ඩෙස්මන්ඞ් මල්ලිකාරච්චි

මුදල් කේන්ද්‍රීය වාණිජ ධනවාදී සමාජයෙන් අධ්‍යාපන කේෂ්ත්‍රයටද කඩාවැදූනේ ඊනියා ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමවේදය මීට දශක දෙකකට පමණ පෙරය. කොරෝනා වසංගතයෙන් සිදුවුයේ තිබුණූ ඔන්ලයින් ඉගැන්වීම් ක්‍රමය බෞතීස්මවී පරිපාකයට පත්ව විකල්පයක් නොමැතිවීමේ ඉරණම නිසා සමස්ත ලෝකය පුරාම නිරායාසයෙන්ම කොරෝනා වසංගතය මෙන්ම ව්‍යාප්තව යාමයි. අරමුණුවල යහපත් පැතිකඩයන් කිහිපයක් තිබිය හැකිමුත් සමස්තයක් ලෙස ගත්විට ඉගැන්වීමේ ඔන්ලයින් ක්‍රමවේදය මානුෂික සම්බන්ධතාවන් යාන්ත්‍රික සම්බන්ධතාවන්ට ඌණනය හෙවත් බිඳලනවාට අතිරේකව මනුෂ්‍යයාගේ වාර්ගීය ලක්ෂණය (species being) සහමුළින්ම බොඳකර හරිනු ලබයි. එමනිසා ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය කොවීඞ්-19 හෙවත් කොරෝනා මෙන්ම මානවයා විනාශකරන වසංගතයකි. ඔන්ලයින් ක්‍රමය වඩාත් භයානක වීමට වෙනත් ප්‍රාණ හේතුවක්ද ඇත. කොවිඞ් 19 බිළිගත් මනුෂ්‍ය ජීවිතවලින් වැඩි ප්‍රමාණයක් මැදි වයසේ සහ මහළු අයවළුන්ය. එහෙත් ඔන්ලයින් පෙර පාසැලේ සිට ප්‍රාථමික ද්වීතික සහ විශ්වවිද්‍යාල දක්වා ළාබාල, ගැටවර සහ තරුණ ශාස්ත්‍රලාභීන් සියල්ලම තම වසඟයට ගෙන විනාශකරන සූක්ෂ්ම, ආකර්ෂණිය එහෙත් නිශ්ශබ්ද මානව බුද්ධි ඝාතකයෙකි. මෙම ඡේදයෙන් යවත්කාලීන කළේ මා විසින් 2016 මැයි 29 දා රුහුණු විශ්වවිද්‍යාලයේ කළ දේශනයකි. මෙම ඡේදයෙන් කරන ලද අවධාරණයේ සහ ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයට මගේ නිර්දය නිෂේධනීය ප්‍රතිචාරය මෙම ලිපියෙ දැක්වෙයි.


ලෝකය පුරා ව්‍යාප්තව ඇති බටහිර අධ්‍යාපනය මානවවාදී අරමුණු මුදුන් පමුණුවා ගනිමින් වැඩුනේ භාෂා ශාස්ත්‍ර, දර්ශනය, සාහිත්‍යය, කලාව, ඉතිහාසය ආදී මානව ශාස්ත්‍ර ඇසුරේ ය. හොඳම සාක්ෂීන් වනුයේ ග්‍ර්‍රීීක සහ පුනරුද අධ්‍යාපනයයි. එහෙත් එය සිදුවූයේ 19 වෙනි ශතවර්ෂයතෙක් පමණි. කාර්මික විප්ලවයේ සහ ධනවාදයේ ඵලයක් හැටියට මානවශාස්ත්‍ර සමඟ අධ්‍යාපනය පැවැත්වූ සම්බන්ධය කැඩී ගියේය. ප්‍රැන්සිස් බේකන්, රෙනේ ඬේකාට්ස් සහ ගැලීලියෝ මානවවාදී පදනම් අධ්‍යාපනයෙන් ගැලවූ මුල් විත්තිකාරයෝය. මොවුන්ගේ නෛතික හා ප්‍රායෝගික බලපෑම මත මානවශාස්ත්‍ර පරිපථයට යවමින් විද්‍යා සහ තාක්ෂණ විෂයයන් අධ්‍යාපනයේ කේන්ද්‍රය ආක්‍රමණය කළෝය. කරුණු (facts) කේන්ද්‍රයට පැමිණි අතර මානව ඇගැයුම් (human values) පරිපථයට විසිවුණි. අද මානව ශාස්ත්‍ර උසස් අධ්‍යාපන කේෂ්ත්‍රය තුළ ඇති නැති ගානය.

