ටිරන් කුමාර බංගගමආරච්චි


පැරණි දින දර්ශන ගැලවී අලුත් දින දර්ශන එල්ලෙන්නට පටන් ගෙනය. තවත් දශකයක ආරම්භය සනිටුහන් වී ඇත. ක්‍රීඩාවෙන් උපරිමය සනිටුහන් වන ඔලිම්පික් ක්‍රීඩා උළෙල මෙවර ජපානයේ පැවැත්වේ. ක්‍රිකට් විස්සයි විස්ස ලෝක ශූරතාවලියද ඒ අතර මේ වසරට යෙදී ඇත. ප්‍රශ්නය ලෝකයාත් සමග ක්‍රීඩාව අරබයා අපි කොතැනකද යන්නය. ක්‍රිකට් වැනි රටවල් කිහිපයක් අතර තරගවලදී අපි ජයග්‍රහණයේ ආසන්නට හෝ යෑමට සමතුන්ය. එහෙත් සෙසු ක්‍රීඩාවලදී අපි ළදරුවන් ගාණය. එයට විසඳුම් කවදා කුමන වසරේ ඉටුවේවිද යන්න ගැටලුසහගතය.


මේ අලුත් අවුරුද්දේ හෝ සැලැස්මකට ක්‍රීඩාව ඉදිරියට ගෙන යනු ඇතැයි බලාපොරොත්තුවෙන් මේ සටහන තබමු.
යහපාලනයත් සමග ඒ වසර හතරට පහට කිට්ටු කාලයට ක්‍රීඩා ඇමතිවරුද හතර දෙනෙක් විය. මේ නිසාම කිසිදු සැලැස්මකට වැඩ කිරීමට කිසිවකුට නොහැකි විය. උනන්දුවක්ද ඒ අය තුළ දක්නට නොවීය. දයාසිරි ජයසේකර ඇරුණු කොට යහපාලනයේ ක්‍රීඩා ඇමතිවරු ගැන කතා කිරීමට තරම් හෝ දෙයක් නොවීය. ක්‍රීඩා තරගයක් සංවිධානය කරන්නේ එක් ඇමතිවරයෙකි. එය පවත්වන්නේ තව ඇමතිවරයෙකි. එවැනි ගාණට ක්‍රීඩාව සිල්ලර විය. නව ආණ්ඩුවේ හෝ මේ තත්ත්වය වෙනස් වී අඩුම තරමේ අප්‍රේල්වලින් පසුව හෝ ඉදිරි වසර කිහිපයටම එක් ක්‍රීඩා ඇමතිවරයෙක්ව එම තනතුරේ තබා වැඩ ගන්නට ආණ්ඩුව උත්සුක විය යුතුය. බොහෝවිට ඒ නාමල් රාජපක්ෂ හෝ විය හැකිය. කවුරු වුව අදාළ නැත. නිවැරදි ක්‍රමවේදයක් අනුව වැඩ කළ යුතුව ඇත.


පසුගිය වසර දෙස බලද්දී ක්‍රීඩාව අයාලේම ගියේය. යහපාලනය ක්‍රීඩාවට කොඩි විනයක් විය. ඊට පෙරද මහා මංගල්‍යයක් නොවීය. ඒ නිසා කුමන ආණ්ඩුවක් යටතේ වුව දැන් හෝ ක්‍රීඩාවට හරි සැලැස්මක් අවශ්‍යය. එය කාගෙන් හෝ විය යුත්තකි. ඇමතිවරු නොව ආණ්ඩුව වුව මාරු වුවද වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යය. ආගිය ඇමතිවරු ජාතික ප්‍රතිපත්ති හැදුවා යැයි පාරම් බෑවද හැදූ ප්‍රතිපත්තියක් හෝ ක්‍රියාත්මක වූවක් නොවීය. ඒවා එසේ වූවා නම් ක්‍රීඩාව මෙතරම් නන්නත්තාර වන්නේ නැත.


සාග් තරගාවලියකදී ජය ලැබීම ක්‍රීඩාවේ උපරිම සංවර්ධනය ලෙස හඟින අදහස ක්‍රීඩා බලධාරීන් සමග යා හැකි දුර ඉතා කෙටිය. මෙවර සාග් තරගාවලියේදී රන් පදක්කම් හතළිහක් දිනීමත් සමග ක්‍රීඩා බලධාරීන් උපරිම වලිකනුයේ ලබන සාග් තරගාවලියෙන් රන් පදක්කම් සියයක් දිනන්නටය. එහෙත් විය යුත්තේ සාග් රන් හතළිහෙන් ආසියානු රන් පදක්කම් දෙක තුනක් හෝ ලබන්නට පිඹුරු සැකසීමය. එතැනින් නොනැවතී ඉන් එපිට තරගවල ලෝකඩ පදක්කමකට හෝ මග විවර කිරීමය. එහෙත් ළිං මැඬි ක්‍රීඩා බලධාරීහු ආණ්ඩුවෙන් මිලියන හැත්තෑවක් පමණ ඉල්ලනුයේ ලබන වර සාග් රන් පදක්කම් සියයක් ලබා ගන්නටය. සාග් දිනන මට්ටමේ මානසිකත්වයෙන් ගිලුණු ක්‍රීඩා බලධාරීන් සමග ක්‍රියා කිරීම ක්‍රීඩා ඇමතිවරයාට නොවටී. ඔහු ඊට වඩා දැක්මෙන් පොහොසත් විය යුතුය.


