ටිරන් කුමාර බංගගමආරච්චි


වත්මන් ආණ්ඩුව කොවිඞ් 19ට වඩා 19 වන සංශෝධනයට බයය. ජනතාව විස්ස ගෙන එනවාට බයය. මෙහිදී ජනතාව කියූ විට ආණ්ඩුව කියනුයේ 20 ගෙන එනවාට බය විපක්ෂය සහ සිවිල් සංවිධාන බවය. ඒවා එන්ජීඕ රූකඩ බවය. මෙරට ජනතාව පොහොට්ටු, දුරකතන, අලි සහ මාලිමාව වශයෙන් කෑලී වී ඇත. ඒ අතර මුස්ලිම් දෙමළ ජනයා ජාති, ආගම් වශයෙන් වෙන්වී ඇත. තව පිරිසක් සිවිල් සංවිධාන වී ඒකරාශි වී ඇත. ඒ අයත් මේ මොනයම් හෝ ගොඩක කොටස්කරුවෝය. එසේ නම් ජනතාව යනු මේ සියල්ලන් වියුක්ත වූවෝද? වෙන අමුතුම ජාතියක්ද? ලංකාවේ ජනතාව යනු කවුරුද? මෙය බරපතළ ප්‍රශ්නයකි. වත්මන් ආණ්ඩුව කියනුයේ ජනතාව තමන්ට 19 ඉවත් කරන්නට ඡන්දය ලබා දුන් බවය. ඒ හැට නව ලක්ෂයද නැතහොත් ඉන්පසු මහ මැතිවරණයේදී ලද හැටපන් ලක්ෂයද? එසේ නම් රටේ ඉතිරි ජනයා කවුද? ඒ අය 19 ප්‍රතික්ෂේප කළ අයද?


ලංකාවේ ජනතාව ඡන්දය දෙනුයේ දේශපාලන ගැඹුරකින් නොව ඒ මොහොතේ මාධ්‍ය මෙන්ම සමාජ කතිකාව නිර්මාණය වන අයුරිනි. 2015දී රාජපක්ෂ එලවනුයේ කවුද? 2019දී නැවත රාජපක්ෂලා ඕනෑයැයි කියනුයේ කවුද? එසේ නම් මේ ජනතාව කාලෙන් කාලෙට ඒ අය විශ්වාස කරන අය ඉහළට ගෙනෙති. එහි වරදක් නැත. වරද ඇත්තේ මාධ්‍ය තුළය. මාධ්‍ය බහුතරයකට රටේ කිසිදු ප්‍රශ්නයක් ප්‍රශ්න නොවේ. ඒ අයට ඒවා දෙපිළ බෙදී කරන විවාදය. ඒ අය ජනතාවට එත්තු ගන්වනුයේ මේවා හුදු ප්‍රවෘත්ති විනා ඉන් එහා දෙයක් නැති බවය. අද දවසේ රාජපක්ෂ මතවාදයට පොහොර දමා පෝෂණය කරනුයේ දෙරණ සහ හිරු යන මාධ්‍ය විසිනි. එයින්ද අද ජනතාව ප්‍රබලව ග්‍රහණය කර ගත්තේ ටෙලිවිෂන් මාධ්‍ය හරහා දෙන දේය. තමන්ගේ ටෙලි කැමැත්ත අනුව, වැඩසටහන් අනුව ජනතා කැමැත්ත පැහැර ගන්නට නාලිකා සමත් වී ඇත. ඒ අතර දෙරණ, හිරු පෙරමුණට පැමිණ ඇත. ඒ සමගම ඒ අයගේ මතවාදය එන්නත් කිරිමටත්, ඒ අය සමත් වී ඇත. ට්‍රැවල් විත් චතුර බැලූ අය චතුරගේ පත්තර කියවීමට ඉබේම ඇස, කන යොමු කරති. ඉන්පසු ඒ අයගේ රසවත් ප්‍රවෘත්තිවලටද හුරුවී ඇත. එවිට රටේ ප්‍රධාන ප්‍රශ්න හෑල්ලු වී බාල්දු වී රියලිටි බවට පත් කිරීම මේ මාධ්‍ය අපූරුවට කරති.


