විමලනාත් වීරරත්න

කොරෝනා සමයෙන් පසු එළඹෙන්නේ පැරණි ජීවිතයමද? නැතහොත් නිසැකවම අපට අලුත් ජීවිතයකට ප්‍රවිෂ්ට වීමට සිදුවෙයිද? රටේ දේශපාලන ක්‍රමය හැර අන් සියල්ල වෙනස් වනු ඇතැයි මේ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් කෙනකුට කිව හැකිය. මිනිස්සු අභ්‍යන්තරිකවද, භෞතික දේවල් බාහිරවද වෙනස්වනවා නම් දේශපාලන ක්‍රමයද ඒකතානමය ස්වරූපයක් ගත නොහැකිය. එම වෙනස්වීම පුරවැසියන් අතින් තීරණය වන්නකි. කොරෝනාවලින් පසු මහල්ලාට වුව අත්වන්නේ දෙවැනි ජීවිතයකි. ඕසෝන් වියනෙහි සිට මාස තුනකට වැඩි කාලයක් තිස්සේ පොදු මහජන අවකාශයේ නොපෑගුණු තණ පළසට පවා අත්ව තිබෙන්නේ ස්වභාවවාදී පරිවර්තනයකි.


මෙම අන්තර්කාල මුවදොර කලාකරුවාට කළ හැකි වෙසෙස් කාර්යභාරයක් තිබේද? ඇත්තටම කළ හැකි කිසිවක් නැද්ද? ඔහුටත් කළ හැක්කේ බලා සිටීම පමණද? පැබ්ලෝ පිකාසෝ මීට එක් පිළිතුරක් දුන් සහ එම පිළිතුර මහා කලා ආඛ්‍යානයක් බවට පත් කළ පුනරුදවාදියෙකි. හෙතෙම තත්‍ය තේමාවකින් පෙරටුගාමී කලාවක් ගොඩනැංවූවෙකි. ඒ කෙසේද?
පැරීසියේ නිල් සමය (Blue period) හා රෝස සමය (Rose Period) පිකාසෝ විසින් නිර්මිත වැදගත් කලා තේමාවක අනුබද්ධ පියවර දෙකකි. නිල් සමය (1901-1904) පැරිසියේ දරිද්‍රතාවෙන් පෙළුණු විවිධ තරාතිරම්වල පුරවැසියන් තේමා කරගත් අතර රෝස සමය (1905-1908) ක්‍රමයෙන් ඉන් මිදීම තේමා කරගත්තකි. විශේෂයෙන්ම පිකාසෝගේ නිල් සමය තේමාව මගින් පුනරුද කලාවක සමාරම්භය සනිටුහන් කැරිණි. එම කාලය තුළ පිකාසෝ තමාවම වෙනස් කරගැනීමේ වෑයමක නිරත වුණු අතර නැවත සකස්වීම අලුත් දැනුමක් අත්කර ගැනීම නිල් සමයේ තේමාවෙහි ක්‍රියාකාරී සංරචකයක් වූයේය.

පිකාසෝ : නිල් සමය
පිකාසෝ : රෝස සමය

පැරීසිය මේ කාලය වනවිට දරිද්‍රද? ඔව් සහ නැහැ යනුවෙන් ඊට පිළිතුරු දෙකක් ලබාදිය හැකිය. ලංකාව කොරෝනා වසංගතයෙන් පසු මුහුණ දී සිටින්නේ 1901-1904 පැරිසියේ වැනි නිල් සමයකටය. ලංකාව දරිද්‍රද? ඔව් සහ නැත යනුවෙන් ඊටත් පිළිතුරු දෙකක් තිබේ. රුපියල් පන්දහසේ දීමනාව රජය කියන පරිදි දාහත් ලක්ෂයකට ලබාදීමට සිදුවූයේ ජනයා දරිද්‍ර නිසාය. අනෙක් අතට රු. 1500/-ක් වෙනුවෙන් නාගරික ස්ත්‍රීන් තිදෙනෙකු පෑගී මිය ගියේ රට දරිද්‍ර නිසාය. කිසිදු දීමනාවක් නොලැබී කොරෝනා කාලයේ හාමත්ව සිටි පිරිස් ලංකාවේ සිටිති. කෝටිපතියන් සිටි පමණින් රටක් පොහොසත් නොවේ. ලංකාවේ දියුණු වන්නේ මහජනයා නොව මහජන නියෝජිතයාය. මේ කෝටිපතියන් මැදින් ඇවිද ගොස් බඩගින්න නිසා කෝච්චියට පනින, ගඟේ පනින දරුවන්, ගැහැනුන් ගැන එක් දහස් පන්සියයට මැරෙන මිනිසුන් ගැන පිකාසෝට මෙන් මෙරට කලාකරුවන්ට නිල් සමයක් නිර්මාණය නොකළැකිද?