විශ්වවිද්‍යාලවලින් මානවශාස්ත්‍ර වඳවී යාමේ ඉරණමකට සහ අධ්‍යාපනයේ මානුෂික පදනම් දෙදරා යාමේ තර්ජනයකට අද උසස් අධ්‍යාපනය මුහුණදී ඇති බව ෂාක් ඩෙරීඩා, ටෙරී ඊගල්ටන්, ස්ලැවෝජ් ජිජැක් සහ නෝම් චොම්ස්කි වැනි ලෝ පතළ මහාචාර්යවරුන් විසින් මෑතදී පෙන්වා දෙනු ලැබීය. මොවුන් මුදාහරිනුයේ තාක්ෂණ විෂයයන් විසින් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ආක්‍රමණය කොට එම අධ්‍යාපනයේ මානුෂික පදනම් විනාශ කිරීම වහා නැවැත්විය යුතුය යන පණිඩිඩයයි. අධ්‍යාපනයේ මානුෂික පදනම් දෙදරවමින් ඉදිරියට ඇදෙන තාක්ෂණ සොනරයේ උපප්‍රකාරයක් වන ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයේ රකුස් පැතිකඩය ඉහත නම් සඳහන් කළ බටහිර විද්වතුන් කල්තියා අවබෝධ කරගෙන එයට ප්‍රතික්‍රියා දැක්වුවද අපේ උගතුනට එහි ආදීනව ගැන ඒතරම් වැටහීමක් ඇති බවක් නොපෙනේ. එහි අනුවේදනීය ප්‍රතිවිපාක පිළිබඳව අපේ අය සවිඥාණික වී නොමැත.


කෙසේවෙතත් පරිගණකපාලිත-අධ්‍යාපනයේ නොවැළැක්විය හැකි ශීඝ්‍ර ව්‍යාප්තිය සත්තකින්ම ව්‍යසනයකි. පරිසර විනාශය මොනතරම් මිනිසාගේ පැවැත්මට තර්ජනයක් වී ඇද්ද ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමවේදයද ඒ හා සමාන මනුෂ්‍යත්වය විනාශකිරීමේ භූමිකාවක නිරතව ඇත. මෙයින් මිනිස් වර්ගයාට ඇතිවන විපත්තිය වෙළුම් ගණනාවකින් සමාජ ගත කළ යුතු මුත් කාලය සලකා මෙහි භයානක ආදීනව කිහිපයක් කරුණින් කරුණ කෙටියෙන් ලකුණු කරමි. ඊට පළමු මෙම තත්වයට පාර කැපූ අධ්‍යාපනයේ මිථ්‍යාවන් කිහිපයක් ඔබේ අවධානයට යොමු කරමි.


අධ්‍යාපනයේ මිථ්‍යාවන්


සමකාලීන අධ්‍යාපන`යේ දෝෂ සහ දුර්වලතා මොනවාද? ගණනාවක් දැනටමත් හඳුනාගෙන ඒවා සඳහා පිළියම්ද යෝජනාවී ඇත. එහෙත් අධ්‍යාපනය පිළිබඳ කේන්ද්‍රීය ගැටලුව ඇත්තේ එහි භාවිතය තුළ නොවේය යන්න මගේ මතයයි. “යකා සෙවිය යුත්තේ යකා සිටින තැන මිස යකා නැති තැන නොවේ.” අධ්‍යාපනයට වින කරන යකා සිටිනුයේ පසුගිය ශත වර්ෂ දෙක තුළ බටහිරින් වරනැගී සහ නිර්වචනය වී ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික කලාපයට සංක්‍රමණයවූ වර්ධනය වුණු අධ්‍යාපන සංකල්පය තුළමය. සත්‍ය සහ යථාර්ථය ලෙස පෙනී සිටියද අධ්‍යාපනය නමැති සංකල්පය වෙලාගෙන සිටිනුයේ මිථ්‍යාවන් ගොන්නක් මගිනි. කෙටියෙන් කිහිපයක් හඳුනාගනිමු.