20 සහ මාධ්‍ය


මෙහිදී සරලව 20 වැනි සංශෝධනය ගතහොත් එය බරපතළ ප්‍රශ්නයක්ද නැද්ද යන්න ඒ අය කිරනුයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ගෙනවිත් තරාදියේ දැමීමය. මුලින්ම 20ට විරුද්ධ මතවාදයට මුඛරි විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ලවා කියවන අතර ඊට වඩා ශක්තිමත් ලෙස එය කඩා බිඳ දමන ආණ්ඩු මුඛරියෝ ටික දෙනෙක් ඉන්පසු තිරයට ගෙනෙති. ආහාරය ගන්නා ගමන් හෝ ප්‍රවෘත්තිත් අනා ගන්නා ජනයා මේ දෙකම එකට දමාගෙන අනාගෙන කති. ඒ අනුව පුංචි හෝ සංවාදයකදී 20 හොඳද? නරකද යන්න එළිබසින්නේ ඉහත ටෙලිවිෂන් හරහා දුන් කතාවලිනි. එවිට තම තම නැණ පමණින් තර්ක කළ හැකි අතර එය පක්ෂ මතවාදයට අනුව හැඩ ගස්සා ගත හැකිය. මේ දෙකම අතර ඔය කවුරුත් එකයි. අපි හම්බ කළොත් අපි කනවා. ඔය මොකක් ගෙනාවත් ජනතාවට සෙතක් නෑ කියන පන්නයේ ජනතාවක්ද සිටිති. එසේ නම් ලංකාවේ ජනතාව කවුද? ඒ අයද? අනෙක් අය ජනතාව නොවේද? ජනතාව මේ වනවිට නරඹන්නෝය. ඒ අය කැමැත්ත දී හරි උජාරුවට මෙන්ම ගාම්භීරව සිටිති. ආණ්ඩුවට දුන් අයට ආණ්ඩුව කුමක් කළත් හොඳය. විපක්ෂයට ඡන්දය දුන් අයට එහි අනෙක් පැත්තය. මේ දෙපැත්ත නියෝජනය කරන ජනතාව මේ රටේ බහුතරය වන නිසාම ඕනෑම ප්‍රශ්නයක් ලොකු දුරක් නොගොස් අතුරුදන් වේ. එහි නියම තත්ත්වය කියමින් තම මතවාදය මනාව සමාජ ගත කරන මාධ්‍ය හරහා ඉහත ජනතාව වැඩි මුලාවට පත්වෙති.


ඡන්දයට කොටුවීම


ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් ජනතාව ඉන්නේ ඡන්දය කියන තැන කොටුවී හිරවීය. ඒ අය සිතනුයේ හිටපු අය හොඳ නැති නිසා මේ අයට දුන්නා. මේ අය හොඳ නැත්නම් ඊළඟ පාර මේ අයත් ගෙදර යවනවා වැනි ළාමක තැනකය. 20 හොඳ නැත්නම් 21 ගෙනෙන්නට බැරියැයි දේශපාලකයන් වුව කල්පනා කරනවා විය හැකිය. ව්‍යවස්ථාව සංශෝධනය කිරීම දැන් මාරුවන ආණ්ඩුවල එක් අංගයක් වී ඇත. දේශපාලනය ආණ්ඩුවේ සහ විපක්ෂයේ වැඩක් වී ඇත. විස්ස ඕනෑද එපාද යන්න අධිකරණය අනුව තීන්දු වූ සැණින් වාසි කාටද? යම් හෙයකින් ජනමත විචාරයකින් තොරව තුනෙන් දෙකේ බලයෙන් කළහැකි යැයි කී කල විපක්ෂය පරාදය. ඉන්පසු විපක්ෂයට 20 අමතකය. මේ ආණ්ඩුව තුනෙන් දෙකක බලය දැනටමත් හදාගෙන අහවරය. තව වැඩිවනු මිස අඩු නොවනු ඇත. අධිකරණය එවැනි තීන්දුවක් දුන් සැණින් ආණ්ඩුව ඇතුලේ වුව 20ට යම්තම් හෝ අකමැති අය අනෙක් අයට වඩා කැමැත්ත ප්‍රකාශ කරනු ඇත.