පැරීසියේ, යාචකයින්, මහල්ලන්, රෝගීන්, ගණිකාවන්, බර ඔසවන්නන් ඇතුළු බහුවිධ පීඩිතයන් පිකාසෝ නීල වර්ණයෙන් සිතුවම් කළේය. ඔහු එම නිර්මාණ අති සියුම් එහෙත් සහෘද සිත් අභ්‍යන්තරයටම කිඳා බසින ආකාරයෙන් නිරූපණය කළේය. පිකාසෝ මෙම සිතුවම්වලදී දරිද්‍ර පසුබිමක් පදනම ලෙස ගත්තේ රට මුළුමනින් දුප්පත් නිසා නොවේ. වර්තමාන ලංකාවේ මෙන් දුප්පත්කම හා පොහොසත්කම අතර ජීවිතය විනිශ්චය නොකළ හැකි තත්ත්වයක් තිබුණු නිසා විය හැකිය. එම සිතුවම් ගැඹුරු ශෝකී මනෝව්‍රතයක් ප්‍රතීයමාන කළ අතර ඒවා නිල් පැහැයෙන් යුක්ත කිරීමෙන් ඔහු චිත්‍රවල ජීවමාන ස්වභාවය හා අනාගත පුනරුදයද අපේක්ෂා කර ඇතැයි උපකල්පනය කළ හැකිය.


කොරෝනා වසංගතයෙන් පසු ලංකාවටත් පැරණි ජීවිතය වෙනුවට නව ජීවිතයක් අපේක්ෂා කිරීමට නම් එවැනි පුනරුද කලාවක අවශ්‍යතාව දැනෙයි. අපේ කලාකරුවන්ට සමාජ දේශපාලන යථාර්ථය දකින හා ආර්ථික අර්බුදයෙන් මිදිය යුතුය යන අදහස දෙන ලාංකීය කලාවේ නිල් සමයකට පණ දිය නොහැකිද? එය මෙරට ඉදිරිගාමී කලාකරුවන්, ලේඛකයන් සිතිය යුතු කාරණයකි. එම කලාකරුවන් අවට ලෝකය සමග සබඳතා පිහිටුවා ගන්නා විලාසය නිර්මාණ අභ්‍යාසය සමග පුරෝකථනය වෙයි. කොරෝනාවලින් පසු සෑම පුරවැසියකුටම දෙවැනි ජීවිත පිබිදීමක අවශ්‍යතාව දැනෙනු ඇත. වියපත්ම පුද්ගලයාට වුව ප්‍රතිසංවිධානය විය හැකිය. ඔහු එසේ ප්‍රතිනිර්මාණය විය යුතුව තිබේ. නැතහොත් පැරණි දේට කළ ආදරය තුළ ඔහු අභාවයට යාමට පුළුවන. පැරණි දේ යළි ඒ ආකාරයෙන්ම නව ජීවිතය තුළ අත් පත් නොවීම ඊට හේතුවෙයි. කොරෝනා සමය ඉක්මයමින් තිබීමත් සමග ලෝකයම තදබල ආර්ථික අර්බුදයකට නතුව තිබෙයි. රැකියා අහිමිවෙයි. සමාගම් වැසී යයි. වැටුප් සංශෝධනය වෙයි. පැරණි වෙළෙඳුන් වෙනුවට අලුත් වෙළෙන්දෝ බිහිවෙති. මෙතැන් සිට මිනිස් සබඳතාවන් වෙනත් හැඩයකට පත්විය හැකිය. සමාජ දුරස්තභාවය නව සබඳතා නිර්මාණය කරන්නක් විය හැකිය. අභිමානය වෙනුවට උපේක්ෂාව දිගු කලක් සමාජය තුළ ස්ථාපිත විය හැකිය. ෆ්ලොයිඞ්ගේ ඝාතනය පැරණි ලෝකයට අයත් තිරස්චීන ක්‍රියාවකි. ඔහුගේ ඝාතනයට විරෝධය පළ කරනු පිණිස කළු මිනිසුන්, දුඹුරු මිනිසුන් මතු නොව සුදු මිනිසුන්ද එකතු වීම අලුත් ලෝකයට අයත්ය. විරෝධයේ සංවේගජනක වදන් වූ I cant breath යන්න යළි උත්ථානයකට පාර කපන්නකි. කළු මිනිසුන් සුද්දන්ගේ දේපළවලට හානි කිරීම පැරණි ලෝකයට අයත් විරෝධතා ක්‍රමයකි. ටෙක්සාස් පොලිස් ප්‍රධානියා මිනිසුන් තවත් කෝප නොකොට කට වසාගෙන සිටිනු යැයි ඇමරිකානු ජනාධිපතිට කීම අලුත් ලෝකයට අයත් ප්‍රවණතාවකි. ලංකාවේ ජනාධිපති වැඩිය නොසිතන දේවල් වන උග්‍ර ජාතිකවාදයේ උර මත සිය බර තබා ක්‍රියා කිරීම, උතුරු නැගෙනහිර දේශපාලන ප්‍රශ්නයක් නැතැයි සිතීම එහි තනිකරම ඇත්තේ ආර්ථික ප්‍රශ්නයක් යැයි සිතීම, සංඝ සමාජයෙන් ආන්තික ලෙස උපදෙස් පැතීම, සෑම දේකටම හමුදාව නිපුණ යැයි සිතීම, විවිධ බලකායන්ට වගකීම් භාරදීම යනාදිය නිවැරදි තීරණ නොවේ යැයි කිව හැකි ටෙක්සාස් පොලිස් ප්‍රධානියා බඳු අයකු නැතත්, කලාකරුවන්, මාධ්‍යවේදීන්, බුද්ධිමතුන්, වෘත්තිකයන් ඒ බව ජනාධිපතිට කීමට මානසික ශක්තිය ඇති කරගත යුතුය. පිකාසෝ කළ මට්ටමේ පෙරටුගාමී කලා සංස්කෘතියක් ගොඩනැගීමටද එය ඉවහල් වෙයි.