මිථ්‍යාව 1. නොදන්නාකම (ignorance) විසඳිය හැකි ගැටලුවකි.
ඇත්ත නැත. නොදන්නාකම කිසිදා විසඳිය හැකි ගැටලුවක් නොවේ. මිනිසා කරනුයේ අදියරයෙන් අදියරයට නොදන්නාකම දැනීමක් කරගැනීම පමණී. නොදැනීම සහමුලින්ම දුරුකිරීම නොවේ. හේතුව නොදැනීම දුරු කිරීමට බැරි හෙයිනි. නොදැනීම දුරුකිරීමට බාරගෙන ඇත්තේ ආගමයි.


මිථ්‍යාව 2. ලෝකය පිළිබඳ දැනුමින් අපට ලෝකය කළමනාකරණය කළ හැකිය. ජයගත හැකිය
ඇත්ත බැරිය. හොඳම උදාහරණ පරිසර විනාශය සහ සදාචාර විනාශයයි.


මිථ්‍යාව 3. දැනුමේ වර්ධනය මිනිසාගේ ප්‍රගතිය සහතික කරයි. ළඟාකරයි.
ඇත්ත දැනුමේ වර්ධනයට සමානුපාතිකව මානව ප්‍රගතිය සහ මිනිස් ගුණංග පෑලදොරින් පලායති. නැතිනම් පලා යවති.


මිථ්‍යාව 4. අධ්‍යාපනයේ අරමුණ “උඩුගංබලා”(upward) යන ගමනට මිනිසාට දිරිදීමය.
ඇත්ත සුරාකෑමෙන් දියුණුවූ අය මිස අධ්‍යාපනයෙන් “උඩුගංබලා” ගොස් ඇත්තේ ලෝක ජනගහණයෙන් 3 ක් පමණවූ ප්‍රතිශතයක් පමණි.


මිථ්‍යාව 5. නුතන විද්‍යා හා තාක්ෂණ අධ්‍යාපනය මානව සංස්කෘතියේ හිණිපෙත්තයි.
ඇත්ත නුතන අධ්‍යාපනය මානව සංස්කෘතියේ අවසානයයි. රොබෝ සංස්කෘතියක ආරම්භයයි. අන්තර්ජාලිත පාලිත යාන්ත්‍රික සංස්කෘතියක ආරම්භයයි.

මගේ ඉහත 3, 4 සහ 5 නිගමන සනාථ කිරීම සඳහා ප්‍රත්‍යේක අධ්‍යයනයක් ලෙස ඔන්ලයින් හෙවත් පරිගණකපාලිත පාඨමාලා ගනිමි.


ප්‍රත්‍යේක අධ්‍යයනය : ඔන්ලයින් පාඨමාලා


පරිගණක හරහා වර්ධනයවී මිලියන ගණනින් ලියාපදිංචිවී ඇති මෙම පාඨමාලා බෙහෙවින් ජනප්‍රියය. අතිශය සක්‍රීයය. සාගරවිද්‍යාවේ සිට තොරතුරු තාක්ෂණය, කලා, සෞඛ්‍ය, නීතිය, ව්‍යාපාර, අභ්‍යාවකාශ, රසායන, භෞතික, ආර්ථික, හෝටල් කළමනාකරණය, මැහුම් ගෙතුම්, ඉවුම් පිහුම්, පමණක් නොව වෛශ්‍යා වෘත්තිය සහ සමලිංඟිකත්වය දක්වා මිහිපිට දැනට බිහිව ඇති ඕනෑම විෂයයක් ප්‍රවීණතා, ඩිප්ලෝමා, පළමු-උපාධි, පශ්චාද්-උපාධි ආදී ඕනෑම මට්ටමකින් දිනාගැනීමට අන්තර්ජාලය හරහා ඔන්ලයින් පහසුකම් සපයා ඇත. ලෝකයේ උසස් අධ්‍යාපන ආයතන සහ විශ්වවිද්‍යාලවල අභ්‍යන්තරව ඉගෙනගන්නා ප්‍රමාණය මෙන් හතරපස් ගුණයක් ඔන්ලයින් හරහා අධ්‍යාපනය ලබති. තරඟයට මෙන් මෙම වාණිජ ආයතන තම පාඨමාලා විත්තාකර්ශණිය ලෙස ප්‍රචාරණය කරති. පරිගණකය හරහා මුදාහරින ලද ලක්ෂ ගණනකින් මා විසින් අහුලාගත් ප්‍රචාරණ උදාහරණ උද්ධෘත දෙකක් ඔබේ අවධානයට යොමුකරමි.


