දිනී ජයසේකර


කහ ගොවියා

ලංකාවේ “කහ ගොවියා”ගේ භූමිකාව සම්බන්ධව විශේෂ කතාබහක් ඇති වන්නට පටන් ගන්නේ ගෝලීය වසංගතයක් වූ කොවිඞ් 19 පැතිර යාමත් සමගිනි. මන්ද, වසංගතය පැතිරී සති දෙකකට ආසන්න කාලයක් ගත වෙද්දී ලංකාව පුරා කහ හිඟයක් ඇති බව අපට අසන්නට ලැබුණා මතකය. එතැන් සිට මේ වන තෙක් ලංකාවේ කහ රත්තරන් හා සමාන බව සියල්ලන්ටම පසක් වී හමාරය. මන්ද අන් ප්‍රදේශයකින් හෝ කොළඹ අවටින් කහ ග්‍රෑම් සියයක් සොයා ගැනීමටත් ඉතා වෙහෙසක් දැරිය යුතුය. එසේ සොයා ගත්තද ඒවා අස්ප ගණන්ය. නමුත් ශෝකාන්විතම කරුණ වන්නේ වෙළෙඳපොළේ කහ ග්‍රෑම් සියයක් රුපියල් පන්සියයක මුදලකට අලෙවි වූවද කහ ගොවියාට ගිය කන්නයෙන් ලැබුණේ අමු කහ කිලෝවකට රුපියල් හැටක් හැත්තෑවක් වීමය. මේ ඔවුන්ගේ කතාවයි.


කොවිඞ් සහ කහ


ලංකාවේ හුදෙක් වසංගත රෝග පිළිබඳ වෛද්‍යවරුන් කොවිඞ් 19 වසංගතයෙන් බේරීමට දේශීය ඖෂධ වර්ග කිහිපයක් නම් කළා අපට මතකය. ඉන් එකක් කහය. එතැන් සිට රටේ බහුතරය මිථ්‍යා දෘෂ්ටිකයන් බවට පත්ව වසංගතයෙන් මිදීමට කහ නෑවේය. කහ ගෑවේය. කහ බීවේය. කහ ගේ හතරමායිමේ වැළලුවේය. සමහරු බෝතල්වල බහා නිවසට ඇතුළු වන ස්ථානවලද තැබූහ.


සාමාන්‍යයෙන් දේශීය පරිභෝජනය සඳහා වසරකට වියළි කහ මෙටි්‍රක් ටොන් හයදාස් අටසියයක් (6,800) පමණ උවමනා වේ. රට තුළ අමු කහ නිෂ්පාදනය වන්නේ මෙටි්‍රක් ටොන් හත්දාස් හත්සිය හතළිස් හතක් (7,747) පමණය. එසේ වන්නේ අමු කහ වියළන විට ප්‍රමාණයෙන් අඩුවීම හා යම් ප්‍රමාණයක් අපතේ යෑම නිසාය. එබැවින් රට තුළ දේශීය කහ ඉල්ලුමට සැපයුම ලබාදීමේ හැකියාව ඉතා සීමිතය. එම නිසා ලංකාවට අසල්වාසී ඉන්දියාවෙන් වසරකට වියළි කහ මෙටි්‍රක් ටොන් හාරදාස් හත්සියයක් (4,700) ගෙන්වනු ලබයි. ඉන් දේශීය අවශ්‍යතාව සපුරා ගැනේ. නමුත් කහ ගොවියා පවසන්නේ රජය විසින් දේශීය කහ ගොවියා නගා සිටුවීමේ වැඩපිළිවෙලක් දියත් කළ ක්ෂණිකව දේශීය පරිභෝජනය සඳහා කහ නිෂ්පාදනය කළ හැකි බවය. පසුව කහ අපනයනය කිරීමේ වැඩපිළිවෙළක්ද සැකසිය හැකි බව කහ ගොවීහු කියති.