එහි අනෙක් අන්තය ලෙස ජනමත විචාරයක් පවත්වා අවසර ගන්නැයි කිවහොත් ඉහත මාධ්‍ය උපරිමය කර රාජපක්ෂලාද ඒ අයගෙන් උපරිමය ගෙන ජනතා කැමැත්ත උපරිම ගනු ඇත. එවිට මේ ජනතාව කවුද? ඒ අය අබිබවා අනෙක් මාධ්‍යවලට පෙනී සිටිය නොහැකිද? නැවත ප්‍රශ්නයක් මතුවිය හැකිය. ඉහත මාධ්‍ය දෙකට ඇති බලය අනෙක් අයට නැත්තේ ඇයි? කල්පනා කළ හැකිය. ඉහත මාධ්‍ය දෙක කරනුයේ මාධ්‍ය නොව රාජපක්ෂලාගේ ලොන්ඩරි වැඬේය. තනිකරම රාජපක්ෂ දේශපාලනයය. අවසානයේ ඒවා මාධ්‍ය නොව පොහොට්ටුවේම කොටස්ය. ඒවා මාධ්‍ය ලෙස පෙනී සිටින පොහොට්ටු පක්ෂයය. ගෝඨාභය මහා යෝධයකු කළේ මාධ්‍ය විසින්ය.


යෝධයා කුඩා වීම


බහුතර ජනතාව පසුගිය කාලයේ සිතුයේ ලංකාව වෙනස් කළ හැකි මිනිසා ගෝඨාභය බවය. මහින්ද 2015 පරාජය කළ අය පවා මහින්දට වඩා ගෝඨා වෙනස් යැයි කීය. පසුගිය කාලයේ වැඩ සිද්ධ වන විදිහ අනුව ජනතාවගේ අදහස වූයේ ගෝඨාට වැඩ කරන්නට මහින්ද නොදෙන බවය. ගෝඨාට වැඩ කිරීමට අවශ්‍ය වුවත් මහින්දගේ අය ඊට බාධා කරන බවය. මහ මැතිවරණයෙන් පසු ගෝඨාගේ අයත් මහින්දගේ අයත් එකම පිල වී ඇත. මහ මැතිවරණයට පෙර ගෝඨාට වැඩ කරන්න නොදෙන තියරිය දැන් නැත. දැන් ඇත්තේ සැවොම එකතු වී ගෝඨාට වැඩ කරන්නට 20 ගෙන ඒමේ වැඬේය. එයට විරුද්ධ අය පවා කියනුයේ අවසානයේ තමන් පක්ෂය ලෙස ගන්නා තීන්දුවට එකඟ බවය. මේ සියලු විරෝධතා (ආණ්ඩුව ඇතුළෙ) අවංක ඒවා විය හැකි වුවත් පැවැත්මක් නැති ඒවාය. දැන් ගෝඨාට මහින්ද වුවමනා නැත. ඔහුට ඊට වඩා මේ මොහොතේ කෙරුමා බැසිල් සිටී. මහින්දගේ අය බැසිල්ට කැමති නැත. එහෙත් බැසිල් නොවන්නට ඒ අයත් අද පාර්ලිමේන්තුවේ නැත. විමල්, ගම්මන්පිලලා මහින්ද ගෙදර යද්දී ඇදගෙන ආවට දැන් වැදගත් ගෝඨා ඉහළට ගෙනා කෙනාය. ඒ බැසිල්ය. විමල්, ගම්මන්පිල නිකම්ම නිකමුන් වී ඇත.


එහෙත් සැබැවින්ම ගෝඨා වැඩකාරයෙක්ද? අද ඔහු ගමෙන් ගමට යමින් ජනතාව මුණ ගැසී ප්‍රශ්න කතා කරයි. ඒවාට ක්ෂණික විසඳුම් දෙයි. ඒවා ඉටුවනවාද නැද්ද? නැවත සොයා බැලීමක් සිදු නොවේ. ගිය ගමන සුබ බව පෙන්වති. මේ යන හැම ගමක්ම ඒ අය දිනූ ගම්වලට වඩා පරාජය වූ ගම්ය. මේ ඉදිරි පළාත් සභා ටිකත් ජයගැනීමේ කූට වෑයමකි. මේ ජනතාවට දැන් ගමේ ප්‍රශ්න ඉටු නොවුණාද කම් නැත. ඒ අය ජනපති දෑහට දැක ඇත. මේ ප්‍රාථමික සතුට දැන් ගෝඨා හොඳාකාරවම දනී. මෙය තනිකරම ගෝඨාගේ විනෝද චාරිකා වී ඇත. කොළඹ ජනතාව පවා අන්න නියම නායකයා ලෙස මතුරන තැනට මාධ්‍ය කැළ ගෝඨාගේ විනෝද ගමන් උත්කර්ෂයට නංවා ඇත. මේ ළාමක විනෝදාස්වාද හැරුණු කොට ගෝඨා ආණ්ඩුව කළේ කුමක්ද?


