විමලනාත් වීරරත්න

ප්‍රවීන ගායන ශිල්පී සුනිල් පෙරේරා සැප්.06 දා දිවියෙන් සමුගත්තේය. පහත පලවනුයේ 2015 ජූනි 07 දා රාවය ඔහු සමඟ කළ සංවාදයකි. එය කෙටි සංස්කරණයකට ලක්කොට ඇත.

සුනිල්ට රට ගැන තියෙන හැඟීම මොකක්ද

මේක පාලකයෝ විනාශ කරපු රටක් .පාලකයෝ විනාශ කරපු හැම රටකම පුදුම විදිහේ ආගමික නැඹුරුවක් තියෙනවා. රට ඉවරයි ඒත් මාර ආගමික භක්තියක් පේන්න තියෙනවා .මෙහෙත් එහෙම නේ බුදුන්වහන්සේට පුදුම ආදරයක් නේ කරන්නේ ඒ වුණාට රට අනාථයි.

මූලික වරද මොකක්ද

නීති පද්ධතියක් හදලා ඒක හැම පුද්ගලයෙකුටම එක විදිහට ක්‍රියාත්මක නොකිරීම තුළයි වරද තිබෙන්නේ. දියුණු රටවල් වල ආගමික යොමුවක් වෙන්නේ නැහැ. ඒත් රට කාටත් එක හා සමාන නීති පද්ධතියක් මත දුවනවා. නීතියක් නැති රටක කොච්චර බෝධිපූජා තිබ්බත් බුදු පිළිම හැදුවත් පල්ලි ගිහින් රෑ එළිවෙනතුරු ඔරසන් කිව්වත් වැඩක් නැහැ. බොරුවට බෝධිපූජා තියලා පින්වන්ත රටක් හදන්න බැහැ. යුක්තියේ පාලනයෙන් හා ප්‍රජාතන්ත්‍රවාදයෙන්පමණයි පින්වත් රටක් හදන්න පුළුවන්. එහෙම වුණා නම් අද වගේ දරුවෝ රට දාලා යන්නෙත් නැහැ .සසර වසන තුරු නිවන් දකින තුරු පින් කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා කිය කියා ජීවිතයත් මරණයත් අතර ගමනක් ගිහින් ඉතාලි පනින්න බලනවා. නැත්තං එහෙම ගිහින් Christmas island හරියෙදි බෝට්ටුව ගිලිලා මැරෙනවා. මෙහෙ යළි ඉපදුනොත් ආයෙ ආයෙත් ඉතාලි යන්න වෙනවා නේ. ඇයි එහෙම තරුණ ළමයි යන්නේ මෙතන ජීවත් වන්න අන්තිම අමාරු හින්දා.

ලංකාව සුනිල්ගේ මාතෘ භූමියද පීතෘ භූමිය ද

මම මේක උපන් භූමිය. මේක මාතෘ ද පීතෘ ද කෙසේ වෙතත් මේ රටේ ජීවත් වෙන්න අපිට අයිතිය ලැබෙන්න ඕනේ. මට හොදින් ඉන්න වාසනාව ලැබුනා යැයි කියල වැඩක් නැහැ මෙච්චර තරුණ ළමයි බෝට්ටුවලින් අර විදිහට යනවනම්.. උන්ටත් වෙලාවට අකුරු කියවපු පිරිත්නූ ල් බැඳපු වෙලාවට ඉඳුල් කට ගාපු දෙවියන්ගේ ආශිර්වාදය තියෙනවයි කියන දරුවෝ උන් හරිනම් බෝට්ටුවේ යන්න ඕනේ නැහැනේ. බටහිර දරුවෝ ඔය කියන එක දෙයක්වත් වෙලාවට කරල නැහැ ඒත් උන් බෝට්ටුවේ මාරාන්තික ගමනක් යන්නෙත් නැහැ නේ. උන්ගේ රටවල් වල උන්ට ජීවත් වෙන්න හොඳ පසුබිමක් තියෙනවා නේ.