හිඟයට මූලික හේතු


2019 වර්ෂයේ දෙසැම්බර් මාසයට ඉහතදී ලංකාවට කහ ආනයනය කළද එම වර්ෂයේම දෙසැම්බර් 05 වෙනිදා ජනපතිගේ මූලිකත්වයෙන් දේශීය වශයෙන් වගා කර ඵලදාව ලබා හැකි ද්‍රව්‍ය ආනයන තහනමක් පැනවීය. එහි වූවේ ගම්මිරිස්, කහ, ඉඟුරු, සාදික්කා, කුරුඳු, වසාවාසි, කරුංකා, කරාබුනැටි සහ සියඹලාය. කහ හිඟයට ආනයන සීමාවද තදින්ම බලපෑ අතර කොවිඞ් 19 වසංගත තත්ත්වයද ඊට ප්‍රධාන වශයෙන් බලපෑවේය. මන්ද රටේ බහුතරය කහ යොදා සාදා ගත් වතුර ස්නානයට යොදා ගැනීමෙන් වෙළෙඳපොළේ කහ හිඟය තදින්ම ඇතිවිය. මෙවැනි ක්‍රියා පිළිවෙත් නිසා කහ හිඟවීම අරුමයක් නොවන බව අම්පාර ප්‍රදේශයේ ගලපිටගල ග්‍රාමයේ කහ ගොවියෙක් වූ ප්‍රේමදාසගේ අදහසය.


“ඇත්තටම කහ හිඟතාවක් කොවිඞ් එන්න කලින් තිබුන් නැහැ. කොවිඞ් ආවාට පස්සෙ මිනිස්සු කහ තොග පිටින් අරගෙන ගිහින් ගෙදර තියාන නාන්න පටන් ගත්තනේ. ඒකයි කහ හිඟවෙන්න මූලිකම හේතුව වුණේ. මිනිස්සුන්ට කවුරුහරි මොකක් හරි කීවොත් හරි වැරැද්ද, ඉස්සරහට මොකක් වෙයිද කියල හිතන්නෙ නැහැ.”


විශේෂයෙන්ම කහ විෂබීජ නාශකයක් බව හැබෑය. නමුත් එසේයි කියා කොවිඞ්වලින් මිදීමට කහ ස්නානය කිරීම නම් අප අනුමත නොකරමු. මන්ද ජනතාව එකල කහ ස්නානය කළ ආකාරයට වර්තමානයේදී කෝවිඞ් 19 රටෙන් තුරන් විය යුතුය. නමුත් කොවිඞ් වසංගතය තවමත් රට තුළ ඇති අතර අවසානයේදී අපට ආහාර සඳහා කහ නොමැති විය. අනෙක් කාරණය ආනයනය තහනම් කිරීමට ප්‍රථම ඊට සුදුසු වටපිටාවක් සකස් කළ යුතුව තිබුණි. නමුත් එවැනි කිසිදු ආකාරයේ වටපිටාවක් තවමත් සකස් වී නොමැති බව ගොවියන් සමග කතාබහේදී අපට වැටහුණි.


ලංකාවේ කහ ගොවියා


කහ ගොවියා තම වගාව මාස නවයක දහයක කාලයක් නඩත්තු කළ යුතුය. කහ ගොවියාට සරු අස්වැන්නක් ලබා ගැනීමට බිමේදී එය ප්‍රායෝගිකව සිද්ද කළ යුතුය.