“අපේ මෙහෙවර ඔබගේ කුසලතා එළියට ගැනීමයි”. (කැප්ලන් විශ්වවිද්‍යාලය).
“ජයග්‍රහණය වැළඳගැනීමට ‘ඔන්ලයින් ’ හරහා ඉගෙනගන්න” (රෙජිස් විශ්වවිද්‍යාලය)
මෙම ඊනියා විශ්වවිද්‍යාලයන් ඔක්ස්ෆර්ඞ්, කේම්බි්‍රජ්, ලංඩන්, හාවඞ්, චිකාගෝ, ප්‍රින්ස්ටන්, සොර්බෝන්, හයිඩල්බර්ග්, ඇල්බර්ටා, ඒ.එන්.යූ, ජේ.එන්.යූ, දිල්ලි, පේරාදෙණිය, කොළඔ, හෝ රුහුණු වැනි විශ්වවිද්‍යාල නොවේ. මේවා ඔන්ලයින් විශ්වවිද්‍යාලයන්ය. (ඔන්ලයින් විශ්වවිද්‍යාලයන් යන යෙදුමම සදොස් භාෂා ව්‍යවහාරයකි (misnomer). හේතුව විශ්වවිද්‍යාලයක් නම් ඔන් ලයින් විය නොහැකි බැවිනි.) මෙම ඔන්ලයින් විශ්වවිද්‍යාලයන් බොහෝවිට භුමිභාගයක් නැති උපදේශකවරුන්ගේ උපාධි සුදුසුකම් පිළිබඳවද ප්‍රශ්න ඇති වාණිජ ආයතනයන්ය.


දැන්වීම්වල ආකර්ශණීය බව කෙසේ වෙතත් ඉහත දැක්වූ කුසලතා එළියට ගැනීමට ගෙවිය යුතු මුදල සහ මුදල් ගෙවීමේ ක්‍රමය නම් ලොකු අකුරින් ඉතා පැහැදිලිව දක්වා ඇති අතර කුඩා අකුරින් අවධාරණය කර ඇත්තේ “කිසිම වර්ගයක රැකියාවකට අප වග නොකියමු” යන්නය.


අරමුණ පැහැදිළිය. ඔන්ලයින් පාඨමාලා අධ්‍යාපනයේ අරමුණ ශිෂ්‍ය මානවක මානවිකාවියන්ගේ මානුෂික ප්‍රතිරූපය ආරක්ෂාකිරීමට සහ ඔප්නැංවීමට සහාය වීමට වඩා මුදල් හම්බකිරීමට ඉලක්කව ඇති නිසා ඔන්ලයින් පාඨමාලා යනු මානුෂික අධ්‍යාපනයේ මළගමයි. අවසානයයි. ඛේදාන්තයයි. ඔන්ලයින් විශ්වවිද්‍යාලයන්හි අරමුණ මානුෂික මට්ටමින් දැනුම ප්‍රදානය කොට මානව සංස්කෘතිය ඉහළ තලයකට රැගෙන යාම නොව මුදල් හම්බකිරීමය. කොකා කෝලා, කෙන්ටකී, ඇමසන්, ගූගල්, මුහුණු පොත සහ ශ්‍රී ලංකාවේ Foodcity Keels වැනි ආයතනවල අරමුණුවලට වඩා ‘ඔන්ලයින්‘ අරමුණ වෙනස් හෝ දෙවෙනි නොවේ.


