සාකච්ඡා කළේ-ශ්‍රීලාල් සෙනෙවිරත්න

ලෝකය කැරකෙන එක නතර නොවුණොත් අනිවාර්යෙන්ම අගෝස්තු පස්වෙනිදා මහ මැතිවරණය පැවැත්වෙන බව මුලදි කියූ ඔබම, සෞඛ්‍ය නීති ගැසට් එක නැත්නම් මැතිවරණය පවත්වන්න අපහසු බව පසුව කිව්වා. දැන් ඒ ගැසට් එකත් ඇවිල්ලා. දැන් සියල්ල හරිද?


පන්සිල් පද මුද්‍රණය කරලා, බෙදාහැරලා, හැමෝටම ඇහෙන විදිහට සජ්ඡායනා කළා කියලා සමාජයේ පන්සිල් රැකෙනවාද? පන්සිල් රැකෙන සමාජයක් බිහිවෙනවාද? ආන්න ඒ වගේ තමයි මේකත්. පන්සිල් ආරක්ෂා කරන්න ඕනේ කියන එක සමාජයේ සාරධර්මවල කොටසක් හැටියට ක්‍රියාත්මක කළ යුතුයි වගේ, සෞඛ්‍ය ගැසට් එකත් ක්‍රියාත්මක කළ යුතුයි. නමුත් තවමත් එහෙම වෙන බවක් පෙනෙන්නට නෑ. අපේ වාසනාවකට මගහැරුණු රෝගියා තවමත් ප්‍රචාරක රැස්වීම්වලට ගිහිල්ලා නෑ.


ඔබ කියන ආකාරයෙන් ගැසට් එක ක්‍රියාත්මක කිරීම පටන් ගත යුත්තේ කවුරුන්ද? කොතනින්ද?


ඒක පටන් ගන්න ඕනේ දේශපාලන පක්ෂ නායකයන් සහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් විසින්. ඒ අයගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ගැසට් එකට අනුව කළ යුතුයි. අපි කොමිෂන් සභා කාර්යාලය ඇතුළෙත් මේක උපරිමයෙන් ක්‍රියාත්මක කරනවා. එසේනම් රැස්වීම්වලට එන නොදන්නා ජනයා අතරේ මේක ක්‍රියාත්මක කිරීමේ වගකීම තියෙන්නේ දේශපාලනඥයන්ටයි. මේකේ වැරදි කරන අය අල්ලන්න බලය දීලා, කවුද ඒක කරන්නේ කියන එක ගැන මේ වෙලාවේ ගැටලුවක් තියනවා. ඒ ගැනත් අපි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සමග සාකච්ඡා කරනවා. එහිදී ඒකටත් පිළිතුරක් හොයාගන්න පුළුවන් වේවි.


සෞඛ්‍ය නීති සමාජ සාර ධර්මවල කොටසක් ලෙසින් ක්‍රියාත්මක වෙන දෙයක් නම් ඒකට අමුතුවෙන් ගැසට් එකක් වුවමනා වෙන්නෙත් නෑ නේද? එහෙම නොවෙන නිසා නේද මේක ගැසට් එකක් හරහා ක්‍රියාත්මක කරගන්න අවශ්‍ය වුණේ?
තමන්ගේ ආධාරකරුවන් නිසි ආකාරයට මෙහෙයවගන්න බැරි නම්, අඩුතරමින් ඒ අයගේ ආරක්ෂාව ගැනවත් හිතන්නේ නැත්නම්, ඒ දේශපාලන නායකයන් කරන්නේ වැරැද්දක්නේ. අනික අපේ රටේ ජනතාවත් දැනගන්න එපායැ. මට බෑනේ දේශපාලනඥයන්, අපේක්ෂකයන් විවේචනය කරන්න. ඒකයි මම කියන්නේ ගැසට් එක ගැහුවාට වැඩක් නෑ ඒක ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්.


ගැසට් එක මේ තරම් ප්‍රමාද වුණේ ඇයි?


ජුනි මාසේ 03 වෙනිදා අපිට මේක ආවා. ජුනි 11 දින ගහපු දවසෙම අපි කිව්වා අපිට මේක ඕනේ කියලා. ජුනි 17 ජනාධිපතිතුමා හමුවෙච්ච වෙලාවෙත් අපි මේක කිව්වා. එතුමා ඒ වෙලාවෙම කිව්වා ‘ගහන්න’ කියලා. එහෙම ජනාධිපතිතුමාගේ ඕඩර් එක දීලත් හරියට මාසයක් ගියා ඒක එළියට එන්න. ඒක නීතිපතිතුමා ගාව හිරවෙලා තිබුණා. ඒ වෙලාවේ අපි නීතිපතිතුමාටත් ලිව්වා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට ලිව්වා. ඇමතිතුමියගෙන් දෙපාරක් ඉල්ලුවා මේක දෙන්න, නැත්නම් කරගන්න අමාරුයි කියලා. එහෙමත් කරලා තමයි ඔහොම වුණේ. අපේ වාසනාවට තාම කන්දකාඩු ඉඳලා ආව එක්කෙනෙක්වත් දේශපාලන රැස්වීම්වලට ඇවිල්ලා නෑ. එහෙම වෙලා තිබුණා නම් අපිට වෙන්නේ සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් ‘සොරි ඩොට් කොම්’ තමයි.


