රසික ගුණවර්ධන


රාත්‍රී කිහිපයක් තිස්සේ ඇද හැලුණු වැහි බිඳු පරිසරයේ කාෂ්ඨක බව පලවා හැරීමට සමත්ව නැත. දුම්රිය පලේ නවතා තිබූ දුම්රියක් හූ හඬ නඟමින් දුම්රියපල හැර යයි. හිඟුරක්ගොඩ නගරයේ සිට අපගේ ගමන්නාන්තයට තවත් කිලෝමීටර ගණනාවක් යා යුතුය. එය නමින් පුනගලාව, රන්දන පොකුණගම ගම්මානයයි. එය හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වුවද පිහිටා ඇත්තේ පොළොන්නරුවට ඉතා සමීපවය. පිහිටීම කෙසේ වෙතත් එහි යාමට සෑහෙන වෙහෙසක් දැරිය යුත්තේ ගම්මානයට පොදු ප්‍රවාහන සේවයක් ලැබෙන්නේ කාල සටහනකට අනුව නිසාය.


අප මේ සොයා යන්නේ අලුත් කතාවක් නොවුණ ද කාලාන්තරයක් තිස්සේ විසඳුමක් නොලැබූ ගැටලුවකි. පසුගිය ජනාධිපතිවරණ සමයේ ප්‍රධාන වේදිකා දෙකෙහිදීම ප්‍රධාන වශයෙන් ක්ෂුද්‍ර මූල්‍ය උගුල පිළිබඳව සාකච්ඡාවට ලක්වූ අතර එයට විසඳුමක් ලබා දෙන බව පොරොන්දු විය. එහෙත් තවමත් ඊට විසඳුමක් ලැබී නොමැත. ලැබෙන බවක් පෙනෙන්නට ද නැත.
මේ ගමනේ ගමන් සඟයා අනෙකකු නොව කවුඩුල්ලේ ජයතිස්සය. මේ ගමනට සුදුසුම සඟයාත් ඔහුය. එය එසේ වන්නේ මෙම ගැටලුව පිළිබඳව වසර කිහිපයක සිට අකුරු කරන විට ඒ පිටුපසින් සිටියේ මොහු බැවිනි. එතැනින් නොනැවතී ක්ෂුද්‍ර මූල්‍ය උගුලට හසුවූ කාන්තාවන් සවිබල ගැන්වීමටත් ඔවුන්ට ශක්තියක් වීමටත් ජයතිස්ස ක්‍රියා කළේය.


“ඡන්දෙට කලින් මේ ගැටලුව විසඳනව කියල කීවට දැන් ඒ ගැන කවුරුවත් කතා කරන්නෙ නෑ. මිනිස්සුන්ට දැන් කරගන්න දෙයක් නැතුව ඉන්නෙ. මිනිස්සු ඒ පොරොන්දු වලට රැවටිල ඡන්දය දුන්න. ඒ නිසාම දැන් මිනිස්සු දෙපාරක් හිතන තැනට පත්වෙලා තියනව. ඒ විතරක් නෙවෙයි දැන් ණය එකතු කරන්න එන්නෙ ආයතන වල නියෝජිතයො නෙවෙයි, සීසර්ල වගේ පිරිසක්. මේ නිසා දැන් මිනිස්සුන්ට කරන තර්ජන ඉහළ ගිහිල්ල තියනව.”


ඔහු අපගේ ගමන අතරතුර වර්තමාන තත්වය පැහැදිලි කරයි. කොරෝනා උවදුරෙන් අනතුරුව රජයේ හා බලධාරීන්ගේ අවධානය මේ ගැටලුව වෙත යොමුවීම අවම වීමත් සමඟ වෙනත් ආකාරයකින් ජනතාව තලා පෙළා දැමීමට ණය දෙන ආයතන කටයුතු කරමින් සිටී.


ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රියාකාරීන් පවසන ආකාරයට මේ වන විට නිළ නොවන සංඛ්‍යා දත්ත වලට අනුව ශ්‍රී ලංකාව තුළ ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන ආයතන තුන්දහසකට ආසන්න ප්‍රමාණයක් පවතී. ඒ බව තහවුරු වන්නේ අප පොළොන්නරුව දිස්ත්‍රික්කය ආශ්‍රිතව වාර ගණනාවකදී සිදු කළ ක්ෂේත්‍ර නිරීක්ෂණයන් වලදී අසංවිධිත ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ගණනාවක් නිරීක්ෂණය කිරීමට හැකි වූ බැවිනි. ඇතැම් ආයතන තාවකාලිකව ගොඩ නැගූ කුඩා වෙළඳසැල් බඳුය. එය කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වී ඇති ක්ෂුද්‍ර මූල්‍ය ආයතන හතරකි. බරපතල තත්වය එය නොවේ, ලංකා ක්ෂුද්‍ර මූල්‍ය වෘත්තිකයන්ගේ සංගමයට අනුව මේ වන විට ඔවුන් සමඟ ලියාපදිංචි වී ඇති ක්ෂුද්‍ර මූල්‍ය කටයුතු වල නිරත වන ආයතන ගණන පනස් තුනකි. මේ පරස්පරය කුමක්ද? මේ බරපතල තත්වය උද්ගත වීමට හේතුව කුමක්ද?


ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යන් යටතේ දැක්වෙන්නේ බැංකු හා තෝරාගත් බැංකු නො වන මූල්‍යායතනවලට බලපත්‍ර ලබාදීම, නියාමනය හා අධීක්ෂණය මහ බැංකුවේ කාර්යක් බවයි. ඒ යටතේ දැක්වෙන්නේ “ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, විශේෂිත කල්බදු සමාගම් හා ක්ෂුද්‍රමූල්‍ය සමාගම් වැනි බැංකු නො වන මූල්‍යායතන ද නියාමනය හා අධීක්ෂණ කරයි. එ සේ සිදු කරන්නේ මුදල් ව්‍යාපාර පනත, කල්බදු මූල්‍යකරණ පනත හා ක්ෂුද්‍රමූල්‍ය පනතට අනුකූලවය.” ලෙසය.


එහෙත් මේ වන තෙක් ශ්‍රී ලංකා මහ බැංකුව තමන් යටතේ ලියා පදිංචි වී නැති, එනම් බලපත්‍ර ලබා නැති එකඳු ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයක් හෝ තහනම් කර, එසේ නැතිනම් වසා දමා නැත. මහ බංකුව සිය වගකීම ඉටුකිරීම මඟහරිමින් සිටින පසුබිමක ක්ෂුද්‍ර මූල්‍ය විශයෙහි ලා උද්ගතව ඇති මේ බරපතල තත්වයට හේතුව කුමක් දැයි විග්‍රහ කර ගැනීම එතරම් අපහසු නැත.
අප රන්දන පොකුණ ගමට පැමිණි විගස ගොඩවූයේ ඥානවතී මැණිකේ ගේ නිවසටය. ඇය රුපියල් හැට දහසක ණය මුදලක් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයකින් ලබා ගෙන ඇති අතර ඇය එම මුදල සිය ස්වයං රැකියා කටයුත්තකට යොදවා ඇත.


“මම සල්ලි අරගෙන ඒක හොඳට ගෙවාගෙන ගියා. පස්සෙ මම අසනීප උනත් එක්ක මට ණය ගෙවන එක අමාරු උනා. ඊට පස්සෙ එයාල කීව තව ණයක් දෙන්නම් ඒකෙන් පරණ ණය ගෙවල දාන්න කියල. මටත් වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ. එයාල හැමදාම ගෙදරට ඇවිල්ල තර්ජනය කරල යනව. අන්තිමේදි මම ඒකට කැමති වෙලා තව ණයක් ගත්ත. ඒකෙන් එයාල පරණ ගාන කපාගත්ත. මම ඒ වෙද්දි හතලිස් අටදාහක් විතර ගෙවල තිබ්බෙ. ඒත් එයාල රුපියල් හැත්තෑ දාහක් විතර කපාගත්ත. එතන ඉඳල මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ. මට මාසෙකට රුපියල් පන්හයදාහක් ගෙවන්න උනා. අන්තිමට එයාල මට නඩු දැම්ම. කොහොම හරි අන්තිමට මම නඩුව දිනුව.”