සාග් දිනන්නට පෙර ක්‍රීඩකයන්ව සිල්ලර කළ නිලධාරීන් දැන් රන් සිහිනවල ගිලෙති. එහි මියෙන්නටම වලිකති.
මීට පෙර ලංකාවේ පුහුණුකරුවෝ විදෙස් පුහුණුව සඳහා ශිෂයත්ව ලැබුවෝය. එහි ප්‍රතිඵලද විය. එය කාලයත් සමග නතර විය. එලෙස පුහුණුව ලබා ආ අය ඉන්පසු ඒ තැන්වල ප්‍රධාන පුටු දැරුවද එම මාර්ග නැවත විවර නොකළේය. ඉතා සූක්ෂ්මව ඒවා සිද්ධ විය. දැන් ඒ සියල්ල අතීතයය. එහෙත් දැන් කළ යුතු හොඳම දේ එක් අයෙක් දෙන්නෙක් රට යවා විශාල මුදලක් වියදම් කරනු වෙනුවට විදෙස් පුහුණුකරුවන් මෙරටට ගෙන්වා මෙරට පුහුණුකරුවන් බහුතරයකට ඒ අත්දැකීම් ලබාදීමය. එවිට එහි ප්‍රතිඵල විශාල පිරිසකට බෙදෙනු ඇත. ඒ අය ගොඩ නගන දක්ෂ ක්‍රීඩකයන් කිහිපදෙනකු විදෙස් පුහුණුවකට යැවීම ඉන්පසු කළ යුතු හොඳම දෑය. ජැමෙයිකාවේ රන් පදක්කම්ලාභීන් පවා ඇමරිකාවේ පුහුණුව ලබන පිරිස්ය. චීනයේ පිහිනුම් ක්‍රීඩකයෝ පවා ඔලිම්පික් ඉලක්ක කොට ඇමරිකාවේ පුහුණුව ලබති. ඒ පුහුණු ෆැක්ටරිවලට කුමන රටක ක්‍රීඩකයන්ද අදාළ නැත. මුදලට දැනුම ලබා දේ. අද ඒ තරමට ලෝකය විවෘතය. මෙරට පුහුණුකරුවන්ගෙන්ම ලෝකය දිනනවාය යන පටු තැන සිරවිය යුතු නැත. ඒවා විය නොහැකි දෑය.