ප්‍රචාරක රැස්වීම්වලට සහභාගි කරවිය හැකි පුද්ගලයන් සංඛ්‍යාව පිළිබඳව කොමිසම නිර්දේශ කළ සංඛ්‍යාවන්ට වෙනස් සංඛ්‍යා ඇතුළත් ගැසට් එකක් නේද ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ? එහෙම වුණේ කොහොමද?


සංඛ්‍යා වෙනස් කරන්න කියලා දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කළානේ. රංජිත් මද්දුම බණ්ඩාර මහත්තයත් ඉල්ලුවා. විපක්ෂයෙනුත් ඉල්ලුවා. නායකයා එන රැස්වීමකට සහභාගි වන පිරිස 100කට සීමා 500ක් කරන්න, ප්‍රාදේශීය මට්ටමේ රැස්වීමකට සහභාගි වන පිරිස 300ක් කරන්න කියලයි ඉල්ලුවේ. ඒ ගැන දන්වලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහත්තයා සති තුනකට විතර කලින් කොමිසමට ඒ ලියුම එවලා තිබුණා. මැතිවරණ කොමිෂන් සභා නිර්දේශය තිබ්බේ පක්ෂ නායකයා එන රැස්වීම්වල 300කට සීමා කරන්න කියලා. දේශපාලන පක්ෂවල තර්කය ආවේ ටියුෂන් ක්ලාස්වලටත් 500ක් දීපු එකේ, මළ ගෙදරටත් 500 දෙන එකේ, පෝස්ටර් කටවුට් බැනර් ටීවී ඇඞ් දෙන්නෙත් නැත්නම්, පක්ෂ නායකයා එන රැස්වීමකට ගමේ පිට්ටනියට මිනිස්සු 500ක්වත් සහභාගි කරවන්නත් බැරි නම්, කොහොමද කරන්නේ කියලා. ඒ අය දැන් ඒකට උපක්‍රමයක් හොයාගෙන තියනවා. ලොකු පිට්ටනියක් අරගෙන ඒකේ වෙන වෙනම ලොකු එල්ඊඩී තිර දානවා. ප්‍රධාන වේදිකාව ඉදිරියේ 500ක් ඉන්නවා. එල්ඊඩී තිර තියන තැන් තැන්වල වෙන වෙනමත් ජනතාව රැස්කරවනවා. ඒකත් හොඳ දෙයක්. අපිට වඩා වැදගත් වෙන්නේ එන්නේ කවුද? හැමෝම සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත් අනුගමනය කරනවාද කියන එක.
නීති විරෝධී ආකාරයෙන් සිදුකෙරෙන පෝස්ටර් කටවුට් ප්‍රචාරණය නවත්වන්නට කොමිසම අසමත්ව ඇති බව පෙනෙනවා.

පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 74 වගන්තියේ ඇති අඩුපාඩුත් මීට හේතුවෙලා තියනවා. මේවා ගැන කොමිසමේ කොමිසමේ නිරීක්ෂණයට ලක්වී නැත්ද?


ඡන්ද ක්‍රමය වෙනස් වෙන්නේ නැතිව මේක වෙනස් කරන්න බෑ. අනුරාධපුරේට ඉල්ලන අපේක්ෂකයා අලිවංගුවේ ඉඳලා සාලියවැව, කලාඔයට එනකම් හැතැප්ම සීයක් දුවන්න ඕනේ එයාගේ අංකය ප්‍රචාරය කරන්න. කිලෝ මීටර් 160කට වැඩියි. මැදවච්චිවලට එහා පූනෑවේ ඉඳලා මඩාටුගමට එනකම් බැලුවත් කිලෝ මීටර් සීයකට වැඩිය තියනවානේ. ඉතිං කොහොමද අපේක්ෂකයෝ තමන්ගේ මනාප අංකය ප්‍රදර්ශනය කරන එක කරන්නේ? මම කියන්නේ නෑ අපේක්ෂකයෝ කරන දේ සාධාරණයි කියලා. නමුත් කොහොමද මනාප ගන්න තනි අපේක්ෂකයෙක් ඔය දුර දුවන්නේ?


