ඉඳුනිල් උස්ගොඩ ආරච්චි


නව ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ පත් කර ගැනීම වෙනුවෙන් විවිධ කලාකරුවන්ගේ ද සහයෝගය ලැබුණු බව පසුගිය කාලයේ පෙනුණි. මෙම අදහස් දැක්වීම, එසේ සහයෝගය දැක්වීම මගින් කලාවේ උන්නතිය වෙනුවෙන් එම කලාකරුවන්ට ඇති අපේක්ෂා මොනවාද සහ ඒවා ඉදිරියේදී සාක්ෂාත් කරගැනීමට බලාපොරොත්තුවන ආකාරය පිළිබඳව ය.


ලෝකය වෙනස් කිරීමේ කාර්යභාරයේ දී කලාකරුවන් බොහෝ කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කළ බව ඉතිහාසය විච්ඡේදනය කරලා බැලුවාම සාමාන්‍යයෙන් අපට පෙනෙනවා. මෑත භාගයේ උදාහරණයක් ලෙස රුසියාවේ ඔක්තෝබර්විප්ලවයට මැක්සිම් ගෝර්කි, ලියෝ තෝල්ස්තෝයි, ඇන්ටන් චෙකොෆ් වැනි මහා දැවැන්ත කලාකරුවන්, සකල ජනතාවම ආණ්ඩුවට එරෙහිවීමේ ක්‍රියාවලියක යෙදුණා, එහෙම යෙදිලා එයින් අලුත් ලෝකයක් නිර්මාණය කළා. ඒ වගේම ජනතාවට යමක් කියලා දෙන්න කලාකරුවාට යම්කිසි හැඩයක් තියනවා. කලාකරුවා දෙවන ආණ්ඩුව කියන නාමයෙන් හඳුන්වන්නේත් ඒ නිසායි. ඒ නිසාම මගේ පෞද්ගලික අදහස තමයි ශ්‍රී ලාංකීය ජනසමාජය තුළත් මෙවර ජනාධිපතිවරණයෙන් අලුත් නායකයෙක් අලුත් ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමේ කාර්යභාරයට කලාකරුවෝ එක රෑනට එක්සිත්ව එක්සත්ව පොදි බැඳගෙන මේ කාර්යභාරය ඉෂ්ඨසිද්ධ කරන්න වෙර දැරුවා. මම හිතන්නේ ඔවුන් දැක්වූ සහයෝගය ප්‍රතිඵලදායක වුණා. අප බලාපොරොත්තු වුණු අලුත් නායකයෙක් බිහිවුණා. දැන් එතුමා වෙතින් අපිට කලාව නැවත ගොඩනගා ගතහැක්කේ කෙසේද නැවත මේ සඳහා ජනතාව අවදි කරවන්නේ කෙසේද කියන කාරණාව තමයි දැන් බලන්න තිබෙන්නේ.
කලාව කියන දේ හැදෙන්න ඕනෑ බනිස් හදන විධියටවත් ගඩොල් හදන විධියටවත් වෙනයම් හෝ කර්මාන්තයක් හදන විධියටවත් නෙමෙයි. ඒ සඳහා කාලාන්තරයක් තිස්සේ දැන හඳුනාගත් යම්කිසි පරිචයකින් යුතු මිනිස්සු ඕනෑ වෙනවා. ඒ වගේම මේ විෂය පථයට යම්කිසි ප්‍රාමාණික දැනුමක් සහිත මිනිස්සු ඕනෑ වෙනවා. මගේ අදහස වෙන්නේ ඒ මිනිස්සු තෝරා ගැනීම කලබලේ කරන්න බැහැ කියන එකයි. එයට ටික කාලයක් ගතවෙන්න ඕනෑ. ඒ කියන්නේ දැවැන්ත කාලයක් කියන එක නෙමෙයි. මම නාට්‍යකරුවෙක්. අංක එක ලෙස අපි මුල සිටම ඉල්ලුවේ නාට්‍ය කලාවේ වර්ධනය සදහා වර්ධනීය කාරණා කීපයක්. මොකද ස්පාඤ්ඤ ජාතික නාට්‍යකරුවෙකු වන ගාර්ෂියා ලෝකා වරක් කියනවා රටක වැඩීම හෝ වැටීම සඳහා වන මාපක යන්ත්‍රය වේදිකා නාට්‍ය කලාවයි. එයින් රට සංවර්ධනය වූ රටක් ද නැතිනම් සංවර්ධනය නොවූ රටක් ද යන අදහස ඉදිරිපත් කරන්න පුළුවන්, ඒ නිසා හොඳ නාට්‍ය කලාවකින් ජනතාවගේ වින්දන ශක්තිය උසස් මට්ටමකට ගන්න පුළුවන්, දුර්වල නාට්‍ය කලාවකින් රටේ ජනතාව උදාසීන කළ හැකියි. දැන් මෙතැන දී අපි කල්පනා කරන්නේ රටේ ජනතාවගේ බුද්ධි මට්ටම ආනන්දයෙන් ප්‍රඥාව කරා ඔසවා තැබීමට හැකි කාරණාව මොකක්ද කියන දේ තේරුම් බේරුම් කර ගැනීමයි. මෙහි අංක එකේ උපශීර්ෂය යටතේ තව කාරණාවක් මම සඳහන් කරනවා. ඒ තමයි සංස්කෘතික අමාත්‍යාංශය තුළ බලාත්මක වූ රාජ්‍ය අනුමණ්ඩල ටික පසුගිය වසර හතරහමාර පුරාවට සංස්කෘතික අමාත්‍යාංශයෙන් ගලවාගෙන අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පිළිකන්නට විසිකර තිබුණා. අපි නැවත ඉල්ලනවා, මේ සංස්කෘතික අමාත්‍යාංශයේ විරාජමානව බැබළුණු මේ අනුමණ්ඩල පෙළ නැවත සංස්කෘතික අමාත්‍යාංශය තුළම බලාත්මක කරන්න කියලා. මොකද එවිට අපට නාට්‍යකරුවන් පිළිබඳව රජයත් සමග සෘජු ගනුදෙනුවක් කරන්න පුළුවන්.