“මම කහ වගා කරන්න පටන් ගෙන දැනට අවුරුදු තිහක් විතර වෙනවා. ලංකාවෙ කහ ගොවියට කිසිම සැලකිල්ලක් මේ වෙනකන් දක්වලා නැහැ. කහ හිඟය ආවට පස්සෙ තමයි ගොඩක් අය ලංකාවෙ කහ ගොවියො ඉන්නවා කියලත් දැනගත්තේ. මීට වසරකට විතර කලින් අපෙන් අමු කහ කිලෝව ගත්තෙ රුපියල් හැටකට. අම්පාරෙම සමහර ප්‍රදේශවල ගොවීන්ට අමු කහ කිලෝව රුපියල් තිහටත් දෙන්න වුණා. ඇත්තටම කහ ගොවියට බීජ ගන්නයි පොහොර ගන්නයි නිසි ක්‍රමවේදයක් සකස් කරල දුන්න නම් ලංකාවෙ කහ ගොවියට පුළුවන් ලංකාවට කහ දෙන්න. එහෙනම් 2019ට කලින්වත් කහ ආනයනය කරන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ. අද මේ වෙනකොට කහ හිඟයක් එන්නෙත් නැහැ.” ප්‍රේමදාස පැවසීය.


ඔහු පවසන පරිදි කහ ගොවියා සිටින්නේද අර්බුදයකය. අප සිතන පරිදි එය කහ ගොවියාට පමණක් නොව ලංකාවෙ සිටින අනෙකුත් සියලු ගොවීන්ට අත්ව ඇත්තේද එවැනි ඉරණමකි. රටේ බලයලත් සියල්ලන්ම පවසන්නේ ආනයන නවතා දේශීය ගොවියා නගා සිටුවනවා කියාය. නමුත් මේ වන තෙක් ඒ සියල්ල හිස් වචන විතරක්ම වී තිබේ.


“අපිට 2019 මුල් කාලෙදි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ඇවිල්ල කීවා කහ හිටවන්න පටන් ගන්න කියලා. බීජත් දුන්නා. නමුත් ඒ හිටෙව්වට පස්සෙ අපෙන් අමු කහ කිලෝව ගත්තෙ රුපියල් පනහකට. ඊට පස්සෙ ගොඩක් අය කහ හිටවන එක නැවැත්තුවා. නමුත් මම මේ පාරත් අක්කර කාලක කහ හිටෙව්වා. සමහරු කහ කොටනකොට හාල් දානවා. මම කහ ටික අරන් මෝලට ගියාම කීවා ඕකට හාල් කිලෝ එකක් දාල කොටන්න දැන් එහෙම තමයි කහ කොටන්නෙ කියලා. නමුත් මම හාල් දැම්මෙ නැහැ නිකන් කොටාන ආවා.” ගල්ඔය දකුණු ඉවුරේ පහළ ලන්ද ග්‍රාමයේ කහ ගොවියෙකු වූ උපුල් ශාන්ත අප සමග පැවසුවේය.


“අපිත් 2019 ඉඳන් තමයි කහ වගා කරන්නේ. පහලලන්දෙ කහ ගොවියො ප්‍රංශ සමාගමක් යටතෙ තමයි කහ වගා කරන්නේ. දැනට ගොවියො එකසිය පනස් හතරක් විතර ඉන්නවා. අක්කර පහළොවක පමණ කහ වගා වෙලත් තියෙනවා. ඔවුන් බීජවලට මුදල් දුන්නා. ඊට පස්සෙ අපිට අදාළ ආයතනයෙන් කීවේ සමාගම අත් අරින්නෙ නැතිව අපිටත් කහ දෙන්න කියලයි. එතකොට අපිට මතුවුණ ප්‍රශ්නෙ තමයි ප්‍රංශ සමාගමකට වගා කළ කහ දුන්නාම ඒවා යන්නෙ ප්‍රංශෙටනෙ කියන එක. ඔවුන් බොහෝ දුරට අපනයනය කියන වචනය පාවිච්චි කරනවා. “ගල්ඔය දකුණු ඉවුරේ කහ ගොවියෙක් එලෙස ඔහුගේ අදහස පළ කළේය.
ඔවුන් සැබැවින්ම බලාපොරොත්තු වන්නේ කහ අපනයනය කර හෝ කහවලට නිසි මිලක් ලබා ගැනීමය. මන්ද සාමාන්‍යයෙන් කහ ගොවියෙකුට තමන්ගේ අක්කර කාලක ඉඩ ප්‍රමාණයේ කහ වගා කිරීමට රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් වැය වේ. එසේ රුපියල් ලක්ෂයක් වැය කරමින් ඔවුන් කහ වගා කරන්නේ පාඩු විඳින්නට නොවේය. ඒ පිළිබදව කහ ගොවියෙකු වූ තිලකරත්නගේ අදහස මෙසේ දක්වමි.