ඥානවතී මැණිකේගේ කතාවට මේ ගම්මානයේ බොහෝ කතා සමීපය. මැයගේ කතාව සුවිශේෂී වන්නේ මැය නඩුවක් පවරා එයින් ජයගෙන ඇති නිසාය. ඒ නඩුව මෙහෙයවා ඇත්තේ නීතීඥ රධිකා ගුණරත්නය. ඥානවතීගේ කතාවෙන් පැහැදිලි වන්නේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන බොහොමයක් මේ ණය මිනිසුන්ට ලබා දී ඔවුන් ඒ උගුලේ සිර කර ඇත්තේ සිතාමතා සේම නීතියට පටහැනිව බවය. මුලින් මිනිසුන්ට මාර්ගයක් සකසා එයම පාරාවළල්ලක් කොට ඔවුන්ව ඩැහැ ගැනීමට මේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මාන බලයි.


අප ඥානවතී සමඟ කතා බහ කරමින් සිටින අතරතුර අප පැමිණි බව කණ වැකුණු ගම් වැසියන් එකා දෙන්නා එහි පැමිණෙන්නට විය.


“දවසක් අපේ ගෙදරට ණය එකතු කරන්න ඇවිල්ල තිබ්බ. මම එදා හිටියෙ නෑ. ටවුමට ගිහිල්ල හිටියෙ. අම්ම විතරයි ගෙදර හිටියෙ. අම්ම කියල තියනව ගෙදර කවුරුත් නෑ වෙන දවසක එන්න කියල. හැබැයි උදේ නවයට ආපු කෙනා හවස් වෙනකම්ම ගෙදරට වෙලා ඉඳල. මම එදා ගෙදර එද්දි රෑ වෙලා. මම එද්දි ඒ කෙනා ගෙදර හිටියෙ නෑ. හැබැයි එයා ගිහිල්ල තියෙන්නෙ අපේ අම්මට හොඳටම බැනල. අපි හිතුවෙ ජනාධිපතිතුමා අපට සහනයක් දෙනව කීව නිසා මේ කරදර ටිකක් අඩුවෙයි කියල. ඒත් තිබ්බ කරදර ටිකත් වැඩි උන එක තමයි වුණේ.” කුමාරි කීවාය.


ණය ගත්තා නම් ණය ගෙවිය යුතු නොවේ දැයි, ණය ගෙවීමට නොහැකිනම් එයට වගකීම ගත යුත්තේ ණය ලබා දුන් ආයතන නොව ණය ලබා ගත් පුද්ගලයන් නොවේද යන සාධාරණ ප්‍රශ්නයක් ඔබට ඇතිවිය හැකිය.
ඊට සුනෙත් පිළිතුරු දෙයි.


“මේ ගම්මාන වල මිනිස්සු ගොවිතැනෙන් ජීවත් වෙන්නෙ. වෙනත් රස්සාවල් කරන මිනිස්සු ඉන්නෙ ගොඩක් අඩුවෙන්. නියගයක් ඇවිල්ල හරි සත්තු හානි කරල හරි වගාවට හානි උනොත් මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නෑ. පහුගිය කාලෙ දිගටම වගා හානි උන නිසා මිනිස්සු බොහොම අමාරුවෙන් හිටියෙ. මේ නිසා මිනිස්සු ණය ගන්න පෙළඹුනා.”