අනෙක් කාරණය කලාත්මක භාවිතාවේ තිබෙන කොටසක් ලෙස ටෙලිනාට්‍ය විෂය සම්බන්ධයෙන්. ඉන්දියානු, කොරියානු, තුර්කි වැනි රටවලින් අපිව ආක්‍රමණය කර තිබෙනවා. මේක අපි දකින්නේ සංස්කෘතික ආක්‍රමණයක් හැටියටයි. මේ සංස්කෘතික ආක්‍රමණය නවතා අපේ මිනිසුන්ගේ ගුණ සුවඳ දහදිය සුවඳ දැනෙන නිර්මාණ ඉදිරිපත් කළ යුතුයි. ඒ නිර්මාණවල අපේකම තියනවා. ඉතිහාසය දෙස හැරිලා බැලුවොත් අපේකම තිබෙන නාට්‍ය, කෙටි නාට්‍ය බොහොම හොඳට තිබුණා. ඒ නිසා අපේකම තිබෙන ටෙලිනාට්‍ය නැවත නිර්මාණය කිරීමට නාලිකා යම්කිසි මට්ටමකට හුරු කරන්න, එහෙම නැතිනම් නාලිකා වලට යම්කිසි මට්ටමක බලපෑමක් කරන්න කියලා අපිට බලාධාරීන්ගෙන් ඉල්ලීමක් කිරීමට තිබෙනවා. චිත්‍රපට සංස්ථාව සහ චිත්‍රපට කර්මාන්තය යම්කිසි මට්ටමකට අඩපණ වෙලා, විදේශීය චිත්‍රපටි බහුතරයක් එමින් පවතිනවා. ඒවා යම්කිසි ප්‍රමාණයකට සීමා කර දේශීය සිනමාව වර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් චිත්‍රපටකරුවෝ යෝජනා කරනවා නම් අපේ චිත්‍රපට කර්මාන්තය ගොඩගැනීමට එයත් නව ජනාධිපතිවරයාට යම්කිසි පිටුවහලක් වේවි. ඒ එක්කම තවත් කර්මාන්ත තියනවා. ලාක්ෂා කර්මාන්තය, මැටි කර්මාන්තය, ගොක්කොළ කර්මාන්තය, නැට්ටුවෝ, වාදකයෝ, බෙරකරුවෝ මේ සියලුදෙනාම කලාවට සම්බන්ධයි. ඒ නිසා ඔවුන් වෙනුවෙනුත් යම්කිසි සුබසාධන කාර්යයක් සිදුකරනවා නම් හෙට දවස කලාකරුවන්ගෙන් රටට දැයට යම්කිසි සේවයක් ලබා ගන්න පුළුවන්වේ යැයි මම විශ්වාස කරනවා.