“මම කහ වගා කරන්න අරගෙන අවුරුදු විස්සක් පමණ වෙනවා. මට මතක ඇති කාලෙක කහ ගොවියගෙ ඵලදාවට සාධාරණ මිලක් ලැබිල නැහැ. සාමාන්‍යයෙන් මම අක්කර කාලක කහ වගා කරනවා. බීජ, පිදුරු, කාබනික පොහොර, බෙහෙත් වර්ගවලට සහ අපේ ශ්‍රමය එක්ක බලද්දි අපිට රුපියල් ලක්ෂ එකහමාරක් විතර වියදම් වෙනවා. නමුත් අවසානයෙදි අපිට ලැබෙන්න ඉතා සුළු මුදලක්. සමහර වෙලාවට වියදම් කරපු මුදලවත් නැහැ. නමුත් මේ පාර නම් අපි සියල්ලන්ම බලාපොරොත්තුවෙන් ඉන්නෙ ඉතා සාධාරණ මුදලක් අමු කහ කිලෝවට ලැබෙයි කියලා. මොකද වෙළෙඳපොළේ කහ ග්‍රෑම් සියය යන්නෙ රුපියල් හාරසීයක පන්සීයක මුදලකට නිසා.”
කහ ගොවීහු මෙවර තම අස්වැන්නට සැලකිය යුතු මුදලක් ලැබේය යන්න බලාපොරොත්තුවෙන් සිටිති. මන්ද ඕනෑම ගොවියකුගේ අපේක්ෂාවය. එනිසා රජයද දේශීය ගොවියා නගා සිටුවීමේ වැඩපිළිවෙළේදී අතරමැදියා පසෙකින් තබා ගොවියා දෙස බැලිය යුතුමය.


කෘෂි නිලධාරීන්ගේ මැදිහත්වීම මදි


කහ ගොවියෙක් අස්වැන්න ලබා ගන්නා තෙක් මාස නවයක කාලයක් පුරාවට ගොවියා තම වගාවන් පිළිබඳ අවධානයෙන් සිටිය යුතුය. නමුත් ඔවුන් පවසන පරිදි කහ වගා කරන ආකාරය පිළිබඳ දැනුවත් වූවද කහ ශාකයට බෝවන ලෙඩ රෝග පිළිබඳව ඔවුන් දැනුවත් නොමැත. මන්ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කහ ගොවියාට ලැබෙන්නේ අඩු උපදෙස් සහ අඩු සැලකිලිය.
“සාමාන්‍යයෙන් කහවලට දිලීර රෝගයක් එනවා. ඒකෙන් වෙන්නෙ කොළ වේලිලා ගොබේ හැරෙනවා. ඊට පස්සෙ ගොබේ අදිද්දි නිකන්ම ගැලවිලා එනවා. නමුත් කහ අල කුණු වෙලා. මේවට බෙහෙත් මොනවද කියල තවම අපිව දැනුවත් කරලා නැහැ. ඒ මදිවට ටික කාලෙක ඉඳන් පණුවෙක් බෝ වෙලා ඉන්නවා. උන් කනකොට කහ අල කුණු වෙනවා. ඒවට මොකද කරන්නෙ කියලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ඇහුවාම ඔවුන් දන්නෙ නැහැ මොනවා කරන්නද කියලා. කහ වගා කරන්න කීවට විතරක් මදි කහ ගොවියට කහ ගැන අවබෝධයක් ලබා දෙන්නත් අවශ්‍යයි. විශේෂයෙන්ම හැදෙන ලෙඩ රෝග ගැන. මොකද තමන්ගේ මුදල් ශ්‍රමය වැය කරල මාස නවයක් බලාන ඉන්නෙ අස්වැන්න ගන්නනේ. අන්තිමට අස්වැන්නක් නැති වුණාම ගොවියට මොකද වෙන්නේ?”