නීතිය සම්පාදනය කරන වෙලාවේ හෝ පසුව ක්‍රියාත්මක කෙරෙද්දි හෝ ඔය කියන කාරණා හඳුනාගෙන නැත්ද?


මේ නීතිය හදලා තියෙන්නේ මනාප ක්‍රමය නැති කාලේ. 1981 මනාප ක්‍රමය හඳුන්වලා දුන්නාට පස්සේ මේකට පිළියමක් හැටියට තමයි වෙනත් සංශෝධනයකින් කලාප ක්‍රමය යෝජනා කළේ. අපේක්ෂකයෝ දහයකට වැඩිය වගේ ඉන්න දිස්ත්‍රික්ක කලාපවලට කැඩීම. කොළඹ මන්ත්‍රීවරු 21ක් ඉන්න කාලේ කොළඹ කලාප තුනකට කඩන්න, ගාල්ල කලාප දෙකකට කඩන්න, ඒ ආදී වශයෙන් අනෙකුත් ජනගහනය වැඩි, මන්ත්‍රී සංඛ්‍යාව වැඩි දිස්ත්‍රික්ක ලැයිස්තු දෙකකට හදන්න. එතනදි ඡන්ද පත්‍රිකා දෙකක් එන්න ඕනේ. එකක් පක්ෂය වෙනුවෙන්. අනෙක කොට්ඨාසයේ මන්ත්‍රීවරයා වෙනුවෙන්. එතකොට පක්ෂය දුවයි දිස්ත්‍රික්කයේම. අපේක්ෂකයාට තියෙන්නේ එයාගේ කොට්ඨාසය තුළ ප්‍රචාරය කරගන්න විතරයි. ඒ සංශෝධනය ආවෙම නෑ. 20 වෙනි සංශෝධනයෙදිත් කතා කළේ පළාත් සභාවට යෝජනා කරලා තියන සමානුපාතික ක්‍රමය. 2015ට කලිනුත් 2015 ජනාධිපතිවරණයේදී සහ 2015 අගෝස්තු මැතිවරණයේදීත් හැමෝම කතා කළා මිශ්‍ර සමානුපාතික ක්‍රමයට නැවත එනවා කියලා. නමුත් දැන් හැමෝම කතා කරන්නේ 19 අයින් කරනවාද? තියාගන්නවාද කියලා. කිසි කෙනෙක් ඡන්ද ක්‍රමය ගැන කතා කරන්නේ නෑ.


සමඟි ජන බලවේගයේ නාමයෝජනා බාර ගන්නා අවස්ථාවේ කොමිසම නීති විරෝධී ක්‍රියාවක් සිදුකර ඇති බවට ඕෂල හේරත් නමැති එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා චෝදනාවක් එල්ල කරනවා. එය තහවුරු කිරීම සඳහා ඔහු ඔබ සමග පැවැත්වූ සාකච්ඡාවල හඬපටත් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබේ පැහැදිලි කිරීම කුමක්ද?


ඒකට පිළිතුරු දෙන්න මම කැමති නෑ. අපි කොමිෂන් සභාවේ තීන්දුවක් අරගත්තා ඒ ගැන කතා කරන්න එපා කියලා.


නමුත් ඔහු කියනවා මේ කාරණය අධිකරණයට හමුවට ගෙනියන බව. එහෙම වෙලා මැතිවරණයෙන් පසුව හෝ අධිකරණ තීන්දුවක් ලැබුණොත් සමඟි ජන බලවේගයේ නාමයෝජනා බාරගෙන තිබෙන ආකාරය නීතියට පටහැනියි කියලා මොකද වෙන්නේ?