ලංකාවේ සමහරුන්ට තිබුණේ ජනාධිපතිට චිත්‍රපට අත්පිටපත් ඔප්පු කොට වැඳ නමස්කාර කර නිෂ්පාදකයකු සොයා ගන්නා කලාවකි. සමහර කලා කෘති අප බැලිය යුතුද නැද්ද යන්න තීරණය කළේ ජනාධිපතිය. වර්තමාන ජනාධිපතිට ඒ තුට්ටු දෙකේ කලා විරෝධී කොරෝනාව බෝ නොකිරීමට කටයුතු කිරීම කලාකරුවන්ගේ වගකීමකි. පිකාසෝට නිල් සමය කලා තේමාවක් ලෙස ගැනීමට පාලකයා අදාළ වූයේ නැත. රටක දරිද්‍රතාව ප්‍රකාශ කිරීම සාම්ප්‍රදායික අර්ථයෙන් ගතහොත් පාලකයාට විරුද්ධවීමේ සංඥාවකි. ප්‍රජාතන්ත්‍රවාදී අර්ථයෙන් එය එසේ නොවේ. ප්‍රගතිශීලී මැදිහත්වීමකි. ඉන්දියාව මීට දශක 6-7කට පෙර ආර්ථිකය විෂයේදී ඉහත දැක්වූ ඔව් සහ නැහැ යන තත්ත්වය දැරුවත් සත්‍යජිත් රේ ඉන්දියාවේ දුප්පත්කම නිරූපණය කිරීමට වැඩි නිර්මාණ අවකාශයක් ගත්තේය. ඒ සමගම ඔහු එම චරිතවල අන්තර් මානව සබඳතා ඉස්මතු කර දැක්වූයේය.

පිකාසෝ නිල් සමයෙන් පසු ගත් මග වන රෝස සමයේ අපේක්ෂාව රේ සිය සිනමාවෙහි යටි පෙළ මගින් සාධනය කර තිබිණැයි කිව හැකිය. මෙරට සිනමාකරුවන්ට, චිත්‍ර ශිල්පීන්ට, නාට්‍යකරුවන්ට, සංගීතඥයන්ට, නර්තන ශිල්පීන්ට, ලේඛකයන්ට, පිකාසෝ අර්ථයක් දුන් නිල් සමයට පැමිණිය නොහැකිද? කොරෝනාවලින් පසු අවදිය, එනම් රට සෑම අතින්ම වැටුණු අවදිය ඊට හොඳම කාලයක් වෙයි. පුරවැසියන්ට රැකියා අහිමිවන, සමාගම් වැසෙන, පඩි කැපෙන, අමාරු අවදිය එවැනි කලාවකට ගැළපෙනම අවදිය වෙයි. අන්තර් මිනිස් සබඳතා වෙනස් වුණු, අලුත් වුණු හා අභිමානය වෙනුවට උපේක්ෂාව වර්ධනය කරන්නට හැකිවුණු අවදිය ඊට හොඳම අවදිය වෙයි. තමන්ගේ කියන සුළු පිරිසක් වෙනුවට අනන්ත දුරක සිටින කැපවීම් කළ මිනිසුන්ගේ හා ගැහැනුන්ගේ දුක්බර පුවත් අසා ඔවුන්ට ආදරය කරන්නට හිතුණු අවදිය ඊට හොඳම කාලය වෙයි. මෙම නිල් සමයේ දෘඪ අපේක්ෂාව මානුෂික සබඳතා තර කැරෙන, මිනිසා භෞතිකව දියුණු කැරෙන, ප්‍රජාතන්ත්‍රවාදය දිනන පිකාසෝ පෙරටුගාමී කලාවකින් සංඥාර්ථ කළ රෝස සමය බව සිහි තබාගත යුතුය. විදග්ධ කලාවක නිමග්න මිතුරනි, ඔබට නිල් සමය ඔස්සේ රෝස සමයකට පැමිණීමට හැකිද? ■