ටිරන් කුමාර බංගගමආරච්චි


අලුත් ආණ්ඩුවේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ඩලස් අලහප්පෙරුම පත්වී ඇත. අධ්‍යාපන ඇමතිවරයා වන ඔහු අධ්‍යාපනයෙන් මඳකට මිදී ක්‍රීඩා ද කළ යුතුය. කෙටි කාලයකට අටවාගෙන ඇති නිසා යන්තමට ක්‍රීඩාවද බලා ගන්නට ඩලස් ඇමතිවරයාට දී ඇති බව පැහැදිලිය. මේ කෙටි කාලය තුළ ඔහුට කළ හැකි යමක් වේ නම් ඒ කත්මණ්ඩු ගොස් සාග් තරග නැරඹීමය. ඊට වැඩි යමක් ඔහුට ක්‍රීඩාවට කළ හැකි වෙතැයි අපි නොසිතමු. එය ඔහුගේ වරදක් නොව තුන් මසකට, සිව් මසකට කළ හැකි දෙයක් නැති බැවිනි.


කෙසේ වෙතත් එක් දෙයක් පැහැදිලිය. එනම් පැරණි මෙන්ම නව ආණ්ඩුවලටද ක්‍රීඩාව අත්‍යවශ්‍ය මාධ්‍යයක් නොවන බවය. ක්‍රීඩාව යනු පුළුල් විෂය පථයකි. එය රටේ අභිමානය ලෝකයට ගෙන යා හැකි මෙවලමකි. ඒ නිසාම ඒ සඳහා කළ යුතු ගෙදර වැඩ මහ ගොඩක් තිබේ. ඒ සඳහා දක්ෂ ක්‍රීඩා ඇමති කෙනකු හා ක්‍රීඩා නිලධාරීන් අවශ්‍යය.

යහපාලන ආණ්ඩුව වසර පහට ක්‍රීඩා ඇමතිවරු සිව්දෙනෙක් පත් කළේය. නිශ්චිත වැඩසටහනක් හදන්නට හෝ ඔවුන්ට කාලයක් නොවීය. ඒ නිසාම ඒ සෑම කයිවාරුකාරයන් බවට පත්විය. එහෙව් වටපිටාවක ඩලස්ට වුව කළ හැකි දෙයක් නැත. එබැවින් අලුත් ඇමති කෙනෙක් පත්ව ඇති බැවින් ක්‍රීඩාව බේරා ගන්නැයි කීම වැඩකට නැති වැඩක් වී ඇත.
මෙරට ක්‍රීඩාව වැටී ඇති තරම අනුව එයට කෙටිකාලීන සැලසුම්වලින් පළක් නැත. දැන් අවැසි දිගුකාලීන සැලසුම්ය. ඒවා කරන්නට අඩුම තරමේ මේ වසර පහටම එක් ක්‍රීඩා ඇමති කෙනකු පත් කළ යුතුය. එය මහ මැතිවරණයෙන් පසු සිදුවනු ඇත. අනෙක් අතට ක්‍රීඩාව තනිව ගෙන ඇමති කෙනකු පත් කළ යුතුය. එය වෙනත් අමාත්‍යාංශ පැටවූ ඇමතිවරයකුට දී කළ නොහැකිය.


සාග් ක්‍රීඩා උළෙල ආරම්භ වන නිසා ක්‍රීඩාව ගැන යම් කතාබහක් සමාජ ගතවනු ඇත. සාග් ප්‍රතිඵල මත ඉදිරි ක්‍රීඩා සැලැස්ම සකස් කළ හැකිය. මෙය අනාගත ක්‍රීඩා පරපුර හඳුනාගත හැකි හොඳ කඩඉමකි. ඒ හඳුනා ගත් සැණින් ඒ අය ඉදිරියට ගෙන යන දිගුකාලීන සැලසුම් වුවමනාය. සාග් දිනන අය ඉන් එහාට ගෙන යෑමට පුහුණු කඳවුරු අවශ්‍යය. නිසි පෝෂණය අවශ්‍යය. වෛද්‍ය පහසුකම් ඕනෑය. නිසි පුහුණුවට සමාන්තරව ඔවුන්ගේ අධ්‍යාපනයද ඉදිරියට ගත යුතුය. මේ තේරෙන පිරිස අත හැරියහොත් ඔවුන්ගේ දක්ෂතා සියල්ල මොට්ට වනු ඇත. ඒවා ආරක්ෂා කර ඔප දැමීම ක්‍රීඩා අමාත්‍යාංශයේ වගකීමකි. එහෙත් එයට නිසි සැලැස්මක් නොවේ නම් සියල්ල ලත් තැනම ලොප්ය.


දක්ෂ ක්‍රීඩා ඇමතිවරයකු වුවමනා වන්නේ එබැවිනි. ක්‍රීඩා නිලධාරීන් වසර ගණනක් අට පහ රස්සාවට සීමාවී ඇත. ඔවුන් දියුණු රටවල ක්‍රීඩා සංවර්ධනය අධ්‍යයනය කරනවා යැයි සිතීම මුලාවකි. දයාසිරි ජයසේකර ක්‍රීඩා ඇමතිව සිටින කල ඕස්ටේ්‍රලියාව සමග ක්‍රීඩා දැනුම බෙදාගැනීමේ ගිවිසුම් ගැසූ මුත් ඒවායින් ලද ප්‍රතිඵලයක් නම් නොවීය. එක් ඇමතිවරයෙක් කරන වැඩ ඉන්පසු ඇමතිවරයාට අදාළම නැත. කවුරු ක්‍රීඩා ඇමති වුවද ඉදිරියේදී කළයුත්තේ නිසි ක්‍රීඩා ප්‍රතිපත්තියක් සකස් කිරීමය. එවිට ඇමතිවරු ඇතිවා වුවද නැතුවා වුවද වැඩසටහන් ක්‍රියාත්මක වනු ඇත. දැන් සිදුව ඇත්තේ එකවර උඩින් පාත්වන ඇමතිවරු තමන්ට හිතෙන හිතෙන දේ කිරීමය. ක්‍රීඩාව මේ තරම් අයාලේ ගියේ එබැවිනි.
දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙරටින් ඕනෑතරම් සොයාගත හැකිය. එහෙත් අභාග්‍යය ඔවුන්ව ඉන් ඉදිරියට ගෙන යා හැකි යාන්ත්‍රණයක් නොවීමය. ක්‍රීඩකයකු ඉබේ බිහිවන්නේ නැත. ඒ සඳහා විශාල කැපකිරීමක් අවශ්‍ය වේ. එය ක්‍රීඩකයාගේ පැත්තෙන් මෙන්ම ආණ්ඩුවෙන්ද එක ලෙසම විය යුතුය. ආණ්ඩුව එය ක්‍රීඩා අමාත්‍යාංශයට භාරදී ඇත. එහෙත් අමාත්‍යාංශය නිකම්ම නිකම් බිල්ඩිමක් බවට පත්වී ඇත. එසේ නොවී ක්‍රීඩා අමාත්‍යාංශය විය යුත්තේ ෆැක්ටරියකි. එය එවැනි තැනකට පත්කිරීමට වැඩ කළ හැකි ක්‍රීඩා ඇමතිවරයකු සහ දක්ෂ පිරිසක් වුවමනාය. මේ ආණ්ඩුව වුව ලබන වසරේ මැද හෝ එම වුවමනාව සපුරාලන්නේ නම් මනාය. එසේ නොවූවහොත් එය මහා අපරාධයකි. ඒ ක්‍රීඩාවට සහ ක්‍රීඩකයන්ටය.