සුනෙත් මතු කරන මේ කරුණ ඉතාම වැදගත් බව අපට නිරීක්ෂණය විය. ඔහු පවසන ආකාරයටම මේ ගම්මාන වල වැඩිමනක් පිරිස ප්‍රමුඛ ජීවන වෘත්තිය ගොවිතැන බවට පත්කරගෙන ඇති පසුබිමක ගම්මානයේ අවශේෂ රැකියා බොහොමයක් ගොඩ නැගෙන්නේද ඒ වටාය. ගමේ කම්මල්කරුට අයුධ හදන්න කැඩෙන නගුල් හදන්නට නම් මිනිස්සු කුඹුරු ගොවිතැන් කළ යුතුය. යන්ත්‍රෝපකරණ හදන පුද්ගලයාට ඒවා හදන්නට යන්ත්‍රෝපකරණ ක්ෂයවිය යුතුය. යන්ත්‍රෝපකරණ හිමි පුද්ගයාට ඒවායින් ආදායම් උපයන්නට ඒවා වැඩ කරන්නට කුඹුරු සී සෑ යුතුය, ගොයම් කැපිය යුතුය. ගමේ මුදලාලිට බඩු ටිකක් විකුණා ගන්නට මිනිසුන්ගේ අතේ සල්ලි තිබිය යුතුය. ඒ සඳහා ගමේ රැකියා චක්‍රය ක්‍රියාත්මක විය යුතුය.


2016 වසරේ සිට පුරා වසර තුනක පමණ කාලයක් මේ ප්‍රදේශ වලට දැඩි නියඟයක් පැවතියේය. එය හමුවේ ගොවීන් අසරණ වූ අතර ඔවුන්ට සිය ජීවිකාව අහිමි වීමේ අවදානමක් ඇති වූයේය. මේ හරහා ඉහත කී රැකියා චක්‍රයට බලපෑම් එල්ල වූ අතර සමස්ත ගම්මනයෙන් වැඩි කොටසකට එදාවේල සපයා ගැනීම දුෂ්කර කටයුත්තක් විය.
“අපි මේ ණය ගත්තෙ මොනවහරි දෙයක් පටන් ගන්න.” සුමේධ පවසයි.


මේ අනුව නව රැකියා අවස්ථා සෙවූවද නිශ්චිත රැකියා වෙළඳපොලක් ගම තුළ නොවූ අතර ඔවුන් කාලාන්තරයක් තිස්සේ නිරත වූ ජීවන වෘත්තිය ගොවිතැන නිසා නව රැකියා අවස්ථා නිර්මාණය කර ගැනීමට අවශ්‍ය ඥානයද අල්ප විය.
“අපට බැංකුවකින් ණයක් ගන්න එක හරිම අමාරු වැඩක්. ඒකට මාස ගාණක් යනව. රජයේ රස්සා කරන අය හොයන්න ඕනෙ, ඒ අය ඇපේට අත්සන් කරන්න කැමති කරගන්න ඕනෙ. ඒක හින්ද අපට බැංකුවකින් ණය ගන්න එක හීනයක් වගේ” පොඩිමැණිකේ කියයි.


කෙසේ වෙතත් පහසු සහ සුලභ රැකියා අවස්ථාවන් තෝරා ගැනීමට බොහෝ දෙනා කටයුතු කර තිබූ බව අපට නිරීක්ෂණය කළ හැකි විය. මේ සඳහා අවශ්‍ය කරන මූලික ප්‍රාග්ධනය ඔවුන් බොහෝ විට සපුරාගනු ලැබුවේ ක්ෂුද්‍ර මූල්‍ය ණය හරහාය. ඊට හේතුවක් වූයේ ඔවුන්ට මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා ගැනීම ඉතාම පහසු කටයුත්තක් වීමය.


