චින්තක රණසිංහ

සාහිත්‍ය, කලාව, විද්‍යාව වැනි විෂයයන් සමග බලන විට කළමනාකරණය විශාල ඉතිහාසයක් ඇති විෂයක් නොවේ. එහෙත් ආදිතම මානවයාගේ ජීවන තොරතුරු විමසා බැලීමේදී පෙනීයන්නේ ඔහුගේ දිවි පෙවෙත තුළද කළමනාකරණ ක‍්‍රියාවලියක් යම් ආකාරයකින් ක‍්‍රියාත්මක වූ ආකාරයයි. එය අද අපි මේ ඔජ වඩවන නුතන කළමනාකරණය නොවෙන්නට පුළුවන් වුවද මේ කළමනාකරණයත්, ඒ කළමනාකරණයත් අතර සම්බන්ධයක් නොතිබෙන්නට බැරිය.

අද ලෝකයේ ඉහළින්ම පිදුම් ලැබෙන විෂයයන් අතරින් එකක් වන කළමනාකරණය පුළුල්ව පැතිරුණු ප‍්‍රබල ආයතන ජාලයක් නිර්මාණය කරගත් සංකීර්ණ තත්ත්වයක පවතින විෂයකි. ලංකාවේද විශ්වවිද්‍යාලවල සිට පෞද්ගලික අංශය දක්වාද විවිධ රාජ්‍ය ආයතනවලද කළමනාකරණ විෂය පිළිබඳ විශාල ඉල්ලූමක් පවතින බව පෙනේ. ජයවර්ධනපුර, කොළඹ, කැලණිය වැනි සරසවිවල කළමනාකරණ පීඨ වෙනත් පීඨ අබිබවා විශාල සංවර්ධනයක් ලබාගත්තේ ඉතා සුළු කාලයක් තුළය. ඒවායේ අභ්‍යන්තර හා බාහිර උපාධි, ඩිප්ලෝමා පාඨමාලා ආදියට ඇති ඉල්ලූම අතිවිශාලය. ඒ නිසා ඒවා සම්පූර්ණ කිරීම සඳහා දිවා ? දෙකෙහිම පාඨමාලා ක‍්‍රියාත්මක වන බව පෙනේ.

මෙබඳු ක‍්‍රියාවලියක් පවතිද්දීත් ලංකාවේ කළමනාකරණය විශාල වශයෙන් රාජ්‍ය- කළමනාකරණය බිඳ වැටී ඇතැයි යන්න දිගින් දිගටම කියවෙන්නේ ඇයි? සෑම ආණ්ඩු කාලයකම මේ ප‍්‍රශ්නය ඉස්මත්තට පැමිණෙන්නේ ඇයි?

කළමනාකරණය විෂයක් ලෙස ඉගැන්වීමේදී එය හුදු ආර්ථික කෝණයකින් පමණක් ඉගැන්වීම මේ ගැටලූවේ එක් ප‍්‍රධාන මූලයක් ලෙස මම දකිමි. සම්පත් කළමනාකරණයේදී පිරිස් කළමනාකරණය පිළිබඳ අවධානය යොමු කරන නමුත් මානව සබඳතා හා ඒවා නඩත්තු න සංස්කෘතික, සමාජ පරිසරයටත්, ඒ ඔස්සේ නිර්මාණය වී ඇති විවිධ ව්‍යුහ හා ජාල පද්ධතියත් යථා අයුරින් ග‍්‍රහණය කරගැනීමට මේ කළමනාකරණ අධ්‍යාපනය අසමත් වී තිබෙන අතර ඒ නිසාම මානව කළමනාකරණය විශාල වශයෙන් බිඳ වැටී තිබේ. රාජ්‍යයක් හා ආණ්ඩුවක් නිර්මාණය වන්නේත්, පවත්වාගෙන යන්නේත් කාරණා දෙකක් මුල් කොට ගනිමිනි. එනම්, භෞතික සම්පත් හා මානව සම්පත් යන දෙකයි. මේ දෙක අතර පවතින සම්බන්ධය වඩා සුසංවිනිත කිරීම ඒවායින් ලබන උපරිම ප‍්‍රයෝජනය සඳහා සපුරාලිය හැකි මූලික කොන්දේසියකි.

සංස්කෘතික සන්දර්භයත්, මානව සබඳතාවල ස්වරූපයත්, අවබෝධ කරගැනීම මානව කළමනාකරණයේදී විශාල සේවයක් සපයන බව මානව විද්‍යාව යම් තරමකින් හෝ අවබෝධ කරගත්තේ නම් පසක් කරගන්නා සත්‍යයකි. ඒ සඳහා දියුණු ප‍්‍රවේශයක් අප රට කළමනාකරණ ක‍්‍රියාවලිය තුළ තවමත් දක්නට නොමැත.