සියල්ල දත්


ගෝඨා යනු මවාපාන්නෙකි. ඔහුගේ මාධ්‍ය සාකච්ඡා ප්‍රවෘත්ති අතර එය නිතර දැකිය හැකිය. මාධ්‍ය නැතිව ඔහුට යා හැකි දුරක් නැති බව ඔප්පු කර ඇත. ඕනෑම විෂයක් ගැන දන්නා ලොව සිටින එකම ජනපති ගෝඨා විය යුතුය. ඔහු නොදන්නා දෙයක් නැත. අනෙක් අයට ඇත්තේ වට මේසෙට වී අහගෙන ඉන්නටය. සැබැවින්ම රාජපක්ෂ පවුල යනු පුදුමාකාර පවුලකි. ගෝඨා, බැසිල්, මහින්ද නාමල් මේ අයගේ දැනුම සමග එකට හිටගන්නටත් කිසිවකුට නොහැකිය. සියල්ල ඔවුන්ය. රටම ඔවුන්ගේය. විස්ස ගෝඨාට පමණක් නොව සිය පවුලේම ඒකාධිකාරි බලයමය. එය ගැන මහින්ද රඟපානුයේ අන් අයට වඩා කපටි රංගනයකි විමල් ගම්මන්පිල ඇතුළු ගොබෙල්ස්ලා හිතනුයේ මහින්ද තමන් සමග නිසා, ගෝඨා, බැසිල් වුව සොලවා තැබිය හැකියැයි කියාය. එහෙත් මේ පවුල එකක්ය. එදා මහින්ද රට විනාශ කරන විට සැවොම කීවේ මහින්ද හොඳයි. ඔහු වටේ සිටින අය නරකයි කියාය. එදා භයංකාරම ගෝඨාය. අද එහි අනෙක් පැත්තය. අද ගෝඨා හොඳය. අනෙක් අය නරකය. භයංකාරම බැසිල්ය. ඒ යන රටාව අනුව ඊළඟට අගමැති බැසිල් විය හැකිය. (දෙවැනි වර) ඉන් නොනැවතී ජනපතිද විය හැකිය.


මේ යන රටාව අනුව බලන කල මේ අය පවුලක් ලෙස උපරිම බලය එන්නත් කරගනු ඇත. එහි එක් යෝධයෙක් වෙනුවට යෝධයෝ පොකුරක්ම සිටිති. මේ නරක තත්ත්වය ඉතා සූක්ෂ්මව ඒ අය වගා කරමින් සිටිති. මේ අය වැඩවලින් ලිලිපුට්ටෝ බව කොතෙක් පෙන්නුවද, මාධ්‍ය ඒ ලිලිපුට් වැඩ පෙන්වනුයේ ගලිවර් වැඩ ලෙසය. දිලිත් අද කෙරුමා වී ඇත්තේ මේ නැති තත්ත්වය ඇති තත්ත්වයක් බවට පත් කරන ඉන්ද්‍රජාලිකයා ලෙසය. ගෝඨා නගර අලංකාරයට දක්ෂ වුවද එතරම් දක්ෂයෙක් නොවන බව දැනගන්නට දිලිත්, රෙනෝ ඉඩ තබන්නේ නැත. ගෝඨා ඇත්තේ අන්ධවය. ඒ නිසාම ඔහු නිතර මතුරන්නේ ජනතාව තමාට රට හදන්නට වරමක් දුන් බවය. වරම දුන්නද ඊට වඩා ආවේශයක් ඔහු ඇඟට ගෙන ඇත. එය වූ කලී එකම දෙවියා තමා ලෙස සිතීමය. මේ යන විදියට රටටත් දෙයියන්ගේම පිහිටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here