වරදක් සිදු වුවොත් ඒක පිළිගන්න සහ ඒ ගැන පසුතැවෙන සංස්කෘතියක් අපිට නැත්තේ ඇයි

නීති පද්ධතියක් සමග තමයි රටක මිනිසුන්ගේ හැදියාවක් කියලා දෙයක් ඇති වෙන්නේ. රටවල් වල නීතිය හයියයි මෙහෙ කයිවාරුව හයියයි. අපට අවුරුදු 2500ක ඉතිහාසයක් තියෙනවා කිව්වට ඒකට නිගා කරනවා නම් දෙදහස් පන්සීයෙන් වැඩක් නැහැ. උපදින හැම කෙනෙකුටම රස්සාවක් ගෙයක් දොරක් අධ්‍යාපනයක් කසාදයක් යන්න එන්න පුංචියට හරි වාහනයක් තියෙනවා නම් ඒ රට රටක්. මේක නීතිගරුක රටක් බවට පත් වෙනවා නම් ආයාසයකින් තොරව ඔය පින රටට පහළ වෙනවා.

වැරදි කරපු අය මාංචු පෙන්නලා වීරයෝ වගේ බන්ධනාගාර ගත වෙන්නේ ඇයි

ඒක විශේෂ රඟපෑමක්. බලාගෙන ඉන්න අය හිතනවා වැරැද්දක් කරපු මිනිහෙක් නම් මෙහෙම හිරේ යයිද කියලා. දැන් බලන්න මේ ජනාධිපතිතුමා කාටවත් නිකරුනේ අච්චු කරන්නේ නැහැ. දඩිබිඩියේ රෑට හිතන එවුන් උදේට හිරේ නොදා වැරදි කාරයන් ගැන නීත්‍යානුකූලව ක්‍රියා කරන්නයි එතුමා හදන්නේ. මම නම් කියන්නේ ඇමැතිවරු මන්ත්‍රීවරු ලොකු මාලිගා වගේ ගෙවල් ගහගෙන ඉන්නවා නම් හොරකම් කරලා ම තමයි.

මෙහෙම වීරයෝ වගේ හිරේයන සේරටම එක පාර පපුවේ අමාරුව හැදෙන්නේ ඇයි

පපූ අතර සම්බන්ධයක් තියෙන නිසා නේ සහෘදයෝ කියන්නේ .සමාන  හෘදයක් තියෙන නිසා ඒ වැඩේ කළා. පපුවේ අමාරුවත් එකටම හැදුනා එච්චරයි. අපි හිරේ ගියොත් පපුවේ අමාරුවක් කියලා ඉස්පිරිතාලෙට යන්න අපිට චාන්ස් එකක් ලැබෙයි ද පරික්ෂා කරන අයත් වගකීම පැහැර හැරලා වංක වදිහට වැඩ කරන බවයි මේකෙන් පේන්නේ. බලවතුන් බලය නැති වෙලා හිරේ ගියත් කන්නේ හිරබත් නෙවෙයි හිල්ටන් එකේ කෑම.

වැරදිකරුවෝ හිරේ යවන්න එපා කියලා උද්ඝෝෂණය කරන ජනතාවක් ඉන්න රටක් මේක .ඒ ඇයි

ජනතාවට වරදක් කියන්න එපා. දේශපාලනඥයින් හොරකම් කරපු සල්ලි වලින් බෝධියක් හදලා දුන්නම මෙතුමා නිවන් දකින්න ඕන කියන සංඝයා වහන්සේලා ඉන්න  රටක්නෙ මේක. ජනතාව තමන්ට ලැබුණු පුංචි දෙයක් වෙනුවෙන් වෙන්න ඇති ඔය හොරු බේරන්න කියලා උද්ඝෝෂණය කරන්නේ. දැන් ඇවන්ගාඩ්දාපු advertisement කොහොමද. එතන ලොකු වරදක් වෙලා තියෙන නිසා නේද උදව් ගත්තයි කියන අයගෙ වොයිස් කට් දදා එච්චරම දගලන්නේ.

ඒවා පත්තර වල දාන ජනමාධ්‍ය ආයතන ගැන මොකද හිතෙන්නේ

ජනමාධ්‍ය කාරයොත් පයිසයකට යටයි. ඇඩ් එකට එච්චර ගාණක් දෙනවා කියපු ගමන් ඕනේ හොරෙක් ගෙ ඒවා දානවා. පිටු දෙක ගානේ ඉඩ දෙනවා. 

ලංකාවේ සමාජයට වීරයෝ ඉන්නවද ඔබට වීරයෙක් ඉන්නවද?