ඔන්ලයින් අධ්‍යාපනය කරනුයේ දැනුම ලෙස හුවාදක්වන ව්‍යාජ දැනුම මුදලට විකිණීමයි. වෛදික සහ උපනිෂද් ගුරුවරු වේද ශාස්ත්‍ර කහවණු වලට නූගැන්වූහ. “සබ්බ දානං ධම්ම දානං ජිනාති” එනම් “සිය`ථ දානයන්ට වඩා ධර්ම දානය උසස්” ලෙස සැලකූ නිසා බුදුන්වහන්සේ ධම්ම චක්ඛය ඇතුළු සූ්‍රත්‍ර දේශනා සඳහා මසුරමක් හෝ අය නොකළහ. යේසුස් වහන්සේ කන්ද උඩ දේශනාව කළේ රෝම කාසි අපේක්ෂාවෙන් නොවේ. පාපී සත්වයින් ඉන් මුදවාගැනීමේ උදාර චේතනාවෙන්මය. ඔවුනට දෙනු ලැබුවේ අවබෝධයකි. අධ්‍යාපනයකි. ඒ මනුෂ්‍යත්වය හරහා අධ්‍යාපන අරමුණු පරිපාකයට පත් ව තිබූ උත්තරීතර අතීතයයි. 19වෙනි සියවසින් පසු වාණිජ ධනවාදය විසින් දූෂණය කළේ කැඩි කැඩී හෝ බිඳි බිඳී හෝ පැමිණි මෙම මානව ශිෂ්ඨාචාරය සහ සභ්‍යත්වයයි. විනාශ කළේ අධ්‍යාපනයේ මානව පවුරු පදනම්ය. වියළා හරිනු ලැබුවේ අධ්‍යාපන ශරීරය පුරා ගලා යමින් තිබූ මානව රුධිරයයි. අද සියල්ල වෙළඳපොලේ විකිණේ. මානව මූලයින්ගෙන් අධ්‍යාපනය ගලවා දිලිසෙන සරුවපිත්තල යාන්ත්‍රික කොළයකින් දවටා එයද ශාක්ෂාත් කරගත නොහැකි බලාපොරොත්තු කඩමාල්ලකින් ඔතා ධනවාදී සමාජය මේ විකුණනුයේ වසර දහස් ගණනක් මානව ශාස්ත්‍ර සමඟ හැදී වැඩුණු අධ්‍යාපනයේ මානුෂික සංකල්පයයි. මානුෂික හරයයි. දූෂණය කරනුයේ ඒ සහස්‍ර ගණනාවක් පුරා මානවයා දිවිහිමියෙන් රැකගෙන ආ ඒ ශාස්ත්‍රීය පතිවතයි.


ඔන්ලයින් ඉගැන්වීම් ක්‍රමය සහ ප්‍රචාරණය මගින් ඔසවන පාඨමාලාවන් පාඨමාලා මානුෂික අධ්‍යාපන චාරිකා මාවතට වැටී ඇති ප්‍රධාන බාධකයයි. මෙය මුල්‍ය සුරාකෑමේ ධනවාදී ක්‍රමවේදයේ 21 වෙනි සියවසේ සියුම්, විද්‍යුත් හෙවත් ඩිජිටල් රූපයයි.

(19වෙනි සියවසේ ක්‍රියාත්මකව තිබුනේ මිනිස් ශ්‍රම සූරාකෑමේ ග්‍රම්‍ය, ජාල සහ කඨෝර සූරාකෑමේ ක්‍රමයයි). එහෙත් තාක්ෂණික විශ්මයන් හරහා මනුස්සකම සුක්ෂ්මව වාෂ්පකර හැරීම තේරුම්ගැනීමට අද ඇති හොඳම ව්‍යාපෘතිය පරිගණකපාලිත පාඨමාලා ව්‍යාපෘතියයි. ලියාපදිංචියේ සිට පාඨමාලාව සාර්ථකව නිමකළ බව නීත්‍යානුකූල කරමින් ඈත එපිට පරිගණකයකින් අපේක්ෂකයා වෙත ළඟාවන සහතිකය දක්වා මනුෂ්‍ය පහසක්, මානුෂික උණුසුමක් මානව සම්බන්ධතා ගොඩනැගීමක් අහළකවත් දක්නට නැති යාන්ත්‍රික ක්‍රියාදාමයකි. සියල්ල ඉලෙක්ට්‍රෝන විසින් උරාගෙන ඇත. නැතිනම් සියල්ල ඉලෙක්ට්‍රෝන වී ඇත. සහතික පත්‍රය රක්තානු පූර්ණ උණුසුම් මිනිස් හස්තයකින් (උපකුලපතිවරයෙකුගෙන් හෝ සප්‍රාණික ගුරුවරයෙකුගෙන්) තවත් රක්තානු පූර්ණ උණුසුම් මිනිස් හස්තකයකට (උපාධිලාභි මිනිසෙකුට හෝ ගැහැනියකට) හැඟුම්බරව හුවමාරුවනු වෙනුවට ඔන්ලයින් අධ්‍යාපනයේදී සිදුවනුයේ උපාධි සහතිකය ශ්වේතානු පරිගණකයකින් ඉලෙක්ට්‍රොනික තැපැල් සේවයකින් උපාධිලාභියා වෙත සම්ප්‍රාප්තවීමයි. එහිද පිටපතක් ගත යුත්තේ උපාධිලාභියා හෝ උපාධිධාරියා විසින්මය.