ගම්මාන තුළ පැවති තත්ත්වය ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ඉතා හොඳින් අවබෝධ කරගෙන තිබූ අතර ඔවුන් කල් වේලා ඇතිව ගම්මාන තුළ සිය වැඩ පිළිවෙල ඉතා හොඳින් ව්‍යාප්ත කරගෙන තිබුණි. ඔවුන් ගම්මාන තුළ කාන්තා සමිති පිහිටුවා තිබෙන අතර ඒවාට කණ්ඩායම් නායකයන් පත්කර ඔවුන් පණිවිඩකරුවන් ලෙස යොදවාගෙන ඇත. ඒ අනුව මේ සමිති හරහා එකිනෙකාම ඇප කරුවන් බවට පත්කරමින් ණය ලබා දීම සිදුවේ.


එම නිසා ණය ලබා ගැනීමට අවශ්‍යතාවයක් ඇති ගම්මානයේ ඕනෑම අයෙකුට තවත් කාන්තාවන් තිදෙනෙකු සම්බන්ධ කරගත හැකිනම් ණයක් ලබාගත හැකිය. ක්‍රමවේදය ඒ තරමටම සරල නිසා බොහෝ ග්‍රාමීය කාන්තාවෝ ඊට ආකර්ශණය වූහ.
කෙසේ වෙතත් මේ ණය නිසි නියාමනයකට යටත් නොවන නිසා අය කරණු ලබන අධික පොලී අනුපාත හේතුවෙන් මෙසේ ණය ලබා ගන්නා බොහෝ දෙනා අසරණ වී ඇත.


ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලෙහි ලංකාව පුරාම කතාව පොදු එකකි. වෙනස් වන්නේ උගුලට හසුවන මිනිසුන්ගේ අනන්‍යතාවන් පමණි. උගුල් අටවන්නේ එකම පිරිසකි.


“මුලින්ම ගත්ත ණයෙන් කඬේ කරගෙන ගියාට වාරික ගෙව්වෙ ණයෙන් ඉතුරු වෙලා තිබුණු සල්ලි වලින්මයි. කඩෙන් ගන්න සල්ලි ටික ගෙදර එදිනෙදා වියදමට ගියහම ණය ගෙවන්න ඉතුරු වෙන්නෙ නෑ. ණයට ගත්ත සල්ලි ටික ඉවර උනහම පොලියට ගත්ත ණය ගෙවන්න. ඒක හිර වුනහම ණය දුන්න කට්ටියම ඇවිල්ල තව ණයක් දුන්න. දැන් ආයෙ ඒ ණය ගෙවන්න විදිහක් නෑ. ගෙදර තිබ්බ රත්තරන් බඩු ටික ඔක්කොම උගස් කරා.” පිරිසෙන් එක් කාන්තාවක පවසයි. ඇගේ ඇසින් කඳුලු රූරා වැටේ.


අප අනෙක් ප්‍රදේශ වලදී දුටු ආකාරයටම ණය එකතු කරන්නට පැමිණෙන පුද්ගලයන්ගේ විවිධ අපචාර ක්‍රියාවන්ට ගොදුරුවන්නට මේ මව්වරුන්ට සිදුව ඇත.


“කොහොමහරි ණය ගෙවන්න කියනව. සල්ලි නෑ කීවහම, බුදියගෙන හරි ගෙවන්න කියනව. ඇවිල්ල කුණුහරපෙන් බැනල යන්නෙ. මම හින්ද දවසක් අපේ අම්මටයි දුවටයි බැනල ගිහිල්ල තිබ්බ.” එක් කාන්තාවක කීවාය.


මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය සඳහා ණය දෙන ආයතන ඉලක්ක කරන්නේ කාන්තාවන්ය. මේ නිසා සමස්ත රට පුරාම ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදයට මුහුණ දී සිටින්නේ කාන්තාවන්ය. එහෙත් මේ දක්වා කාන්තා සංවිධාන මේ අර්බුදයට විරුද්ධව හඬක් නගන බවක් පෙනෙන්නට නැත.