මගේ වීරවරු හැටියට මම සලකන්නේ කුමාර සංගක්කාර මහේල ජයවර්ධන වගේ මිනිස්සු. ඒ අය තමන්ගේ කාලය ඉවරවෙන්න කලින් විශ්‍රාම ගියා  කිව්වේ මොකක්ද අලුත් ළමයින්ට ඉඩ දෙන්න ඕනේ කියලා. මැන්ඩෙලා ලා කෙරුවෙ ඒකයි. කොච්චර ස්මාර්ට් ද මේ ක්‍රියාව. වෙන රටවල් වල කෝච්චිය accident උනාම transport minister resign වෙනවා. මුං කියන්නේ මං නෙමෙයිනේ කෝච්චිය එළෙව්වෙ කියලයි. සම අයිතීන් මේ රටේ කාටත් හිමි වෙන්න ඕනේ. සමානත්වය නැති නිසා ඔබට වඩා වාසි මට ලැබෙනවා. ඒක වැරදියි කියලයි මම කියන්නේ

ප්‍රධාන ජාතීන් තුනකගේ බලයට නතු වී සිටීම නිසා ලංකාව වල් වැදුන ද ශිෂ්ට උනාද

ප්‍රතිඵලය දෙපැත්තක් තිබිය හැකියි. ඒත් සුද්දගෙ පරිපාලනය සාර්ථක එකක්. අපේ පරිපාලනය ටිකක් හරි ගොඩනැගිලා තිබෙන්නේ සුද්ද නිසා. නැත්තං අපේ රටේ උන් තාමත් තැනකට දාන්න සුදුස්සෝ නෙවෙයිනේ. සනත් ජයසූරිය සින්දු කියන්න දාලා මාව ක්‍රිකට් ගහන්න දානවා වගේ වැඩ මේ රටේ කෙරෙන්නේ. සමහරු අහනවා මගෙන් දේශපාලනයට එන්නේ නැත්තේ ඇයි කියලා එදා ඉඳන් සිංදු කියපු මම ඒකට ඇවිත් අහවල් දෙයක් කරන්නද.මම සංස්ථා සභාපති කෙනෙක් වුණොත් ඒක ඉවරයි කඩා වැටෙනවා .මං දන්නවා ද ඒ සංස්ථාවේ වැඩ කරන හැටි. දැන..හැඳුනුම්කමට දෙයක් ලැබුණත් තමන්ට මේ වැඩේ පුළුවන්ද කියලා අපි කල්පනා කරන්න ඕනේ. දුන්නු පලියට බොරුවට ගන්න එපා. …එහෙම මොකුත් නොදන්න එකාට වගකිවයුතු තනතුරු දෙන්නත් එපා කියලයි මම කියන්නේ.

ජාතිමාමක මුද්‍රාව තබා ගත් අය කියන දෙයක් තමයි බටහිරයන් අපේ රට කොල්ල කෑවා කියන එක. සුනිල් මොකද මේ ගැන හිතන්නේ

උන් හූරගෙන අරන් ගියා තමයි..දැනටත් ඉතින් අර යනවනේ .අපේ රටේ පාලනයේ හිටපු එවුන්ගෙ සල්ලි මෙහෙ නෑ.  සුද්දන්ට වඩා අපේ  එවුන් සූරගෙන තියෙන්නෙ. සුද්දෝ ගෙනියනකොට අඩු ගානේ තේ වවලා factory දාලා රස්සාවල් දීලා තේ ආර්ථිකය කියලා එක    ක් අපිටත් හදල දීල නේ උන් යමක් ගෙනිච්චෙ. මුං මොකුත් නොදීම අරන් යනවනේ.

එක්දහස් අටසිය පහලවේ ලංකාවේ රාජාවලිය අවසන් වෙනවා. ඒක හොඳද නරකද

ඒක හොඳයි අපට රජ ගොල්ලෝ අවශ්‍ය නැහැ. රජගොල්ලන්ගේ  ඒකාධිපති  වියරුව අපට කඩන්න අමාරු එකක්නේ. ඒ නිසා ඒක නැති එක හොඳයි. 1815 දී උඩරට ගිවිසුම මගින් සුද්දන්ට රට බාර දීම හොඳයි . පාවාදීමක් කියලා ඉතිහාසයේ සඳහන් වුණාට උන් එ දා ප්‍රජාතන්ත්‍රවාදයට පාරක් කපා දීමයි කර තිබෙන්නේ. දැන් අපට පුළුවන්නේ කැමති කෙනෙක් පත් කරගන්න රජකම එහෙම බැහැ .රජුගෙන් පසු පුතාට. අපි සද්ද නැතුව ඉන්න ඕනේ.