ඔන්ලයින් හරහා තමන්ට ඉගැන්වූ එක් මිනිස් ප්‍රාණියෙකු හෝ ඔන්ලයින් පාඨමාලා අධ්‍යාපනයේ නියුක්ත කාලය පුරාම නොදුටුවාසේ මෙම සහතිකයෙහි ඔතන ලද ජීවිතය වළපල්ලට යනතෙක්ම ඔන් ලයින් සහතිකලාභියාට තමාට අධ්‍යාපනය දුන් එකුදු මිනිසෙකු හෝ ගැහැනියක පණපිටින් කිසිදා දක්නට නොලැබේ. මානුෂිකත්වය දිදුලවන සහ මානසිකත්වය පොපියවන උපාධි ප්‍රදානෝත්සව හෝ එකිනෙකා හමුවීම, සිනාසීම, කොක්හඬලෑම ආදී මානව ප්‍රීතියේ භාවමය ක්‍රියා හෝ ප්‍රතික්‍රියා කිසිවක් හා ඔන්ලයින් අධ්‍යාපනයේ නැත. ඇත්තටම තිබීම අවශ්‍යද නැත. අධ්‍යාපනය ඔන්ලයින් වනුයේද එහෙයිනි. සමූහ සාද නැත. උත්සව නැත. උපාධිධාරී තම දරුවන් සමඟ එකට හිඳගෙන ජයපැන් පානයට දෙමව්පියනට කිසිදා අවස්ථාවක් ඔන්ලයින් අධ්‍යාපන කර්මාන්තයෙන් නොලැබේ. උපකුලපතිතුමෙකුට හෝ ආචාර්ය මහාචාර්යවරයෙකුට තමන්ගේ කාර්ය සංසිද්ධියේ ප්‍රතිඵල දෙස බලා ඔබලා වෙනුවෙන් ඔවුන්ගේ දෑසින් අද වැගිරෙන තුටු කඳුළු වැගිරීමට අවකාශයක් ඔන්ලයින්‘ සංකල්පය සහ ඒ මත ගොඩනැගූ අධ්‍යාපන රූපය තුළ නැත. වසර දසදහස් ගණනක සිට මානවයා සමඟ පැමිණි මනුෂ්‍යත්වය කේන්ද්‍රය කරගත් අධ්‍යාපන චාරිකාව අන්තර්ජාල-පාලිත අධ්‍යාපන ක්‍රමය විසින් ඛේදජනක ලෙස අවසන් කරමින් සිටී.


සාම්ප්‍රදායික අධ්‍යාපනයේදී ගුරුපියාගේ හෝ ගුරුමාතාවගේ ගඳ-සුවඳ, හෘද ස්පන්දනය, ඔහුගේ හෝ ඇයගේ සහ ශාරීරික උණුසුම පවා ශිෂ්‍යයාට හෝ ශිෂ්‍යාවට දැනේ. ශිෂ්‍යයා සහ ගුරුවරයා යන මනුෂ්‍යයින් දෙදෙනා අතර සමීප මානව සම්බන්ධතාවන් ගොඩනැගේ. ඔන්ලයින් ශිෂ්‍යයාට සමාජ සම්බන්ධතා නැත. සංස්කෘතිය සමඟ සම්බන්ධයක් නැත. ශිෂ්‍ය ප්‍රජාවක් නැත. බැච් එකක් නැත. එකෙකුට එකෙක් හඳුනාගැනිමේ අවස්ථාවක් නැත. ආදර හැඟුම් මුදාහැරීමට හෝ දෙඩීමට හන්තානයක් නැත. උද්‍යානයක් නැත. අල්ලාප සල්ලාපයෙන් තමන්ගේ මතු සහකාරයා හෝ සහකාරිය සොයාගැනිමට පසුබිමක් හෝ පරිසරයක් නැත. ඔවුනට ඉතුරු වනුයේ පරාරෝපිත තමා ඉදිරියේ ඇති පරිගණක “මැෂිම” පමණි. ඉටුවනුයේ දුරස්ථ අධ්‍යාපනයේ අතාර්කිකක්ත්වය සහ යාන්ත්‍රික උගතෙකු බිහිවීමේ කර්ත්‍යවයන් දෙක පමණි. දෝෂ සහ අඩුපාඩු තිබුනද ප්ලේටෝගේ හෝ උපනිෂද් අධ්‍යාපන සංකල්පයන් සහ ලිබරල් දර්ශනයන් තුළ පවා (උද: ජෝන් ඩූවී, මාර්තා නූස්බෝන් ) ඔන්ලයින් අධ්‍යාපනයට වඩා දාර්ශනික මානවවාදයක් අධිගෘහිතව තිබිණ.