අනෙක් අතට ක්‍රීඩාව නගා සිටුවීමේ මුල් කාර්යය සම්පූර්ණ දැරිය යුත්තේ සංගම්ය. එහෙත් අද ක්‍රීඩා සංගම් නිකං නමට පවත්වාගෙන යන දෑය. ඒවායේ සිටින නිලධාරීන් තම රැකියාව ලෙස සංගමයට ලැබෙන කීය හෝ භුක්ති විඳින අතර ක්‍රීඩාවට ඉන් වන සෙතක් නැත. පිහිනුම් ක්‍රීඩාවේ මෙවර සාග් රන් පදක්කම් ගණන 7කි. මේ හතෙහිම හිමිකරුවා මැතිව් අබේසිංහය. එසේ නම් මේ විදෙස් පුහුණුව (ඇමරිකාවේ) ලබන එහිම පදිංචිකරුවන්ගේ ආගමනය නැවතුන කළ මෙරට පිහිනුම්වල තත්ත්වය කුමක්ද? ජූලියන්, ff, දීපිකා, කොන්රඞ්, උනම්බුව තව විශාල පිරිසක් මෙරටින් බිහිවූ දක්ෂයන්ය. අම්බලන්ගොඩ එකල දක්ෂ පිහිනුම්කරුවන් විය. අද කොළඹවත් පිහිනුම් තරග දිනන අයකු බිහි කළ නොහැකි වී ඇත. මේ සියල්ල පරිපාලනයේ වැරදිය. සංගම් සතු අඩු දැක්මේ හේතුය. මේවා ජය ගන්නේ කවදාද? ඡන්දයෙන් දිනන අය පාලනය කරන්නේ යැයි කියමින් හැමදාම දිනන ක්‍රීඩාවේ පරාජිතයන් සැමදා ඒ තැන්වල තැබිය යුතුද? අප මුලින් කී තැනට නැවත එමු. දැන් හෝ වසර දෙකකට අතුරු කමිටු අකාර්යක්ෂම සංගම්වලට පත් කළ යුතුය. ඒ අයට ලොකු ඉලක්කයක් දී ඒ වසර දෙකට සංගමය උපරිම තැනට ගන්නට ඉඩ හැදිය යුතුය. විෂය ගැන පරිපාලනය ගැන මනාව දන්නා අය අද ක්‍රීඩාවෙන් ඈත්වී ඇත. මේ ඡන්ද පොරයට අකමැති නිසාය. හොඳම උදාහරණය තිලංගය. තිලංග නැවත එන්නට වළිකයි. ඔහු දේශපාලනය කරන්නේම ක්‍රිකට් පුටුව ලබා ගන්නටය. එහි රස රහසක් නොවේ නම් මෙතරම් උනන්දුවේද? එහෙත් ඔහුට වඩා අර්ජුනට ක්‍රිකට් දියුණු කළ නොහැකිද? මහානාමට නොහැකිද? අතුරු කමිටුවකට මෙවැනි දක්ෂ එකමුතුවක් දමා වසර දෙකක් දීම කාලෝචිත නොවේද? එලෙස ක්‍රීඩා කිහිපයක් තෝරාගෙන අතිදක්ෂ පිරිස්වලින් සමන්විත අතුරු කමිටු හරහා මේ ක්‍රීඩා ගොඩ නැගිය යුතුය. ඒ වසර දෙක තුන නිවැරදි රටාවක් පදනමක් හැදූ පසු එතැන් සිට ඡන්දවලට ගොස් ඕනෑම කෙනකුට නිල තනතුරුවලට ආ හැකිය. එවිට කවුරු පත් වුවද එම ක්‍රීඩාවන් ගමන් කරනුයේ නිශ්චිත ප්‍රතිපත්තියකය. එවැනි බරපතළ මැදිහත්වීමකින් තොරව මේ ක්‍රීඩාව ඉස්සරහට ගැනීම අපහසුය. අතුරු කමිටු පත් කිරීම ජාත්‍යන්තරය නොපිළිගන්නා තත්ත්වයක් නිතර මතු කළ හැකි වුවත් එය බලපානුයේ ජාත්‍යන්තර තරග ඉලක්ක කොටය. දැනට අපට ඒ තැන්වලට යාමට නොහැකි නිසා ඒ තැන හැදීම මේ කෙටි කාලය තුළ හැකිය. මේ යන රටාවටම මේ රටේ පක්ෂ මාරු කරනවා මෙන් එකම පිරිස හැමදාම බලයේ රැඳෙන මේ ක්‍රමය නවතා දැමිය යුතුය. සුමතිපාලලා, ධර්මදාසලාගෙන් තොරව ක්‍රිකට් පැවතිය නොහැකිද? එලෙසම ඇතැම් සංගම්වල සිටින බොහෝ නිලතල වසර දහය, පහළොව, විස්ස තරම් කල් ඉකුත් වූ ඒවාය. ඒ අය ඒවායේ භූමි පුත්‍රයන් වී ඇත. ක්‍රීඩකයෝ එති යති. එහෙත් නිලධාරීන් එසේමය. ඒ අය ඒවා තුළම වයසට යති. මෙවර සාග් තරගාවලියට ගිය මලල ක්‍රීඩා භාර පුහුණුකරුවා පින්නවල යැයි මාධ්‍යයක් සඳහන් කළේය. පින්නවල යනු අද විශ්‍රාම සුවයේ උපරිමය ගත කළ යුතු අයෙකි. මේ අවස්ථාව දක්ෂ අලුත් පුහුණුකරුවන්ට නොදෙනේනේ ඇයි? පින්නවල පුහුණුකරුට යන විට ආවතේව කරන්නට බිරිඳද රැගෙන යයි. මේ මොන නාඩගම්ද? රජයේ මුදල් කාබාසිනියා කිරීමක්ද? මේ අවැඩ කොයි කාලේ සිට පැවත එන ඒවාද? අදටත් එසේම වේ. එබැවින් ක්‍රීඩාවේ දියුණුවට මේ මහලු මඩම් නඩත්තුව අහවර කළ යුතුය. අලුත් ජවයට ඉඩ හළ යුතුය. ඒවා පරිත්‍යාග ලෙස ලැබෙන්නේ නැත. අහකටම කළ යුතු දෑය. නව වසරේ හෝ නව ගමනකට සූදානම් වන්නේ නම් මැනවිය.