ඔවුන් පවසන පරිදි කෘෂිකර්ම නිලධාරීහු ක්ෂේත්‍රයේ රාජකාරි නොකරති. සැබැවින්ම විය යුත්තේ කෘෂිකර්ම නිලධාරීන් ඕනෑම වගාවක් අධීක්ෂණය සඳහා ක්ෂේත්‍රයේ යාම නොවේද? එය ඔවුන්ගේ රාජකාරිය බැව් අප මතක් කරන්නට කැමතිය. නමුත් සිද්ද වී ඇත්තේ ඔවුන් වගාවන් සඳහා බෝවන රෝග පිළිබඳවවත් දැනුවත් නොවීමය. ගොවියෙක් තමන්ගේ ශ්‍රමය මුදල් වැය කරන්නේ තම වගාවන් වෙනුවෙන්ය. ඒවා ඔවුන්ටම පමණක් නොව රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමද උදෙසාය. ඒවායෙන් යැපෙන පිරිස්ද අතිවිශාලය. එම නිසාම ගොවියා වෙත නිසි අවධානයක් යොමු කළ යුතුමය. එහිදී ආනයන නවතා දේශීය ගොවියා නගා සිටුවීමේ වැඩපිළිවෙළක් සකස් කරන ඕනෑම රජයක් වගාව පිළිබඳව සේ ම අස්වැන්න පිළිබඳවද අනාගතවාදී අරුතකින් බැලිය යුතුය. ■

කහ අත්අඩංගුවට ගැනීම සහ
විනාශ කිරීම

ශ්‍රී ලංකා රේගුව යටතේ මේ වන විට කහ කිලෝ 1,015,547 (දස ලක්ෂ පහළොස් දහස් පන්සිය හතළිස් හතක) ප්‍රමාණයක් කන්ටේනර් හැට දෙකක තිබෙන අතර ආනයන මුදල සහ බදු මුදල එකතු කළ විට ඒ සියල්ලන්ගේම මූල්‍ය වටිනාකම රුපියල් 761,660,250 වේ. එහිදී බදු මුදල පමණක් රුපියල් 103,585,794ක් වේ. මුළු මුදලින් බදු මුදල අඩු කළ විට රජයට රුපියල් 658,074,456ක මුදලක පාඩුවක් දැරීමට සිදුව ඇත. මේ සම්බන්ධව ශ්‍රී ලංකා රේගු මාධ්‍ය අංශයේ නිලධාරියෙකු පැවසුවේ උක්ත කරුණු සියල්ල සලකා ආනයනික කහ තොගය රට තුළට යොමු කිරීම තවමත් සාකච්ඡා මට්ටමේ තිබෙන බවයි. මන්ද ඔවුන් පවසන්නේ එම කහ තොගය රට තුළට මුදා හැරීම මගින් ලංකාවේ ගොවියා නගා සිටුවීමේ වැඩපිළිවෙළ දියාරු වී යන බවයි. තවද කහ හිඟය නිසා පාරිභෝගිකයාට රේගුව සතුව ඇති කහ තොගය සතොස හරහා බෙදාහැරීමට හැකි වූවත් ඉන් කහ ගොවියා අපහසුතාවට පත්වන නිසා තවම ඊට පිළිතුරු නොමැති බවය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති
ශාන්ත දිසානායක


පවතින කහ හිඟය නිසා අපිත් කැමති පාරිභෝගිකයට කහ ටික ලබා දෙන්න. නමුත් ශ්‍රී ලංකා රේගුව ගන්න තීරණයකට අපිට එකඟ වෙන්න වෙනවා. ඊට එහා අදහසක් මට දෙන්න අමාරුයි. මොකද අපේ ගෙදරත් කහ නැහැ. ■