මිනිසා පරිපථයට යවා පාඨමාලාව නැතිනම් විෂයය පමණක් ඉදිරියට ගැනීමට කරන ලද 18, 19, 20 ශතවර්ෂවල උත්සාහයන්ගේ තාර්කික වර්ධනය මෙම අන්තර්ජාලපාලිත-පාඨමාලා අධ්‍යාපනයයි. එනම් සජීවී මිනිසාව අධ්‍යාපන ක්‍රියාවලිය නමැති මානුෂික සමීකරණයෙන් ඈත්කොට දැැනුම විෂයයට පමණක් ඌණනය කිරීම. මෙය හිස නැති කඳකට එනම් කවන්ධයකට ඔටුනු පළඳවා සිංහාසනාරූඪ කිරීමට සමානය. පළමු වසරේ වෛද්‍ය ශිෂ්‍යයින් විසින් තම කායවිඡ්චේද පාඩමේදී මැඩියෙකු සමග කරනු ලබන සම්පරීක්ෂණයකට මෙවන් අධ්‍යාපනයක් සමාන කළ හැකිය.. මිනිස් හෘද ස්පන්දනයේ ගතිකය සහ ස්වභාවය ඉගෙන ගැනීමට වෛද්‍ය ශිෂ්‍යයා කරනුයේ මැඩියාගේ දෑත් දෙපා අල්පෙනෙති හතරකින් හිරකොට මැඩියාගේ හෘදය පලා හෘදස්පන්දනයේ වේගය සහ කාලය මැන ඉගෙන ගනී. අල්පෙනෙති ගැලවූවිට මැඩියා පරලොව ගොසිනි. අද අධ්‍යාපනය විෂයබද්ධ දැනුමට පමණක් හෝ හිරකිරීම තුළින් අධ්‍යාපනයටද සිදුවනුයේ මැඩියාට අත්වූ ඉරණම විඳීමටය.

ප්‍රාණයක් නිරුද්ධ කොට ගනු ලබන දැනුම වටිනේද? අධ්‍යාපනයේ සමස්ත මානවීය අර්ථය විනාශකොට යමක් යාන්ත්‍රික ලෙස ඉගෙනීමේ ඵලය කුමක්ද? ඔන්ලයින් පාඨමාලාවෙන් සිදුවනුයේ මෙම විනාශයයි. එනම් මිනිස් සමාජය සහ මානව සංස්කෘතිය අතුරුදහන් වී යාන්ත්‍රික රොබෝ ගබඩා සමාජයක් බිහිවීමය. මකුළුවා විසින් වියන දැළට වඩා අප සිතිය යුත්තේ සහ අපේ අවධානය යොමුවිය යුත්තේ දැළ වියන මකුළුවා ගැනය. ලෝක ඥාන දැළ වියන ලද්දේ මිනිස් මකුළුවා විසිනි. 21 වෙනි සියවසේ අධ්‍යාපනය කළයුත්තේ ධනවාදය සහ එහි අද නිෂ්පාදන බලවේගය වන පාලනය නොකරන ලද තාක්ෂණය නිසාවෙන් අවතැන්වූ මිනිසාව නැවත කේන්ද්‍රයට ගැනීමය. අධ්‍යාපනය මානවවාදී කිරීමය. අධ්‍යාපනයට මනුෂ්‍ය මුහුණුවරක් දීමය.