එතකොට 2005 ඉඳලා,  එදා  නැති කරපු රජකම ආයෙ ගෙන්න දරපු උත්සාහයක් නේද ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ

පසුගිය අවුරුදු හයේ ඒකම තමයි තිබුණේ .රාජපක්ෂ කියන්නේ තනිකරම රජකම ආරූඪ කරගත් මනුෂ්‍යයෙක්. ඊළඟට පුතා  ගේන්න හැදුවේ. 1815ට පෙර තත්වයමයි

ඉතිහාස චිත්‍රපටි ගැන මොකද හිතුණේ

මෙහෙමනේ. කාශ්‍යප එයාගෙ තැන නයිට් ක්ලබ් එකක් දාගෙන හිටියෙ. ..ඒක චිත්‍රපටියකින් කොළොත් sensor කරනවා. හොඳ දේවල් විතරයි මේවයෙ පෙන්නන්න පුළුවන්. දුටු   ගැමුණුගෙ අන්තඃපුරය ගැන චිත්‍රපටියක් කරලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා ලොකු අවුලක් වෙනවා. හැම සටනෙදි ම සිංහලයා දිනන්න ඕනේ. දුටුගැමුණුගේ ඇතා දිනුවා වගේම පූසා බල්ලා පවා දුටුගැමුණුගේ නම් දිනන්න ඕනේ.

එල්ටීටීඊ සංවිධානය පරාජය කිරීම කොහොමද දකින්නේ

බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා යම් කිසි කෙනෙක් පැරදුනාම දිනපු කට්ටිය ඒක celebrate කරන්න එපා කියලා. සමරන්න එපා .ඔබ සමරන විට දුකින් සිටින පුද්ගලයා තවත් දුක් වෙනවා. දුක තුනී කරන්නයි බලන්න ඕනේ. අපි කළේ ඒක නෙවෙයි. දෙමළ මිනිහගේ දුක වැඩි කරන එක. දෙමළ මිනිහෙක් ජනාධිපති වෙනවට කැමති ද කියලා විමසීමක් කරලා බලන්න, එක සිංහල මිනිහෙක් වත් කැමති නැහැ. එතකොට කෝ බුද්ධාගම. පෝය දවසට අපි නිවාඩු.  බාර්වහලා .හැබැයි පෝයට කලින් දවසේ තමයි බාර් වල වැඩිම පෝලිම තියෙන්නේ. එහෙම පරස්පර රටක් අපි. සිංගප්පූරුවේ තුන්සිය හැටපස් දවසෙම බොන්න පුළුවන්. ඒත් එකෙක්වත් පාරේ වැටිලා ඉන්නේ නැහැ. එහෙම කළොත් ඕන එකෙක් ඇතුලේ. නීතියක් නැති තැනක ඉන්නේ සත්තු වගේ මිනිස්සු.

මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සු කියලා සිංදුවක් මේ රටේම මිනිහෙකුට ලියන්න වෙන්නේ ඇයි.

අපේ රටේ  කලබැගෑනිය පැහැදිලිව පේන්න තියෙන නිසා. පිළිවෙළක් නැති රටක ප්‍රවේගයට අපි හසුවෙලා ඉන්න නිසා. පිළිවෙළක් ඇති රටක මිනිහෙක් ඔහොම සිංදුවක් ලියන්නෙ නැහැ කීයටවත්.

ලෝකෙන් උතුම් රට ලංකාවයි කියලා සිංදුවක් ලිය වෙන්නේ මොකද

ඒ අපි අපිවම රවට්ට ගන්න හැටි නේ. ඒක එක ජාතියක ලෙඩක්. උතුම් රටේ එවුන් ඒක දාලා ජපානයට කොරියාවට අරාබියට ශ්‍රමය වගුරුවන්න යන්නේ ඇයි කියලා මම නැවත අහනවා. උතුම් රටේ එවුන් උතුම් රටේ ඉන්න එපායැ. අනිත් එක අපි විතරක් උතුම් කියලා සිංදුවෙන් වුණත් දෙන අදහස කොච්චර වැරදිද.

 එහෙම වෙන්න බැහැනේ .අපි හරි උතුම් ලෝකෙ අනික් සේරම අප්සට්. රචකයාගේ ඔලුව පරික්ෂා කරවන්න තිබුණේ.