ඒක ඒගොල්ලන්ගේ වැඩක්නේ. අපි ඊයේ පක්ෂ ලේකම්වරුන්ගේ රැස්වීමේදි මේ ගැන පක්ෂ ලේකම්වරුන්ට පැහැදිලි කිරීමක් කළා. අපි ඒක පිළිගත් ක්‍රමවේදය ගැන ලිපියක් හදලා අපේ මිනිට්වලට දාලා තියෙන්නේ. මම කිසි කෙනෙක් විවේචනය කරන්නෙත් නෑ. කනගාටු වෙන්නෙත් නෑ. මම වපුරපු දේවල් මම කපාගන්න ඕනේ. අනෙක් අය වපුරපු දේවල් අනෙක් අය කපා ගනියි. මම හැමදේම කරලා තියෙන්නේ මගේ හෘදය සාක්ෂියට එකඟව, නිවැරදියි කියලා හිතෙන දේ. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නැත්නම් මැතිවරණ කොමසාරිස්, කාටවත් කාමරේට එන්න දෙන්නේ නැතිව, නිලධාරියෙක් වශයෙන් අනෙක් අයගෙන් ඈත්වෙලා, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙක් වගේ ඉන්න ඕනේ කියන මතයක් සමහර අය දරනවා. නමුත් මගේ එහෙම මතයක් නෑ. මම ඕනෙම කෙනෙක් එක්ක අවංකව විවෘතව කතාබහ කරනවා. විශේෂයෙන්ම දේශපාලන පක්ෂ කැඩෙන එක වළක්වලා ඒවා එකට තියාගන්න තමයි අපි හැම වෙලාවෙම උපදෙස් දෙන්නේ. ඒගොල්ල දෙකටම කැඩිලා නම් අපිට කරන්න පුළුවන් වෙන්නේ ඡන්දය වෙලාවෙදි පක්ෂයෙන් තරග කිරීමේ අයිතිය යම් කෙනෙකුට දෙන එක විතරයි. නැත්නම් උසාවියයෙන් බේරගන්න කියන එක. එහෙම උසාවි යන්න හදන කරුණක් සම්බන්ධයෙන් ඊට අදාළව මට සම්පූර්ණ කරුණු කියන්න වෙන්නේ කවදාහරි ඡන්ද වැඩකටයුතු ඉවර වුණාට පස්සෙයි.


වර්තමානයේ ඡන්දදායකයෝ මනාපය ප්‍රකාශ කරන්න වගේම අමනාපය ප්‍රකාශ කරන්නත් උනන්දුවෙන් සිටිනවා. ඒ සඳහා හඳුන්වා දෙන්නට යෝජනා කෙරුණු ‘නෝටා වෝට්’ එක තවම නැත්තේ ඇයි?


ඒක ක්‍රියාත්මක කරන්න නම් එක්කෝ පාර්ලිමේන්තුවෙන් සම්මත වෙලා එන්න ඕනේ. නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් විදිහට එන්න ඕනේ. ඒ දෙකෙන් එකක්වත් තවම සිදුවෙලා නෑ. කොමිසමේ සභාපතිවරයා හැටියට මට කියන්න බෑ නෝටා එකට කැමැති අය මේ සැරේ ඡන්ද පොළට ගිහිල්ලා මොකක් කළ යුතුද කියලා. මට කියන්න පුළුවන් වෙන්නේ ‘එන්න. තමන් කැමති කෙනෙකුට ඡන්දය දාන්න’ කියලා විතරයි. මැතිවරණ කොමිසන් සභාව ප්‍රතිපත්තියක් හැටියට නෝටා වෝට් එකට එකඟ වෙලා තියනවා. මොකද කැමැත්ත ප්‍රකාශ කරන්න කිසිදු අපේක්ෂකයෙක් හෝ කිසිදු පක්ෂයක් නැත්නම්, ඡන්දදායකයාට තමන්ගේ අකමැත්ත ප්‍රකාශ කරන්නත් ක්‍රමයක් තියෙන්න ඕනේ.


‘නෝටා’ නැති පසුබිමක දේශපාලකයන්ට අප්‍රසාදය පළ කිරීම සඳහා විකල්ප පියවරක් විදිහට ඡන්දදායකයෝ ඡන්දය කටුගාන්න පටන් ගත්තොත්?


කට්ටිය එකම මතයකින් කටු ගෑවොත් අපිට දළ වශයෙන් බලන්න පුළුවන්. නමුත් අපි කටුගාන ඡන්ද දාන්නේ ප්‍රතික්ෂේපිත ඡන්ද ගොඩටනේ. ඒ නිසා ඒක නෝටා වෝට් එකට විකල්පයක් වෙන්නේ නෑ. අනික මැතිවරණ කොමිසම විදිහට අපිට කාටවත් උපදෙස් දෙන්න බෑ ඡන්ද පත්‍රිකාව කටුගාන්න කියලා. ඉන්දියන් ඡන්ද මැෂින් එක අපට හඳුන්වා දෙන්න ආ වෙලාවේ හිටපු මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහත්තයාත් ඔය ගැන ඇහුවා. එයා කිව්වේ බැලට් පේපර් එකක් තියනවා නම්, ඡන්දදායකයාට තමන්ගේ විරුද්ධතාව, අමනාපය කතිරයකින් හරි, කටුගාලා හරි ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් මැෂින් එක පාවිච්චි කරද්දි කොහොමද අකමැත්ත ප්‍රකාශ කරන්නේ කියලයි. ඒක හින්දා ඡන්දදායකයාගේ අකමැත්ත ප්‍රකාශ කරන්න මැෂින් එකේ වුණත් වෙනම බටන් එකක් ඕනේ කියලා දයානන්ද දිශානායක මහත්තයා කිව්වේ 2006 දි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here