“ණය එකතු කරන කට්ටිය එද්දි මම ගිහිල්ල හැංගෙනව. පුතා එතකොට කියනව ගෙදර කවුරුත් නෑ කියල. ඒ මිනිස්සු එතකොට පුතාට බැනල යනව. පොඩි ළමයෙක්ට අහන්න හොඳ වචන වලින් නෙවේ බනින්නෙ. මට තේරෙන්නෙ නෑ මොනව කරන්නද කියල. අපි මේකට අහුවෙලා ඉවරයි. අපට ගැලවීමක් නෑ.” නිශාන්ති පවසයි.


“අපි හිතාන හිටියෙ ජනාධිපතිවරණෙන් පස්සෙ මේකට විසඳුමක් ලැබෙයි කියල. අපි පරම්පරාවෙන්ම යූඇන්පී කාරයො ඒත් මේපාර ගෝඨාභය මහත්තයට ඡන්දෙ දුන්න මේකට විසඳුමක් ලැබෙයි කියල. කලින් රජය ඉන්නකොටත් ණය කපනව කීවට එහෙම කැපුවෙ ඒ අයට හිතවත් අයගෙ විතරයි. මේ හැමෝම අපිව රවට්ටනව. දැන් මේ අය මොකක් හරි හේතුවක් කියල මේක මඟහරියි” නිලන්ති කියයි.


මේ මිනිසුන් දේශපාලන ඉත්තන් බවට පත්ව ඇත. රැවටුනා යැයි අපට සරලව පැවසිය හැකි වුවද මරණ වරෙන්තුව අතේ තබාගෙන සිටින ඔවුන් යමෙකු විශ්වාස කිරීම ඉතාම මානුශික කරුණකි. එහෙත් මේ මිනිසුන්ගේ භය උපකාරී කරගෙන බලය ලබාගෙන ඒ මිනිසුන් පැත්තකට කර දැමීම විග්‍රහකරගත යුත්තේ කෙසේද?


මේ මිනිසුන් සියලුම දෙනාගේ කතා එක හා සමානය. ඔවුන් පවසන දෑ එක හා සමානය. ඔවුන් ඉල්ලන දෑ එක සමානය. මොවුන්ට උවමනා තමන්ගේ ගැටලුවට විසඳුමකි. මෙය රන්දන පොකුණගමේ පමණක් නොවන පවුල් ලක්ෂ අටක බළාපොරොත්තුවකි.


රටේ විශාලතම මැතිවරණ වේදිකාවේ එනම්, ජනාධිපතිවරණ වේදිකාවේ කතා බහට ලක්වූ ප්‍රධාන කරුණු අතරින් ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය එක් ප්‍රධාන කරුණක් විය. ජනාධිපතිවරයා ධූරයට පත්ව මාස නවයක් පමණ ගතව ඇතත් ඔහු සිය මැතිවරණ වේදිකාවේදී ජනතාවට පොරොන්දු වූ ආකාරයට මේ ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදයට විසඳුමක් ලබා දී නැත. එපමණක් නොව, රටේ ඒ තරමට වැදගත් කමකින් සාකච්ඡා වූ මාතෘකාවකට ශ්‍රී ලංකා මහ බැංකුව කිසිදු සැලකිල්ලක් දක්වා නැත. රටේ මූල්‍ය විනය සම්බන්ධව වගවිය යුතු ඔවුන්ගේ හැසිරීම ප්‍රශ්න සහගතය.


මේ වන විට මෙම අර්බුදය හේතුවෙන් මිනිස් ජීවිත දෙසීයක් අහිමි වූහ. මේ ජීවිත වලට වගකියන්නේ කවුරුන්ද? බලධාරීන්ට තීරණයක් ගැනීමට තවත් ජීවිත කීයක් අහිමි වන්නට උවමනාද? අප රන්දන පොකුණ ගමෙන් පිටත් වන විට ගම් වැසියන්ගේ මුහුණේ ලියැවී තිබුණේ එම ප්‍රශ්නයයි. ඊට පිළිතුරු දිය යුත්තේ සිය වගකීම් පැහැර හැර මිනිසුන්ට සියදිවි නසා ගන්නට මඟ සැලසූ බලධාරීන්මය.