීසිං වාරික ගෙවිම පැහැර හැරියවිට නම් සිදුවන්නේ නැත. බෙල්ලෙන් අල්ලා වාහනයෙන් ඉවතට ඇඳ දමා වාහනය පැහැරගෙන යෑම සීසර්වරුන්ගේ සිරිතය. මුලදී දුන් ගෞරවය එහිදී සිදු නොවේ.


ලීසිං නැතිනම් කල්බදු ක්‍රමය සිවිල් ගනුදෙණුවකි. එනිසා මේවායේදී සිදුවෙන ආරවුල් විසඳාගත යුත්තේ සිවිල් අධිකරණයකදී හෙවත් දිස්ත්‍රික් අධිකරණයකදීය. එනමුත් කල්බදු ක්‍රමය ඔස්සේ අපරාධ සිද්ධීන්ද සිදුවේ. වාහනය පැහැර ගැනීම එවන් සිද්ධියකි. මෙහිදී පහරදීම් වැනි අපරාධ සිදුවේ. වාහනය පැහැරගත් පසුව එම වාහනවල කොටස් හොරකම් කිරීම සිදුවේ. ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීම සිදුවන්නේ නැත. පහරදී වාහනයක් පැහැරගත් විට පැමිණිල්ලක් දැමීමට පොලිසියකට ගියද පලක් වන්නේද නැත. හේතුව කල්බදු සම්බන්ධයෙන් එන පනත ප්‍රකාරව කල්බදු ක්‍රමයට ගත් වාහනයේ මුලු මුදලම ගෙවා නිමවන තෙක් එහි නිත්‍යානුකූල අයිතිකරුවා වනනේ මුල්‍ය සමාගම වීමය.


කල්බදු සමාගම්වලින් වාහන මිලදීගන්නා විට ඒ සඳහා යොමුවන්නා සැළකිලිමත් විය යුතුය. තමන්ට වාහනයක් මිලදී ගෙන නොකඩවා වාරික ගෙවිය හැකිද ? ඒ සඳහා නියත වශයෙන්ම තමන් සතුව වත්කම් තිබේද යන්න ගැන තීන්දුවක් ගත යුත්තේ වාහනය මිලදි ගන්නා තැනැත්තාමය. එසේ නොකොට කරන්නන් වාලේ කරන්නට ගියහොත් අමාරුවේ වැටෙන්නේ තමන්ම බව මේ අය තේරුම් ගත යුතුය.


කල්බදු නීති සම්බන්ධයෙන් රජය පවා මෙයට වඩා අවධානය යොමු කළ යුතුවේ. කල්බදු ගණුදෙනු නියත මිනීමැරීම් වැනි අපරාධ සිදුවීම එයට ප්‍රධාන හේතුවකි. සුනිල් ජයවර්ධන සිද්ධිය මෙයට හොඳම උදාහරණයය. එලෙසම ලියාපදිංචි නොවී කල්බදුකරණයේ යෙදෙන සමාගම්වලට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කළ යුතුය.


කල්බදු ක්‍රමය මෙරටින් මුළුමනින්ම අතුගා දැමිය යුතුය යන්න මේ ලිපිය ලිවීමේ අරමුණ නොවේ. කල්බදු ක්‍රමය ඔස්සේ රටේ බොහෝ දෙනා වාහන හිමිකරුවන්ව සිටින බවද සත්‍යයකි. අනෙක් අතින් මෙමගින් රටේ ව්‍යාපාර සංවර්ධනය වීමක්ද සිදුවන බව අමතක නොකළ යුතුය. ඒ ඔස්සේ රැකියා අවස්ථාවන්ද බිහිවේ. එනයින් බලන කල කල්බදු ක්‍රමය රටක තිබිය යුත්තකි. කිසිවෙකු ණයක් ගතහොත් එය ගෙවීමද සිදුකළ යුත්තකි. බාහිර හෝ පුද්ගලික කාරණා මෙහිදි අදාලද නොවේ. එසේ නම් කල්බදු නීති ක්‍රමය තුළ නොසිදුවිය යුත්තේ කුමක් ද ?


සීසර්ලා වෙතින් ගනුදෙණුකරුවන්ට සිදුවන හිංසා සහ පීඩා නවතා දැමිම මින් ප්‍රධානතම කාරණාවකි. අනෙක් කාරණාව වන්නේ අසාධාරණ දඩමුදල් අයකිරීමය. මේ සියල්ලක්ම නීතිමය රාමුවක් මත ගනුදෙනුකරුවා අපහසුතාවයට මෙන්ම පීඩාවට ද ලක්නොවන අයුරින් සිදු කිරීමය. සුනිල් ජයවර්ධනගේ මරණයෙන් ඉගෙනගත යුතු පාඩම වන්නේ එයය.