මානව විද්‍යාවේ උදාහරණ

අධිරාජ්‍යවාදීන් විවිධ රටවල් යටත් කරගත් පසු ඔවුන්ට එම රටවල් පාලනය කිරීම සඳහා තම නීති-රීති පද්ධති හඳුන්වාදීමට අවශ්‍ය විය. නව සංස්කෘතික හර පද්ධතීන් හඳුන්වාදීමට සිදුවිය. එහිදී ස්වදේශික සංස්කෘතිකාංග හා අධිරාජ්‍යවාදීන්ගේ නීතිරීති සංස්කෘතීන් අතර විශාල ගැටුම් ඇතිවිය. එක්තරා අප‍්‍රිකානු රටකදී ඔවුන්ට මුහුණදීමට සිදුවූ සිදුවීමක් මෙසේය.

එම රටේ ගෝත‍්‍ර දෙකක් විසූ අතර ඔවුනොවුන් අතර නිරන්තර ගැටුමක් විය. එක් ගෝත‍්‍රයක් දිගුකාලීනව පවත්වාගෙන ආ චාරිත‍්‍රයක් වූයේ තරුණයකු මනාලියක තෝරා ගැනීමේදී පළමුව කළයුත්තේ තමා තෝරා ගත් යුවතියකගේ පියාට තමාට ප‍්‍රතිවිරුද්ධ ගෝත‍්‍රයේ අයෙකුගේ හිසක් තිළිණ කිරීමය. ඉන් අදහස් වූයේ තරුණයකු මනාලියක් දිනා ගැනීමට නම් ප‍්‍රථමයෙන් කළයුත්තේ බිහිසුණු සටනක් කොට තම පස මිතුරකු මරාදැමීමය. නැතහොත් පසමිතුරු ගෝත‍්‍රයෙන් මැරුම් කෑමය. මේ අනුව මෙරට මඟුලක් යනු අනිවාර්ය මිනීමැරුමක්ම විය.

මෙම සම්ප‍්‍රදාය අදාළ ගෝත‍්‍රිකයන්ගේ ආත්මයට කා වැදී පැවති නිසා මෙය වෙනස් කිරීම අසීරු විය. පාලකයන් මේ සඳහා සිදු කළේ මානව විද්‍යාඥයන්ගේ පිහිට පැතීමය. ඔවුන් එහිදී යෝජනා කළේ මෙම අවස්ථාව සඳහා මිනිස් හිසක් වෙනුවට වල් ඌරෙකුගේ හිසක් යොදා ගැනීමට උදව් වන ලෙස ගෝත‍්‍ර ප‍්‍රධානීන් සමග සාකච්ඡුා කරන ලෙසය. මෙම සාකච්ඡුා ආරම්භයේදී අසාර්ථක වූ නමුත් පසුව සාර්ථකත්වයට පත්විය.

මෙයින් පෙනෙන්නේ කළමනාකරණය යනුවෙන් අපේ රටේ හැඳින්වෙන හා ඉගැන්වෙන දෙයත් ඇත්ත වශයෙන්ම එයින් අපේක්ෂා කරන දෙයත් අතර ලොකු හිඩැසක් පවතින බවය.

ලංකාවේ රාජ්‍ය සේවය

”ලංකාවේ රාජ්‍ය සේවය යනු මූල්‍යමය හෝ සමාජමය ලාභය යන දෙකම උත්පාදනය කිරීමට අසමත් අමුතු පැළැන්තියක් නිර්මාණය කළ විකෘති තත්ත්වයක් බවට පත්වී ඇත” යන දිගුකාලීන චෝදනාව වෙතට හැරෙමු. මේ චෝදනාවේ එක් ප‍්‍රධාන පදනමක් වන්නේ ආත්මීය වශයෙන් පුරවැසියා නිර්මාණය නොවීමයි. අනෙක් අතින් කළමනාකරණය විශේෂයෙන් පිරිස් කළමනාකරණය, මානව විද්‍යාව, සංස්කෘතික අධ්‍යයනය වැනි විෂයන්ගෙන් දුරස්තව යාන්ත‍්‍රික කළමනාකාරීත්ව ව්‍යාපෘතියක් නිර්මාණය කිරීමය.

ලංකාවේ රාජ්‍ය සේවය කර පුරවැසියාගේ සිවිල් ශක්තිය විනාශ කිරීම වෙනුවට මේ මොහොතේ සිදුකළයුත්තේ නව කළමනාකරණ ක‍්‍රියාවලීන් රාජ්‍ය සේවය තුළට රැුගෙන ඒමය. එය හුදෙක් රාජ්‍ය සේවය වෙතට ගෙන එන ප‍්‍රතිසංස්කරණයක් මතු නොව සමස්ත පුරවැසි සමාජය වෙත ගෙන එන ප‍්‍රතිසංස්කරණයකි.

සමාලෝචනය

අපේ රටේ බොහෝ විෂයන්ට අත්වී තිබෙන පටු සීමාවක රැුඳීම කළමනාකරණයටද සිදුවී තිබේ. එය රට ඉදිරියට ගෙනයෑමේදී බරපතළ අභියෝගයකි.

අවාසනාවකට අපට මේ ගැන පළල් කතිකාවක් ගොඩනැගීමට ජනමාධ්‍ය නැත. සක‍්‍රීයව විවාද කළ හැකි ආයතන නැත. පුද්ගලයන් අතළොස්සක් සිටියත් ඔවුන් අසරණය. අපි පළමුව කොතැනින් ආරම්භ කරමුද? මුලින්ම ඇසිය යුතු ප‍්‍රශ්නයද එයය.